අරුම පුදුම නෙත් ‍එෆ්. එම්. මත විමසුම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


‘…අද අප රටේ ඉස්ලාම් දහමට හා මුස්ලිම් සමාජයට එරෙහිව විවිධ වූ මඩ ව්‍යාපාරයන් දියත් වෙමින් පවතින තත්වයක, ඒවාට සෘජුවම හා වක්‍ර ආකාරයට බොහෝ මාධ්‍යයන් සහයෝගය දක්වන වකවානුවක, මෙයත් එවැනි ව්‍යාපාරයේම එක් අංගයක්ද? නොඑසේ නම් වැරදීමක්ද? යන කුතුහලය දිගින් දිගටම පැවතීම නිසා මේ සම්බන්ධයෙන් ‘නෙත් එෆ් එම්’ දක්වන ප්‍රතිචාරය යහමග බලාපොරොත්තුවෙන් සිටිමි…’

ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ 2011/09/12 දින ‘නෙත් එෆ් එම්’ ගුවන්විදුලි මාධ්‍යය තුල ඉදිරිපත් කල ‘බැලුම්ගල’ වැඩසටහන වීඩියෝවක් ලෙස සකසා තම වෙබ් අඩවිය තුල ඉදිරිපත් කිරීමේ දී ඉස්ලාම් දහමට අපහස වන ආකාරයට එහි රූපරාමු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ‘යහමග’ අඩවිය කරුණු ඉදිරිපත් කල ‘නෙත් එෆ් එම් ට වැරදුනාද? වැරැද්දුවාද?’ යන ලිපිය තුලින් උපුටාගත් ඡේදයකි. එදා එවැනි ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට තරම් ‘නෙත් එෆ් එම්’ ගුවන්විදුලි නාලිකාව පිලිබදව ‘යහමග’ අඩවියට හොද ආකල්පයක් තිබුණි. නමුත් වර්ථමානයේ මෙම නාලිකාව තුල ඉදිරිපත් කරන සමහරක් වැඩසටහන් දෙස බලන විට එදා ‘යහමග’ අනුමානය කල සැකය නිවරුදි දෝ? යනුවෙන් හා මේ නාලිකාව තුල අප රටේ ජාතිවාදී මෙන්ම අන්තවාදී පිරිසකගේ සැඟවුණු න්‍යායපත්‍රයන් ක්‍රියාවට නැංවෙනවා දෝ? යනුවෙන් සැකයන් මතු වෙමින් ඇත.

මෙම කාරණය වෙත යොමු වීමට පෙර මෙහි ප්‍රථමයෙන් ‘නෙත් එෆ් එම්’ මාධ්‍යයට ස්තූතියක් කලයුතුව ඇත. ඒ 2013/02/20 දින රාත්‍රී 7.30 ට ‘බැලුම්ගලින් නොකී කථා’ නම් වැඩසටහන තුල වර්ථමානයේ අප රටේ උණූසුම් මාතෘකාවක් වී තිබෙන ‘හලාල්’ ඇතුළු අනිකුත් ඉස්ලාමීය ආගමික නීති පිලිබදව සංවාදයක් සදහා අවස්ථාව එම මාධ්‍යය තුල අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙනි. එම සංවාදය පහතින් ඉදිරිපත් කර ඇත.

2013/02/20 දින නෙත් Fm හි සිදුකල සාකච්චාව

දැන් මෙම ලිපියේ මාතෘකාව තුලින් පවසන එසේම ඉහතින් සැකයන් මතු කල කාරණය වෙත සෘජුවම යොමු වන්නේ නම්, පසුගිය දිනක ‘නෙත් එෆ් එම්’ ගුවන්විදුලි නාලිකාව තම වෙබ් අඩවියේ මුස්ලීම් සමාජය කම්පා කරවන මත විමසුමක් ඉදිරිපත් ‍කොට තිබුණි. එය මෙසේය

අද අප රටේ සමහරක් අන්තවාදී පිරිස් මුස්ලීම් සමාජයට පමණක් නොව ඔවුන්ගේ ආගමික අයිතීන්ටද අභියෝග කරන තැනකට කටයුතු කරමින් ඇත. විශේෂයෙන් ‘හලාල්’ විෂය සම්බන්ධයෙන් ‘යහමග’ ස්ථාවරය පැහැදිලි කරමින් ‘2013 මුස්ලීම්වරුන්ට තීරණාත්මක වර්ෂයක්‘ යන ලිපිය ඉදිරිපත් කරන විට එක්තරා සහෝදරයෙකු මගෙන් විමසූ මුල්ම ප්‍රශ්නය වුයේ මෙහෙම අපි ‘හලාල් සහතිකය ඉවත් කරගත්තේ නම් හෙට අපේ ඉස්ලාමීය ඇදුම් විලාසයටත් අත නොතියාවිද?’ යන්නයි. එහිදී මා ඔහුට පැවසුවේ ‘නැහැ එහෙම වෙන්නේ නැහැ ඒක අපේ ආගමික අයිතියක්’ යනුවෙනි. නමුත් දැන් අප සමාජයේ අන්තවාදී පිරිසගේ මීළඟ කුරුමානම මේ ඉස්ලාමීය ඇදුම් විලසය දෝ යන සැකය මතුවෙමින් ඇත. එයට ඉහත මත විමසුමද එක් නිදසුනකි.

මේ රටේ සුළුතරය වන මුස්ලීම්වරුන්ගේ ආගමික අයිතියක් රටේ බහුතරයකගේ මත විමසුමට ඉදිරිපත් කිරීම සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවේ. විශේෂයෙන් රටපුරා ඉස්ලාම් විරෝධි ව්‍යාපාරයන් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින අවධීයක මෙවැනි මත විමසුමක් සිදුකිරීම ඒ අන්තවාදී පිරිසට ඉනිමං බැදීමක් මෙන්ම අනුබලදීමක් මිස අන්කිසිවක් නොවේ. ඉස්ලාමීය කාන්තාව තම මුහුණ වැසිය යුතු යන්න ඇයගේ ආගමික අයිතියක්. එම අයිතිය මත විමසුමට ලක්කිරීමට කිසිවකුටත් අයිතියක් නැත. විශේෂයෙන් ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව මූලික අවබෝධයක් පවා නොමැති රටේ බහුතර‍යගෙන් මේ පිලිබදව මත විමසීම කිසිසේත් සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවේ. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස සරල නිදසුනක් ඉදිරිපත් කරන්නේ නම්, බෞද්ධ ‘භික්ෂූන් වහන්සේලා සිවුරු ඇදීම තහනම් කලයුතු ද? නැද්ද?’ යනුවෙන් මත විමසුමක් මේ සමාජය තුල කිසිවකු කරන්නේ නම්, එය සැබෑ බෞද්ධයෙකු ලෙස කොතෙක් දුරකට ඔබ අනුමත කරන්නේද? එපමණක් නොවේ එම මත විමසුම බෞද්ධයන් ඉතා සුළුතරයක් වූ සමාජයක් මධ්‍යයේ විමසුවේ නම් එය කොතරම් සදාචාරසම්පන්න ලෙස ඔබ දකින්නේද?. සමහර විට මේ නිදසුන කියවන විටත් ඔබට මා කෙරෙහි නොසතුටක් ඇතිවීමට පුළුවන. එසේනම් රටේ වගකිවයුතු මාධ්‍ය ආයතනයක් කරනු ලබන ඉහත ක්‍රියාව බුද්ධිමත් සමාජයක් අනුමත කරන්නේ කොහොමද?

මෙහිදී සදහන් කලයුතු තවත් සුවිශේෂි කාරණයක් ඇත. ඒ වර්ථමානයේ අන්තර්ජාලය තුල කොතරම් බුද්ධිමත් සංවාදයන් හා මතවාදයන් ප්‍රකාශ වෙනවාද? යන්න මෙවැනි මත විමසුම් ඉදිරිපත් කරන පිරිස් හොදින් විමසා බැලිය යුතුය. අන්තර්ජාල භාවිතාව පිලිබදව සාමාන්‍ය බුද්ධියක් ‍හෝ තිබේ නම්, අද මඩ ව්‍යාපාරවලට හා ඕපාදුපවලට ඉදිරිපත් වන ප්‍රතිචාර හා විද්වත් ලිපිවලට ඉදිරිපත් වන ප්‍රතිචාර සංඛ්‍යාත්මක ලෙස විමසා බලන විට මෙවැනි මත විමසුමක් කොතරම් සාධාර්ණද? යන්න තීන්දු කිරීම දුෂ්කර එකක් නොවේ. එපමණක් නොවේ සිංහල මාධ්‍යය පිලිබදව මෙන්ම සිංහල මාධ්‍ය ගුවන්විදුලි වැඩසටහන් පිලිබදව අල්ප දැන්මක් හෝ නොමැති මේ රටේ බහුතර මුස්ලීම් ප්‍රජාව මේ මත විමසුමට හවුල් නොවන බව සාමාන්‍ය බුද්ධීයක් ඇති කෙනෙකු පවා හොදින් දන්නා කාරණකි. එසේ තිබිය දී මෙවැනි මත විමසුම් තුලින් ‘නෙත් එෆ් එම්’ වැනි මාධ්‍ය ආයතනයන් අපේක්ෂා කරන්නේ කුමක්ද?. සැබෑවටම මෙවැනි මත විමසුමක උවමනාව කාගෙද?

අවසාන වශයෙන් ඉහත කාරණයේ බරපතලකම හොදින් අවබෝධ කරගැනීම පිණිසත්, අප රටේ අන්තර්ජාල භාවිතය පිලිබදව ‘නෙත් එෆ් එම්’ මාධ්‍ය ආයතනය අවබෝධයක් ලබාගැනීම පිණිසත්, විශේෂයෙන් අන්තර්ජාලය තුල කොතරම් බුද්ධිමත් මතවාද ඉදිරිපත් වෙනවාද? යන්න දැන ගැනීම පිණිසත් තවත් මත විමසුම් දෙකක් ඉහත නාලිකාව සදහා ‘යහමග’ යෝජනාවක් කරන්නට කැමැත්තෙමි. එනම්,

  • මේ රටින් මුස්ලීම් ජනයා පිටුවහල් කලයුතුද? නැද්ද?
  • මේ රට තුල මුස්ලීම් ජනයා ඉස්ලාම් දහම ඇදහීම තහනම් කලයුතුද? නැද්ද?

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම