ආදරය හා අනාචාරය අතර වල්මත් වූ තාරුණ්‍යය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


‘ප්‍රේම සම්බන්ධතා‘ මෙය අද තරුණ පිරිස් අතර සුන්දර මාතෘකාවකි. මෙය විටෙක සුන්දර තවත් විටෙක අසුන්දර මතකයන් ගෙනදෙන්නට සමත් මාතෘකාවකි. එපමණක් නොව එය එනම්, “ප්‍රේමය“ තුල ලබන දුකත් මිහිර ගෙනදෙන්න සමත් විශ්මය ජනක විෂයකි. එවන් වූ අපූරු විෂයක් වූ “ප්‍රේමය“ නොහොත් ආදරයේ පැතිකඩ කිහිපයක් අද දිනයේ යහමග අඩවිය තුලින් ඔබේ අවදානය පිණිස විමසා බැලීමට අදහස් කරමි. ඊට ප්‍රථම “ආදරය“ මූලික කරගෙන යහමග අඩවිය තුල මීට ඉහත සාකච්චාවට ගැණූනු ලිපි කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට මෙහි පහතින් පෙලගසමි.

ඉහත ලිපි ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මේ විශ්වය තුල ‘ප්‍රේමයෙන් මිඳුනු කිසිවෙක්කුත් නැතැයි‘ කියන තරමට සමස්ථ සමාජයම වෙලාගෙන ඇති “ආදරය“ එනම්, පාසැල් අවධියේ පටන් වැඩිහිටි අවදිය දක්වාත්, සමාජයේ පහලම ස්ථරයේ පටන් ඉහලම ස්ථරය දක්වාත් මුළු සමාජයම එකම ගොනුවකට වෙලාගෙන සිටින මේ “ප්‍රේමය“ නොහොත් “ආදරය“ මිහිමත වෙසෙන සෑම මනුෂ්‍යෙයකුම තම දිවිය තුල ස්වභාවයෙන්ම අපේක්‍ෂා කරන සුන්දර අංගයකි. ස්වභාවයෙන්ම ආදරණීය ජීවියතු වූ මිනිසා එලෙස තම දිවිය තුල “ආදරය“ අපේක්ෂා කොට සිටීම ඔහුගේ මනුෂ්‍යත්වයේ මහිමය තව තවත් ඉහල නංවන්නක් මිස එසේ ආදරය අපේකෂා කොට ජීවත්වීම ගැටළුවක් හෝ වරදක් නොවේ. නමුත් එම “ආදරය“ කෙසේ කලයුතුද? කෙසේ ලැබිය යුතුද? යන්න පිලිබදව නිසි අවබෝධයකින් තොරව වත්මන් සමාජය “ආදරය“ නමින් විනාශය අත්විදිමින් සිටීම ඛේදවාචකයකි.

නොගැලපෙන ආදර සම්බන්ධතාවයන් තුල මේ තරුණ පිරිස් අහිමි කරගන්නා දෑ බොහෝය. තම දෙමාපියන්, සහොදරයන්, ඥාතීන්… යනාදී ලෙස උපන් දා පටන් තමා අවට සිටී සියල්ල අහිමි කරගන්නා මේ පෙම්වතුන් අවසානයේ ජීවිතය පවා අහිමි කරගැනීම අප, අප සමාජය තුල නිතර දකින කාරණයකි. එවන් උදාහර්ණ පාසැල් මට්ටමේ සිට වැඩිහිටි සමාජය දක්වා ඕනෑ තරම් සමාජ සිද්ධීන් පෙලගැසිය හැක. මේ ආකාරයට එක් පසකින් තරුණ පිරිස් විනාශ වෙද්දී තවත් පසකින් තරුණ සමාජය ආදරය නමින් විවිධ අනාචාරයන්ට, අපයෝජනයට හා දූෂණයට ලක්ව විනාශ වීමද සිදුවෙමින් පවතී. අතීතයේ පටන් යහපත් සංස්කෘතියකට උරුමකම් කියූ ශ්‍රී ලාංකීය අප අද බටහිර සංස්කෘතිය හිස මත තබාගෙන මේ ආකාරයට විනාශය අත්විදීම තවත් ඛේදනීය තත්වයක් නොවේද?. එදා ලැජ්ජා බය ජීවිතයේ මුදුන් මුල වූ නිසා විනයක් ඇතුව වැඩුනු සමාජය අද අඹුසැමියන් ලෙස අප‍්‍රසිද්ධියේ සිදුකරන බොහෝ දෑ අද පෙම්වතුන් ලෙසත් දියුණු සංස්කෘතිය යයි පවසමිනුත් ප‍්‍රසිද්ධ ස්ථානවල සිදුකරමින් සිටී. මෙය පාසැල් දරුවන්ගෙන් පටන් රටේ උගත්ම පිරිස සිටින විශ්ව විද්‍යාලය දක්වා සමාන්‍ය කාරණයක් වී තිබීම සමාජ පරිහානිය මනාව කියාපෑමකි. විටෙක රටේ බුද්ධිමතුන් බිහිකරන විශ්ව විද්‍යාලව මෙම තත්වය උග‍්‍රව පවතින බව පසුගිය දිනක මාගේ මිත‍්‍රයකුගේ අත්දැකීමක් තුලින් අවබෝධ කරගන්නට හැකිවිය. එය මා ඔබට පවසන්නේ රසවිදීමට හෝ සංවාදයට මාතෘකාවක් කරගැනීම සදහා නොව වර්ථමානයේ අප සිටින තැන මේ බුද්ධිමතුන් තුලින් වටහා ගැනීම සදහාය.

“ශ්‍රී ලංකාවේ එක්තරා විශ්ව විද්‍යාලයකට කිසියම් අවශ්‍යතාවයක් සදහා මා මිත‍්‍රයකු ගිය මොහොතේ අවශ්‍ය බලධාරියා එහි නොසිටී නිසා කිසියම් කාලයක් ඔහුට එහි රුදී සිටීමට සිදුවී ඇත. ප්‍රථම වතාවට විශ්ව විද්‍යාල භූමියකට ඇතුල් වූ ඔහු විශ්ව විද්‍යාලයේ විවිධ තැන් නරඹමින් ඇවිදින අතර ඔහු දකින ලද දර්ශනය ඔහුව මවිතයටපත් කොට ඇත. එනම් එහි එලිමහන් ස්ථානයක එම විශ්ව විද්‍යාල සිසුවෙකු හා සිසුවියක් සම්පූර්ණ නිර්වසත‍්‍රව ලිංගික ඇසුරෙහි නියලෙමින් සිටිනවා ඔහු දැක ඇත. ඔහු එම ස්ථානයෙන් වහා පිටත්ව පැමිණ එම විශ්ව විද්‍යාලයේම ඉගෙනුම ලබන තම මිත‍්‍රයෙකුට මෙම කාරණය පැවසූ විට ඔහු විමසා ඇත්තේ ‘උඹ යන පාරේ කුඩයක් හරි සෙරෙප්පුක් හරි තිබුනේ නැද්ද’ යන්නයි. ඉන්පසුවයි මාගේ මිත‍්‍රයාට අවබෝධ වුනේ මෙය විශ්ව විද්‍යාලයේ සාමාන්‍ය කාරණයක් බව, පසුව සොයා බලන විට අපට දැනගන්න හැකි වුයේ මෙය ඉහත කී විශ්ව විද්‍යාලයේ පමණක් නොව බොහෝ විශ්ව විද්‍යාලවල සිදුවන බවත් වෙනසකට ඇත්තේ කුඩ වෙනුවට පොත් බෑග්, සෙරෙප්පු … යනා දී වශයෙන් වෙන වෙන සලකුණූ භාවිතා කිරීම පමණක් සිදුකරන බවත්ය.”

මෙහි දී මා මෙය ජාතියේ අවදානයට යොමු කරමින් විමසා සිටින්නේ රටේ බුද්ධිමතුන් බිහි කරන තැනෙහි තත්වය මෙය නම් අනිකුත් ස්ථාන ගැන කිසිවක් පැවසීමට අවශ්‍යද? යන්නයි. රටේ තිබෙන ලොජ්වලත්, පදුරුවලත්, … සිදුවන අපචාරයන් හා අනාචාරයන් මා විස්තර කිරීමට අවශ්‍ය නොවේ. මෙම පරිහානියේ උච්චතම අවස්ථාව ලෙස මේ සල්ලාලයන් වෙනුවෙන්ම නම් කර ඇති “ලෝක පෙම්වතුන් දිනය” සදහන් කල හැක. මේ පිලිබදව පසුගිය වසර කිහිපයක කල සංගනනයකින් තහවුරු වී ඇත්තේ වැඩිම කාන්තා හිංසනයන්, අපයෝජනයන් හා දූෂණයන් සිදුවී ඇත්තේ මේ දිනය මුල්කරගෙන බවයි. ආදරය කරන්න නොතේරෙන, ආදරය පටු සීමාවල කොටු කර, ආදරය හා කාමය නොහදුනන, ආදරය නමින් කාමුක වියරුව රඟ දක්වන මේ පිරිස “ආදරය” කරන බව පවසමින් විනාශය අත්විදිමින් සිටී. මෙම පෙම්වතුන්ගේ පූර්ව නිගමනය “විවාහයෙන් පසු ආදරය කිරීමට නොහැක” යන්නයි. මෙය තරුණ සමාජය මත බලෙන් පටවන ලද මිත්‍යාවකි. සැබෑ ආදරය හා එකින් එකා අතර ගෞරවය ගොඩ නැගෙන්නේ විවාහයත් සමගයි. නමුත් බටහිර සංසකෘතියට ආවඩන සමහරක් විකෘත්ති චින්තනවාදීන් නිසා අද අපේ සමාජය ද තමන්ට ඔරොත්තු නොදෙන සංස්කෘතියක ඇමිණි විනාශය කරා ඇදීයමින් සිටී. මෙම කාරණය කෙරෙහි සමාජයේ වගකිව යුත්තන් මීට වඩා සැලකිලීමත්ව ක‍්‍රියා කල යුතුය. මෙහි දී වැඩිහිටියන් ප‍්‍රධාන චූදිතයන් යන්න මාගේ නිගමනයයි. අද අපේ දෙමාපියන් තම දරුවන් හට විවිධ අවස්ථාවල අවවාද අනුශාසනාවන් කරයි. නමුත් ඒ වැඩිහිටියන්ගේ ජීවිතවල මේ තරුණ පරම්පරාවට ආදර්ශයන් නැත. මේ වල්මත්ව සිටින තරුණ පිරිස් හමුවේ ආදර්ශය තීරණාත්මක සාධකයකි. නමුත් අප සමාජයේ නොඅඩුව දක්නට ඇත්තේ අවවාදයන් පමණි ආදර්ශයන් යන්න පේනතෙක්මානයක නැත. මෙය සමාජ පරිහානියට බලපෑ තවත් කාරණයක් බව වැඩිහිටි සමාජය දැන්වත් අවබෝධකර ගතයුතුය. එම නිසායි ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනයේ 61:3 වාක්‍යය මඟින් එම කාරණය පොදුවේ මෙසේ අවධාරනය කරන්නේ,

“නුඹලා නොකරන (ආදර්ශයක් නැති) යමක් තවත් කෙනෙකුට අණ කිරීම අල්ලාහ් (දෙවියන්) හමුවේ පිලිකුල් සහගත කරුණකි.“

මෙහි දී වැඩිහිටියන්ගේ හා දෙමාපියන්ගේ අවධානයට යොමු කලයුතු තවත් කාරණයක් ඇත. එනම් දෙමාපියන් හා වැඩිහිටියන් ප‍්‍රථමයෙන් තරුණ අවධිය පිලිබදවත් ඔවුන්ගේ සිතුම් පැතුම් පිලිබදවත් ඔවුන්ගේ හැගීම් පිලිබදවත් හොද අවබෝධයක් ඇති කරගත යුතුය. ඔවුන් සදහා කරන අවවාදවල දී ඉතා පරිස්සමින් එය සිදුකල යුතුය. බොහෝ දෙමාපියන් දරුවන් කෙරෙහි දක්වන දරදඬ ප‍්‍රතිචාරය ඔවුන් දෙමාපියන්ගෙන් දුරස්වීමටත්, සමාජ විරෝධි ක‍්‍රියාවන්ට යොමුවීමටත්, නිවසින් අහිමි වූ ආදරය බාහිර ලෝකයෙන් දිනාගැනීමේ අරමුණින් පේ‍්‍රම සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමටත් හේතු කාරණා වේ. මේවායෙහි අවසාන ප‍්‍රථිපලය වන්නේ ඉහතින් සදහන් විකෘති තරුණ පරම්පරාවක් සමාජය තුල නිර්මාණය වීමයි.

දෙමාපියනී ! රටේ අනාගතයත්, සමාජයේ අනාගතයත් පමණක් නොව ඔබේ අනාගතයත් රුදී ඇත්තේ ඔබ ආදරයෙන් හදා වඩාගත් ඔබේම දරුවාගේ අතේය. එය “හික්කා 2009”, “පෙම්වතුන්ගේ දින” සැමරීමෙන් හෝ ලොජ් තුල හෝ පදුරක් පදුරක් ගානේ පෙම් කෙලීම … යනාදියෙන් ගොඩනැගිය නොහැක. ඔවුන් ඔවුන්ගේ යුතුකම් හා වගකිම් හදුනාගත යුතුය. ඒ හදුනාගත් යුතුකම් හා වගකීම් වෙනුවෙන් ඔවුන් ක‍්‍රියාකාරී ආකාරයට මැදිහත්විය යුතුය. ඒ සදහා ඔවුනට ගෞරවණීය ආරාධනයක් වැඩිහිටි සමාජය කලයුතුය. එසේ නොවන්නේ නම් නියත වශයෙන්ම රටෙත් ජාතියෙත් අනාගතය පැහැදිලිවම අදුරේය. මෙය දෙමාපියන්ගේ හා වැඩිහිටියන්ගේ වගකීමක් බවත් ඒ වෙනුවෙන් දෙමාපියන් හා වැඩිහිටියන් යම් යම් කැපකිරීමන් කලයුතු බවත් අවබෝධකර ගතයුතුය. එය මා ඉහතින් පැවසූ ආකාරයට දරුවාට නම් තැබීමෙන් අවසන් නොවේ.

මෙම වගකීම් නිසි ලෙස හදුනාගත් දිව්‍යමය දහම වන ඉස්ලාම් එය සමාජයට දැඩිව අවධාරනය කරන බව ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් මෙන්ම හදීසයන් (මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය) තුලින් විටින් විට බැලුවෙමු. අවසාන වශයෙන් ඉස්ලාම් කරන අවවාදයකින් මෙම ලිපිය අවසන් කරමි.

“තම දරුවන් කෙසේ රැක බලාගත්තා ද යනුවෙන් තමා යටතේ සිටී අය වෙනුවෙන් ස්වාමියාගෙන්ද, තම ස්වාමියාගේ පවුලේ අය හා දරුවන් කෙසේ රැක බලාගත්තාද? යනුවෙන් බිරිදගෙන් ද (මරණින් මතු උදාවෙන) විනිශ්චය දිනයේ (අල්ලාහ් (දෙවියන්)) ප‍්‍රශ්න කරනු ඇත.”

දන්වන්නේ :- ඉබුනු උමර් (රලි)තුමා, ග‍්‍රන්ථය – බුහාරී , මුස්ලීම්

දෙමාපියණී! ඔබ දරුවා බිහි කිරීමේන්, ඔවුනට හොද නමක් තැබීමෙන්, ඔවුන් පෝෂණය කිරීමෙන්, ඔවුනට අලංකාර වස්ත‍්‍ර ලබාදීමෙන්, ඔවුන් ආස කරන දෑ ඔවුනට ලබාදීමෙන් ඔබේ යුතුකම් හා වගකීම් අවසන් නොවේ. ඔවුනට හොද ආගමික පසුබිමක් හා විනයක් ලබාදී සමාජයට වැඩදායි පුරවැසියන් කිරීමත් දෙමාපියන් කෙරෙහි තිබෙන වගකීමක් වේ. එය ඔබ පැහැර හරින්නේ නම් මොලොවදිත් මරණින් මතු උදාවන ලොවදීත් භයානක ඉරණමේ තීන්දු කරුවා ඔබ දසමසක් කුසේ දරා දිවා රෑ නොබලා වෙහෙසී තම රුධිරය කිරිකර දී තම දහඩිය හෙලා ඒ තුලින් පෝෂණය කර ආදරයෙන් හදා වඩාගත් දරුවා වන්නට පුළුවන. එවන් ඛේදනිය ඉරණමක් අපට අත් නොවී සමාජයටත්, රටටත්, ලොවටත් වැඩදායි තරුණයින් හා දරුවන් බවට පත්කර ගන්න අප අද දවසේ අධිෂ්ඨාන කරගනිමු. ඒ සදහා සර්ව බලධාරී අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය අපට හිමිවේවා!

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/02/12

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම