ඔහුට දෙවැනි කිසිවක් හෝ කිසිවෙක් නැත – දේවවාදය විමසුමක්.

ඉස්ලාම් දහමේ දේව සංකල්පය ලොව අනිකුත් ආගම්වල දේව සංකල්පයන්ට වඩා තරමක වෙනස් එකකි. ඉස්ලාම් දහමේ ඉගෙන්වීම වන්නේ ‘දෙවියන් එක්කෙනෙකි’ යන ඒකදේව සංකල්පයයි. මෙම සංකල්පය ප්‍රතික්ෂේප කිරීම ඉස්ලාමයෙන් බැහැර කරවන තරම් මහා පාපයක් ලෙස ඉස්ලාම් අවදාරණය කරයි. එය අල්කුර්ආනයේ අවවාද කරන අවස්ථා 03ක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

  • සමාව නොලැබෙන පාපයක්

අල්ලාහ් තමාට සමාන (යැයි උපකල්පනය) කිරීමට සමාව නොදෙන්නේය. ඒ හැර (පාපවලින් අනිකුත්) දෑ සඳහා තමා කැමති අය හට සමාව දෙන දෙන්නේය. අල්ලාහ්ට සමාන (යැයි උපකල්පනය) කරන්නා මහා පාපයක් කලේය.

අල්කුර්ආන් 4:48

  • සදාකල් නිරය

අල්ලාහ්ට සමාන (යැයි උපකල්පනය) කරන්නන් හට අල්ලාහ් ස්වර්ගය තහනම් කළේය. ඔවුන්ගේ නවාතැන නිරය යි. අපරාධකරුවන්ට කිසිඳු සහායකයෙක් නොමැත.

අල්කුර්ආන් 5:72

  • අල්ලාහ්ට කිසිවක් හෝ කිසිවෙක් සමාන(යැයි උපකල්පනය) කළහොත් කුසල් සියල්ල විනාශ වනු ඇත.

”ඔබ සමාන(යැයි උපකල්පනය) කරන්නෙහි නම් ඔබගේ කුසල් (සියල්ල) විනාශ වනු ඇත”

අල්කුර්ආන් 39:65

ඉහත කරුණු දැක්විම අනුව දෙවියන් එකම දෙවියා යන්නත්, ඔහුට සමාන කිසිවක් හෝ කිසිවෙක් නොමැත යන්නත් ඔබට පැහැදිලි ඇතැයි සිතමි. දැන් අපගේ මාතෘකාව වන ‘ඔහුට දෙවැනි කිසිවක් හෝ කිසිවෙක් සිටීද?’ යන කාරණය වෙත අවදානය යොමු කරන විට, අල්කුර්ආනයේ පහත වාක්‍යය අපට එහි හමුවේ. එනම්,

අල්ලාහ් පමණයි මාගේ මෙන්ම ඔබලාගේ ද එකම දෙවියා වන්නේ. එමනිසා ඔහුට පමණක් වන්දනා මාන කරන්න. මෙයයි යහමඟ වන්නේ’

ශුද්ධ වු කුර්ආන 3-51

ඉහත 3-51 වාක්‍යයට අනුව අල්ලාහ් (දෙවි) එකම දෙවියා යන්නත්, වන්දනාමාන සියල්ල කලයුතු වන්නේ ඔහුට පමණක් යන්නත් පැහැදිලි වේ. මේ අනුව දේවත්වයේ තැනට හෝ වන්දනා මානවලට ‘අල්ලාහ්’ (දෙවි) හැර දෙවැනි නොව කිසිදු තැනක් නොමැත යන්න අල්කුර්ආනය ඉහත වාක්‍යය තුලින් මිනිස් වර්ගයාට කියාදෙන සත්‍යයකි. මා මෙසේ එය මෙහි අවදාරණය කරන්නේ හේතු කිහිපයක්ග මුල් කොට ගෙනය. එනම්,

මුස්ලීම් සමාජයේ සහ මුස්ලීම් නොවන සමාජයේ සමහරක් සිතා සිටින්නේ අල්ලාහ් (දෙවි)ගෙන් පසු දෙවැනි තැන හිමි වන්නේ නබිවරුන්ට යනුවෙනි. මෙය සම්පූර්ණයෙන් ම වැරදි පිලිගැනීමකි. නබිවරුන් මිනිස් සමාජයේ උතුම් වු චරිත යන්න සැබෑවකි. නමුත්, එය දෙවියන්ට පසු තැනක් ලබාදීමට තරම් උත්තරීතර නොවේ. දෙවියන් සහ ඔහුගේ මැවීමන් අතර ඇති අවකාශය අනන්තය තරම්ය. එහි ගැලපුමකට හෝ සමාන කිරීමකට කිසිදු ඉඩක් නැත. මෙය අල්-හදීසයක් තුලින් ඔබට තවදුරටත් පැහැදිලි කරන්නේ නම්,

හුදෛෆතුල් යමානී (රළි) තුමා දැනුම් දුන්නේය. අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වරක් මෙසේ පවසන ලදී. එනම්, ‘අල්ලාහ් සහ මේ මේ පුද්ගලයා අභිමත පරිදි යැයි නො කියන්න’. අල්ලාහ් අභිමත පරදි, සහ පසුව මේ මේ පුද්ගලයා අභිමත පරිදි යැයි පවසන්න.’යනුවෙන් පවසන ලදී.

Narrated Hudhayfah, The Prophet (ﷺ) said: Do not say: “What Allah wills and so and so wills,” but say: “What Allah wills and afterwards so and so wills.

මුලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්

ඉහත හදීසයට අනුව අල්ලාහ් (දෙවි) සමඟ ඔහුගේ මැවීමන් අතුරින් එකක් වන මිනිස් වර්ගයා ඔහු හා සමකොට කථා කිරීම නොකලයුත්තක් බව පැහැදිලි වේ. මෙය සාමාන්‍ය මිනිසුන් සදහා පමණක් වලංගු නීතියක් නොවේ. එය ඊටත් එහා යන මුස්ලීම් හා මුස්ලීම් නොවන සමාජයේ සමහරකගේ මිත්‍යා අවබෝධය බිඳලන තරම් ප්‍රබල යන්න පහත හදීසය තුලින් පැහැදිලි වේ.

ඉබ්නු අබ්බාස් (රළි) තුමා දැනුම් දුන්නේ ය.

එක්තරා අවස්ථාවක ‘අල්ලාහ් සහ (නබිවරයාණන් වන) ඔබ අභිමත පරිදි’ යැයි කෙනෙකු නබි (සල්) තුමාණන් හට පැවසූවේය. එවිට නබිතුමාණන් ‘ඔබ අල්ලාහ්ට සමානයක් තැබුවා. අල්ලාහ් පමණක් අභිමත පරිදි යැයි පවසන්න’ යැයි (අවවාදාත්මකව) කීහ.

Ibn ‘Abbas said, “A man said, to the Prophet, ‘Whatever Allah wills and you will.’ He said, ‘You have put an equal with Allah. It is what Allah alone wills.'”

ග්‍රන්තය – (ඉමාබ් බුහාරි තුමා විසින් සම්පාදනය කරන ලද) අල් අදබුල් මුෆ්රද්

ඉහත හදීසයන්ට අනුව අල්ලාහ් (දෙවි) සමඟ සාමාන්‍ය මිනිසුන් නොව මුහම්මද් (සල්) තුමාණන්ව වූවද සම කොට වචනයකින් හෝ කිසිවක් ප්‍රකාශ නොකලයුතු යන්න ඉස්ලාම් දහමේ නීතිය යන්න පැහැදිලි වේ. දෙවියන් දේවත්වයට සුදුසු තැන තැබිය යුතු අතර නබිවරුන් සහ සාමාන්‍ය මිනිසුන් ඔවුනට හිමි තැනෙහි තබා කථා කිරීම අනිවාර්‍ය වේ.

සියළු දුර්වලතාවයන්ගෙන් සුවිශුද්ධ වූ දෙවියන් සමඟ ඔහුගේ මැවිමන් අතුරින් එකක් වන දුර්වලතාවයන් රාශියකින් සමන්විත මිනිසුන් සම කොට, ‘ඔහු සහ මම’, ඔහුගෙන් පසු මම’, ඔහුට දෙවැනි මම… යනාදී ලෙස කථාකිරීම කිසිසේත් සාධාර්ණ නොවන බව දෙවියන් පිලිබදව සරල අවබෝධයක් ඇති සාමන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට වුවද අවබෝධ කරගැනීම අපහසු නොවේ.

මෙතැනදී මෙවැනි ලිපියක් මෙහි ලිවීමට උනන්දු කෙරූ කාරණයක් වෙත ඔබේ අවදානය යොමු කිරීමට මා අදස් කරමි. එනම්, පසුගිය දිනක එක්තරා මාධ්‍යයක් තුලින් විකාශය වූ වැඩසටහනකට සහභාගි වූ සමාජ වගකීමක් දරණ මුස්ලීම් නොවන ප්‍රභූවරයෙකු විසින් එහිදී. ‘ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය මාව දෙවියන්ගෙන් පසු දෙවියෙක් ලෙස සලකනවා’ යන අදහසින් කරුණු දැක්වීමක් එහි කරන ලදී. මෙය සවන්දුන් මා හට ඒ තුල පැනයන් දෙකක් ඇති විය. එනම්,

  • මුහම්මද් (සල්) තුමාණන්ටත් හිමි නැති ඒ තැන සාමාන්‍ය මුස්ලීම් නොවන කෙනෙකුට ලබාදුන් ඒ මුස්ලීම් කවුද?
  • අනිකුත් සමාජවල සාමාන්‍ය විවහාරයේ ‘ඔබ දෙවියෙක්’ යයි පවසනවා සේ මුස්ලීම් සමාජයට ‘මමත් දෙවියෙක්’ යැයි ඔහු සිතාගත්තාද?

මේ දෙකෙන් පලමු වැන්න සත්‍ය නම්, එම මුස්ලීම්වරුන් තමන් නොදැන කර ඇති ඒ මහ පාපය වෙනුවෙන් දෙවියන් හමුවේ සමාව අයද වහාම තම වරද නිවැරදි කරගතයුතුව ඇත. මන්ද එය ‘ශිර්ක්’ නම් මහා පාපයක් වන බැවිනි. මෙහි දෙවැන්න සත්‍යයක් නම්, එය හාස්‍ය උපදවන කිසිදු වටිනාකමක් නැති බොල් වචනයක් පමණි. එය අලුයම ලු කෙලපිඩක් සේ සලකා කටයුතු කිරීම පමණයි මෙහි කලයුතු වන්නේ.

මෙහි අවසාන වශයෙන් කිවයුතු කාරණයක් ඇත. එනම්, ඉස්ලාම් පවසන දේව සංකල්පය සමාජයේ පවතින සම්ප්‍රදායක සංකල්පවලට වඩා සම්පුර්ණයෙන් වෙනස් වූ එකකි. එය නිසි ආකාරව අවබෝධ කොට කටයුතු නොකලේ නම්, එය මුස්ලීම්වරුන් වන අපව සදාකල් නිරයට රැගෙන යනු ඇත. එසේම මෙම සංකල්පය පිලිබදව මුස්ලීම් නොවන සමාජයට නිසි අවබෝධයක් ලබාදීමට අප අසමත් වූවොත් එය ඉහත ආකාරයේ පදනම් විරහිත ප්‍රකාශයන්ට තව තවත් දොරටු විවර කරනු ඇත. එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම සටහන අවසන් කරමි.

ඉබුනු සහීර්

Social Share

Leave a Reply