තණ්හාව – විමසුමක්

වස්තූන් රුස්කිරීම කෙරෙහි මිනිසා තුල ඇති අසීමිත ආශාව අද ලෝකය ඉතා අවාසනාවන්ත තැනකට ගෙන ගොස් ඇත. එක් පසෙකින් විශාල පරිසර හානීන්ට මෙන්ම තවත් පසෙකින් සමාජීය වශයෙන් පරිහානීන්යට මෙම තත්වය හේතු වී ඇත. සමාජීය හානිය පිලිබදව කථා කරන විට මේ තත්වය තුල මිනිස් ගුණාංග සමාජය තුල ගිලිහෙමින් පැවතීම මෙහි ප්‍රධාන ලක්ෂණයක් ලෙස විශේෂයෙන් සදහන් කලයුතුම කාරණයකි. එසේම දුප්පත් ජනයා තව තවත් දුප්පත් වීමටත්, පොහොසත් ජනයා තව තවත් පොහොසත් වීමටත් මෙම ‘අසීමිත තණ්හාව’ හේතුවී ඇත. මෙම අසීමිත වස්තු තණ්හාව නිසා තනිපුද්ගල, පවුල්, සමාජීය හා රටක්… යනාදී ලෙස සමස්පථ මිනිස් ප්‍රජාවම විනාශ මුඛයට තල්ලු වෙමින් ඇත. මෙම තත්වය අප අපේම රට තුල නොඅඩුව දකින්නෙමු. වත්මන් අපේ රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට මූලිකම හේතුව මේ රටේ සීමිත පිරිසකගේ අසීමිත වස්තු තණ්හාවම යන්න අද ප්‍රසිද්ධ රහසකි.

මෙවන් අවදියක කාලීන වශයෙන් වැදගත් වූ මෙම ‘තණ්හාව’ නැමැති විෂය පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීම පිලිබදව මෙතැන් සිට අවදානය යොමු කිරීමට අදහස් කරමි.

වත්මන් මිනිසා සියල්ල මටය, මගේය… යනුවෙන් පොදි බඳිමින් ජීවත්වන ආකාරයක් නිතර දකින්නෙමු. එසේ පොදි බඳින ධනය සදාකාලික නොවන බව තේරුම් ගන්නේ ඒ අතුරින් කීයෙන් කීදෙනාද?. සියල්ල මගේ, සියල්ල මට යන මනෝ බාවයෙන් කටයුතු කරන පිරිසයි සමාජයේ බහුතරයක් ඇත්තේ. මෙම ‘සියල්ල මගේයි… මටයි…’ යන මනෝ බාවයයි ‘තණ්හාව’ ලෙස හදුන්වන්නේ.

අපි කොතරම් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වූවත්, බැංකු ගිණුම්වල කෝටි ගණන් ධනය රුස් කොට තැබුවත්, ඉඩකඩම් තැන තැන අරන් තිබුණත්, රන්රිදී සේප්පුවල පුරවාගෙන සිටියත්… මේ සියල්ල ජීවිත කාලයටම භුක්තිවිඳීය නොහැකි තරම් නම්, අප අපගේ ජීවිතයේ ඉතිරි කාලය අධිසුඛෝපභෝගි ලෙස ගතකලත් අප රුස්කොට ඇති ධනය අවසන් නොවන තරම් නම්, මේ සියල්ල දිනක අතහැර මරණය භාරගන්නට සිදුවනවා නම් අප අපගේ ජීවිත කාලය තුල එවන් ධනස්කන්ඳයක් රුස් කරන්නට ගත් වෙහෙසෙහි අරුථ කුමක්ද?.

මෙතැනදී මුහම්මද් (සල්) තුමාණන්ගේ දිව්‍ය වදනක් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නට සිතේ. එනම්,

අබ්දුල්ලාහ් බින් අෂ්ෂිකීර් (රලි) තුමා මෙසේ පැවසීය,

‘සොහොන හමුවන තුරුම අධිකව ධනය රුස්කිරීම කෙරෙහි ඔබේ අවධානය හැර වී ඇත’ යන 102 වන අල්කුර්ආන් පරිච්ඡේදය නබිතුමාණන් පාරායනය කරමින් සිටියදී මම නබි (සල්) තුමාණන් හමුවට ගියෙමි. එවිට එතුමාණන් ‘ආදම්ගේ දරුවන් (වන මිනිසුන්) මගේ ධනය… මගේ ධනය… යයි පවසයි. ආදම්ගේ පුත්‍රය, ඔබ අනුභව කළ දෑ, ඔබ පැලඳ දිරාගිය (වස්ත්‍ර යනාදිය) දෑ (අන් අයට) දාන පරිත්‍යාගයන් කොට (පරලොව සඳහා) ඉතිරි කළ දෑ හැර ඔබේ ධනයෙන් ඔබට ඇත්තේ කුමක්ද?’ යයි විමසන ලදී.

මුලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම්

බුද්ධිමත්ව සිතා බලන්නේ නම්, ඉහත හදීසයේ සදහන් කරුණු 03 හැර අපට අයිති යැයි කිවහැකි කිසිවක් සැබෑවටම නැති බව පැහැදිලි වනු ඇත. මෙම යථාර්තය ජීවිතය තුල අවබෝධ කරගත හැකි වේ නම්, සියල්ල මට…මගේ…යන තණ්හා මනෝභාවය කිසිවිටෙක කිසිවකුගේ සිතේ ඇති වන්නේ නැත. කොතරම් ධනය රැස් කළත් මරණය පැමිණි විට ඒ සියල්ල එලෙසම තබා යන්නට සිදුවන බව තේරුම් ගන්නේ නම්, එවැනි සිත් තුල තණ්හාව උපදීමට ඉඩක් නැත.

මේ යථාර්තය තේරුම් ගැනීමට අපොහොසත් වනවිට දිවා-රාත්‍රි නොකා-නොබී වස්තුන් රුස්කිරීමේ අරමුණින් මැරෙණ මොහොත දක්වාම ධනය පසුපස හඹායන අවාසනාවන්ත  ඉරණමට අප තල්ලුවේ. ආරම්භයේ ලක්ෂයක් උපයන්න අප උත්සාහ කරන්නෙමු. නමුත් ලක්ෂය ඉපයූ විට එතැනින් සෑහීමට පත්නොවී ලක්ෂ 10ක්, මිලියනයක්, බිලියනයක්, ට්‍රීලියනයක්… යනාදී ලෙස තව තවත් සිහින මවන්නෙමු. අපේ ආසාවේ නිමක් නොදකින්නෙමු. මේ නිමක් නැති නැඹුරුව එක්තරා ආකාරයක මානසික රෝගී තත්වයක් යන්න අප අවබෝධ කර නොගන්නෙමු. කොතරම් වස්තූන් රුස්කලත් ඒ සියල්ල ජීවිත කාලය තුල භූක්ති විඳින්න බැරි බව අප හොදින්ම දන්නෙමු. කොයි මොහොතක හෝ මේ සියල්ල අතහැර යාමට සිදුවන බවද අප දන්නෙමු. එසේ වුවත් ධනය පසුපස හති හලමින් දුවන්නෙමු. මෙය මානසික රොගී තත්වයක් නොවේද?.

මෙම තත්වයයි නබිතුමාණන් පහත ආකාරයට මිනිස් සමාජයට අවවාද කලේ…

නබි (සල්) තුමාණෝ මෙසේ පැවසූහ.

‘ආදම්ගේ දරුවන් (වන මිනිසුන්)ට රත්‍රං ගඟක් තිබුණේ නම්, ඔහු මට රත්‍රං ගංගා දෙකක් තිබුණා නම් හොදයි කියා සිතනු ඇත’. (තණ්හාවෙන් පිරුණු) ඔහුගේ මුඛය වැලි (මරණය) හැර අන්කිසිවකින් පිරවෙන්නේ නැත. (මෙවැනි තණ්හාවෙන් මිඳී) තමන් කල වරදට පසුතැවිලි වී අල්ලාහ් (දෙවි)ගෙන් සමාව අයදින්නේ නම්, එය අල්ලාහ්(දෙවි) පිළිගන්නේය.

මූලාශ්‍ර ග්‍රන්තය – බුහාරී

වස්තූන් ඉපයීමත්, එය රුස්කීමත් තමන්ගේ අවශ්‍යතාවයට තරම් වියයුතුය. අසීමිත ආශාවන් සිතෙහි පුරවාගෙන ජීවිත කාලය ඒ වෙනුවෙන් වෙහෙසුනත් තමන්ට නියමිත මරණය සම්මුඛ වන මොහොතේ එවන් පිරිසට ඉතිරි වන්නේ පසුතැවීම පමණි. එතෙක් තමන් කල දාන-මාන පිංකම් හා කුසල ක්‍රියාවන් හැර වෙන කිසිවක් ඒ මොහොතේ තමන්ට ප්‍රයෝජනවත් නොවේ.

මේ හේතුව නිසයි ඉස්ලාම් දහම තණ්හාව නැමැති පිලිලය මිනිස් ජීවිතවලින් ඈත් කොට දාන-මාන පිංකම් ගැන මුස්ලීම් සමාජය උනන්දු කරවන්නේ.

අබු යාසිර්

Social Share

Leave a Reply