අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


රට පුරා ශෝක දිනයක් ප්‍රකාශ වී ඇති අද (එනම් 2019/04/23) දිනයේ පසුගිය 21 දින විශේෂයෙන් කිතුණූ ජනයා හා ඔවුන්ගේ නැමදුම් දේවස්ථාන මෙන්ම ඔවුන්ගේ උත්සව ස්ථාන ඉලක්ක කොට එල්ල කල මිලෙඡ්ච ත්‍රස්ථ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ‘යහමග’ තුලින් ශ්‍රී ලාංකීය සමාජයේ බුද්ධිමත් අවදානයට කරුණු කිහිපයක් ගෙන එන්නට කැමැත්තෙමි. මෙම මිලෙඡ්ච ප්‍රහාරයෙන් රටේ විවිධ ප්‍රදේශවල මේ වනවිට මියගිය සංඛ්‍යාව 320 ඉක්මවා ඇත. මීට අමතව තුවල ලබා රෝහල්ගතව තවමත් විශාල පිරිසක් ප්‍රතිකාර ලබයි. එසේම මෙම ප්‍රහාරයෙන් කිතුණු ජනයාගේ දේවස්ථාන කිහිපයක් ඇතුළුව පොදු දේපල විශාල ප්‍රමාණයකට ද දැඩි හානි සිදුව ඇත. මේ පිලිබදව ‘යහමග’ තම කණගාටුව හදවතින් ම ප්‍රකාශ කර සිටින අතර මෙම තිරිසන් මිලෙඡ්ච ක්‍රියාව පිලිකුලෙන් යුතුව හෙලාදකින බව ප්‍රථමයෙන් සටහන් කරමි.

ඒ සමඟ ම මෙහි දී ‘යහමග’ වැදගත් යොජනාවක් ද රජයට කරන්නට කැමැත්තෙමි. එනම්, මේ මිලෙඡ්ච ක්‍රියාවට සම්බන්ධ වූ පිරිස මුස්ලීම්වරුන් බවට ද දැන් අණාවර්ණය වෙමින් ඇත. සැබැවින්ම ‘මෙම මිලෙඡ්ච ක්‍රියාව පිටුපස ඇත්තේ මුස්ලීම්වරුන් නම්, ඔවුන් වෙනුවෙන් ඉස්ලාමීය නීතිය වන ප්‍රසිද්ධියේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න’ යන්නයි. මේ රටේ මුස්ලීම් ජනතාව වෙනුවෙන් විවාහ, දික්කසාද… වැනි කටයුතුවලදී ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක කරන්නේ නම්, මෙය ද අනිවාර්‍යයෙන් ක්‍රියාවට නැංවිය හැකි නීතියකි. මේ සම්බන්ධයෙන් මේ රටේ කිසිදු මුස්ලීම්වරයෙකු මේ මොහොතේ විරුද්ධ නොවන අතර එසේ විරුද්ධ වීමට ඔවුනට ඉස්ලාම් දහම තුල අවසර ද නැති බව සදහන් කලයුතුය. මෙම නීතිය මෙතැන් පටන් හෝ ක්‍රියාවට නැංවීමට මුස්ලීම් සමාජයෙන් පුළුල් කථිකාවක් ගොඩනැගිය යුතු යන්නත්, මෙය ක්‍රියාවට නැංවීමට රජයට බල කිරීමට මුස්ලීම් සමාජය ඉදිරිපත් වියයුතු යන්නත් ‘යහමඟ’ කරන යෝජනාවයි.

මෙහිදී තවත් වැදගත් කාරණයක් සමස්ත සමාජයේ බුද්ධිමත් අවදානයට යොමු කලයුතුව ඇත. එනම්, මේ මිලෙඡ්ච ප්‍රහාරය පසුපස සිටිනවායැයි පැවසෙන මුස්ලීම්වරුන් කණ්ඩායම හා ඔවුන්ගේ අන්තවාදී ක්‍රියාකලාප හා ප්‍රකාශ සම්බන්ධයෙන් මුස්ලීම් සමාජය අදාල බලධාරීන් හට ඕනෑවටත් වඩා අවස්ථා ගණනාවකදීම දැනුවත් කොට ඇත. මේ පිලිබදව සාක්ෂි මේ දිනවල මාධ්‍යයන් තුලින් ඉදිරිපත් වෙමින් ද ඇත. එපමණක් නොව මෙම ප්‍රහාරයේ නායකත්වය ගත්තා යැයි පැවසෙන පුද්ගලයා අන්තර්ජාලය හරහා (ෆේස්බුක් / යූටියුබ්… වැනි) අන්තවාදී මතවාද සමාජය තුල වපුරමින් ප්‍රසිද්ධියේ කටයුතු කලා යන්න නොරහසකි. ලොව දරුණුම ත්‍රස්ථවාදීන් වන එල්ටීටීඊ සංවිධානය විනාශ කල අපේ හමුදාව හා බුද්ධි අංශය මෙවැනි සුළු කණ්ඩායමක් සම්බන්ධයෙන් උදාසීන පිලිවෙතක් අනුගමනය කලේ ඇයිද? යන්න ‘යහමග’ ට පමණක් නොව මුළුමහත් රටටම අද මතුව ඇති පැනයකි.

මෙතැනදී මුස්ලීම් සමාජයේ වගකිවයුතු පාර්ශවයන් උගතයුතු පාඩමක්ද මෙහිදී අවදානයට ගෙන එන්නට කැමැත්තෙමි. ඉහත ආකාරයේ විකෘති මානසිකත්වයෙන් පෙලෙන පිරිස් සමාජයේ ආගම නමින් විකෘති මතවාදයන් වපුරන විට ඔවුන් සමඟ විවාදයන් හා සංවාදයන් කිරීමෙන් පමණක් තම වගකීම් අවසන් නොවන බව අවබෝධ කරගත යුතුය. මා මෙසේ පවසන්නේ ඉහත සිද්ධියට මුල් වූවායැයි පවසන පුද්ගලයා සමාජය තුල ඉස්ලාම් නමින් නොයෙකුත් විකෘති මතවාදයන් වපුරන විට ඔහුගේ මතවාදයට එරෙහිව විවිධ පාර්ශවයන් අදහස් හා මතයන් ප්‍රකාශ කලා මිස ඔහු සම්බන්ධයෙන් ඊට වඩා දැඩි ක්‍රියාමාර්ගයකට යොමු නොවුණි. රටේ ඉස්ලාමීය විද්වත් පිරිස් සාමූහිකව මොහු සම්බන්ධයෙන් එදා කිසියම් සාදනීය පියවරක් ගෙන තිබුණානම් මෙවැනි විනාශයක් අපට අද පහසුවෙන් වලක්වාගැනීමට හැකිව තිබුණි.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මේ සිදුවූ ක්‍රියාව ඉස්ලාම් දහම කිසිසේත් අනුමත නොකරන මහා පාපයක් මෙන්ම මිලෙඡ්ච ත්‍රස්ථ ක්‍රියාවකි. මා එසේ පවසන්නේ මෙම ප්‍රහාරය ඉස්ලාමීය මූලික ඉගෙන්වීම් සියල්ලටම පරස්පර වූ කෲර ක්‍රියාවක් වන නිසාය. මෙය ඉස්ලාම් නමින් කලත් ඔහු දැඩි මානසික විකෘතියකින් පෙලුණු අයෙකු යන්න තේරුම් ගැනීමට පහත ඉස්ලාමීය ඉගෙන්වීමන් හොදටම ප්‍රමාණවත්ය.

යුධ පිටියක දී පවා යුද සෙබළුන් අනුගමනය කලයුතු ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉස්ලාම් පනවා ඇත. ඒවා පහතින් පෙලගසන්නෙමි…

  • යුධ පිටියක වූවද කාන්තාවන් හා කුඩා දරුවන් ඝාතනය නොකල යුතුයි.
  • වෙනත් ආගම් වල පුජකයින් ඝාතනය හෝ වදහිංසා නොකලයුතුයි.
  • මහල්ලන් ඝාතනය නොකල යුතුයි.
  • සියදිවි හානි කරගැනීම නොකල යුතුයි.
  • යුද්ධයේ මියගිය මෘත දේහයට වදහිංසා නොකල යුතුයි.
  • යුද්ධයට සම්බන්ධ නොවු පොදු ජනයා ඝාතනය කිරීම නොකල යුතුයි.

ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ යුද්ධයක දී මුස්ලීම්වරයෙකු අනුගමනය කලයුතු අනිවාර්‍ය කොන්දේසි කිහිපයකි. මේ සියල්ල අමුඅමුවේ පාගාදමා අහිංසක ජනතාව තම ආගමික වතාවත් හි නියලී සිටින විට කරන ලද මෙම කෲර ක්‍රියාව සමස්ථ මුස්ලීම් ලෝකයම දැඩිව හෙළාදැකිය යුතුයි. මේ ආකාරයේ වූ පහත් ක්‍රියාවල ‘ඉස්ලාම්’ යන බෝඩ් ලෑල්ල පෙරටුකරගෙන ක්‍රියාත්මක වූවත්, එය ඉස්ලාම් නොවන බව පැහැදිලිව වටහා ගතයුතුය. එසේම මෙහි මා නැවත නැවතත් දැඩිව අවදාරණය කරන්නේ ‘ඉස්ලාම්’ නම් බෝඩ් ලෑල්ල පෙරටු කොට ඉස්ලාම් විරෝධි ක්‍රියාවල නියලෙමින් සමස්ථ මුස්ලීම් සමාජයම අවදානමකට ලක්කරන මෙවැනි විකෘති අන්තවාදී පිරිස් නීති හමුවට ගෙනඒමට අවශ්‍ය සහය මේ රටේ අදාල ආයතනවලට ලබාදීම සමස්ථ මුස්ලීම් සමාජයේ වගකීම යන්නයි. ඒ සදහා අවශ්‍ය සහය නොපැකිලී ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් මේ සටහන අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම