අනවබෝධය ආඩම්භරයක් වූ රාලට

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහමට එරෙහිව බ්ලොග් එකක් පවත්වාගෙන යන රාලකෙනෙකු විසින් මීට දින කිහිපයකට පෙර “ඉස්ලාමිකයන්ට ප්‍රශ්න දෙකක්” යනුවෙන් ළදරු ප්‍රශ්න දෙකක් තම බ්ලොගය තුල ලිපියක් මඟින් ඉදිරිපත් කර තිබුණි. එම ලිපිය තුලින් මතු කරන කාරණය පිලිබදව (ඉස්ලාමිකයන්ගෙන් විමසූ නිසා) ඉස්ලාමීය විග්‍රහය “ලෝකය මැව්වේ අල්ලාහ්ද? මහා බ්‍රහ්මයාද?” යනුවෙන් ලිපියක් තුලින් පැහැදිලි කරන ලදී. එහිදී කවදත් යහමඟ අඩවිය කිසියම් පුද්ගලයකු හෝ කිහිපදෙනෙකු ඉලක්ක කරගෙන නොව සමස්ථ ශ්‍රී ලාංකීය සමාජයම ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන අඩවියක් ලෙස වෙනදා මෙන්ම මෙම විෂය ද ශ්‍රී ලාංකීය ප්‍රජාව පදනම් කරගෙන ඉදිරිපත් කරන ලදී. එමනිසා එහි ඉහත සදහන් රාලගේ ලිපිය තුලින් මතුකල කාරණයන්ට වඩා යමක් එම ලිපිය තුල අන්තර්ගත වූවා යන්න සැබෑවකි. මා විසින් එලෙස ඉදිරිපත් කල ලිපියට නැවතත් රාල අරුම පුදුම පිලිතුරු ලිපියක් “ලෝකය මැව්වේ අල්ලාහ්ද? අබූ අර්ශද්ට පිලිතුරු” යනුවෙන් ලියා තිබෙනු දැක එම ලිපිය කියවීමේ දී මේ රාල තම බ්ලොගය තුල කොතරම් ජනතාව අන්දනවාද? යන්නත්, මා ඉහත ලිපියේ අවධාරණය කලාසේ “තමන් නොදන්නා, නොපිලිගන්නා දෑ හෙළාදැකීමේ න්‍යාය” කොතරම් දුරකට තම අඩවිය තුල ක්‍රියාවට නංවනවාද? යන්නත් පාඨක ඔබගේ අවධානය යොමු කිරීම පිණිස මෙවන් ලිපියක් ඉදිරිපත් කරමි. එහි ප්‍රථමයෙන් ඔහුගේ එම ලිපිය ඉදිරිපත් කරන්නේ නම්,


(සැ:යු: – පහත එම ලිපියෙහි කඩ ඉරිමඟින් දක්වා ඇති තැන්හි යම් යම් ඡේදයන් ඉවත් කර ඇත. එයට හේතුව එම කොටස් මාතෘකාවට අදාල නොවන වචන ගොඩක් වන නිසාත්, ඒ තුලින් මෙම ලිපිය අනවශ්‍ය ලෙස දිර්ඝවීමක් සිදුවන නිසාත්ය.)


ලෝකය මැව්වේ අල්ලාද? අබු අර්ශද්ට පිළිතුරු

…අබු අර්ශද් රාළ ලියන ඒවට උත්තර දෙන එක හොඳ දෙයක් වුණත්, අර්ශද් වැඩිහරියක් කියන්නෙ බොරු නිසා ලොකු ප්‍රශනයක් මතු වෙනව. මෙදා පාර අර්ශද් ලියපු “ලෝකය මැව්වේ අල්ලාහ්ද? මහා බ්‍රහ්මයාද?” කියන ලියුම ගැනයි මේ පාර කතාව. හැබයි මේ ලිපියේ මාතෘකවෙන් යෙහෝවඃ අත ඇරල තියෙන්නේ අමතක වෙලාද, එහෙම නැත්නම් කට්ට කමටද කියන එක හොයා ගන්න වටින දෙයක්… ලියුමේ අනා ගැනීම් ගැන බලමු.

…ඒත් රාල “ඉස්ලාමිකයන්ට ප්‍රශ්න දෙකක්” කියන ලිපිය පටන් ගන්නේන්ම දේව වාදය ඇත්ත බව අපි මදකට පිළිගනිමු කියල. ඒ හින්දා අර්ශද් උන්නැහේ ලිපි ගොඩක් සබැඳුම් දාල කරල තියෙන්නේ නිකම් අහසට වෙඩි තියල උණ්ඩ නාස්ති කරනව… …අර්ශද් උන්නැහේ, ඔබතුමා කොහොමද බෞද්ධයන්ට තියෙන ගැටළු ගැන දන්නේ? එහෙම දැන ගත්තත් ඔබතුමා කොහොමද මගේ ගැටළුවත් ඒක බව දන ගන්නේ?… …අනුන්ගේ හිත් කියවන්න එහෙම පුළුවන් උණාද? (ඒ කියන්නේ “ප්‍රොපට්” කෙනෙක් . . . ඊක්! වැඩේ කනවා නේද එහෙම වුනොත්?). ඒ වගේම ඔබතුමා මම බෞද්ධයෙක්ය කියල වරදියට උපකල්පනය කරල…

…මම අහපු ප්‍රශ්න දෙකෙන් කියවෙන්නේ බුද්ධාගමේ එන “දේව” සංකල්පය නොවෙන බව, මොලය අලුක්කාලක් තියෙනෙ කෙනෙට තේරෙනවා. මොකද අල්ලා, බ්‍රහ්ම සහ යෙහෝවා කියන්නේ සර්වබලධාරී දේව සංකල්පය මිසක්, බුද්ධාගමේ එන දේව නම් ජීවී කොටස ගන සංකල්පය නොවෙන බව තේරුම් ගන්න හරිම ලේසියි මොකද “බෞද්ධ” දෙවිවරු මවුම් කරුවන් නොවෙයි.රාළගේ ප්‍රශ්න පටන් ගන්නේ මැවීමක් ගැන සඳහනකින්… …බුද්ධ චරිතයේ කොටසකින් පාඨයක් ගන්න අර්ශද් අපෙන් අහන්නේ “බුදුන් වහන්සේ පරිණිර්වාණයට මොහොතකට පෙර සිදුවුවා යයි පැවසෙන ඉහත සිදුවීම තුල දේව සංකල්පය පිලිඹිබු වනවා නොවේද?” කියල. අපොයි නෑ මහත්තයෝ. ඔය පාඨයේ අකුරක්වත් නෑ මැවුම්වාදයක් එහෙම නෑත්නම් සර්වබලධාරී දෙවියෙක් ඉන්න බව සනාථ කරල මම අභියෝග කරනව පුළුවන්නම් පෙන්නන්න කියල. ජාතක කතා බෞද්ධ ධර්මය හැටියට පටලවා ගන්න අර්ශද් ඊලඟට උම්මග්ග ජාතකයේ එන කොටසක් දීර්ඝ සූත්‍රයකින් කොටසක් කියල බොරුවට කියනව. මේ බොරු වලින් අර්ශද් මුස්ලිම් අයව රැවටුවාට, බෞද්ධයන්ව රවටන්න අමාරු වෙයි. මොකද බෞද්ධයන් ජාතක පොත මොකද්ද, ත්‍රිපිටකය මොකද්ද කියල දන්න නිසා, ඒ හින්ද සර්වබලධාරියෙක් ගැන පෙන්නන්න ත්‍රිපිටකය කියල වල්ගේ පාගගෙන අර්ශද් උපුටන්නේ උමංදාව! ඔන්න බලන්න මිත්‍රනේ හම්බයාගේ බොරු විදිල්ල!,

ඊට පස්සේ මැවීම කළේ එක දෙවියයි කියන්න අර්ශද් අරගන්නේ කුරාණය. ඒකෙන් කෑල්ලක් කියල පෙන්නනවා “මේන් බලපල්ලා, අල්ලා විතරයි පොර” කියල. හැබැයි මහත්තයෝ කිතුණුවෙක්ගෙන්ම ඕක ඇහුවොත් එයා බයිබලය පෙන්නල කියයි මේක තමයි හරි අනික්වා හරි නෑ කියල. අපට කුරාණය කියන්නේ හරිම පොත කියල පෙන්නන්න සාක්කියක් දෙන්න. හැබැයි සමහර විට අපි ක්‍රිස්තියානි කෙනෙක්ටත් ඔබතුමාගේ උත්තරේ බලන්න සලස්වනවා. අල්ලා ලියපු කුරාණය අරගෙන අල්ලා තමයි ලොක්කා කියල පෙන්නන එක විහිළුවක් මහත්තයෝ. පුළුවන් නම් අල්ලා ශ්‍රේෂ්ටයි කියල කුරාණයෙන් හෝ හැඩිත් නොවෙන තැනකින් පෙන්නල දෙන්නකෝ බලන්න. හැබැයි ඒවා ඉස්ලාමයට කත් අදින ඉස්ලාමිකයන් ලිඅය්පු පොත් නොවෙන්න ඕන. නැත්නම් ඒක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් වෙයි. අර්ශද් දන්නවා වුණාට නොකියන ඇත්ත තමයි, අර්ශද් ඒක දේව වාදය (මැවුම් වාදය ) සනාථ කරන්න ගෙනාපු හම කාරණයක්ම ඊටත් වඩා හොඳින් බහු දේව වාදය සනාථ කරන්න පාවිච්චි කරන්න පුළුවන් වීම. ඒ නිසා අර්ශද් මේ පර්ශන්යේදී “දැවැන්ත ව්‍යර්ථ වීමක් (massive failure)” කියල තමයි කියන්න වෙන්නේ.

…ඔය අතරෙම අර්ශද් කියනවා රාළගේ අඩවියේ ලිපිනය දෙන්නේ නත්තේ ඒකෙන් රාළගේ අඩවිය ප්‍රසිද්ධ වෙන එක වළක්වන්නලු! මේක අර්ශද්ගේ තවත් දවල් හීනයක්. අලෙක්සා අඩවියට ගිහින් අඩවියට ආපු අය ගණන බලුවම පේන දෙයක් තමයි මුළු වෙබ් අවකාශයේම අඩවි අතරින් යහමග අඩවිය ඉන්නෙ මිලියන දෙවනි ස්ථාන්යටත් පහළින් කියල. රාලගේ අඩවිය ඉන්නේ මිලියන වෙනි ස්ථානයට. පෙරමුණේ රාලගේ අඩවිය අර්ශද්ගේ යහමගට වඩා ස්ථාන මිලියනයක් ඉදිරියෙන් ඉන්දද්දී, අර්දද්ගේ අඩවියෙන් රාළගේ අඩවියට හිට්ස් එන එක ගැන කතා කිරීම තවත් විහිළුවක්. තවමත් පේන කාරණය තමයි අර්ශද් රාළගේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න සමත් වෙලා නැති බව. අරශද් හිතින් මවා ගත්තු ප්‍රශ්න වලට දෙන උත්තර වලින් රාළගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නෑ. ඒක දේව වාදය ඇත්ත බව ඔප්පු කරන්න අර්ශද් තවමත් සමත් වෙලා නෑ. අර්ශද් උත්සාහ කරලා මැවුම් වාදය ඔප්පු කළත් ඒකෙන් ඒකදේව වාදය ඔප්පු වෙන්නේ නැති බව මේක කියවන අපේ මිත්‍රයන්ට වැටහෙන්න ඇති කියල රාළ හිතනව. නමුත් අර්ශද්ට මේක වටහෙන එකක් නෑ. තේරුම් ගියත් නොතේරුණු ගානට ඉන්නවා වෙන්නත් පුළුවන්. එහෙනම් මෙන්න තවත් අර්ශද් නා ගැනීමක අවසානය.


ඉහත එම ලිපිය වෙත අවධානය යොමු කිරීමට පෙර පාඨක ඔබට සදහන් කලයුතු කාරණයක් ඇත. එනම් ශ්‍රී ලාංකීය සමාජය තුල මෙලෙස ආගම් හා ජාතිවාදී වියරුවෙන් ක්‍රියාකරන පිරිස් හතු පිපෙනවා සේ මෑත කාලීනව සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. එවන් පිරිසගේ කුමණ්ත්‍රණවලට බිලිනොවී කටයුතු කිරීමට නම් එවන් පිරිස් හදුනාගෙන අවබෝධයෙන් හා බුද්ධිමත්ව කටයුතු කලයුතුය. (එම කාරණය පිලිබදව මෙම අඩවිය තුල ඉදිරියටත් සාකච්චා කිරීමට අදහස් කොට ඇත) එවන් බුද්ධිමත් පිරිසකගේ අවධානයට මෙම යහමඟ ලිපි ඉදිරිපත් කරනවා මිස ඉහත ආකාරයේ අන්තවාදීව හා වියරුවෙන් ක්‍රියාකරන පිරිසට කුමක් පැවසුවද එය “බිහිරි අලීන්ට වීනා වයනවා” සේ මිස ඉන් පලක් නොවේ. මෙවන් පිරිස සම්බන්ධයෙන් පැවසෙන ශුද්ධ වූ කුර්ආන් පාඨයක් වන 22-46 වාක්‍යය ඔබගේ අවධානයට යොමු කලේනම්, එය මෙසේය.

“…(ඔවුනට) අවබෝධ කරගත හැකි මනසක් හා සවන් දියහැකි ශ්‍රවණේද්‍රයක් ඇත. (ඔවුනගේ) ඇස අන්ධ වී නැත. (එනමුත්) ඔවුනගේ සිතුවිලි (හදවත) අන්ධ වී ඇත.”

ඉහත ශුද්ධ වූ වාක්‍යයේ පවසන ආකාරයට සිතුවිලි අන්ධ වූ පිරිසට කුමක් පැවසුවද එයින් පලක් නොවේ. ඒ අනුව යහමඟ කවදත් උත්සාහ කරන්නේ මනසින් අන්ධ පිරිසට කථා කිරීමට නොව බුද්ධිමත් ලෙස කරුණු කාරණා දකින කථා කරන පිරිසගේ හදවතට කථා කිරීමටය. එවන් ලිපි සදහා ඉහත සදහන් අන්තවාදී රාලලා හොද අවස්ථාවන් සමාජය තුල නිර්මාණය කරදීම පිලිබදව ස්තූති වන්ත වෙමින් ඔහුගේ “අනවබෝධය අඩම්භරයක්” කරගත් එම ලිපිය වෙත දැන් යොමු වෙමි.

රාල තම පිලිතුරු ලිපිය අරභන්නේ “…අර්ශද් වැඩිහරියක් කියන්නෙ බොරු…” යයි මා බොරුකාරයෙකු බව පවසමිනි. ඔහු ඉදිරිපත් කරන එම චෝදනාව ඔහුගේම අතේ පත්තුවෙන ආකාරය මෙම ලිපිය ඉදිරියට කියවාගෙන යද්දී ඔබට පැහැදිලි වනු ඇත. එම නිසා එම කාරණයට මීට වඩා පැහැදිලි කිරීමක් නොකොට මීලඟ කාරණය වෙත යොමු වුයේ නම් එහිදී ඔහු පවසනවා “යෙහෝවඃ අත ඇරල තියෙන්නේ අමතක වෙලාද, එහෙම නැත්නම් කට්ට කමටද ” කියා. ඔහු පවසනවා සේ “යෙහෝවා” යන දේව සංකල්පය මඟහැර යාමට කිසිවක් නැත. “දෙවියන්” යන්න හිබ්රු භාෂාවෙන් පවසන්නේ “යෙහෝවා” යනුවෙනි. මේ පිලිබදව අන්තර්ජාලයේ ඕනෑ තරම් කරුණූ සොයා ගතහැක. (මෙහි දැන්වෙන රූපයෙන් ද එය ඔබට පැහැදිලි වනු ඇත.) කෙසේ වෙතත් මාගේ ඉහත ලිපිය තුලින් යෙහෝවා ඉවත් කිරීම (එසේ ඉවත් කර ඇතැයි පැවසීම බොරුවක්) ප්‍රබල කාරණයක් ලෙස පෙන්වන්න උත්සාහ කරන රාලට පවසන්නට ඇත්තේ කිතුණූවන්ගේ යෙහෝවා දේව සංකල්පය හා ඉස්ලාමීය දේව සංකල්පය අතර කිතුණූ හා මුස්ලීම් සමාජය අතර කිසියම් මතවාදයක් පැවතුනද ආගමික ඉගෙන්වීමන් හි එවන් වූ මතභේදයක් නැත. එම නිසා තමා මා මාගේ “ලෝකය මැව්වේ අල්ලාහ්ද? මහා බ්‍රහ්මයාද?” යන ලිපිය අවසන් කරන්නේ “එකම දෙවියා තමන් දරණ ආගමික මතවාදයට ලඝුකොට ‘අල්ලාහ්’ යනුවෙන් පිරිසක් පැවසීමත්, තවත් පිරිසක් තවත් ආගමික මතවාදයකට ලඝුකොට එම දෙවියාම ‘යෙහෝවා’ යනුවෙන් පැවසීමත්, තවත් පිරිසක් තමන්ගේ ආගමික මතවාදයකට එම දෙවියා ලඝුකොට ‘මහාබ්‍රහ්මයා’ යනුවෙන් පැවසීමත් දෙවියන්ගේ දුර්වලතාවයක් හෝ බහුදේව සංකල්පයක් නොව මිනිස් වර්ගයාගේ අනවබෝධය පමණි.” යනුවෙන්. (මාගේ පෙර ලිපිය තුල යෙහෝවා පිලිබදව ද සාකච්චා කොට ඇත යන්නට ඉහත පාඨය එක් නිදසුනකි) දැන් ඔබට ගැටළුවක් පැන නැඟෙනු ඇත. ඒ “එසේ නම් ‘මහා බ්‍රහ්මයා’ ගැන කථා කලේ ඇයිද?” යන්නයි. එයට පැහැදිලි හේතුවක් ඇත. එනම් වර්ථමාන ශ්‍රී ලාංකීය සමාජය තුල ඉස්ලාම් පවසන දේව වාදය ශ්‍රී ලාංකීය බෞද්ධයන් මඟින් ප්‍රබල ලෙස විවේචනයට ලක්වීම නිරන්තරයෙන් දකින කාරණයකි.

ඔවුන්ගේ එම විවේචනයන් දෙස බලනවිට ඔවුන් නියෝජනය කරන බුදුදහම තුල දේව සංකල්පයේ ඡායාවන් පවා නොමැති තරම්ය. මෙවන් පිරිසක් හමුවේ ඉදිරිපත් කරන මෙම ලිපිය තුල රාල පවසනවා සේ “…අර්ශද් උන්නැහේ ලිපි ගොඩක් සබැඳුම් දාල…” ඇත්තේ දේව සංකල්පය පිලිබදව අන්ධ වූ රාලගේ මනස අවධි කරන්න නොව අනවබෝධයෙන් ක්‍රියා කරන ශ්‍රී ලාංකීය ප්‍රජාවට තමන් පිලිගෙන පිලිපදින දහම තුල දේව සංකල්පය ඇතිබව පෙන්වීමටය. විශේෂයෙන් ඉහතින් සදහන් ලිපිය තුල පවා “…සක්වල දෙවියෝ තථාගතයන් දැකීමට දැන් මෙහි ඇවිත් සිටිනවා. කුසිනාරා නුවරත් මේ සල් උයනත් අතර දොළොස් යොදුනක ප්‍රමාණයේ දෙවියෝ අතුරු සිදුරු නැතිව පිරී සිටිනවා… ” යන ත්‍රපිටක පාඨයන් ගෙනහැර දක්වන්නේ මැවුම්කරුවා සනාථ කිරීමට නොව දේව වාදය සනාථ කිරීමටය. එය මා ඉහත ලිපියේ පැහැදිලිවම සදහන් කලද එම සනාථ කිරීම තුල අනාථ වූ රාල තරමක් කළබල වී සුපුරුදු අනවබෝධයේ හා වියරු තම ලිපිය තුල රග දක්වා ඇත.

රාල මට ඊලගට චෝදනාවක් කරනවා “අනුන්ගේ හිත් කියවන්න එහෙම පුළුවන් උණාද? (ඒ කියන්නේ “ප්‍රොපට්” කෙනෙක්…) බෞද්ධ ප්‍රජාව සමඟ ඉතා සමීපව හා සුහඳව කටයුතු කරන මාහට බෞද්ධ සමාජයේ බහුතරයකගේ හැඟීම් අවබෝධ කරගත හැකි වුනාට රාලට එවන් හැකියාවක් නොමැති බව මා දනිමි. එය තම බ්ලොගය තුල ලියන ලිපි මනාව පිලිඹිබු කරයි. (නිදසුනක් ගෙනහැර දක්වනවා නම් මීට කලකට ඉහත රාල ලියූ “හිජබ්” ලිපිය සදහන් කරන්නට පුළුවන.) මෙවැනි සරල කාරණයන් පවා “…අනුන්ගේ හිත් කියවීමක් එසේත් නැත්නම් “ප්‍රොපට්” කෙනෙක්…” යන්න පැවසීම තුල ඔහුට ශ්‍රී ලාංකීය සමාජීය විශ්වාසයන් හා ඔවුන්ගේ මතවාදයන් පිලිබදව තිබෙන අනවබෝධය මනාව පිලිඹිබු කරයි. අඩුම තරමින් “ලිදේ මැඩියා” නොවී තම බ්ලොගයෙන් පරිභාහිර බ්ලොගයන් අතර මොහොතක් සැරිසැරුවේ නම් මා පවසන එම සමාජ තත්වය පහසුවෙන් අවබෝධ කරගන්නට තිබුණි. නමුත් ඔහුට දොස් පැවරිය නොහැක මන්ද “තමන් නොදන්නා, නොපිලිගන්නා දෑ හෙළාදැකීම” තම එකම න්‍යාය පත්‍රය වන බැවිණි.

මීලගට ඔහු මතුකරන කාරණය පිලිබදව ඔබ බුද්ධිමත් ලෙස අවධානය යොමු කලේනම්, ඔහුගේ අනවබෝධයත්, කුහකකමත්, බොරුවත් මනා ලෙස වටහාගත හැක. ඔහුගේ ඉහත ලිපිය තුල එක් අවස්ථාවක මෙලෙස සදහන් කරයි. එනම් “…බුද්ධාගමේ එන “දේව” සංකල්පය නොවෙන බව, මොලය අලුක්කාලක් තියෙනෙ කෙනෙට තේරෙනවා. මොකද අල්ලා, බ්‍රහ්ම සහ යෙහෝවා කියන්නේ සර්වබලධාරී දේව සංකල්පය…” ඔහු එක කාරණයක් පැහැදිලිවම පිලිගනී. ඒ අල්ලාහ්, බ්‍රහ්ම හා යෙහෝවා යනු සර්ව බලධාරී දේව සංකල්ප බවයි. (මෙම කාරණය පිලිබදව ඔබගේ අවධානය තබාගන්න) එසේ පවසන ඔහු මා ඉහත ලිපියේ සදහන් බුදුන් පරිණිර්වාණය මොහොතේ දෙවියන් පහල වීම සම්බන්ධ ත්‍රපිටක වාක්‍යය උපුටා දක්වමින් මා පවසන ලද “…ඉහත සිදුවීම තුල දේව සංකල්පය පිලිඹිබු වනවා නොවේද?…” යන කාරණය ඔහුත් දැන හෝ නොදැන (මල්ලෙන් එලියට පැනීමක්) ගෙනහැර දක්වමින් මා නොපැවසූ කාරණයක් ඔහුගේම වචනවලින් පවසනවා නම් “අපොයි නෑ මහත්තයෝ. ඔය පාඨයේ අකුරක්වත් නෑ මැවුම්වාදයක් එහෙම නෑත්නම් සර්වබලධාරී දෙවියෙක් ඉන්න බව සනාථ කරල මම අභියෝග කරනව පුළුවන්නම් පෙන්නන්න” යනුවෙන් පවසයි. මෙය සංවාදයක්, තර්කයක් ගොඩනඟන ආකාරය නොවේ. මා නොපැවසූ කරුණු මා පැවසූ බව පවසමින් එය අභියෝගයට ලක්කිරීම අනවබෝධයද?, කුහකකමද? නොඑසේ නම් සුපුරුදු බොරුවද?.

මීලඟට ඔහු පවසන කාරණය විහිළුවක්ද? නොඑසේ නම් ජනතා ඇන්දීමක්ද? එසේත් නැත්නම් අනවබෝධයක්ද? යන්න සිතාගැනීමටත් අපහසු කාරණයකි. එය කුමක් වුවද එක් කාරණයක් පැහැදිලිය ඒ මා ඉහතින් සදහන් කලසේ තම න්‍යාය පත්‍රය වන “තමන් නොදන්නා, නොපිලිගන්නා දෑ හෙළාදැකීම” අනුව ක්‍රියා කරන බවයි. එම කාරණය වෙත අවධානය යොමු කලේනම්, මා විසින් ත්‍රපිටකයේ සදහන් වාක්‍යයක් වන පහත වාක්‍යය. එනම්,

“…කේවට්ටය, එවිට ඒ බ්‍රහ්මතෙම ටික වේලාවකින්ම පහළවූයේය. එවිට ඒ භික්‍ෂුතෙම, ඒ මහාබ්‍රහ්මයා වෙත පැමිණ බ්‍රහ්මයාගෙන් මේ කාරණය ඇසුවේය.මෙසේ ඇසූ කල ඒ මහාබ්‍රහ්ම තෙම ඒ භික්‍ෂුවට මෙසේ කීයේය. ‘මහණ, මම බ්‍රහ්ම වෙමි, මහාබ්‍රහ්ම වෙමි. සියල්ලන් මැඩපවත්වා සිටින්නා වූ ප්‍රධානිආ වෙමි. අනුන් විසින් මැඩපැවැත්විය නොහැක්කෙක් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දක්නෙමි. සියලු ජනයා වසඟයෙහි පවත්වමි. ලොවට ප්‍රධාන දෙවියා වෙමි. ලෝකයට කර්තෘ වෙමි. ලෝකය මවන්නෙක් වෙමි. ලෝකයට උත්තම වෙමි. සත්වයන් කොට්ඨාශ වලට බෙදන්නෙක් වෙමි. පුරුදු කරන ලද ධ්‍යාන ඇත්තෙමි. උපන්නාවුද, උපදින්නාවූද සියලු සත්වයන්ට පියා වෙමි…’ ”

(කේවට්ට සූත්‍රය)

ඉදිරිපත් කරමින් ඔහු විසින් ද සර්ව බලධාරී දෙවියන් බව පිලිගන්නා (ඉහතින් අවධාරණය කල) “බ්‍රහ්මයා” පිලිබදව ත්‍රපිටකයේ සදහන් වාක්‍යය පවසන විට ඔහු අලංකාර තර්කයක් එයට එරෙහිව පවසයි. එනම් “අර්ශද් ඊලඟට උම්මග්ග ජාතකයේ එන කොටසක් දීර්ඝ සූත්‍රයකින් කොටසක් කියල බොරුවට කියනව ” දැන් මට ඇති ප්‍රශ්නය රාල ත්‍රපිටකය කියා සිතා සිටින්නේ උම්මග්ග ජාතකයද? නොඑසේ නම් අන්තර්ජාලයේ http://www.metta.lk යන වෙබ් අඩවියේ ත්‍රපිටකය ලෙස පවසමින් ලබාදී ඇත්තේ උම්මග්ග ජාතකයද? යන්නයි. මේ එකම කාරණය ප්‍රමාණවත් රාලට ආවඩන ශ්‍රී ලාංකීය ප්‍රජාවට “රාල” ගේ න්‍යාය පත්‍රය කුමක්ද? යන්න පහසුවෙන් අවබෝධ කරගන්න. මෙවැනි “අල්ප දැනුමේ අදෝනාවන්” මීට පෙරත් මෙම අඩවිය තුල ඉදිරිපත් කොට ඇත. කෙසේ වෙතත් රාල විසින් “අල්ලා, බ්‍රහ්ම සහ යෙහෝවා කියන්නේ සර්වබලධාරී දේව සංකල්පය…” යයි පිලිගැනීම තුලත්, “බ්‍රහ්ම”යා පිලිබදව (රාලගේ දැනුමේ හැටියට එය උම්මග්ග ජාතය වුවත්) ත්‍රපිටකයේ සදහන්ව පැවතීම තුලත්, රාල නොව රාලගේ අඩිපාරේ යමින් අතරමං වූ පිරිස සර්ව බලධාරී දේව සංකල්පය පැහැදිලි ලෙස අවබෝධ කරගත යුතුවේ. මෙහිදී අවසාන වශයෙන් රාලගේ වචනයෙන්ම පවසන්නට ඇත්තේ “බෞද්ධයන්ව රවටන්න අමාරු වෙයි. මොකද බෞද්ධයන් ජාතක පොත මොකද්ද, ත්‍රිපිටකය මොකද්ද කියල දන්න නිසා” යන්න පමණි.

මීලඟට ඔහු තම ලිපිය තුලින් තවදුරටත් මැවුම්කරුවා පිලිබදව තහවුරු කරන ලෙස අභියෝග කරයි. ඔහු මෙම විෂය තුල කොතරම් වියරුවැටී ද යන්න පවසනවා නම් ඔහු ඉදිරිපත් කරන ලද “ලෝකය මැව්වේ අල්ලාද? අබු අර්ශද්ට පිළිතුරු” ලිපිය තුලින් මැවුම්කරු වාදය ඔහු විසින්ම පිලිගෙන තහවුරු කොට හමාරය. නමුත් ඒ බව නොදැන මෙලෙස නැවත නැවත අභියෝග කලත් ඔහුගේ ලිපිය හොදින් විශ්ලේෂණය කරන බුද්ධිමත් පාඨකයෙකු හට එය අවබෝධ කරගැනීම අපහසු නොවේ.

මීලඟට ඔහු තම ඉස්ලාම් විරෝධි ව්‍යාපාරයේ සාර්ථකත්වය පෙන්වාදීමට උපක්‍රමයක් යොදයි. ඒ උපක්‍රමය තමා අලෙක්සා (Alexa) අඩවිය තුල තම බ්ලොගය ලබාගෙන ඇති (Rank) ස්ථානය පිලිබදව කථා කිරීම. “මෙය ඔහුගේ භාෂාවෙන් පවසනවා නම් “මෝඩ චූන්” එකක් පමණි. අලෙක්ස් අඩවිය තුල කිසියම් වෙබ් අඩවියක් ඉහල තැනක් (Rank) ලබාගැනීම එම වෙබ් අඩවියේ සාර්ථකත්වය, ශිෂ්ඨසම්පන්න බව, නිරවද්‍යතාවය… යනාදී කරුණූ මත පදනම් වන කාරණයක් නොවේ. එය ඔබට http://www.alexa.com හරහා පරික්ෂා කර බැලිය හැක. එසේ තිබිය දී යහමඟ අඩවියට වඩා තම බ්ලොගය ඉදිරියෙන් සිටින බව පැවසීමට පදනම් කරගන්නා කාරණය තවත් විහිළුවක් පමණි. මේ පිලිබදව රාලගෙන් විමසන්නට ඇත්තේ සරල ප්‍රශ්නයකි. එනම් අලෙක්සා අඩවිය තුල යහමඟ ඉහලින් තිබෙන සියළු අඩවීන් නිවරැදි හා යහපත් අඩවීන් යයිද? යහමඟ අඩවියට පහලින් ස්ථානයන් ලබාගෙන ඇති වෙබ් අඩවීන් වැරදිසහගත අඩවීන් බවද පැවසිය හැකිද? රාල සමහර විට එලෙස පවසන්නට පුළුවනි. නමුත් රාලගේ Alexa Rank කථාව බුද්ධිමත්ව විමසා බැලීම පාඨක ඔබට භාරය. තම ලිපිය තුල මෙම Alexa Rank කථාවට ඔහු අවස්ථාව ලබාගන්නේ ඉහත සදහන් මාගේ ලිපිය තුල “එම අඩවීන් සදහා අනවශ්‍ය ප්‍රසිද්ධියක් මේ තුලින් නිර්මාණය වීම වක්වාලීම සදහාය” යනුවෙන් පැවසීම පදනම් කරගෙනය. එහිදී මා අදහස් කලේ ඉස්ලාම් විරෝධි වෙබ් අඩවීන් සදහා ප්‍රචාරක ස්ථානයක් බවට යහමඟ අඩවිය පත් නොකරන බවයි. එම කාරණය මා පැහැදිලිව සදහන් කර තිබිය දී එම පාඨය විකෘති කොට “අර්ශද්ගේ අඩවියෙන් රාළගේ අඩවියට හිට්ස් ” යන කාරණය තමන් විසින්ම පවසමින් එය අභියෝගයට ලක්කරමින් තම බ්ලොගයේ Rank ය පිලිබදව කථා කිරීම “මෝඩ චූන්” එකක් යන්න මිස වෙන කිසිවක් නොවේ.

මීලඟට ඔහු විසින් ඉදිරිත් කරන කාරණය එනම් “අර්ශද් රාළගේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න සමත් වෙලා නැති බව” යන්නයි. ඔහුගේ ප්‍රශ්නය ඉස්ලාමිකයන් සදහා වුවත් එය ඉස්ලාමීය ඉගෙන්වීමෙන් බැහැරව විවිධ පැතිකඩ ඔස්සේ සාකච්චා කොට ඇති ආකාරය ඉහත සදහන් ලිපි මාලාවම විශ්ලේෂණය කිරීමේ දී ඔබට පැහැදිලි වනුඇත. ඊට අමතරව මෙම ලිපිය හොදින් විශ්ලේෂණය කලේනම් රාලත් එය දැන හෝ නොදැන පිලිගෙන ඇති බව පැහැදිලි වනුඇත. (ඒ පිලිබදව වැඩි විස්තර සදහා ඉහත සදහන් “ලෝකය මැව්වේ අල්ලාහ්ද? මහා බ්‍රහ්මයාද?” යන ලිපිය බලන්න.) කෙසේ වෙතත් මෙම ලිපිය පටු අරමුණුවල හෝ අනිතවාදී ලෙස හිද නොබලා මධ්‍යස්ථව හිද විවෘත මනසින් හොදින් විශ්ලේෂණය කලේනම් මේ රාල කව්ද? යන්නත්, ඔහුගේ න්‍යාය පත්‍රය කුමක්ද? යන්නත්, බුද්ධිමත් ලෙස තීරණ කිරීම ඔබට අපහසු නොවනු ඇත. එම තීරණය ඔබට භාර කරමින් මේ ලිපිය අවසන් කරන්නේ මා මේ ලිපිය ආරම්භයේ සදහන් කල 22-46 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය නැවතත් ඔබගේ අවධානයට යොමු කරමිණි.

“…(ඔවුනට) අවබෝධ කරගත හැකි මනසක් හා සවන් දියහැකි ශ්‍රවණේද්‍රයක් ඇත. (ඔවුනගේ) ඇස අන්ධ වී නැත. (එනමුත්) ඔවුනගේ සිතුවිලි (හදවත) අන්ධ වී ඇත.”

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/12

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම