ආගම ලංසුවට තැබූ තුට්ටුදෙකේ කලාකරුවෙක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මේ වෙන කවරදාකටත් වඩා ජනප්‍රියත්වය හා මුදල පසුපස හඹායන විපරීත වූ වකවානුවකි. මේ විපරීත වූ සමාජයෙන් කිසිවකුටත් කිසිදු ක්ෂේත්‍රයකටවත් මිදීමට හැකි වී නැත. එහි අවාසනාවන්තකම වන්නේ මිනිස් සමාජය යහමඟ ගැන්වීමටත් ඔවුන් අධ්‍යාත්මිකව දියුණු කිරීමටත් කැපවූ ආගමික පූජකවරැන් හා විද්වතුන් ද ඉහත තත්වයට ගොදුරුව සිටීමයි. මෙවන් අවාසනාවන්ත මොහො‍තක මෙම යහමඟ අඩවිය හරහා මා අවධානය යොමු කරන්නේ ජනප්‍රිය උදෙසා ආගමත් ආත්මයත් පාවාදෙන තුට්ටු දෙකේ කලාකරුවකු සම්බන්ධවයි. ඊට ප්‍රථම ඉහත කාරණය සම්බන්ධයෙන් වර්ථමාන සමාජය පදනම් කරගෙන කෙටි විමසුමක් සිදුකලේ නම්,

වර්ථමානයේ ජනප්‍රියත්වය උදෙසා විවිධ උපක්‍රම සමාජයේ භාවිතා කරයි. එනම්,

  • බහුතර පිරිසගේ අපේක්ෂාවන් ඉටුකිරීම
  • පලදායි යමක් දායාද කිරීම
  • සම්මතයට පටහැනි යමක් සිදුකිරීම

ඉහත කාරණා 03 අතුරින් දෙවැනි කාරණය පිලිබදව විවාධයක් නැත. එය කාලීන අවශ්‍යතාවයකි. නමුත් පලමුවැන්න හා දෙවැන්න සැලකූවිට එය නිවරැදි ක්‍රියාමාර්ගයක් නොවේ. උදාහරණයකට රටේ බහුතරය හාස්කම් පිලිබදව දැඩි විශ්වාසයකින් කටයුතු කරන විට එම විශ්වාසය තමන් නොදැරුවත් බහුතර ආකර්ශනය දිනාගැනීම පිණිස ඉහත ක්‍රියාවට ආවඩයි. මෙය වර්ථමාන සමාජයේ සුලභ වූ දසුනකි. මෙය පලමු ආකාරයේ ජනප්‍රියත්වය දිනාගැනීමකි. තෙවැනි ආකාරය නම් සමාජ සම්මතයට පටහැනි ආකාරයට ක්‍රියා කිරීම. මීට සරල උදාහරණයක් පවසනවා නම් මීට වසර කිහිපයකට පෙර එක්තරා ජාත්‍යන්තර තරඟාවලියක කාන්තාවක් නිර්වස්තුව ක්‍රිඩාංගනය වටේ දිවගිය සිදුවීම සදහන් කල හැක. එහි දී මෙසේ ක්‍රියාකලේ ඇයිද? යන්න විමසූවිට ඇය පවසා සිටියේ ජනතා අවධානය හා ජනප්‍රියත්වය උදෙසා මෙසේ කල බවයි. මෙය තමා ඉහත පලමු හා තෙවන පාර්ශවයේ ක්‍රියා පිලිවෙත ඔවුනට තමන් කරන ක්‍රියාව හරිද? වැරදිද? යන්න පිලිබදව කිසිදු තැකීමක් නැත. ඔවුන් තුල ඇත්තේ “කෙසේ හෝ ජනප්‍රියත්වය ලඟා කරගත යුතුයි” යන පහත් හැඟීම පමණි. මෙය මා ඉහතින් සදහන් කලාසේ මුළුමහත් සමාජය වෙලාගෙන ඇති දුර්භාග්‍යයකි. විශේෂයෙන් යහපත් මඟපෙන්වීමන් තුලින් සත්පුරුෂයන් සමාජයට බිහිකරන ආගම් පවා මෙම අවාසනාවන්ත ඉරණමට හසුව තිබීම සැබැවින්ම අවාසනාවකි.

වර්ථමානයේ ආගම් අතර මෙවැනි තත්වයක් නිර්මාණය වන්නට මූලික ලෙස බලපෑවේ තම අනුගාමිකයන් දිනාගැනීමට ඇති තියුණු තරඟයයි. මේ තරඟ බිමෙහි සිටින සමහරක් පූජකවරැන් හා විද්වතුන් ජනතාව අතර ජනප්‍රියත්වය ගොඩනඟා ගැනීම පිණිස කලේ අනිකුත් ආගම් විවේචනය කරමින් ඒ තුලින් ජනතා කැමැත්ත දිනාගැනීමයි. (ඒ පිලිබදව මෙම යහමඟ අඩවිය හරහා කිහිප විටක් සාකච්චා කොට ඇත) මේ දෙක එනම් ජනප්‍රියත්වය හා (පදනම් විරහිතව) ආගම් විවේචනය කිරීම යන්න එක් වූ තැන එතැන සිදුවන්නේ මහා ඛේදවාචකයකි. එයට නිදසුනක් ලෙස සල්මාන් රැෂ්ඩි හා තස්ලීමා නස්රීන් යන දෙදෙනා හැදින්විය හැක. මේ දෙදෙනා අද වනවිට ලොව ජනප්‍රිය චරිත බවට පත්ව ඇත. ඒ ඔවුන් ඉස්ලාම් දහම දැඩි විවේචනයන්ට හා අපහසයන්ට ලක්කලා යන විශ්වාසය නිසාය. නමුත් සල්මාන් රුෂ්ඩි හෝ තස්ලීමා නස්රීන් සමාජයට කුමක් පැවසුවාද? යන්න පිලිබදව බහුතරයකට නිසි අවබෝධයක් නැත. එය කෙසේ නමුත් මෙවන් ක්‍රියාවන් තුලින් කාරණා දෙකක් ඉටුවේ. එනම් ජනප්‍රිය අවශ්‍ය පුද්ගලයාහට ජනප්‍රියත්වය ද ආගම විවේචනය කිරීමට අවශ්‍ය පුද්ගලයාහට එම අරමුණ ද ඉටුවේ.

ඉහත තත්වය ජාත්‍යන්තරයේ පමණක් නොව ඊට නොදෙවැනි ලෙස ජාතික තලයේත් දක්නට ඇත. සල්මාන් රුෂ්ඩිලා තස්ලීමා නස්රීන්ලා ලාංකීය සමාජයේත් නැතුවා නොවේ. එවැනි එක් “රුෂ්ඩි” වරයෙකු පිලිබදව තමා අද මෙහිදී අවධානය යොමු කරන්නේ. මොහු නමින් “ශාන් හසීම්” වේ. කො‍ළඹ ප්‍රදේශයේ පදිංචි ඔහු ලාංකීය එක්තරා රූපවාහිණි නාලිකාවක “රියලිටි” තරඟයකට ඉදිරිපත් වී කිසියම් ජනප්‍රියත්වයක් දිනාගත් ගායකයෙකි. ඔහුගේ අවසාන ඉලක්කය වන කිරුළුට ලඟාවීමට නොහැකිවීම තුල ඔහු (ඔහුගේ රසික පිරිස) හමුවේ අභියෝගයක් ඉතිරි විය. ඒ “තවදුරටත් මගේ රසික පිරිස මා වටා රදවා ගන්නේ කෙසේද?” යන්නයි. එහි ඔහුට “රාලෙක්ගෙන්” ගීත රචනයක් ලැබේ. ඒ ගීතයට රූප රචනයද ලබාදී නිර්මාණය කල ගීතය තමා මෙහි පහත දැක්වෙන්නේ.

(යහමඟ අඩවිය තුල ඉස්ලාමයට එරෙහි කිසිවක් ඉදිරිපත් නොකරනවා යන දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කලත්, මෙම ගීතය මෙහි ඉදිරිපත් නොකිරීම මෙම ලිපියට බලවත් අසාධාර්ණයක් වන නිසාත්, එහි ඉස්මතුකරන සියුම් කරුණු පවා ඔබේ දැඩි අවධානයට යොමු කලයුතු නිසාත් එම ගීතය ඉහත ඉදිරිපත් කොට ඇත.)

ජනප්‍රියත්වය නම් මිරිඟුව පසුපස හඹාගිය “ශාන්”ගේ මෙම ගීතයට ශ්‍රී ලාංකීය රැපවාහිණි නාලිකාවක ගීතමය වැඩසටහනක ඉහල ස්ථානයක් හිමි වී ඇත. ඒ තුලින් ඔහුගේ ඉලක්කය ඔහු සපුරාගෙන ඇත. නමුත් ඒ ඉලක්කය සපුරාගැනීම සදහා ඔහු ලංසුවට තබා ඇත්තේ තම ආගම හා එහි ආදර්ශමත් විනයයි.

ඉහත ගීතය මෙන්ම පහතින් සදහන් කරන ගීතයේ ගීත රචක මේ “රාලගේ” මීලඟ කුරුමාණම ‍මොකටද?

ඉස්ලාම් දහම කාන්තාවට ලබාදී ඇත්තේ අසමසම උත්තරීතර ගෞරවයකි. (එය මෙම අඩවියේ කාන්තාවට හිමිවිය යුත්තේ සම තැනද? නිසිතැනද? යන ලිපියෙන් අවබෝධ කරගත හැක) මේ අසමසම ආදර්ශය පිලිබදව ලොව බහුතරයකට ඇත්තේ ඊර්ෂියාව නිසා ඇතිවුණු විවේචනයක් පමණි. එය ලොව මෙන්ම ලාංකීය සමාජය තුල මුස්ලීම් නොවන සමාජය කාන්තාවට ලබාදී තිබෙන ආකාරයේ වල්බූත නිදහසක් නොවේ. ඇය වචනයේ පරිසමාප්තියෙන්ම කාන්තාවක් වියයුතුයි යන්න ඉස්ලාමීය මඟපෙන්වීමයි. එවන් වූ කාන්තාවකට රාගය හා කෲර පවුල් පසුබිමක් නිර්මාණය කොට අසාමාන්‍ය ප්‍රේම සම්බන්ධතාවයක් හුවා දක්වමින් ආදරයක් ගීතයක් නිර්මාණය කිරීම තුලින් උත්සාහ කරන්නේ ඉස්ලාම් දහම තුල කාන්තාවගේ භූමිකාව ඛේදනීය බවක් ඒත්තු ගැන්වීමටද? මේ ගීතය තුල (කෝරස්ට් හැර) ඉස්ලාමීය කාන්තාවක් පිලිබදව කිසිවක් සදහන් නොවේ. (එසේ සදහන් වුවත් එය අනුමත කලනොහැක) නමුත් රෑප රචනයට පදනම් වී ඇත්තේ මුස්ලීම් කාන්තාවක් හා මුස්ලීම් නොවන තරැණයෙක්. ඇයි මෙවැනි විකෘති මානසිකත්වයක්. එපමණක් නොව ලාංකීය හොද ගීත රචනවලට සාපේක්ෂව මෙම ගීත රචනයට හිමි වියයුතු ස්ථානය කුමක්ද? යන්න ඔබම විනිශ්චය කරන්න. (මෙවැනි දෑ පිලිබදව අවධානය යොමු කිරීම සදහා තමා මෙම ගීතය මෙහි ඉදිරිපත් කරන්නේ) එවන් වූ එම ගීතය ඉහල ස්ථානයක් දිනාගෙන තිබෙන්නේ කුමක් නිසාද? ඒ පැහැදිලිවම ශාන්ගේ ගීතමය හැකියාව නිසා හෝ පද රචනයේ ඇති විශ්ෂ්ඨත්වය නිසා නොව මා මේ ලිපිය ආරම්භයේ පැවසුවාසේ එහි රෑප රචනය තුලින් ශ්‍රී ලාංකීය බහුතර කැමැත්ත ඉටුවෙන නිසාය. නමුත් මේ තුලින් ශාන්ට කිසියම් ජනප්‍රියත්වයක් හිමිවුවා යන්නෙහි විවාදයක් නැත. ඒත් ශාන් මෙන්ම සමස්ථ මුස්ලීම් සමාජයේම මුහුණේ මින් දැලි ගෑවෙනවා යන්න ඔහුට අවබෝධ නොවීම කණගාටුවට කරුණකි.

දහමක ඉගෙන්වීමන් අපහසයට ලක්කරමින් සිදුකරන කලා නිර්මාණ තුලින් රටේ බහුතරයක් (මුස්ලීම් සුළුතරය නිසා) පහත් වින්දනයක් ලබනවා වන්නට පුළුවන. නමුත් ඉන් එය හොද කලා නිර්මාණයක් යන්න පිළිඹිබු නොවේ. එයට සරල නිදසුනක් “ඇගේ වෛරය” මෙය ඔබට තවම හොදට හුරැපුරැදු වචනයක් වනු ඇත. ඒ මීට කලකට ඉහත සිනමාහල් පිරීඉතිරී යන්නට සමත් කලා නිර්මාණයකි. බහුතරය රැස්කකා එය නැරඹු නිසා එය විශිෂ්ඨගනයේ කලා නිර්මාණයක් යයි කිසිවකුට පවසන්න පුළුවන්ද? එයත් ඉහත ගීතය මෙන්ම පහත් මානසිකත්වයක් ඇති බහුතරය ඉලක්ක කරගත් තවත් නිර්මාණයක් පමණි. එදා “ඇගේ වෛරය” සිදුකල දෑ අද ඉහත ගීතයට රෑප රචනය සිදුකොට “ඇගේ වෛරය” වෙනුවට “ඇය කෙරෙහි වෛරය” පිලිඹිබු කොට ඇත. රටේ සුළුතරය වන මුස්ලීම් ප්‍රජාවගේ කාලීන අවශ්‍යතාවයක් ලෙස අද ලොවම පිලිගන්නා “ෆර්දාව” හා එහි යථාර්තය අවබෝධකරගත් ඉස්ලාමීය කාන්තාව, ගාලු ප්‍රදේශයේ පදිංචි බෞද්ධ (කිසියම් ආයතනයක් විසින් පවත්වන ලද රූප රැජිනි තරඟයකින් ජයගෙන ප්‍රසිද්ධිය බලාහිදින) කාන්තාවක් යොදාගෙන උපහාසයට හා අපහසයට ලක්කිරීම ශිෂ්ඨසම්පන්න සමාජයකට නොගැලපෙන තුට්ටු දෙකේ වැඩකි.

මෙහි දී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම් ඉස්ලාම් දහම තුල සංගීතය හා ගීතය පිලිබදව ඇත්තේ වෙනස්ම ආකාරයේ වූ ස්ථාවරයකි. එනම් ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව සංගීතය යන්න මුස්ලිම්වරුන්ට තහනම් අංගයකි. (සංගීතය නොමැති) ගීත කවි සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ඉස්ලාම් දහම තුල යම් යම් ආදර්ශයන් පවතී. (අද සංගීතයෙන් තොර වූ ගීතයක් පිලිබදව උපකල්පනයක් පවා වර්ථමාන ලාංකීය සමාජයට කරන්නට බැරුවා ඇති. නමුත් එවැනි ගීත අදටත් ලොව තිබෙනවා යන්න සැබෑවයි (එවැනි ගීත මෙහි නැරඹීමට හැක) ස්ථාවරය වන්නේ එය නිෂ්පල ක්‍රියාවක් යන්නයි. සංගීතය සම්බන්ධයෙන් මෙවැනි ස්ථාවරයක් දරණ විට එම සංගීතය පමණක් නොව ලොවටම ආදර්ශයක් වූ ඉස්ලාමීය කාන්තාව පදනම් කරගෙන ඒ තුලින් ඉස්ලාම් දහමට එරෙහිව කිසියම් මතයක් සමාජය තුල නිර්මාණය කිරීමට උත්සාහ කිරීම මොනතරම් පහත් ක්‍රියාවක්ද? එවැනි අසාමාන්‍ය නිර්මාණයක් උපකල්පනය කරන්නට තරම් ඔහු කොතරම් ප්‍රබල විකෘති මානසිකත්වයක් පැවතිය යුතුද? ඔහුට ඉස්ලාම් දහම කෙරෙහි කොතරම් වෛරයක් පැවතිය යුතුද? නොඑසේ නම් මෙවැනි නිර්මාණයන් තුලින් ඇය අපහසුතාවයන්ට ලක් කරන්න ඇය කල වරද කුමක්ද? මෙවැනි නිර්මාණ තුලින් ඇයට ඔබලා යෝජනා කරන්නේ කුමක්ද?

පසුගිය දිනවල ඉතා ජනප්‍රියත්වයට පත් ඉරාජ් සහ පේෂල විසින් ගයන “———” ගීතයේ වීඩියෝව ලංකාව තුල තහනමට ලක් කොට ඇත. සිංහල තරුණයකුගේ හා මුස්ලිම් තරුණියකගේ ආදරයක් පිලිබදව මෙම ගිතයේ විඩියෝවෙන් ඉදිරිපත් වේ. අමාත්‍ය කෙහෙළිය රබුක්වැල්ලගේ මැදිහත් වීම මත ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාව විසින් එය ක්‍රියාත්මක කොට ඇත. දැනටමත් එම වීඩියෝව රජයේ නාලිකාවල ප්‍රචාරය කිරීම තහනම් කොට ඇත …

මෙහිදී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. ඒ මෙය ඉස්ලාම් දහමට එරෙහිව නිර්මාණය වූ ප්‍රථම කලා නිර්මාණය නොවේ. අතීතයේ මෙවැනි තත්වයන් ශ්‍රී ලාංකීය සමාජයේ දක්නට ලැබුණේ නැහැ. මෙවැනි නිර්මාණවල වෙන කවරදාකවත් නොදුටු ආකාරයේ සීඝ්‍ර වර්ධනයක් මෑත කාලයේ දක්නට ඇත. අද වනවිට සමහරක් සිංහල ගීතවලට ආගමික පාඨයන් පවා එක්කොට ඇත. මෑතක එරාජ් විසින් නිර්මාණය කර එලිදැක්වූ ගීතයක මුස්ලීම් දේවස්ථානවල දිනපතා පැවසෙන “අසාන්” (වන්දනයට කැදවීම) ශබ්ද පවා මුහුකොට ඉස්ලාම් දහම පිලිබදව වැරදි ප්‍රතිරූපයක් සමාජයට මවාපාන ආකාරයට ගීතයක් නිර්මාණය කර ඇත. මේවා මුස්ලීම් සමාජය සතුටු වියයුතු හෝ ආඩම්භර වියයුතු කරුණු නොවේ. මෙය අප රටේ සුළු ආගම් අපහසයට ලක්කිරීමක් පමණි. එසේම මේවා කලා නිර්මාණ ද නොවේ. මේවා වෛරය හා පලිගැනීම පදනම් කරගත් විකෘති මානසින් කල නිර්මාණ පමණි … මෙවැනි පහත් නිර්මාණය දැක දැකත් එක් පසකින් මුස්ලීම් සමාජයේ වගකිවයුත්තන් මිනිවත රකින විට තවත් පසකින් ජාතිවාදීන් හා ආගම්වාදීන් කාලකන්නි සතුටක් ලබයි. මෙවන් වූ කෲර පරිසරයක් තුල “ශාන්” වැනි ගායකයෝ පිණුම් ගසන්නේ හැලියේ වතුර උණූවෙනකම් බව අවබෝධකර නොගැනීම පුදුමයට කාරණයකි. ඒ “ජනප්‍රියත්වය” නම් වූ වළාවෙන් ඔහු අන්ධ වී ඇති බැවිණි. මේ සියල්ල සාරාංශ කොට පවසනවා නම්, ශ්‍රී ලංකිව තුල වර්ථමානයේ මේ අප අත්විදිමින් සිටින්නේ අන්කිසිවක් නොව සුළු ජාතීන් කෙරෙහි සමහරක් මහා ජාතීන්ගේ නොසතුට හා වෛරය පමණි.

අවසාන වශයෙන් අභියෝගාත්මක යෝජනවාක් ඉහත ගීත රචකයාට මෙන්ම ඔහුවැනි පිරිසට කරන්නට කැමැත්තෙමි. ඒ මුස්ලීම් තරුණියක් මුස්ලීම් නොවන තරැණයෙකු සමඟ ගෙදරට හොරා පැනයන කථා වස්තුවක් පදනම් කරගන්නා ඔබලා ඒ කලා නිර්මාණයම සුළු වෙනසක් සිදුකොට ස්වාමිණ්වහන්සේ නමක් තම සිව්ර හැර මුස්ලීම් කාන්තාවක් හා යුගදිවියට එළඹෙන ආකාරයේ ගීතයක් ඔබලාගේ විශිෂ්ඨ කලා මනසින් නිර්මාණය කොට රූපවාහිණි නාලිකාවක ගීතමය වැඩසටහනකට යොමු කරන්න. ඇයි එවැනි නිර්මාණයක් ශ්‍රී ලාංකීය සිංහල ගීත රසිකාවියන්ට දායාද කරන්නේ නැත්තේ. ඉහත ආකාරයට උපකල්පනයන් සිදුකොට ගීත නිර්මාණ කරන පිරිසට මා මේ කරන යෝජනාව එතරම් සංකීර්ණ එකක් නොවේ. මන්ද මා දන්නා පමණින් ස්වාමිණ්වහන්සේලා සිව්රහැර තරුණියන් හා පැනගිය අවස්ථාවන් මුස්ලීම් කාන්තාවක් මුස්ලීම් නොවන්නෙකු සමඟ පැනගිය අවස්ථාව තරම් විරල නොවන බැවිණි. නමුත් මෙහිදී සදහන් කලයුතු කාරණයක් ඇත. ඒ එවැනි නිර්මාණයක් දැක කාලකන්ණි සතුටක් ලබන්න ඉස්ලාම් දහම කිසිදු මුස්ලීම්වරයෙකුට අවසර ලබාදී නැත. එය ශුද්ධ වූ කුර්ආනයේ (5-2) වාක්‍යයෙන් අල්ලාහ් (දෙවියන්) මෙසේ පවසයි.

“එක් සමාජයක් කෙරෙහි නුඹලාට තිබෙන නොසතුට එම සමාජයට අසාධාරණයන් සිදුකරන තැනට නුඹලා පත් නොකෙරේවා”

මා මෙහි පවසා සිටින්නේ ඉහත සදහන් ආකාරයේ ගීත නිර්මාණයක් මොහොතක් උපකල්පනය කර බලන්න. එවිට ඉහත “ශාන්ගේ” ගීතය මෙන්ම එවැනි අනිකුත් ගීත කොතරම් විකෘති මානසිකත්වයකින් නිර්මාණය වී තිබෙනවාද? යන්න බුද්ධිමත් ඔබටම අවබෝධ කරගත හැක.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම