ඉස්ලාම් පවසන උපවාසය පිළිබදව විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


උපවාසය
උපවාසය

ඉස්ලාමීය දින දර්ශනයට අනුව මාසය නිර්ණය කරන්නේ හද මූලික කරගෙනය. ඒ අනුව නව හද දැකීමෙන් මාසය ඇරඹේ. ඉස්ලාමීය දින දර්ශනයට අනුව ද වර්ෂයට මාස 12 ක් වන අතර එය දින 29 හෝ දින 30ක් (දින 28 හා 31 යන්න නැත) ලෙස වේ. මේ ඉස්ලාමීය දින දර්ශනය අනුව 09 වන මාසය “රමලාන්” මාසය යනුවෙන් හැදින්වේ. මෙම රමලාන් මාසය මුස්ලිම්වරුන්ට විශේෂ වූ මාසයක් වේ. එහි සුවිශේෂත්වය පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ 2-185 වන වාක්‍ය යෙන් අල්ලාහ් (දෙවියන්) විසින් මෙසේ පවසයි.

“මානවයාට නිවැරදි මග පෙන්වන්නා වූ අල්කුර්ආනය අනාවරණය කරනු ලැබූවේ රමලාන් මාසයේ (පටන්)ය.”

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අනුව ඉස්ලාම් භක්තිකයන්ගේ ආගමික මූලාශ්‍රය මෙන්ම ශුද්ධ වූ ග්‍රන්ථය වන “කුර්ආනය” පහලවීම ඇරඹුණේ මෙම රමලාන් මාසයේදී යන්න පැහැදිලි වේ. ඒ අනුව මෙම මාසය කෙරෙහි දැඩි ඇල්මක්, ආකර්ශනයක්, හා ගෞරවයක් මුස්ලිම් ප්‍රජාවගේ හදවත් තුල ඇත. එපමණක් නොව අල්ලාහ් (දෙවියන්)ගේ ආදරය කරුණාව මෙන්ම බොහෝ කුසල් රැස්කල හැකි බව අවධාරනය කරන උපවාසය ඉටුකිරීමට නියමිතව ඇත්තේ ද මෙම මාසයේදීමය. ඒ අනුව මෙම මාසය මුස්ලිම්වරුන් හට විශාල වූ භාග්‍යයන් පිරී මාසයක් ලෙස දෙවියන් හදුන්වදෙයි. එය මෙම මාසයේ මහිමය තවත් ඉහලින් විදහාපාන්නකි.

ඉස්ලාමීය බොහෝ වත්පිලිවෙත් දෙස බලන විට විශේෂයෙන් වන්දනාමාන කිරීම, (දිළිදු ජනයා සදහා කරන පරිත්‍යාග) සදකා හා (අනිවාර්‍ය බද්ධ) සකාත් දීම, හජ් වන්දනය ඉටුකිරී, පස්වේල සලාතය ඉටුකිරී… යනා දී කාරණයන් සැලකූ විට එම වගකීමන් දෙවියන් වෙනුවෙන් ඉටුකල ද සමාජයට ද පැහැදිලිව දකින්න ලැබෙන ක්‍රියාවන් වේ. මෙම ක්‍රියාවන් කුමන චේතනාවෙන් සිදුකල ද ඉන් සමාජයෙන් කිසියම් ගෞරවයක් දිනාගැනීමට හැකිවනු ඇත. නමුත් උපවාසය එසේ නොවේ. එය දන්නේ උපවාසයේ නිරතවන්නා සහා අල්ලාහ් (දෙවියන්) පමණි. කිසියම් කෙනෙකුහට අවශ්‍ය නම් උපවසයේ නිරත නොවී උපවාසයේ නරත වන බව පවසමින් සමාජය රැවටිය හැක. නමුත් දෙවියන් ඉදිරියේ එසේ කල නොහැක. එපමණක් නොව උපවාසයේ නිරතවන විට දැනෙන දැඩි පිපාසය ඉස්ලාම් භක්තිකයන් විසින් දෙවියන් වෙනුවෙන් සතුටින් විදදරා ගන්නෙමු. උපවාසයේ නිරතව සිටිය දී පවා දිනකට කිහිපවිටක් (විශේෂයෙන් පස්වේල සලාතයට පෙර වුළු කිරීම සදහා) අප ජලය ගෙන මුව සොදන්නෙමු. එම ජලය හා අපගේ උපවාසය අතර පරතරය මොහොතක් බුද්ධිමත්ව සිතා බලන්න. අවශ්‍ය නම් මුළු ලෝකයටම රහසින් එය ගිලදැමිය හැක. නමුත් එසේ නොකොට අවසාන බින්දුව දක්වා මුවින් බැහැර කරන්නේමු. මේ සියල්ල කුමක් සදහාද?. ඒ මෙම රමලාන් මාසයේ දෙවියන් ලබාදෙන භාග්‍යයන් දිනාගැනීමට මිස අන්කිසිවකටත් නොවේ. මෙම රමලාන් මාසයේ ඉටුකරන උපවාසය වෙනුවෙන් දෙවියන් ලබාදෙන භාග්‍යය සුළුපටු නොවේ. මෙම රමලාන් මාසය තුල සුවිශේෂි දිනයක් අල්ලාහ් (දෙවියන්) විසින් නිර්මණය කර දී ඇත. එය සැඟවුණු දිනයක් ලෙස පවතින් අතර එම දිනයෙහි කරනු ලබන කුසල් මාස 1000 ක් අඛන්ඩව ඉටුකලාට සමාන බව ශුද්ධ වූ කුර්ආනයේ 97-1 සිට 3 දක්වා වාක්‍යය මගින් මෙසේ පවසයි.

“නියත වශයෙන්ම මෙය (කුර්ආනය) උතුම් වූ (‘ලෙයිලතුල් කද්ර්’ නම්) රාත්‍රියෙහි පහල කලෙමු (1). තවද උතුම් වූ ඒ රාත්‍රිය කුමක්ද යයි ඔබ දන්නෙහිද? (2). එය (එම රාත්‍රිය) මාස 1000 කට වඩා ඉතා උසස් වේ (3).”

මෙවන් වූ භාග්‍යයන් පිරි මෙම රමලාන් මාසයේ උපවාසයේ නිරත වී සත්ක්‍රියාවල නිරතවන්නන් පිලිබදව අල්ලාහ් (දෙවියන්) පැවසූ බවට මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසයි.

“කවරෙක් රමලාන් මාසයේ විශ්වාසයෙන්, බියබැතියෙන් හා යහපතක් අපේක්ෂාවන්ගෙන් යුක්තව උපවාසයේ නිරත වී (මේ දක්වා) කල පාපයන් වෙනුවෙන් දෙවියන්ගෙන් සමාව අයදින්නේ ද ඔහුගේ පෙර පාපයන් සමාකරන්නේය. තවදුරටත් පවසන දෙවියන් ‘උපවාසය හැර, ආදම්ගේ දරුවා (වන මුළු මිනිස් සමාජයම) කරන සියළු ක්‍රියාවන් ඔහුටම අයත් ඒවා වේ. ඒවාට කුසල් 10 සිට 700 දක්වා ලබාදෙනු ඇත. නමුත් උපවාසය මාහට අයත් එකකි. එයට කුලීදීම සිදුකරන්නේ මා (දෙවියන්) විසින්මය. මන්ද ඔහු තම හැඟීම් පාලනය කොට, ආහාර පාන සියල්ලෙන්ම මා වෙනුවෙන්ම වැලකී සිටින බැවිණි. තවදුරටත් පවසන දෙවියන් (උපවාසයේ නිරතවන) ඔහුට ජීවිතයේ සතුටුමත් අවස්ථා දෙකක් ඇත. එකක් ඔහු උපවාසයෙන් මිදෙන සතුට අනික විනිශ්චය දිනයේ දෙවියන් දකින සතුට’ යයි ද පවසන ලදී.”

මෙවන් උතුම් වූ උපවාසය පිලිබදව මෙම යහමග අඩවිය ඔස්සේ කථා කිරීමට අදහස් කරමි. මන්ද වර්ථමාන ලාංකීය සමාජය තුල මුස්ලිම්වරුන් ඉටුකරන මෙම උපවාසයට එරෙහිව විවිධ වූ මතවාදයන් හා චෝදනාවන් ඉදිරිපත්වීම නිරන්තරයෙන් දක්නට තිබෙන බැවිණි. ඒ අනුව පහත අනුමාතෘකාවන් ඔස්සේ මේ පිලිබදව දැන් අවධානය යොමු කරමු.

  • උපවාසය පිලිබදව කථා කරන්නේ ඉස්ලාම් දහම පමණක්ද?
  • ඉස්ලාම් පවසන උපවාසය කුමක් සදහාද?
  • උපවාසය කවුරුන් සදහාද?

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/7

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම