අවවාදයට වඩා ආදර්ශයයි උතුම්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අද ලොව සුලබ වූ දසුනක් නම් අසීමිත වූ අවවාදයන්ය. වැඩිහිටියන් කුඩා දරුවන්ට අවවාද, දෙමාපියන් දරුවන්ට අවවාද, පූජකවරුන් තම අනුගාමිකයන්ට අවවාද, ගුරුවරුන් ශිෂ්‍යන්ට අවවාද, දේශපාලඥයන් රටේ ජනතාවට අවවාද … මේ ආකාරයට අවවාදයෙන් අඩුවක් නම් නැත. නමුත් “අවවාදයට වඩා උතුම් වූ ආදර්ශයන්” අප සමාජය තුල දැකීම දුලබ වූ දසුනකි. වැඩිහිටියන්, දෙමාපියන්, ගුරුවරුන් දරුවන්ට අවවාද කරන අතර විවිධ අපචාරයන්, අවිනීත ක‍්‍රියාවන්, වැරදි ක‍්‍රියා පිලිවෙත් මගින් වැරදි ආදර්ශයන් සමාජයට සපයාදෙමින් සිටී. එසේම සමාජය කෙරෙහි ප‍්‍රබල වගකීමන් ඇති ආගමික විද්වතුන් හා පූජකවරුන් තම අනුගාමිකයන් හට ධර්මය දර්ශනය දේශනා කරමින් ආදර්ශමත් නොවී අධර්මය තුල කටයුතු කරමින් සිටී. මෙවන් වූ වකවනුවක විශේෂයෙන් මුහම්මද් තුමාණන් සැමරුම් දිනයක් ලෙස ලාංකීය රජය විසින් නම්කර ඇති (මෙවැනි දිනයක් විශේෂ කොට සැමරීම හෝ උත්සව පැවැත්වීම නබිතුමාණන් ප්‍රතික්ෂේප කල කාරණයක් පමණක් නොව තරයේ අවවාද කල කාරණයකි. නබිතුමාණන් තමාව සතුටු කොට ලබාගත හැකි විමුක්තියක් කිසිදු අවස්ථාවක ප‍්‍රකාශ කර නැත එතුමාගේ ආදර්ශයයි අප ගතයුත්තේ එය මතකයේ තබාගෙන) අද දවසේ එතුමාණන්ට එරෙහිව ජාතිකතලයේ හා ජාත්‍යන්තරයේ මතු කරන චෝදනාවක් වන “මුහම්මද් තුමාණන් කෲර නායකයෙකි” යන කාරණය ඉස්ලාමීය ආගමික මූලාශ‍්‍රයන් හා ඉතිහාසඥයන්ගේ ගවේශණ දත්ත පදනම් කරගෙන දැන් විමසා බලමු.

ශුද්ධ වු අල්කුර්ආනයේ මුහම්මද් (සල්) තුමා පිලිබදව

ශුද්ධ වු අල්කුර්ආන් යනු දෙවියන් වහන්සේ විසින් මුහම්මද් (සල්) තුමා හට පහල කරන ලද දේව වාක්‍යයන් පමණක් අන්තර්ගත වු ශුද්ධ වු ලියවිල්ලකි. මෙම ශූද්ධ වු ලියවිල්ලේ මුහම්මද් (සල්) තුමා පිලිබදව බොහෝ කරුණු පවසා ඇතිමුත් එතුමාගේ ගතිපැවතුම් පිලිබදව පැවසීමේ දී ශුද්ධ වු අල්කුර්ආනයේ,

  • “ඇත්තෙන්ම නුඹ අති ශ්‍රේෂ්ඨතම වු යහ ගුණයෙහිමය.” (68:4)
  • “(මුහම්මද්) හමුවේ නුඹලාට ලක්‍ෂණ ආදර්ශයක් ඇත්තේමය.” (33:21)

යනුවෙන් සදහන් වේ. ඉහත ශුද්ධ වු අල්කුර්ආන් වාක්‍යයේ දෙවියන් වහන්සේ මුහම්මද් (සල්) තුමා ඉතා යහපත් ගුණාංගයන්ගෙන් ද පොදු ජනයාහට ආදර්ශමත් අයුරින්ද ජීවත් වු බව පවසයි. මුහම්මද් (සල්) තුමා දේව නියෝගයට විරුද්ධව ක‍්‍රියා කලානම් කිසිසේත් එසේ දෙවියන් එවැනි සහතිකයක් එතුමාණන්ට ලබා නොදෙනු ඇත. එ් අනුව එනම් ශුද්ධ වු අල්කුර්ආනයට අනුව මුහම්මද් (සල්) තුමා යනු දේව නියෝගයන්වලට විරුද්ධව ක‍්‍රියා කල කෲර පුද්ගලයකු නොවන බව පැහැදිලි වේ.

අල් හදීස් මුහම්මද් (සල්)තුමා පිලිබදව

අල් හදීස් යනු මුහම්මද් (සල්) තුමා ජීවත් වු කාලයේ එතුමාගේ ක‍්‍රියාවන්, දේශනා කල කරුණු හා අනුමත කල සිදුවීම් අන්තර්ගත වු ලියවිල්ලකි. මෙය ද අල්කුර්ආනය සේම ආරම්භයේ සිටම ආරක්‍ෂා වී පවතින ශුද්ධ වු ලියවිල්ලකි. (ඉස්ලාම් දහම මූලාශ‍්‍රයන් වන්නේ මේ අල්කුර්ආනය හා අල්හදීසය පමණි) මෙම අල්හදීසයේ මුහම්මද් (සල්) තුමා සම්බන්ධයෙන් කුමක් සදහන් වී තිබෙනවාද? යන කාරණය වෙත දැන් අවධානය යොමු කරමු.

  • “මුහම්මද් (සල්) තුමාගේ අවසාන කාලයේ දිනක් තම පරිවාරකයින් (සහාබාවරුන්) කැදවා ‘මා දැනුවත්ව හෝ නොදැනුවත්ව නුඹලාට මගෙන් යම් වරදක් සිදුවී තිබේද?’ යයි විමසන ලදී. එවිට මුකාෂා නම් පරිවාරකයින් හෙවත් සහාබිවරයෙක් ඉදිරියට පැමිණ ‘නබිතුමණි! වරක් ඔබතුමා ඔටුවකුගේ පිටේත් මා පයින් ද ගමන්කරන විට ඔබතුමා ඔටුවාට ගැසු කස පහරක් මගේ පිටට වැදුනා නමුත් ඔබතුමා එය දන්නේ නැහැ ඉතින් ඒ දඩුවම නැවත ඔබතුමාට මා ඉටුකල යුතුයි’ යයි පවසන ලදී. එය ඇසු සැනින් එතැන රුස්වී සිටී අනිකුත් පරිවාරකයින් මුකාෂාට බැනවැදීමට පටන් ගත්තේය. නමුත් මුහම්මද් (සල්) තුමා ‘ඔහුට අයිතියක් තිබෙනවා එසේ පවසන්න මන්ද ඔහුයි එම තත්වයට මුහුණ දී ඇත්තේ එමනිසා සියලූදෙනා නිහඩවන්න’ යයි පවසා මුකාෂාට එම දඩුවම තමාහට ඉටුකරන ලෙස පවසන ලදී. එයට මුකාෂා ‘මට ගැසු ඒ කසයම අවශ්‍ය බවත් ඒ මොහොතේ මා උඩුවස්ත‍්‍රයක් නොමැතිව සිටීබවත් එමනිසා ඔබතුමාත් එසේ සිටිය යුතුයි’ යනුවෙන් පවසන ලදී. එය ඇසු සහාබාවරුන් තවතවත් කෝපයට පත්වන්නට විය. නමුත් මුහම්මද් (සල්) තුමා ඉතා ශාන්ත විදියට එසේ කිරීමට එම මුකාෂාට අවස්ථාව සකසා දෙන ලදී …” අවසානයේ මුකාෂාගේ යහපත සදහා මුහම්මද් (සල්) තුමා ප‍්‍රාර්ථනාවක්ද කරන ලදී (මෙය දීර්ඝ වු සිද්ධියෙකි.)

මෙහි වැදගත් කාරණය වන්නේ මේ සිද්ධිය සිදුවන මොහොතේ මුහම්මද් (සල්) තුමා එම රටේ ජනාධිපතිය. මුකාෂා යනු හිටපු වහල් අනුගාමිකයෙක් (සහාබිවරයෙකි). මුහම්මද් (සල්) තුමා කෲර චරිතයක් නම් මුකාෂාගේ ඉරණම මොහොතක් සිතා බලන්න මුහම්මද් (සල්) තුමා වචනයක් පැවසුවා නම් එම කාර්‍යය කිරීමට අනිකුත් පරිවාරකයින් (සහාබාවරුන්)නොපැකිලී ඉදිරිපත්වනු ඇත. නමුත් මුහම්මද් (සල්) තුමාගේ ප‍්‍රතිචාරය කුමක්ද? ලෝක ඉතිහාසයේ මෙවැනි චරිතයක් දක්නට ලැබෙන්නේද?

  • “දිනක් මුහම්මද් (සල්) තුමා මාර්ගයේ ගමන් කරමින් සිටින විට පිටුපසින් පැමිණි යම් පුද්ගලයකු මුහම්මද් (සල්) තුමාගේ බෙල්ලේ දමා තිබු සාටකයෙන් අදින ලදී. ඔහු අදින ලද එම වේගයට මුහම්මද් (සල්) තුමා විසිවී ගොස් ඔහුගේ ඇගට වැටෙන ලදී. එම ඇද්ද පහරට මුහම්මද් (සල්) තුමාගේ බෙල්ල රතුපාට විය. අසල සිටී අනිකුත් පරිවාරකයින් කෝපයට පත්ව ඔහුට පහරදීමට පෙළඹුණි. ඒමොහොතේ මුහම්මද් (සල්) තුමා නැගිට ‘නුඹ ඇයි එසේ කලේ’ යයි විමසන ලදී. එයට ඔහු ‘මා දින කිහිපයකින් ආහාර ගත්තේ නැහැ මට මොනවා හරි භාණ්ඩාගාරයෙන් දෙන්න” යයි පවසන ලදී. එයට මුහම්මද් (සල්) තුමා සිනාමුසු මුහුණින් ‘මෙයට ද මාව මේ තරම් රිදවුයේ’ යයි පවසා එතන සිටී පරිවාරකයෙකු හට ‘මොහුට අවශ්‍ය ප‍්‍රමාණයට ආහාර ලබාදෙන්න’ යයි අනකරන ලදී.”

මෙම සිද්ධිය ද සිදු වුයේ එතුමා එම රටේ ජනාධිපති වශයෙන් කටයුතු කරන මොහොතේය. එක් පසකින් රාජ්‍ය නායකයෙක් තවත් පසකින් ආගමික නායකයෙක් නමුත් එතුමාගේ ප‍්‍රතිචාරය කුමක්ද? මෙම සිද්ධිය තුල කොහිද කෲරකමක්?

  • “යුද්ධයක දී අත්අඩංගුවටගත් ඉස්ලාම් විරෝධියකු මුහම්මද් (සල්) තුමාගේ නිවස අසල බැද තබන ලදී. මොහු මේ ආකාරයට දින තුනක් බැද තබන ලදී. මොහු මුල් දිනයන්වල මුහම්මද් (සල්) තුමාහට බැනවදිමින් සිටින ලදී. නමුත් 03 වන දින ‘නබිතුමණි! මාව ලිහන්න මා ස්නානය කොට පැමිණ ඉස්ලාම් දහම වැලදගත යුතුයි’ යයි පවසා තවදුරටත් ‘ඊයේ වනතුරු මේ ලෝකයේ පිලිකුල්ම පුද්ගලයෙකු සිටියේ නම් ඒ ඔබතුමායි නමුත් අද මේ ලෝකේ මා ප‍්‍රියකරන පුද්ගලයෙකු සිටීනම් ඒ ඔබතුමායි’ යනුවෙන් පවසන ලදී.”

මෙසේ ඔහුට සිතීමට නබිතුමා කලේ කුමක්ද? ආගම දේශනා කලේ නැත. තර්ජනය කලේ නැත. නබිතුමාගේ ක‍්‍රියාවන් අධ්‍යනය කලා සත්‍ය අවබෝධ කරගත්තා. මෙය තුල කෲර ක‍්‍රියා කොහේද?

  • ඉස්ලාමීය ඉතිහාසයේ සිදුවු විශේෂ සිදුවීමකි “හුදෙයිබියා” නම් ගිවිසුම අත්සන් කිරීම. මෙම ගිවිසුම අත්සන් තබන මොහොතේ මුස්ලීම්වරුන් අත තිබු මදීනාව සියලූම ආකාරයේ බලයන් හා ශක්තීන් උරුමව තිබු රාජ්‍යයකි. එවැනි ප‍්‍රබල බලයන් හා ශක්තීන් උරුම පැවතී එම පිරිස හජ් වන්දනය සදහා මක්කමට ගිය මොහොතේ ඉස්ලාම් විරෝධි මක්කාවාසීන් මුහම්මද් (සල්) තුමා ඇතුඑ පිරිස මක්කාවට ඇතුල්නොවී වලක්වා ගිවිසුමක් අත්සන් කරන ලදී. එම ගිවිසුම තමා “හුදෙයිබියා ගිවිසුම” යනුවෙන් හදුන්වන්නේ. මෙම ගිවිසුම මුස්ලීම්වරුන්ට හා මුහම්මද් (සල්) තුමාට විවිධ ආකාරයේ අපහසයන් සිදුකරමින් මෙම ගිවිසුම සකස් කරනලදී. එසේ ගිවිසුම සකස් කිරීමේදී මක්කාවාසී ඉස්ලාම් විරෝධීන් ඉදිරිපත් කල සියලූම කොන්දේසිවලට මුහම්මද් (සල්) තුමා එකගවිය. මේ දෙස බලාසිටී මුහම්මද් (සල්) තුමාගේ අනුගාමිකයින් “ඔවුන් සමග යුද්ධ කරමු, අප ඇයි මොවුන්ට හිස නමන්නේ” යයි පවසන්නට විය. නමුත් ඔවුන් පැවසු ඒ කිසිවකට සවන් නොදුන් මුහම්මද් (සල්) තුමා ගිවිසුමට අත්සන් කොට ආපසුහැරී මක්කාවට එන ලද්දේ හජ් වන්දනය ද ඉටුනොකොටය. මේ ක‍්‍රියාකලාපය දුටු සමහරක් අනුගාමිකයින් මුහම්මද් (සල්) තුමා සමග ද මුලදී උරණවිය. මෙය දීර්ඝ සිදුවීමක් වන අතර මෙම සිද්ධිය බැලූබැල්මට මුස්ලීම්වරුන්ගේ පරාජයකි. එය අවබෝධ කරගැනීම සදහා එම ගිවිසුමේ එක් කොන්දේසියක් පහතින් ඉදිරිපත් කරමි.

මක්කාවේ සිට කව්රුන් හෝ මදීනාවට ඉස්ලාම් දහම වැලදගැනීමට පැමිණියා නම් ඔවුන් නැවත මක්කාවට භාරදිය යුතුයි. නමුත් මදීනාවෙන් කව්රුන් හෝ මක්කාවට පැමිණියා නම් ඔවුන් භාරදෙනු නොලැබේ.

මුහම්මද් (සල්) තුමා එම මොහොතේ සිතුවේ නම් ඔවුන් සියල්ල පලවා හැර හජ් වන්දනය කරන්නටත් මක්කාව තමා යටතට ගැනීමටත් ශක්තිය හා බලය තිබුණි. නමුත් එක් රටකින් තවත් රටකට ඇතුඑවීමේ දී අනුගමනය කලයුතු ආකාරයට එතුමා ක‍්‍රියාකලා මිස යුදමය ක‍්‍රියාවකට නොයන ලදී. මෙම සිද්ධිය තුල කොහිද කෲරකමක්?

ඉතිහාසඥයින් මුහම්මද් තුමා පිලිබදව

මෙම කාරණය සම්බන්ධයේ ඉතිහාසඥයින්ගේ මතය ද ඉතා වැදගත් සාධකයකි. මෙහිදී මුහම්මද් (සල්) තුමාණන් පිලිබදවත් එතුමාගේ ගුණාංග පිලිබදවත් විද්වතුන් විශාල පිරිසක් අදහස් පලකොට ඇත. ඒවා විවිධ මාතෘකා ඔස්සේ ග‍්‍රන්ථයන් ලෙස ද එලිදක්වා ඇත. මෙහි දී අවබෝධය සදහා කිහිපයක් කොරහි අවධානය යොමු කලේ නම්,

  • ලෞකික හා ලෝකෝත්තර යන දෙයාකාරයෙන් ශ්‍රේෂ්ඨතම සාර්ථකත්වය උසුලන එකම පුරුෂයා මුහම්මද් තුමාය.

ග‍්‍රන්ථය THE 100 – D Michael H Hart

  • මුහම්මද්තුමා තුල සීසර් හා පොප්වහන්සේ යන දෙදෙනාම අරක්ගෙන සිටියේය. එතුමා පොප් වුයේ බාහිර ඇ`ගවීම්වලින් තොරවය. සීසර් වුයේ හමුදා බල ඇණිවලින් තොරවය, ආත්මාරක්‍ෂක සෙබලූන් රහිතවය. අවි ආයුධ නැතිවුවත් ඒවායේ උපකාරයක් නොලදත් සෑම බලයක්ම හිමිවී තිබුණු බැවිනි.

ග‍්‍රන්ථය Mohammad and Mohammadanism -කතෘ Bosworth Smith

  • සටන්කාමී මුස්ලීම්වරුන් විසින් අසිපත් තුඩින් ලොවපුරා ඉස්ලාමය බලයෙන් කාවද්දන ලදැයි ඉතිහාසඥයන් නොකඩවා කළ ප‍්‍රකාශය බැරැුරුම් මුසාවක් වනවග කෙසේ හෝ ඉතිහාසයෙන් ම සනාථ වේ.

ග‍්‍රන්ථය Islam at the Cross Road කතෘ ඉතිහාසඥය De Lacy O’Leary, Page 8

ඉහත ඉතිහාසඥයින්ගේ අදහස් පිලිබදව මධ්‍යස්ථව හිද අවධානය යොමු කලේ නම් මුහම්මද් තුමාගේ චරිතය කොතරම් ආදර්ශමක් චරිතයක් ද යන්න පහසුවෙන් අවබෝධ කරගත හැක. මෙවැනි ආදර්ශමත් චරිතය තුල කෲරත්වයක් තිබෙන්නේ කොහිද?

මේ ආකාරයට ශුද්ධ වු අල්කුර්ආන් වාක්‍යයන් කුමක් පවසනවාද?, අල් හදීසය කුමක් පවසනවාද?, ඉතිහාසඥයින් මෙතුමා පිලිබදව කුමක් පවසනවාද? වැනි කරුණු පිලිබදව කිසිදු අධ්‍යනයක් සිදුනොකොට එපමණක් නොව කිසිදු පදනමකින්ද තොරව “මුහම්මද් කෲර චරිතයකි, ඔහු ඉස්ලාමය තුල ත‍්‍රස්ථවාදය හා මුලධර්මවාදය අවධාරණය කරයි” යනුවෙන් අන්තවාදී අදහස් ඉස්ලාමයට විරුද්ධව ඉදිරිපත් කිරීම ඔවුන්ගේ අඥානභාවය හා අන්තාවදීත්වය මනාව ප‍්‍රදර්ශනය කිරීමක් නොවේද?

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම