ක්‍රීඩාව පිලිබදව ඉස්ලාමයේ දැක්ම – විමසුමක්

.

ශාරීරික යෝග්‍යතාවයෙන් හා ක්‍රියාශීලීව සිටීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු වනවා යන්න අප දනිමු. එසේම ඒ තුලින් රෝගවලින් ආරක්ෂා වී නිරෝගිමත්ව ජීවත් වීමට මඟ සැලසෙනවා යන්නත් අපි දනිමු. එවන් වූ ශාරීරික යෝග්‍යතාවය සහ ක්‍රියාශීලී බව මිනිසා තුල වර්ධනය කරගන්න ක්‍රීඩාව විශාල රුකුලක් වනවා යන්නත් අප හොදින් දනිමු. ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන, නිරෝගි දිවියකට මඟපාදන, ‘ක්‍රිඩාව’ සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ දැක්ම කුමක්ද? යන කාරණයයි අද යහමග තුලින් විමසා බලන්නට අදහස් කරමි.

මේ දිනවල පැවැත්වෙන 2022 FIFA පාපන්දු තරඟාවලිය සහ එම තරඟ සංවිධානය කිරීමේ දී මුස්ලීම් රාජ්‍යයක් වන කටාර් රාජ්‍ය ගත් සමහරක් තීන්දු තීරණ නිසා ‘ඉස්ලාම් සහා ක්‍රීඩාව’ යන මාතෘකාව ලෝකයා ඉදිරියේ තරමක සංවාදාත්මක මාතෘකාවක් බවට පත්වෙමින් ඇත. එවන් පසුබිමක මෙම විෂය ඉස්ලාම් දහමේ දෘෂ්ඨියෙන් විමසා බැලීම කාලීන අවශ්‍යතාවයක් ලෙස ද මා සලකමි.

ශරීර ශක්තිය හා නිරෝගි බව වර්ධනය කරන ක්‍රීඩාවේ යෙදීම සම්බන්ධයෙන් ඉස්ලාම් දහම කිසිදු අවස්ථාවක විරුද්ධ නොවේ. විරුද්ධ නොවනවා පමණක් නොවේ එම අවශ්‍යතාවය උනන්දු කරවන ආකාරයේ ඉගෙන්වීමන් ඉස්ලාම් දහම තුල දක්නට ලැබේ. එවැනි ඉගෙන්වීමක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

ශක්තිමත් ඇදහිලිවන්තයෙකු දුර්වල කෙනෙකුට වඩා අල්ලාහ් (දෙවි) හමුවේ වඩා හොඳ සහ වඩාත් ආදරණීය වේ.”

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම්

ඉහත හදීසයට අනුව ‘ශක්තිමත් ඇදහිලිවන්තයා’ දෙවියන් හමුවේ ‘ආදරණීය’ කෙනෙකු වන බව පැවසේ. එසේ ශක්තිමත් ඇදහිලිවන්තයෙකු වීමට නම් ඔහු තුල කායවර්ධන ක්‍රියාකාරකම් සිදුවිය යුතු වේ. මෙතැනදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, මුහම්මද් (සල්) තුමාණන් සහ එතුමාණන්ගේ සමකාලීන සහාබාවරුන් ස්වභාවිකවම කායවර්ධන ක්‍රියාවල නියැලුනු බව මතක තබා ගත යුතුය. එකල කාන්තාර ආශ්‍රිත දුෂ්කර ජීවිතයක් ගෙවූ ඔවුන් බොහෝ විට ගමන් කලේ පයින් සහ ඔටුවන්, අශ්වයන් වැනි සතුන් පිටය. එසේම මිනිසුන් තම ආහාර අවශ්‍යතාවය සදහා දඩයම් කිරීම සහ (රටඉදි, තිරිඟු… වැනි දැඩි වෙහෙසකාරී) ගොවිතැන් හි නිරතවීම සිදුකරන ලදී. මේ සියල්ල ස්වාභාවිකම ශරීර ශක්තිය වර්ධනය කරන ක්‍රියාවන් වේ.

මා මෙසේ කරුණූ පෙලගසන විට ‘ආ එහෙමනම් ඒ කාලේ ඔවුන් ක්‍රිඩාවන් කරලා නැද්ද?’ යනුවෙන් ඔබ තුල පැනයක් මතුවන්නට පුළුවන. එසේ නොවේ, එම සමාජයත් ක්‍රිඩාවන් හි නියලුනු අතර මා ඉහතින් සදහන් කලාසේ සමහරක් ක්‍රිඩාවන් සදහා ඉස්ලාම් දහම මුස්ලීම් සමාජය උනන්දු ද කරන ලදී. එතැනින් ද නතර නොවූ ඉස්ලාම් දහම ක්‍රීඩාව තුල විවිධ සීමාවන් හා නීති-රීති ද හදුන්වා දෙන ලදී. එම කාරණයන් මෙතැන් සිට එකින් එක විමසා බලමු.

‘ඉස්ලාම් දහම තුල ක්‍රීඩාව’ යන විෂය පිලිබදව සොයා බලන විට හදීස් මඟින් මුස්ලීම් සමාජය උනන්දු කරවන ක්‍රිඩා 04 ක් පිලිබදව කථා කරන ආකාරය එහි දක්නට ලැබේ. එම හදීසයන් මෙහි පහතින් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

මුහම්මද් (සල්) තුමාණන් පැවසූ බවට උකුබා ඉබ්නු අම්ර් (රලි) තුමා මෙසේ පවසයි.

“…කෙනෙකු තම අශ්වයා පුහුණු කිරීම, තම බිරිඳ සමඟ ක්‍රීඩා කිරීම, ඉලක්කයට දුනු විදීම, හැර ඔහු විනෝදයට කරනා සෑම දෙයක්ම නිෂ්ඵලය….”

මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්

ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ දීර්ඝ හදීසයක කොටසක් පමණකි. මෙම හදීසයම ‘තබරානි’ නම් හදීස් ග්‍රන්ථයේ ඉදිරිපත් වීමේදී ඉහත ක්‍රිඩා තුනට අමතරව ‘පිහිනුම්’ ක්‍රිඩාව සහ ‘ඇවිදීම’ ද  සදහන් වේ. එම හදීසය මෙසේය…

‘ඉලක්ක අතර ඇවිදීම, අශ්වයෙකු පුහුණු කිරීම, තම පවුලේ අය සමඟ ක්‍රිඩා කිරීම සහ පිහිනීමට ඉගෙනීම යන ක්‍රියාවන් 04 හැර, අල්ලාහ් (දෙවි)ව සිහි කිරීමකින් තොරව කරන අන් සියළු ක්‍රියාවන් නිෂ්පල ක්‍රියාවන් වේ.

මූලාශ්‍ර ග්‍රන්ථය – තබරානි

ඉහත හදීසයන් දෙකෙහිම සදහන් විශේෂ කාරණයක් වෙත ඔබේ අවදානය යොමු කිරීමට කැමැත්තෙමි. ඒ ‘තම බිරිඳ සමඟ ක්‍රිඩා කිරීම‘ යන කාරණයයි. අඹුසැමි දෙදෙනා අතර ආදරය සහ දෙදෙනාගේ ශරීරික යෝග්‍යතාවය වර්ධනය කරන නිරෝගිමත් සාර්ථක පවුල් දිවියකට මඟ පාදන මෙවැනි ක්‍රිඩා ඉස්ලාම් දහම මුස්ලීම් සමාජය උනන්දු කරන අතර ඒ කෙරෙහි මුස්ලීම් සමාජය ද උනන්දු වියයුතුය. එම උනන්දුව ඔබ තුල වඩ වඩාත් වර්ධනය කරගැනීම පිණිස  පහත හදීසය ද ඔබේ අවදානයට තබමි.

මුහම්මද් (සල්) තුමාණන් සමඟ තරඟයට දුවන ලද ආදරණීය බිරිඳ අයිෂා (රලි) තුමිය මෙසේ පවසයි,

දිනක් මා, මුහම්මද් (සල්) තුමාණන් සමඟ ධාවන තරඟයක් පැවැත් වූ  අතර එහිදී “මම අල්ලාහ්ගේ දූතයාණන් අභිබවා ගියෙමි. පසු කාලෙක මම නැවත වරක් එතුමාණන් සමඟ තරඟ කළෙමි, නමුත් (මා තරමක් තරබාරු වී සිටී නිසා) එවර එතුමාණන් මාව අභිබවා ගිය අතර එහිදි ‘මේක ඒක අවලංගු කරනවා’ යනුවෙන් අල්ලාහ්ගේ දූතයාණන් පැවසීය ‘.

 මූලාශ්‍ර ග්‍රන්ථය – අහමඩ්

ආගමික නායකයෙකු හා ශාස්තෘවරයෙකු ලෙසත්, රටක පාලකයෙකු ලෙසත් කාර්‍ය බහුල ජීවිතයක් ගතකල මුහම්මද් (සල්) තුමාණන් තම බිරිඳ සමඟ ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කරන ක්‍රිඩාවල ද නියලුනු බව ඉහත හදීසයෙන් පෙනේ, එසේනම්, දවසේ සියළු කටයුතු යන්ත්‍ර-සූත්‍රවලට භාර කොට තරබාරුකම ගැන පසුතැවෙමින් කම්මැලිව දවස ගෙවන 21 ක් වන සියවසයේ අප ශාරීරික යෝග්‍යකාවය පිලිබදව කොතරම් නම් සැලකිලිමත් වියයුතුද?. මෙවැනි ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කරන ක්‍රිඩා තුලින් නිරෝගි ක්‍රියාශීලී දිවියක් මෙන්ම අඹු-සැමි අතර ආදරය හා සතුට ද ගොඩනැඟෙන්නට එය හේතු වනවා නොඅනුමානය.

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් එදා තම බිරිඳ සමඟ පමණක් නොව තම සමකාලීන (මුස්ලීම්වරුන් වන) සහාභාවරුන් සමඟ මෙන්ම මුස්ලීම් නොවන පිරිස් සමඟ ද විවිධ වූ ක්‍රිඩාවන්හි නිරත වූ බවට සාක්ෂි හදීසයන් හි දක්සනට ලැබේ. එවැනි හදීස් කිහිපයක් ඔබේ අවදානය ගෙන එන්නේ නම්,

අනස් (රලි) තුමා මෙසේ පවසයි, “අල්ලාහ්ගේ දූතයාණන් මුහම්මද් (සල්) තුමාගේ ඔටුවා ධාවන තරඟ වලදී ඉතා වේගවත් වූ අතර වේගයෙන් එය අභිබවා යාමට නොහැකි තරම් විය. “

මූලාශ්‍ර ග්‍රන්තය – නසායි

“ඔබගෙන් කෙනෙකු හට කම්මැලිකමක් හෝ නොසන්සුන් බවක් දැනෙන විට, ඔහුට කළ හැකි එකම දෙය දුනු ගෙන (ඉලක්කයට විදින) ක්‍රීඩාවෙහි නිතරවීමයි.”

මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්

එක්තරා අවස්ථාවක නබි (සල්) තුමාණන් දුනු විදීමේ තරග නරඹමින් එහි ඇතැම් දුනුවායන් දිරිගැන්වීම් කරන ලදී. එවිට “ඔබතුමා ඔවුනට සහය දක්වනවා” යැයි පවසමින් අනෙක් පාර්ශවය දුනු වීදීම නතර කරන ලදී. එවිට “විසි කරන්න! මම ඔබ දෙදෙනාටම සහාය දෙමි” යනුවෙන් නබිතුමාණන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රනිථය – හදීස්

මුහම්මද් (සල්) තුමාණන් පැවසූ බවට අබුදර් (රලි) තුමා පවසයි. “ඉලක්ක දෙකක් අතර දුවන පුද්ගලයෙකුගේ සෑම පියවරකටම වටිනාකමක් ඇත.”

මූලාශ්‍ර ග්‍රන්ථය – හදීස්

ඉහත හදීසයන්ට අමතරව තවත් බොහෝ හදීසයන් තුල එවකට පැවතී ක්‍රිඩාවන් පිලිබදව සහ එය මුහම්මද් (සල්) තුමාණන් උනන්දු කල ආකාරය සදහන් වේ. මේ සියල්ල තුලින් පැහැදිලි වන්නේ ශාරීරික යෝග්‍යතා වර්ධනය කරන පලදායි ක්‍රීඩාවන් ඉස්ලාම් දහම අනුමත කරනවා පමණක් නොව උනන්දු ද කරන බවයි. මේ ආකාරයට මුස්ලීම් සමාජය ක්‍රිඩාව සදහා උනන්දු කරන ඉස්ලාම් දහම එතැනින් නතර නොවී ක්‍රිඩාව තුල අනුගමනය කලයුතු ආචාර ධර්ම පිලිබදව ද කථා කරයි.

ක්‍රිඩාව තුල අනුගමනය කලයුතු ආචාර ධර්ම,

ජීවිතයේ සෑම ක්‍රියාකාරකමකදීම මෙන්ම, ක්‍රීඩාව තුලත් මුස්ලිම්වරුන් ගෞරවාන්විතව සහ අල්ලාහ් (දෙවි)ගේ ආශිර්වාදය හිමි වන ආකාරයට කටයුතු කිරීම අත්‍යඅවශ්‍යය. වත්මන් ලෝකය තුල ක්‍රීඩාව අපේක්ෂීත ඉහත ගුණාංග රුකෙනවාද? යන්න ගැටළු සහගත කාරණයකි. අද ක්‍රීඩා තරඟවල බොහෝ විට දකින්නට ඇත්තේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලිගැනීම, අපහස කිරීම… වැනි පහත් ගුණාංග හා ලක්ෂණ පමණි. නමුත් ඉස්ලාම් දහම ක්‍රීඩාව දකින්නේ මිනිසුන් අතර අන්‍යෝන්‍ය ආදරය සහ සහයෝගීතාව වර්ධනය කිරීමේ මාධ්‍යයක් ලෙස මිස හැඟීම් රිදවන මාධ්‍යයක් ලෙස නම් නොවේ. ජයග්‍රාහී පාර්ශ්වය කිසිවිටෙක ප්‍රතිවාදී පරාජිත පාර්ශවයට අපහාස වන ලෙස හෝ ඔවුන්ගේ සිත් රිදෙන ලෙස තම ජයග්‍රහණය සැමරීම නොලකයුතුය. ඔහු අද පරාජිත වූවත්, ඒ තුල ඉවසීමෙන් ඔහු ප්‍රගුණ කරගන්න පාඩම ආනාගතයේ දී එය ඔහුගේ සාර්ථකත්වයට මග පාදනු ඇත. එමනිසා ජයග්‍රහණය නිහතමානීව භුක්ති විඳීමට වග බලා ගතයුතුය. මෙම පාඩම එක්තරා අවස්ථාවක මුහම්මද් (සල්) තුමාණන් මේ සමාජයට පහත ආකාරය කියාදෙන ලදී.

“…ධාවන තරඟවල දී කවදත් ජයග්‍රහණය ම හිමි කරගෙන සිටී නබිතුමාගේ ඔටුවෙකු, එක්තරා තරඟ අවස්ථාවක එම ඔටුවා පරාජය කරමින් වෙනත් ඔටුවෙකු ඉදිරියට ගොස් එම තරඟය ජයග්‍රහණය කරන ලදී. එවිට එහි රුස්ව සිටී (මුස්ලිම්වරුන් වන) සහාභාවරුන් දුකෙන් පසුවන බව දුටු නබිතුමාණන් මෙසේ පවසන ලදී.

“සර්වබලධාරී අල්ලාහ් (දෙවි) කිසිවකට ස්ථිර මහිමයක් නොමැති බවට නියම කර ඇත”

මූලාශ්‍ර ග්‍රන්ථය – නසායි

මුහම්මද් (සල්) තුමාණන් මෙසේ ප්‍රකාශය කළේ තම ඔටුවා පරාජය වීම දරාගත නොහැකිව දුක් වූ පිරිසගේ දුක තුනී කිරීම පිණිසය. සැබෑ මුස්ලිම්වරයෙකු මෙම යතාර්ථය සෑම විටම පිලිගෙන කටයුතු කලයුතුය. ජය පරාජය කිසිවකුට සදාතනික ස්ථිර නොවන බව අප තේරුම් ගතයුතුය. එය පිලිනොගැනීම කුහකකමක් මිස අන් කිසිවක් නොවේ. එවැනි කුහකකම්වලින් අප නිරන්තරයෙන් ආරක්ෂා වියයුතු අතර මීට අමතරව ක්‍රිඩාව නමින් වූවද ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන්ට එරෙහි වන ක්‍රියාවන් හි නියලීමට හෝ ප්‍රකාශයන් සිදුකිරීමට කිසිදු ආකාරයකින් ඉස්ලාම් දහම ඉඩ ලබාදී නොමැත බව ද තේරුම් ගතයුතය. වත්මන් සමාජයේ ක්‍රියාකලාපයන් පදනම් කරගෙන එවැනි නීති-රීති කිහිපයක් මෙහි පවසනවා නම්,

  • මුස්ලිම් පිරිමින් සහ කාන්තාවන් ක්‍රිඩා කරන විට ඉස්ලාම් දහමේ කොන්දේසිවලට යටත් සුදුසු ඇදුමක් පැළඳ සිටීම අනිවාර්‍ය වේ. තම නිරුවත ආවරණය කිරීමට වග බලා ගත යුතු අතර තම ශරීරයේ හැඩතල මතු වී පෙනෙන ලෙස තද ඇඳුම් නොඇඳිය යුතුය.
  • මුහුණට පහරදීම ඉස්ලාම් දහම දැඩිව හෙලාදකී (මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී). ඒ අනුව බොක්සිං වැනි ක්‍රීඩා ඉස්ලාම් දහමට අනුව අනුකූල නොවේ,
  • කාමුක හැඟීම් ඇති කරවන ආකාරයේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම සම්බන්ධ වන තරඟ හෝ ක්‍රීඩා පැවැත්වීමට ද ඉස්ලාම් දහම තුල ඉඩ නොදේ.
  • කාන්තාවක් ප්‍රසිද්ධියේ මහජන මධ්‍යයේ  ලිංගික ආශාවන් අවුස්සන ආකාරයට ඇදුම් ඇඳ ඉදිරිපත් කරන නර්තන හෝ වෙනයම් ක්‍රීඩා ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කරයි.
  • ජනාකීර්ණ වීදිවල ක්‍රීඩා කරමින් වාහන තදබදයන් සහ මඟීන්ට අපහසුතා ඇති කිරීමට මුස්ලීම්වරයෙකු හට ඉස්ලාම් දහම තුල අවසර නැත.
  • ආගමික නැමදුම් සහ අනිකුත් වගකීම් හා යුතුකම් අතපසු වන ආකාරයට ක්‍රීඩාවල නිරත වීමට ද දහම තුල අවසර නැත.
  • ක්‍රීඩාව තුල හෝ ඉන් පිටත අසභ්‍ය වචන කථා කිරීම්, නරක හැසිරීම් සහ අපහස කිරීම්… වැනි ක්‍රියාවන්ට ද දහම තුල ඉඩක් නැත.
  • කණ්ඩායමකට පක්ෂව හෝ විපක්ෂව අන්ධ උමතුවෙන් (ජාතිය, ආගම, දේශය… යනාදී කරුණු මූලික කරගෙන) කටයුතු කිරීමට ඉස්ලාම් දහම තුල ඉඩක් නැත.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ, අතීත සමාජය තුල ක්‍රීඩා ලෙස පැවතුණේ හෙල්ල විසි කිරීම, ධාවනය, ඔටුවන් හා අශ්වයන් පැදීම, පිහිනුම, මල්ලවපොරය… වැනි සීමිත ක්‍රීඩා ගණනක් පමණි.  එම සමාජයේ දින චර්‍යාව ස්වභාවයෙන්ම වෙහෙසකාරී එකක් වූ නිසා ඔවුනට වත්මන් සමාජය මෙන් ක්‍රිඩා හා ව්‍යායාම කිරීමේ අවශ්‍යතාවය ද නොතිබුණි. තවත් සරලව පවසනවා නම්, තරබාරුකම සහ කම්මැලිකම යන වචනයන්ට එම සමාජවල ඉඩක් නොතිබුණි. නමුත් අද සමාජයේ තත්වය එසේ නොවේ, ජංගම දුරකථන, පරිගණක හා වැඩ පහසු කරන යන්ත්‍රසූත්‍ර සමඟ කාලය ගෙවන නිසා ශරීරයට අවශ්‍ය නිසි ශක්තිය නොලැබීම තුල අධිරුධිර පීඩනය, හන්දිපත් අමාරුව, හෘද ආබාධ… වැනි රෝගි තත්වයන් මතු වෙමින් ඉතා සංකීර්ණ තැනකට මේ සමාජය පැමිණ ඇත. ක්‍රීඩාවෙන් අපේක්ෂිත අරමුණු සියල්ල වල්මත් වී ක්‍රීඩාව මුදල හා ජනප්‍රියත්වය මත සිදුවන සූදුවක් වී ඇත. මෙලෙස වල්මත් වූ ක්‍රීඩා ලෝකය තුල වල්මත්වීමට මුස්ලීම්වරයෙකු හට ඉස්ලාම් දහම තුල ඉඩ ලබාදී නැත. එමනිසයි ක්‍රීඩාව තුල වූවද මනුෂ්‍යාගේ සදාචාරය පවත්වා ගැනීම අරමුණු කරගත් නීති සහ කොන්දේසී ඉහත ආකාරයට ඉස්ලාමය පනවා ඇත්තේ. එම නීති රීතිවලට යටත්ව මුස්ලීම්වරයෙකු ක්‍රීඩා කළ යුතු අතර එම සීමාවන් උල්ලංඝනය කරන ඕනෑම ක්‍රියාවක් තහනම් බව වටහාගත යුතුය.  එම කාරණය දැඩිව අවදාරණය කරන අල්කුර්ආන් පාඨයකින් මෙම සටහන අද අවසන් කරමි.

විශ්වාසවන්තයනි!, අල්ලාහ් නුඹලාට හලාල් (අනුමත) කළ පිවිතුරු දේ නුඹලා තහනම් නොකරගනු. තවද සීමාව නොඉක්මවනු. නියත වශයෙන්ම අල්ලාහ් සීමාව ඉක්මවන්නන් ප්‍රිය නොකරයි.

අල්කුර්ආනය – 5-87

.

අබූ අර්ශද්

.

Social Share

Leave a Reply

×