අන් අයට උපකාර කිරීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


සර්වබලධාරී අල්ලාහ් (දෙවි) මිනිසුන්ව නිර්මාණය කර ඇත්තේ ඔවුන් එකිනෙකා සමඟ සම්බන්ධ වී එකිනෙකා සමඟ බැඳී සිටින සමාජ සත්වයෙකු ලෙසයි. ඔහුට තනිව ජීවත් වීමේ හැකියාව උපතින්ම උරුම කරදී නොමැතිවා පමණක් නොව සමාජ ‘මිත්‍රත්ව’ සහ ‘ආදරය’ ඔහු තුල අසීමිතව වර්ධනය කොට ඇත. මෙම දිව්‍යමය සැලැස්ම හේතුවෙන් ඔවුන් එකිනෙකාගේ අවශ්‍යතා අවබෝධ කොටගෙන කටයුතු කිරීම ඔවුන්ගේ ස්වභාවය මෙන්ම වගකීම ද වී ඇත.

මිනිසුන්ගේ අවශ්‍යතා හදුනාගෙන ඔවුනට උපකාර කිරීම ඉස්ලාම් දහම ඉමහත් කුසල ක්‍රියාවක් ලෙස සමාජයට අවදාරණය කරයි. එහිදී සමාජයට ඉටු කරන උපකාරයේ ස්වභාවය අනුව විවිධ වූ භාග්‍යයන් දිනා ගැනීමේ මාර්ගයන් ද ඉස්ලාම් නිර්දේශ කරයි. පරලොව සාර්ථකත්වය ලබා ගැනීමට මඟ පාදන මෙම විශිෂ්ට මාර්ගයන් උපරිම ප්‍රයෝජනයට ගන්නා පිරිස් ඉතා ස්වල්පයක් වීම අවාසනාවන්ත තත්වයකි. විශාල භාග්‍යයන් ගණනාවක් නිර්දේශ කොට තිබියදීත්, ස්වභාවයෙන්ම සමාජශීලිව මවා තිබියදීත් මිනිසුන් අන් අයට උපකාර කිරීමෙන් වළක්වන්නේ කුසල ක්‍රියාවට ඇති නැඹූරුව ෂෙයිතාන්ගේ කුමණ්ත්‍රණය හමුවේ කල නොහැකි වීම නිසා සහ ලෝකය හා ලෞකික වස්තූන් කෙරෙහි ඇති කෑදරකම දේව නියෝග ඉක්මවූ එකක් වීම නිසා මිස අන් කිසිවක් නිසා නොවේ.

මේ ලෝකය තුළ බිලියන 7 ක පමණ ජනතාවක් වාසය කරයි, නමුත් අවාසනාව නම්, සමාජශීලී මිනිසුන් අතුරින් බහුතරය මෙතරම් විශාල ලෝකය තුල හුදෙකලාව සහ කුඩා කණ්ඩයම් ලෙස අසරණව ජීවත්වීමයි. විශේෂයෙන් අල්ලාහ් (දෙවි) මත පමණක් විශ්වාසය තබා ජීවත් වන මුස්ලීම්වරුන් මෙවැනි අසරණ ප්‍රජාව තුල සැලකිය යුතු තරමින් සිටීම ඉතා කණගාටුදායක තත්වයකි. අල්ලාහ් (දෙවි) අපට පවුලක් හා ඥාති හිතමිත්‍රයන් ඇති කොට එකින් එකා අතර උපකාර කිරීමේ අවස්ථාව උදාකර දී ඇත්තේ මෙලොව සෑම කෙනෙකුම තම ජීවිතයේ කිසියම් අවස්ථාවක කිසියම් ආකාරයක දුෂ්කරතාවයන්ට හෝ වේදනාවන්ට ලක්වන බැවින් හා ඔවුනට අන් අයගේ උපකාර අවශ්‍ය වන බැවිනි.

ඉස්ලාමීය රාමුව තුල අන් අයට උපකාර කිරීමේ වැදගත්කම විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි. අන් අයට උපකාර කිරීම යන විෂය පිලිබදව කථා කරන විට එහි පරම ආදර්ශයක් පෙන්වූ මුහම්මද් (සල්) තුමාණන්ගේ මඟ පෙන්වීම කථා නොකොටම බැරිය. එවැනි මඟ පෙන්වීමන් කිහිපයක් වෙත මුලින්ම අවදානය යොමු කරන්නේ නම්,

වරක් මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසීය

කිසිවකු විශ්වාසවන්තයෙකු (මුස්ලීම්වරයෙකු)ගේ මෙලොව දුක් කරදරයක් පීඩාවක් දුරු කරයිද, අල්ලාහ් (දෙවි) ඔහුගේ පරලොව දුෂ්කරතාවලින් මුදා හරිනු ඇත. එසේම තම ණය ආපසු ගෙවා ගත නොහැකිව පීඩාවිඳින අයකුගේ තත්වය කිසිවකු සමනය කරයිද, අල්ලාහ් මෙලොව හා පරලොව යන දෙආකාරයෙන්ම ඔහුගේ ඉරණම යහපත් කරයි. යමෙක් මුස්ලිම්වරයෙකුගේ වැරදි සඟවන්නේද, අල්ලාහ් මෙලොවදී සහ පරලොවදී ඔහුගේ වැරදි සඟවයි.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම්

මිනිසුන්ට උපකාර කිරීම දේව නැමදුමේ අංගයක් යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. එය පහත අල්කුර්ආන් වාක්‍යය මඟින් ද සනාථ වේ.

අල් කුර්ආනයේ, අල්ලාහ් (දෙවි) මෙසේ පවසයි:

භක්තිය සහ දැහැමි ක්‍රියාවන්හිදී එකිනෙකාට උපකාර කරන්න. තවද පාපකාරී ක්‍රියාවන්හි සහ අපරාධවල දී එකිනෙකාට උදව් නොකරන්න. තවද අල්ලාහ් ගැන දැනුවත් වන්න. නියත වශයෙන්ම අල්ලාහ් දඩුවම් කිරීමේදී දැඩිය” 

අල්කුර්ආනය 5:2

ඉහත දිව්‍ය වදන් බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, අන් අයට උපකාර කිරීම ඉස්ලාම් දහම තුල කොතරම් වැදගත් අංගයක්ද? යන්නත්, එය ඉස්ලාම් දහම මිනිස් සමාජයට කොතරම් උනන්දු කරනවාද? යන්නත් ඔබට අවබෝධ වියයුතුය. මෙම විෂය ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට කොතරම් උනන්දු කරනවාද? යන්න අවබෝධ කරගැනීම පිණිස තවත් දිව්‍යමය අවවාද කිහිපයක් ඔබේ විමසුමට ගෙන එන්නේ නම්,

ඔබගෙන් කිසිවෙක් තමන් කැමැත්තක් දක්වන්නක් තම සහෝදරයාට (ලබාදීමට) කැමැත්තක් දක්වන තුරු විශ්වාසවන්තයෙකු (මුස්ලීම්වරයෙකු)  නොවේ.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

මුස්ලිම්වරයෙකු යනු තවත් කෙනෙකුට පීඩා නොකරන හා  ඔහුට උපකාර කරන සහෝදරයෙකි. තම සහෝදරයාගේ අවශ්‍යතාවය සොයා එයට උපකාර කරන්නේ කවුරුන්ද, අල්ලාහ් (දෙවි) ඔහුගේ අවශ්‍යතාවයට අනුව කටයුතු කරනු ඇත, එසේම මුස්ලිම්වරයෙකු විපත්තිකාර තත්වයෙන් මුදවාගන්න කවුරුන් කටයුතු කරන්නේද අල්ලාහ් (දෙවි) ඔහුව මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේ දුක්ඛිත තත්වයකින් මුදවාගන්නේය. එසේම  මුස්ලිම්වරයෙකුව කිසිවකු ආරක්ෂා කරන්නේ නම්, විනිශ්චය දිනයේදී අල්ලාහ් (දෙවි) ඔහුව ආරක්ෂා කරන්නේය.

මුලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත දිව්‍යමය වදන් තුලින් මුස්ලිම්වරයෙකු හට මෙලොවදී උපකාර කිරීම හා දුක්ඛිත තත්වයන්ගෙන් ඔවුන් මුදවා ගැනීම කොතරම් විශාල භාග්‍යයන්ට මං පාදන කුසල ක්‍රියාවක්ද? යන්න පැහැදිලි වේ. එසේම අන් අයට උපකාර කිරීම සහ ඔවුන්ට යහපතක්ම අපේක්ෂා කිරීම ඉස්ලාම් දහම කොතරම් මිනිස් සමාජයට අවදාරණය කරනවාද? යන්න සහ සැලකිලීමත් වනවාද? යන්න ඉහත නබිවදන් තුලින් තහවුරු වේ. මෙය තවදුරටත් උනන්දු කරවන තවත් දිව්‍යමය වදන් කිහිපයක් ඔබේ විමසුමට ගෙන එන්නේ නම්,

අල්ලාහ් (දෙවි) සහ අවසාන දිනය විශ්වාස කරන ඕනෑම අයෙකු තම අසල්වැසියාට හානියක් නොකළ යුතු අතර, අල්ලාහ් (දෙවි) සහ අවසාන දිනය විශ්වාස කරන ඕනෑම අයෙකු තම ආගන්තුකයාට නොමසුරුව සංග්‍රහ කළ යුතු වේ.  අල්ලාහ් (දෙවි) සහ අවසාන දිනය විශ්වාස කරන ඕනෑම අයෙකු කතා කළ යුත්තේ කුමක් ද යන්න පිලිබදව අවබෝධයෙන් කතා කළයුතු බවත් නොඑසේ නම් නිහඬව සිටිය යුතු බවත් නබිතුමාණන් පැවසූහ.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි සහ මුස්ලිම්

අල්ලාහ් (දෙවි) මෘදු වන අතර ඔහු මෘදුකමට ප්‍රිය කරයි. ඔහු කර්කශ බව ප්‍රිය නොකරයි. ඔහු මෘදුකම සඳහා කුසල් ලබාදෙන අතර, ඔහු එවැනි වෙනත් කිසිවක් සදහා එලෙස කුසල් ලබාදෙන්නේ නැත. 

මූලාශ්‍ර ග්‍රන්ථය- මුස්ලිම්

දුප්පත්, අනාථ සහ වහල්භාවයේ සිටින අල්ලාහ්ට ආදරය, (කියමින්) “අපි ඔබව පෝෂණය කරන්නේ අල්ලාහ් වෙනුවෙන් පමණි: අපි ඔබෙන් කිසිම විපාකයක් බලාපොරොත්තු නොවෙමු, ස්තුති කරන්නෙමු.”

අල්කුර්ආනය 76-9

රටඉඳි කෑල්ලක් පුණ්‍යානුමෝදනාවක් වශයෙන් දීමෙන් හෝ අපා ගින්නෙන් ආරක්ෂා වන්න.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි සහ මුස්ලිම්.

ඔබ (අල්ලාහ් (දෙවි)) විශ්වාස කරන තුරු ස්වර්ගයට ඇතුළු නොවනු ඇත, ඔබ එකිනෙකාට ආදරය කරන තුරු ඔබ විශ්වාස කරන්නෙකු නොවනු ඇත. ඔබ එසේ කරන්නේ නම්, ඔබලා එකිනෙකාට ආදරය කරන දෙයක් ගැන මා පවසන්නම්, ‘ඔබ අතරේ සලාමය පතුරවන්න’.

මූලාශ්‍ර ග්‍රන්ථය- මුස්ලිම්

ඉහත දිව්‍යමය මඟපෙන්වීමන් හි ඉස්ලාම් දහම අවදාරණය කරන කරුණු සාරංශ කොට පෙලගසන්නේ නම්,

  • අන් අයට උපකාර කිරීම එහි ඉස්ලාම් උනන්දු කරයි,
  • ආගන්තුකයන් සම්බන්ධයෙන් ත්‍යාගශීලීව කටයුතු කරන ලෙස ඉස්ලාම් උනන්දු කරයි,
  • වචනයකින් හෝ අන් අය රිදවීමෙන් වළකින ලෙස ඉස්ලාම් පවසයි.
  • අන් අය සම්බන්ධයෙන් කරුණාවන්ත වන ලෙස ඉස්ලාම් උනන්දු කරයි.
  • දුප්පතුන්ට, අනාථයින්ට සහ වහල්භාවයේ සිටින පිරිසට උපකාර කලයුත්තේ අල්ලාහ් (දෙවි)ගේ ආදරය අපේකෂාවෙන් පමණක් බව ඉස්ලාම් පවසයි.
  • තමන්ගේ ශක්තියට හැකි පමණින් උපකාර කිරීමට පසුබට නොවන ලෙස ඉස්ලාම් අවවාද කරයි.
  • එකින් එකාට අදාරය කරන තුරු නුඹලා සැබෑ මුස්ලීම්වරුන් නොවන බව ඉස්ලාම් පවසයි.

අන් අයට උපකාර කිරීම සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයට ඉස්ලාම් දහම අවවාද කරන අවවාද හා මඟපෙන්වීම් කිහිපයක් ඉහතින් විමසා බැලුවෙමු. මෙවැනි අවවාද තවත් බොහෝමයක් ඉස්ලාම් දහම තුල දක්නට ඇති අතර ‘යහගුණ’ යන ගොනුව යටතේ ඒ පිලිබදව මීට ඉහත මෙම අඩවිය තුල විවිධ මාතෘකාවන් ඔස්සේ සාකච්චා කොට ද ඇත්තෙමු.

මේ අනුව නූතන සංකීර්ණ හා අර්බුද පිරි ලෝකය තුල විශේෂයෙන් උද්ධමනය හා ස්වභාවික විපත් නිරන්තරයෙන් වාර්ථා වන ලෝකය තුල එකින් එකා අතර අන්‍යයොන්‍ය බැඳීම සහ උදව් උපකාරය දැවෙන අවශ්‍යතාවයක් වී ඇත. ඒ සදහා අප සියළුදෙනාගේ මනස අල්ලාහ් (දෙවි) විශාල කරදෙත්වා! යනුවෙන් ප්‍රාර්ථනා කරමින් මෙම සටහන අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/10/24

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම