ආහාර අර්බුදය විමසුම 01 – ආහාර අර්බුදය හමුවේ වත්මන් ලෝකය

වත්මන් ලෝකයේ මිලියන සංඛ්‍යාත ජනතාවක් මුහුණ පා ඇති දරුනුම ඛේදවාචකය ආහාර හිඟය හා මන්දපෝෂණයයි. මේ හේතුව නිසා දෛනික විශාල මරණ සංඛයාවක් සිදුවෙමින් තිබෙනවා යන්න තිත්ත  වු ඇත්තයි. එක්තරා වාර්ථාවකට අනුව සෑම වසරකම මිලියන 9 ක පමණ මිනිසුන් කුසගින්නෙන් හා කුසගින්න ආශ්‍රිත රෝග හේතුවෙන් මිය යන බව පැවසේ. මෙය ඒඩ්ස්, මැලේරියාව සහ ක්ෂය රෝග හේතුවෙන් සිදුවන මරණවලට වඩා වැඩි අගයකි. ලොව කොතැනක හෝ සෑම තත්පර 10 කට වරක් දරුවෙකු කුසගින්නෙන් මිය යන බවත්, දුර්වල පෝෂණය සහ කුසගින්න හේතුවෙන් වසරකට ළමුන් මිලියන 3.1 ක් මිය යන බවත්, එය ලොව පුරා වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණවලින් 50% ක් බවත් වාර්තා වේ.

මෙවන් පසුබිමක විශේෂයෙන් වත්මන් ශ්‍රී ලංකාව ද මෙම අර්බුදය තුල අද උච්ච තැනක සිටින පසුබිමක මෙම විෂය විවිධ පැති ඔස්සේ මෙතැන් සිට සාකච්චා කිරිමට අදහස් කරමි. එහිදී පහත අනුමාතෘකා ඔස්සේ මෙම සාකච්චාව ආරම්භ කරමි,

  • කුසගින්න යනු කුමක්ද?
  • ඇයි මිනිස්සු කුසගින්නේ?
  • ජනතාව කුසගින්නෙන් සිටිම මඟින් ලෝකයට ඇති වන බලපෑම් කෙතරම් මාරාන්තිකද?
  • ලෝක ආහාර අර්බුදය හමුවේ ඇති අභියෝග මොනවාද?
  • ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ඉස්ලාම් ප්‍රායෝගික ඉදිරිපත් කරන ක්‍රමවේද මොනවාද?

කුසගින්න යනු කුමක්ද?

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයට (FAO) අනුව, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සදහා උසට සරිලන අවම බරක් පවත්වා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාගැනීමට ගතයුතු පෝෂ්‍යදායී අවම ආහාර වේලක් ලබාගැනීම අත්‍යඅවශ්‍ය වේ. එය නොලැබෙන විට එතැන ඌන පෝෂණයක් නොඑසේ නම් කුසගින්නක් පවතී. මේ අනුව කුසගින්න යනු පුද්ගලයෙකුට, තිරසාර කාලයක් සඳහා, මූලික පෝෂණ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ආහාර නොලැබීම යන්නයි.

ඇයි මිනිස්සු කුසගින්නෙන්?

විවිධ කාලවල හා විවිධ අවස්ථාවල ලෝකය තුල සිදුවන විවිධ සිද්ධීන් හේතු කොට ගෙන ආහාර අර්බුදය ලොව තුල නිර්මාණය වේ. නිදසුනක් ලෙස මෑතකාලීන කෝවිඩ් අර්බුදය මෙහි සදහන් කලහැක. ලොවපුරා පැතිරුණු Covid-19 වෛරසය හේතුවෙන් සංචරන සීමාවන් පැනවීම නිසා අවදානමට ලක්ව ඇති දිළිඳු ජනයාගේ ආදායමට බලපෑම් ඇතිවිමට පටන් ගෙන ඇත.

මේ ආකාරයටම…

  • ගොවීන් හට බීජ, පොහොර හා ගොවි උපකරණ නිසා ලෙස නොලැබීම,  
  • අකාර්යක්ෂම කෘෂිකාර්මික ක්‍රමවේද,
  • යටිතල පහසුකම් නොමැතිකම,
  • රටවල් හි පවතින නිරන්තර යුද්ධ සහ අවතැන්වීම්,
  • ස්වභාවික විපත්, දේශගුණික විපර්යාස,
  • අරාජික අයහපත් පාලනය හා  දරිද්‍රතාවය නිසා ආහාර මිලදී ගැනීමේ හැකියාව නොමැතිකම.
  • අස්වනු ගබඩා කිරීමේ දි නිසි ක්‍රමවේද අනුගමනය නොකිරිම නිසා ආහාර විනාශ වීම,
  • අකාර්යක්ෂම සැපයුම් දාමය,
  • බලධාරීන්ගේ නිසි කළමණාකරණයක් නොමැතිකම,
  • අනුවණක්කාර ප්‍රතිපත්ති පාලකයන් විසින් ක්‍රියාවට නැංවිම,

වැනි කාරණයන්ද ලොව තුල ආහාර අර්බුදයක් ඇති වීමට බලපා ඇත. මිට අමතරව ආහාර සුරක්ෂිතතාවයේ පවතින දුර්වලතාවය නිසා ලොව පුරා නිපදවන ආහාරවලින් තුනෙන් එකක් පමණ කිසිදු ආකාරයකට පරිභෝජනයට නොගෙනම විනාශ වී යන අවාසනාවන්ත තත්වයක් වත්මන් ලොව තුල පවතින බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයට FAO වාර්තාවකින් පෙන්වාදේ. මෙවන් හේතුන් රාශියක් නිසා ලොව තුල ආහාර අර්බුදය දිනෙන් දින උග්‍ර වී ජනතාව කුසගින්නේ සිටීමේ තත්වයක් නිර්මාණය වී ඇත.

ජනතාව කුසගින්නෙන් සිටිම මඟින් ලෝකයට ඇති වන බලපෑම් කෙතරම් මාරාන්තිකද?

1990 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය කුසගින්නෙන් පෙළෙන පුද්ගලයින් සංඛ්‍යාව අඩකින් අඩු කිරීම සඳහා සංවර්ධන ඉලක්කයක් තැබූ බවත්, ඒ අනුව 1990 සහ 2015 අතර ගෝලීය සාගින්න බිලියන 2 කින් අඩු කිරීමට හැකි වු බවත් එහි වාර්ථාවක සදහන් වේ. නමුත් 2019 එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දෙන්නේ පසුගිය වසර තුන තුළ එම සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව එක් එක් වර්ෂයන් හි මන්දපෝෂණයට ගොදුරු වු පුද්ගල සංඛ්‍යාවේ වැඩිවීම පහත ආකාරයට වේ. එනම්,

  • 2015 දී මිලියන 784 ක් වු බවත්,
  • 2016 දී එය මිලියන 804 වූ බවත්,
  • 2017 දී එය මිලියන 821 වූ බවත්,
  • 2018 දී එය මිලියන 822 වූ බවත්,
  • 2021 දී එය මිලියන 854 වූ බවත් එහි වාර්තාවක සදහන් වේ.

තවදුරටත් පවසනවා නම්, ඔක්ස්ෆෑම් හි 2021වාර්තාවකට අනුව සෑම දිනකම පුද්ගලයන් 15,345 පමණ කුසගින්න හා මන්දපෝෂණය හේතුවෙන් මිය යන බව පැවසේ. එනම්, සෑම විනාඩියකටම පුද්ගලයන් 11 දෙනෙකු කුසගින්නෙන් මිය යන බවයි. මෙය 2021 ජූලි මාසයේදී විනාඩියකට පුද්ගලයින් 7ක් පමණ වූ COVID වෛරසය නිසා සිදුවු මරණ අනුපාතයට වඩා වැඩි මරණ අනුපාතයකි. මෙම කරුණු තුලින් මෙම ආහාර අර්බුදයේ බලපෑම කොතරම්ද යන්න ඔබට දැන් පහසුවෙන් අවබෝධ වනු ඇත.

ලෝක ආහාර අර්බුදය හමුවේ ඇති අභියෝග මොනවාද?

දැනට ලොව පවතින ජනගහනය 2050 වන විට බිලියන 10 දක්වා ඉහළ යනු ඇතැයි විද්වතුන් පුරෝකථනය කොට ඇත. එය අද පවතින් බිලියන 7.7 යන අගයට වඩා වැඩි අගයකි. වෙනත් ආකාරයකට පවසනවා නම්, වත්මන් ආහාර අර්බුදයට 2050 වන විට තවත් බිලියන 2කට වැඩි පිරිසක් එක්වනවා යන්නයි. අදටත් ලොවපුරා මිලියන 850ක් පමණ ආහාර අර්බුදයට මුහුණදී සිටියදී තවත් බිලියන 02ක් වු ජනතාවක් වැඩිවිම ලෝකයට කවර ආකාරයට බලපානු ඇත්ද?. එම අභියෝගය ජයගන්නේ කෙසේද?. මෙයයි අද තිබෙන විශාලතම අභියෝගය.

මෙම අභියෝගය ජය ගැනීමට නම්, පලමුව ගතයුතු පියවර වන්නේ ආහාර නාස්තිය අවම කිරීම සඳහා ලොව සැම රාජ්‍යයක්ම අඛණ්ඩ සාමුහික යාන්ත්‍රණයක් සකස් කිරිමයි. මන්ද මිනිස් පරිභෝජනය සඳහා නිපදවන ආහාරවලින් තුනෙන් එකක් (1/3 ක්) පමණ පරිභෝජනයට නොගෙන විනාශ වීමේ අවාසනාවන්ත තත්වයක් දැනටත් ලොව පැවතීමයි. එසේ කලානම් දැනට පවතින මෙම නාස්තිය 2050 වන විට 25% කින් අඩු කිරීමට හැකිවනු ඇතැයි යන්න පරියේෂකයින්ගේ පුර්ව නිගමනයයි. මිට අමතරව සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර ගබඩා කිරීමේ ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීම, ආහාර කල්තබා ගැනිමේ ක්‍රමවේද වැඩිදියුනු කිරීම, වැඩිදියුණු කරන ලද කෘෂි විද්‍යාත්මක පිළිවෙත් සදහා ගොවීන් යොමු කිරීම, සෞඛ්‍ය සම්පන්න කෙටිකාලීන භෝග වගාව සහ සත්ව පාලනයන්ට යොමුවිම… යනාදීය ද මෙහිදී යොදා ගතහැකි උපක්‍රම කිහිපයකි. 

මේ ආකාරයට ඉහත ක්‍රමවේදයන් නිසි අයුරින් ලෝකය තුල ක්‍රියාත්මක කරන්නේ නම්, කිසිවක් කිසිදු ආකාරයකින් වෙනස් කිරීමකින් තොරව 2050 දී වැඩි වන අතිරේක බිලියන 2.3 වු ජනයාට ද අවශ්‍ය ප්‍රමාණවත් ආහාර සැපයිම කිසිදු අභියෝගයක් නොවනවා යන්න පරියේෂකයන්ගේ නිගමනයයි. මේ සදහා සාර්ථක ක්‍රියාකාරී වැඩපිලිවලක් ක්‍රියාවට නැංවීම පමණයි කලයුතුව ඇත්තේ.

මෙම ලිපියෙහි තවත් කොටසක් පහතින් කියවන්න…

අබූ යාසිර්

Leave a Reply