මෙය ‘කර්මයද?’ මට අසන්නට තියෙන්නේ එච්චරයි

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, 2022/07/09 දින රාත්‍රියේ දි කිසියම් පිරිසක් ඔබතුමාගේ නිවහන ගිනිබත් කිරිම නිසා ඔබතුමා දැඩි කම්පාවට පත්වු බව අසන්නට ලැබුණි. සැබැවින්ම අප ද ඒ පිලිබදව කණගාටු වන අතර ඒ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක වී එහි ඇත්තටම සිදුවුයේ කුමක්ද? යන්න රටට අනාවර්ණය වියයුතු බවද මෙහි සටහන් කරන්නෙමු. එය දේශපාලන කුමණ්ත්‍රණයක් නොවේ නම්, අනිවාර්‍යයෙන් එසේ අනාවර්ණය වනු ඇතැයි යන්නද මාගේ දැඩි විශ්වාසයයි.

එසේම මෙරට සුළුතරයක් වු මුස්ලීම් ප්‍රජාව ලෙස ඔබේ අවදානයට කරුණු කිහිපයක් ගෙන එන්නටත්, මතක් කරන්නටත් සුදුසු වේලාව මෙය යයි සිතන්නෙමු.

  • ශ්‍රී ලංකාවේ සුළුතරය වන මුස්ලිම්වරුන්ගේ නිවාස සිය ගණනක් සිංහල ජාතිවාදින් ගිනි තියද්දී, ඔබයි මේ රටේ අගමැති,
  • දිගන මුස්ලිම් ගෙවල් ජාතිවාදීන් විසින් ගිනිබත් කරද්දීත් ඔබයි අගමැති.
  • මිනුවන්ගොඩ දි මුස්ලිම් ගෙවල්, දේපොළ, පල්ලි ගිනිබත් කරද්දීත් ඔබයි අගමැති.
  • අම්පාරේ මුස්ලිම් පල්ලි ගිනිබත් කරද්දීත් ඔබයි අගමැති.

එසේම ප්‍රශ්න කිහිපයක්ද විමසන්නට කැමැත්තෙමු…

ඔබට අද මේ දැනෙන කම්පනය එදා ඔබට නොදැනුනේ ඇයිද?. ඒ ක්‍රියාවට එරෙහිව සාධාර්ණ හඩක් මතු කරන්නට ඔබ එදා ඉදිරිපත් නොවුනේ ඇයිද?. කොළඹ ඔබේ නිවස ගිනි ගනිද්දී ඇති වන ඒ කනස්සල්ල එදා රටේ සුළුතරය වෙනුවෙන් ඇති නොවුයේ ඇයිද?

ඔබේ නිවසේ පරම්පරා තුනක් ජීවත් වූවාද..?

එදා ජාතිවාදින් විසින් ගිනිබත් කල නිවාසවල තත්වයත් එයම බව ඔබට නොවැටහෙන්නේද?. නිවස කුඩා වුවත්, විශාල වුවත්, එය කොළඹ 07 වුවත්, හද්ද පිටිසර වුවත්, ඔබේ නිවස හා එම නිවැස් අතර වෙනසක් නැති බව ඔබට තේරුම් ගන්නට නොහැක්කේද?. කවුරුන් වුවද නිවසක් තනන්නේ තම තමන්ගේ සම්පත් උපරිමයෙන් භාවිතා කරමින් තමන්ට හැකි උපරිමයෙන් බව ඔබට නොවැටහෙන්නේද?. ඔබේ යහපාලන සමයේ සිදුවු මේ කිසිවකට හෝ යුක්තිය ඉටු කිරිම නොව සාධාර්ණ ප්‍රකාශයක් කරන්නට ඔබට හැකි වුනාද? යන්න ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මේ සටහන් අවසන් කරන්නේ…

අද ජාති, ආගම් භේද ඉවතලා ශ්‍රී ලංකිකයෙකු ලෙස නැගී සිටින්නැයි තරුණ පරම්පරාව ආරාධනා කරයි. ඔව් එය එසේ වියයුතුයි. නමුත් මේ රටේ දේශපාලකයින් ඔවුන්ගේ නොහැකියාව වසන් කොට ඔවුන්ගේ පැවැත්මට අවශ්‍ය වතාවර්ණ රට තුල නිර්මාණය කරගැනිම උදෙසා ජාතිවාදය, ආගම්වාදය පතුරවා ජනයා භේද කොට කරන ලද ඒ නාඩගම හරහා මේ රටේ සුළු ප්‍රජාවට දුන් දුක ගින්දර හා සිත් පෑරීමට ඒ නරුමයන්ට ‘දිට්ඨ ධම්ම වේදනීය කර්මය’ ලෙස පලිසන් දියයුතුමයි! යන ප්‍රාර්ථනාවෙන් මේ සටහන අවසන් කරමි.

අබූ යාසිර්

Leave a Reply