ඇස්ගෙඩි දෙකට හෙණ ගහලද මුසල්මානුවනේ

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට මේ රට තුල ප්‍රෞඩ ඉතිහාසයක් තිබෙන බව ‘යහමඟ‘ අඩවිය අවස්ථා ගණනාවක දී කරුණු සහිතව පෙන්වාදී ඇත. විශේෂයෙන් ලෝනා දේවරාජා මහත්මියගේ ගවේෂණ කෘතියක් මූලික කරගෙන ඉදිරිපත් කල ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් ඉතිහාස විමසුමක්’ යන ලිපිය හා ශ්‍රී ලංකීය ජාතික පුවත්පත් හි පලවූ ලිපි එකතුවක් පදනම් කරගෙන ඉදිරිපක් කල ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ අතීත පියසටහන්‘ යන ලිපිය එයට හොදම නිදසුන් දෙකකි. විවිධ වූ ජාතීන් ජීවත් වන ශ්‍රී ලාංකාව තුල සියළු ජාතීන් සමඟ ඉතා සමීපව හා සහයෝගයෙන් එසේම විශ්වාසය දිනාගෙන කටයුතු කල ජාතියක් ලෙස ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව සුවිශේෂි තැනක් දිනාගෙන තිබුණි. නමුත් ඒ ප්‍රෞඩ ඉතිහාසයට උරුමකම් කියූ ජාතිය අද යොමුව ඇති දිශාව හා විවිධ බලවේග මඟින් ඔවුන් යොමු කරවමින් සිටින දිශාව පිලිබදව මුස්ලීම් මෙන්ම මුස්ලීම් නොවන සියළු පාර්ශවයන් බුද්ධිමත්ව විමසා බැලීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත.

අද ‘මුස්ලීම්’ නම්, ඔවුන් දෙස වෙනස්ම කෝණයකින් බලන තරමට මේ සමාජය අද විකෘති වෙමින් ඇත. එය කොතරම් ද යන්න පවසනවා නම්, ඔවුන් අඳින ඇදුම, එහි වර්ණය, කනබොන විදිය, ආගමික විශ්වාස, චාරිත්‍ර, ඇදහිලි… යනාදී සියල්ල ප්‍රශ්න කරන තැනටත්, විවේචනය කරන තැනටත්, ඒවාට එරෙහිව මඩ ව්‍යාපාර දියත් කරන තැනටත් සමහරක් ජාතිවාදීන් කටයුතු කරමින් ඇත. සරලව පවසනවා නම්, අතීතයේ කිසි දිනක නොඇසූ නොදුටූ ලෙස අද ශ්‍රී ලාංකීය සමාජය තුල මුස්ලීම්වරුන්ට එරෙහි සිංහල ජාතිවාදය පෙලගැසෙමින් ඇත. ඔවුන් ‘සම්ප්‍රදායක මුස්ලීම්’ නම් මනක්කල්පිත ජාතියක් පිලිබදව කථා කරමින්…

  • මේ රටේ මුස්ලීම් ප්‍රජාවගේ ප්‍රෞඩ ඉතිහාසය සූක්ෂම විකෘති කරමින් ඇත.
  • ඔවුන්ගේ ආර්ථික ශක්තිය දුර්වල කරන විනාශයන් හා ප්‍රචාරයන් සිදුකරමින් ඇත.
  • ආර්ථික වශයෙන් ඔවුන්ගේ ඉදිරි ගමන මැඩලීම සදහා පිඹූරුපත් සකසමින් ඇත.
  • මේ රටේ සුළුතරය වන අපව හුදෙකලා කරන්නත්, සිරකරන්නත් සිහින මවමින් ඇත.
  • මුස්ලීම් ජනයාගේ ආගමික නිදහස හා අයිතීය මේ දෙරණ මත වළලන්න සැලසුම් සකසමින් ඇත.
  • ශුද්ධ වූ කුර්ආනයත්, ඉස්ලාම් දහමත් අපහස වන තැනට කටයුතු කරමින් ඇත.

මෙහි අවාසනාවන්ත, එසේම කණගාටුදායක තත්වය එය නොවේ. මේ ආකාරයට අප රටේ සිංහල ජාතිවාදීන් පිරිසක් බූවල්ලෙකු මෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව නතු කරගන්න, කොටු කරගන්න සැලසුම් සකසද්දී ඒ සදහා සිහින මවද්දී. එවැනි ඉස්ලාම් හා මුස්ලීම් විරෝධීන් හමුවට ගොස් ‘අපට සාධාරණය ඉටුකර දෙන්න’ යයි ආයාචනා කරන, ඔවුන් හමුවේ දනින් වැටෙන සමහරක් මුස්ලීම්වරුන් සමාජය තුල බිහිවීමයි. අද ‘ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද මුසල්මානුවනේ!’ යන මේ ලිපිය තුලින් විමසා බලන්නේ ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය මහා පාවාදීමක් කරන්න උරදී සිටින මෙවැනි නාමික මුස්ලීම්වරුන් හා ඔවුන්ගේ ක්‍රියාකලාපයන් පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න පිලිබදවයි.

ලොව ප්‍රෞඩ ඉතිහාසයන්ට උරුමකම් කියූ ජාතීන් අතර ශ්‍රී ලාංකීය ජාතිය ද ලොව සුවිශේෂි ස්ථානයක් හොබවයි. නමුත් සමාජ රටාවන් සංකීර්ණ වීමත්, ඒ තුල මනුෂ්‍යා පටු අරමුණු හා වාසි පමණක් පදනම් කරගෙන කටයුතු කිරීමත් තුල අතීතයේ පැවති ප්‍රෞඩත්වය අද සමාජයෙන් ගිලිහෙමින් ඇත. මේ අවාසනාවන්ත ඉරණමට ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් ද නතුවෙමින් ඇත. ඒ අනුව මේ ලිපිය ආරම්භයේ සදහන් කලාසේ අතීතයේ ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියූ ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් අතුරින් සමහරක් අද ඉස්ලාම් දහම හා මුස්ලීම් ප්‍රජාව ලංසුවට තබා පටු අරමුණු හා හා වාසි මත පදනම් ව වැජඹෙන්නට කටයුතු කරමින් ඇත. එය කොතරම් නරුම තැනකට යොමුව තිබෙනවාද? යයි පවසනවා නම්, ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට දැඩි හානියක් පමුණුවමින් ඔවුන්ගේ ඉදිරි ගමන වලකාලන්න දිවා රෑ වෙහෙසෙන ‘බොදු බල සේනා’ වැනි සංවිධාන හමුවේ පිහිට සොයන්නත් සමහරක් (නාමික මුස්ලීම්වරුන් නොහොත්) මුසල්මානුවන් ඉදිරිපත් වී ඇත.

මෙහි තවත් කණගාටුවට කාරණය වන්නේ ඉහතින් සදහන් ‘බොදු බල සේනා’ සංවිධානය බිහි කිරීමේ මෙහෙවර තුල සමහරක් මුසල්මානුවන් ද ප්‍රධාන කොටස්කරුවන් වී සිටීමයි. බොදු බලසේනා මහා ලේකම් ඥානසාර හිමි විසින් අවස්ථා ගණනාවක දී ප්‍රකාශ කල ආකාරයට පටු අරමුණු හා වාසි අපේක්ෂාවෙන් එදා ‘බොදු බල සේනා’ සංවිධානය පෝෂණය කල සමහරක් මුස්ලීම් දේශපාලයින්, ආගමික කල්ලි නියෝජිතයින් මෙන්ම තවත් බොහෝ පිරිස් සිටී. ඒ නරුම පාවාදෙන්නන්ගේ පටු අවස්ථාවාදී ක්‍රියාවන් අද මේ රටේ මුස්ලීම් ප්‍රජාවගේ, ජීවිත බිලිගන්නා, දේපල උදුරාගන්නා, ආගමික නිදහස උරුදාගන්නා, ආගමික සිදුධස්ථාන විනාශ කරන්නා… මහා ව්‍යාපාරයක් බවට පරිවර්ථනය වී ඇත. එහි සමීපතම සිද්ධිය ලෙස අළුත්ගම, බේරුවල හා ඒ අවට ප්‍රදේශවල මුස්ලීම් ප්‍රජාවට 2014/06/15 දින ඉතා අසාධාරණ ලෙස ප්‍රහාර එල්ල කොට කල විනාශය මෙහි සදහන් කලහැක. මනුෂ්‍ය ඝාතන හා දේපල හානි සිදු කරමින් මේ රටේ සුළුතරය වූ මුස්ලීම් ප්‍රජාවට එදා කල විනාශය සාධාරණය හා මනුෂ්‍යත්වය අගයන සෑම කෙනෙකුටම කම්පාව ගෙනදෙන්නක් විය. සැබෑ බෞද්ධ ප්‍රජාව පවා කම්පා කරවන්නක් විය.

මෙතරම් විශාල හානියක් සිදුකොට යන්තම් මාස දෙකක් ගතවෙත්ම, ඒ විනාශයට මුහුණපෑ මුස්ලීම් ප්‍රජාව විශේෂයෙන් සැමියා අහිමි වූ බිරිද, පියා අහිමි වූ දරුවන්, ජීවිත කාලය පුරාවට රුස් කල ධනය හා ව්‍යාපාරය, බලාපොරොත්තු රාශියක් ඇතුව ගොඩනැඟූ නිවස අහිමිව තවම ඇඬූ කඳුලින් පසුවෙත්ම, ඒ සියල්ලට වඩා මුස්ලීම් ප්‍රජාවට එරෙහිව ඉහත ජාතිවාදීන් තවදුරටත් පිඹුරුපත් සකසත්ම ඒ කිසිවක් පිලිබදව කිසිදු තැකීමක් නොමැතිව ජාතිවාදීන් ඉදිරියේ දනින් වැටී මුස්ලීම්වරයෙකු නීතිය, සාධාරණය ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ නම්, එවැනි (නාමික මුස්ලීම්වරුන්) මුසල්මානුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය සැබෑ මුස්ලීම් ප්‍රජාව හා සමාජයේ වගකිවයුතු පාර්ශවයන් බුද්ධිමත් තීන්දුවක් ගතයුතු නොවේද?. මේ කවුරුන් කාගෙන් ආරක්ෂාව, සාධාරණය අපේක්ෂා කරන්නේද? බුද්ධිමත් සිතා බැලිය යුතු නොවේද?. එවැනි නරුම මුසල්මානුවන් බොහෝ පිරිසක් සමාජයේ ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ සිටියත් සමීප නිදසුන් දෙකක් ඔබේ අවදානයට මා ගෙන එන්නට අදහස් කරමි.

  • ගරු ඇමති රාජිත සේනාරත්න මහතා සමඟ ඉහතින් සදහන් අන්තවාදී බොදු බල සේනා සංවිධානය ඇති කර‍ගෙන තිබෙන ගැටුම තුල බොදු බල සේනාවට පක්ෂව කටයුතු කරන ශුද්ධ වූ කුර්ආනය මත දිවුරන මුසල්මානුවකු අප පසුගිය 2014/08/11 දින මාධ්‍යයෙන් දුටුවෙමු. (යහමඟ Youtube හි එම වීඩියෝව නැරඹීය හැක)
  • ඉස්ලාම් දහමට අනුව අනිවාර්‍ය යුතුකමක් වන හජ් වන්දනය ව්‍යාපාරයක් කරගෙන සිටින අප රටෙි මුස්ලීම් ඒජන්සිකරුවන් අතුරින් පිරිසක් 2014/08/20 දින බොදු බල සේනා සංවිධානය හමු වී තම ව්‍යාපාරය තුල සිදුව ඇති අසාධාර්ණය සදහා පිහිට වෙන ලෙසත් නීතිය, සාධාරණය ඉටු කරදෙන ලෙසත් ඉල්ලා සිටී ආකාරය පුවත්පත් මාධ්‍යයන් තුලින් අප පසුගිය දිනවල දුටුවෙමු.

මෙහි click කොට විශාල කර කියවන්න

මෙතැනදී ‘යහමඟ’ දැඩිව විශ්වාස කරන කාරණයක් ඇත. එනම්, පටු වාසිතකා සමස්ථ මුස්ලීම් සමාජය පාවාදෙන නාමික මුස්ලීම්වරුන් කිහිපදෙනෙකු මෙලෙස සමාජයට අනාවර්ණය වූවත් අප්‍රසිද්ධියේ තම පටු අරමුණු දිනා ගැනීම පිණිස මෙවැනි පාවාදීම් කරන තවත් බොහෝ නාමික මුස්ලීම්වරුන් සිටිනවා යන්නයි. එය බොදු බල සේනා මඟින් යම් යම් අවස්ථාවල කරන ප්‍රකාශයන් තුලින් ද විටින් විට තහවුරු වන සැකයකි. කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් බිල්ලට දී තමන්ට නීතිය, සාධාර්ණය අපේක්ෂා කොට බොදු බල සේනාව වෙත ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ යන හා ගිය (නාමික මුස්ලීම්වරුන් නොහොත්) මුසල්මානුවන්ගේ හදවතේ ඉස්ලාම් දහමේ තෙතමනය අංශු මාත්‍රයක් හෝ තිබේ නම්, ඔවුන්ගේ බුද්ධිමත් විමසුමට මෙතැනදී ශුද්ධ වූ කුර්ආන් පාඨයක් ගෙන එන්නට කැමැත්තෙමි. එනම්,

(ඔවුන් ඉස්ලාමයෙන් බැහැරව) ජාහිලියියා (ඉස්ලාම් ප්‍රකාශ වීමට පෙර විසූ අඥාන) කාල නීති අනුවවිනිශ්චය ඔවුන් සොයන්නේද? (නමුත්) ස්ථීර විශ්වාසික ජනයාටඅල්ලාහ්ට වඩා යහපත් විනිශ්චයකාරයකු කවරකුද?

ශුද්ධ වූ කුර්ආනය 5-50

ඉහත වාක්‍යයේ සදහන් ආකාරයට සැබෑ මුස්ලීම්වරයෙකු හට අල්ලාහ් (දෙවි)ට වඩා යහපත් විනිශ්චයක් අපේක්ෂා කල හැකි කිසිවකු සිටිය හැකිද?. මුස්ලීම්වරුන්ට ගැටළුවක් ඇති වූ විට කැලෑ නීතියකට අනුව කටයුතු කරන ‘ඉස්ලාම්’ හා ‘මුස්ලීම්’ විරෝධීන්ගෙන් විනිශ්චය හා සාධාර්ණය අපේක්ෂා කිරීම ජාහිලියා (අඥාන) ක්‍රියාවක් නොවේද?. මුස්ලීම්වරුන් මධ්‍යයේ ගැටළුවක් ඇති වූ විට එය ආගමානුකූලව විසදා ගැනීමට කටයුතු කලයුතුයි. එසේ කල නොහැකි නම්, රටේ නීතියේ පිලිසරණ හෝ විද්වත් පිරිසකගේ මැදිහත්වීම අපේක්ෂා කලයුතුයි. ඒ කිසිවකින් පිලිසරණක් නොවේ නම් අල්ලාහ් (දෙවි)ට සියල්ල බාර කොට ඉවසීමෙන් කටයුතු කලයුතුයි. ඒ කිසිවක් නොකොට ඉස්ලාම් හා මුස්ලීම් විරෝධීන් හමුවට ගොස් ‘අපිට පිහිට වන්න’ යනුවෙන් ආයාචනා‍ කිරීම කොතරම් පිලිකුල් සහගත ක්‍රියාවක්ද?.

අද අප රටේ නීතිය ක්‍රියාත්මක කරවන ‘උසාවිය, පොලිසිය යනාදියට වඩා බොදු බල සේනාව ප්‍රබලයි!’ යන මතවාදයක් සමාජය තුල නිර්මාණය වෙමින් පැවතීම සැබෑවක්. එය එම සංවිධානයේ ප්‍රකාශයන් හා ක්‍රියාකලාපයන් තුලින් ද පිලිඹිබු වනවා යන්න සැබෑවක්. නමුත් ඒ අහංකාර ප්‍රබල බව ඔවුන් තුල ඇත්තේ මුස්ලීම්වරුන්ට එරෙහි ක්‍රියාකලාපයන් තුල මිස රටේ පොදු ජනතාවට නීතිය සාධාරණය ඉටු කිරීම තුල නම් නොවන බව සියළුදෙනා හොදින් දන්නා ප්‍රසිද්ධ රහසකි. එසේ තිබියදී ඔවුන්ගෙන් මුස්ලීම්වරුන් පිහිට පැතීම කොතරම් පහත් අනුවණක්කාර ක්‍රියාවක්ද?. මෙතැනදී එවැනි අනුවනක්කාර පිරිසගේ අවදානයට ශුද්ධ වූ කුර්ආනයේ අවවාදයක් එනම්, මෙවැනි අහංකාර ප්‍රබල ජන සමූහයක් අල්ලාහ් (දෙවි) විනාශ කල ආකාරය පැවසීම බුද්ධිමත් විමසුමට ගෙන එන්නට කැමැත්තෙමි.

ආද් (නමැති ජනයා) භූමියෙහි අසාධාරණයේ අහංකාර වී ‘අපට වඩාශක්තිවන්තයින් කවුරුන්ද?’යි පැවසූහ. ඔවුන්ව උත්පාදනය කළ අල්ලාහ් නියතවශයෙන්ම ඔවුන්ට වඩා බලසම්පන්නයෙකි යන්න ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? (එහෙත්) ඔවුන් අපගේ (මෙවැනි) සාධකයන්ද, (තර්ක කර) ප්‍රතික්ෂේප කරමින්ම සිටියහ.

ශුද්ධ වූ කුර්ආනය 41-15

අද අල්ලාහ් (දෙවි) හමුවේ ‘යාඅල්ලාහ් !’ යනුවෙන් දෑත් දිගු කිරීම පසෙක තබා ඉස්ලාම් හා මුස්ලීම් විරෝධීන් ප්‍රබලයන් ලෙස සලකා ඔවුන් ඉදිරියේ සාධාරණ විනිශ්චයක් ඉල්ලා වැටෙන මේ මුසල්මානුවන්ගේ ඊමානය (දේව අවනතභාවය) පිලිබදව වරක් නොව දෙවරක් සමස්ථ මුස්ලීම් සමාජය සිතා බැලිය යුතුව ඇත. ඔවුන් ලෞකික කටයුතු තුල, සැපසම්පත් තුල මුලාවෙලා නොවේද?. ඔවුන් පරලොව අමතක කොට ලෞකික දිවිය තුල මුලාවෙලා නොවේද?. ඔවුන් මරණය හා මිනීවල හමුවන තුරු මෙය අවබෝධ කර නොගනීද?. ශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් (දෙවි) පවසන දෑ කෙරෙහි ඔබේ බුද්ධිමත් අවදානය යොමු කරන්න.

(සැපසම්පත්) අධික කර ගැනීමේ තන්හාව (අල්ලාහ්ගෙන් ඈත්ව) ඔබව වෙනතකට කර දැමුවේය. ඔබ සොහොන් වල (කබ්රු) හමු වූ විට (එය කිමෙක්ද යන්න) ඔබ හොඳින් දැන ගන්නෙහුය.

ශුද්ධ වූ කුර්ආනය 102-1,2 හා 3

මේ ආකාරයට තන්හාව තුල මනස විකෘති වී ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ ඉස්ලාම් විරෝධීන්ගේ පිහිට පතන (නාමික මුස්ලීම්වරුන් නොහොත්) මුසල්මානුවන් දැන්වත් පටු අරමුණු හා තන්හාව පසෙක තබා පිය වී සිහියෙන් සිතාබැලිය යුතුය. ඔවුන් ඉස්ලාම් දහමටත්, මුස්ලීම් ජනයාටත් කල පාපයන් හා පාවාදීමන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ මුස්ලීම් සමාජයෙන් සමාව අයදිය යුතුය. ඊටත් පෙර ඔවුන් පහතින් සදහන් ශුද්ධ වූ කුර්ආන් පාඨය හොදින් වටහාගෙන කටයුතු කිරීමට පෙලඹිය යුතුය. එනම්,

විශ්වාසවන්තයිනි! (ඉස්ලාම් විරෝධි) ඔවුහු නුඹලාට හිංසා පීඩා කිරීම ස්වල්ප වශයෙන්වත් අඩු නොකරන්නෝය.නුඹලා දුක් විඳිනු දකින්නට ඔවුහු කැමැත්තෝය. ද්වේශය ඔවුන්ගේ මුවින්ම නියතවශයෙන්ම හෙළි විය. එහෙත් ඔවුන් තමන්ගේ හදවත් තුළ සඟවාගෙන ඇති දේ ඛෙහෙවින්දරුණුය. අප විසින් (ඒ පිළිබද වූ ශුද්ධ වූ කුර්ආන් පාඨ) ආයාත් නුඹලාට පැහැදිළි කරන ලද්දේය. (ඔවුන් හා සම්බන්ධකම් පැවැත්වීමේ අවදානම) නුඹලා අවබෝධ කරගන්නේ නම්.

ශුද්ධ වූ කුර්ආන් 3-118

එසේනම් ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ, දැන හෝ නොදැන මහා පාවාදීමන්ට මැදි වූ මුස්ලීම්වරුන්ට ඉහත ශුද්ධ වූ වාක්‍යයෙන් පවසන සත්‍යය අව‍බෝධ කොට ක්‍රියා කරන්න නුවණැස පෑදේවා‍ !, යන ප්‍රාර්ථනය ඇතුව, එසේම ඉහතින් සදහන් පිලිකුල්සහගත ක්‍රියාවන්ට සම්බන්ධ පිරිස් තමන් මෙතෙක් කල වරද අවබෝධ කොට ඒ වෙනුවෙන් ප්‍රසිද්ධ සමාවක් මුස්ලීම් සමාජයෙන් ගන්නා ලෙසත්, ඉස්ලාම් දහම තුලට පූර්ණ වශයෙන් ඇතුල් වන ලෙසත් ඉල්ලා සිටිමින්. එසේ ඔවුන් නොකරන්නේ නම්, ඉස්ලාම් දහමේත්, මුස්ලීම් සමාජයේත් යහපත තකා එවැනි මුසල්මානුවන් සමාජයෙන් ප්‍රතික්ෂේප කිරීමට කිසිසේත් පසුබට නොවන ලෙසත් ඉල්ලා සිටිමින්. අවසාන වශයෙන් දෙමළ භාෂා සමාජ ව්‍යවහාරයේ ඇති ‘අම්මව මරපු එකාටත් සහයට ගමේ කිහිපදෙනෙකු ඉන්නවා’ යන සම්ප්‍රදාය අනුව මේ පිලිකුල් සහගත, පහත්, ජාති ද්‍රේහි, ඉස්ලාම් විරෝධි ක්‍රියාවන් සාධාරණීකරනය කරන්නත් ඒ වෙනුවෙන් පෙනීසිටින්නත් නරුමයන් ඉදිරිපත් වීම සිදුවිය හැකි නිසා ඔවුන්ගේ මුසා බස්වලට මුලා නොවී බුද්ධිමත්ව සිටින ලෙසත් ඉල්ලා සිටිමින්. සියල්ලෙහි අවසාන තීර්ණය ඔබ සතුව පමණක්ම ඇති බව පවසා සිටිමින් මේ ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම