අපට වැරදුනේ කොතැනද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අදී මානවයා පටන් නූතන මානවයා දක්වා ඔහු තම දිවියේ සාර්ථකත්වය විමුක්තිය උදෙසා කල කැපවීමන් හා කැපකිරීමන් සුළුපටු නොවේ. සමහරක් ශාස්තෘවරුන් මේ විමුක්තිය උදෙසා තම දිවියට අතිදුෂ්කර වද වේදනාවන් පවා ලබාදෙමින් මරණයේ දොරටුවටම ගිය අවස්ථාවන් පවා සමහරක් ආගම් තුල දක්නට ලැබේ. විශේෂයෙන් ජෛන ආගම්වල පැවතී භාවනා යෝගී ක්‍රමයන් මෙන්ම ගෞතම බුදුන් බුදුදහම අවබෝධකර ගැනීම පිණිස දුෂ්කර ක්‍රියාවන්හි නිරත වූ ආකාරය එයට හොද නිදසුනකි. එසේම ඒ තරමට නොවුවත් එවකට පැවතී සමාජ පිරිහීම කෙරෙහි කලකිරුණු මුහම්මද් (සල්) තුමාණන් ‘හීරා‘ නම් ගල් ගුහාව තුල ගෙවුවේද මීට තරමක් දුරකට සමාන තත්වයකි. මේ ආකාරයට අපමණ බාධක හා කැපකිරීමන් මධ්‍යයේ ලබාගත් හා අවබෝධ කරගත් දහම මිනිස් සමාජයට දේශනා කරමින් නිර්මල සමාජයක් එදා ගොඩනැගුවද අද එම සමාජය එම දහම තුලම වල්මත් වී විනාශ මුඛයට යොමු වී පැවතීම කිසිවකුත් ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි.

එදා ආගමික ආභාෂය ලබා දැහැමි ජීවිතයක් ගතකල සමාජය අද එම දහම තුල දැහැමි බවට දෛවරය, ඊර්ෂ්‍යාව ආදේශ කොටගෙන එය නිර්මල වූ දහම බවට සමාජය හමුවේ දේශනා කරමින් ඇත. එදා පරස්පර වූ ආගමික මතවාදයන් හමුවේ පවා එකින් එකාගේ මතවාදයන් ගරු කරමින් සමඟියෙන් බැදුණූ සමාජය අද ක්‍රෝධය හා පලිගැනීම එයට ආදේශ කොට ඇත. එදා ආගමික විනයක් සමාජය තුල ගොඩනැඟීමට මූලික වූ ශාස්තෘවරුන්, පූජකවරුන් හා විද්වතුන් අද මිනිස් සමාජය තුල විරසකය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලිගැනීමේ චේතනාව, වියරුව… යනාදිය ආදේශ කොට මිනිස් සමාජය භේදබින්න කරමින් ඇත. සරලව පවසනවා නම්, නූතන මිනිසා අද වනවිට ආගම් එහි පූජකවරුන්ගේ චින්තනවලට හා සිතුවිලිවලට සීමා වූ ඇදහිලි හා ක්‍රියාකාරකම් බවට පරිවර්තනය කොට ඒ තුල කොටු වී ඇත. මේ හේතුව නිසා එම ආගම් ලෝකෝත්තර අරමුණුවලින් සම්පූර්ණයෙන් මිදී ලෞකික කරුණූ පසුපස හඹායන තැනට අද යොමුව ඇත.

මෙම අවාසනාවන්ත ඉරණමින් දිව්‍යමය දහමක් වන ඉස්ලාම් දහමට ද මිදීමට හැකි වී නැත. මේ හේතුව නිසාම මුස්ලීම් නොවන සමාජයට ඉස්ලාම් දහම පිලිබදව කිසියම් අවබෝධයක් ඇති කිරීම පිණිස ආරම්භ කල මෙම ‘යහමඟ‘ අඩවිය තුල එම අරමුණ දෙවැනි කොට සලකා මුස්ලීම් සමාජයේ අවධානයට ඉස්ලාමීය කරුණු බොහෝමයක් පවසන අවාසනාවන්ත තැනට අද යොමුව ඇත. ඒ අනුව මීට ඉහත මෙම අඩවිය තුල සාක්ච්චා කල ‘මුස්ලීම්වරුනේ ඔබ යන්නේ කොයිබටද?කුර්ආනීය සමාජයක් කරා නැවතත් එයට හොද නිදසුනකි. අද දවසේ ද ‘අපට වැරදුනේ කොතැනද?‘ යන මාතෘකාව තුලින් සාකච්චා කිරීමට අදහස් කරන්නේ එවැනි තවත් මාතෘකාවකි. ඉස්ලාම් දහම මිනිස් සමාජයට ලබාදෙන ඉගෙන්වීමන් හා ආදර්ශයන් ලොව අනිකුත් ආගමික ඉගෙන්වීමන්ට වඩා බොහෝසෙයින් වෙනස්ය. සැබෑ මුස්ලීම්වරයෙකු තුල ඉස්ලාම් දහම හා දහමින් පරිභාහිර දිවියක් ලෙස ආකාර දෙකක් පැවතිය නොහැක. මුස්ලීම්වරයෙකුගේ සියළු ක්‍රියාවන් එනම්, සිතුවිලි හා හැඟීමන්, සැලසුම් හා තීන්දු තීරණ, ඇදහිලි හා විශ්වාසයන්, දේශපාලන හෝ වෙනත් පරිපාලන ක්‍රියාවලියන්, පවුල් දිවිය තුල වගකීම් හා යුතුකම්… යනාදී සියල්ල ඉස්ලාම් දහමේ ඉගෙන්වීමට අනුකූල වියයුතුය. ඒ අනුව ඉහත සදහන් කිසිදු ‍ක්ෂේත්‍රයක් ඉස්ලාම් දහමින් වෙන්කොට කථා කිරීමට මුස්ලීම්වරයෙකුට හැකියාවක් නැත.

නමුත් අද ලොව බොහෝ දහමන් හි ඉගෙන්වීමන් පිලිබදව විමසා බලන විට පෙනීයන්නේ එම දහම මිනිස් දිවියේ එක් ක්ෂේත්‍රයක් ගැඹුරින් කථා කොට තවත් ක්ෂේත්‍ර ගණනාවක් නොසලකා හැර ඇති ආකාරයක් හෝ මනුෂ්‍යාගේ සිතුවිලි හා හැඟීමන්වලට වැටකඩුලු බැද ඔහුගේ ජිවිතය සීමිත රාමුවකට කොටු කොට ඇති ආකාරයකි. නමුත් ඉස්ලාම් දහම එසේ නොවේ. එය ඔහුව යහපත් සිතුවිලි හා ක්‍රියාදාමයන් සදහා උනන්දු කරවමින් එය තම දිවිය තුල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි. නිදසුන් දෙකක් පවසනවා නම් ලොව බොහෝ ආගම් එහි අනුගාමිකයන් වස්තූන් හා ධනය රුස්කිරීම නුසුදුසු ක්‍රියාවක් ලෙස දකින විට ඉස්ලාම් දහම ධනය රුස්කිරීම අවධාරණය කරමින් ඒ තුලින් ‘සzකාත්’ (දුගියන් සදහා ධනවතුන් ලබාදිය යුතු අනිවාර්‍ය බද්ධ) හා ‘සදකා’ (අවශ්‍යතාවය ඇති ඕනෑම කෙනෙකුට බෙදා දියහැකි පරිත්‍යාග) වැනි කුසල ක්‍රියාවන් සදහා උනන්දු කරවීම සදහන් කලහැක. මේ අනුව මුස්ලීම්වරයෙකුගේ දිවිය තුල ‘ආගමික’ හා ‘ආගමික නොවන’ ක්‍රියාවන් යනුවෙන් වෙන්කිරීමට කිසිවක් නොමැති අතර ඔහුගේ සෑම ක්‍රියාවක්ම ඉස්ලාම් බවට පත්වේ. සරලව හා සාරාංශ කොට පවසනවා නම් ‘පුද්ගල දිවිය සැලකුවද සමූහික ක්‍රියාවලියක් සැලකුවද ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශයට අනූකූලව තිබිය යුතුයි‘ යනුවෙන් විශ්වාස කිරීම තමා සැබෑ මුස්ලීම්වරයෙකුගේ පිලිගැනීම විය යුත්තේ. මේ හේතුව නිසා තමා වරක් (නබිතුමාණන්ගේ බිරිද වන) ආයිෂා (රලි) තුමියගෙන් ‘නබිතුමාණන්ගේ දෛනික දිවිය කුමණ ආකාරයට පැවතුණිද?‘ යනුවෙන් විමසූ විට ‘එය කුර්ආනය විය‘ යනුවෙන් පවසන ලද්දේ.

එක් පසෙකින් ආගමික වක්තෘවරයෙකු වූ නබිතුමාණන් තවත් පසෙකින් රටේ ජනාධිපතිවරයාය. එපමණක් ද නොව බිරින්දෑවරුන් කිහිපදෙනෙකුටම ආදරණීය ස්වාමියාය. මෙවැනි පසුබිමක එතුමාණන්ගේ බිරිද වන ආයිෂා (රලි) තුමිය ‘නබිතුමාණන්ගේ දිවිය කුර්ආනයම විය‘ යනුවෙන් පවසනවා නම්, එම දිවියේ සෑම පියවරක්ම කොතරම් ඉස්ලාම් දහමට අනුකූලව පැවතී තිබිය යුතුද යන්න මා ඔබට පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇත. ‘සැබෑ මුස්ලීම්වරයෙකුගේ දිවිය ද එලෙසින්ම පැවතිය යුතුයි‘ යන්න තමා ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයෙන් අපේක්ෂා කරන්නේ. වර්ථමාන මුස්ලීම් සමාජය තුල ද ඒ තරමට නොවුවත් යම් තරමකට හෝ එවැනි ආදර්ශමත් චරිත නැතුවා නොවේ. නමුත් අවාසනාවකට මෙම තත්වය නිවරුදිව අවබෝධ කර නොගත් මුස්ලීම් නොවන සහෝදර සමාජය මුස්ලීම්වරුන් ‘දැඩි ආගමික අන්තවාදීන්’ ලෙසත්, ඔවුන් ‘දැඩි මූලධර්මවාදීන්‘ ලෙසත්, ඔවුන් ‘බහු ජාතීන් වෙසෙන රටක හුදකලා වීම ප්‍රිය කරන පිරිසක්’ ලෙසත්, ඔවුන් ‘අනිකුත් ආගමික ඇදහිලි හා විශ්වාස ප්‍රතික්ෂේප කොට ජීවත් වන පිරිසක්’ ලෙසත්, ඔවුන් ‘ජාතිවාදී පිරිසක්‘ ලෙසත්… චෝදනා නඟයි. එතැන්නි නතර නොවන සමහරක් අන්තවාදී පිරිස් මෙවැනි කරුණූ පදනම් කරගෙන මුස්ලීම් සමාජයට එරෙහිව විවිධ එදිරිවාදිකම්වලට පවා පෙළඹෙන අවස්ථාවන් අප සමාජය තුල පවා විටින් වි‍ට දකින්නෙමු. ඉස්ලාම් දහම, මුස්ලීම් සමාජයෙන් ජාතිවාදය මීට වසර 1400 කට පෙරම තුරන් කර දැමූව ද මුස්ලීම් සමාජයේ ඉහත ක්‍රියාදාමයට ජාතිවාදී මුහුණූවරක් ආදේශ කරමින් ඉස්ලාම් දහමට එරෙහිව සමාජ මතවාදයන් දියත් කරන තැනට අද සමහරක් අන්තවාදී පිරිස් යොමුව තිබීම ද මෙහි සදහන් කලයුතුම කාරණයකි.

කෙසේ නමුත් ඉහත චෝදනාවන් මුස්ලීම් සමාජයට එරෙහිව ගොඩනැඟීමටත් ඒ තුලින් ඉස්ලාම් දහමට කැලලක් ඇති වීමටත් සමහරක් මුස්ලීම්වරුන්ගේ ක්‍රියාකලාපයන් හේතු වනවා යන්න ප්‍රතික්ෂේප කල නොහැක. මා ලිපිය ආරම්භයේ සදහන් කලාසේ අද වනවිට ‘දහම’ පුද්ගලීකරණය කරමින් ආගමික ඉගෙන්වීමන් වටා හෝ එහි වක්තෘවරයාණන්ගේ ඉගෙන්වීමන් වටා ඒකරාශි වියයුතු ජනතාව අද එහි ශාස්තෘවරුන් වටා අන්ධභක්තිකයන් ලෙස ඒකරාශි කරමින් එකම දහම තුල කල්ලිවාදයන් නිර්මාණය වන තැනට මුස්ලීම් සමාජය සමහරක් පිරිස් යොමු කොට ඇත. ඉස්ලාම් දහම එවැනි තැනකට මුස්ලීම් සමාජය යොමු නොවීමට අවශ්‍ය සියළු බාධක ඉතා දැඩිව යොදා තිබුණ ද ශුද්ධ වූ කුර්ආනීය ඉගෙන්වීමන් පරිශිලනය කරන්න අතපසු කල සමාජය වර්ථමාන ලෝක සම්ප්‍රදාය වන ‘දහම අදහනවා වෙනුවට එහි පූජකවරුන් ඇදහිමත්, ඔවුන් තුලින් දහම දැකීමත්‘ යන අවාසනාවට ගොදුරු වී ඇත. මේ හේතුව නිසා මුහම්මද් (සල්) තුමාණන් මීට වසර 1400 කට පෙර නිර්මාණය කොට දී ගිය ‘ඒකීය සමාජය‘ අද කල්ලිවාදය තුල දුර්වල තත්වයට පත්ව ලෝකයා හමුවේ අසරණ වී ඇත. ඇත. මුස්ලීම් සමාජය නැවතත් ලෝකයා ඉදිරියේ නැඟීසිටීමට නම්, ඔවුන් මීට වසර 1400 කට පෙර මුහම්මද් (සල්) තුමාණන් නිර්මාණය කල කුර්ආනීය මාර්ගයට නැවතත් අවතීර්ණය වියයුතුව ඇත. එය ශුද්ධ වූ කුර්ආනය මෙසේ පවසයි. එනම්,

විශ්වාසවන්තයණි!, නුඹලාව ආරක්ෂා කරගන්න. නුඹලා සෘජු මාර්ගයේ ගමන් කරන්නේ නම්, නොමඟ ගිය කිසිවකුගේ කුමණ්ත්‍රණයකින් ඔබට බලපෑම් ඇති කල නොහැක.

ශුද්ධ වූ කුර්ආනය – 5-105

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය පිලිබදව මොහොතක් බුද්ධිමත් ලෙස විමසා බලන්න. අද මුස්ලීම්වරුන් වන අප විවිධ පුද්ගල, සංවිධාන හෝ දේශපාලන කුමන්ත්‍රණවලට බිය වී දහමින් බැහැරව විවිධ තීන්දු තීරණවලට එළඹ ක්‍රියා කරමින් සිටින්නෙමු. නමුත් ශ්‍රී ලාංකීය සමාජය සැලකුවද ජාත්‍යන්තර මුස්ලීම් සමාජය සැලකුවද ඔවුන්ගේ සැබෑ ආරක්ෂාව සැලසි ඇත්තේ මේ පවතින දේශපාලන පක්ෂයන් හෝ එහි නායකයන් තුල නොව ඉස්ලාම් දහමත් හා එහි ඉගෙන්වීමනුත් මුස්ලිම්වරුන් පිලිගැනීම තුලය. මෙය සෑම මුස්ලීම්වරයෙකුම දැඩිව විශ්වාස කලයුතු අනිවාර්‍ය අවශ්‍යතාවයකි. ඒ අනුව මුස්ලීම් සමාජයේම පිරිසක් ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් ප්‍රතික්ෂේප කොට එසේත් නැත්නම් නොසලකා හැර ‘ජාතිය’ හෝ ‘සමාජය’ යනුවෙන් හැඟීමන්ට වහල් වී ක්‍රියාත්මක වන කිසිදු සංගමයක්, සංවිධානයක් එසේත් නැත්නම් දේශපාලන පක්ෂයක් ක්‍රියාත්මක කරයි නම්, එය ඉස්ලාම් යයි කිව නොහැකි අතර එයට අල්ලාහ් (දෙවි) ආශිර්වාදය ද හිමි නොවන බව සෑම මුස්ලීම්වරයෙකුම තරයේ පිලිගත යුතු වේ.

ශ්‍රී ලංකීය සමාජය මූලික කරගෙන මෙම කාරණය විමසා බලන්නේ නම්, අද ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ අයිතීන් කප්පාදු කරන, එසේත් නැත්නම් එම අයිතීන් උදුරා ගනු ලබන, මුස්ලීම්වරුන්ගේ අනාගතය පිලිබදව බිය සැක ඇති වන තැනට යොමුව ජීවත් වන්නේමු. මේ අවාසනාවන්ත තත්වය අප රට තුල නිර්මාණය වුයේ ඇයිද? යන්න සෑම මුස්ලීම්වරයෙකුම දැන්වත් විමසා බැලිය යුතු කාරණයකි. එසේ විමසුමක් කරන්නේ නම්, මුස්ලීම් සමාජය ශුද්ධ වූ දහමින් බැහැරව විවිධ පුද්ගල, සංවිධාන හෝ දේශපාලන මතවාද… යනාදීය තුල භේදබින්න වීම මිස ඉහත 5-105 ශුද්ධ වූ කුර්ආන් පාඨයට අනුකූලව ජීවත්වීම නිසා නම් නොවන බව ඔබට පැහැදිලි වනු ඇත. ඉස්ලාම් දහම ආදර්ශමත් දිව්‍යමය මඟපෙන්වීමන් මුස්ලීම් සමාජයට දායාද කොට තිබියදී බඩගොස්තරවාදයත්, පුහු ආඩම්භරය හා ගෞරවයත් සැඟවුණූ ඥාය පත්‍ර කරගෙන මුස්ලීම් සමාජය අවධානමට හා අභියෝගයට ලක් කරන පුද්ගලයන්, සංවිධාන හා සංගම් මෙන්ම දේශපාලන පක්ෂයන් මුස්ලීම් සමාජය පැහැදිලිව දැන්වත් හදුනාගත යුතුය. ශුද්ධ වූ කුර්ආනය එක්තරා අවස්ථාවක පැවසීමේ දී ‘මනුෂයණි!, නුඹලාගෙන් කවුරුන් සැබෑ ලෙස (ඉස්ලාම් දහම) විශ්වාස කොට යහ කටයුතුවල නිරත වන්නේද, එවිට ඔබට පෙර විසූ සමාජයන්ට රාජ්‍ය බලය ලබාදුන් ආකාරයටම ඔබටත් ලබා දෙනු ඇත. තවද ඔබව සෘජු මාර්ගය තුල ස්ථාවර කරනු ඇත. එසේම ඔවුන්ගේ බියෙන් ඔබව ආරක්ෂා කරනු ඇත.’ මේ ශුද්ධ වූ කුර්ආනය සැබෑ මුස්ලීම්වරුන්ට ලබාදෙන දිව්‍යමය පොරොන්දුවකි. මෙම තත්වය අතීතයේ පැවතී මුස්ලීම් සමාජයන්ට හිමිව පැවති ආකාරය ඉතිහාස පොත්පත් තුල අදත් අප දකින්නෙමු. නමුත් අද මුස්ලීම් සමාජය ආගම දහමින් දුරස්ව ඒ සදහා විකල්ප ක්‍රම සෙවීම තුල අද සියල්ල අවුල්සහත තත්වයට පත්ව මුස්ලීම් සමාජය අවධානම් තැනකට තල්ලුවී ඇත. එසේනම් යලිත් වරක් දිව්‍යමය මඟපෙන්වීම කරා මුස්ලීම් සමාජය යොමු වියයුතුව ඇත. ඔවුන් යලිත් වරක් එලෙස පාරිශුද්ධ වූ දහම ලෝකයාට පිළිඹිබු කරවන තැනට කවදා යොමු වන්නේද? එදිනට තමා ලොවපුරා ජීවත් වන මුස්ලීම්වරුන් විශ්වාසයෙන් යුතු, බියක්, සැකයක් නොමැති සියළු ආයිතීන් ආරක්ෂා වූ සමාජයක් බවට පත් වන්නේ. එවැනි ඉලක්කයකට ඔබ ක්‍රියා නොකරන්නේ නම්, ශුද්ධ වූ කුර්ආනයේ 24-55 වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) කරන අවවාදයක් ඔබේ විමසුමට ගෙන එමින් මෙම ලිපිය අවසන් කරමි.

ඔබ (දෙවියන් වන) මා හට (කිසිවෙන් හෝ කිසිවක්) සමාන නොකොට වන්දනාමාන කරන්න!. ඉන්පසුව නුඹලාගෙන් කවුරුන් හෝ (ඉස්ලාම් දහම හෝ එහි කිසිවක්) ප්‍රතික්ෂේප කරන්නන් බවට පත්වුයේ නම්, නියත වශයෙන්ම ඔවුන් මහා අපරාධකරුවන් වන්නේය.’

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/17

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම