අත්‍යඅවශය භාණ්ඩ අසීමිතව රුස්කිරීම හා අලෙවි නොකිරීම

වර්ථමාන ශ්‍රි ලංකාව දේශපාලනමය, සමාජීය හා ආර්ථාකමය වශයෙන් විශාල බිඳවැටීමකට ලක්ව ඉතා තීරණාත්මක තැනක අද ඇත. මිනිස් මුලික අවශ්‍යතාවය වන ආහාර පාන සපයාගැනීම පවා දුෂ්කර වන තරමට හිඟ වන සහ තිබෙන ආහාර පාන අධික මිලකට විකිණෙන සමාජ තත්වයක් වර්ධනය වෙමින් ඉතා අවදානම් අවදියක් පසුකරමින් ඇත. මෙවන් තීරණාත්මක මොහොතක අධික ලාභයක් ඉපයීමේ අරමුණින් අමානුෂික ලෙස කටයුතු කරණ කළුකඩ ‍ව්‍යාපාරිකයන් සහ ධනවතුන් පාරිභෝගිකයින් අසීමිතව අත්‍යඅවශ්‍ය භාණ්ඩ රුස්කොට තබමින් සමාජයට කරණ දුෂ්ඨ ක්‍රියාවේ දිග පලල ගැඹුර තරම නොදැන ආත්මාර්ථකාමීව කටයුතු කරමින් ඇත.

ඉහත තත්වයේ ආදීනය ශ්‍රි ලාංකීය සමාජයට අවබෝධ කරවීම අරමුණු කරගෙනත්, ශ්‍රි ලාංකීය මුස්ලීම් ප්‍රජාව අතුරින් සැලකිය යුතු තරම් පිරිසක් වෙළද ව්‍යාපාර කටයුතුවල නියලී සිටින නිසා මේ පිලිබදව ඉස්ලාම් කුමක් පවසනවාද? යන්න පෙන්වාදීම අරමුණු කරගෙනත්, ඉස්ලාම් දහම ආගමික කටයුතුවලින් එහා ගොස් සමාජ ආචාර ධර්ම පිලිබදව කොතරම් සැලකිලීමත් වෙනවාද? යන්න මේ සමාජයට අවදාරණය කිරීම අරමුණු කරගෙනත්, ‘අත්‍යඅවශය භාණ්ඩ අසීමිතව රුස්කිරීම හා අලෙවි නොකිරීම’ යන කාරණය පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීම කුමක්ද?. යන්න මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

ඉස්ලාම් යනු දහමට එහා ගිය පරිපූර්න ජීවන මාර්ගයකි. එමනිසා ආගමික නැමදුම් කෙරෙහි අවධාරණය කරන තරමට ම සමාජ ආචාර ධර්ම හා වෙළද ව්‍යාපාර… වැනි සමාජ ගනුදෙනුවල රැකිය යුතු ගුණාංග පිලිබදව ද ඉස්ලාම් දහම පුළුල්ව කථා කරයි. ව්‍යාපාරයේ අවංකභාවය සහ වෙළඳාමේ සත්‍යවාදී බව ඉස්ලාම් දහම දැඩිව අවධාරණය කරයි. ඉස්ලාම් හැකි උපරිමයෙන්, සියලු ආකාරයේ වංචනික ගනුදෙනු සහ නීති විරෝධී ලාභ හෙළා දැක ඇත. යුක්තිය සහ සාධාරණය මත පදනම් නොවන සියලුම ගනුදෙනු ඉස්ලාම් තහනම් කොට ඇත.

ව්‍යාපාර කටයුතුවල රැවටීම සහ අසාධාර්ණව ක්‍රියා කිරීම ඉස්ලාම් දැඩිව අවවාද කරයි. මුලින්ම වංක වෙළදුන් තරවටු කරමින් ඉස්ලාම් කරන පොදු අවවාද දෙකක් ඔබේ බුද්ධිමත් අවදානයට තබන්නේ නම්,

ජනයාට, ඔවුන්ට හිමි දැයින් (කිසිවක්) අඩු නොකරනු. තවද (එසේ කිරීමෙන්) නුඹලා පොළොව මත දුෂිතයන් ලෙස නොසැරිසරනු.
“And do not wrong men of their things, and do not act corruptly in the earth, making mischief.”

අල්කුර්ආන් 26-183

වංක වෙළදුන් තරවටු කරමින් මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී.

“යමෙක් අපව රවට්ටන්නේද ඔහු අපගෙන් (මුස්ලීම්වරුන්ගෙන්) කෙනෙකු නොවේ.”

මුලාශ්‍ර ග්‍රන්තය – මුස්ලිම්

තම පාරිභෝගික ජනයා රවටමින් සහ ඔවුනට අසාධාර්ණ සිදු කරමින් කරන ව්‍යාපාරිකයන් ‘මුස්ලීම් නොවේ’ යනුවෙන් සහ ‘ඔවුන් මහ පොළොව මත දුෂිතයන්’ යනුවෙන් දැඩිව අවවාද කරන ආකාරය ඉහත අල්-කුර්ආන් සහ අල්-හදිස් වාක්‍යයන් තුලින් දකින්නෙමු. මෙම අවවාදය හොදින් මනසෙහි රදවාගෙන මෙම ලිපියෙහි ප්‍රධාන කොටස වන ‘අත්‍යඅවශ්‍ය භාණ්ඩ අසීමිතව ගබඩාකොට තැබීම අලෙවි නොකිරීම’ යන කාරණය වෙත දැන් අවදානය යොමු කරමු.

වර්තමානයේ ප්‍රධාන අරමුණු තුනක් මුලික කරගෙන භාණ්ඩ රැස්කොට ගබඩා කිරීම සමාජය තුල දකින්නට ලැබේ. එනම්,

  • භාණ්ඩවල හිඟකම නිසා මිල වැඩි වූ විට ඒවා විකිණීම සඳහා ගබඩාවක හෝ වෙළඳසැලක ගබඩා කිරීම,
  • ඉදිරියේදි භාන්ඩ හිඟ වේවි සහ මිල වැඩි වේවි යන බියෙන් එම භාණ්ඩ තම පරිභෝජනය සදහා අධිකව රුස්කොට ගබඩා කිරීම,
  • ඉල්ලුමට වඩා අධික ලෙස පවතින භාණ්ඩයක් ප්‍රජාවගේ මතු අවශ්‍යතාවය සදහා අලෙවිය පිණිස මානුෂීය චේතනාවෙන් ගබඩා කිරිම

මෙහි තෙවන ක්‍රියාව එනම්, ඉල්ලුමට වඩා අධිකව පවතින භාණ්ඩ මතු අලෙවිය සදහා මානුෂීය වෙළද චේතනාවෙන් ගබඩා කොට තැබීම යන්නෙහි ඉස්ලාම් වරදක් නොදකී. එය පැසසිය යුතු කාරණයකි. නමුත් ජනයාට අත්‍යඅවශ්‍ය භාණ්ඩ වෙළද පොළයන් හි හිඟව තිබියදී ඉදිරියේදී එය අධික මිලකට අලෙවි කිරීමේ අරමුණින් ගබඩා කොට තබන්නේ නම්, නොඑසේනම්, මතු පුද්ගලික පරිභෝජනය සදහා වැඩිපුර මිලදීගෙන ගබඩා කොට තබන්නේ නම් එය රටේ නීතිය අනුව පමණක් නොව ඉස්ලාම් දහමට අනුව වුවද දැඩිව අවවාද කරන මහා වරදකි. එවැනි ඉස්ලාමිය අවවාද කිහිපයක් වෙත ඔබේ අවදානය යොමු කිරිමට මත්තෙන් මෙම අත්‍යඅවශ්‍ය භාන්ඩ සඟවා තැබීම හා මිල ඉහල දැමිම නිසා සිදුවන සමාජ හානිය කෙටි නිදසුනකින් ඔබට පැහැදිලි කරන්න අදහස් කරමි. එනම්,

අත්‍යඅවශ්‍ය භාණ්ඩ අසීමිත ලෙස ගබඩා කොට තැබීමේ දී සමාජය තුල සිදුවන්නේ කුමක්ද?

වර්ථමානයේ අපේ රටේ පවතින ආර්ථික අර්බුදය තුල A නම් ධනවත් පුද්ගලයෙකු තම අවශ්‍යතාවයට වඩා වැඩියෙන් ගබඩා කොට තැබිමේ අරමුණින් සහල් කිලෝ 50ක් මිලදි ගන්න වෙළද සැලකට යනවා යයි සිතමු. එහිදි B නම් වෙළෙන්දා තම සන්තකයේ තිබෙන රුපියල් 100/= ක සහල් A නම් පාරිභෝගිකයාගේ විශාල ප්‍රමාණයක සහල් අවශ්‍යතාවය තේරුම්ගෙන සහල් කිලෝවක් සදහා අමතර රුපියල් 50/= ක් තබා වැඩි මිලකට සහල් අලෙවි කරයි. මෙසේ වැඩිපුර සහල් මිලදි ගැනිම දකින C නම් තවත් ධනවත් පාරිභෝගියෙකු ද ඉදිරි අවශ්‍යතාවය සදහා ගබඩා කොට තැබිමේ අරමුණින් වැඩි මිලට හාල් කිලෝ 80ක් මිලදි ගනි. දැන් එම වෙළද සැලේ සහල් මිල 100/= සිට 150/= ක් ලෙස වෙනස් වේ. දැන් එම වෙළදසැලට පැමිණ දිනපතා සහල් කිලෝවක් රැගෙන යන දුගි D නම් පාරිභෝගිකයා සහල්වල අධික මිල ඉහලයාම සහ වෙළද සැලෙහි සහල් හිඟවිම දකී. මේ හේතුව නිසා ඔහුට තම පවුල පෝෂණය කිරීම විශාල අර්බුදයක් බවට පත්වි ඔහු අන්ත අසරණ තත්වයට පත්වේ.

ඉහත නිදසුනින් ඔබ දුරදිග නොබලා සමාජයට කරන වරදෙහි තරම ඔබට දැන් පැහැදිලි වියයුතුයි. එසේනම් ‘වැඩි මිලට විකිණිමේ අරමුණින් හා ඉදිරි පරිභෝජනය සදහා අසිමිතව භාණ්ඩ රැස්කොට තැබීම’ සම්බන්ධයෙන් ඉස්ලාම් කුමක් පවසනවාද? යන්න විමසා බලමු.

  • රැස්කරන්නා පවුකාරයෙකි. (මුලාශ්‍ර ග්‍රන්තය – මුස්ලිම්)
  • දින හතළිහක් මුළුල්ලේ කිසියම් භාණ්ඩයක් රැස්කර තබා ගන්නා තැනැත්තාට ස්වර්ගයේ සුවඳ පවා නොලැබෙන බවත්, ස්වර්ගයේ සුවඳ හා ඔහු අතර දුර වසර පන්සියයක ගමන් දුරක් වන බවත් නබි (සල්) තුමාණෝ පැවසූහ. (මුලාශ්‍ර ග්‍රන්තය – මුස්තාක් අල්වාසිල්)
  • නිරයේ නිම්නයක් ඇති බවත් එහි දරුණු ගින්නක් ඇවිළෙන බවත් ජිබ්‍රිල් දේවදූතයා පවසනු තමාට ඇසුණු බව මුහම්මද් (සල්) තුමාණෝ පැවසූහ. ඔහු අපායේ භාරකරුගෙන් එහි තබන අය ගැන විමසූ විට, ඔහු පැවසුවේ එය කණ්ඩායම් තුනකට බවයි. එනම්, ගබඩා කරන්නන්, බේබද්දන් සහ ගනුදෙනු සඳහා කොමිස් උපයා ගන්නන්ය. (මුලාශ්‍ර ග්‍රන්තය – මුස්තාක් අල්වාසිල්)
  • උමර් (රලි) පවසයි. ‘මුස්ලිම්වරුන්ගෙන් යමෙක් ආහාර රැස්කර තබා ගන්නේද අල්ලාහ් ඔහුව රෝගයන්ගෙන් හා දරිද්‍රතාවයෙන් පීඩාවට පත් කරන බව නබි (සල්) තුමාණෝ පැවසූහ’. (මුලාශ්‍ර ග්‍රන්තය – සුනන් ඉබ්නු මාජා)
  • ඉබුනු උමර් (රලි) තුමා පවසයි ‘කිසිවෙක් අධික මිලක් ලබාගැනිම අරමුණින් හා ආශාවෙන් දින 40ක් ධාන්‍යයන් වෙළද පොළට නිතුක් කිරිමෙන් වළකින්නේ නම්, අල්ලාහ් (දෙවි) ඔහුව අත්හරින බව නබි (සල්) තුමාණෝ පැවසූහ. (මුලාශ්‍ර ග්‍රන්තය – අහ්මඩ් සහ අල්-හකිම්)

ඉහතින් ඉදිරිපත් කොට ඇති ඉස්ලාමීය අවවාද බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, ‘වැඩි මිලට විකිණිමේ අරමුණින් හා ඉදිරි පරිභෝජනය සදහා අසිමිතව භාණ්ඩ රැස්කොට තැබීම’ යන්න ලෞකිකව විවිධ ලෙඩ රෝගයන්ට සහ දරිද්‍රතාවයට ගොදුරුවීමට සිදුවන එසේම (මරණින්) මතු ජිවිතයේ දෙවියන්ගේ පිහිට අහිමි වන. ස්වර්ගයේ සුවද පවා අත්විඳින්න නොලැබෙන, නිරයෙහි ගින්නෙහි දැවෙන්න නියමිත මහා පවුකාර ක්‍රියාවක් යන්න පැහැදිලි වේ. ආගමිකව සැලකුවත් සමාජ ආචාර ධර්ම අනුව සැලකුවත් මහා පවුකාර අශිෂ්ඨ ක්‍රියාවක් වන මෙම ක්‍රියාවෙන් මිදිමට අප සියල්ල අධිශ්ඨාන කරගතයුතුය. ඒ සදහා අල්ලාහ් (දෙවි) අපගේ මනස විවෘත කර දෙත්වා! යන උතුම් ප්‍රාර්ථනයෙන් මෙම සටහන අවසන් කරමි.

අබු යාසිර්

Social Share

Leave a Reply