අපට අවශ්‍ය අපේම සංස්කෘතියද?, බොලිවුඩ් සංස්කෘතියද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අද ශ්‍රී ලංකාව තුල ප්‍රධාන මාතෘකාව බවට අයිෆා සිනමා උළෙල පත්ව ඇත. අපට ආරථික, සරණාගත, ගංවතුර… ප්‍රශ්නයක් තිබුණාද යන්න පවා මතකයේ නැති තරම්ය. අපට ඇති එකම ප්‍රශ්නය “අයිෆා” කොහොමද පවත්වන්නේ එය මම නරඹන්නේ කොහොමද? යන්න පමණි. මෙවන් වූ මොහොතක මෙම උත්සවය උනපූරණයක් කර ගනිමින් ලාංකීය ජනතාවගේ අවධානයට කරුණු කිහිපයක් යහමඟ අඩවිය තුලින් පවසන්නට අදහස් කරමි.

අයිෆා යනු කුමක්ද? යන්න මා අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ. අද අප රටේ කුඩා දරුවකුගෙන් විමසුව ද එයට පිලිතුරු ලැබෙනු ඇත. එය ඉන්දියානු නළු නිලියන් සදහා වූ සිනමා සම්මාන උළෙලක්. ඉන්දියානු සම්මාන උළෙලක් නම් ඇයි ඒක මෙහි පවත්වන්නේ? එයට විවිධ පාර්ශවය විවිධ ආරථ කථන ලබා දෙයි. එනම්, දේශපාලඥයින්, සංචාරක කර්මාන්තයේ නියලෙන්නන්, ආගමික විද්වතුන්… යන අය තමන් නියෝජනය කරන ක්ෂේත්‍රයන්ට අනුව විවිධ පැහැදිලි කිරීමන් ලබාදෙයි. එසේම රටේ සමාන්‍ය ජනතාව ද තමන් නියෝජනය කරන පංතිය හා වයස් සීමාව අනුව මෙයට විවිධ මතපල කරයි. නමුත් මෙහි දී වැදගත් වන්නේ මේ තුලින් රකේ වශයෙන්, ජාතියක් වශයෙන් ඇති යහපත හා අයහපත කුමක්ද? යන්නයි.

රටක් වශයෙන් ගත්කල ශ්‍රී ලංකාව යනු අතීතයේ පටන් යහපත් සංස්කෘතියකට උරුමකම් කියු රටකි. එයට බුදුදහමෙන් ලද ආභාෂය මෙන්ම අනිකුත් දහමන් වලින් ලද ආභාෂය කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැක. එසේම රටක සංස්කෘතියත් හා ආගමත් අතර ඇති බැදීම සරල එකක් නොවේ. සංස්කෘතියක් ගොඩනැගෙන්නේ ආගමක් පසුබිම් කරගෙනයි. ඒ අනුව අදටත් අප රටේ පවතින සංස්කෘතිය බෞද්ධ හා අනිකුත් ආගම් මගින් පෝෂණය වූ එකකි. එසේ නම් දැන් අප විමසා බැලිය යුත්තේ අතීතය සිට පැවතී එම සංස්කෘතිය හා අද ලාංකීය සමාජය තුල මෙවැනි වැඩසටහන් තුලින් නිර්මාණය වෙමින් පවතින සංස්කෘතීන් තුලින් රටට සිදුවන යහපත හා අයහපත කුමක්ද? යන්නයි.

මෑතක පටන් විවිධ මාධ්‍යයන් ඔස්සේ ශ්‍රී ලාංකීය ජනතාව ඉන්දියානුකරණය කරමින් සිටී. එම මෙහෙවරේ සියළු මාධ්‍යයන් කරට කර ක්‍රියා කරයි. එහි උච්චතම අවස්ථාවක් ලෙස මෙම උළෙල ද හැදින්විය හැක. ඉන්දියානු චිත්‍රපට සම්මාන උළෙලක් ශ්‍රී ලංකාව තුල පවත්වන්නේ නම් ඒ තුලින් පැහැදිලි වන්නේ අප ඔවුන්ගේ ආකාර්ශණය දිනාගෙන ඇති බව නොවේද? එය දිනාගත්තේ කෙසේද? අපේ සංස්කෘතිය හා සාරධර්ම ඔවුන් හට ලබාදෙමින්ද? එසේත් නැත්නම් ඔවුන්ගේ රූකඩ සංස්කෘතිය අපි වෙලා ගැනීමෙන්ද? එයට මා ගැඹුරු පැහැදිලි කිරීමන් අවශ්‍ය නොවේ. ඔබේ අවට ඇති ඔබේ දරුවා, සහෝදරිය, සාක්ෂි දරණු ඇත.

මෙවන් සංස්කෘතියක් අප රටට ලබාදීමට දිවා රෑ වෙහෙසෙන වෙහෙසුනු පිරිස් පිලිබදව ද මෙහි දී මතක් කිරීම යුතුකමකි. ඒ මුදලට ඕනෑම පහත් කටයුත්තක් කරන ජනමාධ්‍යයන් ය. ඔවුනට ඔනෑම කෙනෙකු වීරයෙක් කිරීමට ද හැක. රාජ්‍ය ද්‍රෝහියෙක් කිරීමට ද හැක. එය අපට අළුත් කාරණයක් නොවේ. ඒ ආකාරයටම අපේ රටේ වීරයන් අභිබවා ගිය පිරිසක් බවට ඉන්දීය නළු නිළියන් පත්කිරීමේ ගෞරවය මේ මාධ්‍ය කරුවන්ට හිමිවිය යුතුය. ඒ දිනපතා රූපවාහිනි මාධ්‍යයන් හා පුවත්පත් මගින් ටෙලි නාට්‍ය, චිත්‍රපට, සම්මුඛ සාකච්චා, යනා දී වැඩසටහන් මගිනි. අද සාරුක් ඛාන් කන්න කැමැති මොනවාද? බොන්න කැමැති මොනවාද? යන්න කැමැති කොහේද? බදින් හිටියේ කාවද? බදින්න හදන්නේ කාවද? දික්කසාද වෙන්නේ කවදාද?… යනාදී වශයෙන් ඔනෑම ප්‍රශ්නයකට සාරෑක් ඛාන්ට වඩා හොදින් අපේ දක්ෂ තරුණ පරම්පරාව පිලිතුරු දෙනු ඇත. නමුත් ඔහුගේ අම්මා තාත්තා කන්න කැමැති මොනවාද? යන්න ඔහු නොදනි? ලාංකීය වීරයන් කව්ද? ඔහු නොදනී. ලාංකීය ඉතිහාසය ඔහු නොදනී. නමුත් ඉන්දීය නළු නිළියන්ගේ උප්පැන්නය වුවද ඇසුවේ නම් දිග හරීවි. අද ලාංකීය බෞද්ධයින් හට බුදුන් වහන්සගේ දින චර්යා නොදනිති. නමුත් සාරුක් ඛාන්ගේ දින චර්යාව හොදින් දනිති. (ලාංකීය අනිකුත් ආගමි තරුණ පරම්පරාවට ද මින් මිදීමට හැකිවී නැත.) එපමණක් නොවේ. පසුගිය කාලවල අපේ අම්මලා තුලසි, මන්දිරා, ශාන්ති, දාමිණි, රාදිකා, (ටෙලි නාට්‍යවල චරිත) වෙනුවෙන් කදුළු සැලුවාර අනන්තය. ඒ අම්මලා තම දරුවා වෙනුවෙන් කදුළු සැළුවාරය දැන් හරි ආවර්ජනය කරන්නේ නම් යහපතකි.

මේ සියල්ල තුලින් දිනෙන් දින අප ලබාගත්තේ කුමක්ද? ඒ ලබාගත් දෑ තුලින් අපේ ජීවිතය අප සකස් කර ගත්තේ කෙසේද? දියුණු සංස්කෘතියකට ආඩම්භර ලෙස උරුමකම් කියු අපට අද සිදුවී ඇත්තේ “අතීතයේ අපට දියුණු සංස්කෘතියක් තිබුණා” යයි අප දරුවන්ට කියා පාමට නොවේද?

අද අප රටේ තරුණ පිරිස් ඉන්දිය නළු නිලියන් තුල ජීවත් වෙති. ඔවුන් අදින්නේ පලදින්නේ ඇයි කථා කරන්නේත් ඒ නළු නිලියන් මෙන්ය. අද බුද්ධ දේශන පවසන පාලි භාෂාව නොදනිති නමුත් හින්දි භාෂාව හොදින්ම දනිති. ඒ හින්දි සිනමාව අපට දායද කල සංස්කෘතියයි. මේ නළු නිලියන් කොහොමද අපේ දරුවන්ට ආදර්ශමත් වුනේ. අපේ රටේ සැබෑ විරයන් හා ආදර්ශමත් චරිත නැති නිසාද මේ රූකඩ වීරයන් පසුපස යන්නේ. ඔවුන්ගේ සිනමා සංස්කෘතිය ඉන්දියාවට වරදක් නොවෙන්න පුළුවනි. නමුත් සාඩම්භර සංස්කෘතියකට උරුමකම් කියන අපවැනි රටකට එය ප්‍රබල ගැටළුක්. ඔවුන්ගේ චිත්‍රපට කර්මාන්තය රැදී තිබෙන්නේම කාමුක හා තරුණ පිරිස් උත්තේජනය කරවන ජවනිකාවලය. හැකි නම් එසේ නොවේ යයි හැදියාවක් තියෙන කෙනෙකුට කියන්න පුළුවන්ද? ඔබ එහි ජවනිකාවන් තුල සිටින කාන්තාව (නිළිය) තමන්ගේම දුව, සහෝදරිය හෝ බිරිද එසේත් නැත්නම් බව ලෙස උපකල්පනය කර බලන්න දැන් ඔබට මා පවසන යථාර්ථය පැහැදිලි වනු ඇත. එසේ නොවන්නේ නම් ඔබ අප සංස්කෘතියෙන් බැහැරව බොහෝ දුර දැනටමත් ගොස් හමාරයි යන්න වටහා ගන්න..

මෙවන් වූ ඛේදනීය ඉරණමයන් අතීතයේ පටන් අපේ රට තුල නිර්මාණය කිරීමට දායක වූ පිරිස් අතර තවත් පාර්ශවයක් වන්නේ රටේ පාලකයන් හා බලධාරීන්ටය. ඔවුන් මිල මුදල් වෙනුවෙන් ඕනෑම පහත් පෙලේ වැඩක් නොපැකිලිව ඉටුකිරීම අපට අළුත් කාරණයක නොවේ. මෙයට හොදම උදාහරණය 2009 දී හික්කඩුව වෙරළේ පවත්වන ලද “හික්කා 2009” සදහන් කල හැක. එහි දී විදේශිකයන් ඇතුළු ඉන්දීය සංචාරක පිරිස් හා අපේ රටේ තරැණ පිරිස් රෙදි නැතුව කල විශ්මිතයන් අප මෙම අඩවිය තුලින් ද මීට ඉහත හෙලිකලෙමු. ඒ උණුසුම නිවීයනවාත් සමගම අපේ කාලකන්නි බලධාරීන් හට නැවතත් එවැනි ත්‍රිලක් අවශ්‍ය වී ඇති සේය. ඒ සදහා ඉන්දිය සිනාමාකරුවන්ට ආවඩයි. මේ පිලිබදව ජනතාව අවධියෙන් සිටිය යුතුය. එසේම මෙම කාරණයේ දී මීළග වගකීම පැවරෙන්නේ ලාංකීය සියළු ආගමික විද්වතුන් හටයි. ඔවුනට මෙහි දී විශාල කාර්‍යභාරයක් ඇත. නමුත් කණගාටුවට කාරණය වන්නේ ඔවුන් ද අන්ධයන් බිහිරන් ලෙස ක්‍රියා කිරීමයි. එසේ සිටිය ද කම් නැත සමහරක් ආගමික විද්වතුන් මෙයට අනුබලදෙන ආකාරයට ද ක්‍රියා කරයි. මෙයට හොදම උදාහර්ණය 2010 ජූනි මස 03 වැනිදා බ්‍රහස්පතින්දා එක්තරා ගුවන් විදුලි මාධ්‍යයක ස්වාමින් වහන්සේ නමක් මෙම අයිෆා සම්බන්ධයෙන් පවසා සිටියේ මෙසේය.

“මේවා භික්ෂූන් වහන්සේලාට නොගැලපුනාට රටේ ජනතාවට එසේ නොවේ.”

මෙවැනි ප්‍රකාශයන් තුලින් රටේ ජනතාවට දෙන පණිවුඩය කුමක්ද? වගකීමක් ඇති ආගමික විද්වතුන් ක්‍රියා කල යුත්තේ මෙසේද? මීට මාස කිහිපයකට පෙර එක්තරා ආයතනයක් මගින් විදේශීය ගායකයෙක් ලාංකාවට ගෙන්වීමට සූදානම් වූ විට ඔහුට එරෙහිව විශාල ආන්දෝලනයක් රටේ නිර්මාණය කෙරුණි. ඒ ඔහු බුදුන්වහන්සේට අපහස කලා යයි පවසමිනි. ඔහු ලංකාවට ගෙන්වන් උත්සාහ කලේ නැවත බුදුදහමට අපහස කිරීමට නොවේ. නමුත් එයට බහුතරයක් විරුද්ධ විය. එය හරිද? වැරදිද? යන්න මෙහි දී සාකච්චා නොකරමි. එය අප මාතෘකාවට අදාලද නොවේ නමුත් එදා ක්‍රියා කාරී වූ ඒ පිරිස් අද මෙතරම් විනාශයන් සිදු වෙද්දී මුනිවත රැකීම මවිතයට කාරණයිකි. මා දකින්නේ එදා ඔහුගෙන් බුදුදහමට සිදු වූ හානියට වඩා මෙවන් වූ පිරිසගෙන් රටටත්, ආගමටත්, සංස්කෘතියටත් සිදුවන්නේ ප්‍රබල හානියකි.

මීළගට මෙහි වගකීම පැවරෙන්නේ රටේ වැඩිහිටි පරම්පරාවට හා දෙමාපියන්ටයි. එදා අපට ලස්සන වූ අතීතයක් හා සංස්කෘතියක් තිබුණි. එය තුල අප හැදුනේ සුන්දර හැදියාවන්වලින් ද පෝෂණය වෙමිනි. නමුත් අද අපේ දරුවන්ට අප උරුම කර දී ඇත්තේ කුමන ආකාරයේ සංස්කෘතියක්ද? අම්මා තාත්තා නොහදුනන, සහෝදර සහෝදරියන් නොහදුනන, වැඩිහිටියන් හා ගුරුවරුන් නොහදුනන සංස්කෘතියක් නොවේද? එදා කටේ කිරිසුවද නොගිය දරුවෙකුට වීරයා වුනේ තමාගේම පියා එසේත් නැත්නම් රටේ සැබෑ විරයන් නමුත් අද සාරුක් ඛාන් හෝ සල්මාන් ඛාන්… එසේ නම් ඒ ළමයින්ගේ මානසිකත්වය කුමක්ද? අද මුදල් වෙනුවෙන් රගපාන විරයන් වූ මේ බොළද චරිත අද අපේ දරුවන් තම ජීවිතයට ආදර්ශයක් කරගෙත් වීරයන් වූනේ කෙසේද? දරුවන් පමණක් නොවේ. සමහරක් දෙමාපියන් පවා මේ චරිත තම පවුල් ජීවිතයට ආදර්ශයක් කරගෙනය. අද අප සමාජයේ “තුලසිලා” කොතරම්ද? “ශාන්තිලා” කොතරම්ද? මොවුන් මේ නාට්‍ය නරඹමින් ඒ චරිත තුල ජීවත් වේ. ඒවා තුලින් තම ජිවිතවල ගැටළු සදහා විසදුම් සොයයි. නමුත් මේ නළු නිළියන්ගේ සෑබෑ ජීවිතය කොතරම් ආසාර්ථක ඛේදනීය ඉරණමයන්ට පත්වූ ජීවිත ද යන්න අපගේ බහුතරයක් නොදනිති. මොවුන්ගේ රගපෑමන් තුල අපට ආදර්ශයන් නැත. ඔවුන්ගෙන් ආදර්ශයක් ලබාගන්නේ නම් එය කල හැක්කේ එය ඔවුන්ගේ සැබෑ ජීවිතය තුල පමණි. නමුත් ඔවුන්ගෙන් 99% කම පුද්ගලික ජීවිතය ද නරකාදියක් පමණි.

දයාබර දෙමාපියනි, දරුවණි, අපට අප රට තුල ආදර්ශමත් චරත බොහෝමයක් ඇත. එසේම ආගම් තුලින් අපට ලබාදෙන ආදර්ශයන් ද ඊට දෙවැනි කොට සැලකිය නොහැක. එසේ තිබිය දී අපට මේ රූකඩ නළු නිළියන් ආදර්ශයක් හෝ සම්පතක් නොවේ. මෙය රටේ සෑම පාර්ශවයක්ම පැහැදිලිව අවබෝධකර ගතයුතු කරුණකි. එසේම අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ යහපත් සමාජයක් පවතින්නේ තමන් තමන් ගැන සිතීම නිසා නොව තමන් අනුන් ගැන සිතීම නිසාය. එසේම සංස්කාතියක් පවතින්නේ එහි ආගම හා දැහැම් ජීවිතයක් පවතිනතාක් පමණී. දියුණු බෞද්ධ හා අනිකුත් ආගම් තුලින් නිර්මාණය වූ සංස්කාතියකට හා යහපත් හැදියාවක් පැවතී සමාජයකට උරුමකම් කියූ අප අද බොලිවුඩ් සංස්තෘතිය පසුපස වේගයෙන් ඇදීයාම බුද්ධිමත් ලක්ෂනයක්ද? අද අප රටට එන සියල්ල වෙලා ගැනීමට තරම් බංකලෝත්තු සංස්කෘතියක් ඇති ජාතියක් නොවේ. බුද්ධිය නැමැත් පෙරණයෙන් පෙරා යහපත් දෑ පමණක් තොරා බේරා ගැනීම තමා නිවරැදි බුද්ධිමත් ක්‍රියාව වන්නේ ඒ සදහා රටේ බලධාරීන්ටත්, විද්වතුන්ටත්, පූජ්‍ය පක්ෂයටත්, පොදු ජනතාවටත් නුවණ පෑදේවා යයි ප්‍රාර්ථනා කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/17

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම