අමනුෂ්‍ය බලවේග – ඉස්ලාමීය විමසුමක්

අමනුෂය බලවේග සහ ඔවුන් මිනිසුන් හට කරන බලපෑම පිලිබදව සමාජය තුල සිදුවන කථා බහ අප නිතර දකින්නෙමු. ලෙඩ රෝග සුවකර ගැනීම පිණිසත්, තම සතුරෙකුට කිසියම්  බලපෑමක් කරනු පිණිසත්, තමන්ගේ නැතිවූ යමක් සොයාගැනීම පිණිසත්, විශාල වශයෙන් ධනය උපයාගැනීම පිණිසත්, නිරෝගිව දීර්ඝ කාලයක් ජීවත්වීමේ අරමුණ පිණිසත්… මෙම අමනුෂ්‍ය බලවේගයන් සරණයාම හා පිහිට පැතීම සමාජය තුල දකින්නෙමු. එසේම මෙම අමනුෂ්‍ය බලවේගය උපයෝගි කරගෙන මිනිසුන්ට විවිධ බලපෑම් හා සේවා ඉටු කරදෙන බව පවසමින් එයින් මුදල් උපයන පිරිස්ද ගමින් ගමට නගරයෙන් නගරයට අප දකින්නෙමු.

මෙලෙස අමනුෂ්‍ය බලවේග හැසිරවීමේ ශක්තිය ඇති බව පවසමින් ව්‍යාපාර කරන සහ එවන් පිරිස් පසුපස ගොස් පිහිට පතන පිරිස් අතර මුස්ලීම් සමාජය ද සැලකිය යුතු තරමින් සිටින බව මෙහි කණගාටුවෙන් වුවද සදහන් කලයුතුමය.  මේ හේතුව නිසාම මෙම කාරණය එනම්, ‘අමනුෂ්‍ය බලවේගය කියා ලෝකයේ යමක් තිබේද? ඔවුනට අප හට කිසියම් බලපෑමක් කරන්න පුළුවන්ද?’ යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පදනම් කරගෙන මෙතැන් සිට විමසා බැලීමට අදහස්  කරමි.

ඉස්ලාම් දහම මනුෂ්‍යයන් නොවන නමුත් බොහෝසෙයින් මනුෂ්‍යයන් හට සමාන තවත් ගුප්ත මැවීමන් දෙකක් පිලිබදව කථා කරයි. ඒ,

  • මලාඉකාවරුන් (දේවතාවන්)
  • ශෛතාන් (සාතාන්)

මෙම මලාඉකාවරුන් (හෙවත් දේවතාවන්) හා ශෛතාන් ( නොහොත් සාතාන්) පිලිබදව කථා කරන්නේ ඉස්ලාම් දහම පමණක් නොවන බව මුලින්ම මෙහි සදහන් කලයුතුය. ලොව සෑම දහමක වාගේ මේ පිලිබදව අඩුවැඩි වශයෙන් කථා කොට ඇත. එහි වෙනසකට ඇත්තේ ඒ ඒ මුලාශ්‍රවල ඔවුන් හැදින්වීම සදහා විවිධ නම් භාවිතා කරන ආකාරයක් මිස ඔවුන්ගේ කාර්‍යභාරය බොහෝ දුරට සමානය.

ඉහත අමනුෂ්‍ය මැවීමන් දෙක පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීම මත හිඳ තවදුරටත් විමසා බලන්නේ නම්, (මෙහි ‘මලාඉකාවරුන්’ යන විෂය මීට ඉහත ‘මලාඉකාවරුන් පිලිබදව වූ විශ්වාසය’ යන ලිපිය තුලින් මෙම අඩවියේම සාකච්චා කොට ඇත.)

මලාඉකාවරුන් – දෙවියන් විසින් මවන ලද මෙම මැවීම පූර්ණ වශයෙන් දෙවියන්ට අවනතව ඔහු වෙනුවෙන් කැපවී ඔහුගේ නියෝග ලැබෙන තෙක් බලාහිඳින ඉන් එහා කිසිවක් ස්වාධීනව තීන්දු ගැනීමට ශක්තිසම්පන්න නොවූ  මැවුමකි. මොවුන් ආලෝකයෙන් මවා ඇතැයි යන්න ඉස්ලාම් හි ඉගෙන්වීමයි.

ශෛතාන් – දෙවියන් විසින් මවන ලද මැවීමන් අතර ශෛතාන් ද සුවිශේෂි මැවීමකි. මොහු මනුෂ්‍යයන් සේම ස්වාධීනව කටයුතු කරන්න අවසර ලද මැවීමකි. නමුත් මොවුන් මිනිසුන්ට වඩා ශක්තිසම්පන්නය. එසේම ඉතා බුද්ධිමත්ය. නමුත් මොහු දේව ශාපයට ලක්වූවෙකි. එයට හේතුව තමන්ට වඩා උසස් මැවීමක් ලෙස දෙවියන් විසින් මනුෂ්‍ය මැවීම නිසා මොහුට ඇති වූ ඊර්ෂ්‍යාවයි. එහිදී ඔහු ‘මම සමස්ථ මිනිස් සමාජයම අපාය කරා රැගෙනයමි.’ යන අභියෝගය දෙවියන්ට කරන ලද්දෙකි. මේ හේතුව නිසාම ඔහු දේව ශාපය හිමිවුවෙකි. ඔහු ගින්නෙන් මවා ඇතැයි යන්න ඉස්ලාම්  හි ඉගෙන්වීමයි. එසේම ‘සාතාන්’යනුවෙන් බොහෝ ආගම් හි හදුන්වන්නේ ද මෙම ශෛතාන්වමය.

මේ අනුව ඉස්ලාම් දහමට අනුව අමනුෂ්‍ය බලවේග වන්නේ ‘ශෛතාන් නොහොත් සාතාන්’ සහ මලාඉකාවරුන්ය. නමුත් මෙහිදි මලාඉකාවරුන් කිසිවක් ස්වාධීනව සිතන්න ශක්තතිසම්පන්න නොවන බව මා ඉහතින් ද සදහන් කලෙමි. ඒ අනුව මිනිසුන්ට එරෙහිව කුමණ්ත්‍රණ හෝ බලපෑම් කිරීමේ හැකියාව ඔවුනට නැත. (ඔවුන් රොබෝවකට සමානය, දෙවියන් දෙන නියෝග පිලිපැදීම පමණයි ඔවුන් කරන්නේ). එමනිසා මිනිසුන් හට බලපෑම් කරන අමනුෂ්‍ය බලවේග යන අපගේ මාතෘකාවට මෙම මලාඉකාවරුන් අදාල නොවේ. එසේනම් අපගේ මාතෘකාවට අදාල එකම අමනුෂ්‍ය බලවේගය වන්නේ ‘ශෛතාන් නොහොත් සාතාන්’ යන්න පැහැදිලි වේ.

අමනුෂ්‍ය බලවේග මිනිසුන් පිස්සු වට්ටන්නේද?

මෙම අමනුෂ්‍ය බලවේගය මනුෂ්‍යා හට කරන හානිය කුමක්ද? යන කාරණයට අවදානය යොමු කිරීමට මත්තෙන් මෙම අමනුෂ්‍ය ශෛතාන් (සාතාන්) දෙවියන්ට කල ඉහතින් කෙටියෙන් සදහන් අභියෝගය හා ඔහු හා දෙවියන් අතර සිදුවූ සංවාදය තරමක් ගැඹුරින් විමසා බැලීම සුදුසු යැයි හැඟේ.

එම සංවාදය අල්කුර්ආනයේ 7 වන පරිච්චේදයේ 13 වන වාක්‍යයේ සිට ඉදිරියට ගලාගෙන යයි. එහි වාක්‍ය කිහිපයක් මෙහි පෙලගසන්නේ නම්,

7-‍13 > (මුල්ම මිනිසා වන ආදම් (අලෛ)ව මවා ඉන් අනතුරුව ඔහුට ආචාර කරන ලෙස ශෛතාන්ට දෙවියන් අණ කලවිට ‘ඔහුට වඩා උසස් මම එසේ නොකරමි’ යයි ශෛතාන්  පවසන ලදී. එවිට දෙවියන් මෙසේ ඔහුට පවසන ලදී.) එසේ නම් නුඹ (ස්වර්ගය වන) මෙතැනින් පහළ (පොළොව)ට බසිනු. මෙහි නුඹට උඩඟුවීමට අයිතියක් නැත. පිටවී යනු. නියත වශයෙන්ම නුඹ අපකීර්තියට පත්වූවන්ගෙන් කෙනකු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.

7-14 > (එයට ශෛතාන් (මිනිසුන්) වන) ඔවුන් (සියලූ දෙනාම) මළවුන්ගෙන් නැගිටුවනු ලබන (විනිශ්චය) දිනය තෙක් මා (මරණයෙන්) පමා කරන්න යැයි ඔහු (ශෛතාන් (ඉබ්ලීස්) දෙවියන්ගෙන්) ඉල්ලුවේය.

7-15 > (එවිට දෙවියන්) නියත වශයෙන්ම නුඹ පමා කරනු ලැබූවන්ගෙන් කෙනකුයැයි අල්ලාහ් (දෙවි) පැවසුවේය.

7-16 > (එයට ශෛතාන්) ඔබ මා නොමඟ යැවූ නිසා ඔබගේ (ඉස්ලාම් නම්) සෘජු මාර්ගයෙන් (මිනිසුන් වන) ඔවුනට (බාධාවක් වන ලෙස) මම සිටින්නෙමියි ඔහු (ශෛතාන්) කීවේය.

7-17 > (තවදුරටත් ශෛතාන් මෙසේද පවසන ලදි) ඉන්පසු (මිනිසුන් වන) ඔවුන්ගේ ඉදිරියෙන්ද ඔවුන්ගේ පිටුපසින්ද ඔවුන්ගේ දකුණු පසින්ද ඔවුන්ගේ වම් පසින්ද ඔවුන් වෙත පැමිණෙන්නෙමි. එවිට ඔවුන්ගෙන් වැඩි දෙනකු ගුණගරුක නොවන බව (අල්ලාහ්(දෙවි) වන) ඔබ දකිනු ඇත.

ඉහත වාක්‍ය 05න් දෙවියන් හා ශෛතාන් අතර සිදුවූ උණූසුම් සංවාදය හොදින් පැහැදිලි වේ.එසේම මෙම වාක්‍යයන් තුල විශේෂයෙන් 16 හා 17 වන වාක්‍යයෙන් ශෛතාන්ගේ මෙහෙවරද පැහැදිලි වේ. එනම්,

ඔබගේ (ඉස්ලාම් නම්) සෘජු මාර්ගයෙන් (මිනිසුන් වන) ඔවුන්ව නොමඟ යවන්නෙකු ලෙස මම සිටින්නෙමි. ඉන්පසු ඔවුන්ගේ ඉදිරියෙන්ද ඔවුන්ගේ පිටුපසින්ද ඔවුන්ගේ දකුණු පසින්ද ඔවුන්ගේ වම් පසින්ද ඔවුන් වෙත පැමිණෙන්නෙමි. එවිට ඔවුන්ගෙන් වැඩි දෙනකු ගුණගරුක නොවන බව (අල්ලාහ්(දෙවි) වන) ඔබ දකිනු ඇත.

මේ අනුව අමනුෂ්‍ය බලවේගය වන ශෛතාන්ගේ කාර්‍යභාරය මිනිසුන්ව ඉස්ලාමයෙන් බැහැර කොට පාපකාරී ක්‍රියාවන්ට පෙලඹවීම යන්න පැහැදිලිය. එසේ නොමැතිව මිනිසුන්ට උපකාර කිරීම හෝ ඔවුන්ට ලෙඩ රෝග ඇති කිරීම, ඔහුගේ කාර්‍යභාරය නොවේ.

මෙහි විශේෂයෙන් කිවයුතු කාරණයක් ඇත. එනම්, අමනුෂ්‍ය බලවේග නිසා ඇතිවූවා යැයි පවසන මානසික රෝග නොසේනම් පිස්සු වැට්ටීම් සමාජය තුල නිතර අප අසන්නෙමු. නමුත් එය මිත්‍යා විශ්වාසයක් පමණි. වාදයකට එම අමනුෂ්‍ය බලවේගය වන ශෛතාන්ට එවැනි බලයක් ඇතැයි සිතුවත් ඒ තුල ගැටළු ගණනාවක් පැනනැඟෙන බව පහත හදීසය තුලින් පැහැදිලි වේ.

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී.

පුද්ගලයන් තිදෙනෙකු සම්බන්ධයෙන් පෑන ඉහලට ඔසවාගෙන ඇත. එනම්

නින්දෙහි සිටින තැනැත්තා අවදි වනතුරු,

කුඩා ළමුන් වැඩිවියට පත් වනතුරු,

මානසික රෝගාබාධයෙන් පෙලෙන තැනැත්තා එයින් මිදෙනතුරු,

මුලාශ්‍ර ග්‍රන්තය – නසායි, අබූ දාවූද්, ඉබුනු මාජා

ඉහත හදීසයට අනුව කෙනෙකු නින්දේ පසුවන විටත්, වැඩිවියට  පත්නොවූ අවදියකත් කරන පාප ක්‍රියාවන් වරදක් ලෙස සටහන් නොවන පැහැදිලි වේ.  

එසේම මානසික විකෘතියකින් පෙලෙන කෙනෙකු කරන ක්‍රියාවන්ද පාපයක් ලෙස ඉස්ලාම් නොසලකන බව ඉහත හදීසය තුලින් පැහැදිලි වේ. ඒ අනුව බලන විට අමනුෂ්‍ය බලවේගය මඟින් මනුෂ්‍යයා පිස්සු වැටීම සිදු කරන්නේ නම්, එයින් ඔහුව නොමඟ යැවීමේ අවස්ථාව ශෛතාන්ට අහිමි වේ. එවිට දෙවියන් ඉදිරියේ සපථ කොට පැමිණි ඔහුගේ මෙහෙවර ඉටු කිරීමට නොහැකි වේ. මෙයින් ද පැහැදිලි වන්නේ මානසික රෝගී තත්වයන් ඇතිවීම ඔහුගේ බලපෑමක ප්‍රථිපලයක් නොවන බවයි.

මෙතෙක් අවදානය යොමුකල කරුණුවලට අනුව පැහැදිලි වන කාරණය නම්, ශෛතාන් නම් අමනුෂ්‍ය බලවේගයේ කාර්‍යභාරය වී තිබෙන්නේ මනුෂ්‍යයන්ගේ සිත් තුල පාපකාරී සිතුවිලි ඇති කොට ඔවුන්ව පාපක්‍රියාවන්ට යොමු කරමින් නොමඟ යැවීම හා විනිශ්චය දිනයේ දෙවියන්ට ගුණගරුක නොවු අපාය වාසීන් කිරීමයි.

එම කුමණ්ත්‍රනයෙන් මිදෙන්නට නම්, ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් නිසිලෙස අනුගමනය කරමින්, යහපත් පුරවැසියන් ලෙස ජීවත් වෙමින්, ශෛතාන්ගේ කුමණ්ත්‍රනයෙන් මිදෙන්නට ඉස්ලාම් පෙන්වාදෙන ක්‍රම අනුගමනය කරමින්, මේ නපුරු ශෛතාන්ගෙන් ආරක්ෂා වීමට දෙවියන්ගෙන් ප්‍රාර්ථනා ද කරමින් ශෛතාන්ගේ අභියෝගය පරාජ කරමින් ස්වර්ග වාසීන් ලෙස මියදෙන්නට අපට ශක්තිය ධෛර්‍යය ලැබේවා! යන ප්‍රාර්ථනාවෙන් මෙම ලිපිය අවසන් කරමි.

ඉබුනු සහිර්

Leave a Reply