හදීස් කලාව – 01 සහීහ් හදීස් (II-කොටස)

මීට ඉහත මෙම අඩවිය තුළ ඉදිරිපත් කළ ‘හදීස් හෙවත් ශුද්ධ වූ නබිවදන්‘ යන ලිපිය තුළින් ශුද්ධ වූ කුර්ආනය සේම ශුද්ධ වූ හදීසය ද දිව්‍යම භාෂිතය බව ද එම දිව්‍යමය භාෂිතයට ආවේනික කළාවක් ‘හදීස් කලාව‘ නමින් ලොව නිර්මාණය වූ බවද සාකච්චා කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි. එසේම එම ‘හදීස් කලාව’ නම් විෂය පිලිබදව පුළුල් විග්‍රහයක් ‘යහමඟ’ අඩවිය තුල පියවරින් පියවර සිදුකරන බවට ද ඔබට පොරොන්දු වුවා මතකයේ ඇතැයි සිතමි. ඒ අනුව හදීස් කලාවේ පලමු. අංගය වන ‘සහීහ් හදීස්’ නම් විෂය මීට ඉහත ‘හදීස් කලාව – 01 සහීහ් හදීස්‘ යන ලිපිය තුලින් සාකච්චා කල අතර එම මාතෘකාවට අදාල දෙවන කොටස මෙතැන් සිට සාකච්චා කිරීමට අදහස් කරමි.

සහීහ් යන වදන පොදුවේ සියලු දෙනා නිවැරදි පිළිගත යුතු හදීස් යන්න හැඳින් වීමට යෙදුවද සැබවින්ම සහීහ් හදීස් යනු අප විසින් පිළිගත යුතු නිවැරදි හදීස් වල එක් වරගයක් පමණි. හදීසයක් හදීස් කළාවේ ප්‍රධාන අංග දෙකකට බෙදනු ලැබේ. එනම් මක්බූල් (مقبول – පිළිගත යුතු) සහ මර්දූද් (مردود – ප්‍රතික්ෂේප කළ යුතු) ලෙසයි.

  • මක්බූල් (مقبول – පිළිගත යුතු) හදීස්

මක්බූල් යන අරාබි පදයේ අර්ථය පිළිගත යුතු යන්න යි. මක්බුල් හදීස් යන වර්ගීකරණය තුල උප වර්ගීකරණ කිහිපයක්ම හදීස් කලාවට අනුව අන්තර්ගත වන අකර සහීහ් යනු එහි එක් උප වර්ගයක් පමණි. නමුත් පොදු ව්‍යවහාරයේ සියලු මක්බූල් හදීස් සහීහ් යන නමින්ම හැදින්වීමට සමාජය පුරුදුව සිටින බැවින් ද, ඒවා කුමන මක්බූල් වර්ගයද යන්න වෙන් කර හඳුනා ගැනීමේ තියුණු හදීස් දැනුමක් පොදු ජනයා තුල නොමැති නිසා ද දේශකවරු පවා සියලු මක්බූල් හදීස් සහීහ් හදීස් යන යමින් හඳුන්වති. සහීහ් යනු පිළිගත යුතු මක්බූල් හදීස් වර්ගයේ එක් හදීසයක් පමණක් බව මෙයින් ඔබේ අවධානයට ගෙන ඒමට කැමැත්තෙමි.

  • මර්දූද් (مردود – ප්‍රතික්ෂේප කළ යුතු)

නබි (සල්) තුමාණන් විසින් ප්‍රකාශ කළ බව තහවුරු නොවූ එතුමාණනගේ නමින් ගොතන ලද බවට තහවුරු වූ හෝ එසේ සැක පහළ වන ප්‍රකාශ මර්දූද් හදීස් යැයි හදීස් කළාව තුල හඳුන්වලු ලබන අතර, මර්දූද් වර්ගයද උපවර්ග කිහිපයකින් යුක්ත විශාල විෂය පඨයකි. පොදුවේ ජනයා සියලු මර්දූද් හදීස් ලඊෆ් යැයි හදුන්වති. ලඊෆ් යනු මර්දූද් නම් ප්‍රතික්ෂේපිත හදීසයේ එක් අංගයක් පමණි. තවත් බොහෝ මර්දූද්  තිබෙන බව ඔබේ අවධානයට ගෙන ඒමට කැමැත්තෙමු.

හදීස් වර්ගීකරණය

ඉහත වගුව තුලින් හදීස් ඉතා පුලුල් අධ්‍යනයකින් පසුව බොහෝ වර්ග වලට වර්ග  කර තිබීම ඔබට දැකගත හැකිය. මෙහිදී සමාජ ව්‍යවහාරයේ සහීහ් හදීස් යැයි පැවසෙන මක්බූල් නම් පිළිගත යුතු වරග කිරීම ගැන මදක් විමසා බලමු.

  • මුතවාතිර් හදීස්  (الحديث المتواتر)

(10ට වැඩි) බොහෝ සනද් නම් දැනුම් දෙන්නන්ගේ දම්වැලින් දැනුම් දෙනු ලබන වැරදීම ඉතා කුඩා සම්භාවිතාවකවත් හැකියාවක් නොමැති ඉතා නිවැරදි හදීස් මුතවාතිර් හදීස් යැයි හඳුන්වනු ලැබේ. පහත හදීසය හුතවාතිර් හදීසයට හොඳ උදාහරණයකි.

من كذب علي متعمدا فليتبوأ مقعده من النار

මාගේ නමින් ඕනෑකමින්ම යමෙක් බොරුවක් ගොතන්නේ නම් ඔහු ඔහුගේ වාසස්ථානය නිරය කර ගත්තේය යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

බුහාරි මුස්ලිම් ඇතුලු තවත් බොහෝ ග්‍රන්ථවල සඳහන් වන මෙම හදීසයට හදීසයේ සත්‍යතාවය තහවුරු කරන සනද් නැමැති දැනුම් දෙන්නන්ගේ දම්වැල 60කට වඩා අධික ප්‍රමාණයකින් වාර්ථාවන ඉතා නිවැරදි හදීසය කි. මෙවැනි හදීස් හදීස් කලාව තුල මුතවාතිර් යන නමින් හඳුන්වනු ලැබේ.

  • ආහාද් හදීස් (الحديث الآحاد)

සනද් නම් දැනුම් දෙන්නන්ගේ දම්වැල් 10 අඩු හදීස් ආහාද් හදීස් නමින් හදීස් කලාව තුල හඳුන්වනු ලබන අතර, සනද් 03 සිට 09ක් දක්වා ඇති හදීස් මෂ්හූර් (مشهور) හදීස් යැයි ද, සනද් දෙකකින් යුක්ත හදීස් අසීස් (عزيز) හදීස් යැයි ද සනද් එකක් පමණක් ඇති හදීස් ගරීබ් (غريب) හදීස් යැයි ද හදීස් කලාව තුල හඳුන්වනු ලැබේ. අපට බොහෝ විට දැකිය හැකි වන්න් එනම් වැඩිපුරම තිබෙන හදීස් වර්ගය අසීස් නම් සනද් දෙකකින් යුක්ත හදීස් වර්ගය යි.

  • සහීහ් ලි සාතිහි. (صحيح لذاته)

ඉහත හදීසයක් මක්බූල් හදීසයක් වීමට සම්පූර්ණ කළ යුතු කොන්දේසි පහක් අපි සඳහන් කර ඇත්තේමු. එහි තුන්වන කොන්දේසිය ලෙස

الضبط التام في جميع الرّواة – සනද් හි සියලු රාවිවරු කළින් පුද්ගලයා වන තම ගුරුවරයාගෙන් ප්‍රවෘතිය ඉතා නිවැරදිව අසා කිසිඳු අමතකවීමකින් තොරව තමාට පසුව සිටින රාවි වන තම ශිෂ්‍යා හට ඒ සවන් දුන් ආකාරයට ප්‍රකාශ කිරීමට හැකි ඉතා තියුණු මතක ශක්තියකින් යුක්ත පුද්ගලයෙක් විය යුතුය.

යැයි සඳහන් කර ඇත්තෙමු.

රාවිවරුන්ව සිය මතක ශක්තිය හා සැදැහැවත් භාවය පදනම් කරගෙන හදීහස් කළාව තුල පන්ති 12කට බෙදා වගුගත කර ඇත. (ඉදිරියේ දී හදීස් විමර්ශනය යන මාතෘකාව සාකච්චා කරන විට මෙම වගුව අපි ඉදිරිපත් කරමු). එයින් ඉහලින්ම සිටින පලමු ස්ථානය හිමි අය වන්නේ නබි (සල්) තුමාණන් සමග එකට ජීවත් වී ඉතා හොඳින් මෙම හදීස් එතුමාණන්ට සවන් දී හෝ දැක දැනුම් දෙන සහාභාවරුන් ය.

එයින් දෙවන ස්ථානයට හා තුන්වන ස්ථානයට සිටන්නේ ඉතා සැදැහැවත් හා ඉතා තියුණු මතක ශක්තියකින් යුක්ත ඉතා ධාර්මික පුද්ගලයින් වේ. මොවුන්ගෙන් සිකත් සිකත්, අවුසකුන් නාස් සිකත් හාෆිස් යන සහතිකවලින් 2වන පන්තියේ අය ද, සිකත්, මුත්කින් දාබිත් අද්ල් යන සහතික වලින් 3වන පින්තියේ අයද හඳුන්වනු ලැබේ. සනදයේ සියලු දෙනා මෙවැනි දැනුම් දෙන්නන් වේ නම් එම හදීසය සහීහ් ලි සාතිහි  – (කිසිදු අමතර සාධකයකින් තොර) එය තුලින්ම සහීහ් වන හදීසයක් යැයි හඳුන් වනු ලැබේ. දැනුම් දෙන්නන්ගේ දම්වැලට අනුව ඉහලින්ම නිවැරදි වන හදීසය මෙම වර්ගයේ හදීස යයි.

  • හසන් ලි සාතිහි (حسن لذاته)

ඉහතින් අප සඳහන් කළ ආකාරයට හදීසයක් නිවැරදි වීමට සම්පූර්ණ විය යුතු කොන්දේසි පහෙන් තුනවන කොන්දේසිය වන මතක ශක්තිය පිළිබඳ කොන්දේසියේ දී මතක ශක්තිය හා ධාර්මික භාවය පදනම් කරගෙන දැනුම් දෙන්නන් පන්ති 12කට වර්ගීකරණය කරන බව මීට ඉහතදී ද අප සඳහන් කලෙමු. එස් 2වන හා 3වන පන්ති වල දැනුම් දෙන්නන් දන්වන හදීස් සහීහ් ලි සාතිහි නම් ඉහලින්ම සහීහ් වන නිවැරදි හදීස් බවද සඳහන් කෙලෙමු. 

එම වර්ගීකරනයේ 4 වන ස්ථාන හිමිවන දැනුම් දෙන්නන් වන්නේ සදූක්, ලා බඅස බිහී හා ලයිස බිහී බඅස් යන සහතික වලන් හඳුන් වන දැනුම් දෙන්නන් වේ. මොවුන් ඉතා ධාර්මික හා ඉතා සැදැහැවත් ධර්මානුකූල ජීවිතයක් ගත කරමින් 2වන හා 3 වන පන්තිය මෙන්ම හදීස් කලාවේ කොන්දේසි පහෙන් දෙවන කොන්දේසියට ඉහලින්ම හිමිකම් කියන නමුත් තුන්වන කොන්දේසිය වන මතක ශක්තිය පිළිබඳ කොන්දේසියේ දී  දෙවන හා තුන්වන පන්තියේ දැනුම් දෙන්නන් තරමටම ඉතා තියුණු මකත ශක්තියකින් යුක්ත නොවූවත්, යම් සිද්ධියක් වාර්ථා කිරීමට තරම් මකක ශක්තියකින් යුත් අය යි. හදීසයක සනද්හි මෙවැනි දෙනුම් දෙන්නන් එක්කෙනෙක් හෝ අන්තරගත වේ නම් එම හදීසය හසන් ලි සාතිහී (කිසිදු අමතර සාධකයකින් තොර) එය තුලින්ම හසන් වන හදීසයක් යැයි හඳුන් වනු ලැබේ. හොද,යහපත්, අලංකාර යන්න හසන් යන වචනයේ අර්ථ වේ.

  • සහීහ් ලි ගයිරිහි. (صحيح لغيره)

සහීහ් ලි ගයිරිහී යන්නෙහි අදහස (එයත තුලින්ම සහීහ් නොවී) වෙනත් සාක්ෂි මත සහීහ් ගනයට ගන්නා හදීස් යන්න යි. සහීහ් ලී සාතිහි  – (කිසිදු අමතර සාධකයකින් තොර) එය තුලින්ම සහීහ් වන හදීස් වලට පසු දෙවනි ස්ථානය හිමිවන්නේ මෙම හදීස් වලවට යි.

ඉහතින් අපි සඳහන් කළ හසන් ලී සාතිහී ගනයේම සනද් එකකට වඩා වැඩි ගණනකින් යම් මතනයක් සනාථ වන විට එම හදීසය මෙම ගනයේ හදීසයක් ලෙස සලකණු ලැබේ.

  • හසන් ලි ගයිරිහී. (حسن لغيره)

හසන් ලි ගයිරිහී යන්නෙහි අර්ථය (එය තුලින්ම හසන් නොවී) වෙනත් සාධක මත හසන් ගනයට ගැනෙන හදීස් යන්නයි.

රාවි වරුන් වර්ගකිරීමේ වගුවෙහි 5 වන හා 6 වන ස්ථානය හිමි වන දැනුම් දෙන්නන් වන්නේ සදූක් යුහ්ති, සෙයියිඅල් හිෆ්ල්, ලහූ අව්හාම්,මක්බූල්, මක්බූලාහ් යන සහතික වලින් හඳුන් වනු ලබන අය යි. මොවුන් සැදැහැවත් යහපත් ජීවිතයක් ගත කළ ධාර්ධික අය වුවද, හදීස් කලාවේ තුන්වන කොන්දේසිය වන මතක ශක්තිය පිළිබඳ කොන්දේසියේදී මොවුන් තරමක් දුර්වල මකත ශක්තියකින් යුක් අය යි. මොවුන් තනිව දන්වන හදීස් මර්දූද් නම් ප්‍රතික්ෂේපිත හදීස් වේ. එවැනි හදීස් කිසිසේත්ම පිළිගන්නේ නැත.

නමුත් යම් සනද් එකක රාවි කෙනෙක් මෙවැනි දැනුම් දෙන්නෙක් බව තහවුරු වූ විට, එක විටම ඔහුගේ හදීසය ප්‍රතික්ෂේප නොකර , දැනුම් දෙන්නන් වරග කරනු ලබන වගුවේ මොහුගේම ස්ථානය හිමි තවත් දැනුම් දෙන්නෙක් මාර්ගයෙන් එම ප්‍රවෘතිය තහවුරු වේ දැයි සලකා බලනු ලැබේ. එසේ තහවුරු වේ නම් මතකය තරමක් දුර්වල වුවත්, එසේ සාක්ෂි දෙකකින් සනාථ වන නිසා එය පිළිගත යුතු මක්බූල් හදීස් ගනයට ගැනෙන අතර එවැනි හදීස් මෙම හසන් ලි ගයිරිහි ගනයේ හදීස් ලෙස වරග කරනු ලැබේ. මෙය මක්බූල් නම් පිළිගත යුතු හදීස් වරගයේ පහත්ම වර්ගය වේ. මේ ආකාරයට හදීස් දැනුම් දෙන්නන්ගේ මතක ශක්තිය පදනම් කරගෙන හදීසයක් වර්ග කිරීමේදී

  • පළමු ස්ථානයට නිවැරදි හදීස් ලෙස සහීහ් ලි සාතිහි (صحيح لذاته) හදීස් ද,
  • දෙවන ස්ථානයට නිවැරදි වෙන හදීස් ලෙස සහීහ් ලි ගයිරිහි (صحيح لغيره) හදීස් ද,
  • තෙවන ස්ථානයට නිවැරදි හදීස් ලෙස හසන් ලි සාතිහි (حسن لذاته) හදීස් ද,
  • හතර වන ස්ථානයට නිවැරදි හදීස් ලෙස හසන් ලි ගයිරිහී  (حسن لغيره) හදීස් ද, සලකනු ලැබේ.

මේ අනුව හදීස් ගවේශණයේදී හදීස් විශාරදවරුන් කොතරම් කැපවීමෙන් සූක්ෂමව කටයුතු කර ඇත්දැයි මොනවටම පැහැදිලි වේ. මින් ඉදිරියට හදීසයක් ප්‍රතික්ෂේප වීමට හේතු සහ ඒසේ ප්‍රතික්ෂේපි හදීස් වර්ග ගැන ද සලකා බලමු.

මෙම විෂය සමබන්ධ තවත් ලිපි ‘හදීස් කලාව’ මෙහි Click කොට කියවන්න

ඉබුනු ජෙමීල්

Social Share

Leave a Reply