අරුම පුදුම පිලිතුරු ලිපියක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


මීට දින කිහිපයකට පෙර යහමග වෙබ් අඩවියට අරුම පුදුම අභියෝගයක් එක්තරා Blog එකකින් කර තිබූණි. එයට යහමග අඩවිය “අරුම පුදුම අභියොගයක්” යන මැයෙන් පිලිතුරු ලිපියක් ඉදිරිපත් කරන ලදී. එම ලිපිය අභියෝගයට ලක් කරමින් අරුම පුදුම පිලිතුරු ලිපියක් “අබු අර්ශද්ගේ කුරාණගත ‘විද්‍යාත්මක’ කරුණු” යන මැයෙන් නැවත ලිපියක් ලියා තිබුණි. එම ලිපියෙහි කතෘ ඉස්ලාම් දහම අන්තවාදීව හා වියරුවෙන් විවේචනය කරන කෙනෙකු බව ඔහුගේ Blog එක පරීශීලනය කරන සියළුදෙනා හොදින් දනී. එමනිසා ඔහුගේ ලිපියවලට පිලිතුරු සැපයීම “බීරි අලීන්ට වීනා වයනවා සේය.” නමුත් ඔහුගේ අනවබෝධය නිසා ඉහත blog හි පලකර තිබුණු එම පිලිතුරු ලිපිය තුල එහි කතෘ පාඨක පිරිස් සූක්ෂම ආකාරයට මුලාකර ඇති ආකාරය සමාජයට අනාවරණය කිරීම කලයුතුව ඇත. ඒ අනුව එම ලිපියෙහි එවැනි කරුණු කිහිපයක් ගෙනහැර දැක්වීමට අදහස් කරමි.

(මෙහි එම පිලිතුරු ලිපිය කිසිදු සංශෝධනයකින් තොරව පහතින් ඉදිරපත් කර ඇති අතර එහි සදහන් කරුණුවලට අංක යොදා එම ස්ථානයේම පහතින් පිලිතුරු දී ඇත)

අබු අර්ශද්ගේ කුරාණගත “විද්‍යාත්මක” කරුණු

(1)බොහෝ මුස්ලිමුන් විසින් ගෙන යනු ලබන, අබු අර්ශද් විසින් සිංහලෙන් කරගෙන යන “විද්‍යාතමක ඉස්ලාම්” බොරු පෙලේ තවත් ලිපි දෙකක් පළ වෙලා. මීට කලින් ලිපියකදී රාළ අභියෝගයක් කළා “නවීන විද්‍යාව විසින් හෝ සමකාලීන උගතුන්ට පෙර, ඉස්ලාම් ආගම මගින් හොයා ගත්තු නවීන විද්‍යාත්මක සත්‍යන් පහක්, කරුණු සහිතව ඔප්පු කරල පෙන්වන විදියට මම අබු අර්ශද්ට අභියෝග කරනවා” ලෙස. අබු අර්ශද් මෙයට ප්‍රතිචාරයක් දාල තියෙනවා. ඒ අතින් අර්ශද් ගෙ මේ ගතිගුණය රාළ අගය කරනවා. මොකද හම්බ බෝධිලා වගේ කොමෙන්ට් වාරණය කරගෙන ඉන්නේ නැතුව සංවාදයට එළබීමට අර්ශද් කැමැත්තක් දක්වන නිසා. සංවාදය තුලින් අර්ශද් ඉස්සරහ තියෙන ඔය ගණ තිමිරය අයින් වෙලා යාවි යයි රාළ විශ්වාස කරනවා.
කාරණා පහ ගැන සංවාදෙට එන්න කලින් අර්ශද් එයාගේ චූර්ණිකාවේ කියන කාරණා ගැනත් පොඩි අවධානයක් යොමු කරමු. අර්ශද් කියනවා “මීට අමතරව විද්‍යාවද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ ඒ උපකල්පන විද්‍යාව හා ඔප්පුකල විද්‍යාව වශයෙනි” කියල. ඇත්තටම අර්ශද් හරි. පරමාණුව දැකීම හා දෙවියන් දැකීම යන දෙකම එකම සංකල්ප. විද්‍යාව අනුව පරමාණුව ඇති බවට සාක්කි ඉදිරිපත් කරනවා.

(1) ඉහතින් රාල සදහන් කරනවා සේ ආගම් හා විද්‍යාව යන්න වෙන් වූ විෂයන් දෙකක් යන්න සැබෑවකි. එසේම පරමාණුව මිනිසා අවබෝධ කරගත්තේ පියවී ඇසින් දැකීමෙන් හෝ පංච ඉන්ද්‍රයන්ට ගෝචර වූ නිසා නොව අවබෝධයෙනි. එසේම පංචන්ද්‍රයට එය ගෝචර නොවූ නිසා පරමාණු නැතැයි කිසිවකු පැවසූවේ ද නැත. ඒ විද්‍යාත්මක පරීක්ෂණ හා නිරීක්ෂණ පදනම් කරගෙන පරමාණුව පිලිබදව නිගමනයකට විද්‍යාවට එළඹීමට හැකි වූ නිසාය. කිසිදින නොදුටු පරමාණුව පිලිබදව විග්‍රහයක් විද්‍යාව පදනම් කරගෙන සිදුකලා සේ දෙවියන් පිලිබදව වූ විග්‍රහය ආගම් පදනම් කරගෙන සිදුකලයුතු වේ. එහිදී ඉස්ලාම් අවධාරනය කරන කාරණය තමා දෙවියන්ගේ මැවීමන් දෙස විමසුම් ඇසින් බලන්න එවිට ඔබ දෙවියන්ව අවබෝධ කරගනු ඇත යන්න. එහි මෙපමණ සංකීර්ණ වූ විශ්වය දෙවියන් කෙසේ නම් සමබරව මවා තිබෙනවාද යන්න නිරීක්ෂණය කරන්න යන්න එක් ඉගෙන්වීමකි. එවැනි කරුණු කිහිපයක් ඔබගේ අවධානයට පවසනවා නම්,

සූර්යයා හා පෘථිවිය අතර දුර

මෙහි පරතරය මීට වඩා වැඩිවුයේ නම්, මෙම ග්‍රහලොව ජලය මීදී හිම කැටයක් සේ පවතිනු ඇත. මෙහි පරතරය මීට වඩා අඩු වුයේ නම්, මෙහි පවතින ජලචක්‍රය ව්‍යාකූල වී මෙම ග්‍රහලොව දැවී යනු ඇත.

භූ තලයේ ඝනකම

මෙය දැනට පවතින ප්‍රමාණයට වඩා ඝන වුයේ නම්, වායුගොලයේ පවතින ඔක්සිජන් පොලොව තලය තුලට ඇදගනු ඇත. මීට වඩා තුනී වුයේ නම්, පෘථිවය මත අධික ලෙස ගිනිකදු නිර්මාණය වී ජීවින්ට අහිතකර ස්ථානයක් බවට මෙය පත්වනු ඇත.

ඕසෝන් ස්ථරයේ ප්‍රමාණය

මෙය මීට වඩා ඝනකම් වුයේ නම් පෘථිවියෙහි උෂ්නත්වය ජීවින්ගේ වාසයට නුසුදුසු මට්ටමට අඩුවෙනු ඇත. මෙය මීට වඩා තුනී වුයේ නම් සුර්යය‍ාගෙන් පිටවෙන අධික තාපය හා විවිධ කිරණ හේතුකොටගෙන මෙම පෘථිවිය ජීවින් වාසයට නුසුදුසු ස්ථානයක් බවට පත්වනු ඇත.

ඉහතින් සදහන් කර ඇත්තේ කරුණු කිහිපයක් පමණි. කිසියම් කෙනෙකු හට මෙම කාරණයන් ස්වභාධහමේ තේරීම ලෙස අන්තවාදීව අදහස් පලකල හැක. නමුත් මෙවැනි කරුණු දෙස මධ්‍යස්ථව හා බුද්ධිමත් ලෙස විමසා බැලුවේ නම්, පරමාණුව මිනිස් පංචන්ද්‍රයන්ට ගෝචර නොවුවත් මිනිස් බුද්ධියට ගෝචර වන ආකාරයට විද්‍යාව තුලින් අනාවරණය කරගත්තා සේ මිනිස් පංචේන්ද්‍රයට ගෝචර නොවන දෙවියන් අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. (මේ පිලිබදව වැඩිදුර විස්තර සදහා දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරනවාද? යන ලිපිය කියවන්න) වර්ථමානයේ දේවවාදයට එරෙහිව විවිධ මතවාද සමාජය තුල වැපිරීම තුලින් එය සංකීර්ණ විෂයක් බවට කෘතිම මතවාදයක් නිර්මාණය කර තිබුණද සැබැවින්ම එය සංකීර්ණ නොවන සරල කාරණයකි. (මේ පිලිබදව වැඩිදුර කරුණු මිනිස් බුද්ධිය දේවවාදය ප්‍රතික්ෂේප කරනවාද? යන ලිපිය තුලින් ද ඔබට කියවීමට හැක.)

(2) දෙවියන් ඇති බවට කුරාණය හා බයිබලය පාවිච්චි කරමින් සාක්කි ඉදිරිපත් කරනවා. මේ සාක්කි ඉදිරිපත් කර ගැනීම් ආගම හා විද්‍යාව යන වෙනම කලාප දෙකට සීමා වෙලා තිබුණා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද විද්‍යාවට ගෝචර නොවෙන දෙවියන් වහන්සේ විද්‍යාවෙන් ඔප්පු කරන්න කියල කිසිම කෙනෙක් ඉල්ලා හිටින්නේ නෑ.

(2) නූතන විද්‍යාවේ දියුණුවත් සමඟ මනුෂ්‍යා සියල්ල විද්‍යාව තුලින් දැකීමට පුරුදු පුහුණු වී සිටී. එහි වරදක් ඇති බව මා නොපවසමි. මන්ද එය මිනිස් බුද්ධියත් සමඟ සිදුවන ගනුදෙනුවක් වන නිසාත් ඉස්ලාම් මිනිස් බුද්ධියට මුල්තැන දී ක්‍රියාකරන ආගමක් වන නිසාත්ය. (මේ පිලිබදව වැඩිදුර විස්තර “චින්තන නිදහස හා ඉස්ලාම්” යන ලිපිය තුලින් ඔබට කියවීමට හැක) කෙසේ වෙතත් “විද්‍යාව තුලින් දේවවාදය ඔප්පු නොකලයුතුයි”යන්න පවසන පිරිසගෙන් විමසන්නට ඇත්තේ “විද්‍යාව දේව වාදය ප්‍රතික්ෂේප කරනවාද?” යන්නයි. මා මීට පෙර ලිපිවල සදහන් කලාසේ සත්‍ය දහමකට විද්‍යාව යන්න ආශිර්වාදයක් මිස අභියෝගයක් නොවේ. විද්‍යාවෙහි මුලධර්මයන්ට අනුකූලව දේව වාදය හෙලාදැකීම යන්න විද්‍යාවේ මූලධර්මයන්ට ම පරස්පර වූ කාරණයක් යන්න මෙම වෙබ් අඩවිය හරහා මීට පෙර “දේව වාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරනවාද?” යන මාතෘකාව ඔස්සේ සාකච්චා කොට ඇත. මේ හේතුව නිසා තමා ලොව ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අතර කෙනෙකු වන සුප්‍රකට දාර්ශණයකු වන ප්‍රරන්සිස් බැකම් වරක් මෙසේ පවසන ලද්දේ,

”විද්‍යාව සම්බන්ධයෙන් අවම දැනුමක් ඇති පුද්ගලයෙක් අදේවවාදයට තල්ලූවේ. නමුත් විද්‍යාව ගැඹුරින් අධ්‍යනය කල විද්‍යාඥයින් කිසිදු දිනක දේවවාදය ප්‍රතික්‍ෂේප නොකරයි.”

කෙසේ නමුත් ඉස්ලාම් දහම තුලින් විද්‍යාව දැකීමත් විද්‍යාව තුලින් ඉස්ලාම් දහම දැකීමත් බුද්ධිමත් ක්‍රියාවක් ලෙස සැලකිය නොහැක. මන්ද ඉස්ලාම් දහම හා විද්‍යාව අතර ඇත්තේ ඉතා පුළුල් අවකාශයකි. ඉස්ලාම් ලොවට අනාවරණය කරණ කරුණු කාරණා සමඟ විද්‍යාව මෙතෙක් අනාවරණය කරගෙන ඇති කරුණු කාරණා සංසන්දනය කරන විට විද්‍යාව තවම ප්‍රථමික අවධියක පසුවෙනවා යයි කිව හැක. ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනය තුලින් අනාවරණය කරන අනන්ත කාරණා අතුරින් කිහිපයක් විද්‍යාඥයින් දැක ඔවුන් මවිතයට පත්වීම තුලින් විද්‍යාව හා ඉස්ලාම් දහම අතර ඇති පරතරය හොදින් වටහාගත හැක. නමුත් වර්ථමාන මිනිස් සමාජය සියල්ල විද්‍යාව තුලින් දකින්නට අවබෝධ කරගන්නට උත්සාහ දරයි. (එය ඉහත රාලගේ “…නවීන විද්‍යාත්මක සත්‍යන් පහක්, කරුණු සහිතව ඔප්පු කරල පෙන්වන්න…” යන අභියෝගය තුලින්ද මනාව පැහැදිලි වේ). ඒ අනුව විද්‍යාව තුලින් ඉස්ලාම් දහම කිසිවකු දකින්නට සැරසෙන්නේ නම් මේ දිව්‍යමය දහම තුල ඒ සදහා ඉඩක් නැතුවා නොවේ. නමුත් ඉස්ලාම් දහම සත්‍ය දහමක් යන්න තහවුරු කරගැනීමට එකම මඟ විද්‍යාව යන ස්ථාවරයෙහි ඉස්ලාම් පැහැදලිවම නැත.

(3) නමුත් ප්‍රශ්නය වෙන්නේ මේ කලාප අතිපිහිත (overlap) වෙනකොටයි. මේ විදිය අතිපිහිත වීමකට උදාහරනැයක් තමයි කුරාණය විද්‍යාත්මක යයි කීම. ඔන්න දැන් කුරාණය විද්‍යාත්මකව ඔප්පු කරන්න කියල අපට කියන්න වෙනව. මොකද කුරාණය විද්‍යාවෙන් ඔප්පු කළ හැකි බවට අර්ශද් ගොයියා පාරම් බාලා ඉවර නිසා. අරශද් මෙන්න මේ විදියට කියනවා “ඉන් එක් ක්ෂෙත්‍රයක් තමා එතෙක් ලොවට අනාවරණය නොවූ කරුණු ලොවට අනාවරණය කරමින් ඉදිරිපත් කරන අනාවැකි”. අපේ ප්‍රශ්නය වුණේ විද්‍යාවෙන් හොයාගන්න කලින් මේ අනාවැකි තම නුවණින් තේරුම් ගෙන ඉදිරිපත් කල අවස්ථාවන් මොනවද කියන එක.

(3) මෙහි දී නැවත නැවතත් රාල මතු කරන කාරණය දෙස බලන විට මෙය කරන්නේ අවබෝධයෙන්ද? අනවබෝධයෙන්ද? යන ප්‍රශ්නය දැන් මට ඇති වේ. මා (මීට පෙර “අරුම පුදුම අභියෝගයක්” යන ලිපියෙහි) ඉදිරිපත් කල සියළු කාරණා විද්‍යාවටත් සියවස් ගනනාවකට පෙර ඉස්ලාම් මිනිස් සමාජයට අවධාරණය කල ඒවා බව හේතු සහිතව සදහන් කර තිබිය දී නැවත නැවතත් එම ප්‍රශ්නයම මතු කරන්නේ පාඨක පිරිස් නොමඟ යැවීමට යන්න මා හොදින් දනිමි. මේ රාලගේ සුපුරුදු උපක්‍රමයයි. මා ඉදිරිපත් කල කරුණු පසුකාලීනව පරීක්ෂණ පවත්වා නිරීක්ෂණ තුලින් නිගමනයකට එළඹ විද්‍යාව නමින් සමාජයට ප්‍රකාශ වුවත් ශුද්ධ වූ කුර්ආනය එම කාරණය පරීක්ෂන හා නිරීක්ෂණ නොමැතිව නිගමනයන් ලෙස මිනිස් සමාජයට අනාවරණය කලේ මෙය දිව්‍යමය දහමක් යන්න නැවත නැවතත් කියාපාමිණි.

(4) අපට පේන විදියට අර්ශද් මේ කාරණේන් හෙම්හිට ලිස්සලා යනවා. දෙවනි කාරණය තමයි කුරාණයේ වයස. කුරානයේ වයස අවුරුදු 1400කට වැඩි වෙන්න බෑ. ඊට වැඩියි කියල තියෙනව නම් ඒක අර්ශද් ඔප්පු කරල පෙන්නන්න ඕන. පොතේ කියන නිසා පොත පරණයි කියන වෘත්තාකාර තර්කයෙන් තොරව (circular logic) කුරාණය නොවන වෙනත් මූලාශ්‍ර පාවිච්චි කරල ඔහු ඒක පෙන්වන්න ඕන. නැත්නම් අපි පිළිගන්නේ කුරානය වසර 1400කට වඩා පරණ නොවන බවයි.දැන් අපි බලමු අබු අර්ශද් ඉදිරිපත් කරන “කුරාණ ගත” සත්‍යයන් එකින් එක විග්‍රහ කරල.
1. රෝමවරුන්ගේ ජය සහ ලොව පහත්ම භූමිය
හොඳට බලන්න, මෙතෙන්දි අර්ශද් කියන්නේ පහත්ම භූමිය ගැන. අර්ශද් මෙතෙන්දී වැරදි දෙකක් කරනවා. පළමු වැන්න කුරාණය විකෘති කිරීම. දෙවැන්න, මළ මුහුද ලොව පහත්ම ගොඩබිම බව උපකල්පනය. අබු අර්ශද් දක්වල තියෙන සිංහල පරිවර්තනයේ තියෙන්නේ “පහත් භූමියෙහි (රෝමවරු) ඔවුහු ඔවුන්ගේ පරාජයෙන් පසු (පාරිසීයවරුන්) පරාජය කරන්නේය”. මෙතන කියන්නේ “පහත්” කියල මිසක් “පහත්ම” කියල නෙවෙයි. මළ මුහුද මුහුදු මට්ටමට පහළ බව සොයා ගැනීම සරල ත්‍රිකෝණමිතියෙන් කරන්න පුළුවන් දෙයක්.

(4) මළමුහුද පිහිටි භූමිය මුහුදු ම්ට්ටමට වඩා පහත් බව “සරල ත්‍රිකෝණමිතියෙන් කරන්න පුළුවන්” යන්න පැවසීම තුලින් එම ස්ථානය පහත් භුමියක් යන්න රාල පිලිගනී. එසේ නම් ශුද්ධ වූ කුර්ආනයේ 30-3 වාක්‍යයෙන් පවසන කාරණය සත්‍ය බව දැන හෝ නොදැන පිලිගනී. මා දැන් රාලගෙන් විමසා සිටින්නේ,

මීට සියවසස් ගනනාවකට පෙර මුහම්මද් (සල්) තුමාණන් ඉහත 30-3 කුර්ආන් වාක්‍යය පැවසුවේ සරල ත්‍රිකෝණමිතිය පදනම් කරගෙනද?

අද ත්‍රිකොණමිතිය පමණක් නොව චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගෙන ද ක්ෂණයකින් ඉහත කාරණය පැවසිය හැක. නමුත් එය මීට වසර 1400 කට පෙර කාන්තාරයක ජීවත් වූ මුහම්මද් (සල්) තුමාණන් පැවසුවේ කොහොමද? වර්ථමාන තාක්ෂනික මෙවලම් උපයෝගි කරගෙන ඉහත ප්‍රකාශය මුහම්මද් (සල්) තුමාණන් සිදුකලා නම් එහි පුදුමයට කාරණයක් නැත. නමුත් මේ කිසිදු තාක්ෂණයක් නොමැති වකවානුවක එවැනි කාරණයක් පවසනවා නම් එය සමාන්‍ය මිනිස් බුද්ධියකින් කලහැක්කක් නොවන බව මා අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇත. එසේම වර්ථමාන තාක්ෂණය පදනම් කරගෙන අතීතයේ සිදුකල අනාවරණයක් විවේචනයට ලක්කිරීම කොතරම් දුරට අනුවණක්කාර ක්‍රියාවක්ද? යන්නත් මා පැහැදිලි කිරීම අවශ්‍ය නොවනු ඇත.

(5) කුරාණයේ පරිවර්තන බලද්දී 30.003 සුරාතයේ (යුසුෆ් අලී, පික්තාල් සහ ශකීර් ගේ පරිවර්තන අනුව) එහෙම දෙයක් සඳහන් වන්නෙත් නෑ.

(5) ඉහත 30-3 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යට මා ලබාදී ඇති පරිවර්ථනය යුසුෆ් අලී, පික්තාල් සහ ශකීර් ගේ පරිවර්තන අනුව එවැනි කාරණයක් සදහන් නෙවන බව පවසන කාරණය සැබෑවකි. නමුත් ඉන් මා ඉදිරිපත් කල පරිවර්ථනය වැරදි යන්න හෝ ඉහත පරිවර්ථන සියල්ල නිවරැදි යන්න අදහස නොවේ. (පරිවර්ථනයක් තුලින් කිසියම් කාරණයක් නිවරැදිව අවබෝධ කරගන්න පුළුවන් ද යන කාරණය මා මීට ඉහත “ආගම් හා ශුද්ධ වූ ග්‍රන්ථ” යන ලිපියෙන් මෙම වෙබ් අඩවිය තුල පැහැදිලි කර ඇත.) මෙය වඩාත් සරලව අවබෝධ කරගැනීම පිණිස සරල උදාහරණයක් ලෙස ත්‍රිපිටක සිංහල භාෂා පරිවර්ථනය සදහන් කලහැක. දැනට අන්තර්ජාලයේ ත්‍රිපිටක පරිවර්ථන කීයක් නම් දකින්නට තිබෙනවාද?. මේ තුලින් කියාපාන්නේ කුමක්ද? පලමු පරිවර්ථනය නිවරැදි නම් දෙවන පරිවර්ථනයේ අවශ්‍යතාවය කුමක්ද? මේ තුලින් පැහැදිලි වන්නේ පරිවර්ථන අතර වෙනස්කම් පවතිනවා යන්න නොවේද? මෙය ත්‍රිපිටකයට පමණක් පොදු වූ කාරණයක් නොව ලොව සෑම ග්‍රන්ථ පරිවර්ථනයකටම අත්වූ අවාසනා වන්ත ඉරණමයි.

එම අවාසනාවන්ත ඉරණමට ශුද්ධ වූ කුර්ආනයත් නතුවුවා යන්න තිත්ත වූ ඇත්තයි. නමුත් මා ඉදිරිපත් කල පරිවර්ථනය ලොව කිසිදු කුර්ආන් පරිවර්ථනයක දක්නට නැතැයි යන්න සමාජය නොමඟ යැවීමක්. අන්තර්ජාලය තුල මා සදහන් කල ආකාරයේ පරිවර්ථනයන් ද දක්නට ඇත. නමුත් එය පදනම් කරගතයුතු යයි මා නොපවසමි. ශුද්ධ වූ කුර්ආනයේ (මුල් ග්‍රන්ථයේ) කුමක් සදහන්ව තිබෙනවාද? යන්න තමා මෙහිදී වැදගත් වන්නේ. ඒ අනුව මාගේ පරිවර්ථනයේ වරදක් නැත්නම් ඉහත පරිවර්ථකයන් කුමක් සදහන් කලාද? යන්න තර්කයක් නොවේ.

(6) 030.003
Yusuf Ali: In a land close by; but they, (even) after (this) defeat of theirs, will soon be victorious-
Picthal: In the nearer land, and they, after their defeat will be victorious
Shakir: In a near land, and they, after being vanquished, shall overcome,
මේ විදියට බලද්දී එක්කෝ අර්ශද් බොරු කියනවා. නැත්නම් බුද්ධිමය වංක බව පෙන්වමින්, “පහත්” කියල තියෙන තැන “පහත්ම” කියල අර්ථ දක්ව ගන්නවා. ඒවගේම මළ මුහුද කියන්නේ ලොව පහත්ම ගොඩබිම් පෙදෙස කියල අර්ශද් උපකල්පනය කරන එකත් එහෙම පිටින්ම වැරදියි. ගොඩබිම පහත්ම ස්ථානය කියල වාර්තාවෙන්නේ ඇන්ටාක්ටිකාවේ බෙන්ට්ලි උප ග්ලැසියර අගාධය. ඒක මුහුදු මට්ටමේ සිට මීටර 2555ක් ගැඹුරුයි. ගණකම් ග්ලැසියරයකින් එය වැහිලයි තියෙන්නේ.

(6) ඊට පස්සේ ගෙන එන තර්කය හරිම හාස්‍ය ජනකයි. මම අතීතයේ යුද්ධයක් සිදුවූ භුමියක් (ගොඩබිමක්) පිලිබදව කථා කරන විට රාල ග්ලැසියරයක් පිලිබදව හා මළමුහුදේ පතුලේ ගැඹුර පිලිබදව කථා කරනවා. පුදුමයි රාලට මරියානා ආගදය අමතක වුණේ. මේකත් රාලගේ තවත් උපක්‍රමයක් ඒ තමයි, විෂයට අදාල හා අදාල නොවන කරුණු මිශ්‍ර කොට කරුණු ගොඩාක් ඉදිරිපත් කිරීම. එවිට පාඨකයින්ගේ අවදානය පහසුවෙන් වෙනතකට හරවන්න පුළුවන් ඒ කියන්නේ මල්ලේ පොල් කථාවලට හා දන්නා සියල්ල පැවසීමේ කථාවලට රාල කොහොමත් දක්ෂයි. ඒකම තමා රාලගේ තිබෙන දුර්වලාතාවයත්. කිසියම් කාරණයක් සදහා බුද්ධිමත් ලෙස වාදයන් ගොඩනඟනවා වෙනුවට මේ රාල මෙන්ම රාලගේ අඩිපාරේ යන ගොලබාලයන් කරන්නේ පනින එක තමා. එයින් සිදුවන්නේ ලිපියෙහි අන්තර්ගතය අවබෝධ කරගෙන එයට පිලිතුරු සපයනවා වෙනුවට තමන් විසින් කල්පිතයක් නිර්මාණය කරගෙන එයට පිලිතුරු ලබාදීමයි. (එයට ඉහත අදහස් දැක්වීමත් එක් නිදසුනකි. මේ හේතුව නිසා තමා මා බොහෝ විට රාලව මහදැනමුත්තා ලෙස ආමන්ත්‍රණය කරන්නේ. එසේ ආමන්ත්‍රණය කරන්න තවත් හේතුවක් ඇත. ඒ ඔහුගේ ඕනෑම අදහසකට ආවඩන ගෝලයෝ රොත්තක් ඔහුට සිටීමය)

මෙහිදීත් මට ඇතිවන ගැටළුව මා පවසන කාරණය රාලට තේරෙන්නේ නැතුවද? නොඑසේ නම් සුපුරුදු පරිදි පාඨකයන් අන්දනවාද? යන්නයි. මෙතැන වාදය පෘථිවියේ ගැඹුරුම ස්ථානය කුමක්ද? යන්න නොවේ. වර්ථමානයේ ලොව පහත්ම භූමිය කුමක්ද? යන්න පිලිබදවයි. “පහත්ම භූමිය” යයි සදහන් කලාට පසුව මළමුහුදේ පතුල හෝ ග්ලැසියරය තිබෙන භූමියෙහි පතුල මෙයට අයත් වන්නේ කෙසේද? මා මෙය රාලගේ මෝඩ තර්කයක් යයි නොපවසමි. පැහැදිලිවම මෙය තම පාඨකයන් නොමඟ යවන “කපටි” තර්කයක්. මෙහිදී සැලකිල්ලට ගතයුත්තේ මළමුහුද අවට ඇති භූමිය මිස එහි පතුල නොවේ. මෙය අවබෝධයෙන් කල කපටි කථාවක් යන්න තහවුරු කිරීමට ඔහුගේ ලිපියෙහි සදහන් වන එක් කාරණයක් හොදටම ප්‍රමාණවත්ය. එය පහතින් බලමු.

(7) මළ මුහුදේ උපරිම ගැඹුරේදී එය පිහිටන්නේ මුහුදු මට්ටමට මීටර 800ක් පමණ පහතින්. කාට හරි කියන්න පුළුවන් මේ කතා කරන්නේ විවෘත ස්ථානයක් ගැන කියල. එහෙම බැලුවත් මේ මතය වැරදියි. මළ මුහුද පහත්ම තැන බව අල්ලා දැක්ක නම් එය ඉතිහාසයේ තිබූ පහත්ම තැනත් වෙන්නත් ඕන. පෞරාණිකව බලන කොට පේන දේ තමයි මළ මුහුද වඩා පහත් ස්ථාන ලෝකයේ තියෙන බව. වසර මිලියන පහමාරකට කලින් මධ්‍යධරණී මුහුද කියන්නේ ජලය නොමැති ස්ථානයක්.

(7) ඉහත ආකාරයට ග්ලැසියරය හා මළමුහුදේ පතුලට ඇති ගැඹුර කථා කල රාල හිටී හැටියේ “…වසර මිලියන පහමාරකට කලින් මධ්‍යධරණී මුහුද කියන්නේ ජලය නොමැති ස්ථානයක්…” යන්න පැවසීම තුලින් මා ඉහතින් සදහන් කල රාලගේ කපටිකම එනම්, මාගේ තර්කය හොදින් අවබෝධ කරගෙන ඉන් මඟහැර වෙනත් දිශාවකට තර්කය ගොඩනඟන්න උත්සාහ කරන යන්න මනාව පිලිඹිබු වේ. එනම් මෙහි දී ඉදිරපත් වන තර්කය ගොඩබිමක් සම්බන්ධයෙන් යන්න රාල අවබෝධ කරගෙන සිටියා යන්න පැහැදිලිය. එසේම ඔහු පවසන අනික් කාරණය තමා වර්ථමාන මධ්‍යධරණී මුහුද‍ ජලය පිරෙන්නට පෙර ලොව ගැඹුරුම භූමිය ලෙස පැවතුනු බවයි. එය සත්‍ය වුවත් අසත්‍ය වුවත් ඉන් වර්ථමාන ලොව පහත්ම භූමිය මළමුහුද ආශ්‍රත භූමිය යන්න ප්‍රතික්ෂේප නොවේ. මන්ද ශුද්ධ වූ කුර්ආනය මීට වසර 1400 ට පමණ පෙර 30-3 වාක්‍යය මඟින් ඉදිරි කාලයක දී සිදුවන අනාවැකියක් පැවසීමේ දී එය ලොව පහත්ම භූමියක සිදුවෙනවා යන්න පැවසීම තුල ඉන් එවකට ලොව පහත්ම භූමිය අදහස් කරනවා මිස වර්ථමානයේ ජලය පිරී පවතින මුහුදක් හෝ ග්ලැසියරයක් පිලිබදව අදහස් නොවේ. රාල ගලපන්න උත්සාහ කරන ආකාරයට ලොව පහත්ම භූමිය යන්න මධ්‍යධරණී මුහුදු පතුල හෝ ග්ලැසියරයේ පතුල වියයුතු නම් එවැනි තැනක යුද්ධයක් සිදුවේවි යන්න පැවසීම දෙවියකු තියා සාමාන්‍ය බුද්ධියක් ඇති මනුෂ්‍යයකු පවා නොවසන මෝඩ තර්කයක් යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. එතැනට ගලපන්න අසාර්ථක උත්සාහයක නිරතවන රාලට පවසන්නට ඇත්තේ තමන්ට අවශ්‍ය ආකාරයට තර්කය නිර්මාණය කරගෙන එයට පිලිතුරු දෙන්න උත්සාහ කරනවා වෙනුවට ඉදිරිපත් කරන තර්කය පිලිබදව අවබෝධයෙන් හැකි නම් එයට පිලිතුරු දෙන්න උත්සාහ කරන්න යන්නයි. අනික් කාරණය තමා ලොව පහත්ම භූමිය පිලිබදව රාල‍ගේ අදහස් දැක්වීම සමඟ කිසියම් කෙනෙකු හට “එසේනම් මළමුහුද සම්බන්ධයෙන් එවැන්නක් සදහන් නොවෙනවාද?” යන සැකය ඇති වන්නට පුළුවනි. මේ හේතුව නිසාම මා අන්තර්ජාලයේ The Lowest place on the surface of the Earth යනුවෙන් Bing serch හි බැලුවෙමි. එහි ප්‍රථිපල පහත දැක්වේ.

මේ අනුව ද පැහැදිලි වන්නේ රාල සත්‍යය මඟහැර තමන්ට අවශ්‍ය ආකාරයට තර්ක ගොඩනඟනවා යන්න නොවේද? (මේ රාල ‍ෙමන්ම ඔහුගේ අඩිපාරයේ යන ගෝලබාලයන්ගේ කලාව තමා ඒ පිලිබදව නිසි අවබෝධයක් නැති පිරිස් මොහුගේ පඬිවදන්වලට අසුවේ.)

(8) මෙහි සාමාන්‍ය ගැඹුර මීටර 1500ක්. ගැඹුරුම ස්ථානය මීටර 5200කට වඩා ගැඹුරුයි. එතකොට මධ්‍යධරණී මුහුද තමයි එතෙක් මෙතෙක් ලෝකයේ පැවතුණු පහත්ම බිම් ස්ථානය. පසු කලෙක අවුරුදු දෙකක් වැනි කාලයකින් එය ජලයෙන් පිරී ගිය බවයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සහ සාක්කි වලින් ඔප්පු වී තිබෙන්නේ. ඔන්න අර්ශද්ගේ පළමු කාරණේ පරාදයි.

(8) ඔන්න බලන්න රාලගේ බුද්ධිමත් තර්කවලින් අනතුරුව ඔහු මහදැනමුත්තා‍ සේ කැකිල්ලේ තීන්දු දෙනවා “…ඔන්න අර්ශද්ගේ පළමු කාරණේ පරාදයි…” මේ තීන්දුව ගෝලබාලයන්ට නම් බුද්ධිමත් මෙන්ම ආශ්චර්‍යමත් තීන්දු වන්නට පුළුවනි. ඒ පිරිස ඉදිරියේ රාලට “ඔන්න පරාදයි” කියා හාස්කම් පාන්නට ද පුළුවනි. නමුත් සැබෑ ජය පරාජය රැදී තිබෙන්නේ බුද්ධියමත මිස අලංකාර වචන මත හෝ මෝඩ තර්කයන් මත නොවන බව බුද්ධිමත් සමාජයට අවබෝධ කරගැනීම අපහසු නොවේ.

(9) මළ මුහුද ලොව පහත්ම ස්ථානය බව කුරාණයේ සඳහන් වෙන්නේ නෑ. දෙවැන්න අර්ශද් කියන විදියට මළ මුහුද ලොව පහත්ම ස්ථානයත් නෙවෙයි.
2. භූගත ජලය
මේ ගැන වසර 1400කට කලින් දැන ගෙන සිටි බවට සාධක ඕනෑ තරම් තියෙනවා.

(9) මෙම විෂය එනම් “භූගත ජලය” පිලිබදව දැන සිටියා යනුවෙන් රාල අදහස් කරන්නේ කුමක්ද? යන්න මට තරමක් අපැහැදිලිය. එනම්,

  • භුගතව ජලය තිබෙනවා යන්න දැන සිටියාද?
  • එසේත් නැත්නම් භූගත ජලය ඇති වන්නේ කෙසේද යන්න දැන සිටියාද?

මගේ තර්කය ඇත්තේ “භුගත ජලය තිබෙනවාද? නැද්ද?” යන්න නොවේ. එය ඇති වන්නේ කෙසේද? යන්න පිලිබදවයි. ඒ පිලිබදව නම් රාල පවසන්නේ “ඕනෑතරම් සාක්ෂි තිබෙනවා” යයි පවසන රාල ඇයි පැහැදිලි එක් සාක්ෂියක් ඉදිරිපත් නොකොට “…අතීතයේ රජවරු වැවු තාවුල්ලේ ගස් කැපීම සහ පදිංචිය තහනම් කළේ…” යනුවෙන් අනුමානයට මුල්තැන දෙන්නේ. මෙවැනි අනුමානයන් පදනම් කරගෙන තර්කයන් ඉදිරිපත් කිරීම ඕනෑනම් තම ගෝලබාලයන්ට බුද්ධිමත් වැඩක් ලෙස පෙනෙනු ඇත. නමුත් එය අඥාන ක්‍රියාවක් යන්න බුද්ධිමත් පිරිස් අවබෝධකර ගනීවි.

(10) අතීතයේ රජවරු වැවු තාවුල්ලේ ගස් කැපීම සහ පදිංචිය තහනම් කළේ එමගින් වර්ෂා ජලය අපධාවයක් ලෙස ගලා ගොස් භූගත ජලයට එක් නොවී තිබෙන නිසයි. මේ තහනම ගැන සෙල් ලිපි පවා තියෙනවා.

(10) රාල පවසනවා “මේ තහනම ගැන සෙල් ලිපි පවා තියෙනවා” ඔන්න සුපුරුදු පරිදි තර්කය තමන්ට අවශ්‍ය දිශාවට හරවන්න හදනවා.

“හරි සෙල් ලිපියේ තියෙනවනේ මොකක්ද තියෙන්නේ භූගත ජලය ඇතිවන්නේ කොහොමද කියාලා තියෙනවාද?. නැත්නම් ගස් කපන්න එපා කියලා තියෙනවාද?”

රාල කවදත් කරන්නේ තම පාඨක පිරිස් කුල්මත් කරන්න මොනවා හරි පඬි අදහසක් ඇදදාන එක තමා “සෙල් ලිපිවල තියෙනවා” යන්න දැක්කම ඒ රාලගේ ගෝලබාලයෝ සිතන්නේ භුගත ජලය පිලිබදව සම්පූර්ණ විග්‍රහයක් එහි තිබෙනවා යනුවෙන් සමහර විට බුද්ධිමත් පාඨක ප්‍රජාව පවා නොමඟ යන්න පුළුවන්. මේක රාලගේ තවත් කලාවක්.

මෙම භුගත ජලය ඇත වන්නේ කෙසේද? යන්න 18 වන සියවසය තෙක් එනම් මීට වසර 200 කට පෙර කාලය දක්වා නොවිසදුනු පැනයක් බව මා කරුණු සහිතව මගේ ලිපියෙහි සදහන් කලා. එසේ තිබිය දී රාල පවසනවා නම් මේ පිලිබදව පැහැදිලි විග්‍රහයක් ඊටත් පෙර සිට පැවතුනා යයි. ඉන් අදහස් කරන්නේ 1580 දී බර්නාඞ් පල්සියි, (Bernard Palissy) නැමැත්තා විසිනි ඉදිරිපත් කල වාදය නවතම වාදයක් නොවන බව නොවේද? එසේම එය E මාර්රියෝට්, P පෙරාඋල්ට් නැමති විද්‍යාඥයින් දෙපල විසින් පරියේෂණ මගින් ලොවට තහවුරු කිරීම ද නිෂ්පල ක්‍රියාවක් යන්න නොවේද?.

(11)ඒ වගේම ලෝකයේ අනෙක් ශිෂ්ටාචාර වල පවා මෙය දැන සිටි බව මේ ලිපියෙන් පැහැදිලි වෙනවා. පරණ තෙස්තමේන්තුව හා හින්දු ග්‍රන්ථ වල සඳහන්.

(11)ශුද්ධ වූ කුර්ආනයේ 23-18 පවසන කාරණය “…පරණ තෙස්තමේන්තුව හා හින්දු ග්‍රන්ථ වල සඳහන්…” යන්න පැවසීම තුලින් රාල උත්සාහ කරන්නේ ශුද්ධ වූ කුර්ආනයට මෙම කාරණය ඉහත ග්‍රන්ථවලින් උපුටාගෙන බවද? නොඑසේ නම් ඉහතින් සදහන් කලාසේ අතීතයේ පටන් මෙය සමාජය හොදින් අවබෝධ කරගෙන සිටියා යන්න පවසනවාද? මේ දෙකෙන් ඔබ කුමක් අදහස් කලත් ශුද්ධ වූ කුර්ආනයේ සදහන් එම කාරණය අසත්‍ය නොවන අතර ඔබ ඔබට පරස්පර යන්න ඉන් පිලිඹිබු වේ. වාදයක දී තමන් තමන්ට පරස්පර වීම තරම් තමන්ගේ අසාර්ථකත්වය පිලිඹිබු කරන වෙන කිසිවක් නොවන බව රාල හොදින් අවබෝධ කරගන්නේ නම් ඉදිරියේදී එම දුර්වලතාවය අවම කරගත හැකිවනු ඇත.

(13) 3. මවකගේ ගර්භාෂය තුල ඉන්නා දරුවා

අබු අර්ශද් රාළ විසින් එල්ල කල අභියෝගයට පිළිතුරක් ලෙස මේ ලිපිය පළ කර තියෙනවා. එතෙන්දී තමන්ගේ මහා ලොකු විද්‍යාත්මක දැනුම පෙන්වන්නට කළල විද්‍යාව පොතකින් අර ගත් කොටස් එහෙම පිටින් අලවලා තියෙනවා. අර්ශද් ගොයියා කියන විදියට දරුවකුගේ ලිංගය තීරණය වන්නේ X හෝ ‍Y වර්ණදේහ අනුව යන කාරණය හරි. X හෝ ‍Y වර්ණදේහ සහිත ශුක්‍රාණුවක්, X වර්ණදේහය සහිත ඩිම්බයක් හා එක් වීමෙන් XX හෝ XY යන යුක්තාණු ඇතිවෙනවා. අර්ශද් නොදන්නවා වුණාට දරුවකුගේ ප්‍රවේණි දර්ශක ලිංගය තීරණය වන්නේ සංසේචනය යන ක්‍රියාවලියේදීමයි. අබු අර්ශද් පෙන්වන්න හදන විදියට කළලයක ලිංගය හදිසියේ තීරණය වෙන්නේ නෑ. ඇත්තටම එය තමයි මුලින්ම තීරණය වෙන දේත්. කලාතුරකින් ඇතිවන ජාන ගත් රෝග හැරුණාම කවදාවත් XX යුක්තාණුවක් පිරිමි දරුවෙක් බවට පත්වෙන්නේ වත්, XY යුක්තාණුවක් ගැහැණු දරුවෙක් බවට පත්වෙන්නේ වත් නෑ. කුරානයේ කළලය ගැන යම් යම් දේ විස්තර කරනවද නැත්ද කියන එක මෙතනට අදාල නෑ.

(13) මා මාගේ ලිපි තුලින් කරුණු ඉදිරිපත් කරන්නේ රාලට හෝ ඔහුගේ ගෝලබාලයන්ට අවශ්‍ය ආකාරයට නොව එම විෂයට අදාලව හා ඒ පිලිබදව ශුද්ධ වු කුර්ආනයේ සදහන්කරුණු අනුවය. එසේම මා නිතර උත්සාහ කරන්නේ සාකච්චා කරන විෂය පිලිබදව යම්තාක් දුරකට හෝ පුළුල් අවබෝධයක් පාඨක පිරිසට ලබාදීමටය. නමුත් ඒක රාලට “ඇලජික්” වෙලාවගේ විශේෂයෙන් ඉහත ලිපියෙහි මාතෘකාව “මවකගේ ගර්භාෂය තුල ඉන්නා දරුවා” යන්නයි. රාලට එම මාතෘකාව දරුවාගේ ලිංග භේදය නිර්ණය කිරීම” යන්නට සීමා කිරීමට අවශ්‍ය වුවාට එම ලිපිය තුල හෝ එහි සදහන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය තුල එවැනි සීමා කිරීමක් නැත. මේ නිසා එය තරමක් දුරට හෝ පුළුල් ලෙස සාකච්චා කලයුතු කාරණයක් මිස “…කුරානයේ කළලය ගැන යම් යම් දේ විස්තර කරනවද නැත්ද කියන එක මෙතනට අදාල නෑ…” යනුවෙන් පවසා මාතෘකාව තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට උත්සාහ කිරීම මෙම කාරණය සම්බන්ධයෙන් තමන්ගේ නොහැකියාව මෙන්ම පටු අරමුණ මනාව පිළිඹිබු කිරීමකි.

(14) අදාල කුරාණය කියන හැම කරුණක්ම ඇත්තද නැත්ද යන එක විතරයි එක කරුණක් හරි බොරු නම් එක්කෝ අල්ලා සර්වබලධාරී නෑ. නැත්නම් කුරාණය කියූවේ අල්ලා නෙවී. ගැබේදී දරුවකුගේ ලිංගය දන්නේ අල්ලා විතරයි කියල කුරාණයේ කියල තියෙන එක අර්ශද් ට බොරු කරන්න බෑ.

(14) මා ඉහතින් සදහන් කාරණයම රාල නැවතත් “…කුරාණයේ කියල තියෙන එක අර්ශද් ට බොරු කරන්න බෑ…” යනුවෙන් පවසා පාධක පිරිස නොමඟ යවන්න උත්සාහ කරනවා. රාලගේ මෙම ලිපිය පිලිබදව මෙවැනි විග්‍රහයක් කරන්නට මූලික හේතුවම ඔහුගේ සැබෑ ස්වරූපය එසේත් නැත්නම් “රාලගේ වෙස් මුහුණු” ඔහුගේ මෙම ලිපිය තුලින්ම ගැලවෙන බව සමාජයට පෙන්වීමය. මා නැවතත් පාඨක ඔබට ආරාධනා කරනවා මාගේ “මවකගේ ගර්භාෂය තුල ඉන්නා දරුවා” ඉහත ලිපිය හොදින් කියවා බලන්න එවිට මෙම තත්වය හොදින් අවබෝධ වනු ඇත.

(15) හැබැයි දැන් අපිටත් අල්ලාට විතරක් කරන්න පුළුවන් කිවුව දේ කරන්න පුළුවන්. කළල විද්‍යාව ගැන කුරාණයේ මතය කුඩු පට්ටම් කරලා බඩවැල් එළියට ඇදලා පෙන්නපු තැනක් තියෙනවා. එළ කිරියේ කට උත්තර නැති වෙන්නටම දීල තියෙන නිසා ආයෙත් ඒ ගැන කතා කරන්න රාළ අදහස් කරන්නේ නෑ.

(15) මෙම කාරණය එනම්, දරු කළලය සම්බන්ධයෙන් රාල එළකිරි පිහිට පතලා තියෙනවා කවදත් ඉස්ලාමයට එරෙහිව වියරුවෙන් හා ආවේගයෙන් ක්‍රියාකරන එසේම පහත් අන්දමින් භාෂාව හසුරුවන කථාවෙන් බෞද්ධකම උතුරන වදන් පවසන රාලගෙ වගේම blog එකක් තමා “එළකිරි” ඉතින් රාල කියනවා “හොරාගේ අම්මගෙන් පේන අහන්න කියලා” කොහොම වුනත් මම ඒ ලිපිය බැලුවාම එකේ මෙහෙම කියනවා,

“…ඉතින් කුරාණය ලියූ මැජික්කරුවන් සෙට් එකට ගැබක් තුල කළලය පිහිටන අයුරු ගැන සෙවීම එතරම් අපහසු නොවන්නට ඇත…”

මේ කියන්නේ මොකක්ද? “එළකිරි” කියන්නේ ශුද්ධ වූ කුර්ආනය මේ පවසන කාරණයන් මැජික් කියානේද?. යමක් “මැජික්” යයි කියන්නේ එය මනුෂ්‍ය බුද්ධියට ගෝචර නොවන නමුත් එහි සත්‍යයක් ගැබ්ව පවතින විටයි. මෙම චෝදනාව ඉස්ලාමයට එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මෙලොව පහල වූ සෑම වක්තෘවරයෙකුටම මෙම චෝදනාවට මුහුණදීමට සිදුවූ බව ශුද්ධ වූ කුර්ආනය බොහෝ තැන්වල පවසයි. මෙවැනි පිරිසගෙන් ශුද්ධ වූ කුර්ආනය 27-13, 14 වාක්‍යයෙන් මෙසේ විමසයි.

අපගේ ප්‍රාතිහාර්‍යයන් ඔවුන් වෙත පැමිණී විට “මෙය සිහ්ර් (හූනියම, මැජික්) යයි ඔවුන් කීවෝය” ඔවුන්ගේ සිත් එය අවබෝධකර ගත්තද උඩඟුකරින් හා නපුරුකමින් ඔවුන් එය ප්‍රතික්ෂේප කළෝය.

ඒ ආකාරයටම ශුද්ධ වූ කුර්ආනයේ 6-7 වාක්‍යය ද මෙසේ පවසයි.

“එය (ශුද්ධ වූ කුර්ආනය) තම අතින් ස්පර්ෂ කොට බලා ‘මෙය මැජික් (සිහ්ර්) එකක් හැර වෙන නැත’ යනුවෙන් (දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නන් පවසනු ඇත.”

ඉහත වාක්‍යය තුලින් එදා සමාජය ශුද්ධ වූ කුර්ආනය ප්‍රතික්ෂේප කල ආකාරය මනාව කියාපායි. එම තත්වය වර්ථමාන රාලලාගේ සමාජය හා මොහොතක් සංසන්ධනය කර බලන්න වෙනසක් නැත. එදා මෙන්ම අදත් කරන්නේ මැජික් කියා ඉන් මඟහැර යාම පමණි. කෙසේ වෙතත් “…ඉතින් කුරාණය ලියූ මැජික්කරුවන් සෙට් එකට ගැබක් තුල කළලය පිහිටන අයුරු ගැන සෙවීම එතරම් අපහසු නොවන්නට ඇත…” යන්න පැවසීම තුලින් දැන හෝ නොදැන ශුද්ධ වූ කුර්ආනය සාමාන්‍ය මනුෂ්‍ය චින්තනය ඉක්මවා ගිය එකක් බව පිලිගන්නවා නොවේද?.

(16) 4. මී පැණි හා එහි ඖෂධ ගුණය
මේක දැක්කම රාළ බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා. කුරාණය ලියවෙන්න වසර දහසකට පමණ පෙර ලියපු ආයුර්වේද ග්‍රන්ථ වෙච්චි

(16) මෙම කාරණය පිලිබදව හොදින් අවධානය යොමු කලේනම්, මේ රාල තම පාඨකයින් අන්දන අයුරු හොදින් වටහාගන්න පුළුවන්. මාගේ ලිපිය දෙස හොදින් අවධානය යොමු කරන්න එහි දී මීපැණිවල ඖෂධ ගුණය මා මූලික පදනම් කගෙන තියෙනවාද? නොඑසේ නම් එම මීපැණි නිපදවෙන ආකාර මූලික කරගෙන තිබෙනවාද? නමුත් රාල සූක්ෂම ලෙස තමන්ට අවශ්‍ය තැනට මාතෘකාව හරවා මාගේ තර්කය බිදින්න උත්සාහ කරනවා මම මීපැණි නිපදවෙන ආකාරය පිලිබදව කථා කරන විට රාල “මීපැණීවල ඖෂධ ගුණය කුර්ආනයටත් පෙර සිටම සමාජය දැන සිටිය කාරණයක්” යනුවෙන් මාතෘකාව වෙනතකට හරවනවා. මේක ඔහුගේ සුපුරුදු කලාව (මීට පෙරත් මම මෙය තහවුරු කලා) මීපැණිවල ඖෂධමය ගුණාංගය අතීතය සිටම පැවත එන එකක් යන්න තර්කයක් නැත. මගේ තර්කය “මී මැස්සාගේ උදරය තුල නිපදවන එය ඖෂධයක් යන්න ලොවම මවිත කරවන හෙලිදරව්වක් බවයි. එය ඔබගේ අවධානයට ශුද්ධ වූ කුර්ආනයේ 16-69 වාක්‍යය මෙහි නැවත ඉදිරිපත් කරමි.

“මී මැස්සන්ගේ උදරයෙන් වර්ණවත් පානයක් වැහෙන්නේය එහි මනුෂ්‍යාගේ රෝග සුවකිරීමේ හැකියාව පවතින්නේය.”

මේ අනුව මෙම කාරණය ශුද්ධ වූ කුර්ආනයේ පැවසීමට පෙරත් එනම් කුර්ආනය ලියවීමට වසර 1000 ට පමණ පෙර මෙම කාරණය සදහන් වෙලා තිබෙනවා යයි පවසන රාලට මම අභියෝගයක් කරනවා හැකිනම් මී පැණි නිපදවෙන ආකාරය පවසන එම වාක්‍යය අදාල ග්‍රන්ථය සමඟ සදහන් කරන්න. එසේම එය සදහන් ආයුර්වේද ග්‍රන්ථය හා එහි එම පරිච්චේදය සදහන් කරන්න. දැන්වත් තමන් දන්න ටික කියන න්‍යාය පසෙකදා තර්කය මොකක්ද? කියලා අවබෝධ කරගෙන එයට පිලිතුරු දෙන්න හැකි නම් උත්සාහ කරන්න.

(17) සුශෘත සංහිතාවේ සහ චරක සංහිතාවේ මීපැණි වල ඖෂධීය ගුණ ගැන ඕනෑ තරම් කියල තියෙනවා. අදත් ආයුර්වේදයේ මූලික ග්‍රන්ත විදියට පාවිච්චි වෙන්නේ චරක සහ සුශෘත සංහිතාවන්. මීපැණි ආයුර්වේදයට නැතුවම බැරි අංගයක්. මුහම්මද් කලේ ඒ දැනුමෙන් අංශු මාත්‍රයක් අරන් කුරාණයට දාපු එක විතරයි. ඒ හින්දා සමකාලීන් මිනිසුන් මීපැණි ගැන නොදැන සිටි කිසිම දෙයක් කුරාණයේ කියවෙන්නේ නෑ. අර්ශද් මේ කාරනේත් පරාදයි.

(17) මෙහි දී “…සමකාලීන් මිනිසුන් මීපැණි ගැන නොදැන සිටි කිසිම දෙයක් කුරාණයේ කියවෙන්නේ නෑ…” යයි පවසන රාලගෙන් නැවතත් අසන්නට ඇත්තේ ඉහත 16-69 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයේ පැව‍සෙන ඒ සියළු කාරණයන් පවසන ලද සමකාලීන මිනිසුන් නොව එක් මිනි‍සෙකු පුළුවන් නම් කවුරුන්ද? යන්න නම් කරන්න.

ඊට පස්සේ සුපුරුදු පරිදි කැකිල්ලේ තීන්දු දෙනවා “…ඔන්න අර්ශද් පරාදයි…”

(18) 5. සංවේදී සම සහ අපාගින්න
“නුඹලාගේ ශරීරයට මතුපිටින් ඇති වන වේදනාව හදුනාගන්නේ සම බවත් එම සම විනාශ වුවා නම් එම වේදනාව හදුනාගැනීමට නොහැකි වන බවත් පවසා සිටී”. අර්ශද් හිතන්නේ මෙකත් මහ ලොකු කුරාණ ගත සොයා ගැනීමක් කියල. වේදනාව පමණක් නෙවෙයි ස්පර්ශය, සිසිල උණුසුම දැනෙන්නේත් සමෙන් බව බුදුන් වහන්සේ විස්තර කරල තියෙනවා. පංච ඉන්ද්‍රියයන්ගෙන් එකකට සම ඇතුලත් කලේ ඒකයි.

(18) ඉහත මාගේ ලිපියෙහි විෂයට අදාලව “වේදනාව හා සම” පිලිබදව කථා කලත් එහි මාතෘකාවෙන් මෙන්ම ලිපියෙහි යම් යම් කරුණු තුලින් සමෙහි සංවේදී බවත් එය පංච ඉන්ද්‍රයන් අතුරින් එකක් වීමට හේතුවත් විස්තර කර ඇත. නමුත් රාල මේ කිසිවක් ‍ඉස්ලාම් නොපවසන බවත් ඉහත ලිපිය තුලින් මේවා ප්‍රතික්ෂේප වන බවත් වක්‍ර ආකාරයට අඟවමින් “…වේදනාව පමණක් නෙවෙයි ස්පර්ශය, සිසිල උණුසුම දැනෙන්නේත් සමෙන් බව බුදුන් වහන්සේ විස්තර කරල තියෙනවා…” යනුවෙන් සුපුරුදු තුරුම්පුව යොදලා තියෙනවා. දැන් මාගේ ප්‍රශ්නය මේක බුදුන් වහන්සේ පවසලා තියෙනවා යන්න පැවසීම තුලින් රාල දැන හෝ නොදැන පිලිගන්නවා මේක එවකට සමාජයට සාමාන්‍ය බුද්ධියකින් පැවසිය නොහැක්කක් බව. එසේ නම් මා විමසන්නේ මෙය බුදුන් පැවසුවාද? නැද්ද? යන්න නොව කුර්ආනය පහල වූ සමාජයට මෙවැන්නක් පැවසීමට තරම් බුද්ධියක් විෂය දැනුමක් පැවතුණාද? නැද්ද? යන්නයි.

(19) පංච ඉන්ද්‍රියන් සංවේදනයට වැදගත් වන බව ඒවා බැලූ බැල්මටම පනවා. සම පිළිස්සුණු විට වේදනාව නොදැනෙන බව කුරාණයේ නොකිවුවාට මිනිස්සු ඒත අත්දැකීමෙන් දන්නවා.

(19) රාල තවත් ලස්සන වාදයක් ඉදිරිපත් කරලා තිබුණා ඒ “…සම පිළිස්සුණු විට වේදනාව නොදැනෙන බව කුරාණයේ නොකිවුවාට මිනිස්සු ඒත අත්දැකීමෙන් දන්නවා…” යන්නයි. මෙය තවත් රාලගේ උපක්‍රමයක් ඒ තමා “මිනිස්සුන්ට මේක නොකිව්වත් දන්නවා” යන්න. මම රාලගෙන් අහන්නේ “නොකිව්වත් දන්නේ මොකක්ද?” වේදනාව ශරීරයට දැනෙනවා යන්නද? නොඑසේ නම් සම මෙය හදුනාගන්නවා යන්නද? ප්‍රශ්නය මේ කාරණය පිලිබදව මෙවැනි ගැඹුරු අවබෝධයක් එවකට සමාජයට පැවතුනාද? යන්නයි. බලන්න මේ පිලිබදව රාලලාගේ මතය නොව විද්‍යාඥයින්ගේ මතය,

ශුද්ධ වූ කුර්ආනය පවසන ඉහත කාරණය පිලිබදව තායිලන්තයේ “ශියාං මායි” විශ්ව විද්‍යාලයේ ශාරීරික විද්‍යාව පිලිබදව අංශ ප්‍රධානියා වන මහාචාර්‍ය තකාදත් තේජාසන් මහතාගෙන් එක්තරා සමුළුවක දී කෙනෙකු විමසු විට එතුමා පැවසුවේ “මෙසේ සමෙහි ඇති විශේෂ ගුණාංගයක් මීට වසර 1400 කට පෙර අල්කුර්ආනයේ පවසා තිබීම ඇත්තෙන්ම විශ්මයට කාරණයක්” යන්නයි. එම සමුළුවේ දී එතුමාගෙන් තවදුරටත් විමසා සිටියේ “මෙවැනි කාරණයක් මීට වසර 1400 කට පෙර ජීවත් වු මුහම්මද් (සල්) තුමාණන්ට පැවසීමේ හැකියාව හා දැනුම පැවතීමට හැකිද?” යන්නයි. එයට ආචාර්‍ය තේජසන් මහතා පිළිතුර වුයේ” එවැනි බුද්ධියක් කිසිසේත් එම සමාජයට පැවතිය නොකි” යන්නයි.

(20)  ඒ මදිවට ආයුර්වේදයේත් දරුණු පිළිස්සුම් වේදනා සහගත නොවෙන බව දක්වලා තියෙනවා. ආයුර්වේදයේ පිළිස්සුම් වලට යොදාගන්නා කෝමාරිකා භාවිත කොට නවීන වෛද්‍ය විද්‍යාව අනුවත් තුවාල වලට ප්‍රතිකාර කරන බව රාළ අඳුනන ශල්‍ය වෛද්‍ය තුමෙක්ගෙන් දැන ගන්න ලැබුණා.
අපායේ දඬුවම් විඳීම පිණිස නැවත නැවත මැවෙන (උපදින) එකත් කුරාණයේ අදහසක් නෙවෙයි. ප්‍රේතවත්ථුවේ, පසේ බුදු කෙනෙක්ට ගලකින් ගසා මරා දැමූ අයෙක් අපායේ විඳින දුක (සට්ඨිකූඨ පේත වස්තුව) ඔය විදියටම විස්තර වෙනවා.මේවා කියැවුණේ කුරාණයට සියවස් 11 කට කලින්. අබු අර්ශද් තවමත් කුරාණයෙන් පළමුව හෙළි කල කිසිම විද්‍යාත්මක සත්‍යයක් පෙන්නලා දුන්නේ නෑ. ඒ මදිවට දැන් වංක භාවයත් පෙන්නන්නවා. අර්ශද් පෙන්නපු “සත්‍ය” සමහරක් ඇස් පනාපිටම බොරු බවටත් පත්වුණා

(20) ශුද්ධ වු කුර්ආනයේ පැවසෙන කරුණු සාමාන්‍ය මිනිසුන් පවා දැන සිටී කරුණු බව තහවුරු කිරීමට රාල විවිධ උපාය යොදාගත් ආකාර කිහිපයක් දුටුවෙමු. මෙවැනි පටු උපක්‍රමයන් තුලින් තමා රාල තම ගෝලබාලයන් යහුවේ වැජඹෙන්නේ. කෙසේ වෙතත් රාල අවසානයේ පවසන කාරණය තරමක් වැදගත් ඒ “…එකත් කුරාණයේ අදහසක් නෙවෙයි. ප්‍රේතවත්ථුවේ, පසේ බුදු කෙනෙක්ට ගලකින් ගසා මරා දැමූ අයෙක් අපායේ විඳින දුක (සට්ඨිකූඨ පේත වස්තුව) ඔය විදියටම විස්තර වෙනවා…” යන්නයි. මේ රාල මොනවද කියන්න හදන්නේ? මා රාලගෙන් විමසා සිටින්නේ “සට්ඨිකූඨ පේත වස්තුව” තුල කියවෙන කාරණය එවකට සාමාන්‍ය මිනිසුන් පවා දැන සිටී කාරණයක් යන්නද? නොඑසේනම් සාමාන්‍ය මිනිස් බුද්ධියට ගෝචර නොවන කාරණයක් යන්නද? සරලවම විමසනවා නම් “රාල ඔය කන්න හදන්නේ මොන පොල් පැලේද?” සුපුරුදු තුරුම්පුව “මේ බුදුදහමින් උපුටාගෙන කුර්ආනය පවසනවා යන්න නොවේද?” එයට එකම පදනම දහම් දෙක අතර පවතින කාල පරතරය මිස වෙනයම් සාධකයක් තිබෙනවාද? මම රාලට අභියෝග කරනවා හැකිනම් පිලිගත හැකි ලියවිල්ලකින් පිලිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කරන්න මෙම කාරණය කුර්ආනයට කලින් මේ ආකාරයට සවිස්තරව පැවසෙනවා යන්න ඔප්පු කිරීමට.

අවසාන වශයෙන් පවසන්න‍ට ඇත්තේ මේ රාලගේ ලිපි කියවන ගෝලබාලයන්ට නම් රාල මහදැනමුත්තෙක් වන්නට පුළුවනි. නමුත් බුද්ධීමත් ලෙස එම ලිපි විමර්ශනය කලේනම් එය සත්‍යය විකෘති කොට කරුණු ඉදිරිපත් කරන ලිපියක් බව අවබෝධකර ගැනීම අපහසු නොවනු ඇත. කෙසේ වෙතත් අවසාන වශයෙන් රාලට, රාලගේ වචනයෙන්ම පවසන්නට ඇත්තේ “ඔය ඉස්සරහ තියෙන ගණ තිමිරය අයින් කරලා” ශුද්ධ වූ කුර්ආනය හා ඉස්ලාමීය ඉගෙන්වීමන් දෙස බලන්න යන්නයි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/15

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම