අවසාන කැමැත්ත ද දහමට අනූකූල වියයුතුයි.

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


වර්ථමාන ලෝකය දිනෙන් දින අර්බුද ගණනාවක්ට මැදිවෙන් පවතී. මේ අර්බුදකාරී තත්වය රට රටවල් අතර, ජාතීන් අතර, සමාජ අතර, පවුල් ඒකක අතර සහෝදරයන් අතර… යනාදී වශයෙන් ඉහලම තලයේ සිටි පහලම තලය දක්වා ව්‍යාප්ත වී පවතී. මෙම තත්වයෙන් මිනිස් සමාජය මුදවා ගැනීම සදහා විවිධ විකල්ප හා විසදුම් නොයෙක් පාර්ශවයන් කලින් කලට යෝජනා කලද එයින් තවම සාර්ථක ප්‍රථිපල ලබාගැනීමට ලෝකයා හට හැකි වී නැත. එසේ වීමට බලපෑ ප්‍රධාන හේතුවක් ඇත. ඒ නිවරුදි ගැටළුව හදුනාගෙන එයට විසදුම් සොයනවා වෙනුවට නිර්මාණය කරගත් ගැටළුවලට විසදුම් සෙවීමට කාලය හා බුද්ධීය වැය කිරීමයි.

මෙවන් සමාජ පසුබිමක එවැනි මිත්‍යා ගැටළු හා ඒවාට ලබාගන්නට උත්සාහ කරන විසදුම් පිලිබදව නොයෙක් අවස්ථාවල යහමඟ අඩවිය ද කරුණූ ගෙනහැර දක්වමින් ලිපි ගණනාවක්ම සාකච්චා කොට ඇත. මෙහිදී ද එවැනි ලිපියක් සාකච්චා කිරීමට අදහස් නොකරන අතර ඒ වෙනුවට එනම් සමස්ථ සමාජය පදනම් කරගත් කාරණයක් පිලිබදව කථා කරනවා වෙනුවට පවුල් ඒකකයක් පදනම් කරගත් ඉස්ලාම් පෙන්වාදෙන අසමසම ආදර්ශයක් පිලිබදව කථා කිරීමට අදහස් කරමි.එය පවුල් ඒකකයකට පදනම් වූ කාරණයක් ලෙස මෙහිදී මා සැලකුවද වක්‍ර ආකාරයකින් එය සමස්ථ සමාජයටම බලපාන පොදු මාතෘකාවකි. ඒ ‘දේපල බෙදීම සම්බන්ධයෙන් මුස්ලීම්වරයෙකු අනුගමනය කලයුතු ක්‍රමවේදය හා එහිදී අනුගමනය නොකලයුතු ක්‍රමවේදයන් කුමක්ද?’ යන්නයි. ‘ඉස්ලාම් දිව්‍යමය මඟපෙන්වීම පදනම් කරගත් අසමසම ජීවන සැලැස්මක්’ යන්න යහමඟ පුලපුලා පවසන කාරණයකි. එය තහවුරු කිරීම සදහා විවිධ මාතෘකා ඔස්සේ ලිපි ගණනාවක්ම මෙම අඩවිය තුල ඉදිරිපත් කොට ද ඇත. අද දවසේත් එවැනිම කාරණයක් පිලිබදව ඉස්ලාමීය ආදර්ශය සාකච්චා කිරීමට අදහස් කරන්නේ එය මේ සංකීර්ණ සමාජය තුල මුස්ලීම් නොවන ප්‍රජාව අතර පමණක් නොව මුස්ලීම් ප්‍රජාව අතරත් විශේෂයෙන් දරුවන් හා මාපියන් අතර, සහෝදර සහෝදරියන් අතර, සංකීර්ණ හා ගැටුම්කාරී තත්වයන් නිර්මාණය කිරීමට තරම් ප්‍රබලහා ජනප්‍රිය විෂයක් වී ඇති නිසාය.

වර්ථමාන බුද්ධිමත් සමාජයේ මාපියන් මඟින් දරුවන් හෝ ඥාතීන් හට දේපල බෙදීයාමේදී ඇති වන ගැටළු හා ඒ තුල ඇති වූ පවුල් අවුල් පිලිබදව පිටු ගණන් ලිවිය හැක. අප රටේ සතිඅන්ත පුවත්පතක් ගෙන බැලුවේ නම් මේ සදහා නිදසුන් ඕනෑ තරම්ය. එපමණක් නොව අද රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මහළු නිවාස තුලින් ද කියාපාන්නේ මෙම අවුලේ නොයෙක් පැතිකඩයන්ය. එවන් වූ උණූසුම් හා බැරෑරුම් විෂයක් පිලිබදව ඉස්ලාම් දහම මිනිස් සමාජයට යෝජනා කරන විසදුම් ඉතා ආදර්ශවත්ය. එය මීට ඉහත මෙම අඩවිය තුල සාකච්චා කල ඉස්ලාමීය දේපල බෙදීමේ නීති යන ලිපිය තුලින් ඔබට අවබෝධ කරගත හැක. එම ලිපිය තුල පවා මා සරලව සදහන් කල කොන්දේසිගත කාරණයක් ඇත. ඒ මරණාසන්න මොහොතේ කරන ප්‍රකාශය හෙවත් ‘අවසාන කැමැත්ත’ පිලිබදවයි. මෙය ඉස්ලාම් ‘වසීයත්’ යනුවෙන් හදුන්වන අතර එම විෂය ද ඉස්ලාම් දීර්ඝ ලෙස කථා කරන්නේ මෙය ප්‍රායෝගික දහමක් යන්න මනාව කියාපාමිනි. මෙම විෂය තුල මනුෂ්‍යා ක්‍රියා කලයුතු හා අනුගමනය කලයුතු නිවරුදි ක්‍රමවේදය ඉස්ලාම් මිනිස් සමාජයට යෝජනා කරන්නේ ලොව සෑම දහමකටම, දර්ශනයකටම අභියෝගාත්මක ලෙසය. ඒ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීමන් පදනම් කරගෙන විමසා බලන්නේ නම්,

එහි ආරම්භයක් ලෙස ශුද්ධ වූ නබිවදනක් (හදීසයක්) වෙත ප්‍රථමයෙන් ඔ‍බේ අවධානය යොමු කලේනම්,

නබිතුමාණන් මෙසේ පවසන ලදී. ‘එක් පිරි‍මියෙකු එසේත් නැත්නම් කාන්තාවත් (සාමාන්‍යයෙන්) වසර 60 ක් අල්ලාහ් (දෙවි)ට සම්පූර්ණයෙන් අවනතව ජීවත් වන්නේය. පසුව ඔහුගේ (හෝ ඇයගේ) මරණාසන්න මොහොත ලඟා වන්නේය. එවිට ඔවුන් (තම වස්තූන් වෙනුවෙන්) ‘වසීයත්’ අවසාන කැමැත්ත ලියා තබා ඒ තුලින් (නිත්‍යානුකූල) තම උරුමක්කාර පාර්ශවයන් (මාපිය, දූදරුවන්, සහෝදර සහෝදරියන්…)ට කිසියම් අසාධාර්ණයක් සිදු කරන්නේ නම්, නියත වශයෙන්ම ඔවුන් අපාගත වන්නේය’. යයි පැවසූ (නබිතුමාණන්ගේ සමකාලීන අනුගාමිකයෙකු වන) අබූ හුරෙයිරා (රලි) තුමාණන් ඉහත නබිවදන පැවසීමෙන් අනතුරුව ශුද්ධ වූ කුර්ආනයේ 4-11,12,13 වාක්‍යයන් පාරායනය කර පෙන්වන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්නද් අහමද්

ඉහත නබිවදන මොහොතක් හොදින් විමසා බලන්න වසර 60 ක කාලයක් සම්පූර්ණයෙන් දෙවියන්ට අවනතව ජීවත් වූ කෙනෙකු තම දරුවන් හා ඥාතීන් සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරීමේ දී ඔවුනට මරණින් මතු අත්වන ඉරණම කොතරම් අවාසනාවන්ත එකක්ද? යන්න. අද සමාජයේ දකින්නට හා අසන්නට තිබෙන කාරණයක් තමා දරුවන් දෙමාපියන්ට අකීකරු වීම හා ඒ හේතුවෙන් සිත්තැවුලට පත් දෙමාපියන් තම දේපල ඔවුනට නොලැබෙන ලෙස අවසන් කැමැත්ත ලියා තබා මියයෑම. විශේෂයෙන් තම දරුවන්ට උරුම වියයුතු දේපල ඔවුනට නොදී මහළු නිවාසවලට හා පූජනීය ස්ථානවලට එම දේපල පවරාදීම අප රටේත් දුලභ කාරණයක් නොවේ. නමුත් ඉස්ලාමීය මූලාශ්‍ර ඉගෙන්වීමන් වන ශුද්ධ වූ කුර්ආනය හා හදීසයට අනුව එලෙස දේපල බෙදාදීමට කිසිදු අවසරයක් ඉස්ලාම් දහම තුල නැත. එසේ කිරීම මහා පාපයක් ලෙස ඉස්ලාම් දකින බව ඉහත හදීසය තුලින් ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැකි වනු ඇත.

මෙම විෂය සම්බන්ධයෙන් ඉස්ලාමීය ඉගෙන්වීම වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා තවත් නබිවදන් (හදීස්) කිහිපයකට ඔබේ අවධානය යොමු කරන්නේ නම්,

නබිතුමාණන් වරක් මෙසේ පවසන ලදී ‘කිසිවකු තම උරුමක්කාරයන් (වන මාපියන්, සහෝදරයන් හා දූදරුවන්) හට  ඔවුන්ට හිමි කොටස ලබා නොදී අහිමි කලේනම්, අල්ලාහ් (දෙවි) මතු ලොවෙහි ඔහුට ස්වර්ගය අහිමි කර දමනු ඇත.’

මූලාශ්‍ර ග්‍රන්ථය – ඉබුනු මාජා

නබිතුමාණන් මෙසේ පවසන ලදී ‘කිසිවකු තම උරුමක්කාරයන් (වන මාපියන්, සහෝදරයන් හා දූදරුවන්) අතුරින් එක් කෙනෙකුට පමණක් අවසන් කැමැත්ත ලියා තබා මියගියේ නම් එම අවසන් කැමැත්ත වලංගු එකක් බවට පත්නොවේ.’

මූලාශ්‍ර ග්‍රන්ථය – මිෂ්කාත්, දාරකුද්නි

මෙහිදී ඉහත හදීසයන්ට අමතරව ඉහත විෂයට අදාල ඉතා වැදගත් තවත් නබිවදනක් ඔබේ අවධානයට යොමු කිරීමට මා අදහස් කරමි. ඒ නබිතුමාණන්ගේ සමකාලීනයෙකු මෙන්ම ධනකුවේරයෙකු වූ සාද්බින් අබීවක්කාස් (රලි) තුමා හා මුහම්මද් (සල්) තුමාණන් අතර සිදුවූ පහත සංවාදයයි. එය මෙසේය…

අබීවක්කාස් – මම රොගී වී සිටි අවස්ථාවක නබි මුහම්මද් (සල්) තුමාණන් මාගේ සුවදුක් විමසීමට පැමිණෙන ලදී.  එහිදී නබිතුමාණන්,
නබිතුමාණන් – ඔබ ‘වසීයත්’ අවසාන කැමැත්ත ප්‍රකාශ කොට ඇත්තේද?’ යනුවෙන් විමසන ලදී.
අබීවක්කාස් – ‘ඔව්!, එය කර ඇත්තෙමි’ යයි පැවසුවෙමි.
නබිතුමාණන් – ‘කොච්චරක් කොහොම බෙදා ඇත්තේද?’ යනුවෙන් විමසන ලදී.
අබීවක්කාස් – ‘මාගේ සියළු දේපල දෙවියන්ගේ මාර්ගයේ (දහමේ යහපතට) වියදම් කිරීමට අවසාන කැමැත්ත ලබාදී ඇත.’ යනුවෙන් පැවසුවෙමි.
නබිතුමාණන් – ‘ඔබගේ දරුවන් සදහා කුමක් ඉතිරි කර ඇත්තේද?’ යනුවෙන් විමසන ලදී.
අබීවක්කාස් – ‘ඔවුන් ධනවතුන් ලෙස යහපත් තත්වයක අද සිටී’ යනුවෙන් පිලිතුරු දුන්නෙමි.
නබිතුමාණන් – ‘නැහැ, ඔබේ වස්තූන් අතුරින් 1/10 ක් පමණක් දෙවියන්ගේ මාර්ගයේ වියදම් කිරීමට වසීයත් (අවසාන් කැමැත්ත ප්‍රකාශ) කරන්න!’ යනුවෙන් පවසන ලදී.
අබීවක්කාස්  – ‘නබිතුමණි!, එය ඉතා ස්වල්පයක් නොවේද? ඊටත් වඩා ටිකක් හෝ වැඩියෙන් ‘වසීයත්’ කරන්න මට අවසර ලබාදෙන්න’ යනුවෙන් දිගින් දිගටම විමසුවෙමි. (නබිතුමාණන්ද ටිකෙන් ටික එහි ප්‍රමාණය වැඩි කරමින් එන ලදී අවසානයේ…)
නබිතුමාණන් – ‘හරි එසේනම් 1/3 ක් වැය කරන්න. හැබැයි ඒකත් වැඩියි’ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

මෙතෙක් මා ඉදිරිපත් කල කරුණූ තුලින් මුස්ලීම්වරයෙකු තම දේපල හා අනිකුත් වස්තූන් සම්බන්ධයෙන් වසීයත් (අවසාන කැමැත්ත ප්‍රකාශ) කිරීමේ දී අනුගමනය කලයුතු ක්‍රමවේදය පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇත. විශේෂයෙන් වර්ථමානයේ මුස්ලීම් නොවන සහෝදර ප්‍රජාව සිදු කරනවා සේ දහම වෙනුවෙන් වුවද සමස්ථ දේපල ලබාදීමක් සිදුකල නොහැක යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. තම දූදරුවන් ධනවතුන් වුවත් මාපියන්ගේ දේපල කෙරෙහි අවශ්‍යතාවයක් නොමැති පිරිසක් වුවත් ඔවුන් සදහා ද ඉස්ලාම් පෙන්වාදෙන අනුපාතයන්ට දේපල නිසිලෙස බෙදාදීම ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශයයි. මෙහි අවශ්‍යතාවය එක්තරා අවස්ථාවක නබිතුමාණන් ඉතා අලංකාර ලෙස මෙසේ පවසන ලදී. එනම්,

‘…නුඹලාගේ දරුවන් තවත් කෙනෙකුට අතපාන තත්වයක හැර නොයන්න…’

මෙතෙක් සාකච්චා කල ඉහත හදීසය තුලින් පැහැදිලි වන්නේ කුමක්ද?. අද දවසේ දරුවන්‍ කෙරෙහි තිබෙන නොසතුට නිසා තම දේපල පොදු ස්ථානයකට හෝ පූජනීය ස්ථානයකට ලියා තැබීම දක්නට තිබෙනවා සේම එදා සමාජයෙත් එය සත්ක්‍රියාවක් ලෙස සලකා ක්‍රියාකොට ඇති බව නොවේද?. මෙවැනි ක්‍රියා සදහා ඉස්ලාම් දහම තුල ඉඩක් නොමැති බව දැන් ඉහත කරුණූවලින් ඔබට පැහැදිලි වියයුතුය.එසේම වර්ථමාන තරඟකාරී සමාජය තම ජීවිත කාලය අසීමිත ලෙස ධනය රුස් කිරීම සදහාම ගෙවාදමන අතර අවසාන කාලයේ සිතන්නේ එයින් වැඩි කොටසක් දනට පිනට ලබාදීම තුලින් විමුක්තියක් ලබාගත හැකි බවයි. මේවා අදටත් සමාජය තුල පවතින මතවාදයන්ය. එවැනි ක්‍රියාවන් සදහා ඉස්ලාම් දහම තුල ඉඩක් හෝ අවසරයක් නොමැති බවත් ඉහත කරුණූවලින් දැන් ඔබට පැහැදිලි වියයුතුය.

මේ සියල්ල සාරාංශ කොට බැලුවේ නම් එයින් කියාපාන්නේ ඉස්ලාම් මනුෂ්‍යත්වය අගයන, එයට ගරු කරන, ප්‍රායෝගික දිවියට මඟපෙන්වන දිව්‍යමය දහමක් යන්න නොවේද?. නමුත් මෙහිදී සදහන් කලයුතු තිත්ත වූ ඇත්තක් ද ඇත. ඒ ඉස්ලාම් දහම තුලින් ආදර්ශ ලැබිය යුතු මුස්ලීම් සමාජය එම කාරණය අතපසු කිරීමයි. එහි අවාසනාවන්තම තත්වය නම් ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව අවබෝධයක් නොමැති මුස්ලීම් නොවන සමාජය මුස්ලීම්වරුන් තුලින් ඉස්ලාම් දැකීමට උත්සාහ කිරීම හා මුස්ලීම්වරුන්ගේ සියළු ක්‍රියාවන් ඉස්ලාම් ලෙස දැකීමයි. එහි අවසාන ප්‍රථිපලය වන්නේ මුස්ලීම් සමාජය දැන හෝ නොදැන මේ දිව්‍යමය දහමට වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වීමට දායකවීමයි. කෙසේ වෙතත් මේ කරුණූ කාරණා පිලිබදව මුස්ලීම් මෙන්ම මුස්ලීම් නොවන බුද්ධිමත් ප්‍රජාව අවබෝධයෙන් ක්‍රියා කලයුතුය. එසේ ක්‍රියා කරන්නේ නම් ඉස්ලාම් දහම තුල මෙවැනි අසමසම ආදර්ශයන් අනන්තවත් දැකගත හැකි වනු ඇත. ඒ තුලින් ඉස්ලාම් දිව්‍යමය දහමක් යන්නත් පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇත.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/17

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම