අයිස් මත් උවදුර පිලිබදව ඔබ අවදියෙන්ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ශ්‍රී ලාංකීය තරුණ පිරිස් අතර මත්ද්‍රව්‍ය භාවිතය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් ඇත. විශේෂයෙන් පාසැල් ළමුන් අතර ඉතා වේගයෙන් මෙය පැතිරෙමින් ඇත. එලෙස භාවිතා කරන මත්ද්‍රව්‍යන් අතුරින් ‘අයිස්’ නම් මාරක මත්ද්‍රව්‍යයට පිරිමි දරුවන් පමණක් නොව ගැහැණු පාසැල් දරුවන් ද එකසේ දැඩිව ඇබ්බැහිවීමේ ප්‍රවණතාවයක් සමාජය තුල පෙන්නුම් කරමින් ඇත. මෙය ‘අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පාසල් සිසුන් 81 දෙනකු ඉකුත් මාසයේදී පුනරුත්ථාපනට යොමු කර ඇතැයි’ අධයාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කල ප්‍රකාශය මනාව තහවුරු කරයි. (මෙයට අමතරව යහමග අඩවිය තුල යාවත්කාලීන කරන ‘ජාතියම ගිලගනිමින් තිබෙන මත්උවදුර’ නම් ෆෝරමය තුලින්ද මෙම මත් උවදුරින් සමාජයට සිදුවෙමින් පවතින පරිහානියේ තරම අවබෝධ කරගත හැක.)

මේ ආකාරයට රටේ තරුණ තරුණියන් බිලිගනිමින් රට ම අඳුුරු ඉසව්වකට ගෙනයමින් තිබෙන මෙම ‘අයිස්’ නම් මත්ද්‍රව්‍යයේ ස්වභාවය කුමක්ද? යන්නත්, එයින් මිනිස් සිරුරට ඇති කරවන බලපෑම කුමක්ද? යන්නත්, මෙම ‘අයිස්’ ඇබ්බැහිවීම සහ අලෙවිය යන කාරණය තුල මූස්ලීම් සමාජයේ ද සැලකිය යුතු පිරිසක් සම්බන්ධ වී සිටීම හේතුවෙන් මේ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්නත් මෙතැන් සිට මෙම ලිපිය තුලින් විමසා බැලීමට අදහස් කරමි.

‘අයිස්’ යනු කුමක්ද?

‘අයිස්’ යනු මිනිසුන් විසින් රසායනාගාරයේ නිපදවන උත්තේජක ඖෂධයකි. එහි විද්‍යාත්මක නාමය ‘මෙත්ඇම්ෆෙටමීන්’ (methamphetamine) යන්නයි. මෙම ‘අයිස්’ මත්ද්‍රව්‍යය CRYSTEL, METH, TINA, CHRISSY, ICE. SPEED, GLASS… වැනි විවිධ නම්වලින් ලොවපුරා හඳුන්වන අතර අප රටේ එය ‘ICE’ යන නමින් ප්‍රසිද්ධ වී ඇත. ‘අයිස්’ මෙන් පෙනෙන කුඩා, ඝන පැහැදිලි ස්ඵටික ස්වරූපයෙන් තිබෙන නිසා මෙය ‘අයිස්’ යනුවෙන් හදුන්වයි. මෙය තද සුවඳක් සහ කටුක රසයක් සහිත සුදු හෝ දුඹුරු වර්ණ කුඩු ලෙස වෙළද පොළේ තිබෙන බව පැවසේ. මෙම ‘අයිස් නොහොත් Methamphetamine’ හි ඉතිහාසය බිඳක් විමසා බලන්නේ නම, එය අද ඊයේ නිර්මාණය වූ එකක් නොවන බව පැහැදිලි වේ. මෙම ‘මෙත්ඇම්ෆෙටමීන්’ (methamphetamine) ට දීර්ඝ ඉතිහාසයක් ඇත.

‘අයිස්’ හි ආරම්භය, ඉතිහාසය සහ ක්‍රියාකාරීත්වය,

මෙම Methamphetamine හි ආරම්භය සිදුවන්නේ 1887 දී ජර්මනියේදීය. එය 1919 දී ජලයේ දියකල හැකි ද්‍රවණයක් ලෙස ජපානය විසින් වැඩිදියුණු කර ඇත. මොළය සහ ශරීරය අතර ගමන් කරන පණිවුඩ වේගවත් කරන මෙම ‘අයිස්’ නොහොත් Methamphetamine (මෙත්ඇම්ෆෙටමීන්) ලෝකය තුල අධික ලෙස භාවිතයට ගැණුනේ දෙවන ලෝක සංග්‍රාමයේදීය. හමුදා භටයන් අවදියෙන් සහ සෝදිසියෙන් සිටීමට මෙන්ම දුෂ්කරතා විඳදරා ගැනීම වර්ධනය කරනු පිණිස ඔවුනට මෙය ඖෂධයක් ලෙස ලබාදී ඇත. මීට අමතරව ජපන් ගුවන් නියමුවන්ට ඔවුන්ගේ සියදිවි නසාගැනීමේ මෙහෙයුම් වලට පෙර ඉහළ මාත්‍රවක් ලබාදුන් බවද පැවසේ.

‘අයිස්’ මඟින් ශරීරයට ඇති කරන බලපෑම,

ලොව පවතින මත්පැන්, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍යවලට සාපේක්ෂව මෙම ‘අයිස්’ මත්ද්‍රව්‍යයට තරුණ ප්‍රජාව දැඩි ආකර්ශනයක් දක්වන්නේ ඇයිද?. යන පැනය බොහෝ දෙනෙකු තුල ඇත. මේ පිලිබදව අන්තර්ජාලය තුල කල විමසා බැලීමේදී ‘අයිස්’ මත්ද්‍රව්‍යය භාවිතා කලවිට එය අනිකුත් මත්ද්‍රව්‍යයන්ට සාපෙක්ෂව ක්ෂණිකව ක්‍රියාත්මක වී පහත ලක්ෂණ තාවකාලිකව ඇති කරවන බව එහි දක්නට ලැබුණි. එනම්,

  • ‘අයිස්’ මත්ද්‍රව්‍යය ලබාගත් ක්ෂණයකින් තම සිතට දැඩි සතුටක් දැනීම,
  • මනසෙහි පැහැදිලි බවක් දැනීම,
  • විශාල කාය ශක්තියක් ඇතිවීම,
  • පැහැදිලිව සිතීමේ හැකියාව ඇතිවීම,
  • ලිංගික ආශාවන් වැඩි වීම,
  • හොඳ තීරණ ගැනීමට හැකිවීම,
  • යමක් ඵලදායී ලෙස සැලසුම් කළ හැකි වීම,

ඉහත තත්වයන් අප ශරීරය තුල ඇති වීමට මූලික හේතුව මෙම ‘මෙත්ඇම්ෆෙටමීන්’ නොහොත් ‘අයිස්’ මඟින් අප ශරීරය තුල ‘ඩොපමයින් (dopamine) හෝමෝන ක්‍රියාකාරී මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා 1,000 ගුණයක් දක්වා වැඩි කිරීමයි. මෙම ‘ඩොපමයින්’ හෝමෝනයේ ක්‍රියාකාරීත්වය ඔබට සරල නිදසුනකින් පවසනවා නම්, ඔබේ ප්‍රියතම ආහාරය ‘ඩෝනට්’ යයි සිතන්න. එම ඩෝනට් සකසන සුවඳක් ඔබේ නාසයට දැනෙන විට ඔබේ මොළයේ ‘ඩොපමයින්’ හෝමෝනය නිකුත් කරයි. එවිට ඔබට සතුටක් දැනේ. ඔබ ඒවා අනුභව කරන විට, ඩොපමයින් හෝමොනය ගංවතුර මෙම දෝර ගලයි. එවිට ඔබ සතුටින් ඉපිලෙයි. නමුත් කාලයක් එලෙස ක්‍රියාත්මක වනවිට එම ආසාව තෘප්තිමත් කරදමයි. එවිට ‘ඩෝනට්’ කෙරෙහි තිබූ ආශාව නැති වී යයි. මෙම ක්‍රියාකාරීත්වය ‘අයිස්’ මඟින් අප ශරීරය තුල සාමාන්‍ය මට්ටමට වඩා 1000 ගුණයකින් වැඩි කරයි. එවිට තාවකාලිකව ඉහල සතුටක් වින්දනයක් ලැබුවද, කාලයත් සමඟ නරක තත්වයන් ගණනාවක් ශරීරය තුල නිර්මාණය වේ. එවැනි බලපෑම් කිහිපයක් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නේ නම්,

  • ආහාර රුචිය නැති වීම,
  • රුධිර පීඩනය ඉහල යාම,
  • ශරීර උෂ්ණත්වය ඉහළ යාම
  • වේගයෙන් හුස්ම ගැනීම,
  • වේගවත් හෝ අක්‍රමවත් හෘද ස්පන්දනය,
  • නින්ද නැති වී යාම,
  • නිතර ඔක්කාරය ඇති වීම,
  • විකාර, අක්‍රමවත්, ආක්‍රමණශීලී, කෝපාවිෂ්ට හෝ ප්‍රචණ්ඩකාරී හැසිරීම් ඇතිවිම,
  • හදවතට සහ මොළයට ස්ථිර හානි ඇති වීම,
  • අධි රුධිර පීඩනය නිසා හෘදයාබාධ, හා මරණ ඇති වීම,
  • අක්මාව, වකුගඩු සහ පෙනහළු වලට හානි වීම
  • සාංකාව හා ව්‍යාකූලත්වය ඇති වීම,
  • ආතතිය වැනි මානසික රෝග ලක්ෂණ (සමහර විට මාස හෝ අවුරුදු ගණනක් පැවතිය හැකි) වීම,
  • දැඩි කැසීම, සමේ තුවාල වැනි සමේ රෝග ඇති වීම,
  • දරුණු දන්ත ගැටළු ඇති වීම,

‘අයිස්’ පිලිබඳව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද?

මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න ඉස්ලාම් දහම තම මූලාශ්‍රයන් තුලින් සරලව හා පැහැදිලිව මුස්ලීම් සමාජයට දේශනා කොට ඇත. එනම්, පියවී සිහිය නැති කරවන, මනස විකෘති කරවන සහ ශරීරය මත් කරවන එසේම ශරිරයට හානි කරවන ඕනෑම දෙයක්සි භාවිතය ඉස්ලාම් දහමට අනුව ‘හරාම් ( නොහොත් තහනම්)’ වේ. එය මත්පැන් ලෙස ආවත්, මත්ද්‍රව්‍ය ලෙස ආවාත්, ‘අයිස්’ ලෙස ආවත්, වෙනත් කුමන ස්වරූපයකින් ආවත් කම් නැත. (ඒ පිලිබදව විවිධ අවස්ථාවල සාකච්චා කල ලිපි මෙම අඩවිය තුල ‘මත්ද්‍රව්‍ය යන ගොනුව යටතේ කියවීමට පුළුවන.) මෙම මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය පිලිබදව ඉස්ලාම් දහමේ අවවාද කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට මෙහි තබන්නේ නම්,

අල්ලාහ් (දෙවියන්)ගේ දූතයාණන් පැවසූ බවට ආයිෂා (රලි) තුමිය මෙසේ පවසයි. “නබි තුමාණන් හමුවේ මී පැණිවලින් සකසන’අල්බීත්’ නැමැති පානය පිළිබඳව විමසන ලදී. එයට නබිතුමාණන් ‘මත්ගතිය ගෙනදෙන සෑම පානයක්ම (හරාම්) තහනම් වේ’ යනුවෙන් පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

“අධික ලෙස පානය කලේ නම් (එයින්) මත් ගතියක් ගෙන ඒ නම්, එම පානය සුළු වශයෙන් පානය කිරීම ද (හරාම්) තහනම් වේ” යනුවෙන් නබිතුමාණන් පැවසූ බවට ජාබිර් (රලි) තුමාණන් පවසයි.

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

“එක්තරා අවස්ථාවක සහාභිවරයෙකු පැමිණ නබිතුමාණන්ගෙන් මෙසේ විමසන ලදී. ‘(මුස්ලීම්වරයෙකුට) මත්පැන් පානය කිරීමට අවසර තිබෙනවා ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘එය තහනම් කළ පානයක්’ යයි පවසන ලදී. එයට ඔහු ‘එය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘නියත වශයෙන්ම එය රෝග සුව කරන ඖෂධය පානයක් නොවේ. එය මත් පානයක් පමණි. එසේම එය (පානය කිරීම) රෝගයක් පමණි’ යනුවෙන් පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – අහමද්, අබූදාවූද්

මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයට ඉස්ලාම් දහම කරන අවවාදය මේ ආකාරයට තිබියදීත්, මෙම අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අප රටේ පුවත්පත් හි පලවන පුවත් සහ සමාජය තුල සිදුවන සිද්ධීන් හොදින් විපරම් කර බලන විට මෙම මත්ද්‍රව්‍ය අලෙවියෙහි හා භාවිතයෙහි ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවද අනිකුත් ප්‍රජාවන් හා කරට කර විටෙක ඔවුන් අභිබවා සිටින ආකාරයක් පෙනෙන්නට ඇත. මුස්ලීම් සමාජය යහමග ගැන්වීම පිණිස ජාතික හා ග්‍රාමීය මට්ටමේ විවිධ සංවිධාන, හන්දියක් හන්දියක් ගානේ මුස්ලීම් දේවස්ථාන (පල්ලි), එහි සතිපතා සිකුරාදා (ජුම්මා) දේශන, දිනපතා පස්වේල් නැමදුම්,.. යනාදීය ක්‍රියාත්මක වෙත්දීත්, ඒ කිසිවකින් කිසිදු පලක් නොවූ මත් උවදුරට ගොදුරු වූ සැලකිය යුතු පිරිසක් මේ සමාජය තුල සිටිනවා යන්න නොසලකා හැරිය හැකි කාරණයක් නොවේ.

මෙවැනි කායිකව හා මානසිකව රෝගී වූ පිරිස් සැරිසරණ පරිසරයක් තුල නිරෝගි හා සුවපත් සමාජ තත්වයක් කිසිසේත් අපෙක්ෂා කල නොහැක. එයට කදිම නිදසුන ලෙස පසුගිය 2022/05/27 දින බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ පදිංචිව සිටි ෆාතිමා අයිෂා නැමැති කුඩා දැරියගේ අමානුෂික ඝාතනය සදහන් කල හැක. මීට අමතරව මෙවැනි පුවත් අප රටේ මාධ්‍යයන් හරහා දෛනිකව අසන්නටත් දකින්නටත් ලැබීම මෙම අරාජිකත්වය හොදින් පිළඹිබු කරන්නකි.

මෙම අවාසනාවන්ත තත්වයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනිමට නම්,

  • රටේ නීතිය මත ම විශ්වාසය තබා බලා නොහිඳ සමාජයේ විවිධ මට්ටමින් මේ මත්උවදුර තුරන් කිරීමේ ක්‍රියාකාරී වැඩපිලිවලවල් ක්‍රියාවට නැංවිය යුතුව ඇත.
  • එහිදී ආගමික සිද්ධස්ථාවලට, ආගමික නායකයින් ට සහ සමාජ ක්‍රියාකාරී සංවිධානවලට ඉහල වගකීමක් ඇත.
  • විශේෂයෙන් ගම් මට්ටමේ සිට නගර මට්ටම දක්වා ම මෙම උවදුරට ගොදුරු වූ පිරිස වහාම නීතිය ඉදිරියට ගෙන ගොස් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය විනාශ කලයුතුව ඇත.
  • එසේම මෙම උවදුරට ඇබ්බැහි වූවන් පුනරුත්තාපනය කොට සමාජගත කරන අතර මෙවැනි උවදුරුවලට අනිකුත් පිරිස් ගොදුරු නොවන තරමට දැනුවත් කිරීම් සහ එහි ආදීනය පෙන්වාදීමේ පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක කලයුතුව ඇත.

ඒ සදහා රටේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවේ සිට ඈත පිටිසර ගමේ වෙසෙන සාමාන්‍ය පුරවැසියා දක්වා වූ සියළු පාර්ශවයන්ට නුවණැස පෑදේවා!, ඒ තුලින් මතින් තොර රටක් නිර්මාණය වේවා! යන පැතුමෙන් මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/10/24

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම