අනවබෝධය, වාචාලකම හා ජාතිමාමක අන්තවාදය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


ඉහත මාතෘකාව දකින ඕනෑම කෙනෙකු හට එහි කිසියම් ආකාරයක අප්‍රසන්න බවක් මෙන්ම කුතුහලයන් ද ඇතිවිය හැක. නමුත් මෑතකාලීනව අප රට තුල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන ඉස්ලාම් විරෝධි හා මුස්ලීම් සමාජයට එරෙහි විවේචන හා කුමන්ත්‍රණ දකින විට මෙවැනි ලිපි සදහා මීට වඩා සුදුසු මාතෘකාවක් මගේ සිතෙහි ඇත නොවේ. “සෙක්කුවේ බැඳි ගොනා” මෙන් කොතැනින් පටන් ගත්තත් මුස්ලීම්වරුන්ගෙන්, ඔවුනට පහර ගසමින් අවසන් කරන තැනට වර්ථමාන සමාජයේ සමහරක් පිරිස් ක්‍රියා කරමින් සිටීම ඉහත තත්වයට හේතුවයි. මේ තත්වය අප රට තුල කොතරම් දුරකට ඔඩුදුවා ඇති ද යයි පවසනවා නම් දෛනිකව පනිසිල් පදය තුලින් වැඩ අරඹන අපේ ජාතිය “මුසාවාදා වේරමණි…” යන සංශෝධනය කරලාද? නොඑසේ නම් එය අවලංගු කරලාද? යන්න සිතෙන තරමට මඩ ව්‍යාපාරවල හා අසත්‍ය චෝදනාවන් පතුරුවාලීමේ ව්‍යාපාරවල දිවා රෑ නිරත වී සිටිති. එය කොතරම් සර්ව සාධාරණ කටයුත්තක් බවට පත්ව තිබෙනවාද? යන්න පවසනවා නම්, පැහැදිලි ලෙසම අසත්‍යයක්, මුසාවක් යයි දන්නා කරුණූ පවා කිසිදු හිරිකිතයකින් තොරව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තරමටත්, වාද විවාද කරන තරමටත් වර්ථමාන අප සමාජය පත්ව ඇති බව ඔබට මා අමුතුවෙන් පැවසීමට අවශ්‍ය නොවේ යයි සිතමි. මෙම ව්‍යාපාරයේ උගත්, නොඋගත්, උසස්, පහත්, කුඩා, ලොකු… යනාදී කිසිදු භේදයකින් තොරව නියලී සිටීම ඉතා කණගාටුදායක තත්වයකි. මේ සදහා සරල හා සමීපතම නිදසුනක් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්, ඒ සදහා සුදුසුම නිදසුනක් ලෙස පසුගිය දිනක අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය තුමාගේ ප්‍රකාශයක් සදහන් කලහැක. (එය පහත වීඩියෝ දර්ශනය මගින් ඔබට නැරඹීමට හැක.)

ඉහත ආකාරයට තෝරු මෝරු පිනුම් ගසද්දී හාල්මැස්සන් ද පිනුම් ගැසීම අරුමයක් නොවේ යන්න පමණක් මෙහි සදහන් කරමින් පසුගිය දිනක යහමග අඩවියට යහමග පාඨකයෙකු විසින් ලබාදුන් ඊමේල් පණිවුඩයක් වෙත ඔබේ අවධානය යොමු කරවීමට අදහස් කරමි. එහි සදහන් වුයේ “ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක ඉස්ලාමීය ත්‍රස්ථ සංවිධානයක්” පිලිබදවයි. මෙය “කැලෑ පත්තරයක්” යයි සලකා ඉවත දැමිය යුතු යයි විටෙක ඔබට සිතෙන්නට පුළුවනි. එසේම කැලෑ පත්තරයකට පිලිතුරු දීම අනවශ්‍ය කාරණයක් යයි ද සිතෙන්නට පුළුවනි. නමුත් ‍මෙවැනි ව්‍යාපාර වෙන කවරදාකටත් වඩා පුළුල්ව හා සංවිධානාත්මක ලෙස වර්ථමානයේ අප රට තුල දිගින් දිගටම ක්‍රියාත්මක වනවා යන්න අප සියළුදෙනා හොදින් දන්නා සත්‍යයකි. එවන් පසුබිම තුල මෙවන් මඩ ව්‍යාපාරවලට පිලිතුරු ලබා නොදුන්නත් මේ ඔස්සේ ශ්‍රී ලාංකීය සමාජය අවධි කිරීමට කිසියම් මෙහෙවරක් සිදු කලයුතුව ඇති බව මා විශ්වාස කරමි. විශේෂයෙන් ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව අනවබෝධයෙන් සිටින පිරිසට “මේ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද?” යන්න පැවසීමට මෙය හොද අවස්ථාවක් කර ගතයුතුව ඇත. එය සෑම මුස්ලිම්වරයෙකුගේම වගකීමද වේ. තවත් සරලව පවසනවා නම් මෙවැනි මඩ ව්‍යාපාරය ඉස්ලාම් දහමට වෙස්වලාගත් ආශිර්වාදයකි. එය නිසි ආකාරව ප්‍රයෝජනයට ගතයුතුව ඇත. මෙවැනි මඩ ව්‍යාපාර හේතුවෙන් මුස්ලීම් සමාජය පසුබෑමකට ලක්වන සේ පෙනුනද මෙවැනි අවස්ථාවන්වල මුස්ලීම් සමාජය ඉස්ලාමීය මඟපෙන්වීම අනුව බුද්ධිමත් ලෙස හා අවංක ලෙස ක්‍රියාකිරීම තුල එය දීර්ඝ කාලීන ජයග්‍රහණයන්ට හේතු වනු ඇත. ඒ සදහා මහාදෙයක් කිරීමට අවශ්‍ය නොවේ. කලයුතු වන්නේ “එම විෂය සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න පැහැදිලි කිරීම හා ඒ අනුව ක්‍රියා කිරීම පමණි” එලෙස ක්‍රියා කිරීම තුල ඉස්ලාමීය ඉතිහාසය දිනාගත් ජයග්‍රහණ අපමණය. මෙය ඉතිහාසය පුරාවට කියාපාන සත්‍යයකි. මක්කා ජයත්‍රහණය, හුදෙයිබියා ගිවිසුම, තායිෆ් හි සිදුවීම… මෙන්ම පසුකාලීන පාරිසීයවරුන්ගේ ජයග්‍රහණය එවන් නිදසුන් කිහිපයක් පමණි.

දැන් මාතෘකාව වෙත යොමු වුයේ නම්, ශ්‍රී ලාංකීකයන් වන සිංහල, මුස්ලීම්, දෙමළ… යනාදී සියළු පාර්ශවයන් අතීතයේ සිට මේ පුංචි දිවයින තුල ජිවත් වුයේ ඉතා සමඟියෙන් හා සහජීවනයෙන් යන්න ශ්‍රි ලාංකීය ඉතිහාසය මනාව කියාපාන සත්‍යයකි. නමුත් පසුකාලීනව (මෑතකාලීනව) ඇති වූ ජාතිවාදී දේශපාලන පක්ෂ හා කල්ලිවාදීන් නිසා එතෙක් අප රට තුල පැවතී ජාතීන් අතර සමඟිය අවබෝධය උඩුයටිකුරු වී වෛරය, ඊර්ෂියාව, වියරුව… යනාදීන් දුෂ්ඨ ගුණාංග සමාජයට ආදේශ විය. එහි එක් ප්‍රථිපලයක් තමා පහත (කැලෑ පත්‍රය හෙවත්) පොස්ටරය. මීට පෙරත් මෙවැනිම පෝස්ටර් කිහිපයක් මෙම අඩවිය හරහා ඔබට ඉදිරිපත් කලා මතකයේ ඇතැයි සිතමි. මෙවැනි ප්‍රචාරයන් තුලින් ඔවුන් අපේක්ෂා කරන්නේ කුමක්ද? යන්න හොදින් විමසා බැලුවේ නම් එය ජාතීන් අතර වූ වෛරය හා විරසකය මිස රටේ ඉතාම සුළුතරයක් කෙරෙහි මෙවැනි කුමණ්ත්‍රන මෙහෙයවා දිනාගැනීමට යන කිසිවක් නොමැති බව පැහැදිලිය. නන්අයුරින් සුන්දර, ආකර්ශණීය මෙන්ම සංවේදී තේමාපාටයන් හා වදන් පවසමින් රට අභ්‍යන්තරයේ විවිධ කෝලාහල නිර්මාණය කොට ඒ තුලින් කාලකන්නි සතුටක් ලබන්න පිඹූරුපත් හඳන මොවුන් ජාතියේ මුරකුරුවන්ද? ශාසනයේ මුරකරුවන්ද? යන්න බුද්ධිම ලෙස ශ්‍රී ලාංකීය ප්‍රජාව වරක් නොව දෙවරක් සිතාබැලිය යුතුය. මුස්ලීම් සමාජයට ත්‍රස්ථවාදී චෝදනා එල්ල කිරීමටත් ඔවුන් මත එය බලෙන් පැටවිමටත් නිරන්තර උත්සාහයේ නිරත වන පහත පිරිස් ශ්‍රී ලංකීය සුළුතරය වන මුස්ලීම් ප්‍රජාව එවන් ත්‍රස්ථ ක්‍රියාවක් සදහා පොළොඹවා ගැනීමට කොතරම් පහත් අන්දමින් ක්‍රියාත්මක වෙනවාද? යන්නට පහත කැලෑ පත්තරය තවත් හොද නිදසුනකි. මෙවැනි අන්තවාදී “ජාති මාමකයන්” පිලිබදවත් “ශාසන මාමකයන්” පිලිබදවත් විවිධ අවස්ථාවන් හි මෙම අඩවිය තුල හේතු සහිතව සාකච්චා කල බව ඔබ දන්නවා ඇති. එවන් වූ මතකයන් කිහිපයක් නැවත අළුත් කරන්නේ නම්,

ඉහත කරුණු කිහිපය බුද්ධිමත් ලෙස විමසා බැලුවේ නම් මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? යන්නත් ඔවුන්ගේ ඉලක්කය කුමක්ද? යන්නත් ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැක. කෙසේ වෙතත් මෙම විෂය සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න සමාජයට පැහැදිලි කිරීම කිසිවිටෙකත් අමතක නොකල යුතුය. ඒ අනුම මෙම විෂය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්නත් විවිධ මාතෘකාවන් ඔස්සේ මෙම අඩවිය තුල විවිධ අවස්ථාවල සාකච්චා කොට ඇත. එවන් ලිපි කිහිපයක් ද ඔබගේ අවධානයට නැවත ගෙන එන්නේ නම්,

දැන් මෙම ලිපියට පදනම් වූ එම “කැලෑ පත්තරය” වෙත කෙටි අවධානයක් යොමු කරමු.

ඉහත කැලෑ පත්තරය සදහා ඔවුන් “ශ්‍රී ලංකාව තුල වෙනම මුස්ලීම් රාජ්‍යයක්” යන මාතෘකාව යෙදීම තුල මා ඉහතින් සදහන් එම පහත් අපේක්ෂාවන් කුමක්ද? යන්න හොදින් පැහැදිලිය. ඒ සමඟම එම රාජ්‍යය සදහා “නසරිස්ථාන්” (නසරානි+ස්ථානය) යයි නම් කිරීම තුල ඔහුගේ පහත් මානසිකත්වය වඩ වඩාත් හොදින් පැහැදිලිය. තවද මෙලෙස අන්තවාදී මානසිකත්වයෙන් ක්‍රියාකරමින් මුස්ලීම් අන්තවාදයක් පිලිබදව කථා කිරීම තුල ඔවුන්ගේ විකෘති මානසිකත්වය තවත් හොදින් පැහැදිලිය. කෙසේ වෙතත් ඔවුන්ගේ විකෘති මානසිකත්වය අනුකම්පා සහගත ලෙස බලා ඔහුට මෙන්ම ඔහු වැනි පිරිසට අදහස් කිහිපයක් පවසන්නට අදහස් කරමි. එනම්,

  • වසර 2020 (එනම් තව අවුරුදු 8ක් තුල) දී නැගෙනහිර මුස්ලීම් රාජ්‍යයක් පිහිටුවීමට සකස් කල ඒ පිඹුරුපත් ඔබ සතුව ඇත්නම් එය රටේ ආරක්ෂක අංශ වෙත වහාම ලබාදි “දේශමාමකයෙකු” වන්න.
  • වසර 1998 දී මැලේසියාවේ සාකච්චා කල එම වාර්ථාව ද ඔබ සතුව ඇතැයි සිතමි. එයත් ආරක්ෂක අංශ වෙත ලබාදී ඔබේ ආදර්ශමත් “ජාතිමාමකත්වය” ජාතියට තහවුරු කරන්න.
  • මෙහිදී සැබෑ ශ්‍රී ලාංකීකයෙකු ලෙස ඔබට කිවයුතු යමක් ඇත. ඔබ බොරු බියකින් තැතිගෙන මෙලෙස මුමුණන්න හෝ මරහඩ දී “හෙළරත්න” කෙනෙකු වී දේශ හා ජාති මාමකත්වය පෙන්වන්න හදන්නේ ඔබේ පොස්ටරය තුල ඔබේ රෙදි ගලවාගෙන බව නොදැනද?
  • ලොව දරුණූතම ත්‍රස්ථවාදය විනාශ කල අපේ හමුදාව පිලිබදව තිබෙන අවතක්සේරුව හා අනවබෝධය ඔබේ ජාතිමාමකත්වය තවත් මනාව පිලිඹිබු කරමින් ඔබේ රෙදි තවදුරටත් ගැලවෙන බව වටහා නොගන්නේ මන්ද?.
  • මෙහිදී මුස්ලීම්වරයෙකු ලෙසත් ඉස්ලාම් භක්තිකයෙකු ලෙසත් මා සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. ඒ ඉස්ලාමීය ඉගෙන්වීමන් හොදින් පිලිපදින ශ්‍රි ලාංකීය බහුතර මුස්ලීම් ජනතාව ඔබ පවසන ආකාරයේ ඉස්ලාම් විරෝධි ක්‍රියාවන්ට කිසි විටෙක යොමු නොවන බවයි.
  • කිසියම් පාර්ශවයක් එවන් වූ ජාතිද්‍රෝහී ක්‍රියාවක නිරත වුයේ නම් එවන් පිරිසට එරෙහිව නැඟීසිටීමට මෙම යහමග අඩවිය මෙන්ම මේ රටේ බොහෝ මුස්ලීම් සංවිධාන නොපසුබටව ඉදිරිපත් වන බවත් ඔබට සදහන් කලයුතුම වේ.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ඒකීය රාජ්‍යය කිසියම් අකාරයකට බිද දැමීමට කිසියම් පිරිසක් ක්‍රියා කරන්නේ නම්, ශ්‍රී ලාංකීය අභිමානවත් ජාතියක් ලෙස අප කලයුතු වන්නේ මෙවැනි පිරිස් සම්බන්ධයෙන් “කැලෑ පත්තර” ගැසීම නොව රටේ ආරක්ෂාව හා ජාතික සමඟියට එරෙහිව ක්‍රියාත්මක එම සංවිධාන පිලිබදව ඔබ සතු තොරතුරු අදාල ආරක්ෂක අංශ වෙත යොමු කිරීම පමණි. නමුත් එවන් වූ තොරතුරු ඔබ සතුව නොමැති තත්වයක මේ තැතිගැනීම ඔබට ඇති වී තිබෙන්නේ නම් ඔබ කලයුතුව ඇත්තේ අත්‍යඅවශ්‍ය මෙන්ම මුඛ්‍ය පියවරක් ලෙස වහා වහාම හොද මනෝ වෛද්‍යවරයෙකු හමුවීම පමණි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම