අව්ලියාවරුන් ඉස්ලාමීය විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අප රටේ මුස්ලීම් සමාජය තුල අල්ලාහ් (දෙවි) සහ ඔහුගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් හැරුණු විට මීලඟට වැඩි භක්තියෙන් කථා බහට ලක්වන පාර්ශවය නම්, ඒ ‘අව්ලියාවරුන්’ ය. අතීතයේ විසූ බව පැවසෙන අව්ලියාවරුන් යැයි කිහිපදෙනෙකු තෝරාගෙන ඔවුන්ගේ ජන්මදින ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම මුස්ලීම් සමාජයේ බහුතරයකගේ සිරිතයි. ‘අව්ලියාවරුන්’ යන්න දහම තුල ඉහල තැනක් හිමිකරගත් උතුම් වූ පිරිසක් යන්නෙහි කිසිදු මුස්ලීම්වරයෙකු හට විවාදයක් නැත. නමුත් ඔවුනට ගරුබුහුමන් දැක්වීමේදී එහි ආගමික සීමාවන් කුමක්ද? යන්න හොදින් දැනගෙන කටයුතු කිරීම අත්‍යඅවශ්‍ය වේ. වත්මන් සමාජයේ සමහරක් පිරිස් ‘අව්ලියාවරුන්’ හට ගරුබුහුමන් දක්වන බව පවසමින් දහමේ මූලික සීමාවන් පවා බිඳ දමමින් කටයුතු කරන අයුරු දකින්නට ඇත. මෙම ලිපිය තුලින් එම කාරණය පිලිබදවද විමසා බැලීමට අදහස් කරමි.

විශේෂයෙන් ඉස්ලාමීය දින දර්ශනයට අනුව මෙම මාසය ‘අව්ලියාවරුන්’ සම්බන්ධයෙන් මුස්ලීම් සමාජය තුල වැඩිපුර කථා බහ සහ සැමරුම් සිදුවන මාසයකි. එමනිසා කාලීන මාතෘකාවක් ලෙස මෙම ‘අව්ලියාවරුන් පිලිබදව ඉස්ලාමීය විමසුමක්’ යන මෙම ලිපිය තුලින් අව්ලියාවරුන් සම්බන්ධයෙන් තිබෙන මිත්‍යා මත සහ ඇදහිලි පිලිබදව ද සාකච්චා කිරීමට අදහස් කරමි. විටෙක මුහම්මද් (සල්) තුමාණන් කෙරෙහි ඇති ආදරය ඉක්ම වූ ආදරයක් මෙම අව්ලියාවරුන් කෙරෙහි දක්වන අවාසනාවන්ත සීමා ඉක්මවීමන් මෙම සමාජයේ සමහරකගේ ක්‍රියා කලාපයන් තුල දකින්නට ඇත. මෙවැනි පසුබිමක පහත මාතෘකා ඔස්සේ මෙම සාකච්චාව ඉදිරියට ගෙනයන්න අදහස් කරමි.

එනම්,

  • ඉස්ලාම් දහමට අනුව ‘අව්ලියාවරුන්’ යනු කවුද?,
  • ‘අව්ලියාවරුන්’ සම්බන්ධ මුස්ලීම් සමාජයේ පිලිගැනීම කුමක්ද?,
  • ‘අව්ලියාවරුන්’ සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද?,
  • අව්ලියාවරුන්ට ගුරු කලයුත්තේ කෙසේද?,

‘අව්ලියාවරුන්’ යනු කවුරුන්ද?

‘අව්ලියා (අවුලියා (أَوْلِيَاءُ))’ යන වචනය ‘වලී’ (وَلِيٌّ) නම් වචනයේ බහු වචනය වේ. ‘වලී’ නම් වචන ආර්ථය ‘ලං වුනා, අනුගමනය කළා, පිටුපසුන් ගමන් කළා…’ යනාදීයයි. මෙවන් අර්ථයන් ඇති වලිය (ولِي ) නම් ක්‍රියා පදයෙන් මෙම ‘අව්ලිය’ යන්න බිහි වේ. මෙම වදන අල්කුර්ආනයේ බොහෝ ස්ථනවල දැකිය හැකි වන අතර ආරක්ෂකයා, රැකබලා ගන්න, භාරකාරයා, වගකියන්නා, මිත්‍රයා… ආදී අර්ථවලින් එය එහි භාවිතා වේ.

ඉස්ලාම් දහමේ කුළුණු 06 වන අල්ලාහ්, (දිව්‍ය) දේවදූතයන්, දිව්‍ය පුස්තකය, වක්තෘවරුන් (නබිවරුන්), විනිශ්චය දිනය සහ පූර්ව නියමය යන කාරණා පූර්ණ ලෙස විශ්වාස කොට අල්කුර්ආනය සහ මුහම්මද් තුමාණන්ගේ ආදර්ශයන් වන අල්හදීසය පූර්ණ ලෙස අනුගමනය කරන්නා ‘අව්ලියා’ යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. මොවුන් ‘මුස්ලීම්වරුන්’ අතර ම වූ සර්වබලධාරි අල්ලාහ් (දෙවි)ගේ සමීපත්වය ඉහලින්ම දිනාගත් ඔහුගේ සේවකයා ලෙසත්, සම්පූර්ණයෙන් අවනත වූවකු ලෙසත්, ආදරය හිමි කරගත්තෙකු ලෙසත් සැලකේ.

මුස්ලීම් සමාජයේ දේව අවනතභාවයේ ප්‍රමාණය හා ස්වභාවය අනුව ඉස්ලාම් දහම ඔවුන් ප්‍රධාන කොටස් තුනකට වර්ගීකරණය කරයි. එම කොටස් අතුරින් ‘අව්ලියාවරුන්’ යන්න දෙවියන්ට වඩා සමීපව සිටින කොට්ඨාශයකි. එම වර්ගීකරණය අල්කුර්ආනය ඉතා පැහැදිලිව පහත ආකාරයට ගොනු කර පවසයි. එනම්,

අපගේ ගැත්තන් අතුරින් අප තෝරා ගත් අයට (මෙම) ධර්ම ග්‍රන්ථය අපි උරුම කළෙමු.
ඔවුන්ගෙන් ඇතැමෙක් තමන්ටම වරද කර ගත්තෝය.
තවද ඔවුන්ගෙන් ඇතැමෙක් මධ්‍යම පිළිවෙත අනුගමනය කරන්නෝය.
තවද ඔවුන්ගෙන් ඇතැමෙක් අල්ලාහ්ගේ අවසරය ඇතිව යහකම් හි පෙරමුණෙහි සිටින්නෝය.
මෙය අතිමහත් වරප්‍රසාදයයි.

අල්කුර්ආන් 35-32

ඉහත අල්කුර්ආන් වාක්‍යයට අනුව මුස්ලීම් සමාජය වර්ගීකරණය කරන කොටස් 03 නම්,

  • තමන්ටම අසාධාරණයක් කරගන්නා,
  • මැද මාවත අනුගමනය කරන්නා,
  • යහපත් ක්‍රියාවන්හි විශිෂ්ටයන්,

තමන්ටම අසාධාරණයක් කරගන්නා

  • මොවුන් ඉස්ලාම් දහමේ කුළුණු 06 අවංකව විශ්වාස කරන නමුත් ප්‍රායෝගික ජීවිතයේදී එය සම්පූර්ණයෙන් පිළිනොපදින පිරිසයි. මොවුන් ඇදහිල්ලේ දුර්වල නමුත් ‘ශිර්ක්’ (නම් ඉස්ලාමයෙන් බැහැර කරවන මහා පාපය) නොකරයි. එබැවින්, මොවුන් තමන්ටම අසාධාරණ කරගත්තවුන් මිස ඉස්ලාමයෙන් බැහැර වූවන් නොවේ.

මැද මාවත අනුගමනය කරන්නා

  • මොවුන් ඉස්ලාමයේ වගකීම් යම් ප්‍රමාණයකට ඉටු කරන අතර දෙවියන්ට කීකරු මෙන්ම වැරදි කරන අයද වේ. සමහර අවස්ථාවලදී මොවුන් අතින් පාපයන් සිදුවන නමුත් මොවුන් එයට ‘තව්බා’ කොට එම පාපයෙන් මිදේ. මේ අනුව, මොවුන් හොඳ නරක යන දෙකෙහි මැද මාවතක් අනුගමනය කරන්නෝ වේ.

යහපත් ක්‍රියාවන්හි විශිෂ්ටයන්

  • මොවුන් ඉස්ලාම් දහමේ වගකීම් පූර්ණ ලෙස අනුගමනය කරන්නන් වේ. මොවුන් අල්කුර්ආනය සහ අල්හදීසය පිළිපැදීමෙහි ඉදිරියෙන් සිටිති. ඉස්ලාම් දහමේ පණිවිඩය ජනයාට ගෙනහැර පෑමෙන් ද මොවුන් ඉදිරියෙන් සිටින අතර සෑම ධාර්මික හා යහපත් ක්‍රියාවකදීම පෙරමුණ ගෙන කටයුතු කරයි. මොවුන් අල්ලාහ් (දෙවි)ගේ දහමට යුක්තිය ඉටු කිරීමේ කාරණයේදී ඉදිරියෙන් සිටී.

ඉහත ගොනු කිරීමන් අතුරින් අපගේ මාතෘකාවට අදාල ගොනුව වන්නේ ‘යහපත් ක්‍රියාවන්හි විශිෂ්ටයන්’ යන ඝනයට අයත් ගොනුවයි. ඔවුන් ඉස්ලාම් දහම පූර්ණ ලෙස අනුගමනය කරන සැදැහැවතුන් වේ. මෙතැනදී කෙටියෙන් හෝ කථා කලයුතු වැදගත් කාරණයක් ඇත. එනම්, දහම තුල ‘යහපත් ක්‍රියාවන් හි විශිෂ්ඨයන්’ වූවන් නොහොත් ‘අව්ලියාවරුන්’ පිලිබදව මුස්වූලීම් සමාජයේ පවතින මිත්‍යා විශ්වාස ගණනාවක් ඇත. එවැනි කිහිපයක් මෙහි සදහන් කරන්නේ නම්,

  • මෙම ‘අව්ලියාවරුන්’ සාමාන්‍ය ජනයාට හදුනාගත හැකි යන්න,
  • ඔවුනට ගුප්ත බලයක් තිබෙනවා යන්න,
  • මරණින් පසු වුවද ඔවුන් සාමාන්‍ය ජනයාට උදව් උපකාර කරනවා යන්න,

මෙම ලිපිය තුලින් ඉහත මතවාදයන් පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න එකින්ත් එක කෙටියෙන් විමසා බලමු.

‘අව්ලියාවරුන්’ සාමාන්‍ය ජනයාට හදුනාගත හැකිද?,

‘අව්ලියා’ තත්වයට පත්වීම යන්න සැදැහැවත් කෙනෙකු පුද්ගලිකව තම දෙවියන් හා කරන ගනුදෙනුවකි. ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීම අනුව තමන් කොතරම් යහකම් හා කුසල් කලත් එයට දෙවියන් ඉදිරියේ වටිනාකමක් පවතීද? නැද්ද? යන්න තමන්ට හෝ මුස්ලීම් සමාජයේ වෙන කවරෙකුට හෝ තීන්දු කල නොහැක. ඒ අනුව මේ ලෝකයේ ජීවත් වන පිරිස් අතුරින් දෙවියන් හමුවේ ‘අව්ලියා’ නම් උසස් තලය හිමි පුද්ගලයන් කවුරුන්ද? යන්න මෙලොව කිසිවකුටත් තීන්දු කල නොහැක. එම ගුප්ත ඥානය ඇත්තේ අල්ලාහ් (දෙවි) හමුවේ පමණි. ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමකට අනුව ගුප්ත දෑ පිලිබදව වූ ඥානය ඇත්තේ අල්ලාහ් (දෙවි)ට පමණි. එම ඥානය ‘අපටත් ඇත අව්ලියාවරුන් අපටත් හදුනා ගතහැක’ යැයි කිසිවකු පවසයි නම්, පැහැදිලිවම ඔහු ‘ශිර්ක්’ නම් මහා පාපය සිදුකල සදාකල් අපා වාසියෙකු වේ. මා මෙසේ පවසන විට කෙනෙකුට ‘එහෙමනම් අපට මේ ලෝකේ ඉන්න අව්ලියාවරුන් හදුනාගන්න විදියක් ඇත්තේම නැද්ද?’ යැයි සිතෙන්න පුළුවන. ‘නැහැ’ සමහරක් අව්ලියාවරුන් අපට හදුනාගන්න පුළුවන්. මටත් හදුනාගන්න පුළුවන්. එවැනි උතුම් වූ අව්ලියාවරුන් කිහිපදෙනෙකුගේ නම් මෙහි පහතින් සදහන් කරන්නේ නම්,

  • මුහම්මද් (සල්) තුමාණන් ඇතුළුව මෙතෙක් පැමිණි සියළු නබි (හෙවත් වක්තෘ)වරුන්,
  • අබූබක්කර (රලි) තුමා ඇතුළු සහාභාවරුන්,
  • මරියම් (අලෛ) තුමිය, (ඇය නබි ඊසා (යේසූස්) (අලෛ) තුමාගේ මව්තුමිය),
  • දුල්කර්ණයින් (අලෛ) තුමා,
  • ලුක්මාන් (අලෛ) තුමා,
  • ආසියා (අලෛ) තුමිය (මූසා (අලෛ) තුමාගේ කාලයේ විසූ ෆිර්අවුන් නම් කෲර පාලකයාගේ බිරිඳ)
  • හිල්ර් (අලෛ) තුමා,
  • උzසයිර් (අලෛ) තුමා,
  • ඉම්රාන් (අලෛ) තුමා, (මරියම් තුමියගේ පියා)
  • සූරා කහ්ෆ් හි එන ගුහා වාසීන්,

මේ ආකාරයට අව්ලියාවරුන් බොහෝ පිරිසක් මෙහි පෙලගැසිය හැක. දැන් ඔබට ගැටළුවක් මතු වන්න පුළුවන්. එනම්, ‘ගුප්ත දෑ පිලිබදව වූ ඥානය අල්ලාහ් (දෙවි)ට පමණක් කියූ ඔබ ඉහත පිරිස අව්ලියාවරුන් යයි කියන්නේ කොහොමද?’ යන්නයි. ‘ඔව්’ ගුප්ත දෑ පිලිබදව ඥානය අල්ලාහ් (දෙවි)ට පමණක් බව සැබෑවක්. ඒ ගුප්ත ඥානය ඇති අල්ලාහ් (දෙවි) අල්කුර්ආනය තුලින් හෝ මුහම්මද් (සල්) තුමාණන් මඟින් එනම් අල්හදීස් තුලින් ඉහත පිරිස් ‘අව්ලියාවරුන්’ යයි පවසයි. එය පදනම් කරගෙන මා ද ඉහත පිරිස් අව්ලියාවරුන් යයි පවසමි. එසේ නොමැතිව අල්ලාහ් (දෙවි) පමණක් දන්නා කාරණයක් උපකල්පනය හෝ අනුමානය මත හිඳ ‍අපි කටයුතු කිරීම මහා වරදකි. එවැනි පාපයන්ගෙන් අල්ලාහ් (දෙවි) අපව ආරක්ෂා කරත්වා!,

අව්ලියාවරුන් හට ගුප්ත බලයක් තිබේද?

ලොව බොහෝ ආගම් එහි අනුගාමිකයින් හට ලබාදුන් ගුප්ත බලය, ගුප්ත ඥානයන් පිලිබදව කථා කරයි. නමුත් ඉස්ලාම් දහම තුල එවැන්නක් නැත. එය අල්කුර්ආනයේ ඉතා පැහැදිලිව මෙසේ අවදාරණය කරයි.

(නබිතුමණි) ඔබ පවසන්න අල්ලාහ් (දෙවියන්) හැර අන් කිසිවකු අහස්හිද පොළොවෙහිද ඇති ගුප්ත දෑ නොදන්නේය

අල්කුර්ආනය 27-65

ගුප්ත කරුණූ පිලිබදව වූ යතුර ඇත්තේ තමා (අල්ලාහ්) හමුවේය. ඔහු හැර වෙන කිසිවකු ඒ පිලිබදව නොදනී. ඔහු ගොඩබිමේ මෙන්ම මුහුදේ ඇති දෙය ද හොදින් දනී. (ගසකින්) පත්‍රයක් බිම වැටුනත් එයත් ඔහු නොදැන නොවේ. මේ භූමිය තුල ඝන අඳුරෙහි ඇති බීජයක් වුවද, එය තෙත්ව ද වියලිව ද පැවතුනේ යන්නත්, පැහැදිලි පලකයේ නැතුවා නොවේ.

අල්කුර්ආනය 6-59

ඉහත අල්කුර්ආන් වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) ‘ගුප්ත කැරුණු සම්බන්ධ වූ යතුර තමන් සතුය’ යැයි පැවසීම තුලත්, ‘ගුප්ත කාරණයන් දන්නේ අල්ලාහ් (දෙවි) පමණකි’ යැයි පැවසීම තුලත් ගුප්ත බලය හෝ ගුප්ත ඥානය වැනි වාදයන්ට මුස්ලීම් සමාජයට ඉස්ලාම් දහම තුල කිසිදු ඉඩක් නොමැති බව පැහැදිලි වියයුතුය.

මියගිය අව්ලියාවරුන්ගෙන් ආශීර්වාද හා ආරක්ෂාව පැතීම,

මේ දිනවල අප රටේ මුස්ලීම් සමාජය තුල විවිධ ‘අව්ලියා’ සැමරුම් දකින්නට ලැබේ. මුස්ලීම් දේවස්ථාන විවිධ වර්ණවත් ආලෝකවලින් අලංකාර කොට එහි විවිධ හැඩවලින් කොඩි වැල් ඔසවමින්, කුඩා ළමුන් සදහා විවිධ තරඟ පවත්වමින් සහ බත් දානයන් බෙදාදෙමින් එම උත්සවය සමරයි. මීට සියවස් ගණනාවකට පෙර ජීවත් වී මියගිය යැයි සැලකෙන සමහරක් ආගමික විද්වතුන් ඔවුන් ‘අව්ලියාවරුන්’ යැයි උපකල්පනය මත හිඳ ඔවුන්ගෙන් ආශිර්වාදය සහ ආරක්ෂාව පැතීම මෙවැනි උත්සවවල මූලික අරමුණයි. මෙවන් මිත්‍යා විශ්වාසයන්ට පාත්‍ර වී ඇති ලොව ජනප්‍රිය අව්ලියා කෙනෙකු යැයි ඔවුන් උපකල්පනය කරන කෙනෙකු මෙහි සදහන් කරන්නේ නම්, ඒ මීට වසර 900 කට පමණ පෙර ජීවත් වූ අබ්දුල් කාදර් ජෙයිලානි (රහ්) තුමාය.

මෙතුමාණන් එතුමාගේ කාලයේ ඉස්ලාම් දහමට ඉමහත් සේවයක් කල සුවිශේෂි සැදැහැවතෙකු බව ඉතිහාසය දෙස බලන විට පැහැදිලිව දකින්නට තිබේ. නමුත් වත්මන් ශ්‍රී ලාංකීය (ඇතුළු ආසියාතික බොහෝ මුස්ලීම් රටවල) බහුතර මුස්ලීම් සමාජය මෙතුමාණන්ගේ මෙහෙවර අවබෝධ කොටගෙන ඒ අනුව ජීවත් වීම පසෙක තබා එතුමාණන්ව දේවත්වයෙන් සලකා එතුමාණන්ට භාරහාර කිරීම, එතුමාණන්ගෙන් දේව ආශීර්වාදය ආයාචනා කිරීම, මිලමුදල්, රුකියා… වැනි ලෞකික සැපසම්පත් ආයාචනා කිරීම, එතුමාගෙන් ආරක්ෂාව අයදීම, ලෙඩරෝග සදහා සුවය ආයාචනා කිරීම… යනාදී ක්‍රියාවන් රාශියක නියැලමින් ඒ සදහා උත්සව පවත්යවයි. එපමණක් නොවේ ඉහතින් සදහන් ආකාරයේ උත්සව සැමරුම්වලට එම අව්ලියාවරුන් පැමිණෙනවා යන්නද මෙම උත්සව සංවිධානය කරන පිරිසගේ දැඩි විශ්වාසයයි. නමුත් ඉස්ලාම් දහම පහත අල්කුර්ආන් වාක්‍යය මඟින් එම මිත්‍යාව ද බිඳ දමයි.

ඔවුන්ගෙන් යමකුට මරණය පැමිණි කල්හී මාගේ  රබ් (පරමාධිපතියාණෙනි)  මා ආපසු (ලොව වෙත) යවනු මැනවියි කියන්නේය. මන්ද, මා අත්හල දෑහී මට යහකම් කරන්නට හැකිවන සේ, (මා ආපසු යවනු මැනවි). නියත වශයෙන් එය ඔහු කියන වදනකි. යළි නැගිටුවන ලබන දිනය දක්වා (නැවත මෙලොවට ඒමෙන් වළක්වන) ආවරණයක් ඔවුන් ඉදිරි පසින් ඇත.

අල්කුර්ආනය 23- 99/100

ඉහත වාක්‍යය තුලින් ‘යළි නැගිටුවන දිනය දක්වා (නැවත මෙලොවට ඒමෙන් වළක්වන) ආවරණයක් ඔවුන් ඉදිරි පසින් ඇත.’ යැයි පැවසීම තුල මියගිය කෙනෙකු යලි නැගිටුවන දිනය වන විනිශ්චය දිනය දක්වා ඔවුන් හා මෙලොව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව පැහැදිලි වේ.

මෙතැනදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, දහම තුල මහත් මෙහෙවරක් කොට මියගිය ප්‍රභූ ආත්මයන් මූලික කරගෙන විවිධ මිත්‍යා විශ්වාසයන් හා පිලිගැනීමන් ගොඩනඟාගත් අවාසනාවන්ත එකම දහම ඉස්ලාම් නොවේ. මේ ඛේදවාචකයට මුහුණ නොදුන් දහමක් දර්ශනයක් ලොව නැති තරම්ය. ඒ අවාසනාවන්ත ඛේදවාචකයට ගොදුරු වූ දහමන් අතර ඉස්ලාම් දහම ද එකක් පමණි. ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමක් වන සර්වබලධාරී අල්ලාහ් (දෙවි)ට පමණක් හිමි ශක්තීන් ඔහුගේ මැවීමන්ට ඇතැයි විශ්වාස කරන මහා පාපය වූ ‘ශීර්ක්’ මෙම උත්සවයන් තුල සහ එහි විශ්වාසයන් තුල අන්තර්ගතව ඇත. මෙම ‘ශිර්ක්’ නම් මහා පාපයට ඉස්ලාම් දහමේ පැහැදිලි තීන්දුව සදාකල් නිරයේ යන්නයි. එවන් පාපයට දැන හෝ නොදැන මුස්ලීම් සමාජය නතු වී තිබීම අවාසනාවක් නොවේද?

හාස්‍යජනකම කාරණය

මෙම ලිපිය තුලින් මෙතෙක් කථා කල කරුණු අනුව ‘දෙවියන්ගේ සමීපත්වය දිනාගත් පරිපූර්ණ මුස්ලීම් හෙවත් ‘අව්ලියාවරුන්’ යැයි කොටසක් මුස්ලීම් සමාජය තුල සිටියා යන්නත්, ඔවුන් හට වත්මන් සමහරක් මුස්ලීම්වරුන් සිතන ආකාරයේ ගුප්ත බලයක් හෝ ඥානයක් නොමැත යන්නත් ඉහත කරුණුවලින් ඔබට පැහැදිලි ඇතැයි සිතමි. එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට නැවත නැවත යොමු කරමින් මා යොමු වන්නේ වත්මන් මුස්ලීම් සමාජයේ සමහරකගේ මිත්‍යා විශ්වාසය තුල ඇති හාස්‍ය ජනක කාරණයක් වෙතයි. එනම්,

‘අව්ලියාවරුන්’ යැයි සමහරක් පිරිස් තෝරාගෙන ඔවුන් අදහන හා සමරණ මුස්ලීම් සමාජය දේව අවනතභාවයේ හා ඉස්ලාම් දහම පරිපූර්ණව අනුගමනය කිරීමේලා ඉහල තැන දිනා සිටින සහාභාවරුන් හෙවත් මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීන අනුගාමිකයින් අමතක කොට ක්‍රියා කිරීම ඔවුන්ගේ ප්‍රතිපත්තියක් නැති මිත්‍යා ඇදහිල්ල මනාව පිළිඹිබු කරන්නකි. විශේෂයෙන් මුහම්මද් (සල්) තුමාණන්ගේ අනුගාමික (සහාභාවරුන්) අතුරින් දේව විශ්වාසයේ ඉහලම තැන හිමි කරගෙන සිටින මුස්ලීම්වරුන් අතුරින් ද මුල්තැන දිනා සිටින අබූබක්කර් (රලි) තුමා, මෙම මිත්‍යා ‘අව්ලියා’ ඇදැහිලිවන්තයින්ගේ ‘අව්ලියා ලේඛනයේ’ නැත. එතුමා පමණක් නොවේ එවැනි ‘අව්ලියා’ තත්වය ලද සහාභාවරුන් කිසිම කෙනෙකු ඔවුන්ගේ සැමරුම් හෝ උත්සව ලේඛනයේ නැත. (මෙතැනදී දැඩිව අවදාරණය කලයුතු කාරණයක් ඇත එනම්, ඉහත සදහන් සැමරුම් හෝ උත්සව ඉස්ලාම් අනුමත ක්‍රියාවක් නොවන බවයි).

මෙම මිත්‍යා ඇදහිලි මුස්ලීම්වරුන්ගේ අවදානය යොමුවන්නේ මීට වසර 900 කට පමණ පෙර ජීවත් වූ අව්ලියා යැයි උපකල්පනය කරන සමහරක් පිරිස් වෙත පමණි. ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන්ට අනුව ‘අව්ලියාවරුන්’ වීම එසේත් නැත්නම් දෙවියන්ගේ සමීපත්වය දිනාගත් පරිපූර්ණ මුස්ලීම්වරයෙකු වීම යන්නට දහම තුල කාලරාමුවක් ලබාදී නැත. එසේ තිබියදී මීව වසර 900 ක් පමණ පෙර විසූ සමහරක් පිරිස අව්ලියාවරුන් ලෙස ගෙන සැමරීම් සිදුකිරීම විහිළුවක් නොවේද?. මෙයට සමීප උදාහර්ණයක් ලෙස මීට වසර 900 කට පමණ පෙර ජීවත් වූ අබ්දුල් කාදර් ජයිලාන්——– තුමාව සදහන් කලහැක.

මෙහි භයානකම තත්වය නම්, මෙලෙස ‘අව්ලියාවරුන්’ නොහොත් පරිපූර්ණ මුස්ලීම්වරුන්’ යැයි සමරණ පිරිස සැබෑවටම අවුලියාද? නැද්ද? යන්න දන්නේ අල්ලාහ් (දෙවි) පමණක් වීමයි. එපමණක් නොවේ අව්ලියාවරුන් නොහොත් පරිපූර්ණ මුස්ලීම්වරුන් අතීතයේ පමණක් නොවේ වර්ථමානයේත්, අනාතගයේත් අප සමාජය තුල බිහිවන බව අප වටහා ගතයුතුය. විටෙක අප ආසන්නයේ වුවද එවැනි අය සිටිය හැක. ආසන්නයේ නොව දෙවියන් හමුවේ ඔබ හා මා ද ‘අව්ලියා’ නැමැති තත්වය මේ වනවිටත් දිනාගෙන සිටිනවා වන්නට පුළුවන. නමුත් එය අල්ලාහ් (දෙවි) පමණක් දන්නා ගුප්ත කාරණයකි. එම කාරණයේ දී මුස්ලීම් සමාජයේ කිසිවකුටත් දෙවියන්ට අභියෝග කර ‘අපිටත් පුළුවන් අව්ලියාවරුන් හදුනාගන්න’ යැයි පැවසීමට හෝ ක්‍රියා කිරීමට ඉස්ලාම් දහම තුල අවසරයක් නැත.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ දහමේ උන්නතිය වෙනුවෙන් කැප වී, දහම පරිපූර්ණ ලෙස අනුගමනය කොට අල්ලාහ් (දෙවි)ගේ කරුණාව ආදරය දිනාගෙන අපත් අව්ලියාවරුන් වීමට උත්සාහ කිරීම පසෙකලා ‘අව්ලියාවරුන්’ සරණ යෑම ඉස්ලාම් දහමට අනුව නම්, කිසිසේත් විමුක්තිය ලඟා කරගත හැකි මාර්ගයක් නොවේ. එවැනි පටු මාර්ග ඉස්ලාම් දහම කිසිසේත් මුස්ලීම් සමජයට දේශනා කොට ද නැත. එමනිසා ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් එක එක අයගේ ඔළුගෙඩිවලින් තේරුම් නොගෙන දහමේ මූලාශ්‍රයන් තුලින් නිසිලෙස තේරුම් ගෙන පිවිතුරු දහම පිවිතුරු ලෙස අනුගමනය කොට අපත් ‘අව්ලියා’ තත්වය ලබන්නට අල්ලාහ් (දෙවි)ගේ ආශිර්වාදය හිමිවේවා! යන පැතුමින් මෙම ලිපිය අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම