ආහාර අර්බුදය විමසුම 02 – ඉස්ලාම් පවසන ප්‍රායෝගික වැඩපිලිවල

වත්මන් ලෝකය මුහුණ පාමින් සිටින ආහාර අර්බුදයේ තරම ‘ආහාර අර්බුදය විමසුම 01 – ජාත්‍යන්තර විමසුම‘ යන ලිපිය තුලින් යහමග අඩවිය තුල මීට ඉහත සාකච්චා කලෙමු. එම ලිපියෙහි ම දිගුවක් ලෙස ‘ආහාර අර්බුදය විමසුම 02 – ඉස්ලාම් පවසන ප්‍රායෝගික වැඩපිලිවල’ යන මාතෘකාව ඔස්සේ ලෝක ආහාර අර්බුදයට ඉස්ලාම් දහම ලෝකයට යෝජනා කරන වැඩපිලිවල පිලිබදව කුමක්ද? යන්න මෙතැන් සිට සාකච්චා කිරීමට අදහස් කරමි.

ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ඉස්ලාම් ප්‍රායෝගික ඉදිරිපත් කරන යෝජනා මොනවාද?

ගෝලීය ජීවන ආගමක් ලෙස, ඉස්ලාමය සියලු මනුෂ්‍ය වර්ගයාට සෞඛ්‍ය සම්පන්නව, ක්‍රියාශීලීව සහ ඵලදායී ලෙස ආහාර ගැනීමට සහ ජීවත්වීමට හැකිවන පරිදි මේ පෘථිවි තලය නිර්මාණය කලබවත්, ඊට අවශ්‍ය ධාරිතාවය මේ මිහිතලයට තිබෙන බවත් අල්කුර්ආනය පැහැදිලිව පවසයි. එම අල්කුර්ආන් වාක්‍ය ඔබේ බුද්ධිමත් අවදානයට තබමින් මාතෘකාවට යොමු වන්නේ නම්,

 “…ඔහු (සකල) ලෝකයන්ම උත්පාදනය කර පෝෂණය කරන්නාය. ඔහුම ඒ (පොළොව) මත ඉතාමත් උස කඳු නිර්මාණය කර, ඒ මත (සියලූ අන්දමේ) භාග්‍යයන්ද පහළ කළේය. තවද එහි (වාසය කරන්නන්ට අවශ්‍ය) ආහාරද දවස් හතරකදී සැලසුම් කළේය. (එයද හොඳ අය, නපුරු අය යන භේදයෙන් තොරව) ඉල්ලා සිටි අය (ඉල්ලා නොසිටි අය යන සියල්ලන්ට)ම සමාන වශයෙන් (ලබෙන සේ) සැලැස්සුවේය”.

අල්කුර්ආනය 41- 09 හා 10

සකල ලෝකයන්ම පෝෂණය කරන්නා වු අල්ලාහ් (දෙවි) සියල්ලට සමසේ ආහාර ලැබෙන සේ මේ මිහිතලය සැලසුම් කල බව ඉහත වාක්‍යයෙන් පවසයි. මෙයින් පැහැදිලි වන්නේ, පෘථිවියට එහි වෙසෙන සියලුම ජීවීන් හට අවශ්‍ය ආහාර සැපයීමට පූර්ණ හැකියාව ඇති බවය. ‘ඉල්ලා සිටින අයට සමානව’ යන ප්‍රකාශයෙන් අදහස් වන්නේ දෙවියන් වහන්සේ මිහිමත සපයා ඇති ආහාර ස්වභාවධර්මයේ නියමයන්ට අනුව ඒවා ලබා ගැනීමට උත්සාහ කරන සියළුදෙනාට එකසේ ලබාගත හැකි බවත්, මිනිසාගේ අවශ්‍යතාවයට සරිලන ආකාරයට මිහිතලය මත ආහාර ප්‍රමාණවත් ලෙස ඇති බවත්ය. මෙයින් තවදුරටත් තහවුරු වන්නේ ‘ලෝකය තුල ශීඝ්‍රයෙන් වැඩිවන ජනගහනයට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කිරීමට පෘථිවියට කවදා හෝ අසමත් වේවි!’ යන බිය පදනම් විරහිත එකක් යන්නය.

අදට බිලියන 7.7ක ජනගහනයක් සිටින මේ පෘථිවියේ 2050 දී ජනගහනය බිලියන 10ක් වුවත්, එය කිසිසේත් ගැටවවක් නොවන්නේ මේ මිහිමත වෙසෙන සියළු ජිවින් සදහා අවශ්‍ය පෝෂණය ලබාදිමේ වගකීම සර්වබලධාරී දෙවියන් විසින් ආරම්භයේදීම හොදින් සැලසුම් කොට ඇති නිසාය. නිසි ක්‍රමවේදයක් හා කළමණාකරනයක් නොමැතිවීම තුල වත්මන් අර්බුදය ඇති වී තිබෙනවා මිස මෙය සැබෑ අර්බුදයක් නොවේ. මෙය තවදුරටත් තහවුරු කරමින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ආර්ථික පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය කොලින් ක්ලාක් මහතා පැහැදිලිව ම “ලෝකයට බිලියන 28 ක ජනතාවක් සඳහා ආහාර සහ අනෙකුත් සියලුම කෘෂිකාර්මික අවශ්‍යතා සැපයිය හැකිය”  යනුවෙන් තම “පෘථිවියට මිනිසුන් කී දෙනෙකුට පෝෂණය කළ හැකිද” යන පරියේෂණ වාර්ථාව තුලින් පැහැදිලිව ඔප්පු කොට පෙන්වයි.

මෙතැනදී ලොව මුල්ම මිනිසා වන ‘ආදම් (අලෛ) තුමාණන්ට’ දෙවියන් විසින් ලබාදුන් පොරොන්දුවක් අල්කුර්ආනයෙන් ගෙනහැර දැක්විමට අදහස් කරමි. එය මෙසේය…

‘…ඕ! ආදම් (ශෛයිතාන් වන) මොහු නුඹටත් නුඹගේ බිරිඳටත් සතුරෙකි. එනිසා ඔහු නුඹලා දෙදෙනා ස්වර්ගයෙන් පිටමන් නොකළ යුතුයි. එසේ වුවහොත් නුඹ දුකට පත්වනු ඇතැයි අපි කීවෙමු. (118) නියතවශයෙන් නුඹ එහි සාදුකින් පෙළෙන්නටද නිරුවතින් සිටීමටද නුඹට සිදු නොවේ. (119) තවද, නුඹ එහි පවසින් නොපෙළෙන්නෙහිය. තවද (හිරු රැසින්ද) නොතැවෙන්නෙහිය. (120)

අල්කුර්ආනය 20-118 සිට 120

මිනිස් මූලික අයිතිවාසිකම් වන ආහාර, ජලය, ඇදුම් හා නිවාස යන 04හි කිසිවකුටත් හිඟයක් නොවන ලෙස මේ මිහිතලය සැලසුම් කොට නිර්මාණය කල බව සර්වබලධාරී අල්ලාහ් (දෙවි) ඉහත වාක්‍යයෙන් ප්‍රතිඥා ලබාදීම සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට වුවද තේරුම් ගැනීම අපහසු නොවේ. මේ තුලින්ද පැහැදිලි වන්නේ ලොව පවතින වත්මන් ආහාර අර්බුදයට හේතුව වස්තුන් කළමණාකරනයේ හා බෙදියාමේ ක්‍රමවේදයන් හි පවතින දෝෂයන් මිස හිඟයන්  නොවන බව පැහැදිලි වේ.

ඕනෑම රටකට රාජ්‍යයකට මෙවැනි අර්බුදකාරී අවස්ථාවන් හි ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රධාන වගකීම් දෙකක් ඇත.  

  • ජාතික මට්ටමේ වගකීම් වන්නේ – සැමට ප්‍රමාණවත් ලෙස ආහාර , ඇඳුම්, ජලය සහ නවාතැන් සැපයීම සහතික කිරීම මගින් සමාජයේ සෑම සාමාජිකයෙකුගේම මූලික අවශ්‍යතා සපුරාලීමයි.
  • ජාත්‍යන්තර මට්ටමේ වගකීම වන්නේ – මහා පරිමානයේ (නියං, කොරෝනා වැනි ලෙඩ රෝග, සුනාමි, ගංවතුර… වැනි) ස්වභාවික විපත් හෝ මිනිසා විසින් ඇති කරනු ලබන (යුද්ධ… වැනි) අර්බුදවලදී එම අභියෝග හමුවේ එයට මැදිවී පීඩාවට පත්වන ජනයාට අවශ්‍ය ආහාර , ඇඳුම්, ජලය සහ නවාතැන් යනාදී මුලික පහසුකම් ලබාදීමට මැදිහත්වි එම පහසුකම් සැපයීය හැකි රටවල් සමඟ සම්බන්ධීකරණයන් ගොඩනඟමින් උපකාර කිරීමයි.

මෙතැනදි ලොවම පිලිගත් සත්‍යයක් ඔබට කිවයුතුව ඇත. එනම්, ‘බොහෝ කුසගින්නෙන් පෙළෙන මිනිසුන් ජීවත් වන්නේ ආහාර හිඟයක් නොව ආහාර අතිරික්තයක් ඇති රටවලමය’ යන්නයි. මෙම තත්වය තුලින් ද පැහැදිලි වන්නේ රට රටවල් හා සමාජයන් අතර සම්පත් බෙදියාමේ පවතින දෝෂ මිස සම්පත් හිඟතාවය නොවන බව නම් පැහැදිලිය. මෙවැනි තත්වයන් සමාජය තුල පාලනය කිරීමට විධිමත් ක්‍රමවේදයන් හා නීති-රීති සම්පාදනය කිරීම කාලීන මුඛ්‍ය අවශ්‍යයයි. විශේෂයෙන් දරිද්‍රතාවයෙන් පෙළෙන ජනයාගේ ආහාර අවශ්‍යතාවය සපුරාලිමට අවශය විවිධ නීති-රීති හා පහසුකම් සැලසෙන සමාජ සුබසාධන උපක්‍රම සමාජය තුල හා රට තුල ක්‍රියාත්මක කිරීම බලධාරීන්ගේ, සමාජ ක්‍රියාකාරීන්ගේ සහ රාජ්‍යයන් හි වගකීමයි.

එය ඉස්ලාම් ඉතා සූක්ෂමව හා සැලසුම් සහගතව ලෙස මුස්ලීම් සමාජය තුල ක්‍රියාවට නංවන ආකාරයක් එහි ඉගෙන්වීමන් අධ්‍යනය කරන විට පැහැදිලිව දැකගත හැකි වේ. එවැනි ඉගෙන්වීමන් වෙත මෙතැන් සිට බුද්ධිමත් අවදානය යොමු කරන්නේ නම්,

මෙම ලිපියෙහි තවත් කොටසක් පහතින් කියවන්න…

අබු යාසීර්

Leave a Reply