අන්තර්ජාලයෙන් උපුටාගත් ලිපි පෙලගැස්ම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


යහමග අඩවිය ඉදිරිපත් කරන මා අන්තර්ජාලය තුල කියවන සමහරක් ලිපි කාලයක් ගතවීමේදි අන්තර්ජාලයෙන් අතුරුදහන් වීම දකින්නෙමි. (මෙම තත්වය අන්තර්ජාල ලිපිවල පමණක් නොව Youtube වීඩියෝවල ද දකින්නෙමි.) අන්තර්ජාලයේ පලවන ලිපියක කරුණූ පදනම් කරගෙන, එසේත් නැත්නම් එහි අන්තර්ගත කරුණු පදනම් කරගෙන, එසේත් නැත්නම් එහි කිසියම් උපුටා ගැනීමක් පදනම් කරගෙන මා යහමග අඩවිය තුල ලිපියක් ඉදිරිපත් කිරීමක් සිදුකොට එම ලිපියට අදාල ලිපි සබැදුම (link) යොමු කලත් කාලයත් සමඟ එම ලිපි අන්තර්ජලයෙන් ඉවත්වීම හෝ අතුරුදහන් වීම නිසා මා දැඩි අපහසුතාවයන්ට පත්වෙමි.

එසේම කිසියම් වැදගත් කරුණු පෙලගැසීමක් අන්තර්ගත ලිපියක් නැවත කියවීමට අන්තර්ජාලයේ සොයන විට එම ලිපිය පමණක් නොව ඊට අදාල වෙබ් අඩවියම අන්තර්ජාලයේ සොයාගත නොහැකි තත්වයන් දකින්නෙමි. මෙවැනි හේතු රාශියක් නිසා එවැනි ලිපි අන්තරජාලයෙන් උපුටාගෙන යහමග අඩවිය තුල මතු කියවීම පිණිස සංරක්ෂණය කිරීමක් සිදු කරන්න මා මෙහි අදහස් කරමි.

අවසරයකින් තොරව වෙනත් වෙබ් අඩවියකින් ලිපියක් හෝ එහි කරුණු උපුටාගෙන මෙම අඩවිය තුල ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මා හට පූර්ණ එකඟතාවයක් හෝ කැමැත්තක් නොමැත. නමුත් අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ කල එනම්, සමාජය ඉදිරියේ තැබූ මතවාදයක් නැවත ඉවත් කරගැනීම සාධාර්ණ නොවන ක්‍රියාවක් යන්න මාගේ මතයයි. මේ හේතුව නිසා කාලීන වශයෙන් වැදගත් වූ එසේම සමාජ වටිනාකමක් ඇති එවැනි ලිපි මෙලස සංරක්ෂණයක් කිරීම අරමුණින් එය උපුටාගෙන පහතින් පෙලගැසීම මෙහි සිදු කරමි. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් කිසියම් පාර්ශවයකට විරුද්ධත්වයක්, අකමැත්තක් හෝ වෙනත් මතවාදයක් ඇත්නම් එය 0772200474 යන දුරකථන අංකය මඟින් යහමග ඇඩ්මින් වන මා දැනුවත් කලහැක. එවිට ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලා කටයුතු කිරීමට පුළුවන.



සමලිංගික ඇසුර

සමලිංගිකත්වය සංස්කෘතියේ කොටසක්? සැබෑ ප්‍රශ්ණය සමලිංගිකයින් ගේ අයිතිවාසිකම් කපා දැමීමෙන් අපි ගොඩනගන්නට යන සංස්කෘතිය කුමක්ද යන්නයි! (1 කොටස)

කොවිඩ් වසංගතය විවිධ ප්‍රජාවන්ට බලපෑ අන්දම පිළිබඳ අපි මීට පෙර කතා බස් කර තිබුණා. විවිධ හේතූන් මත ආන්තිකරණයට ලක් වන ජන කණ්ඩායම් අතර, LGBT+ ප්‍රජාව සුවිශේෂීත්වයක් ගනු ලැබුවේ, ලොක්ඩවුන් කිරීම, ඇඳිරිනීතිය, ආහාර හිඟය, ආර්ථික අර්බුදය ආදී කරුණු නිසා – සිය සීමාවන් තුළ පවත්වා ගත් ජීවිකාවන් ට මරු පහරක් එල්ල වීමත්, රජය විසින් ලබා දුන් සහනාධාර වෙත පිවිසීමට නොහැකි වීමත්, ඔවුනට එල්ල වන හිංසන හා වෙනස්කොට සැලකීම් වල සැලකිය යුතු ඉහළ යාමක් හට ගත් නිසාත් ය.

කොවිඩ් උවදුරට පරිබාහිරව LGBT+ ප්‍රජාව මධ්‍යගත වූ වෙනත් සිදුවීම් පිළිබඳව විවිධ පුවත් පසුගිය කාලය තුළ අසන්නට ලැබී තිබුණා. ලිංගික සබඳතාවක් මත අත්අඩංගුවට පත්වූ තරුණයින් දෙදෙනෙකු පිළිබඳ පුවත, ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂකවරිය විසින් තරුණයින් අතර එච්අයිවී ව්‍යාප්තිය පිළිබඳ සැලකළ පුවත, ලොක්ඩවුන් සමය තුළ LGBT+ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ප්‍රසිද්ධ යූටියුබ් චැනල හිමිකරුවකු විසින් මරණ තර්ජන එල්ල කිරීම, LGBT+ ප්‍රජාවට එදිරි විවිධ දේශපාලනික ප්‍රකාශ, පොලීසිය සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් එක්ව සමරිසි පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලහත්කාරයෙන් වෛද්‍ය පරීක්ෂා වෙත යොමු කිරීම මේ අතර ප්‍රමුඛ වූවා.


LGBT+ ප්‍රජාව පිළිබඳ ඔබ දන්නා කරුණු වලට වඩා නොදන්නා කරුණු බොහොමයි. එබැවින් LNW අප තීරණය කළා ශ්‍රී ලංකාවේ සුළුතර ප්‍රජාවන් පිළිබඳ පර්යේෂකයකු මෙන්ම මානව හිමිකම් ආරක්ෂකයකු ලෙස කටයුතු කරන දමිත් චන්දිමාල් මහතා සමඟ මේ පිළිබඳ සංවාදයක යෙදෙන්න. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ සක්‍රිය දායකත්වයක් සපයා ඇති, සහ ඒ ආශ්‍රිත සංවිධාන රැසක් සමඟ කටයුතු කර ඇති ඒ මහතා LGBT+ ප්‍රජාවේ මානව හිමිකම් පිළිබඳ හසල දැනුමක් ඇති පුද්ගලයෙකි. LGBT+ ප්‍රජා තතු පිළිබඳ දැනුම් කේන්ද්‍රයක් වන දේදුනු සංවාද (Dedunu Sanwada) නම් පිටුවේ කතෘ මණ්ඩලයේ ද ඔහු කටයුතු කරනු ලබයි. ඔහු සමඟ පැවති සංවාදය ලිපි පෙළකින් ඉදිරිපත් කිරීමට අප තීරණය කළා. මේ එහි පළමු දිගහැරීමයි.


LGBTIQ ප්‍රජා සාමාජිකයින් පොලිස් වධහිංසනයේ වින්දිතයින් බවට පත්ව ඇති අවස්ථා අප අසා තිබෙනවා. ඇත්තෙන්ම මෙය සිදුවීමට හේතුව ප්‍රජාවේ අසරණභාවය ද, නැතිනම් ප්‍රජා සාමාජිකයින් හට සිය ව්‍යවස්ථාපිත අයිතීන් පිළිබඳ දැනුම මදිකම ද? ලංකාවේ පොලිස් වධ හිංසාව සිදු වන්නේ LGBTIQ ප්‍රජාවට විතරක් නෙමෙයි. ලංකාවේ නීතිය සෑදී ඇති විදිය, නීතිය මෙහෙයවන ආයතන සෑදී ඇති විදිහේ, සහ යුක්තිය ඉෂ්ට වීමේ තියෙන බරපතල ගැටළු ගණනාවක් මේ ප්‍රශ්නය ඇතුළෙ තියෙනවා. පොදුවෙ අපේ සමාජයේ බොහෝ දෙනෙකුට යුක්තිය ඉෂ්ට වෙන්නෙ නැහැ. යුක්තිය ඉෂ්ට වෙන්නෙ ධනය, බලය, දේශපාලනය බලය ඇති මිනිසුන්ට කියන දේ දරුණු යථාර්ථයක් විදියට මිනිස්සු අතරේ තියෙනවා.

ඒ ඔක්කොටම වඩා පොදුවෙ අපේ සමාජයේ ප්‍රචණ්ඩත්වය ගැන පවතින විශ්වාසයන් මේකට බලපානවා. උදාහරණයක් විදියට ළමයින්ට ගහලා ඔවුන්ව විනයවත්, ගුණ ගරුක පුරවැසියන් කරන්න පුළුවන් කියලා ගුරුවරු, දෙමාපියෝ සහ සමාජයේ වැඩිපිරිසක් විශ්වාස කරනවා. විශ්ව විද්‍යාලයක ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විශ්වාස කරනවා අලුතෙන් එන ශිෂ්‍යයන්ට වධ හිංසා කිරීම ඔවුන්ගේ පෞරුෂය හැඩ ගැස්සවීම වැදගත් කියලා. නැත්නම් ඒක සංස්කෘතියේ කොටසක් කියලා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් බවත්, ඒකට යුක්තියක් අවශ්‍ය නැති බවත් බොහෝ ගැහැණුත්, බොහෝ පිරිමිත්, ළමයිනුත් විශ්වාස කරනවා. අපි සමාජයක් විදියට විවිධ තැන්වල ප්‍රචණ්ඩත්වය සංස්කෘතියක් ලෙස පවත්වා ගෙන යනවා. ඒ වගේ තත්වයක් තුළ පොලිසියෙන් සැකකරුවෙකුට අල්ලන් ගහලා,

(1) ඒ අයගෙන් තොරතුරු ගැනීම හෝ (2) නැවතත් ඒ විදියට අපරාධ කිරීම

ගැන ඒ පුද්ගලයාට සහ සමාජයට බයක් ඇති කරවීමට කටයුතු කිරීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. අපි තේරුම් ගත යුත්තේ මෙහි වධ හිංසාව දීම වගේම එය සාධාරණීකරණය කරන මතවාදයකුත් අපේ සමාජයේ තියෙන බවයි.

LGBTIQ ප්‍රජාවට වෙන පොලිස් වධහිංසා තේරුම් ගත යුත්තේ මෙවැනි පසුබිමකයි. පොලිස් වධහිංසාවලට ආ විට සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සහ LGBTIQ ලිංගික වෘත්තිකයන් මෙවැනි සිද්ධිවලට වැඩි වශයෙන් ලක් වෙන බව අපි බොහෝ දෙනෙක් දන්නවා. මේ ගැන නිකලස් ඇන්ඩ්‍රියා ලියූ “නටන්න පොන්නයා නටන්න: ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට එරෙහි පොලිස් හිංසනය” (Dance Ponnaya, Dance! Police Abuses Against Transgender Sex Workers in Sri Lanka) නම් ශාස්ත්‍රීය ලිපියේ හොඳම තොරතුරු එකතු කිරීමක් සහ විග්‍රහයක් තියෙනවා. මේ ලිපියේ මාතෘකාව එන්නෙ පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ගේ විනෝදය සඳහා අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන ආ පසු නටවනු ලබන සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකුගේ කතාවෙන්. ඒ කතාවෙන්ම සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට එරෙහි වධහිංසාව සම්බන්ධයෙන් වෙන මානයක් හෙළි වෙනවා. ඒ වගේ තව කතන්දර ගොඩක් පර්යේෂකයෙක් විදියට මමත් පෞද්ගලිකව අහලා තියෙනවා. විශේෂයෙන්ම අත්අඩංගුවට ගැනීමේ දී කතා කරන හැටි, සමහර වෙලාවට සාක්ෂිත් නැතුව පාරෙ යනකොට අල්ලන් යන හැටි, අත්අඩංගුවට අරන් ගෙනාවට පස්සෙ අත්අඩංගුව තුළ මනුස්සයෙක්ට වඩා පහළට දාලා පෙන්නන හැටි, පොලිසියට එන එන අයට කතා කරලා අලුත් සතෙක් පෙන්නනවා වාගේ මෙන්න පොන්නයෙක් ගෙනාව කියලා පෙන්නන හැටි, පොලිසිය අතු ගා ගැනීම, පිරිසිදු කර ගැනීම සිට ලිංගික අල්ලස්, ලිංගික අතවර, දූෂණය කිරීම් දක්වා කතන්දර මා අසා තිබෙනවා. හැබැයි පොලිසියෙන් පහර දී LGBTIQ පුද්ගලයකු ඒ කාරණය නිසා මැරුවා කියා, හෝ බරපතල තුවාල කළා කියා කතන්දර මා අසා නැහැ. එවැනි කතන්දර නැහැ කියා මා කියන්නේ නැහැ. ඒත් එවැනි කතන්දර මා අසා තිබෙන්නේ අනෙක් සැකකරුවන්ට අදාළවයි. මට මතු කරන්නට අවශ්‍ය වෙන කාරණය වන්නේ LGBTIQ පුද්ගලයන්ට අදාළ පොලිස් වධ හිංසනයේ ස්වරූපය අඳුර ගන්නේ නැතුව මේ ගැන සාකච්ඡාවක් ඇති කළ නොහැකි බවයි. ඒ වදහිංසාවේ ස්වරුපය තදින් අපේ සමාජයේ පවතින ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන ඇති ආකල්ප සහ කතිකාවතට බැඳී තිබෙනවා. එසේම අපේ සමාජයේ බලය ක්‍රියා කරන ආකාරය හා බැඳී තිබෙනවා.

ප්‍රජාවේ අසරණභාවය කියන වචනය මම භාවිතා කරන්න කැමැති නෑ. කවුරුවත් එහෙම අසරණ, අහිංසක නැහැ. ඒත් දුප්පත් ප්‍රජා සාමාජිකයන්ට මෙවැනි සිද්ධිවලට ලක් වෙන්න සිදු වෙනවා වැඩියි. සාමාන්‍යයෙන් පොලිසිය පෝසත්, ඉගෙන ගත්ත, මානව හිමිකම් නඩු කිව හැකි, විනය ගත, ඉංග්‍රීසි කතා කළ හැකි ‘පොන්නයෝ’ අත්අඩංගුවට ගන්න බයයි. දුප්පත්, බලය නැති ‘පොන්නයොන්’ට තමයි මෙහෙම දිගින් දිගටම පොලිසියෙන් හිරිහැර කරන්නේ. සමහර විට දෙමළ/ මුස්ලිම් ‘පොන්නයෙක්’ වුනොත් වැඩේ ඊට වැඩිය භයානකයි.

මං හිතන්නෙ මේක පොලිස් හිංසනයට ලක් වෙන සියලු පුරවැසියන්ගේ යථාර්ථයක්. අපේ රටේ යුක්තිය කියන්නෙ යුක්තියක් නෙමෙයි. හරි අසාධාරණ ක්‍රමයක රැවටිල්ලක් විතරයි.

අයිතීන් ගැන දැනුම තියෙනවා නම් මං හිතන්නෙ එක මට්ටමක මේ වගේ දේවල් වලක්වා ගන්න පුළුවන්. හැබැයි දැනුම කියන්නෙ මොකක්ද, දැනුම තියෙන මිනිස්සු දැනුම නැති මිනිස්සුන්ව පාගන, ඒ අයගෙ අයිතිවාසිකම් නැති කරන ක්‍රමයක, අපි ජීවත් වෙනවා නම් දැනුම කියන්නෙ මොන ජරාවක් ද කියන ප්‍රශ්නය දැනුම තියෙන අයගෙන් අපි ඇසිය යුතු වෙනවා. දැනුම් නැති අයට දැනුම දීමට ප්‍රජාව කටයුතු කළ යුතුයි. හැබැයි ඒ අතරෙම කෙනෙකුගෙ අයිතිවාසිකම් ලබා දෙන්න දැනුම බාධාවක් වෙන්න අවශ්‍ය නැහැ.


පොලිස් වධහිංසනයේ එක් මුහුණුවරක් ගනු ලබන්නේ ලිංගික අල්ලස් ගැනීම. මෙහිදී LGBTIQ ප්‍රජා සාමාජිකයින් තමා අපයෝජනයට ලක්කළ නිලධාරීන් ට එරෙහි පැමිණිලි නොකොට නිහඬ වන ප්‍රවණතාව වැඩියි. ඒ ඇයි? කලාතුරකින් පොලිසියට පැමිණිලි කරන්න ගිය අය සිටිනවා. මං ඒ අය ගැන කතා කරන්න කැමැතියි. දැනට අවුරුදු 5කට විතර කලින්, ලංකාවේ මධ්‍යම පළාතේ එක නගරයක සංක්‍රාන්ති තරුණියක් තමන්ට බසයක සිදු වූ අතවරයක් ගැන පොලිසියට පැමිණිලි කරන්න ගියා. පොලිසිය මෙහෙම කිව්වා. “ඔයා පිරිමියෙක් වෙලා ඉපදිලා පිරිමියෙක් විදියට හැසිරෙනවා නම් මෙහෙම කරදර වෙන්නෙ නෑනෙ. ඇයි ඔයාට එහෙම කරන්න බැරි?” පොලිසියෙන් ඒ තරුණියට උපදෙස් අවවාද ගොඩක් ලබා දීලා තිබුන නමුත් ඒ පැමිණිල්ල ලියා ගෙන තිබුනේ නැහැ. පොලිසියෙන් කොච්චර උනන්දු වුනා ද කිව්වොත් මේ ගැන තරුණියගේ ගෙදරටත් දැනුම් දීලා තිබුනා. ඒ ගෙදර අයගේත් අනුදැනුම ඇතිව පොලිසියෙ නිලධාරියෙක් ඒ තරුණියට වරින් වර කතා කරලා මේ විදියට හැසුරුණු බවට තර්ජනය කරලාත් තිබුනා. ඒ එක සිද්ධියක්. තවත් කෙනෙක් හිටියා. එයා කොළඹ පළාතේ දුප්පත් කෙනෙක්. එයාට මිනිස්සු වගයක් විහිලු කරලා, කුණු බිත්තරයකින් ගහලා තිබුනා. ඉතින් ඒ ගැන පැමිණිල්ලක් කරන්න එයා පොලිසියට ගියාම, පොලිසියේ අයත් එයාට හිනාවෙලා පැමිණිල්ල භාර අරන් තිබුනේ නෑ. මේවා සුලු සිද්ධි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි මෙහෙම තමයි ප්‍රජාවක අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කරන්නෙ. සමහර වෙලාවට හිනාවෙලා, විහිලු කරලා, අවවාද කරලා ප්‍රජාවක් ප්‍රතික්ෂේප කරනවා.

පොලිසියකින් තමන්ට යුක්තිය ඉෂ්ට නොවුනාම පොලිස් කොමිසමට, මානව හිමිකම් කොමිසට යන්න පුළුවන් තමයි. හැබැයි ඒ බොහොමක් බිම් මට්ටමට ළගා වෙලා නැහැ. ඒ වගේම ඒවාට ඇති බලය සීමා සහිතයි. මූලික මිනිස් අයිතිවාසිකම් ගොනු කරන එක සාමාන්‍ය මනුස්සයෙක්ට ලේසි කාරණයක් නෙමෙයි. එවැනි දේකට යන්න බොහොම ලොකු හයියක් තියෙන්න ඕනෙ. විශේෂයෙන්ම මුලු ජීවිත කාලෙම කොන් කිරීමට ලක් වුනු කෙනෙකුට.

ගම්වල දුප්පත් මිනිස්සු ධනය බලය තියෙන මිනිස්සු එක්ක නඩු කියන්න යන්නෙ කලාතුරකින්. සාමාන්‍යයෙන් අපි ඕන තරම් අහලා තියෙනවා, කලුගලේ ඔලුව ගහ ගන්න යන්න එපා කියලා .මේ වගේ නඩුවල අසාධාරණය ගැන කියවෙන බොහෝ කියමන් තියෙනවා. හැබැයි නඩුවල සාධාරණත්වය ගැන කියවෙන ඒ වගේ කියමන් මං අහලා නෑ. “නඩු යන්නෝ වැනසෙන්නෝ“, “නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ“, “වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන් ඒ අමාරුව“, “කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ.” මේ වගේ කියමන් හදලා තියෙන්නෙ බලය නැති මිනිස්සු. වැටයි නියරයි බඳින්නෙ ගොයමේ ආරක්ෂාවට. ඒ අය ගොයම් කනවා නම් කාට කියන්න ද? යුක්තිය, ආරක්ෂාව ලබා දෙන්න ඉන්නෙ පොලිසිය. ඒ අය ඒක දෙන්න ලිංගික අල්ලස් ඉල්ලනවා නම් ඊට එහා මොන කතා ද?

පොදුවෙ මං කාරණා කිහිපයක් මතු කරන්න කැමැතියි. සමලිංගික ලිංගික හැසිරීම් නීතිය යටතේ වරදක් කර තිබීම LGBTIQ කෙනෙකුට තමන්ට වෙන අසාධාරණයක දි නීතිය හමුවට යන්න බැරි කරන ප්‍රධාන බාධකයක් වෙනවා. තාක්ෂණිකව ගත්තම එහෙම බාධාවක් නැති වුනත් පොලිස් නිලධාරින්ගේ ආකල්පත් එක්ක, මේ නීතියේ පැවැතීමත් ගත්තම නීතිය මොන පැත්තට කැරකේවිද කියන සාධාරණ බය මිනිස්සුන්ට තියෙනවා. දෙවැනි එක අපේ පොලිසිය යුක්තිය ඉෂ්ට කිරීම හැර අනෙක් සියල්ල කරනවා. ඒ ගොල්ලො ආගමික නායකයන් වගේ දේශන දෙනවා. ගුරුවරු වගේ හොඳ නරක කියා දෙනවා. ඒ ගොල්ලො සදාචාරය ගැන අදහසකින් මිනිස්සු යහපත් තැනකට ගේන්න කියලා මේ වගේ දේවල් කිරීම නිසා, සදාචාරය කියන කතිකාවෙන් එළියට හලපු LGBTIQ මිනිස්සු සෑහෙන අපහසුතාවලට පත් වෙනවා. බොහෝ විට පොලිසිය පැමිණිලි භාර ගැනීමේදී, හෝ පැමිණිලි විභාගය අතරේ දී අර අපරාධය කළ මනුස්සයාගේ පැත්ත ගෙන LGBTIQ පුද්ගලයන්ට වරද පටවමින් කතා කරනවා. තුන් වැනියට ලංකාවේ ලිංගිකත්වය ගැන තියෙන සම්ප්‍රදායික අදහස් එක්ක, තමන්ගේ ලිංගිකත්වය ගැන විස්තර ජනමාධ්‍යවල පළ වෙලා තමන්ට ඉන්න හිටින්නවත් තැන් නැති වෙයි කියලා සාධාරණ බයක් තියෙනවා. ලංකාවෙ ජනමාධ්‍ය කොයි තරම් දුරට ආචාර ධර්ම රකිනවාද කියලා හැමෝම දන්නවා. මං කියන්න ඕනෙ නෑ.


ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය: ඡායාරූපය | දේදුනු සංවාද


ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාව අත්අඩංගුවට ගැනීමට යොදා ගැනෙන නීතී හා පනත් මොනවා ද? මේකට උත්තර දෙනවාට වඩා මං කැමැතියි අහන්න අත්අඩංගුවට යොදා ගන්න බැරි මොන පනත ද කියලා. සිවිල් හා දේශපාලන ප්‍රඥප්තිය ගැන පනත එනකොට අපි හිතුවා ඒක එන්නෙ මේ රටේ මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කියලා. හැබැයි පන්සලක සිදු වූ සමලිංගික ලිංගික හැසිරීමක් ලෙස අර්ථ ගැන්වුනු සිද්ධියක් කෙටිකතාවක් ලෙස පළ කළ ලේඛකයෙක් අත්අඩංගුවට ගන්න එය පාවිච්චි වුනා. ඉතින් ප්‍රධාන කාරණය ලෙස අපි තේරුම් ගත යුත්තේ ලංකාවේ පුද්ගලයන් අත්අඩංගුවට ගත හැකි ඕනෑම නීතියක් LGBTIQ ප්‍රජාවේ අය, එසේ යැයි සැක කරන අය හෝ හෝ ඒ අයට සම්බන්ධ කාරණාවක් ඕනෑම තැනක ප්‍රකාශ කරන්න යන තවත් කෙනෙකු හෝ අත්අඩංගුවට යොදා ගත හැකි බවයි. ළගදි සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කළා. බැලූ බැල්මට මේවා පේන්නේ රටේ යහපතට දේවල් වගේ, ඒ නිසා ඒ ගැන අපි මොකුත් නොකිය ඉමු. විනය ගරුක රට කියන සංකල්පය ඇතුළේ, ‘පොන්නයෝ’, ‘සමලිංගිකයෝ’ කියන අයට මොන වාගේ ඉඩක් තියේවිද කියන ප්‍රශ්නය මං අහන්න කැමැතියි.

LGBTIQ ප්‍රජාවේ අයට බලපාන ප්‍රධාන ප්‍රශ්නකාරී නීති ගණනාවක් තියෙනවා. ඒ අතරේ ප්‍රධාන කිහිපයක් මතක් කරන්නම්.

(1) ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 “අස්වාභාවික ලිංගික සංසර්ගය” සහ 365 අ “බරපතල අශෝභන ක්‍රියා” කියන වැරැදි ප්‍රධාන වශයෙන් සමලිංගික ලිංගික හැසිරීම් ලංකාවේ නීතියෙන් තහනම් යැයි කීමට යොදා ගන්නා වැරැදි වෙනවා. මේ ගැන ලොකු සාකච්ඡාවක් වෙලා තියෙන අතර, මේවා දණ්ඩ නීති සංග්‍රහයෙන් වත් කිරීමට ක්‍රියාකාරීන් ලොකු හඬක් නගා තිබෙනවා.



(2) ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 399 වගන්තියේ වෙන අයෙකු ලෙස පෙනී සිටීම වැරැද්දක් වෙනවා. මේ නීතිය වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් අත්අඩංගුවට ගත් අවස්ථා ගණනාවක් තියෙනවා.


(3) ඉතා බහුලවම යොදා ගැනෙන පනත වන්නේ පාදඩ ආඥා පනතයි. නිකරුනේ කිසියම් තැනක ගැවසුනා යැයි කියමින්, පාර අයිනේ සිටින මනුස්සයෙක් වුවත් අත්අඩංගුවට ගත හැකි අසාධාරණ නීතියක්. විශේෂයෙන්ම සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සහ ලිංගික ශ්‍රමිකයන් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගන්න මේ පනත බහුලව යොදා ගන්නවා.






(4) යුද හමුදා පනතේ 109 යටතේ සහ ගුවන් හමුදා පනතේ 109 වගන්තිය යටතේ සමලිංගික ලිංගික හැසිරීම් ඇති හමුදා සාමාජිකයන්ට දඩුවම් කළ හැකියි.


යුධ හමුදා පනත


ගුවන් හමුදා පනත

ඒ වාගේම හදිසි නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, නිරෝධායන පනත, අසභ්‍ය ප්‍රකාශන පනත, දණ්ඩ නීති සංග්‍රහයේ ආගමික හැඟීම් ද්වේශ සහගතව ඇවිස්සීමේ වැරදි වැනි විවිධ නීති LGBTIQ ප්‍රජාවට අසමානුපාතික සහ අසාධාරණ ලෙස භාවිතා විමේ ලොකු අවදානමක් තියෙනවා. ලංකාවේ LGBTIQ මිනිස්සුන්ට පොදුවෙ නීතිය ගැන වැඩිය විශ්වාස කරන්නම බැහැ කියන එකයි මගේ අදහස- නීතිය මොකක්ද කියලා අදාළ නැහැ.

ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහය ඇතුළු සමලිංගිකත්වය අපරාධයක් කරන මේ නීතිය බහුතරයක් අපට ලැබෙන්නේ බටහිර අධිරාජ්‍යවාදයේ ප්‍රතිඵලයක් විදියටයි. මෙවැනි කිසිදු නීතියක් අධිරාජ්‍යවාදයට පෙර ලංකාවේ තිබී නැහැ.


‘සමලිංගිකත්වය ශ්‍රී ලංකාවේ සංස්කෘතියට පටහැනිය’ යන ප්‍රකාශය අප අසා ඇති වාර ගණන අනන්තයි. ඇත්තෙන් ම සමලිංගිකත්වය ශ්‍රී ලංකාවේ සංස්කෘතියට පටහැනි ද? සංස්කෘතිය කියන්නෙ පුළුල් වචනයක්. කිසියම් ජන සමාජයක පවතින හර පද්ධතීන්, දැනුම, චර්යාවන්, සම්ප්‍රදායන්, කලාව, නීති රීති, සංකේත, විශ්වාසයන්, හැකියාවන් ආදී විවිධ දෑ සංස්කෘතියකට අයිති වෙනවා. හැබැයි සංස්කෘතිය කිවුවම ඔලුවට එන්නෙ පටු දෙයක්. අතීතයේ තිබුනේ යැයි අපි හිතන විශ්වාස වගේ දෙයක්. සංස්කෘතිය කියන්නේ අතීතය නෙමෙයි. සංස්කෘතිය කියන්නේ බොහෝ විට වර්තමාන සංස්කෘතියයි. හැබැයි ඒ විදියට සංස්කෘතිය භාර ගැනීමේ අවුලක් අපිට තියෙනවා. විදුලි බල්බය අපේ සංස්කෘතියේ කොටසක් ද කියලා ඇහුවොත්, ලංකාවේ සාමාන්‍යයෙන් ලැබෙන උත්තරය වන්නේ එසේ නැති බවයි. මොකද අපි සංස්කෘතිය යැයි කියා හඳුන්වා දෙන්නේ අතීතය වීම නිසයි. මේ වැරැද්ද ඉබේ ඇති වන්නක් නොවෙයි. සංස්කෘතිය ගෝලීයකරණයත් සමග අතීතයේ වූවාට වඩා සීඝ්‍රයෙන් දැන් වෙනස් වෙමින් පවතිනවා. මේ නිසා ලොව පුරා සංස්කෘතික අනන්‍යතාවයන්දරුණු අර්බුදයන්ට මුහුණ දී සිටිනවා. අද ඇති සංස්කෘතිය හෙට වෙනස් විය හැකියි. මෙවැනි වෙනස් වීම් ඉක්මනින් සිදු වීම නිසා සමාජයේ හර පද්ධතීන් විනාශ වී යන බවට බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ නිසා සංස්කෘතිය කියන අදහස අතීතය දෙසට නැඹුරු වූ අදහසක් විදියට අපිට දැන් හමු වෙනවා. ඒ නිසා අතීතය මගහැර අපිට මේ සාකච්ඡාව කරන්න බැහැ. හැබැයි අතීතය කියන්නෙ සංස්කෘතියට සමාන වචනයක් නෙමෙයි.

අපේ සමාජවල අතීතයේ සිටම සමලිංගිකත්වය පැවැතුනා. සමලිංගිකත්වය එක පාරට පහළ වෙච්ච දෙයක් නෙමෙයි. සංස්කෘතියක් තුළ වසර දහස් ගණනාවක් පැවැතුනු දෙයක් ඒ සංස්කෘතියට විරුද්ධ වන්නේ කොයි ආකාරයට දැයි අපි මෙතැනදී ප්‍රශ්න කළ යුතුයි. අපරාධයක් යැයි දකින දේවල් ගැන මෙවැන්නක් ඇති විය හැකියි. හොරකම අතීතයේ සිට දකින්න ලැබුනා. නමුත් හොරකම අපේ සංස්කෘතියේ කොටසක් නෙමෙයි. මෙතැනදී අදහස් වෙන්නේ සංස්කෘතියේ හොරකම නැති බව නොව, සංස්කෘතියේ හොරකමට දුන් පිළි ගැනීම අඩු බවයි. ලංකාවට සමලිංගිකත්වය ගැලපෙන්නේ නෑ කියන එක දේශපාලනඥයන් බොහෝ විට කියනවා අපි හැම කෙනෙක්ම අසා තිබෙනවා. තවදුරටත් ප්‍රශ්න කළොත් සමලිංගිකත්වය බටහිර දෙයක් බවටත් ඔවුන් තර්ක කරනවා ඇති. ඒත් ත්‍රිපිටකය කියවන විට, අපේ තොවිල් ශාන්ති කර්ම ආදියේ ලිංගික දෙබස් අහන විට, සහ සාමාන්‍ය බුද්ධියෙන් බලන ඕනෑම කෙනෙකුට පේනවා අතීතයේ පටන්, ලොව වටා සෑම සංස්කෘතියක වාගේම, අපේ සංස්කෘතියේත් සමලිංගිකත්වය පැවැතුනු බව. සමලිංගිකත්වය අපේ සංස්කෘතියෙ කොටසක් නොවුනා කියන එක කියන සමහර මින්ස්සු තර්ක කරන්නෙ, ඔව් තිබුනා තමයි. හැබැයි පිළි ගැනීමක් තිබුනෙ නෑ කියලා. මගේ අදහස වෙන්නේ අපේ අතීත සංස්කෘතියෙ පිළිගැනීමක් තිබුනාද නැද්ද යන්න ගැන සාකච්ඡාව බොහොම විවාදාත්මක වෙන්න පුළුවන් වුනත්, අපිට පැහැදිලිව පෙනෙන්නේ අතීත සංස්කෘතිය තුළ ලිංගිකත්වය පදනම් කර ගනිමින් පුද්ගලයන්ට දඩුවම් නොකළ බවයි. අපේ වර්තමාන සංස්කෘතියේ අපි (සම)ලිංගිකත්වය පදනම් කර ගනිමින් පුද්ගලයන්ට දඩුවම් දෙනවා.

සංස්කෘතිය කියන්නෙ ආර්ථිකයක්. විශේෂයෙන්ම නූතන ලෝකෙදි ඒක පැහැදිලිව පේනවා. සංස්කෘතිය යනු කුමක්දැයි, ඒකෙන් කවුරුන් එළියට හැලිය යුතුදැයි යන අදහසින් ප්‍රයෝජන බලයෙන්, පිළිගැනීමෙන් සහ මුදල් සහ සම්පත්වලින් ප්‍රයෝජන ලබන පිරිසක් ඉන්නවා. ඒ ගැන විවේචනයක් නැතිව සමලිංගිකත්වය ලංකාවෙ සංස්කෘතියට විරුද්ධ ද නැත්ද කියලා කතා කරන්න අමාරුයි. විරුද්ධයි කියන අදහස ගත්තොත් ඒක ව්‍යාප්ත කළේ ආගමික නායකයෝ, දේශපාලනඥයෝ, ඇතැම් ජනමාධ්‍ය විසින්. ඒ අයට ඒකෙ ප්‍රයෝජන තිබුන බව අපි හැමෝම දන්නවා. ලංකාවෙ සංස්කෘතියට සමලිංගිකත්වය ඇතුළත් කියන අදහස ගොඩක් වෙලාවට ගෙනාවේ ඇතැම් කලාකරුවෝ, ලේඛකයෝ, සමාජ ක්‍රියාකාරීන්, කාන්තා ක්‍රියාකාරීන්, LGBTIQ ප්‍රජාවේ සාමාජිකයන්. අර පළමු කී පිරිසට සාපේක්ෂව දෙවැනි පිරිසට තියෙන බලය ඉතා අඩුයි. මා විශ්වාස කරන විදියට සංස්කෘතික විවාදයේදී අපි ඇසිය යුතු ප්‍රධාන ප්‍රශ්නය වන්නේ සමලිංගිකයන්ට මේ සමාජයේ අයිතිවාසිකම් කපා දැමීමෙන් අපි ගොඩනගන්නට යන සංස්කෘතිය මොකක්ද? කියන ප්‍රශ්නයයි.


ඒ අනුව ඔබ පවසන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයක් ඇතිවීමට පෙර ලිංගිකත්වයට නිදහසක් පැවතියා කියා ද? ලිංගිකත්වය ගැන වෙනස් ආර්ථිකයක් ඉතිහාසය පුරා තිබුනා. ඒකෙ නිදහස් සහ නිදහස් නැති තැන් තිබුනා. අධිරාජ්‍යවාදයට පසු සහ පෙර කියන අවස්ථා දෙක ගත්තම ප්‍රධාන වශයෙන් පේන්නෙ ලිංගිකත්වයට දඩුවම් දෙන සංස්කෘතිය අපිට ලැබුනේ අධිරාජ්‍යවාදීන්ගෙන් බවයි. රාජ්‍යයෙන් ලිංගිකත්වය මර්දනය කළ යුතු යැයි කියන අදහස අධිරාජ්‍යවාදයෙන් පසුව ලංකාවේ ඇති වෙන එකක්.

Link - https://sinhala.lankanewsweb.net/11/24/1036/

සමලිංගිකත්වය සංස්කෘතියේ කොටසක්? අපිටම ආවේණික නච්චි යැයි හඳුන්වන ප්‍රජාවක් ජීවත් වනවා! (2 කොටස)

සමලිංගිකත්වය ඇත්තෙන්ම සංස්කෘතියට පටහැනි ද? රටේ සභ්‍යත්වයට එරෙහි ද? යන මැයෙන් අප මීට ඉහත ශ්‍රී ලංකාවේ සුළුතර ප්‍රජා කණ්ඩායම් පිළිබඳ පර්යේෂකවරයකු හා මානව හිමිකම් ආරක්ෂකයකු වන දමිත් චන්දිමාල් මහතා සමඟ පැවති සාකච්ඡාවේ පළමු කොටස ඔබට ගෙන එනු ලැබුවා.

මෙම සාකච්ඡාව පැවැත්වීමට ප්‍රධානතම හේතුව වූයේ මෑත දිනයේදීකොවිඩ් වසංගතය ඇතුළත හා ඉන් පිටත LGBT+ ප්‍රජාව පාදක කොට ගත් පුවත් කිහිපයක් ම මාධ්‍ය තුළ දක්නට ලැබීමත්, ඒ ඔස්සේ LGBT+ ප්‍රජාවට බලවත් අසාධාරණයක් සිදූවූයේ යැයි අප විශ්වාස කරන නිසාත් ය. අප අතරම ජීවත් වන එක්තරා ජන කණ්ඩායමක් පිළිබඳ අප අතර පවතින්නේ කෙතරම් අඩු දැනුමක් ද යන්න පසක් වන්නේ LGBT+ ප්‍රජාව ඉලක්ක කරගනිමින් මහජනතාව පමණක් නොව ජනතා නියෝජිතයින් පවා සිදුකරන ප්‍රකාශ දෙස බැලීමේදීයි.

අද දිනයේ දිග හැරෙන්නේ දමිත් චන්දිමාල් මහතා සහ අප අතර පැවති සංවාදයේ දෙවෙනි කොටසයි. අද දින ලිපිය පුරාවට ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් ක්‍රියාකාරීන් මඬුල්ලක් විසින් කතෘ මණ්ඩලය හොබවනු ලබන LGBT+ ප්‍රජා තතු පිළිබඳ දැනුම් කේන්ද්‍රයක් වන දේදුනු සංවාද නම් පිටුවේ අධ්‍යයන කරුණු උපුටා දැක්වීමක් සිදු කිරීමට ද අප බලාපොරොත්තු වනවා. මෙම තොරතුරු ජනගත කිරීමට දේදුනු සංවාද පිටුව ලබා දෙන දායකත්වය පිළිබඳව ඩෙන්වර් පීටර්සන් මහතා ප්‍රමුඛ එහි කතෘ මණ්ඩලයට ද අප ස්තූතිවන්ත වනවා.


ඔබ ශ්‍රී ලංකාවේ සුළුතර ප්‍රජා කණ්ඩායම් පිළිබඳ පර්යේෂකවරයෙක්. ලෝකයේ විවිධ රට වල ඒ ඒ සංස්කෘතීන් වලට ආවේණික වූ ලිංගික හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සුළුතර කණ්ඩායම් ජීවත් වනවා. ශ්‍රී ලංකාවට සුවිශේෂ වූ එවන් ජන කණ්ඩායම් සිටිනවා ද?

ලංකාවේ නච්චි ප්‍රජාව ලංකාවට ආවේණික සුළුතර ලිංගික ප්‍රජාවක් ලෙස ගත හැකියි. හැබැයි නච්චි ප්‍රජාවේ ඉතිහාසය ගත්තම බොහෝ විට පෙනෙන්නේ එම ප්‍රජාවත්, 19 වැනි සියවසේ සිට ලංකාවේ නගර ආශ්‍රිතව ඒකරාශි වූ සමලිංගික සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගෙන් සෑදුනු එකක් බවයි. ඊට වඩා පැරැණි අනන්‍යතා ගත් විට, ත්‍රිපිටකයේ ලිංගිකත්වය ගැන සාකච්ඡාවට අපිට යන්න වෙනවා. බෞද්ධ පොතපතවල ගැහැණිය, පිරිමියා කියන එකට අමතරව, පණ්ඩක, උභතොභ්‍යඤජනක, නපුංසක කියන අනන්‍යතා හමු වෙනවා. හැබැයි මේ අය ප්‍රජාවන් විදියට ලංකාවේ ජීවත් වූ බවට සාක්ෂි නැහැ. එහෙම වෙනම ප්‍රජාවක් විදියට ජීවත් නොවීමෙන්ම හෙළි වෙන යථාර්ථයක් වෙන්නේ මේ අය අනෙක් අය මෙන්ම කිසි වෙනසක් නැතිව ජීවත් වූ බවයි. ලිංගිකත්වය නිසා වෙනම ප්‍රජාවක් ලෙස ජීවත් වීම අවශ්‍ය වන්නේම ප්‍රධාන වශයෙන් ලිංගිකත්වය නිසා සිදුවන කොන් කිරීම, වෙනස් කොට සැලකීම නිසායි. එහෙම වෙනස් කොට නොසලකන සමාජයක් තුළ වෙනම ප්‍රජාවක් ලෙස ජීවත් වීම අවශ්‍ය වන්නේ ඇයි? කියා කල්පනා කර බලන්න.


නෝචි කෙල්ලන් | දේදුනු සංවාද


නමුත් අප එවන් ජන කණ්ඩායම් පිළිබඳ පොතපතේ කියවා නැහැ?

කලින් පිළිතුරේ මේකට යම් උත්තරයක් දී තිබෙනවා. විනය පිටකයේ පාරාජිකා පාලිය, උම්මග්ග ජාතකය ආදී යම් යම් පොතපතවල මේ අනන්‍යතා ගැන සඳහන් වෙනවා. ඊට අමතරව මහාභාරතය, කාම සූත්‍රය වැනි හින්දු ප්‍රභවයක් ඇති පොතපතවලත් මේ අනන්‍යතා ගැන තියෙනවා. නච්චි ප්‍රජාව තවමත් ජීවත් වෙනවා. හැබැයි පොදුවේ ගත්තම ගොඩක් පොතපතවල මෙවැනි ප්‍රජාවන් ගැන විස්තර සඳහන් වෙන්නේ නැහැ. මේකට උත්තර සෙවීමේ දී අප ඇසිය යුතු වන්නේ අතීතයේ අතීත ඉතිහාසය ලිව්වේ කවුද? ලිව්වේ ඇයි යන්නයි. බොහෝ විට අතීතයේ අතීත කතා ලියා ඇත්තේ රජවරුන්ගේ ඉතිහාසය සහ ආගමික ඉතිහාසය ගැන ප්‍රකාශ කිරීමටයි. සිවිල් ජනතාවගේ ඉතිහාසය ගැන මොකුත්ම නැති තරම්. විශේෂයෙන්ම පොතපත ලියූ ආගමික පසුබිමක් ඇති අය ගිහියන්ගේ ලිංගිකත්වය පමණක් නොව, අනෙකුත් දෑ පවා වාර්තා කිරීමට එතරම් උනන්දුවක් නොදැක්වීම අපිට තේරුම් ගත හැකි විය යුතුයි. ලිංගිකත්වය ගැන විතරක් නෙමෙයි, අතීතයේ ගත් ආහාර ගැන පවා සඳහන් වෙන පොතපත ඉතා අඩුයි. හැබැයි අතීතයේ යුද්ධ ගැන තොරතුරු, ගොඩනැගූ දාගැබ් වෙහෙරවිහාර ගැන තොරතුරු අපිට එමට හමු වෙනවා.


ශ්‍රී දළදා මාළිගාවේ සිවිලිමේ දැක්වෙන චිත්‍රයකි | දේදුනු සංවාද

ඇත්තෙන්ම ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය, ප්‍රකාශනය, ජීව විද්‍යාත්මක ලිංගික ලක්ෂණ ආදී කරුණු තුළින් L, G, B, T, I, Q, A… ආදී විවිධ අන්දමින් පුද්ගල කොට්ඨාශ වර්ග කරනු ලබනවා. නමුත් මේ සියළු සංකල්ප බටහිර විද්‍යාව තුළින් හඳුනා ගත් සංකල්ප. ඔබ ඉහත සඳහන් කළ ජන කණ්ඩායම් LGBTIQ වර්ණාවලිය තුළ නියෝජනය කරන්නේ කුමන සංධිස්ථානයක් ද?

බටහිර විද්‍යාව මේවා පැහැදිලි කළා, සහ කාණ්ඩවලට ගොනු කළා විතරයි. මුලින්ම හඳුනා ගත්තේ නැහැ. ලෙස්බියන් (Lesbian) කියන වචනය එන්නෙ ලෙස්බොස් කියන දිවයිනේ ජීවත් වූ ග්‍රීක කිවිඳිය සැපෝ නිසායි. ඇය කාන්තා කාන්තා ආදරය ගැන කවි ලියා තිබෙනවා. ලෙස්බියන් කාන්තාවො අතීතයේ සිටම ජීවත් වුනා.


උපුටා ගැනීම: දේදුනු සංවාද

ගේ (Gay) කියන වචනය ගත්තොත් ඒක මුලින්ම ලිංගික වෘත්තියේ නියැලුනු කාන්තාවන් හැඳින්වීමට භාවිතා වූ කිසියම් දුරකට සෘණාත්මක තේරුමක් තිබුන වචනයක්. නවසිය හැට ගණන්වලින් පස්සෙ තමයි මේ වචනය ජනප්‍රිය වෙන්නේ. විශේෂයෙන්ම ස්ටෝන්වෝල් කැරැල්ලෙන් පස්සෙ. “අමුතු”/ “වෙනස්” කියන තේරුම ඉස්සර තිබුන කුයර් (Queer) කියන වචනෙ. ඒ වචනය සමලිංගික අයට අපහාස කරන්න පාවිච්චි කරපු වචනයක්. එම වචනය කුයර් මිනිස්සු ධනාත්මක විදියට පාවිච්චි කරන්න ගත්තට පස්සෙ ඒ තුළින් වෙනම විප්ලවයක් නිර්මාණය වුනා. ට්‍රාන්ස්ජෙන්ඩර් (Transgender) වාගේ අනන්‍යතා අතීතයේ සිට පැවැතුනු අනන්‍යතා කාණ්ඩ ගොඩක් එකතු කරන්න විද්‍යාවෙන් හොයා ගත්ත වචනයක්.

නච්චි කියන ලංකාවේ ජන කොටස දාන්න වෙන්නෙ සංක්‍රාන්ති සමාජභාවී සහ සමලිංගික පිරිමි කියන දෙක අතරෙ ඇති අනන්‍යතාවයක් විදියට. උභතොභ්‍යඤජනක සලකන්න වෙන්නේ අන්තර්ලිංගික (Intersex) කියන අනන්‍යතාවයේ කොටසක් විදියට. නපුංසක කියන එකත් අන්තර්ලිංගික අයගෙ කොටසක් විදියට තමයි හිතන්න වෙන්නෙ. පණ්ඩක කියන එක එච්චර පැහැදිලි නැහැ. නමුත් සංක්‍රාන්ති සමාජභාවී (Transgender) කියන පුළුල් අනන්‍යතා රාමුවට අයිති එකක් යැයි හිතන්න පුළුවන්.


රොබර්ට් නොක්ස් විසින් රචිත An Historical Relation Of The Island Ceylon (සිංහලෙන් එදා හෙලදිව) නම් කෘතියේ බොහෝ විට ඉතිහාසඥයින් විසින් අර්තනිරූපණය නොකර මඟහැර යන කරුණක් තිබෙනවා. ඒ පිළිබඳව අපට කියන්න පුළුවන් ද?

මං කලින් කිව්වා වගේ සිවිල් මිනිස්සුන්ගෙ ඉතිහාසය ගැන කිසියම් විදියකට වාර්තා ගත වුනේ ලංකාවට පැමිණි විවිධ සංචාරකයන්ගේ පොතපත තුළයි. මේ අතර ඉංග්‍රීසින් උඩරට යටත් කර ගැනීමට පෙර එහි තිබුනු ජනසමාජය ගැන තේරුම් ගැනීමට ඇති වැදගත් පොතක් ලෙස රොබට් නොක්ස් ගේ An Historical Relation Of The Island Ceylon කියන පොත වැදගත් වෙනවා. මේ සාකච්ඡාව තුළට ඒ පොත වැදගත් වෙන ප්‍රධාන කාරණය ඒ කාලයේ තිබුන ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන විශ්වාස සහ සංස්කෘතිය අද ඒවායෙන් කොයිතාක් දුරට වෙනස් වෙනවාද යන්න බැලීමට අවස්ථාවක් ලැබෙන නිසයි.


රොබට් නොක්ස් ගේ An Historical Relation Of The Island Ceylon | ඡායාරූපය: කොළඹ විශ්ව විද්‍යාලය

මේ පොතේ මෙහෙම සටහනක් තියෙනවා මහ රජතුමා ගැන.

“ඔහුගේ බොහෝ සේවකයන් පිරිමි ළමයි සහ තරුණ කොල්ලන්ය. ඔවුන්ට ලස්සන පෙනුමක් ඇති, උසස් කුල පරම්පරාවකින් පැවතෙන අයයි. දිසාවේලා සහ රටේ මහත්තුරුන්ට මේ පිරිමි ළමයි තෝරා එවන ලෙස ඔහු විසින් අණ කරනු ලබයි. ආකර්ෂණීය පෙනුමක් ඇති, හොඳ කුල පරම්පරාවක් ඇති අය මෙසේ රජ මාළිගාව වෙත එවනු ලබයි. මේ පිරිමි ළමයින්ගේ හිස් බූ ගාන අතර, දිගු හිස කේ පහලට එල්ලේ. ඔහු සොදොමි ගැන වැරදි නොවන අතර, ඒ පාපය ගැන ඔවුන් ගැන සඳහන් වෙනුද මා එතරම් අසා නැත.”


මූලාශ්‍රය: Gutenberg

ඒ කාලයේ සොදොමි යනුවෙන් අදහස් වෙන්නේ ආගමික සදාචාරයට පිටින් පවතින ලිංගික ක්‍රියාවන්. සොදොමි යන වචනය වර්තමානයේ බොහෝ දුරට භාවිතා වෙන්නේ සමලිංගිකත්වය හැඳින්වීමටයි. මේ පිරිමි ළමයි ගැන සඳහන ලියද්දී එක වරම ‘සොදොමි’ යන වචනය ගෙනෙන්නේ රජතුමා එවැනි ක්‍රියාවල නියුතු වූ නිසා දැයි සැකයක් මතුවෙනවා.

නොක්ස්ගේ පොතට අමතරව 1547 දී පෘතුගීසින් විසින් ගෝවේ පාලකයා වෙත ලියූ ලියුමක ද මීට සමාන විවේචනයක් සඳහන් වෙනවා. කෝට්ටේ රජතුමා ඇතුළු ප්‍රභූන් සොදමි වරදේ කිසි ලැජ්ජාවක් නැතිව නියැලෙන බවත්, එහි ජීවත් වීම බය ගෙන දෙන බවත් එහි සඳහන් වෙනවා.


කෝට්ටේ 7වැනි බුවනෙකබාහු රජු (1524-1551 AD) සමකාමියකු විය. සමලිංගිකභීතිකාවෙන් පෙළුනු පෘතුගීසි පාලකයෝ මෙයින් බියට පත්ව, 1547 නොවැම්බර් 27 දරන දින ගෝව සිටින පෘතුගීසි ආණ්ඩුකාරයා වූ ජෝවා ද කැස්තෝට ලිපියක් ලියන අතර මෙහි සඳහන් වන්නේ කෝට්ටේ රාජධානිය පුරා සමලිංගික පාපය පැතිර තිබූ බවත්, එහි ජීවත් වීම පෘතුගීසින්ට බිය ගෙන බවත්ය. තවදුරටත් එම ලිපියට අනුව මෙම “කැත ක්‍රියාව” කිරීම ගැන කිසියම් රාජධානියේ පිළිගැනීම ඇති පුද්ගලයෙක් අවලාද නැගුවේ නම්, ඔවුන් පිළිතුරු දෙන්නේ තමන්ගේ රජතුමා කරන දෑ තමන් කරන බවත්, එය චාරිත්‍රය බවත්ය. 7 වැනි බුවනෙකබාහු රජු (1524-1551) යනු විජයබාහු රජුගේ වැඩිමල් පුතා වෙන අතර, 1551 හි සිදුවෙන ඔහුගේ මරණයට කෙටි කළකට පෙර, රජතුමා තමන්ගේ ඊළඟ උරුමක්කාරයා ලෙස තමන්ගේ මුණුපුරා වෙන ධර්මපාල කුමරු නම් කළේය | ‍උපුටා ගැනීම: දේදුනු සංවාද

රොබට් නොක්ස්ගේ පොතේ දැන් අපිට ඇති සංස්කෘතික විශ්වාසවලට පහර දෙන දේවල් සඳහන් වෙනවා. තරුණ තරුණියන් දෙපිරිසම තමන්ගේ හිසේ මල් පළඳනවා. දැන් පිරිමි හිසේ මල් පළදන්නෙ නැහැනෙ. තව කාරණයක් වෙන්නේ කේන්දරය අපල ගෙන දරුවන් කෑම බීම නොදී තැබීමෙන් හෝ දියේ ගිල්වීමෙන් බිළිඳු වයසේ දීම මරා දමන බවයි. එසේම පිරිමින් සිය බිරිඳ හෝ දියණිය සිය කිට්ටු යහළුවන්ට, ගරු කරන පුද්ගලයන්ට නිදි යහනට රැගෙන යාමට ලබා දෙන බවත්, සමහර විට මව විසින් කිසියම් ගනුදෙනුවකට දරුවන් ලබා දෙන බවත් කියවෙනවා. එසේම නිදා ගන්න ගෙදරක තිබුනේ එක කාමරයක් බවත්, අහල පහල ගෙවල්වලට ගොස් එකට නිදා ගැනීම ගෞරවයක් බවත් කියවෙනවා. එසේම තමන්ට ගැලපෙන විවාහයක් ලැබෙන තුරු කෙටි කලක් එකට ගත කර කසාදය අතහැර අලුත් කසාදයක් පටන් ගැනීම කිසිදු අගෞරවයක්, අපකීර්තියක් ගැන හැඟීමක් නැතිව කළ බවත් කියවෙනවා. එසේම ගැහැණු පිරිමි අතර අනියම් සම්බන්ධතා බහුල වූ බවත් අතටම අහු වුනොත් සැමියාට බිරියගේ හොර සැමියා මරා දැමිය හැකි වුවත්, එය සාමාන්‍යයෙන් ගණන් නොගත් දෙයක් බවත් කියවෙනවා.

මේ කරුණු ගැන බැලූ කල අපිට පෙනෙන්නේ වර්තමාන සමාජයේ පවතින ලිංගික සදාචාර බොහොමයක් බටහිර ජාතීන්ගේ පැමිණීමෙන් පසු මෙරටට ලැබෙන දේවල් බවයි. ඊට පෙර අපේ ජන සමාජයේ ලිංගිකත්වය ගැන වෙනස් විදියේ නිදහසක් පැවැතී තිබෙනවා.


ඡායාරූපය: දේදුනු සංවාද


මෙලොව ඇතැම් ආගම් සහ ආගමික පුස්තක තුළින් සමලිංගිකත්වය පාපයක් යැයි පෙන්වා දීමට කටයුතු කරනු ලබනවා. බහුතරයක් බෞද්ධයින් ජීවත් වන ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වයට ආගම බලපාන්නේ කෙසේ ද?

සියලු ආගම් අදහන ආගමිකයන් අතර L,G,B,I,Q පුද්ගලයන් මෙන්ම, සමලිංගික විරෝධයෙන් පෙළෙන අයත් සිටිනවා. බොහෝ ආගම්වල ප්‍රධාන පණිවුඩය වන්නේ ආදරය, කරුණාව, මෛත්‍රිය, අන්‍යොන්‍ය සහයෝගය වාගේ දේවල්. හැබැයි පොදුවේ ආගම් නිසා ලෝකයේ ඇති වූ යුද්ධ ප්‍රමාණය, සහ ඒවායෙන් නැති වූ ජීවිත ප්‍රමාණය අති විශාලයි. විවිධ ‌ඓතිහාසික වැරදීම් මත ආගම් ආදරයට වඩා වෛරයට භාවිතා වෙන අවස්ථාත්, එකිනෙකාට සහයෝගය දැක්වීම වෙනුවට එකිනෙකාට හානි කර ගැනීමත්, සමාජයෙන් කොන්වන්නන්ට උදව් කිරීම වෙනුවට, තවදුරටත් කොන් කිරීමත් ආගම් නාමයෙන් සිදු වෙනවා. අනෙකුත් ආගම්වලට මෙන්ම බුද්ධාගමටත් මේ කාරණය පොදුයි. L,G,B,I,Q පුද්ගලයන් හෝ එසේ යැයි සැක කරන අය;

– වැරදි බව කීමට, – ඔවුන් ලැජ්ජාවට පත් කිරීමට, – තනතුරුවලින්, වරප්‍රසාදවලින් ඉවත් කිරීමට, – ඔවුනට කස පහර දීමට, වේවැල් පහර දීමට, සිර දඩුවම් හෝ වෙනත් දඩුවම් ලබා දීමට, – මරණයට පත් කිරීමට, පණ පිටින් ගිනි තැබීමට, හිස ගසා දැමීමට හෝ – සියදිවි නසා ගන්නා තත්වයට පත් කිරීමට

ආගම යොදා ගෙන තිබෙනවා. ආගම් කිසියම් කාලයකට පසු යොදා ගෙන ඇත්තේ ආගමික නායකයන් ඉගැන්වූ දේවලට වඩා, ආගම සහ රාජ්‍යය අතර ගනුදෙනුවක් ලෙසයි. ඉතින් ආගම් පාලකයන්ට අවශ්‍ය වූ මෙවලම් ලෙස යොදා ගත් අවස්ථා තිබෙන අතර, එය ආගමික සංස්ථා හා ආගම සම්බන්ධ ඉතිහාසයම වෙනස් වීම්වලට බලපා තිබෙනවා. මෙය බොහෝ ආගම්වලට පොදු කාරණයක්. දහමේ, දර්ශනයේ කවර දේවල් ඉගැන්වූවත්, එයින්ම ආගම මෙවලමක් ලෙස භාවිතා වෙන ආකාරය තීරණය වෙන්නේ නැහැ. අවිහිංසාවාදය පදනම් කර ගත් ආගමක් මිනිසුන්ට හිංසා කිරීමට යොදා ගන්න වුනත් පුළුවන්.


උපුටා ගැනීම: දේදුනු සංවාද

බුදු දහම ගිහියන්ගේ ලිංගිකත්වය පාලනය කිරීමට උත්සාහ කරන ධර්මයක් නොවෙයි. නමුත් පංචශීලයේ තුන්වැනි ශික්ෂාපදය වන කාමයෙහි වරදවා නොහැසිරීම යන්න පනවා ඇත්තේ එහෙම අදහසකින් බවට දැන් සමාජයේ මතයක් තියෙනවා. ලිංගික හැසිරීම් සිදු කිරීමේ දී අනික් අයව රැවටීම, අකමැත්තෙන් රිදවීම, හිංසා කිරීම, ප්‍රචණ්ඩත්වය වාගේ කරුණු ගැන ස්වයං පාලනයක් ඇතිව කටයුතු කිරීමත්, ලිංගික හැසිරීම් ගැන වගකීමෙන් කටයුතු කිරීමත් එයින් අදහස් වෙන බව මගේ හැඟීමයි. පංච ශීලය බුදු දහම විසින් ගිහියන්ට මග පෙන්වීමට පිළිපැදිය යුතු යැයි දේශනා කළ ධර්ම වුනත්, ඒවා බුදුන් පහළවීමට පෙර කුරුධර්ම නමින් කුරු රටේ ජනතාව අතර තිබූ ධර්ම වන බව කුරුධර්ම ජාතකයේ කියවෙනවා. මේ කුරුධර්ම ජාතකයේ හැටියට හොඳින්ම පංච ශීලය (කුරුධර්මය) රකින්නේ ඒ නගරයේ සිටින වෛශ්‍යා දියණියයි. වහරේ යෙදෙන ‘ගණිකාව’ කාමයෙහි වරදවා නොහැසිරීම රැකීමෙන් පළමු වෙනියා වන්නේ කොහොමදැයි යන ප්‍රශ්නය අපි මෙතැනදී ඇසිය යුතු වෙනවා. ගණිකාවක් වෙතට යෑම නූතන අර්ථයෙන් කාමයේ වරදවා හැසිරීමක් බව අද බොහෝ දෙනෙක් කියාවි. නමුත් බුදුන් දේශනා කළ ධර්මයේ එහෙම අදහසක් නොතිබූ බව කුරුධර්ම ජාතකය කියවූ විට පැහැදිලිව පෙනෙනවා.

කාමය ගැන බෞද්ධ ඉගැන්වීම ගත්තොත් ඒක තුන්වැනි ශික්ෂා පදයට එහා යනවා. එය ලිංගික හැසිරීමට සීමා වෙන්නේ නැහැ. ඇසින්, කනින්, දිවෙන්, නාසයෙන් හා කයෙන් ලබන ආශ්වාදය පංච කාමයයි. මේ කාම සම්පත්වල ඇලීමෙන් දුක හට ගන්නා බව බෞද්ධ ඉගැන්වීමයි. ඉතින් කිසියම් කෑමකට අනවශ්‍ය ලෙස ගිජු වෙන පුද්ගලයෙක් ගත්තත් ඒක නිසා තවත් දුකට තමයි ඒ පුද්ගලයා යන්නේ. බුදු දහම අගය කරන්නේ ඇලීම් ගැලීම් අඩු, ආශාවන්වලින් අප පාලනය නොවන ජීවන ක්‍රමයකුයි.


ඡායාරූපය: දේදුනු සංවාද

භික්ෂුන්ගේ ලිංගික හැසිරීම් බුදු දහම දකින්නේ වරදක් ලෙසයි. මේ කිසිවක් නිසා නොව, නිර්වාණය ලබා ගැනීමේ මාර්ගයේ දී ලිංගික හැසිරීම් යනු සසරට අප බැඳ තබන ආශාවන් බවත්, ලිංගික හැසිරීම්වල යෙදෙන අයට නිර්වාණයට ළගා වීම අපහසු දෙයක් බවත් බුදු දහම විශ්වාස කළ නිසයි. විශේෂයෙන්ම තමන්ගේ කැමැත්තෙන් ශරීරයක් තුළට පුරුෂ ලිංගය හෝ වෙනත් දෙයක් ඇතුළු කිරීමෙන් සිදු කරන ඕනෑම ලිංගික හැසිරීමක් භික්ෂූන්ට සැලකුණේ පාරාජිකාවක් ලෙසයි. ඒ කියන්නේ නිර්වාණයට යන ගමනේ අනිවාර්ය පැරදීමක් ලෙසයි. පාරාජිකාවකට ලක් වූ භික්ෂුවක් තවදුරටත් භික්ෂුවක් වීමට සාමාන්‍යයෙන් සුදුසු නැහැ. නැතිනම් සාමණේර හිමිනමක් ලෙස නැවත ගමන පටන් ගත යුතුයි. එසේ වුවත් පාරාජිකා නොවන (සිරුරට ලිංගය ඇතුළු නොකරන) සමලිංගික හැසිරීම් (උදාහරණ- කලවා සංසර්ගය; මෙය ගල් කැපීම යනුවෙනුත් හඳුන්වනවා) සම්බන්ධයෙන් පොහොයකර්ම කිරීමෙන්, ඒ ගැන වරද පිළිගැනීමෙන්, භික්ෂුවකට තවදුරටත් තමන්ගේ භික්ෂුත්වය පවත්වා ගෙන යා හැකියි.


කාමසූත්‍ර යනු වාත්ස්‍යාන නම් පඬිවරයකු විසින් ක්‍රිපූ 200 -ක්‍රිපූ 400 ත් අතර කාලයේ ලියන ලද මානව ලිංගික චර්යාව සම්බන්ධ සංස්කෘතික ග්‍රන්ථයකි. සමලිංගික ලිංගික හැසිරීම් ගැන ද එහි සඳහන් වේ. පිරිමි හා පිරිමි අතර, හෝ ගැහැණු හා ගැහැණු අතර සිදු වෙන සමලිංගික හැසිරීම් වරදක් ලෙස එහි කොතනකවත් දක්වා නැත. | උපුටා ගැනීම: දේදුනු සංවාද

සමලිංගිකත්වය වැරදි යැයි හැඳින්වූ කිසිදු සටහනක් ත්‍රිපිටකය තුළ නැහැ. නමුත් චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ සඳහන්වන අධර්ම රාගය, විෂමලෝභ, මිථ්‍යාධර්මය යන තුන් ආකාරයේ පාපයන් සම්බන්ධයෙන්, ක්‍රිව 5 වැනි සියවසේ දී බුද්ධඝෝෂ හිමි විසින් ලියූ අටුවාවක ඇති කුඩා සටහනක් සමලිංගිකත්වය බුදු දහමට අනුව වැරැදි යැයි කීමට ලංකාවේ ඇතැම් භික්ෂූන් යොදා ගෙන තිබුනා. ලිංගික හැසිරීමක් හැඳින්වීමට ධර්මය වැනි වචනයක් භාවිතා කළා යැයි විශ්වාස කිරීම අපහසුයි. ත්‍රිපිටකය සමස්තයක් ලෙස බලන කල පැහැදිලිව පෙනෙන්නේ බුද්ධඝෝෂ හිමිගේ මේ අර්ථකථනය වැරදි බවයි. නමුත් එවැනි දෙයක් කිසිසේත්ම නොමැති වුනත් එවැනි දෙයක් බුදුදහම තුළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය යම් යම් දේශපාලනඥයන්ට, බලය ඇති අයවලුන්ට සහ ආගමික නායකයින්ට අවශ්‍ය යුගයක අපි ජීවත් වෙනවා.


සංක්‍රාන්තිසමාජභාවී පුද්ගලයන් සම්බන්ධයෙන් සිංහලයෙන් ලියැවී ඇති පොත් ගණන අල්පයකි. පසුගිය වසරේ ප්‍රකාශයට පත්වූ ශාන්ති දිසානායක ලියූ අංගනා නවකථාව, සේපාල සිට සංජු බවට පත්වෙන සංක්‍රාන්ති සමාජභාවී චරිතයක් වටා ගෙතුණු ලස්සන නවකතාවකි. මේ උපුටා ගන්නා කොටස 102 වැනි පිටුවෙනි. අංජනා සරසවි ප්‍රකාශනයකි | උපුටා ගැනීම: දේදුනු සංවාද

අපේ දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වෙන ‘අස්වාභාවික ලිංගික හැසිරීම‘ යන වචනය බයිබලයේ සඳහන් ඉගැන්වීම ආශ්‍රයෙන් සෑදී තිබෙනවා. එතැනදීත් මා කියන්නේ යේසුස් වහන්සේ එය එසේ කීවාද කියන කාරණය අදාළ වන්නේ නැහැ. ක්‍රිස්තියානි ආගම යටත්විජිතවාදී පාලකයන්ගේ මෙවලමක් බවට පත්වී තිබුනා. ඉතින් ආගමේ මෙසේ ඇතැයි කියමින් ඔවුන් ඉතා යහපත් දෙයක් කරනවා යැයි සිතාගෙන ලංකාවට මේ සදාචාර නීති රීති පැනවුවා. ඒ සදාචාර නීතිරීති අද වන විට ක්‍රිස්තියානි දහමට පමණක් අදාළව කතා වෙන්නේ නැහැ. බුදු දහමේ මොනවා තිබුනත් මිනිස්සු තමන්ට වුවමනා විදියට ආගම කියවා ගන්නා ආකාරයක් තියෙනවා. ඒ ක්‍රමයේ වින්දිතයන් වීමට සෑම විටම සිදු වන්නේ සමාජයේ කොන් කිරීමට, වෙනස්කම් කිරීමට ලක් වෙන්නට වෙන ප්‍රජාවන්ටයි. නූතන සමාජය දෙස වාගේම, අප කිසියම් විවේචනයන් සහිතව අපේ පැරැණි සමාජය සහ ආගම දෙසත් බැලිය යුතුයි. ඉතිහාසයේ යම් කෙනෙක් දෙයක් ලියා තැබුවා කියා නිවැරැදි වන්නේ නැහැ. සුනීත, සෝපාක මහණ වූ බුදු සසුනේ අඩුකුලේ අයට වෙනම නිකාය සෑදුනු බව අප අමතක නොකළ යුතුයි.


මේ පැණය ඇත්තෙන්ම අප පෙර සාකච්ඡා කළ සංස්කෘතියට අදාළ විය හැකියි. LGBTIQ ප්‍රජාව පිළිබඳ ඇතැම් නාගරික පුරාවෘත්ත (urban legends) ශ්‍රී ලංකාවේ පැවති බවට ඇතැම්හු පවසනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක් ද? මෙය සත්‍යයක් ද, නැතිනම් මිත්‍යාවක් ද?

නිහාල් නෙල්සන් ගැයූ ගීතයක් මගේ මතකයට එනවා මෙතනදී. මේ ගීතය ‘ඔල්ගා දේවී’ නම් බයිලා ගීතයක්.


“සරමට හරි හැඩයි එයා කලිසමටත් හැඩයි එයා සාරියටත් ආස එයා දන්නවාද කවුද කියා..”

ඔල්ගා දේවී නැමති චරිතයක් ගැනයි මේ ගීතයෙන් කියවෙන්නේ. මේ ගීතය හරහා ඔල්ගා දේවී ව විස්තර කරලා තියන ආකාරය ගැන සිතා බැලුවොත්, ඇය ප්‍රජාවට සම්බන්ධයක් තිබෙනවා නේද යන්න අපට වැටහෙනවා. ඔල්ගා දේවී පුරාවෘත්තයක් නම් ඒ බවට පත් වෙන්නේ බොහෝ විට මේ ගීතය හරහායි. මා දන්නා තරමින් ඔල්ගා දේවි ගොඩක් පැරැණි චරිතයක් නොවෙයි. ඇය අනූ ගණන් දක්වා ගල්කිස්ස ප්‍රදේශයේ ජීවත් ව සිටි බවත්, විවාහ උත්සවයක් ගෙන පිරිමියෙක් කසාද බැන්ද බවත් මා අසා තියෙනවා. ඔය කියන ඔල්ගා දේවි අපි සමහර විට තනි පුද්ගලයෙක් විදියට නොදැන සිටියත්, ඔල්ගා දේවිලා නියෝජනය කරන සමාජ පන්තිය අපේ ගැමි සමාජවල ඉන්නවා. වඩාත්ම වැදගත් කාරණය වන්නේ ඔල්ගා දේවි ගමටම ප්‍රයෝජනවත් චරිතයක් වීමයි.

“භෘංගසේන බැඳපු දවසෙ කෑම හදන්නටත් ආපු ප්‍රින්සි නංගි බැඳපු දවසෙ කොණ්ඩෙ හදන්නටත් ආපු විලි මාමා මැරුණු දවසෙ වෙස්සන්තර කවි කියාපු වල්ගාතරුව ඔල්ගා දේවි පව්ඩර් මූණේ අලවලා බොරුවට ගෙම්බර් දමාපු ගමේ තිබුන තොවිල්වලත් ගම්මඩුවක් නෑර ආපු පිරිමි අස්සෙ රිංග රිංග ගෑනුන්ගෙන් බැනුම් අහපු වල්ගතරුව ඔල්ගා දේවී”

ඇය නැතිව මගුල් ගෙයක්, මලගෙයක්, තොවිල් ගෙයක්, ගම්මඩුවක් කිරීම හරි දුෂ්කරයි. අපි අපේ ගම්වල ඉන්න ආච්චි සීයාලලාගේ අසා බැලුවොත් බොහෝ අය මෙවැනි චරිත ගැන දන්නවා. ඒත් ඒ අය ගැන විස්තර කොහෙවත් ලියැවී නැහැ. මා දකින විදියට ඔල්ගා දේවි නාගරික පුරාවෘත්තයක් ලෙසම සීමා කරන්නට අවශ්‍ය නැහැ. ඔල්ගා දේවිලා අනුරාධපුරෙත් ඉන්නැති, නුවරත් ඉන්නැති, වන්නියෙත් ඉන්නැති. දකුණෙත් ඉන්නැති.


උපුටා ගැනීම: දේදුනු සංවාද

ටවර්හෝල් යුගය ගැනත් මෙතැනදී විශේෂයෙන්ම මතක් කළ යුතුයි. පිරිමි විසින් කාන්තා චරිතවලට රඟ පෑම අපේ ගැමි නාට්‍යවල සිදු වුනේ කාන්තාවන් රඟපෑම නොසුදුසු බවට තිබුනු පරණ අදහස් නිසයි. ඒත් විසි වැනි සියවසේ මුල ටවර් හෝල් යුගය වන විට මේ අදහස වෙනස් වුනා. කාන්තාවන් පිරිමි චරිත රඟපෑමත්, පිරිමි කාන්තා චරිත රඟපෑමත් යන දෙකම කළා. විශේෂයෙන්ම සරලා බායි මෙතැනදී මතක් කිරීම ඉතා වැදගත්. එකල සරලා බායිගේ ස්ත්‍රී ලාලිත්‍යයට මුළු රටම වශී වූ කියවෙනවා. එහෙත් ඔහු උපතින් පිරිමියෙක්.


ඩේවිඩ් පේන්ටර් විසින් 1935 දී චිත්‍රයට නගන ලද “L’apres-midi” (සවස්කාලය) යනුවෙන් නම් කරන කළ මෙම තෙල් සායම් සිතුවමකි. උසින් සෙන්ටිමීටර 99ක් ද, පළලින් සෙ.මී. 122ක් ද වේ. මෙය එංගලන්තයේ බ්‍රයිටන් හි පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ඩේවිඩ් පේන්ටර් (1900-1975) යනු ලංකාවෙන් බිහිවූ යුරෝපීය සම්ප්‍රදායේ චිත්‍ර ඇඳි විශිෂ්ටතම චිත්‍ර ශිල්පියෙකි. ජවහල්ලාල් නේරු ගේ නවදිල්ලියේ පිහිටි නිවසේ ඇති නිල චිත්‍රය, මහත්මා ගාන්ධිගේ කොළඹ නීති විද්‍යාලයේ ඇති චිත්‍රය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඇති ජෝන් කොතලාවලගේ චිත්‍රය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඇති අයිවර් ජෙනින්ග්ස් ගේ චිත්‍රය අැඳ ඇත්තේ ඔහු විසිනි. ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වෙන අතර, එම විද්‍යාලයේ ද ඔහු කළ නිර්මාණ දක්නට ඇත. | උපුටා ගැනීම: දේදුනු සංවාද

සංක්‍රාන්ති කාන්තාවන් එකතු වී නාගරික ප්‍රජා කණ්ඩායම් ලෙස ජීවත් වූ අවස්ථාවන් ගැන කතන්දර කොළඹ ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක් ආශ්‍රිතව එසේම තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල මෑත ඉතිහාසය වෙන තෙක්ම මෙවැනි අය සිටියා. මේවා ගැන නිසි අධ්‍යයනයක් කෙරී නැහැ. ඒ අය විවිධ කාරණාවන් නිසා මෙලෙස නාගරිකව එකතුවන්නට ඇති. එකක් විය හැක්කේ තමන්ගේ පවුල්වලින් මුහුණ පෑ වෙනස්කම් කිරීම් නිසා මේ අය නගරවලට සංක්‍රමණය වී කිසියම් ප්‍රජා කණ්ඩායම් ලෙස සංවිධානය වීමයි. අනික් කාරණය විය හැක්කේ ලිංගික වෘත්තියේ යෙදෙන කණ්ඩායම් ලෙස නාගරිකව පවතින අවස්ථා විය හැකියි.

එසේම ඒ ආශ්‍රිතව ලාංකිකව බිහිවන නච්චි අනන්‍යතාවයත්, නච්චි භාෂාව ගැනත් මෙහිදී මතක් කළ යුතුයි. නච්චි යන වචනය එන්නේ ‘නර්තනයේ යෙදෙන්නා‘ යන අදහසින් බවත් ඉන්දියානු ‘නෝච් කෙල්ලන්‘ යන වචනයෙන් ආරම්භ වූ බවත් විද්වතුන් අදහස් පළ කර තිබෙනවා. ලංකාවේ පෙරහැර ආශ්‍රිතව ලංකාව පුරා විවිධ ප්‍රදේශවලින් එන නච්චි පුද්ගලයන්ගෙන් එකතු වී කරන නැටුම් කණ්ඩායම් තවමත් පවතින බව තුෂාර මනෝජ් මෑත ලිපි කිහිපයක දීම මතු කර තිබුනා. එසේම නච්චි භාෂාවත් දැන් ලේඛන ගත නොකිරීම නිසා අතුරුදහන් වීගෙන යනවා. නච්චි භාෂාව කියන්නේ නච්චි අතර ඒ අයට විතරක් තේරෙන විදියට සන්නිවේදනය කර ගැනීමට ඇති සුවිශේෂී වචන කොටසකුයි. මේ වචන 100ක් – 200ක් විතර මා දන්නා තරමින් තිබුනා. ඒවායින් වචන කිහිපයක් අදත් භාවිතා වෙනවා. නච්චි භාෂාව මා දකින විදියට නාගරිකව බිහිවූ සංස්කෘතික නිර්මාණයක් විය යුතුයි. එසේම එය ලිංගික වෘත්තිය හා සම්බන්ධයක් තියෙන්නත් ඇති.

නාගරික පුරාවෘත්ත තිබෙනවා. ඒවා බොහොමයක් ලේඛනගත වී නැහැ. ලේඛනගත කිරීම සම්බන්ධයෙනුත් විවිධ අභියෝග තියෙනවා. මේ වාගේ තොරතුරු හෝ ස්ථාන හෙළි කිරීමෙන් දැනට ජීවත්ව සිටින අයට වෙන බලපෑම ගැනත් අපි ගැඹුරින් හිතන්න ඕනානේ.


ඔල්ගා දේවි, සරලා බායි පිළිබඳ කතාන්දර වාර්තා වන්නේ දිවයිනේ එක්තරා නගරයක්/නගර පදනම් කර ගනිමින්. ඒ අනුව, ශ්‍රී ලංකාවේ LGBTIQ පුද්ගලයින් ප්‍රජාවක් ලෙස වාසය කරන කලාප වෙනම තිබෙනවා ද?

මම කලිනුත් කිව්වා වගේ, කිසියම් ප්‍රදේශ තිබෙනවා. හැබැයි ලංකාවෙ හැම තැනින්ම එන මිනිස්සු තමා ඒවයෙත් ඉන්නෙ. එහෙම එක නගරයක් ප්‍රදේශයක් නම් කරන එක හරි නැහැ. ගැමි සහ නාගරික කියා වෙනසක් නැතිව LGBTIQ පුද්ගලයෝ රට පුරා හැම කාලෙකදිම ඉන්නවා.’

Link - http://139.59.240.222/12/02/1040/

සමලිංගික අයිතීන් ගැන පළමු වෙඩිමුරය 95 දී – විසිපස් වසරක අතීතයට දිව යන ශ්‍රී ලංකාවේ LGBT+ ප්‍රජා අරගලය (3 කොටස)

සමලිංගිකත්වය සංස්කෘතියට පටහැනි ද? යන මැයෙන් මීට ඉහත ශ්‍රී ලංකාවේ සුළුතර ප්‍රජා කණ්ඩායම් පිළිබඳ පර්යේෂකවරයකු හා මානව හිමිකම් ආරක්ෂකයකු වන දමිත් චන්දිමාල් මහතා සමඟ පැවති සාකච්ඡාවේ පළමු හා දෙවන කොටස අප ඔබට ගෙන එනු ලැබුවා.

එම සාකච්ඡාවේ පළමු හා දෙවන කොටස් සම්බන්ධයෙන් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් අප වෙත ලැබුණු අතර, ඒ අතර ප්‍රශංසනීය මෙන්ම විවේචනාත්මක අදහස් ද පැවතියා. එම අදහස් එක හා සමානව භාර ගන්නා අතරම, අද දිනයේ ශ්‍රී ලංකාවේ ලිංගික සුළුතර ප්‍රජා ඉතිහාසයෙන් මඳක් බැහැරව මානව හිමිකම් ව්‍යාපාරය දෙස හැරීමට අප සිතුවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ LGBT+ මානව හිමිකම් ව්‍යාපාරයේ ඇරඹුම හා එහි වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් ද සමඟ දමිත් චන්දිමාල් මහතා සමඟ පැවති සාකච්ඡාවේ තුන්වන කොටස දිග හැරීමට අප බලාපොරොත්තු වනවා. මෙම ලිපිය පුරාවට ද ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් ක්‍රියාකාරීන් මඬුල්ලක් විසින් කතෘ මණ්ඩලය හොබවනු ලබන LGBT+ ප්‍රජා තතු පිළිබඳ දැනුම් කේන්ද්‍රයක් වන දේදුනු සංවාද නම් පිටුවේ අධ්‍යයන කරුණු උපුටා දැක්වීමක් සිදු කිරීමට අප බලාපොරොත්තු වනවා. දේදුනු සංවාද පිටුව ප්‍රජා අධිවාචනයට ලබා දෙන දායකත්වය පිළිබඳව ඩෙන්වර් පීටර්සන් මහතා ප්‍රමුඛ එහි කතෘ මණ්ඩලයට ද අප ස්තූතිවන්ත වනවා.


ශ්‍රී ලංකාවේ LGBT+ මානව හිමිකම් ව්‍යාපාරය ආරම්භ වන්නේ කුමන කාලවකවානුවක ද? එහි වත්මන් තත්ත්වය පිළිබඳ ඔබ දරන අදහස කුමක් ද? LGBTIQ මානව හිමිකම් ව්‍යාපාරය, LGBTIQ මිනිසුන් බිහිවූ දින සිටම තිබුනු දෙයක් විය යුතුයි. LGBTIQ මිනිසුන් ඉතිහාසය පුරාම විවිධ කාරණා මත, විවිධ සංස්කෘතීන්වල විවිධ හිරිහැරවලට භාජනය වී ඇති. ඉතින් එහෙම වුනාම ඒකට විරෝධය පාන්න, ඒ වෙනුවෙන් සටන් කරන්න LGBTIQ මිනිස්සු ඉදිරිපත් වෙන්න ඇති. නමුත් වඩාත් සංවිධානාත්මක LGBTIQ මානව අයිතිවාසිකම් ව්‍යාපාරයක් කියන දේ ගැන බලන කොට මං හිතන්නෙ දකුණු ආසියාවේම LGBTIQ මානව හිමිකම් ගැන වැඩ කරන ආයතන බිහි වන්නේ 90 දශකයේ දීයි.


ෂර්මන් ද රෝස් මහතා | ඡායාරූපය: දේදුනු සංවාද

ලංකාවෙ ඉතිහාසය ගත්තම 1994 දී ලංකාවේ පළමු සමකාමී අයිතිවාසිකම් ආයතනය වන ගමන්මගේ සහකරුවෝ ආයතනය ෂර්මන් ද රෝස් මහතාගේ මූලිකත්වයෙන් බිහි වුනා. 1994 දෙසැම්බර් අග ඉන්දියාවේ බොම්බායේ දී “දකුණු ආසියාවේ මතුවෙන සමකාමී අනන්‍යතා: එච්අයිවී/ඒඩ්ස් සහ ලිංගික සෞඛ්‍යය සඳහා බලපෑම්” යන මැයෙන් සමකාමී සහ පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින් (MSM) සඳහා සම්මන්ත්‍රණයක් පැවැත්වුනා. මේ සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ෂර්මන් ද රෝස් මහතාත් සහභාගි වුනු අතර දකුණු ආසියාවේ සහ ලෝකයේ විවිධ රටවලින් එයට LGBTIQ අයිතිවාසිකම් ක්‍රියාධරයන් 60ක් පමණ සහභාගි වුනා. ඉන් මාස ගණනකට පසු 1995 දී කොල්ලුපිටියේ සීවීව් හෝටලයේදී ෂර්මන් පළමුවරට මාධ්‍ය සාකච්ඡාවක් තබමින් සමලිංගික අයිතීන් දිනා ගැනීමේ අරගලය ප්‍රසිද්ධියේ ආරම්භ කළා.

ඒත් ඇරඹුමම පහසු දෙයක් වුනේ නෑ.ඒ සම්මන්ත්‍රණයට අනික් ක්‍රියාකාරීන් එකතු වීමට කලින් සැලසුම් කර තිබුනත්, බය නිසා බොහෝ අය මඟ ඇර සිටිය දී ෂර්මන් විතරක් තනිව මාධ්‍ය සාකච්ඡාවට වාඩි වුනා. මාධ්‍ය සාකච්ඡාව හොඳින් අවසන් වුනත් එය මාධ්‍යවල වාර්තා වුනේ ලංකාවේ සංස්කෘතිය විනාශ කරන මහා නරක දෙයක් හැටියටයි. ෂර්මන්ට සහ අනෙක් ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුට මේ නිසා ගෙවල්වලින් පවා දොට්ට බහින්න සිදු වුනා. ඒත් එහෙම වුනා කියා ඔවුන් සටන අත හැරියේ නැහැ. මුල් කාලයේ කලුබෝවිල ප්‍රදේශයේ ගමන්මගේ සහකරුවන් ආයතනය පවත්වා ගෙන යද්දී මිනිස්සු එයට ගල් ගසා තිබෙනවා. ඒ තර්ජන මැද වුවත්, 1996 මැයි මස 25 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ලංකාවේ පළමු සමලිංගික පුද්ගලයන්ගේ සම්මන්ත්‍රණය පවත්වනු ලැබුවා. මේ කාලය දෙස බලන විට වඩා පැහැදිලිව පෙනෙන්නේ සමලිංගික පිරිමින් ගැන වැඩි අවධානයක් යොමු වී තිබුනු බවයි. හරස්විලාසිතා කරන නච්චි කාන්තාවන් සහ ලිංගික ශ්‍රමිකයන් මේ ජාලයේ සාමාජිකයන් වුනත්, සංක්‍රාන්ති කියා අනන්‍යතාවයක් පිළිගැනුනු බවක් පෙනෙන්නට නැහැ. ඒ වගේම ලෙස්බියන් සහ ද්විලිංගික කාන්තාවන් ගමන් මගේ සහකරුවෝ ආයතනය සමග සම්බන්ධ වන්නේ ක්‍රමිකවයි.


මූලාශ්‍රය: බීබීසී

දකුණු ආසියාවේ අනෙක් රටවල්වල වගේම ලංකාවේත් LGBTIQ ප්‍රජාවට සංවිධානය වීමට අවශ්‍ය සම්පත් ලැබුනේ එච්අයිවී/ඒඩ්ස් වසංගතය ලොව පුරා පැතිර යාමෙන් පසුව, වැඩි අවදානම් කණ්ඩායමක් වන සමලිංගික පුද්ගලයන් අතර එච්අයිවී/ඒඩ්ස් ගැන දැනුවත්භාවය ඇති කිරීමට, ඔවුන් බලගැන්වීමට අවශ්‍ය වූ නිසයි. ගමන් මගේ සහකරුවෝ සංවිධානය ගත්තත් බොහෝ විට ඔවුන්ගේ වැඩවලින් ඉලක්ක කළේ එච්අයිවී/ඒ්ඩ්ස් ගැන සෞඛ්‍ය දැනුම වැඩි කිරීම, ආරක්ෂිත ලිංගික ඇසුර ප්‍රවර්ධනය කිරීමයි. මෙහිදී LGBTIQ අයිතිවාසිකම් ගැන කතා කිරීම ගැන වැදගත් වෙන්නේ කොන් කිරීම/ වෙනස් කොට සැලකීම නිසා සැඟවී සිටින අයට එච්අයිවී ඇතුළු ලිංගාශ්‍රිත සෞඛ්‍ය සේවාවලට ප්‍රවේශ විය නොහැකි වීම නිසා එච්අයිවී ව්‍යාප්ත වීමේ අවදානම වැඩි වෙන නිසයි. ඉතින් මුල් යුගයේ මෙන්ම අද පවා එච්අයිවී සම්බන්ධ සෞඛ්‍ය සේවා ලබා දීමේ ආකෘතියකින් කටයුතු කරන LGBTIQ අයිතිවාසිකම් ගැන වැඩ කරන ආයතන දක්නට ලැබෙනවා.


ඡායාරූපය: දේදුනු සංවාද

90 දශකයේ අග භාගයට යන විට අපිට දැකිය හැකි සැලකිය හැකි වෙනසක් වෙන්නේ ලෙස්බියන් කාන්තාවන් ගමන්මගේ සහකරුවෝ ආයතනය හා LGBTIQ අයිතිවාසිකම් ව්‍යාපාරය හා සම්බන්ධ වීමයි. 1999 අගෝස්තු මාසයේ දී ලෙස්බියන් කාන්තාවෝ පිරිසක් පළමුවරට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා, එන දෙසැම්බර් මාසයේ දී ලෙස්බියන් කාන්තාවන්ගේ සම්මන්ත්‍රණයක් පවත්වන බව ප්‍රකාශ කළා. මෙය ප්‍රකාශ කිරීමට පසුව පී. අලස් නමින් ද අයිලන්ඩ් පුවත්පතට ලියූ පාඨකයෙක් ලියා තිබුනේ මෙම ලෙස්බියන් කාන්තාවන් කාමරයකට දමා අගුළු දමා පිරිමින් ලවා දූෂණය කළ යුතු බවයි (P. Alles, “Lesbian Conference in Colombo?”, The Island, August 20, 1999). මෙම ලිපිය පල කිරීමට විරුද්ධව ෂර්මන් ද රෝස් එවකට තිබූ පුවත්පත් කවුන්සිලයට පැමිණිලි කළත් එයින් සාධාරණයක් ඉටු වුනේ නැහැ. වත්මන් රජයේ පා.ම. විජේදාස රාජපක්ෂ එකල පුවත්පත් කවුන්සිලයේ සභාපති ධූරය දැරුවා. ඔවුන් තර්ක කළේ සමලිංගිකත්වය ලංකාවේ නීතියෙන් අපරාධයක් වෙන සන්දර්භයක, පාඨකයෙක්ගෙන් ලැබුනු ලිපියක් මහජන අවධානය සඳහා පළ කිරීම වරදක් නොවන බවයි (Sri Lanka Press Council, Judgement to Complaint no S2/99/2096, 2000). එයින් පසුව කාන්තා සහයෝගිතා කණ්ඩායම (Women Support Group), ඊක්වල් ග්‍රවුන්ඩ් (Equal Ground) ආයතනය, සකි ආයතනය, 2011ට පෙර කාලයේ දී බිහිවුනා.

1999 දී ද අයිලන්ඩ් පුවත්පතේ පළවූ ලිපිය කියවන්න

1999 දී ද අයිලන්ඩ් පුවත්පතේ පළවූ ලිපිය සම්බන්ධව බීබීසී පුවත් සේවයේ වාර්තාව කියවන්න

1999 සිදුවීම පිළිබඳ සඳහන් 2008 විශ්වීය ආවර්තිත සමාලෝචන වාර්තාව කියවන්න

මෙයින් කාන්තා සහයෝගිතා කණ්ඩායම ඉතා වැදගත් එකක් වන්නේ එය ලංකාවේ ලෙස්බියන් සහ ද්විලිංගික කාන්තාවන්ට සහාය ලබා දීමට බිහිවූ එකම සංවිධානය වන නිසයි. 2014න් පසුව එම ආයතනය වැසී ගියා. ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය දැනට පවතින පැරණිම LGBTIQ අයිතිවාසිකම් ගැන කටයුතු කරන ආයතනයයි. කලාව, සංස්කෘතිය ගැන සංවාද කිරීමත්, ආයතනමය ව්‍යුහයන්ගෙන් වෙන්වූ නිදහස් අවකාශයක් ලෙසත්, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ LGBTIQ ක්‍රියාකාරීත්වය ගැන කටයුතු කළ ස්වේච්ඡා සංවිධානයක් වශයෙන් සකි ආයතනය විශේෂයි. එයත් දැනට පවතින්නේ නැහැ. දශක එකහමාරක් පමණ පැවැති ලංකාවේ පැරණිම LGBTIQ ආයතනය වන ගමන්මගේ සහකරුවෝ ආයතනය 2011 සැප්තැම්බර් මාසයේ දී සම්පූර්ණයෙන්ම වැසී යාමට ප්‍රධාන හේතුව වන්නේ, රිවිර පුවත්පතෙන් පළකළ සමලිංගිකභීතිකාවෙන් යුතු ලිපි පෙළක් නිසායි.


සමරිසි මානව හිමිකම් ව්‍යාපාරයට එල්ල කළ දරුණුතම ප්‍රහාරය 2011 රිවිර පුවත්පතේ පළවූ ලිපිය

එම ආයතනය සමලිංගික මධ්‍යස්ථාන විසි ගණනක් ලංකාව පුරා ආරම්භ කරන්නට යන බවත්, පාසැල් ළමුන් සමලිංගිකත්වයට පොළඹවා ගන්නට කුමන්ත්‍රණයක් කරන බවත්, ආදී විවිධ සාවද්‍ය ප්‍රවෘත්ති පළ කර තිබුනා. එයින් පසු එම ක්‍රියාකාරීන් රහස් පොලිසියට ගෙනවිත් ප්‍රශ්න කළා. එම ආයතනය ඒ වන විටත් වැඩ කරමින් සිටියේ ගෝලීය අරමුදලෙන් අරමුදල් ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සර්වෝදය ආයතනය හරහා ක්‍රියාත්මක කළ වැඩසටහනක වීම ලොකුම විහිළුවයි. මෙය LGBTIQ අයිතිවාසිකම් ව්‍යාපාරයකට සිදු වූ ලොකුම ප්‍රහාරයයි. මින්පසුව බොහෝ එල්ජීබීටී අයිතිවාසිකම් සංවිධාන විවිධ මට්ටමින් අභියෝගයට ලක් වුනා. නමුත් 2014-2020 අතර කාලයේ ලංකාවේ LGBTIQ සංවිධාන ගණනාවක් බිහිවුනා. මේ අතර සංක්‍රාන්ති සමාජභාවී අයගේ අයිතිවාසිකම් ඉලක්ක කර ගත් සංවිධාන විශේෂයි. එසේම තවත් සංවිධාන කිහිපයක් කොළඹින් පිට බිහිවුනා. තවත් සංවිධාන වඩාත් අන්තර්ජාල අවකාශයන් ඉලක්ක කරමින් බිහි වුනා. විවිධ අවශ්‍යතාවයන් සහ වුවමනාවන් වෙනුවෙන් බිහි වූ ලොකු සහ කුඩා ආයතන වගේම, LGBTIQ අයිතිවාසිකම් ගැන වැඩකරන ආයතනවලටම සම්බන්ධ නැති ක්‍රියාධරයන් ගණනාවක් අද අප අතරෙ ඉන්නවා.

අපි අනූගණන්වලට යන කොට අපිට තිබුනේ එක සංවිධානයක් විතරයි. දැන් අපිට ගොඩක් සංවිධාන තිබෙනවා. මෙය ප්‍රජාවේ බෙදීමක් ලෙස කෙනෙකුට හඳුන්වන්න පුළුවන්. නමුත් මා දකින්නේ මේ බෙදීම ඉතා වැදගත් බවයි. තනි මතයක් ප්‍රකාශ කරන ලොකු සංවිධානයක් වෙනවාට වඩා, වෙනස් මත ගොඩක් විවිධ තැන්වලින් කියන ප්‍රජාවක් වෙන එකේ වටිනාකමක් තියෙනවා. දශකයක් යනතුරු අපිට මාධ්‍ය සාකච්ඡාවල කතා කරන්න හිටියේ ෂර්මන් විතරයි. අද වනවිට මාධ්‍යවලට කතා කරන්න ඕනෙ තරම් LGBTIQ අයිතිවාසිකම් ක්‍රියාධරයන් ඉන්නවා. කතාකරන්න විතරක් නෙමෙයි ලියන්න, පර්යේෂණ කරන්න, වැඩසටහන් මෙහෙයවන්න, තමන්ගේ ලිංගිකත්වය ගැන විවෘත වෙනත් ක්ෂේත්‍රවල සිටින LGBTIQ පුද්ගලයන් රැසක් දැන් අපිට ඉන්නවා.


ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ව්‍යාපාරය; ඊක්වල් ග්‍රව්න්ඩ් – 2017

අපේ ඉල්ලීම් ප්‍රමාණය එදාට වඩා ගොඩක් වැඩි වී තිබෙනවා. උදාහරණයක් විදියට 1996 දී ගමන්මගේ සහකරුවෝ පළකළ ජාතික සම්මන්ත්‍රණ වාර්තාව මූලික වශයෙන් කතා කරන්නේ සමලිංගික සහ ද්විලිංගික පිරිමින්ගේ අයිතිවාසිකම් ගැනයි. ඒ අයිතිවාසිකම් අද විවරණය කරලා බැලුවම පේන්නේ තවමත් ඉන් සෑහෙන ප්‍රමාණයක් ඉෂ්ට වී නැති බවයි. ඒත් ඒ අතරම අලුත් අයිතිවාසිකම් සම්බන්ධ ඉල්ලීම් ගොඩක් අපිට තියෙනවා. දැන් අපි ලෙස්බියන් කාන්තාවන්, ද්විලිංගික කාන්තාවන් සහ පිරිමින්, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්, අන්තර්ලිංගික පුද්ගලයන්, සහ කුයර් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. ඉතින් එන්න එන්න ඉෂ්ට නොවූ ඉල්ලීම් ගොඩක් පොදි ගැසීම හොඳ දෙයක් නොවෙයි කියා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. නමුත් මා දකින්නේ එය වඩාත් සුබවාදී දෙයක් ලෙසයි.


සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය වෙනස්කර ගැනීම සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද චක්‍රලේඛය (Circular No. 06/2016)

නීති සහ රාජ්‍ය ප්‍රතිපත්තිමය වශයෙන් LGBTIQ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ගැන සිදුවී ඇත්තේ වෙනස්කම් කිහිපයක් විතරයි. විශේෂයෙන්ම සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ සෞඛ්‍ය අයිතිවාසිකම් සහ අනන්‍යතාවය ගැන සම්බන්ධ අයිතිවාසිකම් සමහරක් දිනා ගැනීම ඒ අතර විශේෂයි. ඊට අමතරව අපේ රටේ රජයයන් විවිධ අවස්ථාවන්වල දී LGBTIQ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ගැන නොයෙක් වේදිකාවල කතා කර තිබෙනවා. මෑත දී වත්මන් අධිකරණ ඇමැතිවරයා විසින් ලංකාවේ අධිකරණ විසින් දිගු කලක් කර ගෙන ආ සමලිංගික යැයි සැකකරන අයගේ ගුද මාර්ග පරීක්ෂා කිරීම් ඔවුන් අකමැති නම් නොකරන බවට ප්‍රසිද්ධියේ පොරොන්දුවක් දුන්නා.


සමරිසි පුද්ගලයින් ගේ ලිංගිකත්වය ‘තහවුරු’ කිරීමට බලහත්කාරයෙන් වෛද්‍ය පරීක්ෂා සිදුකරන බවට සිදුකළ හෙළිදරව්වට වත්මන් අධිකරණ අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුම හරහා ප්‍රතිචාර දැක්වූ අයුරු

2014 දී මහින්ද රාජපක්ෂ රජය යටතේ LGBTIQ පුද්ගලයන් ලංකාවේ ව්‍යවස්ථාව යටතේ වෙනස්කම් කිරීමෙන් ආරක්ෂා වන බවට පොරොන්දුවක් දුන්නා. ඉන්පසු පැමිණි යහපාලන රජයයත් එවැනි ප්‍රකාශ කළා. විශේෂයෙන්ම සංක්‍රාන්ති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සහ වෙනත් රජයේ ආයතන අනගි සහයක් ලබා දුන්නා. එහෙම බැලුවාම මං හිතන්නේ පුංචි වුනත් බොහෝ ජයග්‍රහණ තිබෙන බවයි.


හිටපු ජනපති සිරිසේන ගේ ‘සමනල‘ ප්‍රකාශයට විරුද්ධව ප්‍රජා සාමාජිකයින් වීදි බැසීම | ඡායාරූපය: ඊක්වල් ග්‍රව්න්ඩ්; 2018

ඉස්සරට වඩා මහජනයා දැනුවත් බව අපිට පෙනෙනවා. විශේෂයෙන්ම LGBTIQ තරුණ ප්‍රජාව මේ වැඩවලට දායක වීම විශේෂයෙන්ම අපිට වඩාත් බලාපොරොත්තු ඇති කරන සුළුයි. දැන් LGBTIQ සංවිධානවල කාර්යාලවලට ගල් ගහන්නේ නැහැ. එක විදියකට ජයග්‍රහණයක් විදියට සලකන්න ඒ දේම ඇති. 2018 දී අපි ප්‍රජාවක් ලෙස එළියට ඇවිත් එවකට සිටි ජනාධිපති විසින් කළ ප්‍රකාශයකට විරෝධතාවයක් දැක්වූවා. එතැනදී අපිට ලැබුනු සහයෝගය හරිම විශිෂ්ටයි. මානව හිමිකම්වලට සම්බන්ධ, සම්බන්ධ නැති බොහෝ දෙනෙක් අපිත් සමග එතැනදී සිට ගත්තා. හැම අවුරුද්දක දීම LGBTIQ පුද්ගලයන් වෙනුවෙන් ප්‍රයිඩ් (PRIDE) උත්සව පැවැත්වෙනවා. අපි තවම ප්‍රයිඩ් පා ගමනක් ගිහින් නැහැ. නමුත් එයත් ළගදීම පැවැත්විය හැකි බව මට විශ්වාසයි. මා හිතන්නේ අපි බොහෝ බලාපොරොත්තු සහගත විය යුතු බවයි. අයිතිවාසිකම් ව්‍යාපාරයකට විය හැකි නරකම දේවල් අපිට වී තිබෙනවා. ඒ නරක දේවල්වලට එරෙහිව සටන් කර අපි අද ඉන්න තැන සිටිනවා. අනාගතයේ දී අතීතයේ දී වූ තරම් නරක දේවල් වේ යැයි මා හිතන්නේ නැහැ. සිදු වුනත් මුහුණ දීමේ ශක්තිය ලංකාවේ LGBTIQ අයිතිවාසිකම් ව්‍යාපාරයට තියෙන බව මට විශ්වාසයි.


ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාව ආශ්‍රිතව සිදුකෙරුණු පර්යේෂණ හෝ සංගණන වාර්තා තිබෙනවා ද? ඒ තුළින් ඒ ඒ ප්‍රජා කාණ්ඩ කුමන ප්‍රමාණයක් ජීවත් වනවා දැයි තක්සේරුවක් ගොඩනඟා ගැනීමේ හැකියාව අපට තිබෙනවා ද? පර්යේෂණ වාර්තා තිබෙනවා. නමුත් අපේ සමාජයේ ඇති කොන් කිරීම, වෙනස් කොට සැලකීම, මාධ්‍ය සදාචාරයේ, පර්යේෂණ ආචාරධර්මවල අඩුපාඩුකම් සහ ඒවා ගැන ඇති අවිශ්වාසය නිසා, නිවැරැදිව ශ්‍රී ලංකාවේ LGBTIQ පුද්ගලයන් කී දෙනෙක් සිටීදැයි හොයා ගත හැකි යැයි මා විශ්වාස කරන්නේ නැහැ. ලංකාවේ LGBTIQ පුද්ගලයන් ගණන විතරක් නෙමෙයි, ලංකාවේ විෂමලිංගික (heterosexual) පුද්ගලයන් කී දෙනෙක් සිටී ද කියාවත් අපිට හරියට හොයා ගන්නටත් බැහැ. ලිංගිකත්වය ගැන අපේ රටේ සංවාදය විවිධ විදියට ඇහිරිලා. වැඩිහිටියෝ දෙන්නෙක් පෞද්ගලිකව කරන කිසියම් ලිංගික කටයුත්තක් කී දෙනෙක් කරනවාද යන්න ගැන ඇත්තටම පර්යේෂකයෙක් හොයන්න ඕනෙ ඇයි? තමන් ගැන ඒ වගේ විස්තර වෙන කෙනෙකුට එළිදරව් කරලා කියලා තමන්ට ප්‍රශ්නයක් වුනොත්, තමන්ගෙ නමත් එක්ක පළ කළොත් මොකද වෙන්නෙ කියල වාගේ ප්‍රශ්න බොහෝ දෙනෙකුට තියෙනවා. එහෙම හිතන එක ලංකාවේ තියෙන සමාජ තත්වයත් එක්ක ගත්තම හරි සාධාරණයි.

කී දෙනෙක් ඉන්නවාද කියන ප්‍රශ්නය වඩාත් වැදගත් වෙන්නේ බොහෝ විට සාමාන්‍ය ජනතාවට වඩා සෞඛ්‍ය ඇතුළු රාජ්‍ය ප්‍රතිපත්ති සාදන්නන්, දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන, අරමුදල් ලබා දෙන්නන් ආදියටයි. මේ අය LGBTIQ පුද්ගලයන් ඇති ප්‍රදේශ හෝ ස්ථාන ඉලක්ක කර ගනිමින් ඉලක්ක කරගත් සේවා වඩාත් කාර්යක්ෂමව සහ මැනිය හැකි මට්ටමකින් ලබා දීම ගැන උනන්දු වෙනවා විය හැකියි. මා විශ්වාස කරන්නේ LGBTIQ පුද්ගලයන් එක්කෙනෙක් හෝ නොමැති තැනක වූවත් LGBTIQ අයිතිවාසිකම් තහවුරු කළ යුතු බවයි. කියා ගන්න බැරි කෙනෙක් ඉන්න පුළුවන්. අද නැති වුනාට ඉස්සරහට එහෙම කෙනෙක් එන්න පුළුවන්. LGBTIQ යැයි හඳුනා ගන්නා පුද්ගලයකු කිසි දිනක හමු වී නැති යැයි කියන කෙනෙකුට පවා වෙනස් ලිංගිකත්වයන් / ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් පිළි ගැනීම සහ වෙනස් කොට නොසැලකීම ගැන සමාජ කුසලතාවයන් ගැන වැදගත් වෙනවා. අනික් කාරණය වන්නේ බොහෝ විට මේ සිතියම් ගත කිරීම් බොහෝ විට සිදුවන්නේ ලිංගාශ්‍රිත රෝගවලට ඇති අවදානම පදනම් කර ගෙන වීම නිසා, නොසැලකී ඉවත් වෙන බොහෝ පිරිසක් ඉන්නවා. මේ ආකාරයේ බොහෝ කරුණු මත LGBTIQ පුද්ගලයන් සිතියම් ගත කිරීමේ දේශපාලනයට මං විරුද්ධයි. අනික මෙසේ සිතියම් ගත කරන ලද තොරතුරු ප්‍රජාවට විරුද්ධව යොදා ගැනෙන අවස්ථා පැමිණෙන්න පුළුවන්.


Colombo PRIDE 2008 – Rainbow Kite Festival on Mt. Lavinia Beach | ඡායාරූපය: ඊක්වල් ග්‍රව්න්ඩ්

නමුත් LGBTIQ ප්‍රජාව සිතියම් ගත කිරීමේ, ඇස්තමේන්තු ගත කිරීම ගැන එච්චර ලොකු අවධානයක් නොදැක්වුවත්, ඒ ප්‍රශ්නය යම් විදියකට අඩංගු කළ එක් පර්යේෂණ වාර්තාවක් ගැන කියන්නම්. ඒ නෙලූෆ’ දි මෙල්, ප්‍රදීප් පීරිස්, ශ්‍යාමලා ගෝමස් විසින් 2013 වර්ෂයේ දී සිදු කළ කෙයා ඉන්ටනැෂනල් ආයතනය විසින් පළකළ ‘පිරිමිකම් අදාළ වෙන්නේ ඇයි? : ලංකාවේ දිස්ත්‍රික්ක 4ක ස්ත්‍රී පුරුෂ සමාජභාව ප්‍රචණ්ඩත්වය, ආකල්ප සහ ව්‍යවහාරයන්’ කියන අධ්‍යයනය. මේ අධ්‍යනයේදී පිරිමි 1560ක් සහභාගි වී තිබුනා. මෙහි දී නිර්නාමිකභාවය ආරක්ෂා කිරීමට ලොකු තැනක් ලබා දී තිබීම අධ්‍යයනයේ සාර්ථකභාවයට බලපාන්න ඇති. මේකෙදි තමන්ට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්නම් පිරිමි ආදරවන්තයෙක් ඉන්න 3%කුත්, තමන්ගෙ ජීවිත කාලෙ ඇතුළත පිරිමි කෙනෙක් එක්ක ලිංගික ක්‍රියාවක් කරපු පිරිමි අය 11.4%කුත් හමු වෙලා තියෙනවා. දැන් මේකෙ 3% කියන එක ලංකාවෙ පිරිමි ජනගහණයට විතරක් ආදේශ කරලා බැලුවත් ගණන ලක්ෂ 3කට අධිකයි. එතකොට අපි කාන්තාවනුත් සැලකුවොත් ලංකාවේ LGBTIQ ප්‍රජාව අඩුම තරමින් ලක්ෂ 4-5ක් වගේ වෙන බවයි මගේ තේරුම් ගැනීම. නමුත් බොහෝ විට සෞඛ්‍ය සේවා සපයන ආයතනවලට මෙච්චර සමලිංගික පිරිමි ප්‍රමාණයක් හොයා ගන්න බැහැ. ඒ නිසා ඒ අය මේ ගණන අඩුවෙන් ඇස්තමේන්තු කිරීමේ ප්‍රවනතාවයක් දකින්නට ලැබෙනවා. තමන් සෙක්ස් කරන්නෙ කා එක්කද කියන එක පෞද්ගලික දෙයක්. ඒක ආයතනත් එක්ක, පර්යේෂකයොත් එක්ක කියනවාද නැද්ද කියන එක ගැන ඒ මිනිස්සුන්ගේ තීරණයට අපි ගරු කළ යුතුයි. මං හිතන්නෙ සෞඛ්‍ය වැඩසටහන්වලට කිසියම් සිතියම් ගත කිරිමක් අවශ්‍යත් ඇති. හැබැයි ඒක LGBTIQ ප්‍රජාවේ සිතියම් ගත කිරීමක් විදියට නම් කරන එක හරි නැහැ.

ශ්‍රී ලංකාවේ සුළුතර ලිංගික ප්‍රජාවන් ගේ මානව හිමිකම් අරගලය තනි සාධකයක් ලෙසින් නොව විවිධ ස්ථරයන් ඔස්සේ අන්තර්ආංශික මුහුණුවරක් ගන්නා බවට අප යෝජනා කළොත්? එකඟයි. මං හිතන්නෙ ඒක හැමෝටම පොදු දෙයක්. ලිංගිකත්වය කියන්නෙත් ඉතින් අන්තර්ආංශිකත්වයේ (intersectional) කොටසක්නෙ. කෙනෙකුට තියෙන ප්‍රශ්න ගත්තම ලිංගිකත්වය ගැන ප්‍රශ්න විතරක් තියෙන මිනිස්සු ඉන්නවාද? එහෙම නෑනෙ.

සමහර වෙලාවට අපිට එක ප්‍රශ්නයක් ලොකුවට පේනවා. ඒකෙන් අපි ලොකුවට වේදනා විදින නිසා හෝ වෙනත් කාරණා නිසා, ඒ වුනාට ඒක විසඳුනා කියලා අනික්වා විසඳෙන්නෙ නෑ. දුප්පත් සමලිංගික පිරිමියෙක් හිතන්න පුළුවන්, මට සල්ලි තියෙනවා නම් ඔක්කොම ප්‍රශ්න ඉවරයි, සෙක්ස් කරන එක මට කොහොම හරි කර ගන්න පුළුවන් කියලා. මුස්ලිම් සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් කල්පනා කරාවි, මට ඔය ලිංගික අයිතිවාසිකම්වලට වඩා ජනවර්ගය මත සිදු වෙන වෙනස් කොට සැලකීම්වලට විරුද්ධ වීම වැදගත් කියලා. ඒ වගේම තව සමලිංගික පිරිමි කෙනෙක් කල්පනා කරන්න පුළුවන්, මට ඕන දේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්ව කසාද බඳින එක කියලා. තව සමලිංගික ගැහැණු කෙනෙක් හිතන්න පුළුවන් මට ඕනෙ කසාද බඳින්නෙ නැතුව ඉන්න, අනික් දේවල් මට විසඳ ගන්න පුළුවන් කියලා.


තව සංක්‍රාන්ති සමාජභාවී කෙනෙක් කල්පනා කරනවා මං සර්ජරි එක කර ගන්නවා. මට ඊට පස්සෙ මොකුත් වැදගත් නෑ කියලා. ආබාධිත කෙනෙක්ට වෙන ප්‍රශ්නයක් තියෙයි. මේ වගේ මිනිස්සුන්ගේ අවශ්‍යතා, ප්‍රමුඛතා වෙනස්. කුලය, ජනවර්ගය, ආගම, දේශපාලන මතය, වයස, ආබාධිතභාවය, ගැහැණු පිරිමිබව, හැසිරෙන විදිය, ඇඳුම් පැළදුම්, පළාත, ඉගෙන ගත්ත ඉස්කෝලෙ, අධ්‍යාපනය ලැබූ මට්ටම, මේ වාගේ ගොඩක් කාරණා මත මිනිස්සු වෙනස් කොට සලකන ලෝකයක අපි ජීවත් වෙනවා.

බොහෝ විට එක LGBTIQ පුද්ගලයකුට මේ කාරණා එකකට වඩා වැඩි ගණනක් නිසා ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදු වෙනවා. ඒ නිසා ඔවුන් මුහුණ දෙන පීඩනය, ගැටළු ආදියත් මෙයින් එකකට සීමා කරන්න බෑ. සමලිංගික හෝ සංක්‍රාන්ති කෙනෙක් දුප්පත් වෙන්නෙ ඒ අයගේ ලිංගික අනන්‍යතාවය ඒ අයට ලැබෙන රැකියාවල ස්වභාවයට හෝ නොලැබීමට බලපාන නිසා වෙන්න පුළුවන්. නැතිනම් සමාජයෙන් දිගින් දිගටම මුහුණ පාන්න වෙන කරදර නිසා ඒ අයගෙ මානසික සෞඛ්‍යය වැටිලා. ඉතින් පිළිවෙලකට රස්සාවක් කරන්න බැහැ. සංක්‍රාන්ති කෙනෙක්ට තමන්ගේ ජෙන්ඩර් එකට ගැලපෙන විදියට ශරීරය වෙනස් කර ගන්න බැරිත් ඒ නිසා. එහෙම නැත්නම් ඉන්නෙ ග්‍රාමීය ප්‍රදේශයක නිසා, කොළඹ තියෙන සේවාවලට ළගා වෙන්න බැහැ. නැත්නම් ලෙස්බියන් කාන්තාවකට තමන්ගෙ අනන්‍යතාවය එළියට දමන්න බැරි වෙන්නේ ලෙස්බියන් නිසා වගේම, ඇය කාන්තාවක් නිසා වීම නිසා සහ ඇගේ සමාජ පරිසරය නිසා වෙන්නත් පුළුවන්. විවිධ කාරණා නිසා කෙනෙකුට තමන්ගෙම ලිංගිකත්වය ගැන වුනත් තියෙන්නෙ අඩු වැඩි දැනුමක් වෙන්න පුළුවන්. අපි ජීවත් වෙන සංස්කෘති, අනන්‍යතා, අපේ පවුල්වල අය හිතන හැටි, සමාජයේ තියෙන විවිධ මත, අපිට උගන්නපු ගුරුවරු කියපුවා, අපි විඳපු දුක් වේදනා, රජයෙන් අපිට දෙන සේවා සහ පහසුකම්වල සීමාවන්, පුරුෂාධිපත්‍යය, ජාතිවාදී අදහස්, මේ වාගේ ගොඩක් දේවල් මෙහෙම ප්‍රශ්න එකිනෙක බැඳෙන්න බලපානවා.

තව ගොඩක් දෙනෙක් කැමැති නෑ තමන්ට දැනටම එක ලේබලයක් වැදිලා තියෙන කොට තවත් ලේබල් එකක් ගහ ගන්න. හිතන්න ආබාධිත කෙනෙක් තමන්ගෙ ලිංගිකත්වය වෙනස් – ඒ කෙනාම ‘අඩු’ කුලයක, සුළුතර ජනවර්ගයක වුනොත් මොන වගේද? ඒ අස්සෙ හිතන්න එයා තරුණ ළමයෙක්, දකින්නෙ තාත්තායි අම්මයි හැමදාම ගෙදර රණ්ඩු වෙන හැටි කියලා. දැන් මේ වගේ කෙනෙක්ට ලිංගිකත්වය ගැන අයිතිවාසිකම් වැදගත් තමයි. ඒත් අර ඔක්කොම අමතක කරලා ලිංගික අයිතිවාසිකම් ගැන කතා කරන්න පුළුවන්ද?

අපි හැම කෙනෙක්ම වෙනස්. ලේසියට හෝ දේශපාලනිකව පෙනී සිටීමේ වුවමනාව නිසා තෝර ගත්තට, එකම අනන්‍යතා කාණ්ඩ ඇතුළෙ ඉන්න දෙන්නෙක් වුනත් සමාන නැහැනෙ. වෙනස් අනන්‍යතා කාණ්ඩවල ඉන්න අය ගොඩක් තමයි LGBTIQ කියලා එකතු වෙලා ඉන්නෙ. L – ලෙස්බියන්, G – සමලිංගික පිරිමි, B – ද්විලිංගික, T – සංක්‍රාන්ති සමාජභාවී, I – අන්තර්ලිංගික, Q – කුයර්. දැන් මේ අනන්‍යතා ඇතුළෙ තව තව උප-අනන්‍යතා තියෙනවා. එහෙම ගත්තත් අපි සමාන නෑනේ.


වෙනස් අනන්‍යතාවලට ගරු කිරීම, වෙනස් අනන්‍යතා භාර ගැනීම වාගේම එක එක අයගේ අඩුපාඩු කිසියම් ඉවසීමකින් භාර ගන්න හෝ නොගන්නත් අපිට වෙනවා. තමන්ට ගෑනු වගේ හැසිරෙන අය පෙන්නන්න බැරි බව කියන, ලෙස්බියන් කාන්තාවන්ට බනින සමලිංගික පිරිමි ඉන්නවා. කිසියම් සංක්‍රාන්ති සමාජභාවී සිංහල කෙනෙක් දෙමළ/මුස්ලිම් අය පෙන්නන්න බැරි බව කියන්න පුළුවන්. නැතිනම් මම සමලිංගිකව ලිංගික හැසිරීම් කළාට, වෙන අයිතිවාසිකම් තමන්ට වැඩක් නැහැ කියලා විශ්වාස කරන, LGBTIQ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අයට බනින LGBTIQ පුද්ගලයන් ඉන්න පුළුවන්. මේවාටත් විවිධ හේතු ඇති. හැබැයි මානව හිමිකම් කෝණයකින් බැලුවම මේ වගේ අදහස් බොහෝවිට සෘණාත්මකයි. මේ වගේ අදහස් තියෙන අයත් එක්ක අපිට මානව හිමිකම් ව්‍යාපාරයක් ගෙන යන්න අපහසුයි.


නමුත් අනික් අතට මානව හිමිකම් ගොඩ නැගෙන්නේම මෙවැනි අදහස්වල වලංගුතාවය ගැන ප්‍රශ්න කිරීමෙන්මයි. ඒත් ඒ වුනත් ප්‍රජාවක සාමාජිකයන් කියන්නෙ හැමතිස්සෙම මානව හිමිකම් ක්‍රියාධරයන් නෙමෙයි. ඉතින් LGBTIQ කියලා කිවුවට ඒ සමාජයෙත් ලංකාවෙ ඉන්න මිනිස්සුම තමයි ඉන්නෙ. පරිපූර්ණ නැති අපිට, පරිපූර්ණ නැති අනෙක් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරමින්, ඒ අය වෙනස් කරන්න වැඩ කරන්න වෙනවා. අපි යුද්ධයකට මුහුණ දුන්, ජාතිවාදය ඔඩු දුවා ඇති, වෙනත් ප්‍රශ්න ගණනාවක් ඇති, දුප්පත්කම, සම්පත් නොලැබීම නිසා අසාධාරණයට ලක් වූ බහුතරයක් ඉන්න සමාජයක කොටස්. අපේ සමාජයේ බොහෝ දෙනෙක් සාධාරණය දැක නැහැ. ඉතින් මේ වාගේ සමාජයක අන්තර්ආංශිකත්වය ආරක්ෂා කිරීම පහසු දෙයක් නෙමෙයි. නමුත් අන්තර්ආංශිකත්වය ආරක්ෂා කිරීම සහ ඒ වෙනුවෙන් හඬ නැගීම ම මෙවැනි සමාජයක LGBTIQ අයිතිවාසිකම් ව්‍යාපාරය සතු වගකීමක් බව මා විශ්වාස කරනවා.


ඔබ ඉහත සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ LGBTIQ මානව හිමිකම් ව්‍යාපාරය ආරම්භ වී වසර 25 පමණ ගතවනවා නම්, අදටත් ඔවුන්ගේ ප්‍රජා අයිතීන් පිළිබඳ සීමිත පිරිසක් පමණක් ප්‍රසිද්ධියේ දොඩමළු වන්නේ ඇයි? හැමෝම මානව හිමිකම් ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. එහෙම කතා කරලා සමහර වෙලාවට තමන්ට ප්‍රශ්නයක් වෙයි කියලා බය වෙන අයත් ඇති. LGBTIQ අයිතිවාසිකම් බොහෝ විට සංස්කෘතියක් සමග සංවේදී කාරණා සමග බැඳී තිබෙනවා. ඉතින් ඒ නිසා සමහරුන්ට ඒ ගැන කතා නොකර ඉන්නත් විවිධ හේතු තිබෙන්නට පුළුවන්. ඒ වගේම එක එක්කෙනා කැමැති අකමැති දේවල් සහ ප්‍රමුඛතා වෙනස් වෙනවානේ. ඉතින් එතැනදී ඒ අයගේ මතයට, කැමැත්තට ගරු කිරීම LGBTIQ අයිතිවාසිකම් ව්‍යාපාරය කළ යුතුයි කියා මා හිතනවා.


ආචාර්ය දීපිකා උඩගම සමරිසිභාවය නිර්සාපරාධීකරණය වෙනුවෙන් පෙනී සිටියි | ඡායාරූපය – ඊක්වල් ග්‍රව්න්ඩ්; 2017

හැබැයි තමන්ට ප්‍රශ්නයක් ආවම එය විසඳ ගන්න කතා කරන්න අවශ්‍ය පමණටවත් බාධාවකින් තොරව කෙනෙකුට ලිංගිකත්වය, ස්ත්‍රීපුරුෂ සමාජභාවය ගැන ඇති ගැටළු ගැන කතා කළ හැකි සමාජයක් අප විසින් නිර්මාණය කළ යුතු වෙනවා. සමහර වෙලාවට සමහර ප්‍රශ්නවලදි LGBTIQ පුද්ගලයන්ට තමන්ගෙ ප්‍රශ්නෙවත් කතා කර ගන්න බැහැ. ඒකත් මා දකින විදියට අපි අකැමැති වුනත් ගරු කළ යුතු යථාර්ථයකුයි. ඒ අයට සහාය දැක්වීමේ යාන්ත්‍රණ අවශ්‍ය වෙන්නේ ඒ නිසයි.


ඡායාරූපය: දේදුනු සංවාද

අනික LGBTIQ ප්‍රශ්න ගැන කතා කළ යුත්තේ, LGBTIQ අය විතරක් නොවෙයි. මානුෂික ප්‍රශ්න කතා කරන්න හැමෝටම පුළුවන්. දැනටත් එහෙම කරන බොහෝ දෙනා අප අතර සිටිනවා. අපි තවත් බලාපොරොත්තු සහගත වෙමු.

Link - http://139.59.240.222/12/09/1047/

ශ්‍රී ලංකාවේ සමලිංගික භීතිකාව, දේශපාලනය හා මාධ්‍ය භාවිතය (අවසාන කොටස)

සමලිංගිකත්වය සංස්කෘතියට පටහැනි ද? යන මැයෙන් මීට ඉහත ශ්‍රී ලංකාවේ සුළුතර ප්‍රජා කණ්ඩායම් පිළිබඳ පර්යේෂකවරයකු හා මානව හිමිකම් ආරක්ෂකයකු වන දමිත් චන්දිමාල්මහතා සමඟ පැවති සාකච්ඡාව ලිපි පෙළකින් අප ඔබට ඉදිරිපත් කරනු ලැබුවා.

එම ලිපි පෙළෙහි 1 හා 2 කොටසින් ලංකාවේ ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳවත්, 3 කොටසින් ලංකාවේ LGBT+ මානව හිමිකම් ව්‍යාපාරයේ ඇරඹුම හා එහි වත්මන් තත්ත්වය පිළිබඳවත් අප සාකච්ඡා කරනු ලැබුවා. මෙම ලිපි පෙළට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබී තිබුණා.

අද දිනයේ දිග හැරෙන්නේ එම සාකච්ඡාවේ අවසාන මෙන්ම වැදගත්ම කොටසයි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සමලිංගිකභීතිකාව, හා රටේ දේශපාලනය සහ මාධ්‍ය භාවිතය LGBT+ ප්‍රජාව දඩමීමා කර ගන්නා ආකාරය පිළිබඳව කරුණු මෙම ලිපිය තුළින් සාකච්ඡා කරනු ලබනවා. මෙම ලිපිය තුළ ද ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් ක්‍රියාකාරීන් මඬුල්ලක් විසින් කතෘ මණ්ඩලය හොබවනු ලබන දේදුනු සංවාද නම් පිටුවේ අධ්‍යයන කරුණු උපුටා දැක්වීමක් සිදු කිරීමට අප බලාපොරොත්තු වන අතර, ඒ වෙනුවෙන් ඩෙන්වර් පීටර්සන් මහතා ප්‍රමුඛ එහි කතෘ මණ්ඩලයට ද අප ස්තූතිවන්ත වනවා.


සමලිංගිකත්වය, සංක්‍රාන්ති සමාජභාවය ඇතුළු විවිධ ලිංගික දිශානතීන්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවයන් දරණ ප්‍රජාවන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතය තුළ උදෘත කර පෙන්වන අන්දම පිළිබඳ ඔබේ අදහස කුමක් ද? ලංකාවේ LGBTIQ ප්‍රජාවට සහයෝගය දක්වමින් සෑහෙන හොඳ ආචාරධාර්මික විදියෙ වාර්තාකරණයක නියැලුනු ජනමාධ්‍යවේදීන් සෑහෙන පිරිසක් සිටිනවා. ඒ අය අගය කළ යුතුයි. නමුත් ඒ අතරම, LGBTIQ ප්‍රජාවට / ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයට, LGBTIQ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමට, අපහාස කිරීමට ලොකුම හේතුවක් වී තිබෙන්නේත් ජනමාධ්‍යයයි.

ලිංගිකත්වය ගැන කතිකාවත අපේ සමාජයේ පවතින්නේ හොඳ තැනක නෙමෙයි. ඉතින් පැහැදිලිවම අපිට ලිංගිකත්වය ගැන හොඳින් කතා කරන ජනමාධ්‍යයක් තියෙන්නට බැහැ. අනික අතට යහපත් නැති ලිංගිකත්වය ගැන කතිකාවත වෙනස් කරන්න, ඒ ගැන දැනුවත් කරන්න ජනමාධ්‍යවලට සමාජ වගකීමක් තියෙනවා. පොදුවේ ලංකාවේ ජනමාධ්‍ය තුළ ආචාරධර්ම ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක LGBTIQ ප්‍රශ්නයක්ම නෙමෙයි. ජනමාධ්‍ය පොදුවේ ප්‍රවෘත්ති වාර්තා කිරීමේ දී, හෝ ලිපි පළ කිරීමේ දී කෙනෙකුගේ පෞද්ගලිකත්වයට ඇති අයිතියට, අපහාසයට/උපහාසයට ලක් කිරීමේ සීමාවන් තබා ගැනීම, වැරැදි පුවතක් නිසා සාමාන්‍ය කෙනෙකුට මුහුණ පාන්නට විය හැකි දුක්ගැහැට වාගේ දේවල් ගැන, ඒවායේ ආචාර ධර්මීය සීමාවන් ගැන සැලකිලිමත් නැහැ.


ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ කඹුරුගමුව තරංග ගුණරත්න යන අය මාතර දරු උපත පිළිබඳ ලංකාදීප පුවත්පතට වාර්තා කර තිබූ අයුරු

කියවන්න: බුද්ධියෙන් විමසන දැනුම වකුගඩුවෙන් බෙදන පත්තර කලාව (මාතර දරු ප්‍රසූතිය පිළිබඳ පුවතට අදාලවයි)

බොහෝ විට මෙවැනි නොසැලකිල්ලක ගොදුරු බවට පත් වෙන්නේ වෙනස් කොට සැලකීමට ලක්වෙන ජනකණ්ඩායම් සහ ඒවාට අයිති පුද්ගලයන් – මේ අතරට කාන්තාවන්, සුළුජනවර්ගවලට අයිති අය, වෙනස් ලිංගිකත්වයන් ඇති අය, වතු ප්‍රජාව, නාගරික දුප්පතුන්, ලිංගික ශ්‍රමිකයන්, සංක්‍රාන්ති සමාජභාවී අය පහසුවෙන්ම අයිති වෙන්නට පුළුවන්.


මතුගම වසන්ත කුමාර නැමැත්තෙකු විසින් මව්බිම පුවත්පතට ලියන ලද ලිපියක්

ප්‍රවෘත්ති කියන්නේ මොකක්ද කියන එක ගැන තියෙන පරණ, යල් පැනගිය නිර්වචනයක් වෙන්නේ ‘බල්ලෙක් මිනිහෙක්ව හැපුවොත් ඒක ප්‍රවෘත්තියක් නෙමෙයි, හැබැයි මිනිහෙක් බල්ලෙකුව හැපුවොත් ඒක ප්‍රවෘත්තියක්‘ කියලා. අසාමාන්‍ය, නිතර වාර්තා නොවෙන දේවල් වාර්තා කළාම ප්‍රවෘත්තියක වටිනාකම වැඩි වෙනවා කියන අදහස මෙහි ගැබ්ව තියෙනවා. ඒ වාගේම කිසි ආචාරධර්ම ගැන සැලකිල්ලක් නැතිව, මිනිස්සුන්ගේ කුතුහලය අවුස්සන, තොරතුරු වාර්තා කළොත් ඇති පොදුජන ආකර්ෂණය ගැනත් මෙතැනදී කියවෙනවා. කෙනෙකුගේ ලිංගික චර්යාවක් ගැන තොරතුරක් පැහැදිලිව විකුණන්න පුළුවන්. ඕපදූප කියවන්න කැමැති ගොඩක් අය ඉන්නවා. ජනමාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ කණුවක් වගේම, තරගයක් තියෙන බිස්නස් එකක්. විවිධ ආකාරවලින් පාඨකයා ආකර්ෂණය කර ගත හැකි විදිය ගැන ඕනෑම ජනමාධ්‍ය ආයතනයක් හිතනවා. නමුත් ඒ කාරණයේ දී මාධ්‍ය ආචාරධර්ම කියන දේ මාධ්‍ය වෘත්තිකයන් විසින්ම ඇති කර ගෙන ඇත්තේ, ජනමාධ්‍ය කියන්නේ විවිධ සමාජ වටිනාකම් රැසක් තියාගෙන, සමාජයට එදිරිගාමී යමක් ඉටුකළ හැකි වෘත්තියක් සහ වෙළෙඳ ව්‍යාපාරයක් වෙන නිසයි. ලෝකයේ බොහෝ සමාජ ප්‍රගමනයන්ට නිසැකවම ජනමාධ්‍ය දායක වී තිබෙනවා.


සමරිසි ව්‍යාපාරය තුළ එල්ල කළ දරුණුතම මාධ්‍ය ප්‍රහාරය; 2011

LGBTIQ අයිතිවාසිකම් ව්‍යාපාරය ඉලක්ක කර ගත් මාධ්‍ය ප්‍රහාරයන් කිහිපයක් ගැන මං කලින් ලිපියේත් කතා කළා. විශේෂයෙන්ම 1995දී ලංකාවේ LGBIQ අයිතිවාසිකම් ව්‍යාපාරය ලංකාවේ දී පටන් ගැනීමේදී මාධ්‍යයෙන් ඒ ගැන වාර්තා කළ ආකාරය ගැන ගැටළු, 1999 දී ද අයිලන්ඩ් පුවත්පත විසින් පළකළ සමලිංගික භීතිකාවෙන් යුතු ලිපිය සහ ඒ පිළිබඳ පුවත්පත් පැමිණිලි කවුන්සිලයට කළ පැමිණිල්ල, 2007 දී ඊකුවල් ග්‍රවුන්ඩ් ආයතනයට එරෙහිව මඩකලපුව ප්‍රදේශයේ ප්‍රාදේශීය පුවත්පතකින් ගෙන ගිය සමලිංගික භීතිකාවෙන් යුතු වාර්තා සහ 2011 දී ගමන්මගේ සහකරුවෝ සංවිධානය ඉලක්ක කර ගනිමින් පුවත්පතක් පළ කළ ලිපි සමූහය ඒ අතර ප්‍රධානයි.


තඹුත්තේගම සමන් දිසානායක නැමැත්තෙකු විසින් එච්අයිවී ආසාදනයට අදාළව ලංකාදීප පුවත්පත ට ලියූ ලිපියක්

දැනට අවුරුදු 3-4කට කලින් ජනමාධ්‍යවේදියෙකු විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ LGBTIQ පුද්ගලයන් සමග ව්‍යාපෘතියක් සිදු කළ ආයතනයකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද කැටුව ගොස්, එම ආයතනයේ සේවකයන් බිය වද්දා, කිසිදු අවසරයක් නැතිව එහි ලිපි ලේඛන බලෙන් පරීක්ෂා කර පොලිසියෙන් මෙන් ප්‍රශ්න කර තිබුනා. ඊට පසුව එම දිස්ත්‍රික්කයේම එච්අයිවී සඳහා රුධිර පරීක්ෂා කිරීමේ ජංගම සායනයක් පවත්වා ගෙන ගිය සංවිධානයක් විසින් තරුණයන් වඳභාවයට පත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කියමින්, සංවිධානයේ ක්‍රියාකාරීන්ගේ පුද්ගලික ගෙවල් දොරවල් පවා මාධ්‍යයෙන් පෙන්නුවා. ඒ චෝදනාවල කිසිදු සත්‍යයක් තිබුනේ නැහැ. නමුත් එයින් සිදු වූ හානිය හරි විශාලයි. ඒ අය සිදු කළ වැඩකටයුතුවලට, සැපයූ සේවාවලට සෑහෙන බාධා පැමිණියා.

ඒවාට අමතරව, LGBTIQ පුද්ගලයන් ඉලක්ක කර ගත් අතිශයින් හෙළා දැකිය යුතු ජනමාධ්‍ය වාර්තාකරණ සිදුවීම් තියෙනවා. වඩාත්ම නරක උදාහරණයක් වෙන්නේ 2011 වසරේ දී නෙත්එෆ්එම් බැලුම්ගල වැඩසටහනයි. මෙහිදී ජනමාධ්‍යවේදියකු විසින් ළමා අපයෝජනයක් එළිදරව් කරනවා යැයි කියමින් සංක්‍රාන්ති තරුණියක්, අඩු වයස් පුද්ගලයකු යැයි ජනමාධ්‍යවේදියාට හඳුන්වා දුන් තැරැව්කරුවකු හරහා සම්බන්ධ කර ගෙන, ආදර සම්බන්ධයක් පවත්වා, ඉන්පසුව විවාහ මංගල්‍යයක් සංවිධානය කර, එහිදී චාරිත්‍රවාරිත්‍ර ඉටු කරමින් කසාදයක් බැඳ ඉන්පසු ඒ සියල්ල බැලුම්ගල වැඩසටහන හරහා විකාශය කළා. ඒ සංක්‍රාන්ති තරුණියගේ ඡායාරූප වෙබ්අඩවිවලට ලබා දුන්නා. සංක්‍රාන්ති තරුණියගේ ඡායාරූප පෞද්ගලිකත්වය ගැන කිසිදු තැකීමක් නොකර හඳුනා ගත හැකි ලෙස පල කළා.


ඉන්පසු තමන්ගේ ගෙදර සිටින්නට බැරි තත්වයක් ඇති වූ නිසා එම තරුණිය පන්සලක තාවකාලිකව මහණ වූවා. එවිට ඒ පන්සලටත් ගොස් එම තොරතුරු එළිදරව් කළා. මෙසේ ජනමාධ්‍යවේදියකුගේ භූමිකාවෙන්, ඔවුන්ට කළ හැකි සහ කළ නොහැකි දේවලින් ඔබ්බට යමින් ජනමාධ්‍ය කටයුතු කළ අවස්ථා ගැන මෙවැනි උදාහරණ ගණනාවක් තියෙනවා. තවත් උදාහරණයක දී පෙම් සබඳතාවයක් තිබූ පාසැල් යන වයසේ ගැහැණු ළමුන් දෙදෙනෙකුගේ ඡායාරූප කිසිදු මුහුණු ආවරණය කිරීමකින් තොරව පුවත්පතක පල කළා. LGBTIQ ළමයින්ගේ මූලික ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ගැනවත් ජනමාධ්‍ය ආයතන සංවේදී නැහැ.

මේ සංවේදී නැතිබව ඇති වන්නේ ජනමාධ්‍යවේදීන් දැනුවත් නැති නිසා බව එක් අදහසක්. අනික් අදහස වෙන්නේ බොහෝ විට මෙවැනි දේවල් ජනමාධ්‍ය ආයතන විසින් දැන දැන කරන බවයි. ඒ වගේම මේවා කළාට දඩුවමක් ලැබෙන්නේ නැහැ කියන විශ්වාසය තියෙනවා. LGBTIQ ප්‍රජාවන්ට එරෙහි ජනමාධ්‍ය ප්‍රහාරයන් දෙස බලන විට බොහෝ විට පෙනෙන්නේ මේවා යම් යම් විදියට විවිධ දේශපාලනයන්ට සම්බන්ධ බවයි. ලංකාවේ ජනමාධ්‍ය අයිති ඉතා සුළු පිරිසකටයි. ජනතාව වැඩි ප්‍රමාණයක් භාවිතා කරන මාධ්‍ය අයිති වෙන්නේ කිහිප දෙනෙකුටයි. මේ ආයතන බොහොමයක් පක්ෂ දේශපාලනයන් හා සම්බන්ධයි. ඉතින් නිදහස් ජනමාධ්‍ය කියා දෙයක් නැහැ. බොහෝ ජනමාධ්‍යවල ස්වරූපය විවිධ දේශපාලන පක්ෂවල මතයට පාක්ෂික හෝ විපක්ෂ එකක් වෙනවා. ඒවායේ පවතින සංකීර්ණ බල අරගලයන් හරහා LGBTIQ පුද්ගලයන් මාධ්‍යයේ නියෝජනය වෙන ආකාරය තීරණය වෙනවා.


අජන්ත කුමාර අගලකඩ නැමැත්තෙකු විසින් ලංකාදීප පුවත්පතට ලියූ ලිපියක්

මාධ්‍යයෙන් අයිතිවාසිකම් කඩවීම් වෙන කොට ඒක පාලනය කරන්නෙ කොහොමද? අමාරුම ප්‍රශ්නය මේකයි. මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් ලංකාවේ ලොකු අවුලක් තියෙනවා. දැනට ක්‍රියාත්මක ස්වයං නියාමනය එක අතකට වැඩ කරන්නේ නැහැ. ඒ වාගේම, නිදහස් යාන්ත්‍රණයක් නැති මර්දනශීලී රාජ්‍ය නියාමනයක් ගෙන ඒමෙන් එල්ජීබීඅයිකිවු ප්‍රජාවට කබලෙන් ලිපට වැටීමක් වෙන්නට පුළුවන්. ශ්‍රී ලංකා පුවත්පත් කවුන්සිලය තිබිය දී එයින් දුන් තීන්දුවකින් LGBTIQ ප්‍රජාව වඩාත් කොන් කිරීමට භාජනය වූ හැටි මම කලින් කීවා.


අනුරාධපුර මහේෂ් විජේසූරිය නැමැත්තෙකු විසින් මව්බිම පුවත්පතට ලියූ ලිපියක්

දැනට පවතින ස්වයං නියාමන ක්‍රියාවලිය පණ මදි වුනත්, එම ක්‍රියාවලිය LGBTIQ ප්‍රජාව තේරුම් ගනිමින් කටයුතු කළ අවස්ථා ගණනාවක් තියෙනවා. ඒ නිසා දැනට පවතින ජනමාධ්‍ය ස්වයං නියාමන යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීම සහ නීතිමය පිළිගැනීමක් ලබාදීම, ජනමාධ්‍ය ආචාරධර්ම පද්ධති LGBTIQ ප්‍රජාව වැනි ප්‍රජාවන් කෙරේ ජනමාධ්‍ය හරහා සිදුවූ අයිතිවාසිකම් කඩවීම් දෙස බලා ඒවා යාවත්කාලීන කිරීම, ජනමාධ්‍ය විද්‍යාල, විශ්ව විද්‍යාල මෙවැනි කාරණා සම්බන්ධයෙන් අධ්‍යයන සිදු කිරීම, විෂය පාඨමාලා තුළ අන්තර්ගත කිරීම වැනි වෙනස්කම් ගණනාවක් ඇති කිරීම මේ තත්වය වෙනස් කිරීමට වැදගත් කියා මං සිතනවා. මේ ගැන පුළුල් සාකච්ඡාවක් මාධ්‍ය ක්‍රියාකාරීන් හා LGBTIQ ප්‍රජාව එකතු වී කිරීමේ වැදගත්කමක් තියෙනවා.



එච්අයිවී ව්‍යාප්තිය සම්බන්ධව විකෘතිකළ කරුණු අඩංගු වෙබ් අඩවි ලිපියක්


ඔබේ මතය අනුව, රටේ ප්‍රධාන දේශපාලන පෙරලියක්, නැත්නම් කුමක් හෝ දේශපාලන උණුසුම් වාතාවරණයක් ඇතිවන විට සමරිසි ප්‍රජාව, හෝ සමස්ත LGBT+ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් වන්නේ ඇයි?

සමලිංගිකත්වය ගැන අපේ රටේ හදපු මිථ්‍යා මත ගණනාවක් තියෙනවා. ඒ අතරට සමලිංගිකත්වය අපේ රටේ සංස්කෘතියට විරුද්ධයි, සදාචාරයට විරුද්ධයි, ආගමට විරුද්ධයි, බටහිර දෙයක්, අස්වාභාවික දෙයක්, රාජ්‍ය නොවන සංවිධාන හඳුන්වා දෙන දෙයක් වාගේ අදහස් ගොඩක් තියෙනවා. මෙවැනි අදහස් නිසා, සමලිංගිකත්වය කියන්නේ පුද්ගලයකුගේ ලිංගිකත්වයට එහා යන දෙයක් බවට පත් වී තිබෙනවා. එය දේශපාලනඥයෙකුට, පක්ෂයකට, රජයයකට විරුද්ධව දමා ගැසිය හැකි ආවුදයක් බවට පත්ව තිබෙනවා. LGBTIQ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ලබා දෙන රජයයක් හෝ ඒ වෙනුවෙන් කතා කරන රජයයක් රටේ සංස්කෘතියට විරුද්ධ, සදාචාර විරෝධී එකක් ලෙස හුවා දැක්වෙනවා.


මෙවැනි අදහස් ප්‍රධාන වශයෙන් පතුරවන්නේ සහ පවත්වා ගෙන යන්නේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සහාය ලබන අනෙකුත් අය පිරිසක් විසිනුයි. ඉතින් මෙවැනි තත්වයක් තියෙන සමාජයක කිසියම් රජයයකට, ආණ්ඩුවකට, දේශපාලනඥයෙකුට සමලිංගික යැයි කියමින් අපහාස කරන්නට, ඔවුන් එසේ නිසා වැරදි යැයි මතයක් ගොඩ නගන්නට හැකිව තිබෙනවා. ‘සමලිංගික ආණ්ඩුව’, ‘පොන්න ආණ්ඩුව’ වැනි වචන පසුගිය රජය සම්බන්ධයෙන් භාවිතා වුනු බව අපි බොහෝ දෙනෙක් දන්නවා. අනික සමලිංගික පුද්ගලයෙක් රටක් පාලනය කරන්නට නොසුදුසුය, ඒ අයට පෞරුෂයක් නැතිය වාගේ අදහස් අපි නිතර අහන්නට ලැබුනා. මේවා යම් යම් දේශපාලන වුවමනාවන් මත පතුරන ලද අදහස්. පසුගිය රජයට මෙවැනි ලේබල් වැඩිපුර ගසනු ලැබූවත්, එය ඒ කාලයේ පටන්ගත් දෙයක් නොවෙයි.


1990 දශකයේ මුල් භාගයේ රිචඩ් ද සොයිසා ඝාතනයේ යුක්තිය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට එජාප ආණ්ඩුව රිචඩ් ද සොයිසා සමලිංගිකයෙක් යැයි කීම භාවිතා කළා. 1998 දීත් එජාප මන්ත්‍රීවරයෙක් එවකට ශ්‍රීලංනිප සිටි තමන්ගේ විරුද්ධවාදියෙක් එල්ල කර ගෙන ඔහුගේ සමලිංගිකත්වය පදනම් කර ගෙන ප්‍රහාර එල්ල කළා. එයින් පසුව ඒ ගැන ඒ කාලයේ බොහෝ සංවාද ඇති වුනා.


රිචර්ඩ් ද සොයිසා | ඡායාරූපය: දේදුනු සංවාද

ඉතින් බොහෝ දෙනා හිතනවා තමන්ගේ දේශපාලන විරුද්ධවාදියාගේ ‘සමලිංගිකත්වය’ එළිදරව් කිරීම තුළින්, කෙනෙකුට ‘සමලිංගිකයා’, ‘පොන්නයා’, ‘සමනළයා’ වැනි වචන භාවිතා කිරීම තුළින් විරුද්ධවාදියාගේ කට වැසිය හැකි බව, නිශ්ශබ්ද කළ හැකි බව, ලැජ්ජාවට පත් කළ හැකි බව, මහජනයා අතර නොපිලිගැනීමට ලක්කළ හැකි බව.


සමලිංගිකත්වය කියන්නේ නොසුදුසු දෙයක්ය යන අදහස මේවා කියන අයගේ හිතේ ගැබ්වී තියෙනවා. එසේම ලංකාවේ පවතින සම්ප්‍රදායික අදහස් දරන අය අතර, කෙනෙකු ගැන ඉක්මනින්ම අප්‍රසාදය ඇති කිරීමට මෙවැනි අදහස් යොදා ගන්න පුළුවන්. ඉතින් එක විදියකට එසේ කිරීමෙන් ප්‍රායෝගිකව කිසියම් ජනප්‍රියතාවයක් ලබා ගත හැකි තත්වයක් තියෙනවා.

තමන්ට බුද්ධිමය විදියට තමන්ගේ විරුද්ධවාදියා පරාජය කරන්න නොහැකි වූ විට මෙවැනි අදහස් කියමින් කෙනෙකුගේ පෞද්ගලික ජීවිතයට අපහාස කිරීමෙන් ජයග්‍රහණය ලබා ගන්නට උත්සාහ කරනවා. මෙවැනි උපක්‍රම භාවිතා කරන අයගේ නොහැකියාව මිසක් වෙනකක් එයින් හෙළි වෙන්නේ නෑ. මේ උපක්‍රමය අපේ රටේ විතරක් නොවෙයි ලෝකයේ බොහෝ රටවල දකින්නට ලැබෙනවා. දේශපාලන සමලිංගිකභීතිකාව කියා හඳුන්වන්නේ මේකයි. සමහර වෙලාවට ඒ දේශපාලනඥයෝ ඇත්තටම සමලිංගිකත්වය ගැන විරෝධයක් පෞද්ගලිකව නැහැ. ඒත් මේක තමන්ට බලය ලබා ගන්නට උදව් වෙන නිසා දේශපාලන උපක්‍රමයක් විදියට පාවිච්චි කරනවා. 2018 වසරේ දී හිටපු ජනපතිතුමා විසින් සමනළයා කියා හිටපු අගමැතිවරයා අමතමින් අපහාසාත්මක කතාවක් කළ අවස්ථාවේ LGBTIQ ප්‍රජාව ඊට එරෙහිව නැගී සිටියේ ඒ නිසයි.


දේශපාලන සමලිංගිකභීතිකාව කියන දේ හුදෙක් දේශපාලනඥයො අතර ඇති වන විවාදයක් නොවෙයි, එවැනි ප්‍රකාශ කරන්නේ බොහෝ විට ප්‍රේක්ෂකාගාරයක්, සමහර විට මුලු රටක් ඉලක්ක කර ගෙනයි. ඒ ප්‍රකාශ මාධ්‍ය හරහා පෙන්වමින්, ප්‍රසිද්ධියේ හිනාවට ලක් කරමින් ගෙනියන ඊළග භුමිකාව ඉටු කරන්නේ මාධ්‍යයයි. අද වෙන විට මෙයට ජනමාධ්‍ය සහ සමාජමාධ්‍ය යන දෙකම භාවිතා වෙනවා. ලංකාවේ ජනමාධ්‍ය හිමිකාරීත්වය ඉතා තදින් දේශපාලනීකරණය වූවක් වෙනවා. මේ කාරණය මත බොහෝ විට දේශපාලන වාසි ලබා ගත හැකි නම් සමලිංගිකභීතිකාවෙන් යුතු දේශපාලනඥයන් හෝ දේශපාලන පක්ෂ ඉලක්ක කර ගත් ප්‍රකාශ පල වෙනවා.


2016 – 2017 කාලසීමාව තුළ “Sri Lankan Catholic Truth – Voice of the Catholic People” නම් ෆේස්බුක් පිටුව විසින් සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සංවිධානාත්මකව රැගෙන ගිය විරෝධතා ව්‍යාපාරය





ඒ වාගේම තමන්ගේ දේශීයත්වය, සංස්කෘතිය ගැන ඇති ලැදියාව වාගේ දේවල් ප්‍රකාශ කිරීමේ ස්වරූපයක් ලෙසත් දේශපාලන සමලිංගික භීතිකාව භාවිතා වෙනවා. සමලිංගිකභීතිකාව භාවිතා වෙන අනික් ආකාරය වෙන්නේ රටේ තත්වය සම්බන්ධයෙන් වෙනත් වැදගත් ප්‍රශ්නයක් තියෙන විට, අවධානය වෙන අතකට යොමු කිරීමට LGBTIQ ප්‍රජාව/ එහි ක්‍රියාකාරීන් ඉලක්ක කිරීමයි. ඉතින් මේ කාරණා සියල්ලේ අඩුවැඩි වීමක් ලෙස දේශපාලනික වශයෙන් උණුසුම් වාතාවරණයක් තුළ සමලිංගිකභීතිකාව විවිධ ආකාරවලින් දේශපාලන වේදිකාවල සහ එසේ නොවන තැන්වල මතු වෙන්නට පුළුවන්.


වර්තමානය වන විට ඇතැම් වාමාංශික පක්ෂ ඇතුළු දේශපාලන ව්‍යාපාර LGBT+ මානව හිමිකම් පිළිබඳ ප්‍රතිපත්තිමය වශයෙන් යම් ස්ථාවරයක් දරණු ලබනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක් ද? මා හිතන්නේ ඔය අදහස එන්නේ ජාතික බලවේගය තමන්ගේ මැතිවරණ පොරොන්දු විදියට LGBTIQ ප්‍රජාවේ අයිතිවාසිකම් සුරකින බවටත්, යම්යම් නීති වෙනස්කම් කරන බවටත්, LGBTIQ ප්‍රජාව වෙනුවෙන් දුන් ඡන්ද පොරොන්දු සහ එය මැතිවරණ පොරොන්දු ප්‍රකාශනයේ ඇතුළත් කිරීමෙන්. මා දකින විදියට එය සෑහෙන්න අගයකළ යුතු ක්‍රියාවක්. මා දන්නා තරමින් මීට පෙර කිසිම පක්ෂයක් එවැනි පොරොන්දුවක් මැතිවරණ ප්‍රකාශනයක ඇතුළත් කර තිබුනේ නැහැ. එයින් රටේ දේශපාලන සංස්කෘතිය තුළ බරපතල ලෙස පැතිරී ඇති සමලිංගිකභීතිකාවට එරෙහිව LGBTIQ ප්‍රජාව සමග සිට ගනිමින් පැහැදිලි පණිවුඩයක් දෙනු ලැබුවා. ඊට අමතරව වර්තමානයේ වමේ දේශපාලන පක්ෂ කිහිපයක් LGBTIQ ප්‍රජාවේ මානව හිමිකම් පිළිගත යුතු යැයි ස්ථාවරයකට අද පැමිණ සිටිනවා. මා හිතන්නේ එය අගය කළ යුතුයි.

අනික් කාරණය තමයි වම කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නය අපි ඇසිය යුතු වෙනවා. ඒක අපේ රටේ එච්චර පැහැදිලි නැහැ. මට නම් එල්ජීබීඅයිකිවු මානව හිමිකම් ව්‍යාපාරය කියන්නෙම වමේ දේශපාලන ව්‍යාපාරයම තමයි. අපි ලෝක තත්වය දිහා බැලුවම වර්ණභේදවාදයට විරුද්ධ වූ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය, ස්ත්‍රීවාදී ව්‍යාපාරය, LGBTIQ අයිතිවාසිකම් ව්‍යාපාරය, යුදවිරෝධී ව්‍යාපාරය, පරිසර ව්‍යාපාරය, කම්කරු අයිතිවාසිකම් ව්‍යාපාරය වාගේ බොහෝ සිවිල් සමාජ ව්‍යාපාර වමේ කොටස් ලෙසයි සැලකෙන්නේ. ඒ වගේම සමාජවාදය, මාක්ස්වාදය, අරාජිකවාදය, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදය, ස්ත්‍රීවාදය වාගේ විවිධ දේශපාලන මතවාදයන් වමේ මතවාදයන්. වම කියන්නෙ එකක් නෙමෙයි. බොහෝ ‘විකල්ප’ යැයි කියවෙන දේශපාලන ව්‍යාපාර, සිවිල් සමාජ ව්‍යාපාර, අයිතිවාසිකම් ව්‍යාපාර, කලා-සංස්කෘතික ධාරාවන්, දාර්ශනික මතවාදයන් සැලකෙන්නේ වමේ කොටස් විදියටයි. නමුත් ලංකාවේ බොහෝවිට වම-දකුණ කියන රේඛාව වෙන් වෙන්නේ වෙන වෙනස් තැන්වලින්. කල් ගත වෙන නිසා මම වම මීට වඩා විස්තර කරන්න යන්නෙ නෑ. සරලව ගත්තොත් අපිට මාක්ස්වාදී, සමාජවාදී පක්ෂ වාමාංශිකයි. එතැනින් එහාට වමක් ගැන සාකච්ඡාවක් අපේ රටේ බොහෝ විට නැහැ.


ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සමරිසි ප්‍රජාව ගේ අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් අඩංගු කරුණු

ලංකාවේ LGBTIQ අයිතිවාසිකම් ව්‍යාපාරයට එහි ආරම්භයේ පටන්ම, විවිධ කලාකරුවන්, ස්ත්‍රීවාදීන් සහ කුඩා වාමාංශික පක්ෂ සහයෝගය දක්වා තිබෙනවා. නමුත් වම සහ LGBTIQ අයිතිවාසිකම් ව්‍යාපාරය අතර සම්බන්ධය තවදුරටත් අපි විසින් තේරුම් ගත යුතුව සිටිනවා. ලංකාවේ LGBTIQ ව්‍යාපාරයේ සිටින අය හෝ LGBTIQ පුද්ගලයන් තමන් වමේ ව්‍යාපාරයක කොටස්කරුවන් කියා තේරුම් ගන්නේ හෝ හිතන්නේ නැහැ.


ප්‍රධාන ධාරාවේ පක්ෂවලට වඩා වම විශ්වාස කළ යුත්තේ ඇයි ද යන්න ගැනත් ඒත්තු ගැන්වීම එච්චර සාර්ථක නැහැ. වමේ ව්‍යාපාරයේ වුනත්, බිම් මට්ටමේ දේශපාලනය තුළ LGBTIQ අයිතිවාසිකම් ගැන ඇති සංවේදිතාවය තවදුරටත් වැඩිදියුණු විය යුතුව තියෙනවා.

ඉතින් මෙහෙම බැලුවම මං කල්පනා කරන්නේ ලංකාවේ වමේ ව්‍යාපාරය සහ LGBTIQ ව්‍යාපාරයේ ආදරය බොහෝ ලාමක, මල්මල් වියේ එකක් බවයි. වම සහ LGBTIQ පුද්ගලයන් දෙගොල්ලෝම මේ ගැන ගැඹුරින් සිතා බැලීම දෙගොල්ලන්ටම අතිශයින් ප්‍රයෝජනවත් එකක් වෙනවා.


ජනවාර්ගිකත්වය, ආගම ආදී කරුණු මත ආන්තිකරණය ට ලක්වන ප්‍රජාවන් හට පශ්චාත් නිදහස් සමය තුළ සිදුවූ විවිධ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ ලේඛනගත තොරතුරු අපට වාර්තා වනවා. ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාවට සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ එවන් සිදුවීම් වාර්තා වනවා ද?

මා කලින් විවිධ තැන්වලදී විවිධ සිද්ධි සඳහන් කළා – බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම, පොලිස් හිංසනයට පාත්‍ර වීම, නීතිය හමුවේ වෙනස්කම්වලට භාජනය වීම, වෛරී ප්‍රකාශවලට පාත්‍ර වීම, වෛරී මාධ්‍ය වාර්තාකරණයට පාත්‍ර වීම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, බලෙන් විවාහ කර දීම, බලෙන් මානසික ප්‍රතිකාරවලට ලක් කිරීම, ලිංගිකත්වය මත රැකියාව අහිමි කිරීම, ලිංගික හිරිහැර, වාචික හිරිහැර, අපහාස, උපහාස, මානසික හිරිහැර ආදියට ලක් වීම – මේ විදියට ගත්තම තමන්ගෙ ජීවිතයම මානව හිමිකම් කඩවීමක් බවට පත් වෙච්ච LGBTIQ මිනිස්සු ඉන්නවා. මා හිතන්නේ මෙය ගැන අලුතෙන් කතා කරන්න දෙයක් නැති බවයි. පැහැදිලිවම LGBTIQ පුද්ගලයන්ට විවිධ අවස්ථාවන්වල දී විවිධ වෙනස්කොට සැලකීම්වලට භාජනය වීමට සිදු වී තිබෙනවා.


සත්‍ය සිදුවීමක් ඇසුරිණි | කාටූන: දේදුනු සංවාද

එසේම කෙනෙකුගේ සැකකරන/සත්‍ය සමලිංගිකත්වය කිසියම් අපරාධයක් සාධාරණීකරණය කරන්න යොදා ගැනෙනවා. ප්‍රසිද්ධ උදාහරණයක් වෙන්නේ රිචඩ් ද සොයිසා ඝාතනය වූ අවස්ථාවේ ඔහුගේ ලිංගිකත්වය කියන කාරණය යොදා ගෙන මරණය යට ගැසීමට එවක රජය දැරූ උත්සාහය.

දඹුල්ලෙ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයා ඝාතනය වෙච්ච වෙලාවේ පවා එම පුද්ගලයාගේ අනන්‍යතාවය මතු කළා මිසක් යුක්තිය කෙරේ සාකච්ඡාව යොමු වුනේ නැහැ. LGBTIQ පුද්ගලයන් හෝ එසේ යැයි සැක කෙරෙන පුද්ගලයන්ට යුක්තිය අහිමි වීමේ රටාවක් අපේ රටේ තියෙනවා. ඒ අයගෙ පෞද්ගලික ජීවිතයට හිනාවෙලා අපරාධ යට ගහන්න පුළුවන්.


පොදුවේ ගත්තම LGBTIQ පුද්ගලයන්ට සිදුවන මානව අයිතිවාසිකම් කඩවීම් සහ අනිත් අයගේ මානව අයිතිවාසිකම් කඩවීම් අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ අනික් ප්‍රජාවන්ට විරුද්ධව කරන බොහෝ මානව හිමිකම් කඩවීම් නීතිවිරෝධීයි. LGBTIQ පුද්ගලයන්ට විරුද්ධව කරන බොහෝ මානව හිමිකම් කඩවීම් නීත්‍යානුකූලයි. එල්ජීබීඅයිකිවු පුද්ගලයන්ට විරුද්ධව කරන මානව හිමිකම් කඩකිරීම් සාධාරණීකරණය කිරීම පුවත්පත්වලින් පවා සිදු වෙනවා.


වාණිජ අරමුණු තකා වස්ති නම් ජනප්‍රිය යූටියුබ් චැනලය විසින් සමරිසි ප්‍රජාව යනු ලිංගික අසහනයෙන් පෙළෙන පිරිසක් යැයි හැඟවීමට 2017 දී සැලෝන් නමින් පළ කල වීඩියෝව.

සමහර වෙලාවට ඒවා සාධාරණීකරණය කරන්නේ දේශපාලනඥයෝ, නැතිනම් ආගමික නායකයෝයි. අපි මේ වෙනස හඳුනා ගැනීම LGBTIQ පුද්ගලයන්ගේ මානව හිමිකම් කඩවීම් ගැන කතා කිරීමේදී ඉතා වැදගත් බව මා සිතනවා. මේ මානව හිමිකම් කඩකිරීම්බොහොමයක් ලේඛන ගත වී නැහැ. කොමිසම්වලට පැමිණිලි කෙරී නැහැ. පොලිසියට ගිහින් නැහැ. ගියත් පැමිණිලි භාර ගෙන නැහැ. බොහෝ මෙවැනි මානව හිමිකම් කඩවීම් තිබෙන බව, සිදු වෙන බව හෙළි වී ඇත්තේ පර්යේෂණ වාර්තාවලින් විතරයි. මානවහිමිකම් කඩවීම් කියන්නෙත් දේශපාලනික වචනයක්. සමහර මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් කඩවීම් කඩවුනාට එහෙම කියලා ගණන් ගැනෙන්නෙ නෑ.


ඔබ කියූ පරිදි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමක් පවතිනවා. LGBT+ ප්‍රජා අයිතිවාසිකම් පිළිබඳ මානව හිමිකම් කොමිසමේ භූමිකාව කෙබඳුද? වත්මන් මානව හිමිකම් කොමිසම විසින් LGBTIQ ප්‍රජාව සමග ඉතා හොඳ සම්බන්ධයක් පවත්වා ගෙන යනවා. LGBTIQ ප්‍රජාවේ තත්වයත්, ඒ අය මුහුණපාන මානව හිමිකම් කඩවීම්වල ස්වරූපයත් හඳුනා ගෙන, ක්‍රියාකාරීන් හා සම්බන්ධ වී මානව හිමිකම් ගැටළු ගැන වාර්තා කිරීමට ප්‍රජාව දිරි ගැන්වීමත්, ප්‍රජාවට බලපාන විවිධ ගැටළු විවිධ රාජ්‍ය ආයතන හා සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමටත් සෑහෙන උදව්වක් කළා. ඒ සම්ප්‍රදාය රැක ගෙන ඉදිරියට පත් වෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමත් කටයුතු කරාවි යැයි කිසියම් බලාපොරොත්තුවක් මට තියෙනවා. මානව හිමිකම් කොමිසම LGBTIQ ප්‍රජාව සමග දැරූ සම්බන්ධය පුද්ගලබද්ධ එකක් නොව, ආයතන සම්ප්‍රදායේ කාර්යභාරයක් විය යුතුව තියෙනවා. රජයයක් මාරු වෙන විට, මානව හිමිකම් කොමිසම කටයුතු කරන ආකාරය මාරු විය යුතු නැහැ. පූර්ව නිගමනවලට එන්නේ නැතුව ඉතින් අපි තව ටිකක් බලමු.


උපුටා ගැනීම‍: ඊක්වල් ග්‍රව්න්ඩ්


උපුටා ගැනීම‍: ඉක්විට් ශ්‍රී ලංකා


අවසාන වශයෙන්, විවිධත්වය, සමානාත්මතාවය හා සහයෝගීතාවය පිළිබඳ මහජනතාව වෙත ලබා දීමට ඔබට ඇති පණිවුඩය කුමක් ද? මම හිතන්නේ ඉතින් ඔය ප්‍රශ්නෙම උත්තරය තිබෙනවා. විවිධත්වය, සමානාත්මතාවය හා සහයෝගීතාවය ආරක්ෂා කළොත් අපිට එකට දිනන්න පුළුවන්, එකට පරදින එක ඉතින් අපිට සාමාන්‍යයිනෙ. කවදත් වෙන්නේ ඒකනෙ, නැද්ද?

මං මහජනතාවට පණිවුඩ දෙන්නෙ නෑ. දීලා වැඩක් නෑ, එහෙම පණිවුඩ දෙන්න තරම් මං ලොකු කෙනෙකුත් නෙමෙයි. පණිවුඩ නෙමේ ප්‍රශ්නෙ. අපි දැන දැන රැවටෙනවා. දවල් වැටිච්ච වලේ රෑත් වැටෙනවා. කුඹුරෙ ගොයම මුවන් කෑවාම ගෙදර තියෙන මුවහමට තලනවා. ඌරා කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජමගුල්. දැනගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග….. ප්‍රශ්නෙ මොකක්ද කියලා මිනිස්සුම කල්පනා කරලා තේරුම් ගන්න ඕනෙ. එපමණයි.

Link - https://sinhala.lankanewsweb.net/12/16/1050/

පුරුෂ ලිංග වන්දනාව

පුරුෂ ලිංගයට වන්දනා කළ අපේ පැරැන්නෝ

පුරාණ ලෝකයේ මිනිසුන්ට ස්ත්‍රී පුරුෂ කාම සම්භෝගයෙන් දරුවන් ඉපදීම පුදුමාකාර දෙයක් වුණා. මේ නිසා ඒ සදහා දායකවන ස්ත්‍රී යෝනිය සහ පුරුෂ ලිංගය යන අවයව වන්දනා කිරීමට ඔවුන් පටන් ගත් බව යි පෙනෙන්නේ. සමහරු පවසන්නේ මුලින්ම ස්ත්‍රී යෝනියට වන්දනා කළ මාතෘ මූලික සමාජයක් පැවති බව යි. පසුව පිතෘ මූලික සමාජයක් ඇරඹුණු විට පුරුෂ ලිංග වන්දනාව ආරම්භ වූ බවටත් අදහසක් පවතිනවා. අද ලංකාවෙ නම් මේ වන්දනාව අහෝසි වෙලා විතරක් නොවෙයි, ඒ ගැන කතාකිරීමත් සමාජ විරෝධයක් එල්ල වන කාරණයක් විය හැකියි. හැබැයි ඉතින් පුරාණ ලංකාවෙ එවැනි වතාවතක් පැවති බවට පුරාවිද්‍යාත්මක සාධක රාශියක් ලැබී තිබෙනවා.

ලෝකයේ ලිංග වන්දනාව

හරප්පාවලින් ලැබුණු වසර 5000ක් පැරණි ලිංග මූර්තියක්- pinrest.com ලෝකයේ පුරාණ ශිෂ්ටාචාර රාශියකම මේ වන්දනාව පැවති බවට සාධක හමුවෙනවා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පැවති මොහෙන්දජාරෝ හරප්පාවලින් මැටි පුරුෂ ලිංග මූර්ති බහුලව හමුවී තිබෙනවා. හරප්පාවලින් පමණක් හමුවූ ලිංග රූප ප්‍රමාණය 600කට අධික යි. ඉන්දු නිම්නයේ මව් දෙවගනගේ සංකේතයක් ලෙස යෝනි රූපය පිදීම කර තිබෙනවා. 18 වැනි ඊජිප්තු රාජවංශ යුගයේ දී මිසර වාසීන් හතෝර් නම් සශ්‍රීකත්වයේ (සහ ප්‍රජනනයේ) දේවතාවියට ලීයෙන්, ගලින්, සහ මැටියෙන් කළ ලිංගරූප පූජා කර තිබෙනවා.


නේපාලයේ යෝනි වන්දනා නිරූපිත කැටයමක්- tamilandvedas.com අප්‍රිකා ගෝත්‍ර දෙකක් වන ෂරාමෝ සහ වෂරාමෝ දැරියන්ගේ වැඩිවිය පැමිණීමේ මඟුල් සදහා ලිංගරූපී දැව බෝනික්කන් භාවිත කරනවා. භූතානය, තායිලන්තය, ජපානය ග්‍රීසිය, ඉරානය, ඉන්දියාව වගේ රටවල විවිධ ජනකොටස් අතර අදත් ලිංග වන්දනාව පවතිනවා. ලංකාවෙ නම් තවමත් ශිව දෙවියන් අදහන විට ශිව ලිංග වන්දනාව පමණ යි කරන්නේ.

ශිව ලිංගය

ඉන්දියාවේ විශාල ශිව ලිංගයක්- pinrest.com

පුරාණයේ සිට අදටත් පවතින ශිව ලිංග වන්දනාව අරමුණු කිහිපයක් මත පවත්වන පූජාවක්. විවාහය ප්‍රමාද වීම, දරු සම්පත් හිමිකර ගැනීම, ස්ත්‍රී පුරුෂයන් අතර ලිංගික ගැටලු විසදා ගැනීම, ලිංගික ක්‍රියාවලියේ බාධා මඟහරවා ගෙන පවුල් ජීවිතයේ මිහිර වැඩිකර ගැනීම ඒ පරමාර්ථ කිහිපයක්. ශිව ලිංගය කිරෙන් නහවා තමයි මේ පූජා පවත්වන්නේ. ලෝකය කොතරම් ඩිජිටල් යුගයක සිටියත් කොපමණ පිරිසක් ශිව ලිංගයට කිරි වත්කරනවා දැවි ශිව කෝවිලකට ගිය විට ඔබට පෙනේවි.


ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් කාලිබංගන්වලින් ලැබුණු ක්‍රි. පූ. 2900ට අයත් ලිංග රූපයක්- reddit.com ලිංග ඇදහීම ඉන්දියාවේ දී ඉහළම තත්ත්වයට වර්ධනය වුණා. එහි කාජුරාහෝ වැනි දේවාලවල විවිධ ලිංගික අවස්ථා දැක්වෙන ඉරියව් කළුගලින් කැටයම් කර තිබෙනවා. ලංකාවෙන් ලැබුණු ලිංග දැක්වෙන මැටි රූප ප්‍රාථමික ලක්ෂණ සහිත ප්‍රතිමා ලෙසයි සැලකෙන්නේ. එම රූප ඉන්දියාවේ නිල්ගිරි, හරප්පා, මෙහෙන්දජාරෝ, සුමේරියා, සහ අප්‍රිකාව ආදී රටවලින් ලැබුණු ප්‍රතිමාවලට ස්වරූපයෙන් සමාන යි.

පොළොන්නරුවේ පුරාණ ශිව දේවාලවල ශිව ලිංග මූර්ති බහුල යි. අදටත් බැතිමතුන් නටබුන් දේවාලවලට පැමිණ ඒවාට පූජා පවත්වා විවිධ ප්‍රාර්ථනා කරන දැකගත හැකියි.

ලංකාවේ ලිංග පිදීම

සීගිරියේ ඉලුක්වැවෙන් ලැබුණු ලිංග රූප- dr.lib.sjp.ac.lk ප්‍රාග් බෞද්ධ සමාජයේ ද ලිංග පූජාව පැවති බවට සාධක තිබෙනවා. පණ්ඩුකාභය රජු අනුරාධපුරයේ ඉදිකළ සිවිකා ශාලාව ශිව ලිංග පූජාවට යොදාගත් තැනක් විය හැකි බවට මත ඉදිරිපත් වී තිබෙනවා. බාධක රහිත කාමාස්වාදයට අවසර සහ ප්‍රජනන උත්සව පණ්ඩුකාභය රජ සමයේ පවති බවත්, ඒවා ජගන්මාතා පූජා ලෙස හැඳින්වූ බවත් පෙනේයැ යි ආචාර්ය පී. ඊ. පී. දැරණියගල පවසනවා. කාර්තික උත්සවය යනුවෙන් දක්වා ඇත්තේ ද එවැන්නක්යැ යි පරණවිතාන සඳහන් කර තිබෙනවා. මෙම ඇදහිලි ක්‍රමය මධ්‍ය ශිලා හෝ ප්‍රාග් ඓතිහාසික යුගයේ පැන නැගී ක්‍රි. ව. 12 වැනි සියවසේ දී පමණ අභාවයට පත් වන්නට ඇති බව පෙනෙන බව දැරණියගල සදහන් කරනවා.


පොළොන්නරුවේ ශිව දේවාලයක ශිව ලිංගයක්- 13 වැනි සියවස- lankatraveldirectory.lk වෙස්සගිරි ශිලා ලේඛනයක සමපාද ත්‍රිකෝණයක මුදුන හරහා ඇඳි හරස් රේඛාවක් මත නැගී සිටින යෂ්ටියක් සහිත ලාංඡනයක් තිබෙනවා. සමහර විද්වතුන් සවසන්නේ මෙය ලිංග පිදීමේ සංකේතයක් බව යි.

මේ අති පුරාණ ඇදහීමෙන් ඉතිරිව ඇතැයි සැලකිය හැකි පිළිවෙතක් නම් ගැමි සිංහල විවාහ මඟුල්වල දී පැවැත්වෙන මඟුල් තහංචිය යි. මනාලියගේ නිවසට පැමිණෙන මනාලයා ඇතුළු ඥාති පිරිසට කවියෙන් සහ ක්‍රියාවෙන් එහි පිවිසීම වළක්වනු ලැබේ. මනාලයා සහ ඥාති පිරිස ඒවාට පිලිතුරු කවි කියා තහංචි වළක්වාගෙන පැමිණිය යුතු යි. එහිදී ජගන් මාතාවත් ඇගේ ආරක්ෂාවත් මනාලයා ඉල්ලා සිටී.

(ස්පොලියා සෙලනිකා 1994 , පී. ඊ. පී. දැරණියගල ලිපිය)

ලිංග රූප හමුවෙයි

ඉලුක්වැවෙන් ලැබුණු ලිංගරූප- – ස්පොලියා සෙලනිකා 1994 මුලින්ම මැටියෙන් කළ ලිංග රූප 1901 දී ඉන්දියාවෙන් හමුවුණා. අද්භූත රූප ලෙස මුලින්ම සැලකුණු ඒවාට සමාන රූප ලංකාවෙන් 1928 සිට හමුවී තිබෙනවා. ඒ. එම්. හෝකාට් සහ දැරණියගල මේ ගැන පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කර තිබෙනවා. තලගස්වැව, තබ්බෝව, මරදන්මඩුව, සීගිරියේ ඉලුක්වැව, කිලිනොච්චියේ උතුරුපුරම්, වවුනියාවේ පන්සල්වෙල මුල්ම කාලයේ ලිංග ටෙරාකොටා රූප හමුවූ ස්ථාන යි. කොළඹ ජාතික කෞතුකාගයේ දී මේ රූප සමහරක් ඔබට නැරඹීමටත් පුළුවන්. මේ වන විට ස්ථාන 21කින් මේ රූප එකතු හමුවී තිබෙනවා. ඒවා බහුතරයක් රජරටින් ද කොටසක් උතුරින් ද තමයි ලැබී තිබෙන්නේ. මේ රූප ඇතුළත සිදුරු සහිත ආකාරයට හෝ සම්පූර්ණ ඝන ආකාරය නිමා කර තිබෙනවා. සමහර ලිංග රූප සැරසිලි සහිත යි. සමහර ඒවා සැරසිලි නොකර ලිංගය පමණක් මූර්තිමත් කර තිබෙනවා. ආචාර්ය චන්ද්‍ර වික්‍රමගමගේ සදහන් කරන්නේ මේවා ජන වෙදකමකට යොදාගත් රූප බව යි.


පොළොන්නරුවේ ශිව දේවාලයක ලිංග වන්දනා අවස්ථාවක්- lankapradeepa.com පුරුණ ලිංග ආකාරයටම තනා මුත්‍ර වාහිනී සිදුරත් මුදුනේ පෙන්වා තිබෙන මේවා මැටියෙන් තනා පුළුස්සා ගත් ඒවා යි. මේ නිසා පුළුටු මැටි රූප කියලත් හඳුන්වනවා. දැරණියගල නම් මේ රූප හදුන්වන්නේ තබ්බෝව- මරදන්මඩුව සංස්කෘතික රූප කියල යි.

මෙම රූප පදම් කරන ලද මැටියන් තනා පෝරණුවල පුළුස්සාගෙන තිබෙනවා. ලිංග රූප මෙන්ම කෝලම් මුහුණු ආකාරයේ රූප ද ලැබී තිබෙන මැටිකෘති අතර දැකගත හැකියි. සමහර ප්‍රතිමාවල ඇස්, නාසය වැනි ඉන්ද්‍රියයන් සදහා වෙනම මැටි කොටස් මුහුණේ අලවා තිබෙනවා.

සීගිරියෙත් ලිංග පූජා

ඉලුක්වැවෙන් හමුවූ කෝලම් ආකාරයේ ටෙරාකොටා මූර්ති – dr.lib.sjp.ac.lk සීගිරිය අසල ඉලුක්වැවෙන් හමුවුණු ලිංග රූප එහි බිතුසිතුවම් හා සම්බන්ධයක් පෙන්වන බව දැරණියගල පවසනවා. සීගිරි සිත්තම්වල රූමත් යෞවනියන් රැසක් මැද මැදිවියේ ළදක් සිටීමෙන් පෙනී යන්නේ ඔවුන් රැකබලා ගැනීම සදහා කිරි මවක් සිටි බවයැ යි ඔහු සදහන් කරනවා. සීගිරියේ ඉලුක්වැවෙන් හමුවුණු රූප අතර ඇතුළත කුහර සහිත ලිංග රූපී ස්ත්‍රී රූපයක් ද තිබෙනවා. එය පුරුෂ ලිංගයක් ස්ත්‍රී රුවක් බවට පත්කිරීමක්. එහි ලිංගයෙහි ඉහළ කොටස යි ස්ත්‍රියගේ මුහුණ බවට පත් කර ඇත්තේ. එහි දෙඇසත්, දෙතනත් මැටි පිඬුවලින් නියෝජනය වෙනවා. හිස ලිංග මුණ්ඩාකාරව හැඩ ගන්වා තිබෙනවා. මුත්‍ර වාහිනියෙහි සිදුර තිබෙන තැන හිස මුදුනේ සිදුරක් දක්වා තිබෙනවා. මෙහි ඇති තවත් රූපයක් පුරුෂ රූපයක කනක් ඉහළින් සිදුරක් බැගින් තනා තිබෙනවා. ඇස් කපා මතුකොට ඇති අතර ඇසේ කළුඉංගිරියාව දැක්වීමට කුඩා මැටි පිඬක් තබා තිබෙනවා.

කිලිනොච්චියෙන් ස්ත්‍රී පුරුෂ ලිංග මූර්ති

උතුරුපුරම්වලින් හමුවූ ලිංග මූර්ති- ස්පොලියා සෙලනිකා 1994 මෙම සංස්කෘතියට අයත් මැටි රූප එකතුවක් 1960 දී කිලිනොච්චි උතුරුපුරම්වල කුඹුරක් සකස් කිරීමේ දී අහම්බෙන් හමුවුණා. සිව් පැත්තක් සහිත භාජන ගණනාවක් ද මෙම ස්ථානයෙන් ලැබුණා. වෙනම ආධාරක මත පිහිටි ලිංගාකාර මුහුණු සමූහයක් ද ඒ අතර තිබුණා. ඒවා එක් පැත්තක මිනිස් මුහුණක් නිරූපණය කර තිබෙන රූපයි. පුරුෂ ලිංගවල මතුකළ ස්ත්‍රී රූප ද මේ අතර තිබුණා. ජනනේන්ද්‍රිය දෙවර්ගයකම නිරූපණය කිරීම වර්ගයාගේ ප්‍රතිජනන ශක්තිය නිරූපණය කරන්නක් බවට සමහර විද්වතුන් අදහස් දක්වා තිබෙනවා.

වවුනියාව පන්සල් ගොඩැල්ල

පොළොන්නරුවේ ශිව දේවාලයක්-youtube.com වවුනියාවේ සිට කි. මී. 10ක් දුරින් පිහිටි මාමඩුවේ වෙල්යායකින් තමයි මේ මැටි රූප එකතුව ලැබුණේ. පොළෝ මතුපිට සිට අඩි එකහමාරයක ගැඹුරකින් තමයි ගොවියකුට මේවා හමුවී ඇත්තේ. ඔහු ඒවා රැගෙනවිත් තම නිවස අසල ගොඩගසා තිබූණා. ඒ රූපවලින් හොද තත්ත්වයේ ඒවා අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයට රැගෙන ගොස් තිබෙනවා. ශෛලිගත කෝලම් ආකාරයේ මිනිස් මුහුණු සහ ලිංග රූප විශාල ප්‍රමාණයක් ඒ ස්ථානයෙන් හමුවී තිබුණා. ඒවා හැරුණු විට ගිරා, මොණර, දිවි, මී, ඉත්තෑ, සහ දළ ඇතුන්ගේ රූප ද එහි තිබුණා. ලිංග රූප ද්විලිංගික සහ ඒක ලිංගික ආකාරයෙන් තනා තිබෙනවා. එක් තාත්වික ලිංග රූපයක් පමණි එහි දක්නට ලැබුණේ.

කාමය පූජාවක් කළ කාමරති

කාමරති ප්‍රතිමාව- dinamina.lk වෙහෙරගලින් සොයාගෙන තිබෙන මෙම ප්‍රතිමාව 9 වැනි සියවසට අයත් ලෝකඩ මූර්තියක්. දැනට කොළඹ කෞතුකාගාරයේ තිබෙන එය උසින් සෙ. මි. 23.7ක්. කාමයට අධිපති කාම දේව සහ ඔහුගේ බිරිය වූ රතී එහි නිරූපිත යි. කාම විසින් වම් අතින් ද රතී විසින් දකුණු අතින් ද පහන් කණුවක් අල්ලාගෙන සිටින ආකාරයක් දැක්වෙනවා. කාම කෙලිලොල් බවක් පළ කරන අතර රතී රූමක් ආකාරයක් පෙන්වනවා. කාමය දිව්‍යමය පූජාවක් බවයි මින් පැවසෙන්නේ.

Link - https://roar.media/sinhala/main/health-lifestyle/linga-worshipping-in-sri-lanka

ශිව ලිංගය

ශිව දෙවියන් වෙනුවෙන් ශිව ලිංගයට පුද පූජා පැවැත්වීම බොහෝ අතීතයේ සිට පැවත එන චාරිත්‍රයක් වන අතර එය අදටත් දක්නට ලැබේ. එහි ශිව ලිංගයේ ඉහල කොටස පරාශිව හෙවත් ශිව දෙවියන් නියෝජනය කරන අතර යට කොටස පරාශක්ති හෙවත් පාර්වතී දේවිය නියෝජනය කරයි.

https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%92%E0%B7%80_%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A

ශිව නැමදුම

ඕනෑම ආගමක දාර්ශනික පක්ෂයක් ද ආගම් ඇදහීම සම්බන්ධ ක්‍රියා පිළිවෙතක් ද පවතී. හින්දු දහමේ විශේෂ ලක්ෂණය වන්නේ සැම හින්දුවරයකු ම සමාන ආගමික ලක්ෂණ සහිත විශ්වාසයකsන් පුද-පූජා චාරිත්‍ර නොපැවැත්වීම යි. එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගල බදaධ පුදපූජා ආගමික ලක්ෂණ හින්දු දහමෙන් ප්‍රකට වන අතර එමඟිනa වන්දනා ක්‍රම සංකීර්ණ වේ. ශිව වන්දනාව අතීතයේ පටන් ප්‍රචලිත වූයේ ප්‍රධාන ව ම ලිංග වන්දනා ක්‍රමයක් ලෙසිනs. හරප්පා යුගයේ අනාර්ය ජන කණ්ඩායම් අතර පැවති ලිංග වන්දනාව ක්‍රිස්තු වර්ෂ ආරම්භයේ දී හින්දු ආගමට ඇතුළත් කරගැනිණැයි සැලකේ.

අර්ධනාරීශ්වර, ශිව කල්‍යාණ සුන්දර, උමා-මහේශ්වර වැනි ශිව මූර්ති ස්ත්‍රී-පුරුෂ සම්බන්ධය පිළිබඳ අනෙකුත් ආගමික ප්‍රකාශන ය. ශිව කෝවිලක් හා බැඳුණු ප්‍රධානතම ආගමික චන්දනය ශිව ලිංග වන්දනයයි. එය ශිව කෝවිලක ඇති ප්‍රධාන ම පූජනීය ස්ථානය ගර්භ ගෘහයේ තැන්පත් කැරේ. ශිව ලිංග මූර්තියට පූජා පැවැත්වීම ශෛව සම්ප්‍රදායේ ක්‍රියා මාර්ග ප්‍රතිපදාවට අයත් ප්‍රධාන වන්දනා ක්‍රමයකි. ජේ.කාර්ට්මන් දක්වන්නේ ලිංග වන්දනාව හා බැඳුණු දාර්ශනික සත්‍යය පිළිබඳ අවබෝධයකින් තොර බැතිමතුන් හුදු පූජා ද්‍රව්‍යයක් වශයෙන් සලකමින් ලිංග වන්දනාවේ නිරත වන බව යි. ශිව ලිංග මූර්තියක් ප්‍රතිෂ්ඨාපනය කිරීම පුද-පූජා හා වතාවත් කිරීම හා ඊට අදාළ සුබ කාලය හා ස්ථාන පිළිබඳ ව ශිව පුරාණයෙහි විද්‍යෙශ්වර සංහිතාවේ (ශිව පුරාණය, 1 වැනි කාණ්ඩය, 1 වැනි සංහිතාව, 11 පරිච්ඡේදය, 1-69 ශ්ලෝක (Siva Purana part 1,1.11. vv1-69)) විස්තර වේ.

ශිව ලිංගය ශිව දෙවි සංකේතවත් කරන ඉහළ ම ආගමික සංකේතය නිසා ඊට පැවැත්විය යුතු වතාවත් ශෛවාගමෙහි නියම කළ පරිද්දෙන් ම කළ යුතු යැයි නියමයක් පවතී. ශිව පුරාණයෙහි ශිව ලිංග මූර්තියකට දැක්විය යුතු වතාවත් දහසය ආකාරයක් නියම කොට තිබේ. ශාස්ත්‍රානුකූල ව සිදුකරන නමස්කාරය ආසන පැනවීම, තීර්තම් (පැන්) පූජාව, පාධෝවනය, මුඛය ශෝධනය, තෙල් ධෝවනය, වස්ත්‍ර පිදීම, ගන්ධ, මාලා, ධූප, දීප, නිවේදන (ආහාර පූජාව ), ආලෝක පූජාව, බුලත් පත්‍ර පූජාව, නමස්කාරය හා විසර්ජනය හෙවත් අවසානය ඒ අතර වෙයි.  : Siva Purana part 1,1.11. vv25-30 ග්‍රන්ථාගත පරිදි මෙම පූජා සිදු කිරීමට මන්ත්‍ර පඨනයෙහි දක්ෂ බ්‍රාහ්මණ කුරක්කල්වරයකුගේ සේවය අත්‍යවශ්‍ය වෙයි. ගෘහීය වතාවත් පිළිබඳව ද ශිව පුරාණය නියම කොට ඇති නමුත් සාමාන්‍ය හින්දු බැතිමතුන් පෞද්ගලික වන්දනාමාන සඳහා නිවෙස්වල ශිව ලිංග මූර්තිය යොදා ගැනීම මඳ ය. බැතිමතුන් ශිව ලිංග වන්දනාව නිවසේ දී පවත්වන්නේ ඒ සඳහා නියම පූජා සිදු කිරීමට තමාට හැකියාව ඇත් නම් පමණි. ලංකාවේ ද සැම ශිව දේවාලයක ම ප්‍රධාන ගර්භ ගෘහයෙහි ලිංග මූර්තිය ස්ථාපිත ය. නුවරඑළිය නගරයේ ගායත්‍රී කෝවිල ලිංග වන්දනාව සම්බන්ධ ව විශේෂ කෝවිලකි. මෙහි ප්‍රධාන ගර්භ ගෘහයෙහි ස්ථාපිත ලිංග මූර්තිය භාරතයේ නර්මදා නදියෙන් රැගෙන ආ බවත්, එය දිනපතා ප්‍රමාණයෙන් විශාල වන ශිව ලිංග මූර්තියක් බවත්, බැතිමතකුගේ ඕනෑ ම ප්‍රාර්ථනයක් ඉෂ්ට කරදෙන්නක් බවත් සැලකේ. භාරතයෙන් රැගෙන ආ බව කියන තවත් ශිව ලිංග පාෂාණ 108 ක් කෝවිලෙහි තැන්පත් කර තිබේ. කෝවිල බාරකරුවන්ගේ අදහස වන්නේ ඒවා ද දිනපතා ප්‍රමාණයෙන් වැඩෙන බව යි. ඒ අනුව මෙම කෝවිල ස්වයම්භූ ලිංග මූර්ති හා වර්ධනීය ලිංග මූර්ති සහිත බවට විශ්වාස කැරෙන කෝවිලකි.

වර්තමාන ශ්‍රී ලංකාවේ ශිව කෝවිල් ආශ්‍රිත වන්දනාවන්හි මුඛ්‍ය අරමුණ වී ඇත්තේ දරු සම්පත අපේක්ෂණය යි. ලිංග වන්දනාව හා බැඳුණු සශ්‍රීකත්ව සංකල්පය ඊට පදනම් වේ. ප්‍රජනන කාර්යයේ ඉෂ්ට දේවතාවා වශයෙන් ශිව දෙවියන් හැඳින්වෙන බවයි. එය ශිව වන්දනාවේ යෙදෙන හින්දු, බෞද්ධ හා අන්‍යාගමික සැමගේ සුවිශේෂ අපේක්ෂාවක් බව අධ්‍යයනයෙන් ද අනාවරණය වේ. ත්‍රිකුණාමලය කෝනේශ්වරම් දේවාලය ද පොළොන්නරුව ශිව දේවාලය ද දරු ඵල අපේක්ෂිත බැතිමතුන් වන්දනා කරන විශේෂ ශිව දේවාලය යි. ත්‍රිකුණාමලය කෝනේශ්වරම් දේවාලයේ වම් පස මහ මුහුදට ආසන්න ව දේවාලය සීමාවේ පිහිටි වෘක්ෂයක එල්ලා ඇති දැවමය කුඩා තොටිලි ද දරු සම්පත් පතන්නවුන් සඳහා ම පඬුරු ගැට ගැසීමට විශේෂිත ව සකසන ලද ස්ථානයකි. දරුඵල අපේක්ෂාව හැරුණු විට රැකී-රක්ෂා අභිවෘද්ධිය, විභාග ජය පැතීම වැනි දෛනික ජීවන අපේක්ෂා උදෙසා ද බැතිමතුන් ශිව දෙවි සරණ යන නමුත් කිසි විට ශිව දෙවි අබියස පලි ගැසීම් හා සාප කිරීම් සිදු නො වේ.

කාලි යනු ශිවගේ පතිනිය වූ පාර්වතියගේ භයානක අවස්ථාවකි. ශිව දෙවියන් හා එක් ව ලෝක නිර්මාණ කාර්යයට එක්වන පාර්වතී දේවිය ශිව දෙවියන් හා සමානව ම ශෛව සම්ප්‍රදායයෙහි වන්දනයට පාත්‍ර වේ. සාමාන්‍යයෙන් කෝවිලක ප්‍රධාන ගර්භ ගෘහයට වම් පස ගෘහයේ පාර්වතිය පුද ලබයි. එහෙත් ශ්‍රී ලාංකේය ආගමික සන්දර්භය තුළ පාර්වතියගේ භයානක අවස්ථාව වන කාලි මාතාව කේවල දේව වන්දනාවක ස්වරූපයෙන් බහුල ව වන්දනයට පාත්‍ර වන බව නිරීක්ෂණය විය. කාලි දේවතාවිය අයහපත් ස්වභාව දරන්නියකි. එසේ ම කාලි දේවාලයක දී ශිව දෙවියන් ද ලිංග මූර්තියෙන් පුද ලැබීම ඉතා විරල වේ. හලාවත මුන්නේශ්වරම් ශිව දේවාලයට අනුබද්ධ කාලි කෝවිල පිහිටා ඇත්තේ දේවාලයට බැහැරින් ය. මෙය දිවයිනේ බහුතර ශිව කෝවිල්වල විශේෂත්වයකි.

හින්දු සම්ප්‍රදායට අයත් බොහෝ දෙවිවරු ශිවාලයක දී පුද ලබති. ගර්භ ගෘහයේ ශිව ලිංගය ස්ථාපිත කළ විට, දකුණු පසින් ගණේෂ ප්‍රතිමාවත් වම් පසින් ස්කන්ද කුමාර ප්‍රතිමාවත් පිහිටුවයි. ශිව දෙවියන්ගේ දරුවන් සේ ආගමික සාහිත්‍යයෙහි දැක්වෙන පුල්ලෙයාර් හා මුරුගන් යන දෙවිවරුන් පුද පූජාවලදී ශිව දෙවියන්ට වඩා බැතිමතුන්ගේ ආකර්ෂණය දිනාගන්නා ආකාරය ශිව කෝවිලක අභ්‍යන්තරයේ පිහිටුවා ඇති උක්ත දේව ගෘහයන්ගෙන් සනාථ වෙයි. ලිංග මූර්තිය ස්ථාපිත ප්‍රධාන ගර්භයට පිටුපසින් ලිංගෝද්භව මූර්තිය වේ.

ලිංගෝද්භව මූර්තියට මුහුණලා මහා විෂ්ණු දේව ප්‍රතිමාව ස්ථාපිත ය. ශ්‍රී ලංකාවේ ශෛවවාදීන් සහ වෛෂ්ණවවාදීන් අතර සන්ධානගත පසුබිමක් පවතින බවත්, ඊට හේතුව මෙරට ප්‍රධාන ආගම වන බුද්ධාගමට අභියෝග වශයෙන් හින්දූන්ගේ පෙළ ගැසීම බවත් සීලවිමල හිමියෝ ප්‍රකාශ කරති. ශිව කෝවිලක ස්ථාපිත විවිධ දේව මූර්ති අතර ගණේෂ, ස්කන්ද කුමාර, පාර්වතී, විෂ්ණු, සන්ඩේශ්වර, නවග්‍රහ දේවතාවන් මෙන් ම නන්දි වෘෂභයා හා ශෛව නයන්මාර්වරුන් ද දැකිය හැකි ය. මේ කවරකු වන්දනා කළ ද එහි අවසන් ඵලය ශිව දෙවියන් වෙත ළඟා වීම බව අදහන අය මෙන් ම ඔවුන් එකිනෙකාගෙන් වියුක්ත වූ කේවල දේව සංකල්ප බව අදහන අය ද වෙති.

වැඩිදුර කියවන්න

මහාවංසයට හිමි විය යුතු තැන සහ එයට දී තිබෙන තැන

(මේ ලිපිය ලිවීමට හේතු වුනේ කලින් මා ලුයූ 'බ්‍රිතාන්‍යයන් අපව භේද කිරීමේ කතාව' නම් ලිපියට NoTerrorism සහොදරයා/සහොදරී මතු කළ ප්‍රශ්නයකි).

මහාවංසය ලිව්වෙ 5 සියවසේ විතර අනුරාධපුර මහාවිහාරයෙ ජීවත් වුනු මහානාම නම් හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ ඈතම අතීතේ ඉඳල මහසෙන් රජුගේ අවසානය (303 AD) දක්වා කාලය තම කෘතියෙන් ආවරණය කරනවා. ඉන්පස්සෙ කොටස් ලියැවුනු කාල ගැන මතභේද තියෙනවා. සමහර දෙනෙක්ගෙ අදහස 12 සියවසෙ ජීවත් වුනු ධර්මකීර්ති කියන හාමුදුරුවො දෙවෙනි කොටස ලිව්වා කියල. ඔහොම නුවර කාලය වෙනකම්ම කොටස් වසයෙන් මෙය ලියැවෙනව. සමහර දෙනෙක් ගෙ අදහස මහානාම හිමි ලියූ මුල් කොටස මහාවංසය ලෙස හැදින්වුනු බවත් ඉතිරි කොටස් චූලවංසය ලෙස හැදින්වුනු බවත්.

ඒ කොහොම වුනත් 1.මේ සියලුම කොටස්වල කතුවරු හාමුදුරුවරු. 2. ඒ සියලුම දෙනා මහාවිහාර වංසයේ (ථේරවාදී ගුරුකුලයේ) හාමුදුරුවරු.

මේ අය ඉතා වෙහෙස ගෙන කියාහිටින කතාවක් තියෙනවා. ඒ තමයි තමන් නියෝජනය කරන ගුරුකුලයේ තමයි පිරිසිදුම බුදුදහම ආරක්ෂාවී අත්තේ යන්න. ඒ සඳහා බුදුහාමුදුරුවන්ගේ සිට මිහිඳු හාමුදුරුවො ලංකාවට පැමිනීම දක්වා වූ බුදු දහමේ කතාවත් එතැන් සිට ලංකාව තුළ එය වර්ධනය වූ අකාරයත් උන්වහන්සේලා අඛණ්ඩව විස්තර කරනවා. ඒ හැර සාමාන්‍ය ජන ජීවිතය ගැන හෝ ලංකාවේ වාසය කළ සාමාන්‍ය ජනයා ගැන හෝ කිසිවක් මහා වංසයේ එන්නේ නෑ. හේතුව ඒවා ගැන කතා කිරීම මේ කතුවරුන්ගේ අරමුණ නෙවෙයි. රජුන් ගැනද ආක්‍රමණ ගැනද ඒ අය කතාකරනවා. ඒ අනුරාධපුරය මුල්කරගෙන පැවති මහාවිහාරයට මෙකී කාරණා දෙක අතිශයින්ම තීරනාත්මක ලෙස වැදගත් නිසා. මුල් යුගයේ දකුණු ඉන්දීයවෙ ජනයාත් ලංකාවෙ ජනයාත් යන දෙපිරිසම බෞද්ධයි. ලංකාවේ මුල්කාලයෙ දක්නට ලැබෙන ආකාරයෙ භිෂූන් වෙනුවෙන් තනා පූජාකළ ළෙන් හා ලෙන් ලිපි ඒ ආකාරයෙන්ම දකුණු ඉන්දියාවෙනුත් හමුවෙනවා. වළගම්බා රාජ්‍ය කාලයෙ ලංකාව ආක්‍රමණය කළ දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් එක් අයෙක් බුදුන්ගෙ පාත්‍රය ලැබුනාම "මට මේ ඇති" කියා ඒකත් අරං ආපහු ගියා කියල මහාවංසෙම කියනවා. බුදුන්ගෙ පාත්‍රය වැදගත් බෞද්ධයෙකුට විතරයි. ඒ කියන්නෙ දකුණු ඉන්දීය දෙමළ ජනයාත් ලාංකිකයිනුත් යන සියලු දෙනා බෞද්ධයි. ඒ කාලයෙ සිංහල හා දෙමළ භික්ෂූන් කිසි වෙනසක් නැතිව කටයුතු කරන්න ඇති. එය විශේෂයෙන් වාර්තා කරන්න තරම් දෙයක් නොවුණු නිසා මහාවංසයේ ඒ ගැන විශේෂ වාර්තා නෑ. නමුත් පෙර දැක් වූ ආක්‍රමණයෙන් පස්සේ අවුරුදු 14ක් මෙහෙ සාගතයක් තිබුණාලු. ත්‍රිපිඨකය කටපාඩමින් ගෙන ආ භික්ෂූන් මිය යන්න ගත්තලු. මේ වෙලාවෙ යම් උගත් භික්ෂූන් පිරිසක් ජීවිතය ‍රැකගන්න පැනයන්නේ සොළී දේශයට. මෙයින් හොදටම පැහැදිලියි ඔවුන්ට උදව් කරන්න නවාතැන් දෙන්න එහෙ පිරිස් හිටියා. ඔවුන්ට සම්බන්ධ ආයතන එහි තිබුණා. ඒ එහෙත් මෙහෙත් එවක පැවතුනේ පොදු ආගමික තත්වයක් නිසා.

නමුත් මහාවංසෙ ලියන කාලේ එනම් 5 සියවස වෙනකොට දකුණු ඉන්දියාවෙ තත්වේ වෙනස්වෙලා. නාගර්ජුන, ආර්යදේව, අසංග, වසුබන්දු වැනි මහායාන දාර්ශනිකයන්ගෙ බලපෑමට දකුණු ඉන්දියාවෙ බුදු දහම නතුවෙලා තිබුණා. මේ මහායාන අදහස් ලංකාවටත් එන්න ගත්ත. අනුරාධපුරයේම වූ අබයගිරි භික්ෂූන් මේ නව අදහස් බාරගත්ත. මහාවිහාරීය භික්ෂූන් මේක සැලකුවේ තම ආයතනයට හා ථේරවාදී බුදුදහමට එල්ල වූ මහා තර්ජනයක් ලෙසට. මේ ගැ‍ටුමේ ඵලයක් ලෙසයි මහායාන අදහස් දැරූ භික්ෂූන් 60 දෙනෙක් ව වෙර ළකුණු ඔබ්බවලා (හණගහලා... !) ලංකාවෙන් පි‍ටුවහල් කරන්නේ. සංඝමිත්‍ර කියන දකුණු ඉන්දීය භික්ෂුව ඇවිත් රජුගේ හිත් දිනාගෙන මහාවිහාරේ භික්ෂූන්ට දන් දීම තහනම් කරවන්නේ. මහාවිහාරය බිඳ දාලා ඒ ඉඩමේ උඳු වපුරවන්නේ. මේ ගැ‍ටුම අවසානේ සංඝමිත්‍ර භික්ෂුව ථේරවාදී පක්ෂය ගත් ගිහියෙකු අතින් මරුම් කනවා.

මේ සියල්ල දෙස බැලුවම පේනවා මහාවංසය ලියන්න හේතු වුනු පසුබිම කොයිවගේ ද කියලා. මම මුල් ලිපියේ කිව්වා අබයගිරි වාසී භික්ෂූන් ලියූ වංසකතාත් තිබුනා නම් මීට වඩා තව විස්තර ලංකාවේ ඉතිහාසය ගැන දැනගන්න තිබුණා කියා. නමුත් අද එ කිසිවක් ඉතිරිව නෑ. ඒවාත් තිබුණා නම මහාවිහාර පර්ෂවය විසින් නොකී බොහෝ කතා අපට දැනගන්න තිබුණා. අබයගිරිය මහාවිහාරය මෙන් නොව මහායානික අදහස් වලට වැදගත් තැනක් දුන්න. 5 සියවසේ ලංකාවට ආව ෆා හියන් නම් චීන සංචාරකයාට අනුව ඔහු පැමිණි කාලයේ අබයගිරියේ 5000ක් භික්ෂූන වාසය කර තිබෙනවා. එහෙත් මහාවිහාරයේ ජීවත්ව ඇත්තේ භික්ෂූන් භික්ෂූන් 3000 පමණයි. අතිශයොක්ති බැහැර කරල ගත්තොත් අබයගිරිය වාදීන් (මහයානික අදහස් වලට නැඹුරු වූවන්) සංඛ්‍යාත්මකව වැඩියි. අද ඔබ අනුරාධපුරයට ගියොත් පෙනේවි අබයගිරිර්ය ආයතනයක් හැටියට කොතරම් දැවැන්ත ද කියා. 9-10 සියවස් වලට අයත් අත්තානි පරිහාර නමින් හඳුන්වන ටැම් ලිපි වලින් පෙනෙනවා අබයගිරියට අයත්ව තිබුණු ඉඩම් කොපමණ ද කියා. මේ අනුව ඔවුන් එක් ‍රැස්කළ දැනුම් ප්‍රමාණය සහ පොත්පත් ප්‍රමාණයද ඉතා විශාල විය හැකියි. ඔවුනුත් මහාවංසය මෙන් තම ආයතනයේ ද තමන් පිළිගත් බුදුදහමේ ද ඉතිහාස කතාව ලිව්වා නම් නිසැක ලෙසම දකුණු ඉන්දියාවේ කාන්චිපුරම් හි පල්ලවාරාමය වැනි ආයතන සමග එය පැවැත් වූ සබඳතාත් මෙහි වාසය කළ දෙමළ භික්ෂූන ගැනත් අපමන තොරතුරු අපට ලබාගන්නට ඉඩ තිබුනා. අවාසනාවට අබයගිරිවාසීන්ට අයත් එකම එක පොතයි අද ඉතිරිව ඇත්තේ. එය ඉතිහාස තොරතුරු සපයයන කෘතියක් නෙවෙයි.

තව රෝහනට්ඨකතා මහාවංසය නම් කෘතියක් ද රෝහණයේ සිටි භික්ෂූන් විසින් ලියා ඇති බවට තොරතුරු ලැබෙන බව පෙර ලිපියේ මා කීවා. එයත් අද දකින්නට නෑ. මේසියල්ල තිබුණා නම් අපට වඩා විශාල තොරතුරු ප්‍රමාණයක් එක් ‍රැස් කරගන්න තිබුණා. ඒත් ඒ තොරතුරු මතත් අපිට වඩා දියුණු ඉතිහාසයක් ලියන්න අමාරුවෙයි. හේතුව මේව ලිව්වේ භික්ෂූන්. ඔවුන්ගේ උවමනාවන් වෙනස්. සාමාන්‍ය ජන ජීවිත ගැන ලියන එක ඔවුන්ට උවමනා කළේ නෑ. ඒකට ඒ අයට දොස් කියලත් වැඩක් නෑ. ඒ අය ක්‍රියා කළේ එදාට වැදගත් ය කියල පෙණුනු දේවල් වෙනුවෙන් මිස අද අපට වැදගත්ය කියල පෙනෙන දෙවල් වෙනුවෙන් නෙවෙයි.

දැන් අපිට මහාවංසයේ දු‍ටු ගැමුණු කතාව දිහා වෙනස් විදියකට බලන්න පුලුවන් වෙයි. මම කිව්ව මහාවංසෙ ලියැවුනේ 5 සියවසේ පමණ ජීවත් වුණු මහානාම නම් හාමුදුරු කෙනෙක් අතින් කියා. ඒකියන්නේ දු‍ටුගමුණු ගේ කාලෙන් අවුරුදු 600 කට විතර පස්සේ.

5 සියවස වෙද්දී ලංකාවට දකුණු ඉන්දීය ආක්‍රමණයක් එල්ල වී ත්බුණා. මේ අතර මහානාම නම් හාමුදුරු කෙනෙක් ධාතුසේන නම් පුංචි කුමාරයෙක්ව ආක්‍රමණිකයගෙන් බේර ගෙන කලා ඔයෙන් එතෙරට අරගෙන ගිහින් මහණ කරල හංගගෙන හදාවඩා ගන්නවා. මේ මහනාම තෙරුන්ගෙ වුවමනාව ආක්‍රමණිකයාට එරෙහිව සටන් වැදීම සඳහා සුදුසු පුද්ගලයෙක් නිර්මාණය කිරීමයි. ඒ වෙනුවෙන් උන් වහන්සේ හැකි සෑම දේම කරනවා. මෙහි දී අපිට වැදගත් කාරණය තමයි මහාවංසය ලියූ තෙරුන්ගේ නමත් ධාතුසේන කුමරා හදාවඩා සටනට යැවීමට කටයුතු කළ භක්ෂුව ගේ නමත් "මහානාම" වීම. ඒ දෙදෙනාම ජීවත් වුනේ එකම කාලයේ එනම් 5 වැනි සියවසේ වීම. මේ ගැන කතා කරන පරනවිතාන මහතාත් සැක කරනවා මේ දෙදෙනෙක් නොව එක් අයෙකුම බව. මගේ අදහසත් එයමයි. මේ කටයුතු දෙකටම සම්බන්ධ වුනේ දෙදෙනෙක් නොවෙයි. එක් අයෙක්මයි.

මහාවංසයේ මුලු පරිච්ඡේද 37න් දු‍ටුගැමුණු කතාවට පරිච්ඡේද 20 ක් පමණ වෙන්කරන්නෙත් දසමහා යොදයින් ගැන කණ්ඩුල ඇතා ගැන මෙතරම් හිත්ගන්නසුළු කතා ඉදිරිපත් කරන්නේත් ධාතුසේනට අවශ්‍ය පිරිස්බලය සටන් ශක්තිය හදාදීමට බවයි මගේ අදහස. දු‍ටුගැමුණුගේ මුවට නගල කියන 'මාගේ වෑයම රජ සැප පිණිස නොව, බුදුදහමේ චිරස්ථිතිය සඳහාය'යන වාක්‍යය ඇත්තටම මහානාම තෙරුන් ධාතුසේන ලවා කියවන වාක්‍යයක් යනු මගේ අදසයි. ඇත්තටම මේ කාලය වනවිට (5 සියවස) වනවිට ආක්‍රමණිකයා ථේරවාදී බුදු දමට විරුද්ධ අදස් දරන්නෙක් වීමට ඇති ඉඩ වැඩියි. මක්නිසාද ද්කුණු ඉන්දියාවේ බුදුදහම මේවෙනකොට ගොඩාක් වෙනස් වී තිබූ නිසා. දු‍ටු ගැමුණු කතාවේ එන එක් වැදගත්කියමණක් දු‍ටු ගැමුණු රජු අතින් මියගියේ මිනිසුන් එක හමාරක් ය යන අදහස. එක යනු පංසිල් සමාදන් වූවෙකි. භාගය තෙරුවන් සරණ ගිය අයෙකි. මියගිය අන් සියළුදෙනා තිරිසන් සතුන් සමානය.

බුදුදහමේ කවර ඉගැන්වීමක් මත වත් පිහිටා මෙවැන්නක් පැවසිය නොහැකිය. අනෙක් අතට මහාවංසයට අනුව මේ වාක්‍යය පවසන්නේ සාමාන්‍ය භික්ෂූන් පිරිසක් නොව පුවඟු දිවයිනෙන් ආ රහතන්වහන්සේල පිරිසකි. ඇයි මහානාම හිමිට මෙවැනි බුදුදහමේ මූලික පදනම් ඉගැන්වීම්වලට ද පටහැනි යමක් කියන්නට සිදු වූයේ? මගේ අදහස මේ මගින් මහානාම හිමි පිළිතුරු දෙන්නේ තම ශිෂ්‍යයාටයි. කලක් පැවිදිව සිටි ධාතුසේන මිනිසුන් මැරීම පව් නැත්දැයි අසන ප්‍රශ්නයට දෙනෙ පිළිතුර මේ වාක්‍යය තුළ ඇති බැවිනි. දු‍ටුගැමුණු කතාව මහානාම තෙරුන් විසින් තමන්ගේ කිසියම් උවමනාවක් සාධනය කරගැනීම සඳහා කෘත්‍රිමව විශ්ටත්වයට නගා ඇතිබව (glorified) මම කියන්නේ නිකම්ම නොවේ. මහාවංසය ලියැවීමට සියවසකට පමණ පෙර ලියැවුණු දීපවංසයේ දු‍ටුගැමුණු සඳහා වෙන්කොට ඇත්තේ ගාථා කීපයක් පමණයි. මාගේ විශ්වාසයේ හැටියට දීපවංසකරුට දු‍ටුගැමුණුගේ වැදගත්කමට අඩුවක් කිරීමට කිසි හේතුවක් මට පෙනෙන්නේ නෑ.

මේ සමස්ත සාකච්ඡාව තුළ මා පෙන්වා දීමට උත්සාහ කරන්නේ මූලාශ්‍රයයක් භාවිතා කිරීමේදී එය ලියැවුනු වටපිටාව, එහිකතුවරයාගේ පුද්ගලික අභිලාශයන්, ඔහුට තිබුනු සීමාවන්, ඒ කාලයේ තිබුනු උවමනාවන් ආදී සියල්ල සැලකිල්ලට ගැනීමේ ඇති වැද්ගත් කමයි. එසේ කරන විට අදාල මූලාශ්‍රය ප්‍රමාණය ඉක්මවා වැදගත් තැනකට පත් නොවේ. නමුත් මාගේ අදහස මහාවංසය එබඳු ප්‍රමාණය ඉක්මවාගිය වැදගත් තැනකට පත්ව ඇති බවයි. ඒසේ ප්‍රමාණය ඉක්මවා ගිය වැදගත් තැනක එය තැබුවේ මෙරටට ආ ඉංග්‍රීසින්ය යනු මගේ අදහසයි.

එය සිදුවුනේ මෙහෙමයි. පෙරදිගට ආ ඉංග්‍රීසින් අතර ආකාර කිහිපයකට අප දෙස බැලූ ඉංග්‍රීසින් සිටියා. එක් කණඩායමක් වූයේ පෙරදිග සිටින්නේ ම්ලේච්ඡයන්ය, ඔවුන්ව ශිෂ්ට කිරීම ඉංග්‍රීසීන්ගේ කාර්යයි කියා සිතූ අය. තව පිරිසක් හිටියා පෙරදිග වැසියා පහසුවෙන් පාලනය කිරීමට නම් ඔවුන්ගේ ඉතිහාසය සංස්කෘතිය චාරිත්‍රක්‍රම නීති ආදිය දැනගත යුතුය කියා සිතූ අය. ඉංදියාවේ හා ලංකාවේ ඉතිහාසය ලියැවුනේ ඔවුන් අතින්. තුන්වැනි වැදගත් පිරිස වුනේ නැගෙනහිර රෝම අධිරාජ්‍යය බිඳ වැ‍ටුණු පසු කොන්ස්තන්තීනෝපලයෙ එතෙක් ‍රැඳී තිබූ ඥානය බටහිරට ලැබුණාට පසු ඇති වූ ආකාරයේ පුනරුදයක් නැවත සිදුවේ යැයි විශ්වාස කළ පිරිස. ඒ මෙතෙක් බටහිරට විවෘත නොවී තිබූ ඉන්දියාව ලංකාව වැනි පෙරදිග රටවල සැගව තිබුණු ඥානය බටහිරට විවෘත කිරීමෙන්. මේ පිරිසයි මහා උනන්දුවකින් අපරටවල තිබුණු පොතපත හදාරන්න ගත්ත. ඔවුන් මහන්සියෙන් පාලි සංස්කෘත ආදී භාෂා ඉගෙනගත්තා ඒ සඳහා. පලි ත්‍රිපිටකය බටහිර ලෝකයට ලබාදුන් රීස් ඩේවිඩ්ස්ලා අය්ති මේ ගොඩට. ඔවුන් පළමුවෙන්ම මහාවංසය දැක්කහම පුදුමයට පත්වුණා. ඒ මේ දූපතෙ වැසියෝ ඉතා සැලකිල්ලෙන් කාලානුක්‍රමිකව (Chronologically) සිද්ධි වර්තා කරමින් ඉතිහාසය ලියාතිබෙනවා කියන අදහසින්. ඔවුන් එය විශාල සොයාගැනීමක් ලෙස ලෝකයට ප්‍රකාශ කළා. එවිට පෙරදිග සිටින්නෙ ම්ලේච්ඡයන්ය යන අදහසේ සිටි අය මේ මතවලට එරෙහිවෙමින් මහාවංසය මිත්‍යාවක්ය කියා එය විවේචනය කළා. එවිට තීරණාත්මක ලෙස සටන් වැදුනේ මහවංසයේ විශිෂ්ටත්වය ගැන විශ්වාස කළ විල්හෙල්ම් ගයිගර් වැනි අයයි. මේ අය මහාවංසය ලංකාවේ ජාතික ඉතිහාස පොතය යන ඉතාම ඉහල තැන එය තැබුවා. අපේ සමහර කෙනෙක් මේ අදහස මුදුනින්ම පිළිඅරගෙන මහාවංසය අපේ ජාතික ඉතිහාස පොතයි කියමින් ඉංග්‍රීසින් විසින් ලබාදුන් දෑවැද්ද මහත් කැමැත්තෙන් තම කරට ගත්තා. අදත් ඒ අකාරයෙන් ම එය කරතබාගෙන යනවා. මේ නිසාම එයට එරෙහිවන්නන් බනින්නෙ මහාවංසය ලියූ මහානාම තෙරුන්ටයි. උන් වහන්සේ පක්ෂපාතී ඉතිහාසයක් ලිව්වාය කියා. මා මුලින් දක්වා ඇති පරිදි මහානාම තෙරුන් ජාතික ඉතිහාසයක් ලියා නැහැ. එනිසාම උන්වහන්සේ අද දවසේ ජීවත්වන අපේ වැරදිවලට බැනුම් ඇසිය යුතු නෑ. අප විසින් කළ යුත්තේ ඉංග්‍රීසින්ගෙන් සමහරෙකු විසින් මහාවංසය ඔසවා තැබූ තැනින් එය ගෙන එයට නිසිතැන නැවත හිමි කර දීමයි. යමෙක් අපේ යමක් අනවශ්‍ය ලෙස පහත්කොට සලකන විට අපි එයට එරෙහිවන ආකාරයටම අපේ යමක් අනවශ්‍ය ලෙස ඉහල තබා වර්ණනා කරන විටත් එරෙහි විය යුතුයි. නමුත් එය කරන එක අමාරුයි. එසේ වුවත් අප එය කළයුතුවන්නේ එසේ නැත්නම් බිහිවන්නේ විකෘති ඉතිහාසයක් වන බැවිනි. මේ සම්බන්ධයෙන් මා මීට පෙර ලියූ 'පිටස්තරයා ඉතිහාසය ගැන..' නමින් යුතු ලිපියද කියවන ලෙස ඔබගෙන් ඉල්ලනවා. එහි දී මා මතු කරන්නේ ඇත්තවශයෙන් සිදු වූ දේත් එයින් ලියා තබන දේත අතර පවත්නා බරපතල වෙනසයි. මේ වෙනස මහාවංසයට ද අන් ඔනෑම අයිතිහාසික මූලාශ්‍රයකට ද පොදුයි. මම හිතනවා මම ඔබේ ප්‍රශ්නයට ප්‍රමානවත් පිළිතුරක් දුන්නා කියා.

උපුටා ගැනීම පිටස්තරයා බ්ලොග් අඩවියෙනි

http://colomboanalysis.blogspot.com/2010/04/blog-post_2436.html

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

දහමක මූලාශ්‍රයක තිබිය යුතු ගුණාංගයන්, එය ආරක්ෂා විය යුතු ආකාරය හා මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන “අල්කුර්ආනය” ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය පිළිබඳව “ආගමික මූලාශ්‍ර හා එහි වලංගුභාවය” යන මාතෘකාව ඔස්සේ මෙම වෙබ් අඩවිය තුල කතා කළෙමු. එහි තවත් පියවරක් ලෙස ශ්‍රී ලාංකීය ආගම්වල මූලාශ්‍රයන් ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය මෙහි දී විමසා බැලීමට අදහස් කරමි.

ඒ අනුව බෞද්ධයන්ගේ ආගමික මූලාශ්‍රය වන ත්‍රපිටකය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය මෙහි දී ඉදිරිපත් කරන අතර එහි දී, මෙය තවත් දහමක මූලාශ්‍රයක් පිළිබඳව කතා කිරීමක් නිසා මාගේ පුද්ගලික කරුණු දැක්වීමෙන් වැළකී “2009 නොවැම්බර් 22 සිළුමිණ” පුවත්පතේ පල වූ ලිපියක් ඔබේ අවධානයට යොමු කරමි. එම ලිපිය තුල සදහන් කරුණු වලට ඔබගේ බුද්ධිමත් අවධානය යොමු වෙනු ඇතැයි සිතමි.

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ ඓතිහාසික මාතලේ අළු විහාරයට එම සත් කාර්ය සඳහා වැඩම කළ රහතුන් වහන්සේ වැඩ විසූ බවට සැලකිය හැකි ගල් ලෙන් 25 කට වැඩි ප්‍රමාණයක් අළු විහාර විහාරස්ථානයට යාව පිහිටි කඳුවැටියෙන් සොයා ගැනීමට හැකි වී ඇත.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 454 කට පසුව එතෙක් කාලයක් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආ ත්‍රිපිටක බුද්ධ ධර්මය ග්‍රන්ථාරූඪ කිරීම සිදු වූයේ මාතලේ අළුලෙන් විහාරයේදී බව.
බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
මේ සඳහා රහතුන් වහන්සේ 500ක් දෙනා සහභාගී වූ බවටත් උන්වහන්සේ තුන් අවුරුදු තුන් මස් තුන් සතියක් මුළුල්ලේ සිදු කළ ග්‍රන්ථාරූඪ කිරීම වෙසක් පුන් පොහෝ දිනයක අවසන් කළ හෙයින් එවකට රට පාලනය කළ වළගම්බා රජතුමාගේ සහාය ඇතිව විශාල උත්සවයක් පැවැත්වූ බවත්, එදා ලක්දිව සියලු විහාරස්ථානවල පහන් පූජා පැවැත්වූ බවත්, විශේෂයෙන් අළුලෙන් විහාරය අවට ප්‍රදේශය පහන් දල්වා ආලෝකමත් කළ බවත් ඉතිහාසයෙහි සඳහන් වේ.
මෑතකදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ ස්ථානය වෙනත් තැනකදී බවට මතයක් පළවීම නිසා අළුවිහාර විහාරවාසී අළුවිහාරේ සරණංකර හිමියන් විසින් ප්‍රදේශයේ ග්‍රාමනිලධාරි වරයා ඇතුළු ප්‍රදේශවාසීන් සමඟ කළ ගවේෂණයකදී මෙම ගල්ලෙන් සොයා ගැනීමට හැකිවී ඇත.
උන්වහන්සේ මේ පිළිබඳව අදහස් පළකරමින්
“ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කොට ඇත්තේ මාතලේ අළුවිහාරේ අළු ලෙන් විහාරයේදී බවට කිසිදු සැකයක් නැහැ. එදා වළගම්බා රජ දවස සිදු වූ මෙම අසිරිමත් සිද්ධිය උඩු යටිකුරු කිරීමට එක්තරා මතයක් පළ කිරීම පුදුම සහගතයි. එදා, රහතුන් වහන්සේ 500ක් දෙනා විහාරස්ථානයට යාව පිහිටි කඳුවැටියේ ඇති ලෙන්වල වැඩ වසා ඇති බව පැහැදිලියි. එම ගල්ලෙන්වල ජලය ඇතුළට රූරා නොබසින ලෙසට කටාරන් කොටා ඇති බව පෙනෙන්නට තිබෙන නිසා ඒවායේ යම් පිරිසක් වාසය කළ බවට සැකයකින් තොරව ඔප්පු වෙනව‍ා.
අවට ජනතාවගෙන් ලද තොරතුරු මත අළුවිහාරය වසම බාර ග්‍රාම නිලධාරී රත්වත්තේ මහතා සමඟ දින ගණනාවක් තිස්සේ කළ ගවේෂණයකදී ලෙන් 18ක් ‍සොයා ගැනීමට හැකි වුණා. ඉන්පසුව ඊට යාව පිහිටි බීරිදෙවෙල කඳුවැටියන් ද තවත් ලෙන් 8ක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.”
“මේ නිසා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ අළුවිහාරේ අළු ලෙන් විහාරයේදී බවට යම් යම් කරුණු මත සැකයකින් තොරව ඔප්පු වී ඇති අතර ඊට ඌණ පූර්ණයක් ලෙස එම ඓතිහාසික සිද්ධියට සම්බන්ධ වූ රහතුන් වහන්සේ එම ගල්ලෙන් හි වැඩ වාසය කළ බවට සැලකිය හැකියි.”
මෙහි ඇතැම් ලෙන්හි 100කට පමණ කරදරයකින් තොරව වාසය කරන්නට ඉඩකඩ ඇති අතර විවේකී අවස්ථාවලදී භික්ෂූන් විදර්ශනා වඩමින් භාවනානුයෝගීව කල්ගත කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.
අළුවිහාර විහාරස්ථානයට කිට්ටු ස්ථානයක පිහිටි “රාජාංගනය” නමැති දැලිවල ඔයේ විශාල ගල්ලෙනක් අසල ඇති නිල්වලට බසින්නට ගලේ පඩිපෙළක් කොටා ඇති අතර රහතුන් වහන්සේ ස්නානය සඳහා එම ස්ථානයට පැමිණ ඇති බව ජනප්‍රවාදයෙන් පැවසේ.
එම ගම් ප්‍රදේශය “රහතුන් හැදූ තොට” රහත්තොට වී අද වන විට රත්තොට බවට පත්වී ඇතැයි ද කියැවේ.
මාතලේ අළුවිහාරයේ අළු ලෙන් විහාරයේදී සිදු කළ ධර්ම සංගායනාව 5 වැනි සංගායනාව ලෙස බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව (ඉන්දියාවේ) ජම්බුදීපයෙහි අජාසත්ත රජතුමාගේ අනුග්‍රහයෙන් හා මහාකාශ්‍යප හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සංගායනාව ප්‍රථම සංගායනාව ලෙස දැක්වේ.
ඉන්පසුව කටවහරින්ම පවත්වාගෙන ආ බුදුදහම හා ධර්ම විනය ආනන්ද තෙරුන් වහන්සේ විසින් අනිකුත් සංඝයා වහන්සේට සජ්ඣායනා කොට ඇත. බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වරයා වූ ආනන්ද හිමියෝ මුල සිටම පිරිනිවන් පාන අවස්ථාව දක්වාම බුදුන් වහන්සේ ළඟින්ම සිටි නිසා පළමුවැනි ධර්ම සංගායනාවේ විනය සජ්ඣායනා කිරීමේ වගකීම පැවරි තිබිණ.
ආනන්ද හිමියන් සජ්ඣායනා කළ ධර්ම විනය රැස්ව සිටි මහා සංඝරත්නය සිත්හි ධාරණය කරගත් අතර බුදුරජාණන් වහන්සේගෙන් විනය පිළිබඳ අග්‍ර තනතුර හිමිකරගෙන සිටි උපාලි මහ තෙරුන් වහන්සේ හා ආනන්ද මහ තෙරුන් වහන්සේගේ සිට පරම්පරාවෙන් පරම්පරාවට කටවහරින් ගෙන ආ බුදු දහම දෙවැනි වරට සජ්ඣායනා කිරීම විශාලා නුවර දී සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිය වසරකට පසුව කාලාශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් සබ්බකාමී මහරහතුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. එය දෙවැනි ධර්ම සංගායනාව ලෙස සැලකේ.
මෙහිදී ථේරවාදී බුදු දහම එලෙසින්ම තහවුරු කරගත් අතර සම්බුද්ධ පරිනිර්වාණයෙන් 235 වසරකට පසුව ඇති වූ ශාසන අර්බුදයක් නිසා පැලලුප් නුවර ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තෙවැනි ධර්ම සංගායනාව පවත්වා මුලින් සම්මත වූ ථේරවාදී බුදු දහම එලෙසින් ම අනුමත කරගන ඇත.
මෙසේ සංගායනා තුනකින් සම්මත වූ බුදු දහම ඊට වසරකට පසුව සිරිලකට වැඩිය මිහිඳු හිමියන් වෙතින් අර්ථ කතා සහිතව දැන උගෙන ධාරණේ කරගත් අරිට්ඨ මහරහතුන් වහන්සේ ප්‍රධාන සිංහල භික්ෂු සමූහයා මෙරටින් බිහි වූ අතර වැඩි කලක් යෑමට පෙර දෙවැනි පෑතිස් රජතුමාගේ අනුග්‍රහය ලබාගෙන මිහිඳු මා හිමිපාණන් ඉදිරියේ දී බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පැවැත් වූ සිව්වැනි ධර්ම සංගායනාව ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේදී පවත්වන ලදී.
ඉන් පසුව වසර 218ක කාලයක් කට වහරින් බුදු දහම පවත්වාගෙන ආ අතර වලගම්බා රජතුමාගේ පාලන සමයේ දී ශාසන ඉතිහාසයේ අර්බුදකාරී තත්ත්වයක් පැන නැඟීමත්, වසර 12ක කාලයක් පැවැති බැමිණිතියා සාය නම් වූ දුර්භික්ෂය නිසා බුදු සසුනට මහත් බලපෑමක් එල්ල වීම නිසා මෙතෙක් කාලයක්ම කට වහරින් පවත්වාගෙන ආ බුදුදහම විනාශ වී යෑමට ඉඩ නොදී පවත්වාගෙන යෑම සඳහා ධර්ම සංගායනාවක් පැවැත්වීමටත් ධර්ම විනය ග්‍රන්ථාරූඪ කිරීමටත් මහා සංඝයා වහන්සේ තීරණය කළහ.
එම තීරණයත් සමඟ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම කල් ගියේ ඉඩකඩ ඇති ස්ථානයක් සොයා ගැනීමේ අපහසුව නිසා ය.
පසුව ඒ සඳහා ඉඩකඩ ඇති ස්ථානයක් ලෙස මාතලේ අළුලෙන් විහාරය තෝරාගෙන ඇත්තේ රහතුන් වහන්සේට පහසුකම් සැලසිය හැකි ලෙන් රාශියක් තිබූ නිසාය.
ඒ අනුව අනුරාධපුරයේ ථූපාරාමවාසී (තුන්තගත්ත) තිස්ස මහා ස්ථවිර ප්‍රමුඛ තෝරාගත් ත්‍රිපිටක ධාරී රහතුන් වහන්සේ 500ක් දෙනා මාතලේ බාරව සිටි ජනපද අධිපති මන්ත්‍රීවරයාගේ අනුග්‍රහය ලබා ගෙන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලද බව පැවසේ.
දඹදෙනි යුගයට අයත් “පූජාවලියේ” ගම්පොල යුගයට අයත් “නිකාය සංග්‍රහයේ” ශාසනික හා අප්‍රකට තොරතුරු රැසක් ඉදිරිපත් කරන මහනුවර යුගයට අයත් ‘අස්ගිරි තල්පතේ’ සඳහන් කරුණු අනුව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සිදු කළේ මාතලේ අළුවිහාරේ පිහිටි අළු ලෙන් විහාරයේදී බව නිසැකවම කිව හැකි බව අළුවිහාරේ සරණංකර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
මේ සම්බන්ධයෙන් කළ විමසුම කදී මාතලේ දිසා ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතා දැනට සොයාගෙන ඇතැයි කියන ලෙන් පිළිබඳව සොයා බලා වාර්තාවක් සපයන ලෙස සංස්කෘතික අංශයට දැන්වීමෙන් අනතුරුව ඔවුන් කණ්ඩායමක් අළුවිහාරයේ කඳු මුදුනට ගොස් කළ විමර්ශනය අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දන්වා යවා ඇති බවත්, එම දෙපාර්තමේන්තුව නුදුරේ දිනකදී පැමිණ ඒ ගැන සොයා බලනු ඇතැයි ද පැවැසීය.
(ඓතිහාසික තොරතුරු “ඓතිහාසික මාතලේ” කෘතියෙනි.)

(මෙම ලිපියෙහි තද පාටින් සලකුණු කරන කරැණූ පිලිබදව ඔබගේ දැඩි අවධානය යොමු වෙනු ඇතැයි සිතමි. මෙම විෂය සම්බන්ධයෙන් මෙවැනි විද්වත් අදහස් ඉදිරියටත් කතා කිරීමට බලාපොරොත්තු වන්න… )