ආහාර අර්බුදය විමසුම 03 – දිළිදන් පෝෂණය කිරිම සදහා ඉස්ලාම් පවසන උපක්‍රම හා අවවාද

වත්මන් ලෝකය මුහුණ පාමින් සිටින ආහාර අර්බුදයට ඉස්ලාම් පවසන ප්‍රායෝගික වැඩ පිලිවෙල පිලිබදව කථා කරන ලිපි පෙලෙහි පලමු ලිපිය වන ‘ආහාර අර්බුදය විමසුම 01 – ජාත්‍යන්තර විමසුම‘ යන ලිපිය තුලින් වත්මන් ලෝකය තුල ආහාර අර්බුදයේ ස්වභාවය පිලිබදවත්, දෙවන ලිපිය වන ‘ආහාර අර්බුදය විමසුම 02 – ඉස්ලාම් පවසන ප්‍රායෝගික වැඩපිලිවල’ යන ලිපිය තුලින් මෙම අර්බුදයෙන් මිදීමට ඇති හැකියාව හා වැඩපිලිවල කුමක්ද? යන්නත් සාකච්චා කලෙමි.

එම ලිපි පෙලෙහි තවත් දිගුවක් ලෙස ‘ආහාර අර්බුදය විමසුම 03 – දිළිදන් පෝෂණය කිරිම සදහා වු උපක්‍රම හා අවවාද’ යන මෙම ලිපිය තුලින් දිළිදන් පෝෂණය කිරිමට ඉස්ලාම් දහම යෝජනා කොට ඇති වැඩ පිලිවෙල සහ එම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම නිසා අපට හිමිවන භාග්‍යයන් හා එසේ නොකිරීම නිසා අපට අත් වන ඉරණම කුමක්ද? යන්න මෙම ලිපිය තුලින් සාකච්චා කිරිමට අදහස් කරමි.

වරදකට දඬුවමක් ලෙස දුප්පතුන් සදහා ආහාර ලබාදීමට නියම කිරීම

  • පොරොන්දුවක් කඩකිරීමේ වරදට දඬුවම වන්නේ දුප්පත් පුද්ගලයන් දස දෙනෙකුට තම පවුල් පෝෂණය කරන ආහාරවලින් ම පෝෂණය කිරීම කලයුතු බව පවසයි.

නොසැළකිල්ලෙන් (අවබෝධයෙන් තොරව) දිවුරන නුඹලාගේ දිවුරිම් සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලාව වරදට පත් නොකරයි. නමුත් නුඹලා ඕනෑකමින් (අවබෝධයෙන් යුතුව) කරන දිවුරිම් සම්බන්ධයෙන් ඔහු නුඹලාව වරදට හසු කරයි. එයට (දිවුරිම් කඩ කිරීමේ වරදට දෙන) පිළියම නම්, නුඹලාගේම පවුලේ අයට සපයනු ලබන තත්ත්වයේ සාමාන්‍ය ආහාර පානවලින් දිළින්දන් දස දෙනකුට සංග්‍රාහ කිරීමයි. නැතිනම් ඔවුන්ට අඳුම් දන් දීමයි. එසේ නැත්නම් එක දාසයකු (වහළකු) නිදහස් කිරීමයි. කවරකු හෝ (මෙයින් එකක්වත් කිරීමට) අපොහොසත් වේ නම් ඔහු දින තුනක් සව්ම් (උපවාසය) සමාදන් විය යුතුය. නුඹලා දිවුරා ඇති නුඹලාගේ දිවුරීම් කඩ (කළා නම්) ඊට පිළියම (විපාකය) මෙයයි. (එබැවින්) නුඹලාගේ දිවුරීම ආරක‍ෂා කරගනු. නුඹලා ගුණ ගරුක වීම පිණිස අල්ලාහ් මෙසේ තම අණපනත් නුඹලාට පැහැදිලිව දක්වයි.

අල්කුර්ආන් 5-89

  • උපවාස (රාමසාන්) මාසයේ රැකිය යුතු උපවාසයන් අත්හැරුණේ නම්. එයට පිලියමක් ලෙස අදාල දින ගණනට සරිලන සේ දුප්පතුන්ට ආහාර සැපයීම සිදු කලයුතු බව පවසයි.

(සව්ම්) නියමිත දින ගණනක්(ඉටුකළ යුතු)ය. ඉදින් නුඹලාගෙන් යමෙකු රෝගී වුවහොත් හෝ ගමනක යෙදී සිටියහොත් හෝ (ඔහු) එම දින ගණනම වෙනත් දිනවල (සව්ම් සමාදන් විය යුතුය.) තවද, එය ඉටු කිරීමට හැකි කෙනෙකු (සව්ම් සමාදන් නොවූයේ නම්) එයට (දිය යුතු) වන්දිය නම්, (එක් සව්ම් දිනයකට) එක් ඳිළින්දෙකුට ආහාර දන් දීමයි. යමෙකු සිය කැමැත්තෙන්ම මීට අමතර යහපත් යමක් කරන්නේ නම් එය ඔහුට යහපතක්ම වේ. එහෙත් නුඹලා දන්නේ නම් (වන්දි දීමට වඩා) සව්ම් සමාදන් වීමයි නුඹලාට වඩාත් යහපත් වන්නේ.

අල්කුර්ආන් 2-184

  • මුස්ලිම්වරයෙකු තම බිරිඳ සමඟ විවාහ සබඳතා නැවැත්වීමේ අරමුණින් ඇයව “මව” ලෙස හැඳින්වීමේ (ජාහිලියා) අතීත සම්ප්‍රදාය අනුව කටයුතු කලේනම්, එයට පිලියමක් ලෙස දුප්පතුන් 60 දෙනෙකුට ආහාර ලබාදීම කලයුතු බව පවසයි.

එබැවින් කවුරුන් හෝ තමන්ගේ භාර්යයාවන්ව (තම) මවට සම කර පැවසූ පසු, එම කියමනෙන් ආපසු (නැවතත් එක්කාසු වීමට කැමති වුවහොත්) ඒ දෙදෙනාම කෙනෙකුට කෙනෙකු ස්පර්ශ කිරීමට පෙරම (මෙසේ සම කර කතා කිරීමේ වරදට වන්දි වශයෙන්) එක් වහලෙකු නිදහස් කර හැරිය යුතුය (යයි) මෙමගින් ඔබට දේශනා කරනු ලබන්නෙහුය. අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය. (58-3)

(නිදහස් කළ හැකි වහලෙකුව) කවුරුන් හෝ ලබා නොගතහොත් ඒ දෙදෙනාම කෙනෙකුට කෙනෙකු ස්පර්ශ කිරීමට පෙරම (ඔහු) මාස දෙකක් එක දිගට උපවාසයේ යෙදිය යුතුය. (මෙසේ උපවාසයේ යෙදීමට) ශක්තියක් නොමැති අය, දුප්පතුන් හැට දෙනෙකුට (මධ්‍යස්ථ තත්වයේ) ආහාර ලබා දිය යුතුය. අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද ඔබ (ඇත්තෙන්ම) විශ්වාසය තබා ඇත්තෙහුය යන්න සඳහා (මෙම නියෝගය මෙසේ පහසු කර තැබුවේය). මේවා අල්ලාහ්ගේ සීමාවන් වන්නේය. (මේවා කඩ කිරීම මගින්) ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනා ගෙන දෙන දඬුවම් ඇත.

අල්කුර්ආන් 58-3 හා 4

  • හජ් වන්දනා ගමනක නිරතව සිටින විට සතුන් දඩයම් කිරීම වරදකි. එම වරද කිසිවකු කරන්නේ නම්, එයට පිලියමක් ලෙස දුප්පතුන්ට ආහාර ලබාදීම කලයුතු බව පවසයි.

විශ්වාසවන්තයිනි! නුඹලා (හජ් වන්දනය සදහා) ඉහ්රාම් තත්ත්වයෙන් සිටිනා විට දඩයම් සතුන් නොමැරිය යුතුයි. තවද නුඹලා අතුරින් කෙනකු සිතාමතාම (ඉහ්රාම් තත්ත්වයෙන්) එය (දඩයම් සතුන්) මැරුවා නම්, ඊට සමාන අගයකින් යුත් එළු, ගව, ඔටු යනාදියෙන්, නුඹලා අතුරින් සාධාරණ (අපක්ෂපාත) මිනිසුන් දෙදෙනකු තීරණය කරන හදිය්යු එකක් (කැප කරන සතකු) ඔහු පරිභාරයක් වශයෙන් කඃබාහ්ව වෙත යැවිය යුතුයි. නැතහොත් (එසේ කිරීමට අපොහොසත් වුවහොත්) ඔහු වන්දිය වශයෙන් දිළින්ඳන්ට ආහාර සැපයිය යුතුයි. නැතහොත් ඊට සිරිලන සේ සවුම් (උපවාසය) රැකිය යුතුයි. තමා කළ ක්‍රියාවට විපාකය විඳීම සඳහා (මෙසේ පැනවේ) මීට පෙර කළ දෑට අල්ලාහ් සමා කළේය. නමුත් යමකු එය නැවත කළේ නම් අල්ලාහ් ඔවුන්ගෙන් පළිගනු ඇත. අල්ලාහ් සර්වබල සම්පන්නය, දඬුවම් කරන්නාද වේ.

අල්කුර්ආන් 5-96

දෙවියන් විසින් මුස්ලීම්වරයෙකුට පනවා ඇති නියෝග ඔහු පැහැර හරින විට එයට පිලියම් ලෙස සමාජයේ පීඩිතයන්ගේ කුසගින්න නිවාලන්නට මැදි වන ලෙස ඉස්ලාම් යෝජනා කිරීම තුල මෙය දිව්‍යමය හා අසමසම කාලීන මඟපෙන්වීමක් යන්න බුද්ධිමත්ව විමසා බලන ඕනැම කෙනෙකු හට හොදින් පැහැදිලි වනු ඇත.

සzකාත් (සකාත්) නම් අනිවාර්‍ය බද්ද නියම කිරීම

ඉස්ලාම් දහම කුළුණු 05ක් මත ගොඩනැඟි ඇති බවත්, ‘සzකාත්’ නම් අනිවාර්‍ය බද්ද ගෙවීම එයින් එක කුළුණක් බවත්, එහි කොන්දේසි හා නීති-රීති මොනවාද? යන්නත් මීට ඉහත මෙම අඩවිය තුල දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත. (එම ලිපිය මෙතැනින් කියවන්න)

  • සමාජයේ අවදානමට ලක්විය හැකි ජනතාව සඳහා තිරසාර සමාජ ආරක්ෂාවක් සලසාදීම අරමුණු කොට සහ ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව සඳහා පහසුකම් සැලසීම අරමුණු කොට, ඉස්ලාම් දහම විසින් දුප්පතුන් සදහා වු ‘සzකාත්’ නම් දානයක් ගෙවීමට නියෝග කරයි.

නුඹලා දයාව ලබනු පිණිස (පස්වේල් නැමදුම වන) සලාතය ඉටු කරනු. සකාත් ගෙවනු. රසූල්වරයාට කීකරුවනු.

අල්කුර්ආන් 24-58

  • අසරණයන්, දිළින්දන් සහ ණයකරුවන් ඇතුළු සකාත් නම් බද්දට හිමිකම් කියන ප්‍රතිලාභීන් කවුරුන්ද යන්න මෙහි විස්තර කරයි.

ඇත්ත වශයෙන්ම (එකතු කෙරෙන) සදකාත් (නොහොත් සzකාත්) අසරණයන්ටත්, දිළින්දන්ටත්, ඒවා (සzකාත්-එකතු කිරීමට හා බෙදාදීම) සඳහා (පත්කර ඇති) සේවකයන්ටත්, ඔවුන්ගේ සිත් (සත්‍යය කරා) එකඟ කරගනු ලබන අයටත්, වහලූන්(මුදවා ගැනීම සඳහා වන්දි ගෙවීම)ටත්, ණයකරුවන්ට(උපකාර කිරීමට)ත්, අල්ලාහ්ගේ මාර්ගය වෙනුවෙන් සහ මගීන්(සඳහා ආගන්තුක සත්කාර කිරීම)ටත්, පමණක් අයත් වේ. (මෙය) අල්ලාහ්ගෙන් (නිර්ණය) වූ අනිවාර්ය(යුතුකම)කි. නියත වශයෙන්ම අල්ලාහ් සර්වඥානීය, සර්ව ප්‍රඥයය.

අල්කුර්ආන් 9-60

සzකාත් බද්ද ගෙවීමේ සුදුසුකම් සපුරා ඇති සෑම මුස්ලීම්වරයෙකුම එම බද්ද ගෙවීම පස්වේල් නැමදුම ඉටුකරනවා සේම අනිවාර්‍ය නැමදුමකි. එය පැහැර හැරීම මහා පාපයක් යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්විමයි. තමන් උපයන මුදලින් 2.5% ක් ඉහත 9-60 වාක්‍යයේ සදහන් පාර්ශවයන්ට ප්‍රදානය කිරීමේ ඉස්ලාමීය නීතිය තුලින් ද පැහැදිලි වන්නේ සමාජයේ අසරණ, දිළින්ඳු පීඩිත ජනයා හට පිහිටක් වන ලෙස ඉස්ලාම් සැම විටම පෙනීසිටින බවයි.

දුප්පතුන් පෝෂණය කිරිම පිළිබඳ ඉස්ලාමයේ පොදු අනුශාසනා

විනිශ්ච(දින)ය අසත්‍ය යැයි තර්ක කරන්නා ඔබ දුටුවෙහි ද?(2). අනාථයින් කෲර ලෙස පළවා හරින්නේ ඔහුමය (3). තවද ඔහු දුප්පතුන්ට ආහාර සැපයීම පිණිස (අන් අය ) දිරි නොගන්වන්නේය. (4)

අල්කුර්ආන් 107-2 සිට 4

දුප්පතුන්ට ආහාර සැපයීම නොසලකා හරින ඕනෑම අයෙකු, ආගමේ හරය ප්‍රතික්ෂේප කල කෙනෙකු බව ඉහත වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) අල්කුර්ආනයේ අවදාරණය කරයි. මේ තුලින් ‘දුප්පතුන් පෝෂණය කිරීම’ මුස්ලීම් සමාජයේ අනිවාර්‍ය  වගකීමක් හා යුතුකමක් යන්න පැහැදිලි වේ. ඒ ආකාරයටම අල්කුර්ආනයේ කෙරෙන තවත් අවවාදයකට ඔබේ අවදානය යොමු කරන්නේ නම්,

(යහපත, අයහපත වූ) මාර්ග දෙකක් අප ඔ‍හුට පෙන්වූයෙමු. නමුත් ඔහු “අකබාව” පසු නොකළේ ය. (නබි!) අකබා යනු කුමක්ද යන්න ඔබට කුමක් දන්වන්නේද?. (එය) වහළෙකු නිදහස් කීරීමය. නැතිනම් කුසගින්නෙන් පසුවන අයට ආහාර පාන ලබා දීමය. ඥාති අනාථයෙකුට හෝ නැතිනම් පොළොවෙහි සැරිසරන දළින්දෙකු‍ට හෝ ආහාර පාන ලබා දීමය.

අල්කුර්ආන් 90-10 සිට 16

ඉහත අල්කුර්ආන් වාක්‍යයන් දෙක තුලින්ම අසරණ, අනාථ, දුප්පත් ජනයාට ආහාර ලබාදීමේ අවශ්‍යතාවය සහ එහි වගකීම දැඩිව අවදාරනය කරන  ආකාරය පැහැදිලිව පෙනේ. අල්ලාහ් (දෙවි) මුස්ලීම්වරුන් වන අපෙන් ඔවුන් සම්බන්ධයෙන් එවන් අනුකම්පාවක් සහ ආදරයක් අපේක්ෂා කරයි. මෙලෙස පීඩිත ජනයා වෙනුවෙන් අනුකම්පා සහගතවහා දෙවියන්ගේ ආශිර්වාදය අපේක්ෂාවෙන් කටයුතු කරන මුස්ලීම්වරුන් හට ලැබෙන භාග්‍යයන් ද ඉස්ලාම් දහම තම දේව ග්‍රන්තයේ නොකියා නොවේ. එවැනි සදහනක් වෙත මෙතැනදී ඔබේ අවදානය යොමු කරන්නේ නම්,

දුප්පතුන් පෝෂණය කරන මුස්ලිම්වරුන් හට හිමිවන භාග්‍ය හා අභාග්‍ය පිලිබදව අල්කුර්ආනයේ ඉගෙන්විම.

  • ‍(දානමාන ලබා ගන්නා අයට) “අපි ඔබට අහාර ලබා දෙන්නේ, අල්ලාහ්ගේ මුහුණ උදෙසාම මිස, ඔබ වෙතින් අපි කිසිම කුලියක් හෝ නැතහොත් (ඔබ අපට) කෘතඥ වීම හෝ අදහස් කළේ නැත” (යයිද)
  • “නියත වශයෙන්ම අපි කෝපයෙන් යුතු මුහුණින් දත්මිටි කමින් විදිණු ලබන අප දෙවියන් වෙත ඇති එක් දිනයක් ගැන බිය වන්නෙමු” (යයිද පවසමින් සිටියහ)
  • එබැවින් අල්ලාහ් එවැනි දිනයක විපත්වලින් ඔවුන්ව බේරාගෙන ඔවුන්ගේ මුහුණෙහි සන්තෝෂයද, සිරියාවද ලබා දුන්නේය.
  • තවද ඔවුන් මෙලොව (අමාරුකම්) විඳ දරාගෙන සිටි හේතුවෙන් ස්වර්ගයද, (හැඳ ගැනීමට) පට ඇඳුම්ද ඔවුන්ට ඵලවිපාක වශයෙන් ලබා දුන්නේය.
  • (ඔවුන්) එහි ඇති සිංහාසනයන්හි (ඇති පුළුන් කොට්ට මත) හාන්සි වී සිටිනු ඇත. එහි සූර්ය උෂ්ණත්වයද, පින්නෙහි දරුණු ශීතයද දකින්නේ නැත.
  • එහි ඇති (ගස්වල) සෙවණ ඔවුන්ව ආවරණය කරගෙන සිටිනු ඇත. ඒවායෙහි පලතුරු (පහසුවෙන් කඩා ගත හැකි අන්දමට ඔවුන් ඉදිරියේ) පහත් වී තිඛෙණු ඇත.
  • (විවිධ වර්ගයේ රසවත් පානයන්ගෙන් පිරි) පළිඟූ බඳුන්ද, රිදී කුසලානද, ඔවුන් ඉදිරියේ කැරකෙමින්ම ඇත.
  • (ඒවා පළිඟූ නොව. එහෙත්) පළිඟූ මෙන් රිදියෙන් (ඔවුන්ගේ අවශ්‍යතාවයට) සරිලන සේ නිර්මාණය කරනු ලැබ ඇත්තේය.
  • (ඉඟූරු මිශ්‍ර) සන්ජබීල් නමැති (ඉතාමත් උසස්) පානයක්ද, එහිදී ඔවුන්ට පානය කිරීමට සලස්වනු ලැබේ.
  • එය එහි ඇති එක්තරා උල්පතක ජලයයි. එයට සල්සබීල් යයිද හඳුනවනු ලැබේ.
  • කවදත් වෙනස් නොවන තරුණ වියේ අය, ඔවුන් වටා කැරකෙමින්ම සිටින්නාහ. (නබියේ!) ඔබ ඔවුන්ව දුටුවහොත් විසිරුණු මුතු මෙන්ම ඔවුන්ව සලකන්නෙහිය.
  • තවත් අවධානය කර බැලූවහොත් ඉමහත් රජ මාලිගාවන්හි ඇති සුඛෝපභෝගී සියල්ල (එහිදී) ඔබ දකින්නෙහිය.
  • ඔවුන්ගේ ශරීරය මත සිනිඳු කොළ වර්ණයේ පට සේලයන් හෝ, නැතහොත් උසස් වර්ගයේ පට සේලයන් හෝ ඇත. (පරිත්‍යාග වශයෙන්) රිදී වළලූද, ඔවුන්ට පළඳවනු ලැබේ. (මේවාට අමතරව) පරිශුද්ධ වූ එක් පානයක්ද, ඔවුන්ගේ දෙවියන් ඔවුන්ට පානය කරවනු ලැබ,
  • (ඔවුන්ට) “නියත වශයෙන්ම මෙය ඔබට ඵලවිපාක වශයෙන් දෙනු ලැබීය. ඔබගේ උත්සාහයද බාර ගනු ලැබීය” (යයිද කියනු ඇත).

අල්කුර්ආන් 76-09 සිට 22

ඉහත අල්කුර්ආන් 76-09 සිට 22 දක්වා වු වාක්‍යයන් බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, අසරණ, අනාථ, දුප්පත් පීඩිත ජනයා හට ආහාර ලබාදීම හේතුවෙන් ඔවුනට සතුටද, ස්වර්ගයද, එහි වස්ත්‍රය ලෙස පට සේලද, අසුන ලෙස සිංහාසනයන්ද, එහි සූර්ය උෂ්ණත්වයද පින්නෙහි දරුණු සීතලයද නැත, එහි ඇති (ගස්වල) සෙවණ ඔවුන්ව ආවරණය කරගෙන සිටිනු ඇත, ඒවායෙහි පලතුරු (පහසුවෙන් කඩා ගත හැකි අන්දමට ඔවුන් ඉදිරියේ නැමී තිබෙනු ඇත, (විවිධ වර්ගයේ රසවත් පානයන්ගෙන් පිරි) පළිඟූ බඳුන්ද රිදී කුසලානද ඔවුන් ඉදිරියේ කැරකෙමින්ම ඇත, (ඒවා පළිඟූ නොව. එහෙත්) පළිඟූ මෙන් රිදියෙන් (ඔවුන්ගේ අවශ්‍යතාවයට) සරිලන සේ නිර්මාණය කරනු ලැබ ඇත, සන්ජබීල් නමැති (ඉතාමත් උසස්) පානයක්ද එහිදී ඔවුන්ට පානය කිරීමට සලස්වනු ඇත, සල්සබීල් නම් උල්පත් ජලය ලැබෙනු ඇත, කවදාවත් වෙනස් නොවන තරුණ වියේ ලැබෙනු ඇත, ඉමහත් රජ මාලිගාවන්හි ඇති සුඛෝපභෝගීව සිටිනු ඇත, ඔවුන්ගේ ශරීරය මත සිනිඳු කොළ වර්ණයේ පට සේලයන් හෝ, නැතහොත් උසස් වර්ගයේ පට සේලයන් හෝ ඇත, රිදී වළලූද ඔවුන්ට පළඳවනු ඇත, (මේවාට අමතරව) පරිශුද්ධ වූ පානයක්ද, ඔවුන්ගේ දෙවියන් ඔවුන්ට පානය කරවනු ඇත.

මේ ආකාරයට දුප්පතුන් පිඩිත ජනයන් පෝෂණය කිරිමෙන් අපට හිමිවන භාග්‍යයන් විස්තර කරන ඉස්ලාමය එසේ දුප්පතුන් පෝෂණය නොකරන අය පිලිබදව කතා කොට ඇත. එවැනි අල්කුර්ආන් වාක්‍යයක් වෙත ඔබේ අවදානය යොමු කරන්නේ නම්.

  •  (ඔවුන්) ස්වර්ගයන්හි සිටිමින්.
  • වැරදිකරුවන්ගෙන් මෙසේ විමසනු ඇත.
  • “ඔබව නිරයෙහි ඇතුළු කළේ කුමක්ද?”
  • එයට ඔවුන් “අපි සලාත් කරන්නන්ගෙන් වූවේ නැත”.
  • “අපි දුප්පතුන්ට ආහාර සැපයූවේද නැත”.
  • “පුහු කාරණාවන්හි ගැලී සිටිය අය සමග අපිත් ගැලී සිටියෙමු”.
  • “ඵලවිපාක ලබා දෙන මේ දිනයද අපි බොරු කළෙමු”.
  • “(අපි මරණයට පත් වී) මෙය ස්ථීරව දකින තුරු (මේ අන්දමටම සිටියෙමු)” යයිද පවසනු ඇත.

අල්කුර්ආන් 74-40 සිට 44

ස්වර්ගවාසින් ස්වර්ගයේ සිටිමින් අපායවාසින්ගෙන් ඔවුන් අපායට පිවිසීමට මුලික වු කාරණයන් විමසන සංවාදය අල්කුර්ආනයේ 74-40 සිට 44 දක්වා වාක්‍යය මඟින් විස්තර කරයි. එහිදී ඔවුන් එක්තරා අවස්ථාවක පවසන කාරණය නම්, “අපි දුප්පතුන්ට ආහාර සැපයූවේද නැත” යන්නයි. මෙයින් පෙනියන්නේ ඔවුන් අපාගත වීමට එම කාරණයද බලපා ඇති බවයි.

දුප්පතුන් පෝෂණය කිරීමේ අවශ්‍යතාවය දැඩිව අවදාරනය කරන හදීස් ඉගෙන්වීම.

දුප්පතුන්  පෝෂණය කිරීම සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන් හි අල්කුර්ආන් ඉගෙන්වීම කුමක්ද? යන්න සවිස්තරව අප බැලුවෙමු. එසේම මේ සම්බන්ධයෙන් මුහම්මද් (සල්) තුමානන්ගේ උපදේශය වන ‘හදීසයන්’ වෙතද දැන් කෙටි අවදානයක් යොමු කරමු.

  • “කෙනෙකු තම සමීප අසල්වැසියා බඩගින්නේ සිටියදී, බඩ පිරුණු රාත්‍රියක් ගත කරන්නේ නම්, ඔහු (මුස්ලිම්) ඇදහිලිවන්තයෙකු නොවේ.”

මුලාශ්‍ර ග්‍රන්තය – හාකිම්

  • ඉස්ලාමයේ උතුම් ක්‍රියාව වන්නේ “ඔබ දන්නා හෝ නොදන්නා අයට ආහාර ලබා දීම සහ සාමයේ සුබ පැතුම් (සලාමය) ප්‍රකාශ කිරීමය!”

මුලාශ්‍ර ග්‍රන්තය – බුහාරි සහ මුස්ලිම්

මෙතෙක් සාකච්චා කල කරුණුවලට අනුව වත්මන් ආහාර අර්බුදය සැබැ අර්බුදයක් නොවන බවත්, එය ආහාර කළමණාකරනයේ දෝෂයක් බවත් පැහැදිලිය. එසේම ඉස්ලාම් යෝජනා කරන ක්‍රමවේදය ලෝකය තුල ක්‍රියාවට නැංවීම මෙම අර්බුදය අවසන් කිරිමට එකම මඟ යන්නත් දැඩිව අවදාරණය කරමින් මෙම ලිපි පෙල අවසන් කරමි.

මෙම ලිපියෙහි තවත් කොටසක් පහතින් කියවන්න…

අබු යාසිර්

Leave a Reply