ඉවසීමෙන් හා ඥානවන්තව කටයුතු කරමු.

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ජාතිවාදී සංවිධාන හා ජාතිවාදී මතදරයන්ගේ ක්‍රියාකාරීත්වය හා එහි ප්‍රථිපලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට ඕනෑවට වඩා අත්දැකීම් ඇත. මේ නිසාම යහමග අඩවිය ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට (ලිපි ගණනාවකින්ම) පුලපුලා පවසන කාරණයක් ඇත. ඒ මේ රට තුල ක්‍රියාත්මක ජාතිවාදී සංවිධාන හා ජාතිවාදී පිරිස් තම ව්‍යාපාරය සමාජය තුල දියත් කිරීමට අවස්ථාවක් සොයමින් උකුසු ඇස යොමා වියරුවෙන් වෙහෙසෙන බවත්, විශේෂයෙන් මැතිවර්ණ සමයක් වනවිට ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ඉතා තීව්ර මට්ටමින් ක්‍රියාත්මක වන නිසා එවැනි අවස්ථාවක ඉතා බුද්ධිමත්ව ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් ක්‍රියා කලයුතු බවත්ය.

මුස්ලීම් සමාජයට එලෙස කොතරම් අවවාද කලත්, ඔවුන් කොතරම් අමිහිරි අත්දැකීම් ලබා තිබුණත් තවමත් අනුවණක්කාර ලෙස කටයුතු කරන පිරිස් ද දකින්නට ඇත. එවැනි එක් පුද්ගලයෙකු ප්‍රමාණවත් සමස්ථ ජාතියම අවාසනාවන්ත තැනකට ඇද දමන්න. එවැනි අවස්ථාවක් පිලිබදවයි අද මෙම ලිපිය තුලින් විමසා බලන්නේ.

කොරෝනාව නිසා තම ජාතිවාදී ව්‍යාපාරයන්ට අවස්ථාවක් නොමැතිව ලොකු පීඩනයකින් කොර වී සිටී එම ජාතිවාදී මතදරයන්ට හා සංවිධානවලට 2020/07/02 සම්පත් බැංකු දෙහිවල ශාකාවේ සිදුවූ සුළු සිද්ධියක් රට තුල ජාතිවාදය වැපිරවීමටත් ඒ තුලින් දේශාපාලන වාසියක් දිනාගැනීමටත් එය අවස්ථාවක් කරගෙන ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් අදාල බැංකුව නිළ නිවේදනයක් නිකුත් කිරීම සහ අදාල සිද්ධියට සම්බන්ධ වූ ගණුදෙනුකරුවන් එම දිනයෙම් එම සිද්ධිය අතහැර දැමීම සිදුකලත්, ඉහතින් සදහන් ජාතිවාදී ව්‍යාපාර හා එම මතදරයන් එය අත්හැරීමට අදටත් සූදානම් නැත. ඒ අතර මෙම ප්‍රශ්නය දුරදිග යන ආකාරයට විවිධ ප්‍රකාශයන් රටේ ප්‍රබල චරිතයන් තුලින්ද ප්‍රකාශ වීම කණගාටුවට කාරණයකි. එය කොතරම් දුරදිග ගොසින්ද යන්න පවසනවා නම්, අද වනවිට සමාජ මාධ්‍යයන් සියල්ලකම වාගේ ප්‍රධාන මාතෘකාව 2020/07/02 දින එම සිදුවීමයි. එපමණක් නොව සම+හරක් බංකලෝතු දේශපාලඥයින්ගේ මැතිවර්ණ ප්‍රචාරන කටයුතුවල අදත් ප්‍රධාන මාතෘකාව ඉහත එම සිද්ධියයි.

සම්පත් බැංකුවේ ගිණුමක් පවා නොමැතිව ‘සම්පත් බැංකුව රුකගමු’ යනුවෙන් විලාපදෙමින් සුළු සිද්ධියක් ජාතික ප්‍රශ්නයක් තරමට ගෙනයන්නට උත්සාහ කරන පුහු සමාජ ජාල කීබෝඩ් (Keyboard) වීරයන්ට සහ බංකලෝතු දේශපාලඥයින්ට අවස්ථාවක් ලබාදෙන ආකාරයට කටයුතු කල එම සිද්ධියට මැදිහත් වූ මුස්ලීම් සහෝදරයා සහා සහෝදරියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සහා මෙවැනි ක්‍රියාවන්ට යොමුවන ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවගේ අවදානයට කරුණු කිහිපයක් ගෙන ආයුතුව ඇත.

එයට ප්‍රවේශයක් ලෙස අල්කුර්ආන් පාඨයන් 02ක් සහ අල්හදීසයක් ඔබේ බුද්ධිමත් විමසුමට ප්‍රථමයෙන් ගෙන එන්නට කැමැත්තෙමි.

අර්රහ්මාන් (දෙවියන්)ගේ ගැත්තන් (කවුරුන්දයත්) ඔවුන් භූමියෙහි යටහත්ව කටයුතු කරයි. මෝඩයන් (අඥානයින්) හා තර්ක කිරීමට සිදුවුයේ නම් “සලාමය (ශාන්තිය) අත්වේවා!” යයි පවසා (එතැනින්) ඉවත් වේ”

අල්කුර්ආනය 25-63

(මුස්ලීම්වරුන්) ඔවුන් කවුරුන්දයත්, තම දෙවියන්ගේ කැමැත්ත අපේක්ෂාවෙන් (සෑම විටම) ‘ඉවසීමෙන්’ කටයුතු කරන්නෝය.”

අල්කුර්ආනය 13-22

එක්තරා අවස්ථාවක කෙනෙකු නබිතුමාණන් හමුවට පැමිණ ‘මාව ස්වර්ගයට ඇතුල් කරවන සත්ක්‍රියාවක් මට පවසන්න’ යනුවෙන් විමසූ විට නබිතුමාණන් ‘නුඹ කෝප නොවන්න! නුඹට ස්වර්ගය ඇත!’ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – තබරානි

ඉහත ඉස්ලාමීය ඉගෙන්වීමන් ශ්‍රී ලාංකීය සමාජයේ සෑම මුස්ලීම්වරයෙකුම හොදින් මතකයේ රඳවා ගතයුතුම ඉගෙන්වීමන් කිහිපයකි. එනම්,

  • අඥානයන් සමඟ තර්ක කිරීම – තමන් පවසන කාරණය කොතරම් නිවැරදි හා සාධාර්ණ වූවත්, එය තේරුම් ගැනීමේ හෝ පිලි ගැනීමේ මානසිකත්වයෙන් කිසිවකු නොමැති නම්, එවැනි අවස්ථාවල ‘ඔබට ශාන්තිය අත්වේවා’ යයි පවසා එම ස්ථානයෙන් තමන් ඉවත් වෙනවා මිස තර්ක විතර්කවලට නොයායුතුය. මෙය ඉස්ලාම් පෙන්වාදෙන මනුෂ්‍යයකු තුල තිබිය යුතු යහ ගුණාංගයකි.
  • ඉවසීමෙන් කටයුතු කිරීම – තමන් කිසියම් කාරණයක් සම්බන්ධයෙන් වාද විවාද කිරීමේදී තම ප්‍රතිවාදියා සමඟ ඉතා ඉවසීමෙන් හා ඔහුට අවශ්‍ය ගරුත්වය ලබාදෙමින් විනයක් ඇතුව විවාද කලයුතුය. එසේ නොමැතිව විලාපදී එම ස්ථානයේ සිටින පිරිසගේ අවදානය තමන් දෙසට හරවා ගැනීමත්, සාධාර්ණ අසාධාර්ණ පිලිබදව කිසිදු තැකීමක් නොකොට වාසිය තමන්ට ලැබෙන ආකාරයට විවාද කිරීමත් ඉස්ලාම් පෙන්වා නොදෙන ‘ජාහිලියත්’ (ඉස්ලාමය ප්‍රකාශ වීමට පෙර පැවති සමාජ) ගුණාංගයකි.

ඉහත කාරණා දෙක හොදින් මතකයේ රදවාගෙන දැන් ඉහත සිද්ධියට අදාල CCTV වීඩියෝව සම්බන්ධ විමසා බැලීමේ දී මාහට පැහැදිලි වන කාරණය නම්, එහි බැංකු ආරක්ෂ නිළධාරියාගේ ක්‍රියාකලාපය (සම්පත් බැංකු නිළ නිවේදනයකින් සාධාර්ණිකරනය කලත්) තුල ඔහු අතින් කිසියම් වරදක් සිදුව ඇති බවයි. එය ඔහු කුමන අරමුණින් එනම්, ජාතිවාදී අරමුණින් කලාද? නොඑසේනම් වත්මන් වසංගත අර්බුදය නිසා සත්භාවයෙන් කලාද යන්න දන්නේ ඔහු පමණි. එමනිසා ඒ සම්බන්ධයෙන් මෙතැන් සිට අපට නිගමනයකට එළඹිය නොහැක. නමුත් මෙම සිද්ධියේ දී මුස්ලීම් සහෝදර සහෝදරියන් දෙදෙනා කලයුතුව තිබුණේ ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශය අනුව ඉතා ඉවසීමෙන් අදාල බලධාරීන් එම ස්ථානයට කැඳවා විනයක් ඇතුව ඔවුන් සමඟ අදාල කාරණය සම්බන්ධයෙන් සාකච්චා කිරීමයි. එයට බැංකු පාර්ශවයන් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදෙන්නේ නම්, තවදුරටත් ඔවුන් සමඟ වාද විවාදවලට යොමු නොවී අදාල නීතිමය කටයුතුවලට යොමුවීමයි. එසේ නොමැතිව නොඉවසිලීවන්තව හා අඥානවන්ත ලෙස විලාප දී එතැන හැසිරුණු ආකාරය පිලිබදව කිසිසේත් අනුමත කල නොහැක.

ඉස්ලාමය පෙන්වාදෙන ආදර්ශයන්ගෙන් බැහැරව වැරදි ක්‍රමවේදයන් අනුගමනය කිරීම නිසා අද එම ක්‍රියාව සමස්ථ මුස්ලීම් ප්‍රජාවටම කැලැලක් තර්ජනයක් වන තැනට ගෙනයමින් ඇත. එපමණක් නොව එම සහෝදරියට සාධාර්ණයක් ඉටුවිය යුතුව තිබුණත්, එතැනදී ඇයගේ ක්‍රියාව වැරදි ක්‍රියාවක් ලෙසත්, අසාධාර්ණව කටයුතු කල එම ආරක්ෂ නිළධාරියා ජාතික විරයෙකු යන තැනටත්, අදාල බැංකුව සිංහලයන්ගේ බැංකුව යන තැනටත් සමාජ මාධ්‍යයන් තුල තීන්දු ලබාදෙමින් ඒ තුල ඔවුන් ප්‍රිතිමත් වන්නේ අල්ලාහ් (දෙවි) 3-120 හි පවසන ආකාරයට වීම බුද්ධිමත් මුස්ලීම් සමාජය තේරුම් ගතයුතුව ඇත. එනම්,

විශ්වාසවන්තයණි! (මුස්ලීම්වරුනි) නුඹලාට කුමක් හෝ යහපතක් පැමිණියේ නම්, ප්‍රතික්ෂේප කරන්නන් (ඉස්ලාම් විරෝධීන්) හට එය දුකක් ගෙනදෙන්නේය. නුඹලාට අයහපතක් සිදුවන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන්නන් හට සතුට ගෙනදෙන්නේය. නුඹලා (ඔවුන් සම්බන්ධයෙන්) ඉවසීමෙන් හා දෙවියන්ට අවනතව කටයුතු කලේනම් ඔවුන්ගේ කුමණ්ත්‍රන මඟින් නුඹලාට කිසිදු අයහපතක් සිදුකිරීමට ඔවුන් හට නොහැකි වනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් හොදින් නිරීක්ෂණය කරන්නේය.

අල්කුර්ආනය 3-120

අවසාන වශයෙන් කිවයුතු කාරණය නම්, සම්පත් බැංකුව යනු ඉස්ලාමීය නීති-රීති රකින බැංකුවක් හෝ මුස්ලීම්වරුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට බැදීසිටින බැංකුවක් හෝ නොවේ. එයත් අප රටේ පවතින අනිකුත් බැංකු පද්ධතීන් මෙන්ම (ඉස්ලාම් මහා පාපයක් ලෙස පවසන) පොලිය මත යැපෙන තවත් ව්‍යාපාරයක් පමණි. එහි ගිණුම් ආරම්භ කිරීමත්, පවතින ගිණූම් අවලංගු කිරීමත් ඒ ඒ පුද්ගල අභිමතය පදනම්ව සිදුවිය යුත්තක් මිස එයට ඉහත සිද්ධිය පදනම් කරගැනීම වියරුවක් මිස සාධාර්ණ ක්‍රමවේදයක් නොවන බව මෙහි දැඩිව අවධාරණය කලයුතුය. එසේම මෙම සිද්ධිය හා එයට දක්වන බහුතර ප්‍රතිචාරයන් තුල මේ රටේ පවතින් සමාජ තත්වය හා එහි බහුතරයගේ සිතුම් පැතුම් කවර ආකාරයේ ද යන්න හොදින් තේරුම් ගතයුතුය. මේ සියළු තත්වයන් හොදින් අවබෝධ කොටගෙන බුද්ධිමත්ව හා ඉවසීමෙන් ක්‍රියා කිරීම මුස්ලීම් සමාජයේ කාලීන වගකීමක් වන අතර ඒ සදහා මුස්ලීම් සමාජයට නුවණැස පෑදේවා! යන ප්‍රාර්ථනයෙන් මෙම ලිපිය අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/3

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම