ආදරයට ආගම් බාධාවක්ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


“ආදරය” යන වදන ඇසූ පමණින් බහුතරයක් පිරිසගේ සිත් තුල ඇති වන්නේ තරුණ තරුණියන් අතර ඇති වන ප්‍රේම සම්බන්ධතාව පිලිබදව වූ මතකයයි. ඒ තරමට මෙම ප්‍රේම සම්බන්ධතා වත්මන් සමාජය තුල සාමාන්‍ය මෙන්ම සරල කාරණයක් බවට පත්ව තිබීම මෙයට හේතුවයි. කවදත් ආගමික කරුණූවලට ප්‍රමුඛ තැනක් දෙන යහමග මෙම විෂය මෙලෙස සංවාදයට ගැනීම සමහරක් පිරිසගේ කුතුහලයට හේතුවක් වන්නට පුළුවන. නමුත් “ආගම” හා “ආදරය” අතර ඇත්තේ ඉතා සමීප සම්බන්ධතාවයක් යන්න මාගේ පිලිගැනීමයි. මේ අංශ දෙක මිනිස් දිවිය තුල තීරණාත්මක සාධක දෙකකි. “ආගම” මිනිසා හට මඟපෙන්වීමන් කරන අතර “ආදරය” ඔහුව ජීවත් කරවයි. බොහෝ තරුණ තරුණියන් “ආගම” හා “ආදරය” දකින්නේ කිසිදිනක එකට නොපෑහෙන පරස්පර විෂයන් දෙකක් ලෙසයි. ඒ ඔවුනට ආගමික ඉගෙන්වීමන් කෙරෙහි තිබෙන අනව‍බෝධය මෙන්ම “ආදරය” යන විෂය විකෘති ලෙස හදුනා ගෙන කටයුතු කිරීම හේතුවෙනි. අද වර්ථමාන තාරුණ්‍යය “ආදරය” (Love) නම් අකුරු 04 තුල වල්මත් වී සිටිති. මේ පිලිබදව යහමග අඩවිය මීට ඉහත කිහිප අවස්ථාවක මෙම අඩවිය ඔස්සේ කරුණූ දක්වා ඇත. එවැනි ලිපි කිහිපයක් මෙහි ඔබගේ මතකයට ගෙන එන්නේ නම්,

මෙවැනි ලිපි තුලින් මීට ඉහත රටක් ලෙස තාරුණ්‍යයේ වටිනාකමත් ඔවුන් හමුවේ ඇති වගකීමත් පිලිබදව දීර්ඝ ලෙස සාකච්චා කල අතර “ලෝක පෙම්වතුන්ගේ දිනය” නම් ඛේදවාචකය මූලික කරගෙන “ආදරය” නමින් තරුණ්‍යය ලඟා කරගන්නා පරිහානිය ද ආදරය හා අනාචාරය අතර වල්මත් වූ තාරුණ්‍යය, යන ලිපිය තුලින් මීට ඉහත සාකච්චා කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි.

අද දවසේ මෙම විෂය ඉස්ලාමීය ඉගෙන්වීමන් මූලික කරගෙන කථා කිරීමට අදහස් කරමි. මෙසේ මා ඉස්ලාම් දහම මූලික කරගෙන කරුණූ දැක්වීමට අරඹන විට “එසේනම් ආදරය ඉස්ලාම් දහම තුල තහනම්ද?” යන කුතුහලය නැවතත් ඔබට ඇති වීමට පුළුවන. මේ හේතුව නිසා එම විෂය ඉස්ලාමීය මුහුණුවරින් තරමක් ගැඹුරින් විමසා බැලීම කාලීන අවශ්‍යතාවයක් යයි සිතමි. “ආදරය” යන වදන තුලින් අදහස් කරන්නේ එක් තරුණයෙකු තවත් තරුණියක් විවාහ කරගැනීම සදහා ප්‍රිය කිරීම, එසේත් නැත්නම් තරුණියක් තවත් තරුණයෙක් විවාහ කරගැනීම සදහා ප්‍රිය කිරීම නම්, එයට ඉස්ලාම් දහම තුල තහනමක් නැතුවා පමණක් නොව ඒ සදහා අනුමැතිය ද ඇත. එය පහත ඉස්ලාමීය ඉගෙන්වීමන් තුලින් ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැකි වනු ඇත.

“…ඔවුන් සරණපාවා ගන්නට අදහස් කිරීම හෝ විවාහ යෝජනාව ඉඟියෙන් (මෙන් වක‍්‍රව) ගෙනහැර පෑම හෝ නුඹලා කෙරෙහි වරදක් නොමැත. ඔවුන් ව නුඹලා (හදවතින්) කැමැති වන බව අල්ලාහ් දනී. යහපත් වදන් ප‍්‍රකාශ කිරීම හැර රහසිගතව ඔවුනට පොරොන්දු නොවන්න!, නියමිත කාල සීමාව අවසන් වන තෙක් සරණපාවා ගැනීමේ නිගමනයට නොපැමිණෙන්න!…”

ශුද්ධ වූ කුර්ආන් 2-235

“මු:ගිරා බින් ෂු:බා (රලි) නම් සහාභිවරයා (නබිතුමාණන්ගේ සමකාලීන අනුගාමිකයෙකු) විවාහ කරගැනීම පිණිස තරුණියක් තීන්දු කල  බවට වූ ආරංචිය නබිතුමාණන්ට සැලවුණි. එවිට එම සහාභිවරයාට ‘ඇයව බලන්න!, මන්දයත් එසේ බලාගැනීම ඔබ දෙපොළ අතර ආදරයක් ඇති කරවන්නට සුදුසු මගක් වනු ඇත’ යනුවෙන් නබිතුමාණන් පවසන ලදී.”

මූලාශ‍්‍ර ග්‍රන්ථය – තිරිමිදී, නසඊ, ඉබ්නු මාජා

“කන්‍යාවියක් වුවද කනවැන්දුම් කාන්තාවක් වුවද (විවාහය පිණිස) ඔවුන්ගේ කැමැත්ත ලබාගත යුතු යැයි නබිතුමාණන් පැවසූ කල්හි ‘කාන්‍යාවිය (තම කැමැත්ත ප‍්‍රකාශ කිරීමට) ලැජ්ජා වෙනවා නොවේද?’ යයි (සහාභිවරයෙකු) විමසු විට නබිතුමාණන් ‘ඇගේ නිහඩතාවයයි කැමැත්ත වන්නේ’ යනුවෙන් පවසන ලදී.”

මූලාශ‍්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය හා හදීසය මඟින් විවාහ වීමට අපේක්ෂිත යුවලක් තම කැමැත්ත එකින් එකා අතර ප්‍රකාශ කරගැනීමේ වරදක් නොමැති බව පැහැදිලි වේ. මෙහිදී ඉහත 2-235 වාක්‍ය සම්බන්ධයෙන් පැවසිය යුතු වැදගත් කාරණයක් ඇත. එනම් ස්වාමියා අහිමි වූ වැන්දඹු කාන්තාවක් සම්බන්ධයෙන් මෙම වාක්‍යය කථා කරන නිසා ඔවුනට විශේෂයෙන් පැනවූ කොන්දේසියක් මෙහි පවසයි. එනම් වැන්දඹු කාන්තාවක් ඉද්දා කාලය තුල තවත් විවාහයක් සදහා සෘජුව කථා කිරීම නොසුදුසුය. එවැනි කාන්තාවන් උදෙසායි “…විවාහ යෝජනාව ඉඟියෙන් (මෙන් වක‍්‍රව) ගෙනහැර පෑම…” යනුවෙන් ඉස්ලාම් අවසරය ලබාදෙන්නේ එම කොන්දේසියට යටත් නොවන පාර්ශවයන් සෘජුවම තම අදහස ප්‍රකාශ කිරීමේ වදරක් නොමැති බවත්, එසේ ක්‍රියා කිරීම ඉස්ලාම් අනුමත කල “ආදරය” යන්නත් පැහැදිලි ලෙස වටහා ගතයුතුය. එසේ නොමැතිව විවාහයට පෙර තරුණ තරුණියන් තැන් තැන්වල හුදෙකලා වීම සැබෑ ආදරයක් ද නොවන අතර එය ඉස්ලාම් අනුමත කරන්නේ ද නැත. එය පහත හදීසයන් තුලින් මනාව වටහාගත හැකි වේ.

(විවාහ වීමට අනුමැතිය නැති) ‘මහ්රමි’ නොවන පිරිමියෙකු හා කාන්තාවක් හුදෙකලාවේ රුදීමෙන් වලකින්න. එසේ සිටින විට එතැනට තුන්වැන්නා ලෙස (මිනිස් සිතේ වැරදි සිතුවිලි ඇති කරවන මුස්ලිම්වරුන්ට නපුරුකම් කරන) ශෙයිතාන් පැමිණෙනු ඇත.”

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

“තරුණියක් සමඟ කිසිදු තරුණයෙක් හුදෙකලාවේ රැදීම සුදුසු නොවේ. ඇය විවාහ වීමට තහනම් (මහ්රමි) ඥාතීන් ඇය සමඟ සිටින මොහොතේ හැර”

මූලාශ්‍ර ග්‍රන්ථය- බුහාරී

මෙහි ඉහත දෙවන හදීසය ආදරවන්තයන් හා ආදරවන්තියන් සදහා වූ සීමාව නිවරුදි ලෙස සලකුණූ කොට පෙන්වන අතර එම සීමාව ඉක්මවාලීම තුල සිදුවන විනාශය ඊට ඉහත හදීසය සලකුණූ කොට පෙන්වයි. නමුත් අද සමාජයේ සිදුවන්නේ කුමක්ද? තරුණ තරුණියන් ආදරය නමින් බලාපොරොත්තු වන්නේ සමාජයෙන් හුදෙකලාව මුලු ගැන්වීමයි. මෙවැනි ආදරයන් පිවිතුරු ආදරය, සත්‍ය ප්‍රේමය, නිර්මල ආදරය… යානදී නොයෙක් වදන්වලින් අලංකාර කරන්න උත්සාහ කලද ඒ තුල අනිවාර්‍යයෙන් ඇත්තේ කාමුක හැඟීමන් මුලික කරගත් අනාචාරයන් පමණි. එය අවටින් (පරිසරය) ලබාදෙන අවස්ථාව අනුව කාමුක වදනක්, ඉඟියක්, ස්පර්ශයක්… යනාදී හා ඊටත් එහා ගිය ක්‍රියාවන් ලෙස තීරණය වේ. ඒ කුමක් වුවත් එහි ඇත්තේ ආදරය අර්ථ ශූන්‍ය කරන හැඟීම්වලට වහල් වූ තත්වයන් පමණි. මෙය නබිතුමාණන් එක්තරා අවස්ථාවක ඉතා අලංකාර ලෙස පැහැදිලි කරන ලදී. එනම්,

“ලිංගික අවයව තුලින් පමණක් නොව දිවෙන් හා ඇසින් ද සිzනාව (කාමයේ වරදවා හැසිරීම) සිදු වේ. දිවෙන් කරන සිzනාව කාමුක හැඟීමන් ඇති කරවන දෑ කථා කිරීම. ඇසින් කරන සිzනාව කාමුක හැඟීමන් ඇති කරවන දෑ බැලීම. අවසානයේ (මේ සියල්ල තුලින්) සිත එම ක්‍රියාවට උනන්දු කරවන අතර තම ලිංගික අවයව එය සත්‍ය හෝ අසත්‍ය කරන්නේය.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසය තුලින් පවසන තත්වයයි යථාර්තය. මෙම යථාර්තය අමතක කර හෝ අතපසු කර කුමන තර්ක විතර්ක ගෙන ආවද ඒවා හුදෙක් තර්කයන් පමණක්ම මිස යථාර්තය ‍නොවේ. මෙවරත් වැලැන්ටයින් දින සමරණ්නටත්, එම දිනය මූලික කරගෙන මාධ්‍ය ප්‍රචාරයන් ලබාගන්නටත්, ඒ සදහා තරුණ මනස විකෘති කරන්නටත් කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් වී සිටින මාධ්‍ය ආයතන හා වෙළද ව්‍යාපාර ආයතනවල බුද්ධිමත් අවධානයට මීට වසර කිහිපයකට ඉහත ඇමරිකානු රජය මඟින් එලි දැක්වූ පුවතක් ගෙන එන්නට කැමැත්තෙමි. ඒ “වර්ෂය තුල වැඩිම කාන්තා අපයෝජන හා දූෂණ සංඛ්‍යාවක් වාරථා වන්නේ වැලැන්ටයින් දිනයේදීය” යන්නයි. එම පුවත ඔබේ අවධානයට ගෙන එන අතර තුර පසුගිය දිනක ශ්‍රී ලංකාව තුල පලවූ පවුතක් ද ඔබේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. එ‍ය මෙසේය,

ලංකාව තුළ ස්ත්‍රී දූෂණ ප්‍රමාණය දිනෙන් දින ඉහල යමින් පවතිනවා. පසුගිය වසරේ මුල් මාස 11 තුළදී පමණක් වාර්තා වූ ස්ත්‍රී දූෂණ ප්‍රමාණය 1,636ක් වන අතර එය දිනකට 5ක් පමණ වන තත්ත්වයකි. ලංකාව තුළ පසුගිය කාලයේ සිදුවූ ස්ත්‍රී දූෂණ දෙස බැලූ විට බොහොමයක් වයස 18ට අඩු පාසැල් යන වයසේ ළමයින් වන අතර ඒවා බොහොමයක් සිදුවී තිබුනේ මාමා, බාප්පා, පියා වැනි පවුලේම අයෙකුගෙනි.

පොදු සමාව යටතේ නිදහස් ව පැමිණි පියෙකු තම දියණිය කැළයට ඇදගන ගොස් රැය පහන් වනතුරු දූෂණය කළ පුවතක්ද පසුගිය දෙසැම්බර් මාසයේ වාර්තා වුන අතර අවිස්සාවේල්ලේ දැරියකට විටින් විට 35 දෙනෙක් අතවර කර ඇති සිද්ධියක්ද පසුගිය ඔක්තෝබර් මාසයේ වාර්තා වුණා. ආරාමයක තනිව වැඩ විසූ දසසිල් මාතාවකටද අතවර වූ බව වාර්තාවීම තුළින් අද රටේ සිදුවී ඇති සමාජ පරිහානිය කෙතෙක්ද යන්න පැහැදිලිවේ.

අද පුවත් මවමින් මාධ්‍ය කටයුතුවල නිරත වන මාධ්‍ය ආයතන මෙවැනි සමාජ පරිහානිය සදහා කොතරම් මැදිහත්වීමක් සිදුකරනවාද? වැලැන්ටයින් දිනයට ලබාදෙන ප්‍රචාරය හා ඒ වෙනුවෙන් සංවිධානය කරන ක්‍රියාකාරකම් දෙස බලන විට මේ සමාජ පරිහානියට එරෙහිව කිසිවක් කර නොමැති බවයි පැවසිය හැක්කේ. මනුෂ්‍යත්වය හා එහි සාරධර්ම පිරිහෙමින් ප්‍රපාතයකට ගමන් කරන සමාජය, එම ඛේදවාචකයෙන් මුදවා ගැනීමට හා එයට එරෙහිව සමාජ මතවාදයක් ගොඩනැඟීමට කිසියම් පියවරක් ගෙන තිබෙනවාද? මේ රට දකුණූ ආසියාවේ ආශ්චර්‍යයක් කරන්නට කථා කරන පාර්ශවයන් එය දේශපාලන වේදිකාවට පමණක් සීමා කලා මිස මෙවැනි පරිහානි වලක්වාලීමට ක්‍රියාකාරී මැදිහත්වීමක් ලබාදී තිබෙනවාද?. ජාතිවාදය සමාජය තුල වපුරමින්ද ජන සමාජයන් විනාශ කිරීමට දිවා රෑ වෙහෙසෙමින් පුවත් මවන සමහරක් ජාතිවාදී වෙබ් අඩවීන් මේ සමාජය විනාශ මුඛයට යොමු වී ඇති ගමන් මඟ හා ඒ තුල ධර්මදීපයට අත්වන ඉරණම කථා නොකොට ඒ ගැන කිසිදු තැකීමක්ම නොමැතිව සමාජය නොමඟ යවන්නට ක්‍රියා කිරීම ඔවුන්ගේ න්‍යාය පත්‍රය පමණක් නොව ඔවුන්ගේ නිරුවත ද ශ්‍රි ලාංකීය බුද්ධිමත් සමාජයට අනාවර්ණය කිරීමක් නොවේද?. අවසාන වශයෙන් නැවතත් එක් කාරණයක් අවධාරණය කරන්නට කැමැත්තෙමි. ඒ “ආගම” ජීවිතය යහපත් කරගැනීම සදහා මඟපෙන්වීමක් බවත්, පිවිතුරු ආදරය එම ජීවිතය ජීවත් කරවන සුන්දර බැදීමක් යන්නත් අවධාරණය කරමින් එවන් වූ පිවිතුරු ආදර මිනිස් සමාජයේ පැවැත්ම උදෙසා අවශ්‍යතාවයක් යන්නත් පවසමින් මෙම ලිපිය සදහා ද විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/02/12

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම