අල්කුර්ආනයේ ඉතිහාසය 07 – ආරම්භයේ පටන් සංශෝධනයන් නොවී පැවතීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ආගමික මූලාශ්‍රයක් එහි මුල් භාෂාවෙන් පැවතීමත්, එම මුල් භාෂාව සමාජ ව්‍යවහාරයේ පැවතීමත් පිලිබදව මීට පෙර ලිපි තුලින් සාකච්චා කලෙමු. එසේම කිසියම් දහමක දර්ශනයක ඉගෙන්වීමක් ආරම්භයේ පටන් සංශෝධනය නොවී පැවතීමත් එම දහමේ වලංගුභාවයට සෘජුවම බලපාන ප්‍රධාන සාධකයක්. නමුත් ඉස්ලාම් දහම හැර ලොව අන් කිසිදු දහමකට මෙම දුර්වලතාවයෙන් මිදීමට හැකි වී නැත. (එය මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට පැහැදිලි වනු ඇත.) අල්කුර්ආනය පහල වූ මොහොතේම ලේඛන ගත වූ නිසා එහි සංශෝධනයන් හා අතපසුවීමන් සිදුවීමට නොහැකිය. ඒ පිලිබදව තරමක ගැඹුරින් විමසා බලන්නේ නම්,

දේශනා කල කාලය හා ග්‍රන්ථාරූඩ වු කාල අතර අන්තරයක් නොතිබීම

මෙම අල්කුර්ආන් වාක්‍යයන් පහල වු එවකට සමාජය, එනම්, මීට වසර 1430කට පෙර පැවතී සමාජය ලේඛන කලාවෙන් නොදියුණු මට්ටමක පැවතුනත්, සාක්‍ෂර හැකියාව තුල ඉතා දියුණු මට්ටම පැවතුණි. මෙය අරාබි දේශයේ පමණක් නොව එම කාල වකවාණුවේ මුළු ලොවපුරාම දකින්නට තිබූ තත්වයකි. (එය ශ්‍රී ලාංකීය සෙල් ලිපි ද වඩාත් හොදින් තහවුරු කරයි.) ඒ අනුව අල්කුර්ආනය අද පවතින ආකාරයේ අලංකාර වු ග්‍රන්ථයක් නොවූවත් එහි සදහන් ඉගෙන්වීමන් ආරම්භයේ පටන් ලිඛිතව පැවතුණි. (මෙය තහවුරු කරන බොහෝ සාක්ෂි ඉතිහාසයෙන් හමුවේ.) මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා අල්කුර්ආනය ලේඛනගත වූ ආකාරය පිලිබදව දැන් විමසා බලමු.

මා ඉහතින් සදහන් කල ආකාරයට මුහම්මද් (සල්) තුමාණන් හට සාක්‍ෂරතා හැකියාවක් නොතිබු නිසා තමාන්ට පහල වන දෙවි පණිවුඩය ඒ මෙහොතේම ලිඛිතව සටහන් කර ගැනීම සදහා එවකට එම සමාජයේ සාක්‍ෂර හැකියාවන් පැවතී ලේඛකයන් 04 දෙනෙකු පත් කර තබන ලදී. ඔවුන් වන්නේ,

  • සෙයිද් බින් සාබිත් (රලි)
  • උබෙයි ඉබුනු කව්බ් (රලි)
  • මුආද් ඉබුනු ජබල් (රලි)
  • අබුසෙයිද් (රලි)

මේ සතර දෙනා හට මෙම වගකීම පැවරූ මුහම්මද් (සල්) තුමාණන් විසින් ඔවුනට විශේෂි නියෝගයක් ද ඒ සමඟ පනවන ලදි. එනම් මෙම 04 දෙනා ‘වහී’ හෙවත් දේව පණිවුඩ හැර වෙන කිසිවක් කිසිදු මොහොතක නොලිවිය යුතු යන්නයි. එයට හේතු විය හැක්කේ අල්කුර්ආන් වාක්‍යයන් හා වෙනත් කිසිවක් මිශ්‍රවීම වලක්වා ගැනීම පිණිස වියහැක. ඒ අනුව ඉහත 04 මඟින් ලේඛන ගතවූ අල්කුර්ආනයේ වාක්‍යයන් ශාක පොතු, සත්ව ඇට, මැටි පුවරු, ගල් පුවරු සහා සත්ව හම් වැනි විවිධ ද්‍රව්‍යයන්වල සටහන් කෙරුණි. මීට අමතරව මුහම්මද් (සල්) තුමාණන් හට දෙවියන් විසින් සුවිශේෂි බලයක් ද ලබාදී තිබුණි. එනම්, අල්කුර්ආන් වාක්‍යයක් පහල වු සැනින් එය මුහම්මද් (සල්) තුමාණන්හට අමතක නොවන ලෙස එය සිතෙහි තැන්පත් කිරීමයි. මෙය ශුද්ධ වූ අල්කුර්ආනය 87-6 වාක්‍යය මඟින් මෙසේ පවසයි.

“අප නුඹට කුර්ආනය පාරායනය කර පෙන්වන්නෙමු. නුඹ එය අමතක නොකරන්නේය”

මෙසේ මුහම්මද් (සල්) තුමාණන්ගේ සිතේ දේව කැමැත්ත අනුව මෙම දේව වාක්‍යයන් තැන්පත් වු අතර එවකට ජීවත් වූ මුස්ලීම්වරුන් ද (ඔවුන් ‘සහාභාවරුන්’ (අනුගාමිකයින්) යයි හැදින්වේ) මෙම දේව වාක්‍යයන් වනපොත් කිරීමට ද පුරුදු පුහුණු වී සිටියේය. එය එදා සමාජයේ පමණක් නොවේ අතීතයේ පටන් අද දක්වාම සෑම මුස්ලිම්වරයෙකුම අල්කුර්ආනයේ කොටසක් හෝ වනපොත් කර තිබීම තුලින් තහවුරු වේ. මීට අමතරව මෙම මුළු අල්කුර්ආනයම වනපොත් කල පිරිස් ලොව සෑම සමාජයේ ම බොහෝමයක් පිරිස් සිටිති. උපකල්පනයකට මේ මොහොතේ ලෝකයේ තිබෙන සියළුම අල්කුර්ආන් (ග්‍රන්ථ, softwares, mp3… යනාදී) සියල්ල විනාශ කලත් ඊලඟ විනාඩියේ ශ්‍රී ලංකාවේ ඕනෑම ගමකින් මෙම අල්කුර්ආනය නිවරුදිව ග්‍රන්ථාරූඨ කලහැකි වනපොත් කල පිරිස සිටිති. සෑම මුස්ලීම් සමාජයකම (ගමකම, නගරයකම, රටකම) මෙම අල්කුර්ආනය වනපොත් කල කුඩා දරුවන් විශාල වශයෙන් සිටී. මෙය ද ලොව අන් කිසිදු දහමක හෝ දර්ශනයක දකින්නට නොලැබෙන සුවිශේෂි අංගයකි. මේ ආකාරයට අල්කුර්ආනය වනපොත් කිරීම ඉමහත් ගෞරවයක් ලෙසත්, උතුම් කුසල ක්‍රියාවක් ලෙසත් මුස්ලීම්වරුන් සලකති. මෙය දෙවියන් විසින් මිනිසුන්ගේ සිත්වල ඇති කරන ලද යහපත් හැඟිමකි. මෙය අල්කුර්ආනයේ 29-49 වාක්‍යය මගින් දෙවියන් මෙසේ අවධාරනය කරයි.

“එය (අල්කුර්ආනය) නුවණ ඇත්තාවුන්ගේ සිත්හි පැහැදිලි ආයාවන්ය.”

නැවත මාතෘකාවට අවදානය යොමු කලේ නම්, මා ඉහතින් සදහන් කල ආකාරයට අතීත ආරම්භ සමාජයේ මුස්ලීම්වරුන්ගෙන් කොටසක් දේව වාක්‍යය ලියා තබන විට තවත් පිරිසක් මෙය වනපොත් කිරීම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ අනුව මෙම අල්කුර්ආනය ලිඛිතව හා වනපොත් කිරීම යන ආකාර දෙකෙන්ම ආරම්භ කාලයේ පටන් ආරක්‍ෂා වුවා යන්න හොදින් පැහැදිලි වේ.

ඉහතින් සදහන් කල ආකාරයට ආරම්භයේ පටන් මෙම අල්කුර්ආනය ආකාර දෙකකට ආරක්ෂා වී පැවතුන ද එය ග්‍රන්ථරූඩ නොවීය. එම සමාජයේ සියළු දෙනා මෙය වනපොත් කොට සිටී බැවින් එවැනි ග්‍රන්ථයක අවශ්‍යතාවයක්ද එම සමාජයට ඇති නොවිය. නමුත් මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවයත්, එතුමාගේ අභාවයෙන් පසුව විවිධ අවස්ථාවල මෙම දේව වාක්‍යයන් වනපොත් කොට සිටී මුස්ලීම්වරුන් ඉස්ලාම් විරෝධීන් අතින් ඝාතනය වීමත්, විශේෂයෙන් ‘යමාමා’ නැමැති සටනේ දී අල්කුර්ආනය වනපොත් කර සිටී මුස්ලීම්වරුන් (සහාභාවරුන්) විශාල පිරිසක් ඝාතනය වීමත් සමග අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ කලයුතු බවට එවකට එහි පාලකයා වශයෙන් සිටි අබුබක්කර් (රලි) තුමාණන් වෙත යෝජනාවන් ඉදිරිපත් විය. මුහම්මද් (සල්) තුමාණන්ගෙන් පසු ප්‍රථම රාජ්‍ය පාලකයා හෙවත් ජනාධිපතිවරයා වන මෙතුමාණන් ආරම්භයේ මෙම යෝජනාව ප්‍රතිකෂේප කල අතර පසුකාලීනව එහි අවදානම් තත්වය තේරුම් ගෙන අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ කිරීමට එකඟ විය.

ඒ අනුව මෙම අල්කුර්ආනය ග්‍රන්ථාරූඩ කිරීමේ කාර්‍යභාරය මුහම්මද් (සල්) තුමාණන් විසින් ආරම්භයේ අල්කුර්ආන් වාක්‍යයන් ලිවීමට පත්කල 04 දෙනාගෙන් කෙනෙකු වන සෙයිද් බින් සාබිත් (රලි) තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කොට ඔවුනට එය භාර කරන ලදී. ඒ අනුව මෙම කමිටුව එකල දේව වාක්‍යයන් වනපොත් කොට සිටි මුස්ලීම්වරුන්ගේ (සහාභාවරුන්ගේ) සහය හා එවකට විවිධ තැන් හි සටහන් කොට තැබූ මූල සටහන හි පිටපත්වල සහය ද ඇතිව ප්‍රථමවරට දේව වාක්‍යයන් සියල්ල එක්කොට තනි ග්‍රන්ථයක් සකස් කිරීම කරන ලදී. මෙතැනදී සමහරක් ට ‘අල්කුර්ආන් වාක්‍යයන් ආරම්භයේ පටන් ලිඛිතව ආරක්ෂා වූවා නම්, වනපොත් කල පිරිසගේ සහය ලබාගත්තේ කුමකටද?’ යන පැනය ඇතිවීමට පූළුවනි. මෙහි දී වටහා ගතයුතු කාරනය වන්නේ මෙම අල්කුර්ආනය (ශාක පොතු, සත්ව ඇට, මැටි පුවරු, ගල් පුවරු සහා සත්ව හම් වැනි) විවිධ ද්‍රව්‍යයන් මත ලියාතිබූ නිසා එහි පිලිවලක් සකසා ගැනීම තරමක දුෂ්කර කාර්‍යයක් විය. නමුත් වනපොත් කරන විට එය මුහම්මද් (සල්) තුමාණන්ගේ අධීක්ෂණය යටතේ හා එතුමාණන්ගේ මගපෙන්වීම යටතේ සිදු වූ නිසා අල්කුර්ආනය නිසි ලෙස පෙල ගස්සවා ගැනීමේ දී මෙම වනපොත් කල පිරිසගේ සහය මහත් පිටුවහල් වන නිසා එම පිරිසගේ සහය ලබාගන්නා ලදී. මෙසේ සකසන ලද ග්‍රන්තයයි අද මුස්ලීම් සමාජය ‘අල්කුර්ආනය’ ලෙස හදුන්වන්නේ.

මෙතෙක් සාකච්චා කල කරුණූවලින් අල්කුර්ආනය කිසිදු සංශෝධනයක් සිදු නොවී එය ආරක්ෂා වූ බවත්, එය ඉතා ආරක්ෂාකාරී ලෙස ග්‍රන්ථාරූඪ වූ බවත් ඔබට පැහැදිලි වියයුතුය. මෙම ලිපියේ තවත් කොටසක් ලෙස අල්කුර්ආනය පිටපත් ගැනීම යන කාරණය ඉදිරි ලිපියකින් විමසා බැලීමේ පොරොන්දුව මත මෙම ලිපියට විරාමය තබමි.

මෙම ලිපි පෙල ප්‍රධාන මාතෘකා කිහිපයක් ඔස්සේ ඉදිරියට කථා කිරීමට අදහස් කරමි. එනම්,

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/3

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම