අවදිවන්න කාලය දැන් එළඹ තිබේ දේශපාලන විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මැතිවර්ණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් ජනතා මනාපය වෙනුවෙන් ජන නායකයන් පොරකන මේ මොහොතේ විශේෂයෙන් ජනතාව හමුවේ වීරචරිත රඟ දක්වමින් බලාපොරොත්තු ගොඩගසන මේ මොහොතේ ලාංකීය මුස්ලීම් ප‍්‍රජාවගෙත් අනිකුත් ප‍්‍රජාවගේත් විශේෂයෙන් දේශපාලඥයන්ගේ අවධානයටත් කරුණු කිහිපයක් යොමු කිරීමට කැමැත්තෙමි. වර්ථමානයේ මනුෂ්‍යා සතු මූලික අයිතීන් හා නිදහස පවා අහිමි කරගත් ජන කොට්ඨාශයක් ලෙස ජාත්‍යන්තරයේ මෙන්ම ලාංකීය සමාජයේත් මුස්ලීම් ප‍්‍රජාව හදුන්වාදිය හැක. ඔවුන්ගේ වස්ත‍්‍රය සමාජයට ප‍්‍රශ්නයක්, ඔවුන්ගේ වන්දනාමාන හා ඇදහිලි සමාජයට ප‍්‍රශ්නයක්, ඔවුන්ගේ දේව විශ්වාසය සමාජයට ප‍්‍රශ්නයක්, ඔවුන් ආහාර විශේෂයෙන් මාංශ අනුභව කිරීම සමාජයට ප‍්‍රශ්නයක්… මේ ආකාරයට ජාතික මට්ටමේත් ජාත්‍යන්තර මට්ටමේත් පෙලගැසිය හැක. මෙම තත්වය පිලිබදව තරමක ගැඹුරින් අධ්‍යනය කරන විට අපට පැහැදිලි වන සත්‍ය නම් බොහෝ විට ඔවුන් මුස්ලීම්වරුන්වීම එසේත් නැත්නම් ඉස්ලාම් භක්තිකයන්වීම පමණක් මෙම අවාසනාවන්ත තත්වය උදාවීමට ඔවුනට බලපා ඇති බවයි. මෙවන් තත්වයකට මුස්ලීම්වරුන් මුහුණ දෙන ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. විවිධ කාලවල විවිධ මුහුණුවරින් මෙම අභාග්‍යවන්ත තත්වය මුස්ලීම් ප‍්‍රජාවට උදාවී ඇත. මේ පිලිබදව ශුද්ධ වු අල්කුර්ආනයේ එක්තරා ස්ථානයක සදහන් වේ. එනම් මුහම්මද් (සල්) තුමාගේ කාලයට පෙර කාලයක ජීවත් වු එක්තරා කුරිරු රජෙකු තම රටේ ජනතාවගෙන් කොටසක් (අල්ලාහ් දෙවියන් පිලිගෙන) මුස්ලීම්වරුන් ලෙස ජීවත්වීම හේතු කොටගෙන ඔවුන් ගිනි අගුරුවල දමා පුලූස්සා ඝාතනය කරන ලදී. මේ ආකාරයට ඔවුන් ඝාතනය වීමට බලපෑ එකම හේතු කාරණය ඔවුන් මුස්ලීම්වරුන් වීම පමණක් බව ශුද්ධ වු අල්කුර්ආනයේ 85-8 වාක්‍ය පවසයි.

“අල්ලාහ් දෙවියන් විශ්වාස කිරීම (මුස්ලීම්වරයෙකු වීම) විනා අන් කිසිදු හේතුවක් නිසා නොව ඔවුන් දඩුවම් වින්දේ.”

එදා කිසිදු වරදක් නොකල එම ජනතාව මුස්ලීම්වරුන් වු පමණින්ම ඝාතනය කලාසේ අදත් ලොව විවිධ ප‍්‍රදේශවල විවිධ ආකාරයට මෙම ක‍්‍රියාදාමයන් සිදුවෙමින් පවතී. පසුගිය කාලවල ශ‍්‍රී ලංකාව තුල මුස්ලීම්වරුන් උපන්බිමෙන් පලවාහැරීම, දේපල උදුරාගැනීම, කප්පම් ගැනීම, පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, මුස්ලීම් ප‍්‍රජාවට එරෙහිව විවිධ ප‍්‍රකාශන සිදුකිරීම… ආදී ඛේදනීය තත්වයන් නොඅඩුව දක්නට තිබුණි. යාපනයේ ජීවත් වු මුස්ලීම් ජනතාව උපන්බිමෙන් නෙරපාහැරීම, මුතූර්, තෝපුර් වැනි ප‍්‍රදේශවල මුස්ලීම්වරුන් සමුල ඝාතනය කිරීම, විවිධ අවස්ථාවල මෙම රට මුස්ලීම් ප‍්‍රජාවට උරුම නොවන බව ප‍්‍රකාශකිරීම මින් කිහිපයකි. මෙවැනි අවස්ථාවල අප කුමක් කලෙමුද? මුස්ලීම් ප‍්‍රජාව නියෝජනය කරන බව පවසාගන්නා පිරිස් කුමක් කලේද? මෙවැනි අවස්ථාවල අපගේ අයිතීන් හා නිදහස වෙනුවෙන් අප දැක් වූ ප‍්‍රතිචාරය කුමක්ද? අපේ බහුතරයක් කලේ යමක් සිදුවු මොහොතේ ආවේගශීලිව හැසිර, විරෝධතා රුලි පවත්වා, කන්ඩායම් ගැසී කථාකොට එයත් තවත් සිදුවීමක් ලෙස අමතක කර දැමීම පමණක් නොවේද? මුස්ලීම් ප‍්‍රජාව නියෝජනය කරන බව පවසාගන්නා අප නියෝජිතයන් කලේ කුමක්ද? ජනතාව වෙනුවෙන් පෙනීසිටින බව පවසමින් තම ඡුන්ද මල්ල තරකර ගැනීම පමණක් නොවේද?. මෙය තමා අපගේ අයිතීන් හා නිදහස වෙනුවෙන් අතීතයේ සිටම අප කලේ. 1990 දී යාපනය, මන්නාර් වැනි ප‍්‍රදේශයන්වලින් මුස්ලීම්වරුන් පලවා හැරදමා මුස්ලීම්වරුන්ගේ ව්‍යාපාර, ගෙවල් දොරවල්, බඩුමුට්ටු හා ඉඩකඩම් අත්පත් කරගන්නා ලදී. අප උද්ඝෝෂණ රුලි පැවැත්වුයෙමු. ජන රුලි සංවිධානය කෙරුවෙමු. එතැනින් අප යුතුකම් අවසන් කෙරුවෙමු. ඉතිහාසය පුරාම මේ තත්වය ලංකාවෙත්, ලෝකයෙත් දැක ඇත්තෙමු. මේ නිසා දිනෙන් දින මුස්ලීම ජනතාව විනාශ මුඛයට තල්ලූවෙමින් සිටියා මිස මෙම තත්වයෙන් මිදිමට අප කිසිවක් නොකලෙමු. මෙසේ අප ආපස්සට ගමන් කරද්දී මුස්ලීම් නොවන සමහරක් ජාතිවාදී, ආගම්වාදී පිරිස් කලේ කුමක්ද? සූක්‍ෂම ලෙස මුස්ලීම් ප‍්‍රජාවට විවිධ ආකාරයේ ලේබලයන් නිර්මාණය කිරිමයි. එනම්,

  •  මුස්ලීම්වරුන් අන්තවාදීන්
  •  මුස්ලිම්වරුන් ජාතිවාදින්
  •  මුස්ලීවරුන් ජාතිකත්ව හැගීමක් නැති පිරිසක්
  •  මුස්ලීම්වරුන් මෝඩයන්
  •  මුස්ලීම්වරුන් යූ එන් පී කාරයන්
  •  මුස්ලීම්වරුන් මුදල් මත්තේ පමණක් නහින පිරිසක්

මැතිවර්ණ සමයක විශේෂයෙන් කථාබහට ගැනෙන මාතෘකාවක් වන්නේ මුස්ලීම්වරුන්ගේ ඡන්ද පදනමයි. අන්‍ය සමාජයේ බොහෝ පිරිසකගේ විශ්වාසය මුස්ලීම්වරුන් යනු යූ එන් පී යන්නයි. මෙය සම්පූර්ණයෙන් වැරදි අවබෝධයකි. එසේම මෙය මුස්ලීම් ප‍්‍රජාව හුදෙකලා කිරීමට සැලසුම් සහගතව කරන කුමණ්ත‍්‍රණයකි. යූ එන් පී පක්‍ෂය හා ඉස්ලාම් දහම අතර කිසිදු සම්බන්ධයක් නැති බවත්, ඒ පක්‍ෂයේ වර්ණය පිලිබදව මුස්ලීම් ප‍්‍රජාවට කිසිදු ආකාරයක ආකර්ශණයක් නොමැති බව ප‍්‍රථමයෙන් සමාජය අවබෝධ කරගත යුතුය. එසේම යූ එන් පී පක්‍ෂයට සාක්‍ෂෙව බහුතරයක් මුස්ලිම් මන්ත‍්‍රවරුන් නියෝජනය වන්නේ ආණ්ඩු පක්‍ෂයේය. මේ අනුව ද පැහැදිල වන්නේ සැලකිය යුතු මුස්ලිම් ප‍්‍රජාවක් ආණ්ඩු පක්‍ෂය හා සිටින බව නොවේද?. මා මෙහිදී උත්සාහ කරන්නේ මුස්ලීම් ප‍්‍රජාව යූ එන් පී සමඟ නොව ආණ්ඩු පක්‍ෂය සමඟ බව හේත්තු ගැන්වීමට නොවේ. ඔවුන් කුමන පක්‍ෂය නියෝජනය කලත් එය ඔවුන්ගේ අයිතියක් යන්නයි. එසේම සමහරක් පිරිස මුස්ලීම්වරුන්ගේ මෙම ඡන්ද පදනම දේශය පාවාදීමක් ලෙස බරපතල චෝදනාවන් ඉදිරිපත් කරයි. නමුත් ඒ චෝදනාවන් ඉදිරිපත් කරන බහුතරයකට අමතක වු කාරණා කිහිපයක් ඇත. එනම්, මේ මුස්ලීම් ප‍්‍රජාව එක්රොක් වන දේශපාලන පක්‍ෂවල නායකයන් මුස්ලීම් ජාතිකයන් නොවේ?

මුඑ රටේම මුස්ලීම් ප‍්‍රජාවගේ ඡන්ද ප‍්‍රතිශතය 5% ක් පමණි. එසේ නම් දේශයක් පාවාදීමට 5% ක නියෝජනයක් ප‍්‍රමාණවත් වේද? එසේ නම් දේශය පාවාදීමට හවුල්වන අනිකුත් පිරිස එනම් රටේ බහුතරය කව්රුන්ද?

මේ අනුව කොතරම් පදනම් විරහිත කාරණයන් ජනතාව ඉදිරියේ වපුරමින් මුස්ලීම් ප‍්‍රජාවට එරෙහිව ජනතාව පෙලගස්සනවාද? මේ ආකාරයට මුස්ලීම් ප‍්‍රජාවට එරෙහිව විවිධ කුමන්ත‍්‍රණ ක‍්‍රියාත්මක වෙද්දී මේවාට සෘජුවම හා වක‍්‍ර ආකාරයට මුස්ලීම් මැති ඇමතිවරුන් හා මන්තීවරුන්ද දැන හෝ නොදැන සම්බන්ධවී සිටීම ඛේදනීය තත්වයකි. මෙවන් මොහොතක රටේ මුස්ලීම් ප‍්‍රජාවගේ අවධානය කාරණා කිහිපයක් ඔස්සේ යොමු විය යුතුය. ඔබ කිසිසේත් සිතිය යුතු නැහැ මේවා අතිශයෝක්තියෙන්, ආවේගයෙන් ප‍්‍රායෝගික නොවන කාර්‍යයක් පවසනවා කියා. එසේම මේවා පිලිබදව බුද්ධිමත් අවධාන යොමු කිරීම ජාතිවාදයක් හෝ අන්තවාදයක් ද නොවේ, මෙය ජාතියක් ජන කොට්ඨාශයක් වෙනුවෙන් හදවතින්ම ඇති වන හැගීම, කැක්කුම අප, අපගැන අපගේ ආරක්‍ෂාව ගැන නොසිතන්නේ නම් කව්රුන් සිතන්නද? අද මුස්ලීම්වරුන් ඔවුනටම ආවේනික වු ධෛර්‍ය හා ගෞරවය අහිමි කරගනිමින් දුබලයින් බවට පත්වෙමින් සිටී. මෙසේ දිනෙන් දින දුබලයින් බවට පත්වන මුස්ලීම් සමාජය පිලිබදව වරක් මුහම්මද් (සල්) නබිතුමාණන් මීට වසර 1400කට පෙර අනාවැකියක් පලකලා. එනම්,

“වරක් නබිතුමා පැවසුවා ‘ඉදිරිකාලයක දී මුස්ලීම්වරුන් කිසිදු හේතුවක් නොමැතිව ඝාතනයට ලක්වේවි’ ඒ මොන ආකාරයට ද යයි පවසන විට හොද උදාහර්ණයක් නබිතුමා පැවසුවා. එනම් ‘කෑම බන්දේසියක් තබාගෙන අහල පහල සියල්ල අඩගසාගෙන තමන්හට රිසි ආකාරයට බෙදාගෙන කනවා සේ මුස්ලීම්වරුන් අල්ලාගෙන සියලූදෙනා එක්රොක් වී තමා සිතු ආකාරයට වදහිංසා දී ඝාතනය කරවි’ එවිට මෙය අසා සිටි (සහාභිවරයෙක්) පරිවාරකයෙක් ‘නබිතුමනි, ඒ කාලයේ මුස්ලීම්වරුන් සුඑ පිරිසක්ද? බහුතරයක්ද?’ යයි විමසන ලදී. එයට නබිතුමාණන් ‘නෑ එදාට බහුතරයක් සිටීවි’ යයි පවසා තවදුරටත් ‘නුඹලා ගැන ඉස්ලාම් විරෝධින්ට තිබෙන බිය ඔවුන්ගේ සිත්වලින් අල්ලාහ් දෙවියන් ඉවත් කරාවි ඒ වෙනුවට නුඹලාගේ සිත්තුලට අල්ලාහ් දෙවියන් මේලොව කෙරෙහි ආසාව හා මරණ බිය දමාවි’ යයි පවසන ලදී. ”

මේ තත්වය නොවේද? අද අප මුස්ලීම්වරුන්ගෙන් දකින්නේ කිසිවක් පිලිබදව කථා කරන්න බියවෙති කථා කලොත් මාගේ දේපල, මාගේ වස්තුන්, මාගේ පවුල්වලට හානියක් කරාවිද මාගේ ජිවිතයටත් හානියක් සිදුකරාවිද? යන බිය. මේ තත්වය අප වෙනස්කර ගන්නා තුරු මේ මිහිමත කිසිදු තැනක මුස්ලීම්වරුන්ට නිදහසේ ජීවත්විය නොහැක. අල්ලාහ් දෙවියන් අල්කුර්ආනයේ මේ පිලිබදව පවසද්දී.

“නුඹලා නුඹලාව නිසි ආකාරයට වෙනස් කරගන්නා තුරු අල්ලාහ් ඔවුන්ව වෙනස් නොකරයි.”

යනුවෙන් පවසයි. මේ අනුව අප තුල ප‍්‍රබල වෙනස්වීම් ඉදිරියේදී සිදුවිය යුතුව ඇත. ඒ දුබලයන් තවත් දුබල කරන්නට නොවේ. මේ කාරණය සම්බන්ධයෙන් ප‍්‍රබල වගකීමන් මුස්ලීම් ජනතාව නියෝජනය කරන බව පවසාගන්නා දේශපාලඥයින් හට පැවරෙනවා. ඒ ඉස්ලාම් දහම හා මුස්ලීම්වරුන් ලංසුවට තබා දේශපාලනයේ වැජඹෙන මුස්ලීම් දේශපාලඥයන් අද කරන්නේ කුමක්ද? මුස්ලීම් ප‍්‍රජාව නියෝජනය කරන බව පවසමින් ඉදිරිපත් වී අද මුදලටත් තනතුරුවලටත් විකිණෙමින් සිටී. එසේම මුස්ලීම් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පවසන මොවුන් අද මුස්ලීම් ජනතාව අවදානමකට ලක්කරමින් සිටී. මොවුන් ජනතාවට සේවය කරනවා වෙනුවට ඔවුන් ඔවුන්ම කුලල්කා ගනිමින් සිටී. මෙහි අවසාන ප‍්‍රථිපලය වන්නේ තව තවත් දුර්වල තැනකට මුස්ලීම් ප‍්‍රජාව තල්ලූවීමයි. තමන්ගේ ඡුන්ද බලය තහවුරු කරගැනීම සදහා දේශපාලඥයින් ඕනෑම පහත්පෙලේ ක‍්‍රියාවක් කරන්න වුවද නොපැකිලෙන බව පසුගිය කාල වකවානුවල මාධ්‍යන් මගින් දුටුවෙමු විශේෂයෙන් අල්ලස්දීම හා අල්ලස් ගැනීම සදහන් කල හැක. මේ මැතිවර්ණ සමයේ සමහරක් අපේ දේශපාලඥයින් විරචරිත මාධ්‍යයන් ඉදිරියේ ර`ග දක්වයි. එනම් විවිධ ආකාරයේ සහනාධාර හා සහනසේවා සැපයීම පිලිබදව මහා උජාරුවෙන් කථා කරයි. සහනාධාර හා සහනසේව අවශ්‍ය ඊටත් වඩා ජාතිය හා ආගම ලංසුවට තබා දේශපාලනයේ වැජඹෙන ඔබට මෙම ජාතියට එරෙහිව පිඹූරුපත් සකස්වන ඛේදනීය තත්වයෙන් මුදවාගැනීමට ඉදිරියේදී සැලැස්මක් පිලිබදව සිතීම කාලීන අවශ්‍යතාවයි. ඔබලාගේ අතේ ජනතාව භාරදී ඇත්තේ විශාල වු වගකීමක්. එය පිල්බෙදී කල නොහැක. අපගේ බෙදීයෑම මුස්ලීම් විරෝධීන්ට වාසියක්. එසේම එය ඉස්ලාම් හි මූලික ඉගෙන්විමන්ට ද විරුද්ධය. ඇයි මේ පිලිබදව නොසිතන්නේ? තමන්ට ඡුන්දය ලබාදුන් ඒ මුස්ලීම් ජන කොට්ඨාශය සදහා සියඑ දේශපාලඥයින් එක්ව ඉදිරියේදී මුස්ලීම් ප‍්‍රජාවට හිංසනයන් ඇති නොවන්න සැලැස්මක් සකස් කිරීම හා එම සැලැස්ම කරා ජනයා මෙහෙයවීම යන බැරූරුම් වගකීම පැවරී ඇත.

එසේම පොදු ජනතාවටද මේ සම්බන්ධයෙන් යමක් පැවසීමට තිබේ. එනම් ඉදිරියේදී දේශපාලඥයින් පිලිබදව අවධියෙන් සිටිය යුතුය. ඉස්ලාමය හා මුස්ලීම්වරුන් වෙනුවෙන් ක‍්‍රියාකාරි මැදිහත්වීමක් නොකරන දේශපාලඥයින් අප ප්‍රතික්ෂේප කලයුතුයි. ඔවුන් කුමණ පක්‍ෂය යන්න වැදගත් නොවේ ඔවුන් කුමක් කරන්නේද? යන්නයි වැදගත් වන්නේ පාලූගෙදර වලං බිදින ලේබල් මුස්ලීම් දේශපාලඥයින්ගෙන් අපට පලක් නැත. මේ රට අපෙත් රටයි කව්රුන් හෝ එසේ නොවේයයි පවසයි නම් එය පිලිගන්න අප සුදානම් නැත. එසේම ඉස්ලාම් යනු ජාතිවාදී දහමක් ලෙස හුවාදක්වන්න බොහෝ පිරිස උත්සාහ කරති. නමුත් විවිධ ජාතීන් සමග සමුහිකව ජීවත්වීම පිලිබදව ඉස්ලාම් දහම තරම් අවධාර්ණය කරන දහමක් මේ මිහිමත තවත් නැති බව අභියෝගයක් ලෙස වුවද ඉදිරිපත් කල හැක.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මෙය තවත් එක් මැතිවරණයක් නොවේ. අපට මෙහි දී ගැනීමට ඇත්තේ හෙට දවසේ අපේ දරුවන්ටත්, රටටත්, සෘජුවම බලපාන සංකීර්ණ තීරණයකි. එහි පක්‍ෂය, පාට, කුලය, ආගම හෝ අපේක්‍ෂක භාහිර ස්වරූපය වැදගත් නොවේ. වැදගත් වන්නේ ඔවුන්ගේ ප‍්‍රතිපත්තියයි. එනම් බහු ජාතීන් ජීවත් වන මේ රට තුල අපගේ අයිතීන් හා නිදහස කොතරම් දුරට කව්රුන් තහවුරු කරයිද? අපට අපගේ අනාගත පරම්පරාවට ධෛර්‍යමත් ගෞරවනීය ජීවිතයක් කව්රුන් උදාකරයිද? මෙයයි අප ඉදිරියේ ඇති අභීයෝගය මිස අපගේ පාරම්පරික ඡුන්ද පදනම තවදුරටත් රුකීමට අවශය නොවේ. එසේම අප මුදලට හෝ වෙනයම් සංතොසමකට යටහත් නොවන්නට ද වගබලාගත යුතුවේ. ඉස්ලාම් වතාවත් හා ඇදහිලි පමණක් පවසන්නට පහල වු දහමක් නොවේ. විවිධ ජාතීන් හා සාමුහිකව ජීවත් වන්නේ කෙසේද? තම මව් බිමට ගරු කරන්නේ කෙසේද? වැනි බාහිර කාරණයන් පවා පැහැදිලිව මුහම්මද් (සල්) තුමාගේ ආදර්ශ සහිතව පෙන්වා දෙන දහමක්. එය තුල අන්තවාදයට, ජාතිවාදයට ඉඩ නැත. එවන් උතුම් සමාජයක් නිර්මාණයවීමට සුදුසුම කාලය දැන් එලඹී ඇත. ඒ සදහා මුස්ලීම්වරුන් කෙරෙහි හැගීමක්, උද්යෝගයක් රටේ මුස්ලීම් දේශපාලඥයින්ටත්, බුද්ධිමතුන්ටත්, තරුණයින්ටත් රටේ අනිකුත් ජනතාවටත් ඇත විය යුතුය. ඒ සදහා අල්ලාහ් දෙවියන්ගේ උදව්, උපකාර සහා ආශිර්වාදය හිමිවේවා යයි ප‍්‍රාර්ථනා කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/9

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම