ඉවසිම නම් පාරමිතාව කාලීන අවශ්‍යතාවයක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ඉවසීම නම් ගුණාංගය සෑම මනුෂ්‍යයෙකු තුලම අනිවාර්‍යයෙන් ප්‍රගුණ වියයුතු යහපත් ගුණාංගයකි. මනුෂ්‍යා තම දිවිය තුල විවිධ අවස්ථාවල මුහුණපාන කරදර, හිංසා, පීඩා ඇනුම් බැනුම්, හිරිහැර අපහස, උපහස… යනාදීය හමුවේ කෝප වී අඩදඹර හෝ කලකිරීමන්ට යොමු නොවී පාලනය කරගැනීමට මේ ‘ඉවසීම’ අත්‍යඅවශ්‍ය සාධකයකි. විශේෂයෙන් අප රටේ සුළුතරය වන මුස්ලීම් ජනයාට නම්, මේ ඉවසීම නම් විෂය කාලීන වශයෙන් දැඩි අවශ්‍යතාවයක් වී ඇත. රටේ මුස්ලීම් ජනයාට එරෙහිව ජාතිවාදී පිරිස් අවි අමෝරාගෙන ඔවුන් ගැටුමකට පොළොඹවා ගන්න උත්සාහ දරමින් සිටින මේ මොහොතේ මුස්ලීම් ජනතාවගේ ‘ඉවසීම’ රටක් ලෙසත්, එහි වෙසෙන සුළු ජාතියක් ලෙසත්, ඉස්ලාම් භක්තිකයන් ලෙසත් අත්‍යඅවශ්‍ය යහගුණාංගයකි.

ශ්‍රී ලාංකීය මුස්ලීම් ජනතාවට එරෙහිව ජාතිවාදී පිරිස් හා ව්‍යාපාර හතර වටින් කුමණ්ත්‍රන දියත් කරද්දී ඒ සියල්ල හමුවේ ඉස්ලාමීය විනය තුල හිඳ ඉතා ඉවසිලීවන්තව මෙතෙක් කටයුතු කල ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට ‘යහමඟ’ ගෞරවණීය ස්තූතිය මෙහිදී පුද කරන අතර ජාතිවාදී කුමණ්ත්‍රන කරුවන්ගේ ව්‍යාපාරයන් දිනෙන් දින දැඩි වෙද්දී තවදුරටත් මෙම ‘ඉවසීම’ නම් ගුණාංගය ප්‍රගුණ කිරීම කාලීන අවශ්‍යතාවයක් වී ඇති බවද අවධාරණය කරමි.

ලොව සෑම දහමක්, දර්ශනයක් ම ‘ඉවසීම’ නම් ගුණාංගය පිලිබදව අඩු වැඩි වශයෙන් කථා කොට තිබෙනවා යන්නෙහි නම් සැක ඇත. නමුත් ඉස්ලාම් දහම හැර අනිකුත් බොහෝ දහමන් හා දර්ශනයන් හි ඉගෙන්වීම ඔවුන්ගේ ආගමික පොත්පත්වලට පමණක් සීමා වූවා මිස එයින් එම සමාජවලට කල බලපෑමක් නම් වත්මන් ලොව තුල දකින්නට නැත. මුස්ලීම්වරුන්ගේ ලෝක ඉතිහාසය හා අප රටේ ඉතිහාසය පටු කෝණවලින් හා පාට කණ්ණාඩිවලින් තොරව හොදින් විමසා බලන්නේ නම් ඉතිහාසය පුරාවට ඔවුන්ගේ මෙම විනය හොදින් දැකගත හැක. ඒ විනය ඔවුන් තුල මෙලෙස ගොඩනඟන්න ඉස්ලාම් ඔවුනට ලබාදුන් අවවාද අනුශාසනා ආදර්ශ සුළුපටු නොවේ. ඒ පිලිබදව මීට ඉහත ද ඉවසීම -ඉස්ලාම් කියාදෙන ආදර්ශ යන ලිපිය තුලින් ‘යහමඟ’ අඩවිය සාකච්චා කලාසේම අදත් එම ඉගෙන්වීමන්වලින් බිඳක් මුස්ලීම් හා මුස්ලීම් නොවන ඔබ සියළුදෙනාගේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නට කැමැත්තෙමි,

…තවද නුඹ ඔවුන් කෙරෙහි දුක් නොවවු. ඔවුන් කුමන්ත්‍රණය කරමින් සිටින දෑ පිළිබඳව නුඹ පීඩනයෙහි පසු නොවවු.
කවරෙකු බිය භක්තිකයින් හා දැහැමියන් වන්නේ ද සැබැවින්ම අල්ලාහ් ඔවුන් සමඟය.

ශුද්ධ වූ කුර්ආන් 16-127,128

ඉහත ශුද්ධ වූ වාක්‍යය මොහොතක් හොදින් විමසා බලන්න එහි මුල් කොටස වත්මන් ශ්‍රී ලාංකීය පරිසරය තුල මානසික පීඩනයට හා අවිනිශ්චිත තත්වයකට පත්ව සිටින මේ ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව දෙසා බලා අල්ලාහ් (දෙවි) පවසනවා වාගේ නොවේද?. මා ලිපිය ආරම්භයේ සදහන් කලාසේ අධික වැඩ, කරදර, හිංසා, පීඩා ඇනුම් බැනුම්, හිරිහැර අපහාස, උපහාස… යනාදී කරුණු හා අහඹු සිද්ධීන් රාශියක් නිසා මිනිස් දිවිය තුල පීඩනකාරී හෝ නොඉවසිලිවන්ත තත්වයන් ඇති වීම එතරම් ප්‍රබල කාරණයක් නොවේ. නමුත් ඉතා සැලසුම් සහගත ලෙස කුමණ්ත්‍රනකාරීව කිසියම් පීඩවක් ඇති කොට වරදකට පොළඹවා ගැනීමට උත්සාහ කිරීම ඉතා දරුණූ මෙන්ම පහත් ක්‍රියාවකි. මෙවැනි අවස්ථාවල දී තමා ඉතා බුද්ධිමත් ලෙස ක්‍රියා කලයුත්තේ. මෙවැනි අවස්ථාවල බොහෝ දෙනෙකු කරන්නේ ආවේගයෙන් කුමක් හෝ කර පසුව පසුතැවීමය. නමුත් සැබෑ මුස්ලීම්වරයෙකු හට එසේ ක්‍රියා කිරීමට ඉස්ලාම් දහම තුල අවසර නැත. බලන්න පහත ශුද්ධ වූ (හදීසය හෙවත්) මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන,

ඉවසීම තිබිය යුත්තේ ගැටුමක ආරම්භක අවස්ථාවේදීය.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි, මුස්ලිම්

කිසියම් අවාසනාවන්ත සිදුවීමක දී අද බොහෝ දෙනෙකු කරන්නේ තමන්ට හැකි සියල්ල කර අවසානයේ තවත් කරන්න කිසිවක් නැතැයි සිතෙන තැන ‘ඉවසන’ බව පැවසීමයි. තවත් සමහරු කරන්නේ විරුද්ධ වීමට ශක්තියක් ධෛර්‍යයක් නැති විට ‘ඉවසන’ බව පවසා පසුබැසීමයි. මේ අතර තවත් සමහරු කිසිදු ඉවසීමකින් තොරව කටයුතු කොට විනාශයක් සිදු වූ විට ‘මට ඉවසන්න තිබුණා’ යයි පසුතැවීමයි. නමුත් ඉහත හදීසයෙන් ඉස්ලාම් පැහැදිලිව පවසයි. ‘ඉවසීම’ යන්න කිසියම් සිද්ධියක, සිද්ධීන් මාලාවක ආරම්භයේ පටන් පැවතිය යුත්තකි. එයින් මුස්ලීම්වරුන් බියගුලුවන් ලෙස මුළුගැන්විය යුතු යන්න අදහස් නොවේ. ඔවුන් ඉවසීම ආරක්ෂා කරන අතර තුර අල්ලාහ් (දෙවි)ගේ සහය ද අපේක්ෂා කිරීම ඉස්ලාම් වේ. එය පහත ශුද්ධ වූ වාක්‍යයන් තුලින් වටහා ගත හැක.

…තවද (යහපත් මුස්ලීම්වරුන් වන) ඔවුහු කවරහු ද යත් තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඉවසු, සලාතය ස්ථාපිත කළ, අප ඔවුනට පිරිනැමූ දැයින් රහසිගතව හා ප්‍රසිද්ධියේ (යහ දෑ වෙනුවෙන්) වියදම් කළ. යහපතින් අයහපත වැලැක් වූ පිරිස වෙති. ඔවුන්මය (යහපත්) අවසන් නිවහන ලද්දන් වන්නේ.

ශුද්ධ වූ කුර්ආන් 13-22

මාගේ දුක් ගැනවිල්ල හා මාගේ ශෝකය පැමිණිලි කරන්නේ අල්ලාහ් වෙතමය. නුඹලා නොදන්නා දෑ මා අල්ලාහ්ගෙන් දැන ගන්නෙමි යැයි ඔහු පැවසුවේය.

ශුද්ධ වූ කුර්ආන් 12-86

ඔවුහු කවරහු ද යත් අල්ලාහ්ව මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් තැති ගන්නන් වෙති. තවද ඔවුන් අත්වන දෑ කෙරෙහි ඉවසා දරා ගන්නන් වෙති. තවද සලාතය ස්ථාපිත කරන්නන් ද වෙති. තවද අපි ඔවුන්ට පිරිනැමූ දැයින් වියදම් කරන්නන් ද වෙති.

ශුද්ධ වූ කුර්ආන් 22-34 හා 35

මෙවැනි ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය ගණනාවක් ගෙනහැර දැක්විය හැක. මේ සියළු වාක්‍යයන් තුලින් අල්ලාහ් (දෙවි) අවධාරනය කරන්නේ ‘ඉවසීම’ නම් යහගුණාංගය තුල ජයග්‍රහණයක් තිබෙන බව නොවේද?. එයයි මුලින්ම සදහන් කල ශුද්ධ වූ කුර්ආන් 16-128 වාක්‍යයේ අවසාන කොටසින් ද අවධාරණය කරන්නේ. එම වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) ඉවසන්නන් සමඟ සිටින බව පවසයි. අල්ලාහ් (දෙවි)ම අප සමඟ සිටින විට අප සැලෙන්නේ, පසුතැවෙන්නේ හා කම්පා වන්නේ කුමකටද?. අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ මෙසේද පවසයි.

ඉවසා දරා ගනිවු. සැබැවින්ම අල්ලාහ්ගේ පොරොන්දුව සැබෑවකි.

ශුද්ධ වූ කුර්ආනය 30-60

සත්‍යය විශ්වාස කළවුන් ඉවසීමෙන් හා සලාතය තුළින් උදව් පතවු. සැබැවින්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමගය.

ශුද්ධ වූ කුර්ආන් 2-153

ඉහත ශුද්ධ වූ ඉගෙන්වීමන් හොදින් විමසා බලන මුස්ලීම්වරයෙකු ඉවසීමට කොතරම් මුල්තැනදී ක්‍රියා කලයුතුද? යන්න තවදුරටත් අවබෝධ කරගැනීම අපහසු නොවේ. මුස්ලීම්වරුන් වන අපගේ ඉලක්කය ලෞකික සැපසම්පත් හෝ පුහු ගෞරව නම්බුනාම නොවේ. නිමාවක් නොමැති පරමාන්ත දිනයේ ජයග්‍රහණයයි. ඒ ශුද්ධ වූ අරමුණූ පෙරදැරිව කටයුතු කරන අපට මේ කුමණ්ත්‍රනකාරී හිංසා පීඩා සියල්ල විටෙක වෙස්වලාගත් ආශිර්වාදයක් මිස කම්පාවට කාරණයක් නොවේ. පහත ඉස්ලාමීය ඉගෙන්වීම මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්න,

වරක් මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී…

(සෑබෑ මුස්ලීම්වරයෙකු හෙවත්) දේව විශ්වාසවන්තයෙකුගේ ක්‍රියාවන් පුදුම සහගතය. සැබැවින්ම ඔහුගේ සියලුම කරුණු ඔහුට යහපත්ය. එය දේව විශ්වාසවන්තයෙකුට හැර වෙන කිසිවෙකුට නොවෙයි. ඔහුට යම් සතුටුදායක දෙයක් ඇති වූ විටක ඔහු (දෙවිට) කෘතවේ දී වෙයි. එවිට එය ඔහුට යහපත් වෙයි. ඔහුට යම් පීඩාදායී තත්වයක් ඇති වූ විටක ඔහු ඉවසා දරා ගනියි. එවිට එය ද ඔහුට යහපත් වෙයි.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම්

‍සහෝදරවරුණි !, ඉස්ලාම් දිව්‍යමය දහමක් යන්න ඔප්පු කිරීමට මීටත් වඩා සාක්ෂි අවශ්‍යද? මෙවැනි ඉගෙන්වීමක් ලොව කුමණ දහමක දර්ශනයකද? දකින්නට ඇත්තේද?. කල්ලි, ගෝත්‍ර හා කුලවාදී ගැටුමන් තුල ගිලීපැවතී, එසේම යුද්ධය මිස වෙන විකල්පයක් නොහදුනන මිලෙඡ්ච සමාජයක් මධ්‍යයට පහල වූ ‘ඉස්ලාම්’ දහමේ ඉගෙන්වීම සර්වකාලීන නොවේද?. බලපුලුවංකාරකමත්, වාචාලකමත්, මෝඩකමත්, ඔටුන්නක් කරගෙන ක්‍රියා කරන නූතන සමාජයේ සමහරක් පිරිසට මේ ඉස්ලාමීය ඉගෙන්වීම ආදර්ශයක් නොවේද? ඔවුනට පමණක් නොව පරමාන්ත දිනය දක්වා වූ සියල්ලටම මෙය අසමසම ආදර්ශයක් නොවේද?

අවසාන වශයෙන් මුස්ලීම් හා මුස්ලීම් නොවන පාර්ශවයන්ගෙන් විමසිය යුතු පැනයන් දෙකක් ඇත. එනම්,

  • මුස්ලීම් නොවන ඔබ ඉහත කරුණු කියවූ පසු ‘මෙවැනි ඉගෙන්වීම් අපේ ආගමේත් තියෙනවා, අපේ ආගමික පොත්පත්වලත් තියෙනවා’ යයි සිතේ නම්, ඔබ සමාජට එයින් බලපෑමක් ඇති නොවුයේ මන්ද?. ඒවා සමාජයට ආදර්ශ නොවුයේ මන්ද?. මෙය මුස්ලීම් නොවන පාර්ශවය බුද්ධිමත්ව විමසා බැලිය යුතුම කාරණයකි.
  • මුස්ලීම් ඔබෙන් ද විමසිය යුතු පැනයක් ඇත. මුස්ලීම්වරුන් වන අපේ මුඛ්‍ය අරමුණ හා ඉලක්කය මරණින් මතු උදාවන පරමාන්ත දිනයේ ජයග්‍රහණය නොවේද?. එසේනම් රටේ වත්මන් තත්වය හොදින් තේරුම්ගෙන ඉතා ඉවසිලීවන්තව ක්‍රියා කිරීම මුස්ලීම්වරුන් වන අපගේ ආගමික වගකීම නොවේද?

එසේ නම්, අවසානම වශයෙන් මුස්ලීම් සමාජයට කිවයුතු කාරණයක් ඇත. එනම්, අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ 39-10 වාක්‍යයෙන් ‘…සැබැවින්ම ඉවසිලිවන්තයින්ට ඔවුන්ගේ වේතනය ගණනයකින් තොරව පිරිනමනු ලබන්නේමය.’ යයි පවසයි. ඒ අනුව අප රටේ වත්මන් තත්වය හමුවේ ‘ඉවසීම’ යන්න ලෞකිකව මෙන්ම ලෝකොත්තර ජයග්‍රහණයන්ට හේතුවක් වෙනවා යන්නෙහි සැක නැත. ඒ මුස්ලීම්වරුන් වන අපට එරෙහිව කුමණ්ත්‍රනකරුවන් එකින් එකා අබිබවා කුමණ්ත්‍රනය කලත් කම් නැත. ඔවුන් ඕනෑතරම් කුමණ්ත්‍රනය කරපුදෙන් අප පහත ශුද්ධ වූ කුර්අන් වදනේ සදහක් ලෙස අල්ලාහ් (දෙවි)ට පමණක් බියබැතිව ඔහුගේ සහය පතා එකිනෙකා අබිබවා ඉවසමු.

විශ්වාස කළවුනි, නුඹලා (විඳ දරා) ඉවසා ගනිවු. එකිනෙකා අබිබවා ඉවසව්. ස්ථාවර ව සිටිවු. නුඹලා ජයග්‍රහණය ලබනු පිණිස අල්ලාහ්ට බියභක්තිමත් වවු.

ශුද්ධ වූ කුර්ආනය 3-200

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/26

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම