ආගම් හි පැවසෙන අනාගත වක්තෘ පිළිබඳව වූ අනාවැකිය.

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය දිනක යහමඟ අඩවියට එක්තරා පැනයක් පාඨකයෙකු විසින් යොමු කොට තිබුණි. එම පැනය මෙසේ ය, “බුදු දහමෙහි සදහන් වන මෛත්‍රීය භාග්‍යවතුන් වහන්සේ යනුවෙන් හදුන්වන්නේ කවරෙක් ද? මෙය සාධක සහිතව දීර්ඝ ලිපියෙකින් පැහැදිලි කරන්න.” මේ ආකාරයට මෙම පැනය ඔහු විසින් ඉදිරිපත් කළත් මෙය සැබැවින්ම ශ්‍රී ලාංකීය මුස්ලීම් හා මුස්ලීම් නොවන සහෝදර ජනතාව අතර විටින් විට විවිධ පැතිකඩ ඔස්සේ ගැඹුරින් හා සරලව සංවාදයට බදුන් වන මාතෘකාවකි. මේ හේතුව නිසා එම පැනය තරමක් වෙනස් ආකාරයකට එනම් “අනාගත වක්තෘවරුන් (ශාස්කෘවරුන්) පිළිබඳව ආගම් (හා දර්ශනයන්) තුල අනාවැකි” යනුවෙන් සාකච්ඡා කිරීමට අදහස් කරමි. ඉහත මාතෘකාව මෙලෙස පුළුල් ක්ෂේත්‍රයක් පදනම් කරගෙන සාකච්ඡා කිරීමට ප්‍රධාන හේතුවක් ඇත. එනම්,

ඉහත පැනය බෞද්ධ සමාජයේ පවතින විශ්වාසයක් වන “මෛත්‍රි බුදුන්” පදනම් කරගත් එකක් වුවද අතීතය පටන් මේ දක්වා ලොව පවතින සෑම දහමක් තුලම මෙවැනි “අනාගත ශාස්තෘවරයෙක්” (වක්තෘවරයෙක්) එනම්, දහම ප්‍රකාශ වන කාලයේ නොව අනාගත කාලයේ ලොව පහල වන සුවිශේෂි (පුද්ගලයෙකු) ශාස්තෘවරයෙකු පිළිබඳව අනාවැකි පැවසීම දක්නට ලැබේ. මේ පිළිබඳව මීට ඉහත දී මෙම යහමඟ අඩවිය තුල කිතුණු දහම හා ඉස්ලාම් දහම සංසන්දනය කරමින් “මුහම්මද් (සල්) තුමා අනාගත හා අවසාන වක්තෘ (නබි)වරයාද?” යන මාතෘකාව ඔස්සේ සාකච්ඡා කොට ඇත. මෙහිදී සිදු කරන්නේ එම විෂය තවදුරටත් බුදු දහම ද පදනම් කරගෙන විමසා බැලීමයි.

ඉස්ලාමීය ඉගෙන්වීම අනුව මිනිස් වර්ගයාගේ ආරම්භය පටන් මිනිස් සමාජය යහමඟ ගැන්වීම පිණිස වක්තෘවරුන් (දෙවියන්ගේ නියෝජිතයන්) පත් කළ බව සදහන් වේ. ආරම්භක මිනිසා වන ආදම් (අලෛ) තුමාණන් පටන් අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් දක්වා ලක්ෂයකටත් අධික වක්තෘවරුන් ලොව දේව නියෝජිත මෙහෙවරේ නිරත වූ බව ඉස්ලාම් පවසයි. මෙම පිරිස ඉස්ලාම් දහම “නබි” ලෙස හදුන්වයි. වර්තමාන ලොව මුස්ලීම් නොවන පිරිස් පමණක් නොව මුස්ලීම් සමාජය පවා අවබෝධ කරගෙන සිටින්නේ “මුහම්මද් (සල්) තුමාණන් මඟින් තමා ඉස්ලාම් දහම ප්‍රථමයෙන් ලොව ප්‍රකාශ වුයේ” යනුවෙනි. නමුත් ඉස්ලාමීය ඉගැන්වීමට අනුව ලොව ආරම්භක මිනිසා වන ආදම් (අලෛ) තුමාණන් ලොවට ප්‍රකාශ කළේත් ‘ඉස්ලාම්’ දහම බව ශුද්ධ වූ කුර්ආනය පවසයි. මෙලෙස දේව නියෝජත මෙහෙවරේ විශාල සංඛ්‍යාවක් වක්තෘවරුන් නියැලුණ ද ඉස්ලාමීය මූලාශ්‍රයන් හි ඔවුන් අතුරින් නම් සදහන් වන්නේ 25 ක් තරම් සුළු පිරිසකගේ පමණි. (මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් මෙම අඩවිය තුල ඇති “ඉස්ලාම් පවසන නබිවරුන් හෙවත් වක්තෘවරුන්” යන ලිපිය තුලින් කියවීමට හැක) මෙය පහත නබි වදන (හදීසය) මඟින් හොදින් අවබෝධ වනු ඇත. එනම්,

“ජනතාව අලංකාරත්වයෙන් පරිපූර්ණ වූ මාලිගාවක් නරඹමින් එය රස විඳින එහි එක් ස්ථානයක බිත්තියේ ගඩොලක අඩුවක් දකී. එය දුටු එම පිරිස ‘කොතරම් අලංකාර වු මාලිගාවක්ද? එහී මේ ස්ථානයේ ගඩොලත් තිබුණේ නම් මේ නිර්මාණය සර්ව සම්පුර්ණ වෙනවා නොවේ ද?’ යනුවෙන් පවසනු ඇත, යැයි පැවසූ පැවසූ නබිතුමාණන් ‘ඒ ගඩොල තම මාගේ පැමිණීම මාගේ පැමිණීමත් සමඟ එම මාලිගාව සර්ව සම්පුර්ණ වුවා සේ, මාගේ පැමිණීමත් සමඟ ඉස්ලාම් දහම සම්පුර්ණ වී වක්තෘ මෙහෙවර අවසාන විය.'”

ඉහත නබිවදන අනුව ඉස්ලාම් නබිතුමාණන් විසින් ගෙන එන ලද නව දහමක් නොවන බවත්, ආරම්භයේ පටන් පැවත ආ විශාල මෙහෙවරක මුහම්මද් (සල්) තුමාණන්ද අවසාන කොටස්කරුවාණන් වන බවත්, මේ සමඟ එතුමාණන්ගේ ද මෙහෙවර අවසන් වන බවත් පැහැදිලි වේ. එතුමාණන් අවසාන වක්තෘවරයා යන්නත් එතුමාණන් සමඟ දේව නියෝජිත මෙහෙවර අවසන් වූ බවත් ශුද්ධ වූ කුර්ආනයේ 5-3 වාක්‍යය මඟින් මෙලෙස පැහැදිලිවම පවසයි. එනම්,

“අද දින නුඹලාගේ දහම නුඹලාම වෙනුවෙන් සම්පූර්ණ කළෙමු.”

මෙලෙස දූත මෙහෙවර නබිතුමාණන්ගෙන් අවසන් වූ නිසා ඉස්ලාම් දහම තුල අනාගත වක්තෘවරුන් පිළිබඳව වූ සංකල්පයක අවශ්‍යතාවය ඇති නොවූ අතර එම නිසා එහි අනාගත වක්තෘවරුන් පිළිබඳව සදහන් අනාවැකීන් දක්නට නොලැබේ. නමුත් නබිතුමාණන් මඟින් ඉස්ලාම් ප්‍රකාශ වීමට පෙර කාලයේ ලොව ප්‍රකාශ වූ විවිධ ආගම් සැලකූ විට ඒ සියලු ආගම් එහි පරිපූර්ණත්වය ප්‍රකාශ නොකළ අතර ඒ වෙනුවට ඔවුන් පවසා සිටියේ “මා ප්‍රකාශ කලේ අල්පයක් පමණි” යනුවෙන් පමණි. එසේ පැවසීමෙන් නතර නොවූ සමහරක් ශාස්තෘවරුන් (වක්තෘවරුන්) “මේ දහම පරිපූර්ණ කිරීම සදහා අනාගතයේ පැමිණෙන වක්තෘවරුන්” පිළිබඳව ද සාක්ෂි පවසා ඇත. එය ඉහත සදහන් මුහම්මද් (සල්) තුමා අනාගත හා අවසාන වක්තෘ (නබි)වරයාද? යන ලිපිය තුලින් ද ඔබට පැහැදිලි වනු ඇත.

මෙම ලිපිය බුදු දහම පදනම් කරගත් එකක් වන නිසා එය පදනම් කරගෙන විමසා බලන විට එහි එක්තරා ස්ථානයක මෙසේ සදහන් වේ. එනම්, දිනක් බුදුන් වහන්සේ “ඇට්ටේරියා කොල ස්වල්පයක් අතේ තබාගෙන මා පැවසූ දහම මේ ඇට්ටේරියා කොල මෙනි නමුත් මා නොපැවසූ දහම මේ ඇට්ටේරියා වනය මෙනි” යනුවෙන් පැවසීය. මේ ප්‍රකාශය තුල සම්පූර්ණ දහම උන් වහන්සේ විසින් මිනිස් සමාජයට ප්‍රකාශ නොකළ බව පැහැදිලිය. මේ ආකාරයටම ශ්‍රී ලාංකීය ආගම් වන හින්දු, කිතුණු දහම සැලකූව ද ඒ සියල්ල තුල එම දහමේ අසම්පූර්ණ බව ප්‍රකාශ වන අතර සුවිශේෂි අනාගත ශාස්තෘවරුන් පිළිබඳව ද ප්‍රකාශ වේ. කෙසේ නමුත් මෙම ගැටළු සදහා පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් නොකළ හැකි ප්‍රබල වූ බාධකයක් ඇත. ඒ “ඒ ඒ ආගම් සදහා වූ ආරම්භයේ පටන් ආරක්ෂා වූ ආගමික මූලාශ්‍රයන් නොපැවතීම” යන්නයි. මෙම බාධාකය හමුවේ ආගමික විග්‍රහයන්ට වඩා ඉදිරිපත් වන්නේ ඒ ඒ පුද්ගල මතවාදයන් හා අදහස් දැක්වීම් පමණි. ඉස්ලාම් දහම හැර ලොව කිසිදු දහමකට මෙම දුර්වලතාවයෙන් මිදෙන්නට හැකි වී නැත. මෙම දුර්වලතාවය හමුවේ මෙම පැනයට පමණක් නොව මෙවන් පැන රාශියක් සදහා පැහැදිලි විග්‍රහයක් ලබාදීමට නොහැකිව බොහෝ ආගම්වලට මුනිවත රැකීමට හෝ ස්වමත දෙඩවීමට සිදු වී ඇත. ඒ අනුව මෙම විෂය පිළිබඳව ඉස්ලාම් දහමෙන් පරිභාහිරව මා කථා කරන්නේ නම් එය නිරවද්‍ය හා සාර්ථක විග්‍රහයක් නොවන බව පැහැදිලිවම වටහා ගත යුතු ය. කෙසේ වෙතත් පවතින මූලාශ්‍රයන් පදනම් කරගෙන ඔබට කිසියම් අවබෝධයක් ළඟා කිරීමට උත්සාහ කරමි.

මීට ඉහත මෙම විෂය තුල කිතුණු දහම පිළිබඳව කෙටි විග්‍රහයක් මුහම්මද් (සල්) තුමා අනාගත හා අවසාන වක්තෘ (නබි)වරයා ද? යන ලිපිය තුල සිදු කළ නිසාත්, මෙම විෂය හින්දු දහම පදනම් කරගෙන සිංහල භාෂාවින් සාකච්ඡා කිරීම යහමඟ පාඨක ඔබට එතරම් වැදගත් නොවනු ඇතැයි හැඟෙන නිසාත් ශ්‍රී ලාංකීය බුදු දහම පදනම් කරගෙන මෙම විෂය කෙටියෙන් විමසා බලමු.

බුදුන්ගේ දේශනය යැයි බෞද්ධයන් පිලිගන්නා “ත්‍රපිටකය” පදනම් කරගෙන මෙම විෂය විමසා බැලුවේ නම් එහි (මාගේ අවධානයට හසු වූ පමණින්) අවස්ථා දෙකක පමණ “මෛත්‍රි” නම් අනාගත බෝධිසත්වයකු පිළීබඳව සඳහන් වේ. එවැනි එක් අවස්ථාවක් තමා දීඝ නිකායේ චක්කවත්ති සිහනාද සූත්‍රයේ සඳහන් පහත පාඨය.

“…එකල මෛත්‍රිය නම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි උපදින්නේ ය. ඒ බුදුන් වහන්සේ දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මණයන් සහිත මේ ලෝකය ද මහණ බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත ජනයාද තමන් වහන්සේ උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කරන්නේ ය…”

ඉහත ත්‍රපිටක ඉගෙන්වීම අනුව “මෛත්‍රි” නම් සුවිශේෂි චරිතයක් පිළිබඳව බුදුදහමේ සඳහන් වන බව පැහැදිලි ය. මෙම විෂය බුදුදහම තුල ඉතාම අල්ප වශයෙන් සදහන් වුවද මෙම විෂය පිළිබඳව බෞද්ධ සමාජයේ ගැඹුරු විග්‍රහයන් හා අප්‍රසිද්ධ වාද විවාදයන් පැවතීම බහුතර පිරිසක් නොදන්නා කාරණයකි. මේ ආකාරයේ වූ වාද විවාදයන් මෙම විෂය සම්බන්ධයෙන් පැවතීමට විශේෂ හේතුවක් ද ඇත. ඒ ලොවට බුදුන් මඟින් ප්‍රකාශ වුවා යැයි පැවසෙන දහම මේ වන විට ප්‍රධාන කොටස් දෙකකට බෙදී ගොස් පැවතී. ඒ “මහායාන” හා “ථේරවාද” යනුවෙනි. (මීට අමතරව තවත් අනු කොටස් ද පවතී) මේ දෙපාර්ශවය අතීතයේ දී ප්‍රබල ගැටුමන් පවා ඇති කරගෙන තම මතවාදය ඉදිරියට ගෙන යාම සදහා ඉහත දෙපාර්ශවය මහා අරඟලවල නිරත වෙමින් විටෙක ජීවිත පවා බිලිදෙමින් හා බිලිගනිමින් ගැටුණු බව ඉතිහාසගත සාක්ෂි තුල අනාවරණය වේ. මහායාන බුදුදහම සැලකූ විට එය ඇදහිලි හා විශ්වාසයන් පැත්තට දැඩි නැඹුරුවක් දක්වන අතර එහි ලොව පවතින බොහෝ ආගම්වල පවතින පොදු ලක්ෂණ අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ. නමුත් ථේරවාදී බුදුදහම (ශ්‍රී ලංකාව තුල පවතින බුදුදහම) සැලකූ විට එය දාර්ශනික පැත්තට හා බුද්ධීය මුල් කරගත් තර්ක විතර්කවලට දැඩි නැඹුරුවක් දක්වන අතර ඒ තුල (යටපත් කරගත්) ආගමික ලක්ෂණ නැතුවා නොවේ. අතීතයේ පටන් මේ දෙපිරිස අතර පවතින මතවාදී විරසකයන් නිසා වර්තමානයේ “ථේරවාදීන්ට” සාපේක්ෂව “මහායාන” පිලිපදින පිරිස් අතර “මෛත්‍රී බුදුන්” පිළිබඳව ප්‍රබල අදහස් පැවතුන ද ඒවා ශ්‍රී ලාංකීය සමාජය තුල අනාවරණය වන්නේ ඉතා අවම වශයෙනි.

අතීතයේ පටන් මහායානික බෞද්ධයන් අතර බහු බෝධිසත්ව සංකල්පය පැවති ඇති අතර ථේරවාදය තුල එවැනි ලක්ෂණ දක්නට නොවීය. ආරම්භයේ ථෙරවාදීන්ගේ ක්‍රියා කලාපය තුල බුදුන් වහන්සේට වඩා ඉහළින් වැඳුම් පිඳුම් කිරීමක් දක්නට නොලැබුණි. නමුත් කාලයත් සමඟ මහායාන බුදුදහමේ ආභාෂයන් ථේරවාදී බුදුදහමට ද ලැබුණූ අතර ඒ මෙම බහු බෝධිසත්ව සංකල්ප ඔවුන් තුල ද ව්‍යාප්ත වන්නට විය. ථෙරවාදීන්ට මුලින් සිටියේ සිද්ධාර්ථ බෝධිසත්වයන් පමණි. පසුව බෝධිසත්ව සංකල්පය අතීතයට වර්ධනය වූ අතර අනාගතයට ද එක් බෝධි සත්වයකු (මෛත්‍රි බෝධිසත්වයකු) දක්වා වර්ධනය විය. කෙසේ නමුත් මෙම විෂය ලාංකීය බෞද්ධ සමාජයෙන් වසන් කිරීම සදහා විවිධ වූ උත්සාහයන් විවිධ කාලවල සිදු වූ බව පවසන බෞද්ධ විද්වතුන් එහි දී සමහරක් කරුණු පවා බෞද්ධ ග්‍රන්ථවලින් ඉවත් කර ඇති බව ඔවුන් පවසයි. මෙලෙස වසන් කිරීමන්ට ලක් වූ විෂයක් පිළිබඳව ගැඹුරු විග්‍රහයකට යාම මා ඉහතින් සඳහන් කළා සේ අසාර්ථක වෑයමකි. මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා සිටින්නේ මා වැනි පිරිස් පමණක් නොවේ. මෙම අවසනාවන්ත තත්වය තුල බහුතර බෞද්ධ සමාජයම සිර වී ඇත. එයට හොදම නිදසුනක් ලෙස වර්තමාන ශ්‍රි ලාංකීය සමාජය තුල පහල වී සිටින “මෛත්‍රී බුදුවරුන්” හොඳම නිදසුනකි. (මේ පිරිස් තමන් මෛත්‍රී බුදුන් බව පවසමින් විවිධ වෙබ් අඩවීන් පවා පවත්වාගෙන යන ආකාරය අන්තර්ජාලය තුල සැරිසරන ඔබට නම් අලුත් කරුණක් නොවනු ඇත.)

ඉහත කරුණු හොදින් විශ්ලේෂණය කරන විට ඉස්ලාම් දහමේ සඳහන් ආකාරයටම නොවුවත් “මෛත්‍රී බුදුන්” නම් අනාගත ශාස්තෘවරයෙකු (පණිවුඩකරුවකු) පිළිබඳව බුදුදහමේ ද සඳහන් වන බව පැහැදිලිය. එපමණක් නොව මා ඉහතින් සඳහන් කළා සේ ගෞතම බුදුන්ට පෙරද විවිධ බුදුවරුන් (ශාස්තෘවරුන්) ලොව පහල වූ බව බුද්ධ දේශනවල සඳහන් බව පැහැදිලිය. මීට අමතරව දෙවියන්, දේව දූතයන් (අරාබි භාෂාවෙන් මලාඉකාවරුන් පිළිබඳව), ස්වර්ගය, අපාය… යනාදීන් පිළිබඳව ද බොහෝ කරුණු කාරණා බුදුදහම තුල සඳහන් වන බව ද මෙම අඩවිය තුල (මීට පෙර විවිධ ලිපි ඔස්සේ මෙම අඩවිය තුල) සාකච්ඡා කොට ඇත. මෙලෙස සදහන් සියලු ඉගෙන්වීමන් ආරම්භයේ පටන් නිසි ලෙස ආරක්ෂා නොවී පැවතීම තුල ඒ විෂයන් පිළිබඳව පැහැදිලි විනිශ්චයකට එළැඹිය නොහැකි ව අනුමාන නිගමනයන්ට එළැඹීමට සිදු වී ඇත. කෙසේ වෙතත් මේ විෂය පිළිබඳව එනම් “මෛත්‍රී බුදුන් සංකල්ප” පිළිබඳව හරවත් හා පදනම් සහිත සංවාදයන් හා ලිපි ඉදිරිපත් කිරීම සදහා බෞද්ධ විද්වත්ට ආරාධනාවක් කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා අතර ඒ සදහා යහමග අඩවිය විවෘත බවද සතුටින් ප්‍රකාශ කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම