අනුන්ට ‘හලාල්’ කැවීමට අපට උවමනා ද

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


සමහරක් අයවලුන්ට මේ දිනවල තිබෙන දැවෙනම ප්‍රශ්නය බවට ‘හලාල්’ පත් වී තිබෙන අයුරක් දක්නට ලැබේ. නොයෙකුත් වෙබ් අඩවි මගින් මේ පිලිබදව කරුණු පැහැදිලි කිරීම් දක්නට තිබෙන නමුත් එසේ කරුණු පැහැදිලි කිරීම් මධ්‍යයේත් නැවත නැවතත් අසත්‍යය ප්‍රචාරයන් පැතිරවීම සිදුවන බවක් පෙනීමට තිබේ. සියල්ලන්ගේම අදහස් උපේක්ෂා සහගතව කියවා බලා, මාගේ නිහඬතාවය බිඳ මාගේ පළමු ලිපිය මෙසේ පල කිරීමට තීරණය කලෙමි. මේ ප්‍රයත්නය සියලු දෙනා අතර අවබෝධය ඇති කර ගැනීම සඳහා පමණක් වන අතර, ප්‍රතිචාර හෝ, විවාදයක් බලාපොරොත්තුවෙන් නොවේ.

හලාල් පිලිබඳ ප්‍රශ්නයට හේතුන් කුමක්ද ?

හලාල් පිලිබඳ ප්‍රශ්නයක් ඇති වීමට හේතු ලෙස මා දකින්නේ අනවබෝදය, චේතාන්විත උසි ගැන්වීම් හා බියයි. සමහරෙක් හලාල් යනු අල්ලාහ් දෙවියන්ට කැප කල ආහාර යයිද එම නිසා අපට නුසුදුසු යයි පවසයි. විශේෂයෙන් සංඝයා වහන්සේලාට පූජා කරන ලද ආහාර වල හලාල් ලේබලය තිබීම ඔවුනට කුකුසක් ඇති කිරීමට හේතුවක් වී ඇති බව පෙනේ. මාංශ වලට හලාල් සහතිකය තිබීම අවබෝධ කරගැනීමට පහසු වුනත්, වතුර බෝතලයේ සිට, තේ කොළ පැකට්ටු වලට පාවා හලාල් සහතිකය තිබීම සමහරකට ප්‍රශ්නයකි. සමහරෙක්ට හලාල් යනු, අනුමත යයිද, එය ආහාර සඳහා පමණක් නොවන බවත් එය අපගේ ලෞකික ජීවිතයේ සියලු අංග වෙත බලපාන බවත්, උදාහරණයක් ලෙස, විවාහයේදී පවා තම මනාලිය හලාල් විය යුතු බව පවසද්දී [1], කාන්තාවන් මහ මග හලාල් ලේබලය ගසාගෙන යනවාදැයි පවා අසති. මේ සියල්ල අනවබෝදයේ ප්‍රතිපලයන්ය. සත්‍යය වශයෙන්ම මේ පිළිබඳව නොදැනුවත් කමෙන්, වැරදි වැටහීමෙන් සිටිනා කෙනෙක්ට මේ පිලිබඳ පැහැදිලි කිරීමක් දීම එතරම් අපහසු කාරණයක් නොවේ.

නමුත් අනවබෝදයට වඩා මෙතන තිබෙනුයේ චේතාන්විත උසි ගැන්වීම් වන බවද පසක් වන කරුණකි. කෙතරම් පැහැදිලි කරත්, කෙතරම් උත්සාහයක් ගත්තත්, මොවුන් දරන මතය වෙනස් කිරීම පහසු නොවේ. සමහරක් අයට තම මතය වෙනස් නොකිරීම ආඩම්බරයට කරුණකි. මමත්වය නිසා තම මතයේ එල්බගෙන සිටින්නවුන්ද සිටිති. ප්‍රශ්න කිරීමද, පිළිතුරු සැපයීමද නිමක් නොවන අයුරකි. කෙමෙන් කෙමෙන් දෙපාර්ශවයේම මනස් කෙලෙස් වීම සිදුවන බවක්ද, ආගමික මතවාදයන් අවසානයේ පෞද්ගලික පහර ගැසීම්, චරිත ඝාතන හා නොසරුප් වදන් වලින් (දැනට) කෙලවර වෙන බවක් පෙනීමට තිබේ. මමත්වය හැරුණු කොට, සැඟවුණු න්‍යාය පත්‍රයයන් සහිත අයවලුන්ද මෙහි නැත්තා යයි කාටනම් කිව හැකිද, රුදුරු ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව, තම සාක්ෂාත් මුදුන්පත් කර ගැනීමට නොහැකි වූ පිරිස් විසින් හසුරුවන උසි ගැන්වීමද මේ අතර නැත්තා යයි කාටනම් කිව හැකිද?

අනවබෝදය මත හෝ චේතාන්විත උසිගැන්වීම් මත හෝ මෙම සිදුවන දෙයට පෘතක්ජනයා දායකත්වය දෙන්නේ බිය පදනම් කරගෙනය. මිනිසා තම පැවැත්ම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පෙළඹෙන සත්වයෙකි. තමන්ගේ පැවැත්මට තර්ජනයක් වෙන විට ඉච්චානුගත මෙන්ම අනිච්චානුගත ක්‍රියා ද මිනිස් සිරුරේ සිදුවන බව අපි දනිමු [2]. තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන විට, මිනිසා ක්‍රියා කරන ආකාරය සමහරක් විට සියලු සත්වයෝ අභිබවා යාමටද පුළුවන. සමහරක් නායකයින් කියාගත් අයවලුන් කරන්නේ, පෘතක්ජනයාගේ මෙම බිය තීව්ර කරමින්, ඔවුන්ව අනවශ්‍ය බියට පත් කරමින් තමන්ගේ පෞද්ගලික සිතුවිල්ලක් සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය සේනාව රැස් කිරීමයි. හලාල් සම්බන්ධ ප්‍රශ්නයට මෙය ආදේශ කළහොත් මෙම බියට හේතුව කුමක්ද? කෙතරම් පැහැදිලි කරත් මෙම බිය තුරන් නොවන්නේ ඇයිද යයි අපි ස්වයං විවේචනයක දීම අවශ්‍යතාවයකි. මාගේ මතය අනුව, මෙයට හේතුව ජාතික හා අන්තර්ජාතික වශයෙන්, අපගේම මුස්ලිම් වරුන් විසින් සිදු කල, සිදු කරන සමහරක් ක්‍රියා සහ මුස්ලිම් වරුන් සිදු කළා යයි කියන ක්‍රියා මගින් සමස්ත මුස්ලිම් වර්ගයා ගැනත්, එයින් ඔබ්බට ගොස්, ඉස්ලාම් ආගම ගැනත් වැරදි සිතුවිලි සිතට කාවැදී තිබීමයි. මෙයට මුස්ලිම් වරුන් වශයෙන් අපගේ ක්‍රියා ගැන අපට වග වීමට තිබේ. එක් හාමුදුරු නමක් ‘කුඩු ගෙනල්ල හැමෝටම බෙදද්දී, ඒවාට හලාල් නැහැ’ කියා පවසයි [3]. හලාල් සම්බන්දව කතා කිරීමේදී සමහරක් මුස්ලිම් වරුන්ගේ වැරදි ක්‍රියා ඇද ගැනීම, අපිට ‘කොහෙද යන්නේ මල්ලේ පොල්’ කියා ඉවත දැමිය නොහැක්කේ, නුග ගස පෝෂණය කල කුඩා දිය බින්දු ඒවා වන බැවිනි. කෙනෙකු ගැන සිතේ පහල වෙන පළමු සිතුවිල්ල ඉතාම ප්‍රබල බව කියවේ [4]. ඉස්ලාම් ආගම ගැන පළමු සිතුවිල්ල අන්‍යයන්ට දෙන්නේ මුස්ලිම් වරුන්ය. එම පළමු සිතුවිල්ලෙන් අපි ලබා දුන්නේ වැරදි පණිවිඩයක් නම් එය වෙනස් කිරීමට කලාන්තරයක යහපත් ක්‍රියා පවා ප්‍රයෝජනවත් නොවේ. පිරිමියෙක් වාහනයක් අනතුරකට භාජනයට පත් කල විට අපි ඔහුට බැනීමටත්, කාන්තාවක් වාහනයක් අනතුරකට පත් කල විට, ‘ගෑණු කවදද හරියට ඩ්‍රයිව් කරේ’ යයි සමස්ත කාන්තාවන්ටම පැවසීමත් මෙම සාමන්‍යයීකරණය ට උදාහරණයකි. කාන්තාවන් කෙතරම් හොඳින් රිය පදවා පෙන්වුවද අප විශ්වාස කරන දේ වෙනස් කිරීමට අකමැත්තෙමු. හලාල් ගැන කෙතරම් විස්තරයක් කලත්, අවසානයේ, “හරි හලාල් සහතිකේ හරියි කියමුකෝ, එත් මුස්ලිම් කට්ටිය හොර හරක් එක හරිද කියන්නකෝ…” යනුවෙන් මෙම සංවාදය අවසන් වීමට පවා පුළුවන. මෙය ‘cognitive dissonance’ ලෙස හැදින්වේ [5][6]. එම නිසා හලාල් ගැන පැහැදිලි කිරීමෙන් සමහරක් අයවලුන්ට මේ පිලිබඳ අවබෝදයක් දිය හැකි මුත් සමස්තයක් ලෙස අප වටහා ගත යුත්තේ අද ඉස්ලාමයට ඇති ප්‍රධානම තර්ජනය මුස්ලිම් වරුන්ගේ ම ක්‍රියා මිස අන්‍ය ආගමිකයන් නොවන බවයි.

මුස්ලිම්වරු හලාල් දකින කෝණය කුමක්ද?

සමහරක් වසර 2000 ට කලින් හලාල් කෑවේ නැතිදැයි අසති. වසර 2000 නොව, නබි තුමා විසින් කුමක් හලාල් නැත්ද යයි පැවසු විගස සිට, මුස්ලිම් වරුන් විසින් ඒවා කෑවේ නැත, කරේද නැත. මුස්ලිම් වරයකුගේ ජීවිතය යනු දෙවියන් විසින් කිරීමට අනුමත දේ කර, අනුමත නොකළ දේ නොකර, දෙවියන්ගේ ආශිර්වාදයත්, එලොව විමුක්තියත් ලබාගැනීම කියා පැවසුවත් වැරදි නැති සිතමි. “අන්‍ය කාන්තාවන් දුටු විට තම බැල්ම පහත කරගන්න, දෙවන වර බැලීම ඔබට තහනම් වේ”, “අනාථයන්ගේ දේපල ඔබට තහනම් වේ”, “තවත් කෙනෙකුගේ ආත්ම ගරුත්වය කෙළසීම ඔබට තහනම් වේ”. “ධාන්‍ය වර්ග තෙතමනයේ තිබියදී බර කිරා විකිණීම තහනම් වේ”, “පොලිය ඔබට තහනම් වේ”, “මධ්‍යසාරයේ සමහරක් යහපත් තිබුනත්, අයහපත යහපතට වඩා වැඩි බැවින් එය ඔබට තහනම් වේ” යනාදී වශයෙන් බොහොමයක් අපගේ නබි තුමා විසින් පවසා ඇති බවත්, කුරානයේ පවසන බවත් අප කුඩා කල සිට අසා ඇත්තෙමු [7]. හලාල් නොහොත් අනුමත දැය පමණක් අනුභව කිරීම, අනුමත දෑ පමණක් කිරීම, අනුමත ක්‍රමයට පමණක් ඉපයීම, මුස්ලිම් වරයෙක්ට කෙතරම් වැදගත්ද යයි කෙටියෙන් පවසන්නේද නම්, “අනුමත නොවන දෙයින් පෝෂණය වූ ශරීරය ස්වර්ගයට නොයයි” යයි නබි තුමා පවසා ඇත [8]. හලාල් සහතිකේ නැත්නම් අපට අන්‍ය ආගමිකයන්ගේ ව්‍යාපාර වර්ජනය කල යුතු යයි අවශ්‍යතාවයක් නොමැත. ලංකාවේ කිසිම මුස්ලිම් වරකට, අන්‍ය ආගමික වියාපාර වර්ජනය කර ලංකාව මුස්ලිම් දේශයක් කිරීමට අවශ්‍යතාවය ඇති නොසිතමි. අපට හලාල් නැත්නම් කෑ නොහැක, මන්ද යත්, අප පරලොව විමුක්තිය අරමුණ කරමින් ජීවත් වෙන බැවිනි. අපට හලාල් නොමැති නම් අපි තියන දෙයක් කා ඉන්නෙමු. බඩගින්න නිවා ගැනීමට කිසිම හලාල් ආහාරයක් නොවන තාක් කල්, කොළ ජාති අනුබව කරමින් සිටීමට හෝ මුස්ලිම් වරුන් සැදී සිටි.

මෙන්න මෙවන් පසුබික සිටින මුස්ලිම් මිනිසුන්, ඈත අතීතයේදී පවා වෙළඳ සලකට ගොසින් භාණ්ඩයක් මිල දී ගන්නේ නම්, එහි අඩංගු දැ බැලීමට පුරුදු වී සිටියහ. මාංශ අඩංගු, මද්‍යසාර අඩංගු දැයි බලමින් ඒවා මිල දී ගැනීමට ඔවුන් පුරුදු වී සිටියහ. නමුත් දැන් අහාර නිෂ්පාදන ක්‍රියාවලිය සංකීර්ණ වී තිබේ, එලෙසම එයට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය සංකීර්ණ වී තිබේ. එම නිසා මුස්ලිම් ප්‍රජාව පසුගිය කාලයේ වෙළඳ සල් වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී මහත් අපහසුවකට පත් වෙමින් තිබුණි. ආහාර වල අඩංගු රසය හා වර්ණය වෙනස් කරන රසායනික ද්‍රව්‍ය සඳහා e-කේත (E -number) භාවිතා කෙරන බැවින් [9] සමහරුන් එම කේත කොළ වල ලියමින් තමන් ගන්නා භාණ්ඩ වල එකින් එක පරික්ෂා කරමින් මහත් පරිශ්‍රමයක් දරනු පවා දිස්වුනි [10]. මෙවන් අවදියක මෙම කටයුත්ත එක් කමිටුවක් මගින් කිරීම කාලින අවශ්‍යතාවයක් වූ අතර, බොහෝ රටවල හලාල් සහතික කරන කමිටු ස්ථාපනය විය. මෙම කමිටු වල මුදල් ත්‍රස්තවාදී සංවිධාන වලට යන බව නවතම චෝදනාවයි. හලාල් කමිටු නමින් ත්‍රස්තවාදීනට මුදල් යවනවානම් එය එම කමිටුවේ ප්‍රශ්නයකි, හලාල් සහතික කරන කමිටු ඇත්තේ ඒ සඳහා නොවේ, මුස්ලිම් වරුන්ට බියකින් තොරව තම ශරීරයට අනුමත දෑ පමණක් යනවා යන විශ්වාසයෙන්, අනවශ්‍ය පෞද්ගලික පරිශ්‍රමයකින් මුදවා ගැනීමටයි. මෙම හලාල් කමිටු මගින් ආහාරයේ අඩංගු දෑ මෙන්ම ක්‍රියාවලිය පවා අධීක්ෂණයට ලක් කරයි. මෙම හලාල් සහතික ප්‍රයත්නයේදී, සමහර ආයතන තමන්ගේ අඩංගු දෑ, නිෂ්පාදන ක්‍රියාවලි පවා වෙනස් කර ඇති බව අසන්නට තිබේ. තම ආයතන සම්පූර්ණයෙන් ඌරු මේදයෙන් තුරන් බවත් හලාල් සහතික ක්‍රියාවලිය හමුවේ භාණ්ඩ වල තත්වය තවත් උසස් වූ බවත් ආඩම්බරයෙන්, ප්‍රසංසා මුඛයෙන් කතා කරන අන්‍ය ආගමික ව්‍යාපාර ගැන අද නොව අපිට වසර ගණනාවකට කලින් පවා ඇසීමට ලැබුණි [11]. බිස්කට්ටුවක පවා ඌරු මේදය අඩංගු වීමට තිබියදී, එයින් පිරිසුදු වූ බිස්කට්ටුවක් හෝ ලැබීම මාංශ භක්ෂයෙන් තොරව ජීවත් වීමට තීරණය කල මිනිසුන්ට පවා අස්වැසිල්ලක් නොවේද?

මුස්ලිම් වරුන් පමණද අනුමත ආහාර පමණක් පරිබෝජනය කරන්නේ?

මා අසා ඇති පරිදි යුදෙව්වන් අනුබව කරන්නේ ‘කොශේර්’ නමැති ආකාරයට සැකසු ආහාර පමණි [12]. එලෙසම සම්පූර්ණ මාංශ භාක්ෂයෙන් තොරවූ අයවලුන් සඳහා ශාකභාක්ෂක සලකුණක්ද තිබේ [13]. මේවා එම ආයතන විසින් වැඩිමනත් පාරිභෝගිකයන් ආකර්ෂණය කොට වැඩි පුර නිෂ්පාදය කරමින් නිෂ්පාදන පිරිවැය අඩු කරගැනීමටත්, වැඩි පාරිභෝගිකයන් ප්‍රමනයකගෙන් වැඩි ආදායමක් ලබාගැනීමටත් කරන උත්සාහයන්ය. මේ දිනවල උත්සන්න වෙන හලාල් වර්ජනය හමුවේ, ආයතන හලාල් ලාංජනය නොමැතිව භාණ්ඩ නිකුත් කලද එයද ඔවුන් හලාල් වර්ජකයින් ද ආකර්ෂණය කිරීමට දරන උත්සහයක් මිස වෙන කිසිත් නොවේ. ගුවන් ගමන් යෙදන අවස්තාවන් වලදී, තමන්ගේ ආහාර සැකස්විය යුතු රුචිය වේලාසනින් දැන්වීමට (හලාල්, කොශේර්, ශාකභාක්ෂක, ග්ලුටෙන්-රහිත) බොහෝ ගුවන් සමාගම් වල අවකාශ ඇත. මෙයින් පැහැදිලි වන්නේ, ගෝලීය වශයෙන් මිනිසුන් අතර ආහාර සකස් කිරීමේ වෙනස් පිළිවෙත් ඇති බවත්ය. අන් සමජයන්ගේ එම මතයන් නිර්දය ලෙස විවේචනයට ලක් කිරීමට ප්‍රථම ඒ පිලිබඳ අපක්ෂපාතී අධ්‍යනයක යෙදීම අන්‍යොන්‍ය සහජීවනයට මහෝපකාරී වේ.

තවත් කරුණක් පැවසිය යුත්තේ හලාල් වර්ජකයින් විසින් හලාල් නොවන ආහාර අනුභව කළා කියා අපිට දුකක් හෝ ඉරිසියාවක් නැත. අපිට ඔවුනට හලාල් ආහාර කැවීමට හෝ, ඔවුන්ගේ මුදල් වලින් හලාල් සහතික ලබා අපි අනුභව කිරීමටද උවමනාවක් නැත. කෙනෙකුට අවැසි නම් දැනට තිබෙන හලාල් ආහාර හලාල් නොකර අනුභව කිරීම කිරීම පවා කිසි අපහසු නොවේ. ඒ සඳහා කල යුතු එකම දෙය ඉස්ලාම් අනුමත නොකළ යමක් එකතු කිරීම පමණි (මධ්‍යසාර, සත්ව කොටස්, වෙනත් අපද්‍රව්‍ය).

හලාල් සහතික කරන ආයතනයට ආයතනයට තිබෙන අභියෝග

මා මුලින් පවසූ පරිදි, මුස්ලිම් වරුන්ගේ ක්‍රියා සුක්ෂම ආකාරයට නිරීක්ෂණය කිරීම සහ සමාන්‍යයීකරණය කිරීම මේ දිනවල ලොව පුරා සිදුවේ. ලොව පුරා හලාල් කමිටුවල ක්‍රියාවන්, මුස්ලිම් නොවන පිරිස් මෙන්ම මුස්ලිම් පිරිස් පවා ඉතා ඕනෑ කමින් බලා සිටී [14]. එම නිසා එම ආයතන කිසිම සැකයකට ඉඩ නොතබන ආකාරයට හැසිරීම අවශ්‍යය. ඔවුන් එසේ හැසිරෙන්නේ යයි මා නොකියමි. නමුත් සුළුතරයක් වූ මුස්ලිම්වරුන් ජීවත් වන රටක, ලොව පුරා මුස්ලිම් වරුන්ට අභූත චෝදනා එල්ල වන කාලයක ඉතාම පරිස්සමෙන් මෙම ක්‍රියාවලිය අනාගතයේත් කිරීම නිසි අවශ්‍යතාවයකි. ACJU නම් ආයතනයේ එක අංගයක් වන හලාල් සහතික කිරීම සඳහා වෙනම වෙබ් අඩවියක්ද තිබේ. මව් සංවිධානයේ අරමුණු හා හලාල් සහතික කිරීමේ කණ්ඩායමේ අරමුණු, වෙන් වෙන් වශයෙන් පැහැදිලිව එම වෙබ් අඩවියේ දැමීමත් වැදගත් යයි සිතමි. අරමුණ අනුමත දේ පමණක් අනුභව කිරීම යන්න පෙරදැරි කරගත් හලාල් සහතික කරන කණ්ඩායම අය කරන මුදල් හලාල් ආකාරයට වියදම් කරන බවත්, ඔවුන්ට එයින් පල්ලි සැදීමට අවශ්‍ය නැති බවත් අපි දන්නා නමුත් ඒ විනිවිදභාවය අන් ආගමිකයන්ටද දැනෙන්නට සලස්වීමද අවශ්‍යතාවයකි.

මේ අවස්ථාවේ මුස්ලිම්වරුන් කල යුත්තේ කුමක්ද?

සමහර බ්ලොග් අඩවි මේ පිලිබඳ පැහැදිලි විස්තර කරනු පෙනේ. ACJU සංවිධානය ඒ පිළිබඳව වීඩියෝවක් නිකුත් කර ඇති බවද පෙනේ. එය සතුටට කාරණයකි. එයට අමතරව සමහරක් අයවලුන් සමාජ අඩවි වල එකට එකක් නොසරුප් වදන් වලින් බැන ගැනීමත්, අන්තවාදීන්ගේ පිටු මෙන් පිටු සැදීමත්, පින්තුර සාදා පැතිරවීමත් සිදු කරන බව පෙනේ. එම කටයුත්ත නම් තරයේ හෙලා දකිමි. ඔබ වේදනාවෙන් මේවා කරනවා වෙන්න පුළුවන. තමන් ගෙන ආ සත්‍ය ධර්මය ප්‍රතික්ෂේප කර, තමන් කුරානය කියවද්දී තමන්ට පිස්සු, යකා වැහිලා දොඩවනවා, බොරු කාරයා, හූනියම් කාරයා, විජ්ජා කාරයා, කවි කාරයා යනුවෙන් නබි තුමාව ප්‍රතික්ෂේප කරන ලද නමුත් [15] නබි තුමා කලේ ඔවුන් ගේ විමුක්තිය ගැන වේදනාවෙන් කඳුළු සලමින් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කිරීමයි [16]. නබි තුමා තායිෆ් නම් නගරයට ගිය විට, එහි මිනිසුන් පොඩි ළමයින් දමා නබි තුමාට ගල් ගසා ලේ ගලාගෙන විත් කකුල් තෙමන විට පවා නබි තුමා හැසිරුනේ කෙලසකාදැයි නබි තුමානන්ට ත්‍රස්තවාදියා කියන ඔවුන් නොදන්නා මුත් ඔබලා දනී [17].

“ඕ අල්ලාහ්, ඔබටම මගේ නොහැකියාව ගැන දුක කියමි, මට නො ලැබුනා වූ සහයෝගය ගැන හා (ඔවුන්) මට කල නින්දාව ගැන. ඕ මහා කරුනාවන්තයාණෙනි, ඔබමය දුර්වලයන්ගේත් අධිපතිවරයා, ඔබමය මගේ අධිපතිවරයා. ඔබ කා හට මාව බාරදුන්නෙහිද? මා හට වෛර කරන පුද්ගලයන්ටද, මා පෙළීමට හැකියාව ඇති සතුරෙකුටද? ඔබ පමණක් මා සමග නොසතුටින් නොවේ නම් මට කුමක් සිදුවුවද, මා හට එය කම් නැත…” [18]

නබි තුමාණන් ඔහුගේ ජනයා ගැන ශෝක වීම ගැන දෙවියන් වහන්සේ පවසන්නේ, “ඔබේ කටයුත්ත පැවසීම පමණි”, “ඔබ පැහැදිලි පණිවිඩ කරුවෙක් මිස වෙන කිසිවෙක් නොවේ”, “එබැවින් ඔබ ඔවුන් පවසන දෙයට දුක් නොවන්න, ඔවුන් මුවින් පවසන දෑ ද, සඟවන දෑ ද අපි දන්නෝ ව සිටිමු”, “අපි ඔහුට කවි කියා නොදුන්නෙමු, එය ඔහුට තරම්ද නොවේ”, “ඕ නබි තුමාණෙනි, අපි ඔබව සාක්ෂි කරුවෙක් ලෙසත්, (හොඳ ක්‍රියා කරන අයවලුන්ට) සුභාෂිංශන ගෙනෙන්නේකුවත් වශයෙනුත් (අයහපත් ක්‍රියා කරන අයවලුන්ට) අනතුරු අගවන්නෙකු වශයෙනුත් යවා ඇත්තෙමු” යනුවෙනි [19].

ඔවුන් පිළිගන්නේ නැත්නම් බල කිරීමට හෝ, ඔවුන් අවමන් කිරීමට හෝ අපට අයිතියක් නැත. ඔවුන් ගේ ගණයට වැටී නොසරුප් වදන් වලින් බැන ගැනීමද නොසෑහේ.

අපගේ කුඩා කුඩා ක්‍රියා මගින් ඇතිවන හානිය අති මහත් විය හැක. උස්මාන් (රලි) තුමා ඝාතනය [20]කරන ලද අයවලුන් ඔවුන්ගේ ක්‍රියා වල ප්‍රතිපලයක් ලෙස, ජමල් යුද්ධය [21] හෝ සිෆ්ෆීන් යුද්ධය [22] හෝ ඉන් පසුව දශක ගණනකට පසු කර්බලා යුද්ධය [23] හෝ ඉන් සියවස් ගණනාවකට පසු ෂියා-සුන්නි ගැටුම් [24][25] ඇතිවී ජීවිත මහත් ප්‍රමාණයක් විනාශ වේ යයි නොසිතන්නට ඇත.

එම නිසා, දිගු කාලීන ආදීනව ගැන සිතා, ආගමික සහජීවනය සඳහා උත්සාහ ගන්නා ලෙසත් චේතාන්විත උසි ගැන්වීම් හමුවේ, ඉවසීමෙන් ක්‍රියා කරන ලෙසත් ඉල්ලා සිටිමි. ඔවුන් අපිට ‘අල්-ටකියා’ කියා හෝ වෙන කිසිවක් කියා චෝදනා කරාට අපට කම් නැත. අල්ලාහ් වෙනුවෙන් මේ සමාජයේ උන්නතිය වෙනුවෙන් සිතා අපි ඒ දේ කිරීමට උත්සාහ ගමු.

“ලොවේ කොතැනක හෝ සමනලයෙකු සැලූ තටු පහරකින්, ලොවේ තවත් කොතැනක හෝ සුළි කුණාටුවක් ඇති විය හැක.”

– Chaos Theory/Butterfly effect [26][27]

කතෘ - අබු ඉහ්සාන්

References [1] http://en.wikipedia.org/wiki/Mahram

[2] http://en.wikipedia.org/wiki/Fight-or-flight_response

[3] http://www.youtube.com/watch?v=CeJY0WkDVXU

[4] http://en.wikipedia.org/wiki/First_impression_(psychology)

[5] http://en.wikipedia.org/wiki/Cognitive_dissonance

[6] http://www.marshallgoldsmithlibrary.com/cim/articles_display.php?aid=321

[7] http://en.wikipedia.org/wiki/Haraam

[8] http://hma.jucanada.org/halal_importance.aspx

[9] http://en.wikipedia.org/wiki/E_number

[10] http://www.muslimtents.com/aminahsworld/ecodes.html

[11] http://www.sundaytimes.lk/091122/Fh/fh04.html

[12] http://en.wikipedia.org/wiki/Kosher_foods

[13] http://en.wikipedia.org/wiki/Vegetarian_mark

[14] http://surfingbehindthewall.blogspot.co.uk/2011/04/halal-certification-industry-of-doubt.html

[15] http://www.weekendlearning.com/Lvl10_Accusations.pdf

[16] http://salaf-stories.blogspot.co.uk/2012/02/o-allah-my-ummah-my-ummah-and-he-cried.html

[17] http://en.wikipedia.org/wiki/Muhammad’s_visit_to_Ta’if

[18] http://www.worldprayers.org/archive/prayers/invocations/to_you_my_lord_I_complain.html

[19] http://www.themeaningofislam.org/beliefs/muhammad/quran_quotes.html

[20] http://en.wikipedia.org/wiki/Siege_of_Uthman

[21] http://en.wikipedia.org/wiki/Battle_of_the_Camel

[22] http://en.wikipedia.org/wiki/Battle_of_Siffin

[23] http://en.wikipedia.org/wiki/Battle_of_Karbala

[24] http://en.wikipedia.org/wiki/Shi’a%E2%80%93Sunni_relations

[25] http://www.newstatesman.com/religion/2011/06/arab-iran-saudi-israel-Syria

[26] http://en.wikipedia.org/wiki/Butterfly_effect

[27] http://en.wikipedia.org/wiki/Chaos_theory

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම