යුක්තිගරුක හා සාධාර්ණ නොවන සමාජයක ඉරණම

යුක්තිය, සාධාර්ණය හා අවංකකම මේවා අද අප සමාජයේ හුදෙක් වචනයන්ට පමණක් සීමා වු කාරණයක් වී ඇත. මෙම තත්වය සමාජයේ පහලම තලයේ සාමාන්‍ය ජනයාගේ පටන් නායකයින්, පූජකයින්, විද්වතුන්… යනාදී ලෙස ඉහලම තලය දක්වා එකසේ විහිදී පැවතීම මේ රටේ අවාසනාව හා පරිහානිය මනාව කියාපාන්නකි. විශේෂයෙන් දිනෙන් දින යුක්තිය හා සාධාර්ණය ඉල්ලා සමාජය තුල නඟන හඬ එම අවාසනාවන්ත තත්වය තවදුරටත් හොදින් තහවුරු කරන්නකි.

දැන්වත් අප සියළුදෙනා බුද්ධිමත්ව විමසා බැලිය යුතු පැනය වන්නේ ‘මෙවන් අවාසනාවන්ත ඉරණමකට මේ රට තල්ලු වූයේ ඇයිද?’ යන්නයි. එසේ විමසා බලන විට ‘නුසුදුස්සන්ට හා අවස්ථාවාදීන්ට’ විවිධ අවස්ථාවල මේ රටේ සමාජ හා ආයතන වගකීම් පැවරීම ප්‍රධාන වශයෙන් දැකිය හැක. එවන් පිරිස් විසින් ගනු ලැබු අවස්ථාවාදී තීන්දු තීරණ මේ රට මෙවන් තැනකට අද ගෙනවිත් ඇත. මෙම ලිපිය කියවන ඔබට මේ කථා කරන්නේ රටේ දේශපාලන තත්වය පිලිබදව නොවේද? යන පැනය සමහර විට ඔබට මෙහි මතුවන්න පුළුවන. නමුත් මා මෙහි කථා කරන්නේ ශ්‍රී ලාංකීය සමාජයේ පරිහානියයි. එහි දේශපාලනය ප්‍රධාන සාධකයක් වුවත් එකම සාධකය එය නොවේ. එය සරලව තේරුම් ගන්න මා ඔබට අභියෝගයක් දෙන්නම්, ඒ ‘මේ රටේ ඕනැම කේෂත්‍රයක් අහඹු ලෙස තෝරාගෙන මා මේ කියන තත්වය එම කේෂ්ත්‍රය තුල නැතැයි කියන්න පුළුවන්ද?’ කියා බුද්ධිමත්ව විමසා බලන්න. එවිට ඔබට අවබෝධ වේවි මේ මා පවසන තත්වය රටේ දේශපාලනයට පමණක් ඇඟිලි දිගුකල හැකි තත්වයක් නොවන බව.

මෙතැනදී පිලිගතයුතු තිත්ත වූ ඇත්ත නම්, රටක, ජාතියක. සමාජයක, ආයතනයක… මෙවන් අවාසනාවන්ත තත්වයන් ඇතිවීමට සෘජුව හා වක්‍රව එහි පොදු ජනයාගේ දායකත්වය එක්වී ඇත යන්නයි. අනුවණක්කාරව හෝ අවස්ථාවාදීව අප ගත් තීන්දු තීරණ අද පාරාවළල්ලක් වී ඇත. මේ ආකාරයට වගකීම් විරහිත තනිපුද්ලගයෙකු ලෙස හෝ සමාජයක් ලෙස ගනු ලබන තීන්දු තීරණ ඉස්ලාම් දකින්නේ කෙසේද? යන්න විමසා බැලීම මෙම ලිපියෙහි මුලික අරමුණයි. එසේ විමසා බලන විට සමාජයක් තුල ‘යුක්තිය පසිඳලීමේහි’ හා ‘අවංකවීමේ’ වැදගත්කම හොදින් කියාපාන පහත අල්කුර්ආන් වාක්‍යයක් අපට හමුවේ.

එය මෙසේය…

“O you who believe! be maintainers of justice, bearers of witness of Allah´s sake, though it may be against your own selves or (your) parents or near relatives; if he be rich or poor, Allah is nearer to them both in compassion; therefore do not follow (your) low desires, lest you deviate; and if you swerve or turn aside, then surely Allah is aware of what you do.”

විශ්වාසවන්තයිනි!, නුඹලා යුක්තිය වෙනුවෙන් පෙනීසිටින්න. තවද නුඹලාට, නොඑසේනම් (නුඹලාගේ) දෙමාපියන්ට, නොඑසේනම් සමීපතම ඥාතීන්ට එරෙහිව වුවද, අල්ලාහ් වෙනුවෙන් (සාධාර්ණයට) සාක්ෂිකරුවන් ලෙසත් සිටින්න. (නුඹලා කවුරුන් වෙනුවෙන් සාක්ෂි පවසන්නේද) ඔවුන් ධනවතුන් වූවද, දුගියන් වූවද කම් නැත (සත්‍යය ම පවසන්න). මන්ද ඔවුන් දෙපාර්ශවයම ආරක්ෂා කිරීමට අල්ලාහ් ශක්තිසම්පන්නය. එමනිසා යුක්තිය පසිඳලීමේහි ස්වමතය අනුගමනය නොකරන්න. තවද නුඹලා (සාක්ෂි) වෙනස් කොට පැවසුවද, නොඑසේනම් (සාක්ෂි පැවසීම) ප්‍රතික්ෂේප කලද නියත වශයෙන්ම අල්ලාහ් නුඹල කරන සියල්ල හොදින් දන්නේය.

අල්කුර්ආන් 4 -135

ඔබ බුද්ධිමත්ව ඉහත වාක්‍යය වෙත මොහොතක් අවදානය යොමු කරන්න. එහි අවදාරණය කරන්නේ තමන්ට, තම මාපියන්ට හෝ තම ඥාතීන්ට අවාසිසහගත තත්වයන් ඇති වුවත් යුක්තිය හා සාධාර්ණය වෙනුවෙන් පෙනීසිටීම අත්‍යඅවශ්‍ය බවයි. එපමණක් නොව එහිදී පුද්ගල තරාතිරම එනම්, දුප්පත්ද, පොහොසත්ද යන්නත් කිසිසේත් අදාල නොවන බව එහි තවදුරටත් පවසයි. අල්කුර්ආනය පවසන මෙම ප්‍රතිපදාව මේ සමාජය තුල කොතරම් දුරට ප්‍රායෝගිකව තිබෙනවාද? යන්න විමසා බලන්නේ නම්, එය ඉතා අවාසනාවන්ත තැනක පවතී. අල්කුර්ආනය පවසන මානව හිතවාදී එම ප්‍රතිපදාව වෙනුවට අපට අප සමජයේ දකින්නට හා අසන්නට ඇත්තේ කුමක්ද?. පවුල් සංග්‍රහය…ඥාති සංග්‍රහය…ගජමිතුරු සංග්‍රහය…නිළධාරීවාදී සංග්‍රහය…ජාතිවාදී සංග්‍රහය…කුලවාදී සංග්‍රහය…ආගම්වාදී සංග්‍රහය… යනාදී අවස්ථාවාදී අසාධාර්ණ සංග්‍රහයන් පමණි. එහි විපාකය නොවේද මේ අද අප අත්විඳිමින් සිටින්නේ. මෙවන් තත්වයන් මිනිස් සමාජයක් තුල දිගින් දිගට වර්ධනය වීම මහා විනාශයක පෙරනිමිත්තක් ලෙසත් ඉස්ලාම් දකී. ඒ පිලිබදව සදහන් ‘හදීසයක්’ ඔබේ අවදානයට යොමු කරන්නේ නම්,

Narrated Abu Huraira: Allah’s Messenger (ﷺ) said, “When honesty is lost, then wait for the Hour.” It was asked, “How will honesty be lost, O Allah’s Messenger (ﷺ)?” He said, “When authority is given to those who do not deserve it, then wait for the Hour.”

අල්ලාහ් (දෙවි)ගේ වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් ප්‍රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළි) තුමා මෙසේ ප්‍රකාශ කලේය.

‘අවංකභාවය නැති වූ විට ඔබලා (අවසන්) හෝරාව බලාපොරොත්තු වන්න.’ යයි වක්තෘවරයාණන් පැවසූවිට ‘අවංකභාවය නැති වන්නේ කේසේ ද? අල්ලාහ්ගේ වක්තෘවරයාණෙනී!’ යැයි ඔහු (කෙනෙකු) ඇසී ය. (එයට වක්තෘවරයාණන්) ‘වගකීම් ඒ සඳහා නුසුදුසු පුද්ගලයන් වෙත පැවැරෙන විට (කියාමත් නම් එම අවසන්) හෝරාව බලාපොරොත්තු වන්න’ යැයි පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

අවංක නොවන අවස්තාවාදීන් සමාජයේ වගකිවයුතු තැන්වල සිටීම හා එවැනි පිරිසට වගකීම් පැවරීම සමස්ථ ජාතියේම අවාසනාවක් යන්නෙහි සාමාන්‍ය බුද්ධියක් ඇති කිසිවෙකුටත් විවාදයක් පැවතිය නොහැක. අප සමාජයේ පහල සිට ඉහල දක්වා සෑම සියළු කේෂත්‍රයක්ම ඔඩුදුවා ඇති මෙම අවාසනාවන්ත තත්වයට හොදම නිදසුන ලෙස අප රටේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තු නියෝජනය මෙහි සදහන් කලහැක. රටේ උත්තරීතර සභාව ලෙස සැලකෙන එහි ඒ සදහා කිසිදු සුදුසුකමක් නොමැති කිදෙනෙකු නම් නියෝජනය කරනවාද?. මා ඉහතින් සදහන් කලාසේ මේ යුක්තිගරුක නොවන අවස්ථාවාදීන් තෝරාගෙන ඔවුනට විවිධ වගකීම් බාරදීම සිදුකොට ඇත්තේ මේ සමාජය විසින්මය. එමනිසා එහි විපාකය අපටම අත්විඳීමට සිදුවීම පුදුමයට කාරණයක් නොවේ. මෙම අවාසනාවන්ත තත්වය ගම, නගරය, රට, ලෝකය… යනාදි ලෙස විහිදෙන විට සමස්ථ ලෝකයම විනාශය මුඛයට තල්ලු වෙනවා යන ඉහත හදිස් කොතරම් ප්‍රයෝගික සත්‍යයක්ද? යන්න අප සමාජය තුලින්ම අපට ඔප්පු වනවා නොවේද?.

ඉහත අවාසනාවන්ත ඉරණමෙන් මේ ලෝකය, රට, සමාජය, නගරය, ගම… යනාදී වශයෙන් සියළුදෙනා මිදීමට නම්, සමාජයේ එක් එක් පුද්ගලයන් යුක්තිගරුක හා සාධාර්ණ වියයුතුය. එසේම තමන්ට පැවරී ඇති වගකීම් නිසිලෙස ඉටු කරමින් වගකීමෙන් කටයුතු කලයුතුය. එසේවීම මෙලොව මෙන්ම පරලොව ද ගෞරවයට හේතුකාරණයක් යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. එනම්,

And those who are faithful to their trusts and their covenant, “And those who are upright in their testimonies”, “And those who keep a guard on their prayer,”, “Those shall be in gardens, honored.”

…තවද කවුරුන් තමන් වෙත (විශ්වාස කර බාර දෙනු ලැබ) තිඛෙන වස්තූන්ද, (තමන් කළ) පොරොන්දුද, ඒ අනුවම අනුගමනය කර (ඉතාමත් විශ්වාසවන්තව කටයුතු) කරන්නෝද, ඔවුන්ද, තවද කවුරුන් තමන්ගේ සාක්ෂි දීමෙහිද (වැරැද්දක් නොවී) ස්ථීරවත්ව සිටින්නෝද, ඔවුන්ද, කවුරුන් තමන්ගේ සලාතයන්ද අවධානයෙන් (යුතුව නොකඩවා) නියමිත අන්දමට නමදිමින් සිටින්නෝද, ඔවුන්ද, ස්වර්ගයන්හි ඉතාමත් ගෞරව කරනු ලබන්නාහ.

අල්කුර්ආනය 70 – 32 සිට 35

මේ අනුව යුතුකම් වගකීම් නිසිලෙස අවබෝධ කොටගෙන සාධාර්ණව හා යුක්තිගරුකව කටයුතු කිරීමට අපගේ නායකයින් හට නුවණ පහල වේවා! යන ප්‍රාර්ථනයෙන්ද, එවැනි වගකීමන් දැරිය හැකි යහපත් පුරවැසියන් තෝරා පත්කර ගැනීමට අදාල පාර්ශවයන්ට නුවණ පහල වේවා! යන ප්‍රාර්ථනයෙන්ද මෙම ලිපිය අවසන් කරමි.

Social Share

Leave a Reply