ඉස්ලාමයට කැපයි බුදු දහමට නම් අකැපයි ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


මෙහි මාතෘකව දුටු සැණින් මේක බුදු දහමට එරෙහිව කථා කරන ලිපියක් යැයි සමහර විටෙක ඔබට සිතෙනු ඇත. නමුත් මෙම මාතෘකාව තුලින් යහමග අඩවිය සාකච්චා කිරීමට යන්නේ බුදු දහම ගැන නම් නොවේ. කථාව බුදු දහම ගැන නොවුවත් මෙම ලිපිය තුලින් කථා කරන කාරණයන් බෞද්ධ සමාජයේ දැඩි අවධානයට යොමු වියයුතු යන්න මාගේ බලාපොරොත්තුවයි. එම සාකච්චාවට අවතීරණය වීම පිණිස මෙහිදී ඌනපූරණයක් ලෙස,

  • පසුගිය දින කිහිපය මුළුල්ලේ ඉස්ලාමීය ලෝකයේ ආන්දෝලනාත්මක මාතෘකාව වූ ‘මුහම්මද් (සල්) තුමාණන්ට අපහස කරන ආකාරයට නිර්මාණය කල චිත්‍රපටයක්‘ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජය දැක්වූ ප්‍රතිචාරත්,
  • පසුගිය දිනවල ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයට අන්තර්ජාලය තුල උණුසුම් මාතෘකාවක් වූ ‘බුදු දහමට නිගා කරන බ්ලොග් තහනම් කරන්නයි පැමිණිල්ලක්‘ යන කාරණා දෙක පදනම් කර ගනිමි.

මුහම්මද් (සල්) තුමාණන් අපහස වන ආකාරයට නිර්මාණය කල ඉහත සදහන් චිත්‍රපටයට එරෙහිව ලෝකය පුරා දියත් වූ මුස්ලීම්වරුන්ගේ විරෝධතා ව්‍යාපාරයන් හමුවේ අප රටේ සමහරක් බ්ලොග්කරුවන්ට ද එය උණුසුම් මාතෘකාවක් විය. ඉස්ලාමීය ලෝකයේ මෙම කැලඹීම වෙනුවෙන් කිඹුල් කඳුලු සැලූ ඔවුන්ගෙන් සමහරක් වෙබ් අඩවි තම ශෝකය ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට ප්‍රකාශ කර සිටියේ ඉහත සදහන් චිත්‍රපටයට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදෙන ආකාරයට එය නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකීය ජනතාවට තම බ්ලොග් හරහා වඩාත් පහසු කරවමිනි. ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනතාව එම වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කරගන්නා ලෙස ආයාචනා කරන විට අප රටේ ජාතිවාදීන්, ඉස්ලාම් විරෝධීන් හා ආගමික අසමගිය ගොඩනඟන්න කටයුතු කරන පිරිස් ඉහත වීඩියෝව තම බ්ලොග්ය හරහා නැරඹීමට අවස්ථාව සලසා දුන්නා පමණක් නොව ඒ සදහා ‘පාඨක ප්‍රතිචාර‘ (comments) අවස්ථාවද විවෘත කොට එම අදහස් සදහා මනාප (Rank) කිරීමේ අවස්ථාව ද සලසා දී ඒ තුලින් අති විශාල ඉස්ලාම් විරෝධි හා මුස්ලීම් විරෝධි මෙන්ම ජාතිවාදී පාඨක අදහස් ප්‍රමාණයක් ගොඩගසමින් හා එම අදහස් සදහා ධනාත්මක ප්‍රතිචාර (Rank) සිය ගණනින් ගොඩගසමින් බ්ලොග්කරුවන් හා එහි ප්‍රතිචාර සටහන් යෙදූ පිරිස් කාලකන්නි සතුටක්, වින්දනයක් ලැබුවේය.

මෙතැන දී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, මෙවැනි ඉස්ලාම් විරෝධී චිත්‍රපට, පිංතූර හෝ ලිපි ලෝකය තුල ඉදිරිපත් වීම අලුත් කාරණයක් නොවන අතර ඒවාට අප රටේ බ්ලොග් කාක්කන් ඉහත ආකාරයට ආවඩන පලමු අවස්ථාව ද මෙය නොවේ යන්නයි. මෙම තත්වය මෑත කාලීනව ශ්‍රී ලාංකීය සමාජය තුල වර්ධනය වෙමින් තිබෙන තත්වයකි. මෙතැනදී සදහන් කලයුතුම තවත් කාරණයක් ද ඇත. ඒ ඉහත ආකාරයට අප රට තුල ඉස්ලාම් විරෝධී ව්‍යාපාර දියත් වන අවස්ථාවල ජාති, ආගම් භේද නොතකා සාධාර්ණය වෙනුවෙන් නැඟී සිට හඬ නඟන, රටේ සුළු ජාතින් වන අපට සහය පල කරන පිරිස් ද සහෝදර සමාජය තුල නැතුවා නොවේ. අප රට තුලම ඉස්ලාම් හා මුස්ලීම් විරෝධි ව්‍යාපාරයන් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින මේ වකවානුවේ මෙවැනි අවංක පිරිසක් මේ රට තුල සිටිනවා යන්න මුස්ලීම්වරුන් වශයෙන් මෙතැන දී මතක් කරන්නේ හඳපිරි සතුටින් හා ගෞරවයෙනි. එවැනි එක් අවස්ථාවක් ලෙස සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කරන කඹුරුගමුවේ වජිර හිමියන් වහන්සේ සිදුකල පහත අනුශාසනාව මෙහි සදහන් කල හැක.

ඉහත වීඩියෝ සමස්ථ ජාතියේ බුද්ධිමත් අවධානයට යොමු කරන ගමන් නැවතත් මාතෘකාවට යොමු වන්නේ නම්,

පසුගිය දිනවල ඉස්ලාමීය ලෝකය තුල නිර්මාණය වූ ඉහත අවාසනාවන්ත තත්වයන් තුල කාලකන්නි සතුටක් වින්දනයක් ලැබූ අප රටේ බ්ලොග් කාක්කන්ගෙන් මෙතැනදී පැනයක් විමසන්නට කැමැත්තෙමි. ඒ ජාත්‍යන්තරය තුල අපහසයට ලක්වන එකම දහම ඉස්ලාම් යයි සිතා තම බ්ලොග්වල පිටු ගණන් වෙන්කරන මෙම බ්ලොග්කරුවන් (කාක්කන්)ට හෙට දවසේ බුදු දහම එරෙහිව මෙවැනි මඩ ව්‍යාපාර දියත් නොවේ යන්නට ඇති සහතිකය කුමක්ද? යන්නයි. අද ඇමරිකානුවෙකු විසින් දියත් කරන ලද මෙම ඉස්ලාම් විරෝධි ව්‍යාපාරයට ආවඩන ඔබ හෙට දවසේ එවැනි බෞද්ධ විරෝධි ව්‍යාපාරයක් දියත් වුයේ නම් එයට එරෙහි වන්නේත් මේ ආකාරයටමද?. එදාට ඔබ ඉස්ලාම් දහම නම් කැපයි බුදු දහම නම් අකැපයි යනුවෙන් පවසනවාද?. මෙසේ මා ප්‍රශ්න නැඟීමට සාධාර්ණ වූ හේතු බොහෝමයක් ඇත. නිදසුනක් සහිතව පවසනවා නම්,

ඉහතින් මා සදහන් කලාසේ මෑත කාලීනව ශ්‍රී ලාංකීය සමාජය තුල ඉස්ලාම් දහම සෘජුවම හා ඉතා පහත් අන්දමින් එසේම මිත්‍යා කරුණූ පදනම් කරගෙන විවේචනය කිරීම හා අපහස කිරීම සුලභ දසුනකි. අද වන විට එවැනි බ්ලොග් හා වෙබ් අඩවීන් (යහමග නෙත ගැටුනු අඩවීන්) 20 කටත් අධික ප්‍රමාණයක් සිංහල භාෂාවෙන් අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වෙමින් ඇත. මීට අමතරව මුස්ලීම් සමාජය ඉලක්ක කරගෙන ක්‍රමන්ත්‍රණකාරී ලෙස ක්‍රියාත්මක වන වෙබ් හා බ්ලොග් අඩවීන් විශාල සංඛ්‍යාවක් ද ඇත. රටේ බලධාරීන් හා වගකිවයුතු ආගමික නායකයන් මේ සියල්ල ඉදිරියේ මුනිවත රුකී.

ඉස්ලාම් දහම සහ ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය සම්බන්ධයෙන් සමාජ බහුතර ප්‍රතිචාරය එසේ වූවත් බුදුදහම සම්බන්ධයෙන් ප්‍රතිචාරය එසේ නොවේ. බුදු දහමට එරෙහිව ක්‍රියාත්මක එක්තරා බ්ලොග් අඩවියකට එරෙහිව බුදු දහම නිගා කරන බ්ලොග් අඩවිය තහනම් කරන්න යැයි පවසමින් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ස්වාමින් වහන්සේ නමක් වන හෑගොඩ විපස්සි හිමියන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ බෞද්ධයන් අනිකුත් ආගම් අපහසයට ලක්කිරීම කැපයි නමුත් ඔබලාට එය අකැපයි යනුවෙන් කියාපනාන්නක් සේය. ආගමක් හෝ දර්ශනයක් සම්බන්ධ බුද්ධීමත් තර්ක විතර්ක ඉදිරිපත් කිරීම හා සංවාද කිරීම වරදක් නොවේ. නමුත් ආගමික ඉගෙන්වීම් අපහසයට හා උපහසයට ලක්කිරීම නොකලයුත්තක් යන්න යහමග අඩවිය ස්ථාවරයයි. ජාතික සමඟිය සහ ආගමික සමඟිය ආරක්ෂා කිරීම පිණිස මෙවැනි කටයුතු නීතිය තුලින් වැලැක්විය යුතු යන්නත් යහමග අඩවිය ස්ථාවරයයි. එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් ඉහතින් සදහන් පැමිණිල්ලේ අන්තර්ගය මොහොතක් විමසා බලන්නේ නම්,

බුදු දහමට නිගා කරන බ්ලොග් අඩවිය තහනම් කරන්නයි පැමිණිල්ලක්

  • ඉන්දියාවේ මයිසුර්හි ශ්‍රවන බෙල්ගොලාහි තිබෙන ජෙයින සාදුවරයන්ගේ ගලින් නෙලූමහා ප්‍රතිමාව බුදුරජාණන්ගේ රූපකාය ලෙස දැක්වීම
  • බුදුරදුන්ට නිග්‍රහ වන සේනිර්වස්ත්‍ර කාන්තා රුපයක් දැක්වීම
  • භික්ෂුන් වහන්සේලාට අපහස වන විවිධ අසභ්‍ය දර්ශන දැක්වීම
  • සිංහල බෞද්ධ ජනතාව විසින් මිනීමැරුම් වංචා දුෂණ කලයි අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීම
  • ලෝකයේ විවධ රටවල කල ම්ලේච්ජ ක්‍රියා සිංහල බෞද්ධ ජනතාවගේ ක්‍රියා ලෙස හුවා දැක්වීම.

ඉහතින් අවධාරණ කලාසේ මෙම ලිපිය තුලින් විපස්සි හිමියන් පොලිස්පතිවරයාගේ අවධානයට ගෙන එන කාරණය පිලිබදව ‘යහමග’ අඩවියට විරුද්ධ මතයක් නැත. මන්ද රටක ජාතීන් අතර සමඟියක් ගොඩනැඟීමට නම් ඔවුන් අතර අවබෝධයක් මෙන්ම මතවාද ගරු කිරීමක් පැවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි. එම තත්වය විකෘති කිරීමට කිසියම් පාර්ශවයක් ක්‍රියා කරන්නේ නම් එයට එරෙහිව නීතිමය පියවර ගැනීම නිවරුදි හා අගය කලයුතු ක්‍රියා මාර්ගයකි. නමුත් එය කිසියම් ජාතියකට හෝ ආගමකට පමණක් සීමා වූ කාරණයක් නොවිය යුතුය. ඉහතින් මා සදහන් කලාසේ අද අප රටේ සෘජුවම ඉස්ලාම් දහමට හා මුස්ලීම් සමාජයට නිගා කරන වෙබ් (හා බ්ලොග්) අඩවි විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙමින් ඇත. මේවා මෙහෙයවන බහුතරයක් බෞද්ධයන් වන අතර ප්‍රසිද්ධ දේශපාලඥයින් ද ඒ අතර ඇත. මොවුන්ගේ ක්‍රියා කලාපය තුල ඉහත ලිපිය තුලින් විපස්සි හිමියන් අවධාරණය කරන,

  • අසත්‍ය තොරතුරු,
  • සත්‍ය විකෘති කොට ඉදිරිපත් කිරීම,
  • මිත්‍යා ප්‍රහාර…

යනාදී කාරණා ඉස්ලාම් දහම සම්බන්ධයෙන් ද අඩුවක් නොමැතිව මේ සමාජය තුල සිදුවෙමින් ඇත. විශේෂයෙන් ඉහත ලිපිය තුලින් දක්වන අවසාන කරුණූ 03 සම්බන්ධයෙන් ද අමු අමුවේ උල්ලංඝනය වෙමින් ඇත. මෙයට සරල හා සමීපතම නිදසුන් දෙකක් ගෙන එන්නේ නම්,

බුදු දහමට හෝ බෞද්ධ සමාජයට එරෙහිව දියත් වන මිත්‍යා ප්‍රහාරයන්ට ‍එරෙහි නැඟීසිටීමට සෑම බෞද්ධයෙකුටම අයිතිය තිබෙනවා සේම ඒ බෞද්ධයන් අතින් රටේ සුළු ආගම්වලට එරෙහිව දියත්වන මිත්‍යා ප්‍රහාරවලට එරෙහිව නැඟීසිටීමේ යුතුකමක්ද බෞද්ධයන්ට තිබෙනවා යන්න මාගේ පිලිගැනීමයි. මෙම තත්වය අවබෝධ කරගත් සුළු පිරිසක් හෝ අන්තර්ජාලය තුල තවමත් සිටිනවා යන්නත්, මෙහි සදහන් කලයුතු කාරණයකි. එසේම ඔවුනට හැකි පමණීන් මෙවැනි තත්වයන් වෙනස් කිරීමට යම් යම් ක්‍රියාමාර්ගයන් ගනිමින් සිටිනවා යන්නත් මෙහි සදහන් කලයුතුම කාරණයකි. එයට එක් නිදසුනක් ලෙස යහමග අඩවියට පාඨක නිර්මාණ ලෙස ඉදිරිපත් වූ ‘මිත්‍යා ප්‍රහාර‘ යන ලිපිය මෙහි සදහන් කලහැක. නමුත් ඉස්ලාම් දහමටත් මුස්ලීම් සමාජයටත් එරෙහිව අප රට තුල මේ වනවිට දියත් වෙමින් පවතින මිත්‍යා ප්‍රහාරයන් හමුවේ මේ උත්සාහයන් සියල්ල සැලකිය යුතු තරම් නම් නොවේ. හෑගොඩ විපස්සි හිමි යනු අප රටේ සමාජීය අවබෝධයෙන් හා සමාජ යහපත උදෙසා ක්‍රියා කරන ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේගේ අවධානයට බුදු දහමට නිගා කරන පිරිස හසුවූ ආකාරයටම අනිකුත් ආගම්වලට නිගා කරන බෞද්ධ පිරිස් ද හසුවිය යුතුයි යන්න 'යහමග' පැතුමයි.

මෙතැනදී මා බෞද්ධ විරෝධී ව්‍යාපාරයන් නොසලකා හැරිය යුතු බව කිසිවිටෙක නොපවසමි. මා පවසන්නනට උත්මුසාහ කරන්නේ බුදුදහමට සාපේකෂව ඉස්ලාම් දහමට හා මුස්ලීම් සමාජයට එරෙහිව බෞද්ධ සමාජයේ ක්‍රියාකාරකම් උග්‍ර තත්වයක පවතිනවා යන්නයි. මෙවැනි තත්වයන් හමුවේ මේවා සියල්ල බෞද්ධයන්ට කැපයි නුඹලාට අකැපයි යයි පැවසිය නොහැක. තවත් සරලව පවසනවා නම්, බුදුදහමට එරෙහිව කිසියම් පාර්ශවයක් ක්‍රියා කරන විට එයට එරෙහිව නැඟීසිටින බෞද්ධයන් තවත් දහමකට එරෙහිව බෞද්ධ සමාජයේම කොටසක් ක්‍රියා කරන විට එයට ද එරෙහිව නැඟීසිටිය යුතුය. මෙය බෞද්ධ ඉගෙන්වීම යන්නත් මාගේ විශ්වාස යයි. නමුත් අවාසනාවකට ඉහතින් සදහන් බ්ලොග් කාක්කන්ට නම්, මේ කිසිවක් පිලිබදව කිසිදු තැකීමක් නැත. මේ බ්ලොග්කරුවන්ගේ ක්‍රියා කලාපය පිලිබදව බෞද්ධ සමාජයට ද කිසිදු අවබෝධයක් නැත. මේ හේතුව නිසා අද අප රටේ බෞද්ධ සමාජයේ සැලකිය යුතු පිරිසක් මෙවැනි බ්ලොග් කාක්කන් පසුපස යමින් සහ එම පහත් ක්‍රියාවන් තුලින් මේ දීපය ධර්මදීපයක් කිරීමට සිහින දකී. නමුත් ඒ පාර්ශවයන් කොතරම් පටු අරමුණූවල හා න්‍යායපත්‍රයන් තුල ක්‍රියා කරනවාද? යන්න බුද්ධීමත් සමාජය පැහැදිලිව දකිති. නමුත් අවාසනාවකට ඔවුන් සුළුතරයකි.

අවසාන වශයෙන් කරුණූ කිහිපයක් ඔබේ අවධානයට තබමින් මෙම ලිපිය අවසන් කිරීමට අදහස් කරමි.

මේ දේශය ‘බුදුන්ගේ දේශය’ යයි පවසා ගනිමින් රටේ සුළු ජාතීන් ගරහන ඉහත බ්ලොග් කාක්කන් හට බෞද්ධ ඉගෙන්වීම කුමක්ද? බුදුන්ගේ මඟපෙන්වීම කුමක්ද? යන්න පිලිබදව කිසිදු තැකීමක් නැත යන්න මාගේ මූලික චෝදනාවයි. මා එසේ පවසන්නට හේතූ ගණනාවක් ඇත. විශේෂයෙන් රටක ජාතිය හෝ කුලය යන්න දහමක මහිමය තීරණය කලහැකි කාරණයක් නොවේ යන්න බෙද්ධ ඉගෙන්වීමයි. එපමණක් නොව තවත් දහමක් දර්ශනයක් ගැරහීම හෝ නිගා කිරීම තුලින් ලබාගත හැකි විමුක්තියක් බුදු දහම ඇතුළු කිසිදු දහමක් ලෝකයාට දේශනා කොට ද නැත යන්න මාගේ විශ්වාසයයි. එසේ තිබිය දී අප රටේ සම+හරක් පිරිස් මේ ද්වීපය ‘ධර්ම ද්වීපය’ හෝ ‘බුදුන්ගේ දේශය’ කරන්නට යන්නේ ඉහතින් සදහන් කල විශ්මිතයන් පාමින්ද?.

මෙහි හාස්‍ය ජනකම කාරණය එය නොවේ. බුදු දහම හා බෞද්ධ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින බව පවසා ගන්නා එසේම ඉහතින් සදහන් ඉස්ලාම් විරෝධි එම වීඩියෝ පටය පදනම් කරගෙන පිටු ගණන් ලියූ හා ලියන මේ බ්ලොග්කරුවන් මේ වන විටත් ජාත්‍යන්තරයේ දියත් වූ බෞද්ධ විරෝධි ව්‍යාපාරයන් සදහා තම බ්ලොග් හෝ වෙබ් අඩවි තුල පිටූ කීයක් නම් වෙන්කොට තිබෙනවාද?. යන්නයි. මෙහි තවත් හාස්‍ය ජනකම කාරණය වන්නේ ඉස්ලාම් විරෝධි ඉහත වීඩියෝවට හුරේ… කියමින් ආවඩන මෙම පිරිසට ඇමරිකාවේ එක්තරා පාවහන් කර්මාන්ත ශාලාවක බුදු දහමට නිගා වන ආකාරයට නිෂ්පාදනය කල පාවහනක් පිලිබදව ලෝකයාම කථා කරද්දී ‍මේ කාක්කන් ඒ පිලිබදව කිසිදු වචනයක් කථා නොකිරීමයි. එපමණක් නොව පහත පිංතූර දෙස බලන්න.

ඉහත පිංතූර තුල දැක්වෙන්නේ මීට කලකට ඉහත ලන්ඩන් වෙළද පොලේ අලෙවියට තබා තිබූ ඉටිපන්දම් විශේෂයක්. ලොවපුරා ශාඛා පිහිටුවා ගෙන යන ‘බුද්ධා බාර්’, ගැහැණූ හා පිරිමි යට ඇදුමට බුද්ධ රූප මූද්‍රණය කිරීම, බුද්ධ රූපය මුද්‍රිත ඇමරිකාවේ නිෂ්පාදිත පාවහන් හා පසුගිය දිනවල ප්‍රංශයේ අසභ්‍ය පුවත් සඟරාවක් බුද්ධ රූපය උපයෝගි කරගෙන බුදු දහමට නිගා වන ආකාරයට නිර්මාණ එලි දක්වා ඇති ආකාරයයි. (මෙහි සදහන් කොට ඇත්තේ කිහිපයක් පමණි) මේවා පිලිබදව ඉහත බ්ලොග්කරුවන් තම බ්ලොග් තුල කුමක් හෝ කථා කොට තිබෙනවාද?. මෙවැනි ක්‍රියාවන් ‘යහමග’ අඩවිය එදා පටන් හෙලාදැක ඇත. (ඉහත පිංතූර පවා එම ලිපිවලින් උපුටාගත් ඒවාය) නමුත් බුදුන්ගේ දේශය නිර්මාණය කරන්නට උත්සාහ කරන බ්ලොග් කාක්කන් මෙම යුතුකම තම දහම වෙනුවෙන් කොතෙක් දුරකට ඉටුකොට තිබෙනවාද? යන්න බුද්ධීමත් බෞද්ධ සමාජය විමසා බැලිය යුතුය. ඒ කිසිවක් පිලිබදව කිසිදු තැකීමක් නොකොට ‘පොඩි එකාගේ රචනාව‘ මෙන් එසේත් නැත්නම් ‘සෙක්කුවේ බැදි ගොනා‘ මෙන් ඉස්ලාම් විරෝධි ව්‍යාපාරයන් සමාජය තුල නිර්මාණය කරමින්, ඒවාට ආවඩමින් හා එයට එරෙහිව මිත්‍යා ප්‍රහාර දියත් කරමින් තව තවත් කුණූ කන්දල් සොයමින් සැරිසරන බ්ලොග් කාක්කන්, තම මෙහෙවර ‘බුදු දහම හා බෞද්ධ අයිතීන් වෙනුවෙන්’ යයි බෝඩ් ලෑල්ලක් යොදා ගැනීමෙන් පමණක් එය සැබෑ බෞද්ධත්වයක් හෝ නොඑසේ නම් එය නිර්මල බුදුදහමක ඉගෙන්වීමක් බවට පත්වේද? යන්න ඉහතින් සදහන් කාක්කන් නොව බුද්ධිමත් බෞද්ධ සමාජය තීන්දු කලයුතුය.

- අබූ අර්ශද් - (2012-10-06)

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/05/31

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම