ඉස්ලාම් පවසන බදු සහ එහි ජිසියා බද්ධ

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ජිසියා බද්ධ
ජිසියා බද්ධ
චෝදනාවක් - ‘…ජෙසීයා බද්ධ(මුස්ලිම් රජවරු අන්‍යාගමිකයින්ගෙන් ලබාගන්නා බද්ධ) පලමු කලීෆා අබුබක්කර්(රලි) තුමා පටන් සියලු මුස්ලිම් පාලකයින් මෙය අන්‍යාගමිකයින්ගෙන් ලබාගෙන ලෝකයේ ජාතිවාදය වැපුරුවා තවද මෙම බද්ධ ඉස්ලාම් ධර්මය අනුව අනුමතයි මෙය හදුන්වාදුන් අබුබක්කර් ස්වර්ගයට පිවිසෙන්නෙක් ජාතිවාදීන්ට හිමි තැන ස්වර්ගයද මෙයද ඉස්ලාම් ධර්මය…’

ඉස්ලාම් දහමට එරෙහිව අප රට තුල ඉදිරිපත් කරන චෝදනා අතර ‘ජිසායා’ යන්න ද එකකි. අනවබෝධයෙන් හා අල්ප දැනුමෙන් ඉදිරිපත් කරන චෝදනා අතර තවත් එකක් වන මේ විෂය පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව බොහෝ විට මුස්ලීම් සමාජයට ද ඇත්තේ අල්ප වූ දැනුමකි. මේ හේතුව නිසාම ‘යහමග’ අඩවිය තුල බොහෝ කල පටන් මෙම විෂය සාකච්චා කිරීමට අදහස් කොට තිබුනත් එය මේ දක්වා ඉටු කිරීමට නොහැකි විය. එයට ප්‍රධාන හේතුවක් ද ඇත. ඒ මේ විෂය පිලිබදව කථා කිරීමට මත්තෙන් ඉස්ලාම් පවසන ‘සකාත්’ නම් විෂය කථා කිරීම අත්‍යඅවශ්‍ය වූ නිසාත්, එම ‘සකාත්’ නම් විෂය තවම ‘යහමග’ අඩවිය තුල සාකච්චා කිරීමට නොහැකි වීම නිසාත්ය. කෙසේ වෙතත් පසුගිය දිනක ‘යහමග’ වෙත යොමු කොට තිබූ පාඨක ප්‍රතිචාරයක් හේතු කොටගෙන මෙම ‘ජිසියා’ විෂය මුඛ්‍ය කාරණයක් ලෙස සලකා මේ විෂය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න බුද්ධිමත් ඔබේ අවදානයට මෙලෙස ගෙන ඒමට අදහස් කලෙමි.


ඊට ප්‍රථම මෙම ලිපිය සදහා ඌනපූර්ණයක් කරගත් පහත ප්‍රතිචාරය සම්බන්ධයෙන් ද කෙටියෙන් හෝ කිවයුතු කාරණයක් ඇත. ඒ මෙම ප්‍රතිචාරය තුල ඉදිරිපත් කරන තර්කය ද සුපුරුදු පරිදි විෂය පිලිබදව නිසි අවබෝධයක් නොමැතිව කල තවත් ප්‍රකාශයක් පමණි. එම ප්‍රතිචාරය හා එය වැරදි සහගත ප්‍රකාශයක් යන්නට නිදසුන් දෙකක් පහතින් ඉදිරිපත් කර ඇත.

එම ප්‍රතිචාරය…

‘…ජෙසීයා බද්ධ(මුස්ලිම් රජවරු අන්‍යාගමිකයින්ගෙන් ලබාගන්නා බද්ධ) පලමු කලීෆා අබුබක්කර්(රලි) තුමා පටන් සියලු මුස්ලිම් පාලකයින් මෙය අන්‍යාගමිකයින්ගෙන් ලබාගෙන ලෝකයේ ජාතිවාදය වැපුරුවා තවද මෙම බද්ධ ඉස්ලාම් ධර්මය අනුව අනුමතයි මෙය හදුන්වාදුන් අබුබක්කර් ස්වර්ගයට පිවිසෙන්නෙක් ජාතිවාදීන්ට හිමි තැන ස්වර්ගයද මෙයද ඉස්ලාම් ධර්මය…’

මෙය වැරදිසහගත යන්නට හේතු…

  • ‘ජිසියා’ බද්ධ ජාතිවාදී බද්දක් යැයි පැවසීම හා රටක ක්‍රියාත්මක බදු ක්‍රමයන්ට ජාතිවාදී මුහුණූවරක් ලබදෙන්නේ කෙසෙදේ?,
  • ‘ජිසියා’ බද්ධ හදුන්වා දුන්නේ අබුබක්කර් (රලි) තුමා යයි පැවසීම අමූලික මුසාවක් වන අතර මෙම බද්ධ ශුද්ධ වූ කුර්ආනයේ පවා සදහන් වන මුහම්මද් (සල්) තුමාණන් විසින් ක්‍රියාවට නැංවූ බදු ක්‍රමයකි,

දැන් මාතෘකාව වෙත යොමු වන්නේ නම්, මෙහිදී ප්‍රථමයෙන්ම සදහන් කලයුතු කාරණයක් ඇත. ඒ සැබැවින්ම මෙම විෂය ශ්‍රි ලාංකීය ජනතාවට එතරම් වැදගත් වූ විෂයක් නොවනවා යන්නයි. මන්ද මෙම ‘ජිසියා’ නම් විෂය ඉස්ලාම් කථා කරන්නේ ඉස්ලාමීය රාජ්‍ය පාලනයක් තුල වන බැවිණි. නමුත් විවේචකයන් හට විවේචනයට මාතෘකා නොමැති කල අදාල නොවුවත් මෙවැනි මාතෘකාවන් ද ඇදගෙන කථා කිරීම අද ලෝක සම්ප්‍රදායක් වී ඇත. ‘අල්හම්දුලිල්ලාහ්’ (‍අල්ලාහ් (දෙවි)ට ස්තූති වේවා!) එහි ප්‍රතිපලයක් ලෙස පසුගිය කාලවල ශ්‍රී ලාංකීය සමාජය තුල මෙවැනි විෂයන් ගණනාවක් කථා කිරීමටත්, ඒ පිලිබදව සමාජය තුල කථිකාවක් ගොඩනැඟීමටත්, මේ නිසාම ඒ ඒ විෂයන් පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය හා ‍ඉගෙන්වීමන් සමාජයට පහසුවෙන් පෙන්වාදීමටත්, එසේම අවබෝධ කරදීමටත් හැකි වි ඇත. එවැනි තවත් විෂයක් වන්නේ මේ ‘ජිසියා’ නම් බදු ක්‍රමයයි. ඒ පිලිබදව දැන් විමසා බලමු.

මෙහි ආරම්භයේ මෙම ‘ජිසියා’ විෂය මුල් කරගෙන ඉස්ලාමයට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන පිරිස් ගෙන එන ප්‍රධාන හා ජනප්‍රිය තර්කය සාරාංශ කොට ඔබේ අවදානයට ගෙන එන්නට අදහස් කරමි. එනම්,

‘ඉස්ලාමීය රාජ්‍ය පාලනයක් තුල මුස්ලීම් නොවන පිරිස් රජයට ‘ ජිසියා’ නම් බද්දක් ගෙවිය යුතුයි. නමුත් මුස්ලිම්වරුන් එවැනි බද්දක් ගෙවීමට අවශ්‍ය නොවේ. මෙය රටේ එක් ජන කොට්ඨාශයකට කරන අසාධාරණයක් නොවේද?, මේ තුලින් අන්‍යආගමිකයන් ඉස්ලාම් දහමට හරවා ගන්න බල කරනවා නොවේද?…’

මේ ආකාරයට ඔවුන් ඉදිරිපත් කරන තර්ක රාශියක් පෙලගැසීමට හැකි වුවත් මේ විෂයේ හරය අවබෝධ කරගැනීමට ඉහත ‍තර්ක කිහිපය ප්‍රමණවත් යයි සිතමි. ඒ අනුව දැන් ඉහත චෝදනාවේ ප්‍රධාන කොටස වන ‘…මුස්ලීම් නොවන පිරිස් රජයට ‘ ජිසියා’ නම් බද්දක් ගෙවිය යුතුයි. නමුත් මුස්ලිම්වරුන් එවැනි බද්දක් ගෙවීමට අවශ්‍ය නොවේ…’ යන කාරණය වෙත ප්‍රථමයෙන් අවදානය යොමු කරමු. මන්ද එම කාරණයේ සත්‍ය අසත්‍යතාවය මත තම ඉදිරි සකච්චාවේ අවශ්‍යතාවය රදා පවතින්නේ. ඒ අනුව ඉහත එම චෝදනාවට ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව ලබාදිය හැකි සරල පිලිතුර ‘ඉහත කාරණය සත්‍යයක් බවයි’ එනම්, ඉස්ලාමීය රාජ්‍ය පාලනයක් තුල වෙසෙන ජනයාගෙන් ‘ජිසියා’ නම් බද්ද ගෙවිය යුත්තේ මුස්ලීම් නොවන ජනතාව පමණක් වන අතර ‘ජිසියා’ බද්ද මුස්ලීම්වරුන් ගෙවීමට අවශ්‍ය නොවේ. මෙසේ මා පවසන විට ‘ඒසේනම් ඉහතින් පවසන චෝදනා සියල්ල සාධාර්ණ වු චෝදනා නොවේද?’ යයි ඔබ තුල සාධාර්ණ සැකයක් ඇතිවීම නොවැලැක්විය හැකි එකකි. නමුත් මෙහිදි පැහැදිලිව අවබෝධ කරගතයුතු කාරණය වන්නේ මුස්ලීම් ජනයා සදහා ‘ජිසියා’ නම් බද්ද නැතැයි මා කීවා මිස මුස්ලිම්වරුන් සදහා කිසිදු බදු ක්‍රමයක් නැතැයි මා සදහන් කලේ නැත. ඒසේනම් මෙහිදී මෙම විෂය කථා කලයුත්තේ ‘ජිසියා’ නම් පටු විෂය පථයක් තුල හිඳ නොව ‘ඉස්ලාමීය පාලනයක් තුල බදු අයකිරීම’ නම් පුළුල් විෂය පථයක් තුල හිඳය. එතැන් සිට තමා තීර්ණය කලයුත්තේ මෙම බදු ක්‍රමය සාධාර්ණ ද? අසාධාර්ණ ද? යන්න.

අද සමස්ථ ලෝකයම පිලිගන්නා ඉස්ලාම් දහම ද අනුමත කරන සත්‍යයක් ඇත. ඒ රජ්‍ය පාලනයක දී එහි පරිපාලන අවශ්‍යතාවය එනම්, රටේ පොදු ජනයාට අවශ්‍ය මූලික පහසුකම්, අවශ්‍යතාවය හා ආරක්ෂාව… යනාදීය ලබාදීම සදහා ධනය අවශ්‍ය වේ යන්න. ඒ අනුව විවිධ විවිධ නම්වලින් විවිධ විවිධ බදු ක්‍රමයන් ලෝකය පුරාම ක්‍රියාත්මක වනවා අපට අලුත් කාරණයක් නොවේ. විශේෂයෙන් අප රට තුල ක්‍රියාත්මක බදු ක්‍රමයන් පිලිබදව ඔබට දළ අවබෝධයක් හෝ තිබෙන නිසා මේ පිලිබදව තවදුරටත් කරුණු පැහැදිලි කිරිමට අවශ්‍ය නොවනු ඇත. කෙසේ නමුත් කාටත් දැනෙන නිදසුනක් ඒ සදහා ගෙන එන්නේ නම්, අප රටේ ජංගම දුරකථනයක් භාවිතා කරන්නෙකු 20% කට වඩා බද්දක් මාසිකව රජයට ගෙවිමට සිදුව තිබීම අපට වඩාත් සංවේදී බද්දකි. මෙම බදුවල සංඛ්‍යාත්මක අගය පිලිබදව පොදු ජනයාට තර්ක විතර්ක තිබුනත්, ‍ඒ බදු ක්‍රමය පිලිබදව ලොව කිසිවකුටත් තර්කයක් පැවතිය නොහැක. ඒ අනුව ඉස්ලාමීය රාජ්‍ය පාලනයක් තුල ද පරිපාලන අවශ්‍යතා සදහා රටේ පොදු ජනතාවගෙන් බදු අය කිරීම ඉස්ලාම් අනුමත කරයි. එය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් ක්‍රියාත්මක වේ. එනම්,

  • ජිසියා – (නම් මුස්ලීම් නොවන ජනයාගෙන් අය කරන බද්ද)
  • සකාත් – (නම් මුස්ලීම් ජනයාගෙන් අය කරන බද්ද)

මා මේ ලිපිය ආරම්භයේ සදහන් කල ‘ජිසියා’ නම් විෂය අවබෝධ කරගැනීමට යාමේදී ‘සකාත්’ නම් විෂය පිලිබදව හොද අවබෝධයක් පැවතීම අත්‍යඅවශ්‍ය යන්න දැන් ඔබට අවබෝධ වනු ඇත. කෙසේ වෙතත් ‘සකාත්’ පිලිබදව වු ලිපියක් ඉතා ඉක්මණින් ‘යහමග’ අඩවිය තුල ඉදිරිපත් කිරිමට අදහස් කරන අතර මෙහිදී එම විෂය පිලිබදව කෙටි හැදින්වීමක් කරන්නේ නම්,

‘සකාත්’ යනු ඉස්ලාම් සෑම මුස්ලීම්වරයෙකුටම අණ කරන ප්‍රධාන ප්‍රතිපත්ති 05ක් අතුරින් ප්‍රධාන එකකි. පස්වේල් වන්දනය, උපවාසයේ නිරතවීම මෙන්ම සකාත් දීම ද (කොන්දෙසි ඇත) අනිවාර්‍ය අවශ්‍යතාවයකි. එය තමන් සතු සියළු දේපලවලින් ලබාදිය යුතුය. රත්තරං, රිදී, මුදල්… යනාදිය සදහා 2.5% ක් ද, ජලය ආයාසයෙන් යොදා වගා කරන අස්වැනු සදහා 5% ක් ද, ස්වභාවිකව වැවෙන (ආයාසයෙන් තොරව) ශාකවලින් ලබාගන්නා අස්වැන්න සදහා 10% ක් ද, මීට අමතරව අනිකුත් දේපල හා සතුන් සදහා ද විවිධ අනුපාත (ඉදිරියේ දී ගණනය කිරීම් කරන ආකාරය සමඟ මෙම අඩවිය තුල සවිස්තරව කරුණු ඉදිරිපත් කිරිමට අදහස් කරමි) ඉස්ලාම් පවසයි. මෙතැන දී පාඨක ඔබේ විශේෂ අවදානයට ගෙන ආයුතු කාරණයක් ඇත. එනම්, මෙම ‘සකාත්’ බද්ද සෑම මුස්ලිම්වරයෙකුට ම සලාතය, උපවාසය, හජ් අනිවාර්‍ය වනවා සේම අනිවාර්‍ය වන අතර එය කිසිදු මුස්ලිම්වරයෙකුට ස්වකීය කැමැත්ත මත තීරණය කලහැකි එකක් නොවේ. මෙම සකාත්දීම මුස්ලීම්වරයෙකු ප්‍රතික්ෂේප කිරිම එය ඉස්ලාමයෙන් බැහැර වන තරම් මහා පාපයක්ද වේ. එපමණක් නොව එහි ප්‍රමාණය ද අඩුවැඩි කිරීමට කිසිදු මුස්ලීම්වරයෙකුට අවසර නැති අතර එහි ප්‍රමාණය අඩු කිරීම ද මහාපාපයකි. ඒ පිලිබදව මුස්ලිම්වරයෙකු කොතරම් සැලකිලීමත් වියයුතු ද යන්න අවබෝධ කර ගැනීමට මුහම්මද් (සල්) තුමාණන්ගෙන් පසු බිහිවූ ප්‍රථම ඉස්ලාමීය රාජ්‍ය පාලකයා වන අබුබක්කර් (රලි) තුමාගේ පහත ප්‍රකාශය ඉදිරිපත් කල හැක.

මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසු පාලකයා ලෙස පත්වූ අබූබක්කර් (රලි) තුමාගේ පාලන සමයේ මුස්ලීම්වරුන්ගෙන් එක්තරා පිරිසක් ‘සකාත්’ බද්ද ගෙවීම ප්‍රතික්ෂේප කරන්නට විය. මේ මොහොතේ එම පිරිසට එරෙහිව යුද කිරීමට අබූබක්කර් (රලි) තුමා ක්‍රියා කලවිට උමර් (රලි) තුමා ‘ඔවුන් අල්ලාහ් (දෙවි) පිලිගෙන සිටින මුස්ලීම්වරුන් නොවේ ද?’ යනුවෙන් විමසන ලදී. එයට අබූබක්කර් (රලි) තුමා ‘ සලාතය හා සකාතය වෙන්කල මේ පිරිසට එරෙහිව මා යුද්ධ කරනවා කොතරම් ද යයි පවසනවා නම් මුහම්මද් (සල්) තුමාණන්ගේ කාලයේ ඔටු පැටවකු සකාත් දුන් පිරිස එය අද ප්‍රතික්ෂේප කලත් එය ලබා දෙනතුරු මා ඔවුන් සමඟ යුද්ධ කරනවා…’

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි

ඉහත හදීසය තුලින් ‘සzකාත් නම් බද්ධ' නිසි ආකාරව ගෙවීම මුස්ලීම්වරයෙකු කෙරෙහි ඉස්ලාම් කොතෙක් දුරකට අනිවාර්‍ය කරනවාද? යන්න පහසුවෙන් වටහාගත හැක. මෙතැනදී තවත් කාරණයක්ද ඔබේ අවදානයට ගෙන ආයුතුව ඇත. අබූබක්කර් (රලි) තුමා ‘ජිසියා’ සම්බන්ධයෙන් දැඩි ක්‍රියා පිලිවෙතක් අනුගමනය කලා යයි පවසන පිරිස එතුමාණන් ‘සකාත්’ සම්බන්ධයෙන් ද දැඩි ක්‍රියා පිලිවෙතක් අනුගමනය කර ඇති ආකාරය ඉහත හදීසය තුලින් අවබෝධ කර ගතයුතුය. එතුමා ජාතිවාදියෙක් ලෙසත් තම රාජ්‍ය තුල ජීවත් වන මුස්ලීම් නොවන ජනයාට හිරිහැර කල ජන නායකයෙකු ලෙසත් පවසන පිරිස් ඔහු මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් ක්‍රියා කල ආකාරය ද විවාත මනසින් බැලිය යුතුව ඇත. මේවා රටක් පාලනය කිරීමේ දී පාලකයෙකු විසින් අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග මිස ජාතිවාදී ආගම්වාදී මුහුණුවරක් ආරූඪ කලයුතු කාරණයන් නොවේ. නමුත් අවාසනාවකට අප රටේ ජනප්‍රිය කියමනක් වන ‘නොකෙරෙන දීගෙක සෙවනැල්ලත් ඇදලූ’ යයි පවසන ආකාරයට මෙවැනි පුහු තර්ක පදනම් කරගෙන තමා මුස්ලීම් සමාජයටත් ඉස්ලාම් දහමටත් එරෙහිව විවේචන ගොඩනඟන්නේ. මෙය බහු ජාතීන් ජීවත් වන එසේම මුස්ලීම්වරුන් සුළුතරයක් වන රටක් ලෙස අවාසනාවන්ත තත්වයකි.

දැන් නැවතත් මාතෘකාවට යොමු වන්නේ නම්, ඉස්ලාමිය රාජ්‍ය පාලනයක් තුල සියළු ජනයා රජයට බදු ගෙවීම අත්‍යඅවශ්‍ය බව දැන් ඔබට පැහැදිලි වියයුතුය. මෙහි දැන් පවතින ගැටළුව වන්නේ එහි ප්‍රමාණාත්මක වෙනසක් පවතින්නේ ඇයිද? යන්න පමණි. මෙම කාරණය හොදින් පැහැදිලි කරගැනීම පිණිස බහු ජාතීන් ජිවත් වන රටක් තුල විශේෂයෙන් ආගමික (ශරීයා) නීති පද්ධතියක් ක්‍රියාත්මක රාජ්‍ය පාලනයක් තුල බදු අය කිරීම ප්‍රායෝගිකව කලහැකි ආකාර පිලිබදව විමසා බැලීම වඩාත් හොද යයි සිතමි. එය මෙසේය,

  • මුස්ලීම් ජනයාට අනිවාර්‍ය ‘සකාත්’ බද්ධ අය කරන නමුත් මුස්ලීම් නොවන ජනයාගෙන් බද්දක් අය නොකිරීම,
  • මුස්ලීම් ජනයාට නියමිත ‘සකාත්’ බද්දට වඩා අඩු බදු මුදලක් මුස්ලිම් නොවන ජනයාගෙන් අය කිරීම,
  • මුස්ලීම් ජනයාට සේම මුස්ලීම් නොවන ජනයාට ද ‘සකාත්’ බද්ධ අනිවාර්‍ය කිරීම,
  • මුස්ලීම් ජනයාට නියමිත ‘සකාත්’ බද්දට වඩා වැඩි බදු මුදලක් මුස්ලිම් නොවන ජනයාගෙන් අය කිරීම,

පලමු ක්‍රමය –

මෙය ලොව කිසිදු ජන සමාජයක් අනුමත නොකරන ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ දි රටක් වශයෙන් හා සමාජයක් වශයෙන් නොයෙක් ආකාරයේ ව්‍යාකූල තත්වයන් නිර්මාණය වන ක්‍රමයකි. විශේෂයෙන් බහු ආගමිකයන් වෙසෙන රටක මෙවැනි නීති ක්‍රියාත්මක කිරිම තුල ආගමික ගැටුම් පමණක් නොව තවත් ආගමික ප්‍රජාවක් කෙරෙහි නොසතුට, රටේ සුළු ආගමිකයන් හට සමාජය තුල සමතැනක් අහිමිවීම වැනි බොහෝ ගැටළු නිර්මානය විය හැක. මෙවැනි හේතු රාශියක් නිසා ඉස්ලාම් මෙම ක්‍රමය අනුමත නොකරයි.

දෙවන ක්‍රමය –

මෙය පලමු ක්‍රමයට වඩා සාර්ථක ක්‍රමයකි. රටේ ජීවත් වන අන්‍ය ආගමිකයන් හට රජය විසින් කිසියම් බදු මුදලක් තීරණය කොට එය අය කරන්නේ නම්, ඊට වඩ වැඩි බදු මුදලක් මුස්ලීම් ජනයා ගෙව්වත් එය මුස්ලීම් ජනයා ප්‍රශ්න කිරීමට තරම් හේතුවක් නොවේ. මන්ද මුස්ලීම් ජනයා ගෙවන සකාත් බද්ද අභියෝග කල නොහැකි ආගමික නීතියක් වන නිසාය. මෙහිදී මුස්ලීම් නොවන ජනයා රජය තිරණය කල බදු මුදල රජයට ලබාදෙන නිසා ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමත්, ඔවන්ගේ ආරක්ෂාව සලසාදීමත් ඒ රජය කෙරෙහි පැවරී ඇති අනිවාර්‍ය වගකීම් වේ.

තෙවන ක්‍රමය –

මෙය වඩාත් සාර්ථක හා නිවරුදි ක්‍රමය වුවත් මේ තුල ද ප්‍රබල ගැටළුවක් ද ඇත. එනම් ‘සකාත්’ යන්න සලාතය, උපවාසය, හජ් වැනිම මුස්ලීම්වරුන්ගේ ආගමික කටයුත්තකි. මෙම නීතිය මුස්ලීම් නොවන සමාජය මත පැටවීම තුල ඉස්ලාමීය ආගමික නීති මුස්ලීම් නොවන ජනයාගේ උරහිස මත ද ඉස්ලාම් බලෙන් පටවයි, රටේ ජනයා බලෙන් ඉස්ලාමීකරණය කරයි, වැනි චෝදනා නිර්මාණය වීම වැලැක්විය නොහැක. මන්ද අප රටේ පසුගිය දිනවල කථා වූ ‘හලාල් ලාංඡනය’ සම්බන්ධයෙන් මහා ජාතිය ‘හලාල් ලාංඡනයට’ එරෙහිව පෙලගැසුවේ මෙවැනි ම වූ මිත්‍යා තර්කයකි. එනම්, ‘මුස්ලීම්වරුන් දෙවියන්ට පූජාකල ආහාර බෞද්ධ අප ආහාරයට ගන්නේ කුමකට ද?’ යනුවෙනි. කිසිදු පදනමක් නොමැති මෙවැනි තර්ක ගොඩනඟන සමාජයක් මධ්‍යයේ පැහැදිලිව ම ඉස්ලාම් පවසන ‘සකාත්’ ක්‍රමයට සමාන බදු ක්‍රමයක් රට තුල මුස්ලීම් නොවන සමාජයට ක්‍රියාත්මක කලේනම් එහිදී ඇති වන වයාකූල තත්වය ඉහත අත්දැකීම් ඇති ශ්‍රී ලාංකීය අපට අවබෝධ කරගැනීම කිසිසේත් අපහසු නොවනු ඇත.

සතරවන ක්‍රමය –

ඉස්ලාමීය රාජ්‍ය පාලනයක් තුල එහි වෙසෙන මුස්ලීම් නොවන සමාජයෙන් මුස්ලීම් සමාජයට සාපේක්ෂව අධික බදු මුදලක් අය කරමින් එසේම දැඩි නීති රාමුවකට හා කොන්දේසිවලට යටත් කොට පාලනය කිරීම මේ මිහිමත කිසිවකුත් අනුමත නොකරන කෲර පාලනයක් යන්නෙහි කිසිවකුටත් සැක නැත. නමුත් ඔවුනට දරාගත හැකි ඔවුනටම සාධාර්ණ යයි හැ‍ෙඟෙන මුස්ලිම්වරුන් ගෙවන සතාක් මුදලට ආසන්න වශයෙන් සමාන මුදලක් ඔවුන්ගේන්ද රජය අය කරන්නේ නම් ද ඔවුන්ගෙන් අය කරන මුදලට සාධාර්ණ සේවාවක් රජයෙන් ඔවුනට ඉටු වෙන්නේ නම් ද මේ ක්‍රමයේත් වරදක් ඇතැයි කිව ‍‍නොහැක.

සාමාන්‍ය ඇල්පෙනිත්තේ පටන් සියළු ව්‍යාපාරික ක්ෂේත්‍රයන් හි මෙන්ම විවාහය වැනි සේවාවාන් ලබාදෙන අවස්ථාවල පවා ඒවාට සරිලන විශේෂ නම් යොදා‍ ගනිමින් මහජනයාගෙන් බදු මුදල් උපයන රාජ්‍ය පාලන ක්‍රම ක්‍රියාත්මක වකවානුවක ඉස්ලාමීය රාජ්‍ය පාලනයක් තුල ක්‍රියාත්මක රජයේ ආදායම වන්නේ මුස්ලීම්වරුන් ගෙවන ‘සකාත්’, ‘සදකා’ හා මුස්ලීම් ‍නොවන පිරිස් ගෙවන ‘ජිසියා’ යන බදු පමණි. එසේනම් මෙය රටක අවශ්‍යතාවයක් යන්නෙ හි තර්කයක් නැත. ගැටළුව ඇත්තේ එය ක්‍රියාත්මක ආකාරය සම්බන්ධයෙනි. එමනිසා ඒ ‘ජිසියා’ අයකිරීම සම්බන්ධයෙන් ඉස්ලාම් අනුගමනය කරන ක්‍රමවේදය දැන් විමසා බලමු.

ඉස්ලාමීය රාජ්‍ය පාලනයක් තුල ඉස්ලාම් පවසන ‘ජිසියා’ බද්ද පාලකයන් විසින් ක්‍රියාවට නැංවීමේ දි ඔවුන් අනුගමනය කල ක්‍රමවේදය ඉතා ආදර්ශමත්ය. එනම්,

  • කාන්තාවන්ගෙන් මෙම බදු අය කලේ නැත,
  • කුඩා දරුවන් වෙනුවෙන් මෙවැනි බදු අය කලේ නැත,
  • වයෝවෘද්ධ (මහළු) ජනයාගෙන් මෙම බදු අය කලේ නැත,
  • මානසික රොගීන් වැනි ආදායම් නොඋපයන පිරිසගෙන් මෙම බදු අය කලේ නැත,

කෙටියෙන් හා සරලව පවසනවා නම්, කිසියම් ආදායමක් උපයන්නට ශක්ති සම්පන්න වූ පිරිමීන්ගෙන් පමණයි ඉස්ලාම් මෙම ‘ජිසියා’ බද්ද අය කරන්නේ. එපමණක් නොව මෙම බදු අය කිරීමේ දී ඉස්ලාම් ඔළුගෙඩි ගණන හෝ ශරිර කූඩව ගැන පමණක් නොව ඔවුන්ගේ ආර්ථික හැකියාවන් පිලිබදව සැලකිලීමත් වී ඇත. එයට සරල නිදසුනක් ගෙන එන්නේ නම්, එදා ඒක පුද්ගල ආදායම ඉහල මට්ටමක පැවතී සිරියා ජනයාගෙන් ‘ජිසියා’ බදු අය කිරීමේ දී එක් පුද්ගලයෙකු වර්ෂයකට ඩිනාර් 04 ක් ගෙවිය යුතු ලෙස තීර්ණය කොට තිබුණත් ඒක පුද්ගල ආදායම අඩු මට්ටමක පැවතී යෙමන් ජනයාගෙන් ‘ජිසියා’ බදු අය කලේ එක් පුද්ගලයෙකු වර්ෂයකට ඩිනාර් 01 ක් වශයෙන් පමණි. මේ තුලින් පැහැදිලි වන්නේ මුස්ලීම් නොවන ජනයාගෙන් අයකරන ‘ජිසියා’ බද්ධ රටේ ජනයාගේ ආදයම් තත්වය මත තින්දු කරන සාධකයක් වී පැවතුනු බවයි. කෙසේ වෙතත් එය මුස්ලීම්වරුන් ගෙවන ‘සකාත්’ මුදලට සාපේක්ෂව ඉතාම අල්ප වු මුදලක් බව නම් ඉහත නිදසුනෙන් පමණක් නොව ඉදිරියේ දී මේ අඩවිය තුල සාකච්චා කරන ‘සකාත්’ පිලිබදව ලිපියෙන් ද ඔබට මනාව පැහැදිලි වනු ඇත.

මෙහිදී වැදගත් වූ තවත් කාරණයක් ද සදහන් කලයුතුව ඇත. එනම් මෙම ‘ජිසියා’ බද්ද සදහා නිශ්චිත අගයක් ඉස්ලාම් යෝජනා නොකිරීම තුල පැහැදිලි වන තවත් සත්‍යයක් ඇත. ඒ රටේ ජිවත් වන මුස්ලීම් නොවන ජනයා සදහා පහසු අගයක් එසේම ඔවුනට එකඟ විය හැකි අගයක් නිර්ණය කිරීමේ නිදහස එහි පාලකයාට ලබාදී ඇත යන්නයි. නිදසුනක් ගෙන මෙය විමසා බලන්නේ නම්, ජපානයේ ඒක පුද්ගල ආදායම හා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම එක සමාන නොවේ. එසේම රටක් ලෙස ඒ ඒ රටේ පාලකයින් තම ජනයාට ලබාදිය යුතු පහසුකම් හා සේවාවන් ද එක සමාන නොවේ. මෙවැනි අවස්ථාවල මේ දෙපාර්ශවය සදහාම එක බදු මුදලක් තීර්ණය කිරීම සාධාර්ණ නොවේ. එපමණක් නොව දිනෙන් දින වෙනස් වන ආර්ථාක රටාව තුල එදා එනම් මීට වසර 1400කට පෙර සිරියාවේ හෝ යෙමනයේ නිර්ණය කල බදු මුදල අදට ප්‍රායෝගික නොවේ. එදා නොව මීට දශකයකට පෙර පැවති ප්‍රමාණය ද සමහර විට අදට නොගැලපෙනු ඇත. මෙවන් තත්වයක මෙම බදු මුදලේ ප්‍රමාණාත්මක අගය තීරණය කිරීමේ අයිතිය රටේ පාලකයාට ලබාදීම සාධාර්ණය අගයන බුද්ධිමත් කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කල හැකි එකක් නම් නොවේ.

මා මෙසේ පවසන විට කෙනෙකුට මෙසේ සිතන්නට පුළුවන. එනම්, ‘මේ අයිතිය පාලකයාට ලබාදීම තුල රටේ ජීවත් වන මුස්ලිම් නොවන ජනයාට දැඩි අපහසුතාවයන් ඇති වන ආකාරයේ බදු මුදලක් වුවද ඔහුට තීරණය කල හැකි වෙනවා නොවේද?’ යන්නයි. මෙය තර්කයක් ලෙස සත්‍ය වුවත් ඉස්ලාම් රාමුව තුල මේ සදහා ඉඩක් නැත. ඉස්ලාම් එය ශුද්ධ වූ කුර්ආනයේ පැහැදිලිව මෙසේ පවසයි. එනම්,

කිසිදු කෙනෙකු හට ඔහුගේ ශක්තියට වඩා බල කිරීමක් නොමැත..

ශුද්ධ වූ කුර්ආනය 23-62

ඉස්ලාම් දහමේ ඉගෙන්විමට අනුව කිසිවකු තම ශක්තියට වඩා බල කරන්න කිසිදු අවසරයක් නැත. එය ආගමික වතාවත් සම්බන්ධ කාරණයක් වුවද ඉන් පරිභාහිර කාරණයන් වුවද එහි වෙනසක් නොවේ. ඒ අනුව සැලකුව ද ඉහත ‍චෝදනාව ඉස්ලාමීය රාමුව තුල වලංගු නොවේ. අද අන්තර්ජාලය තුලත් විවිධ වූ සංවාද මණ්ඩපවලත් ඉස්ලාමීය නීතිරීති විවේචනය කරමින් පාලුගෙදර වලං බිදින සංවාද නම් අඩු නැත. එවැනි පුහු විද්වතුන් තමන් කථා කරණ විෂය කොතරම් අනවබෝධයෙන් කථා කරනවා ද යන්න බුද්ධිමත් ඔබට තීරණය කිරිමට මේ ලිපිය පමණක් ‍නොව මීට පෙර මෙම අඩවිය තුල ඉදිරිපත් කල ලිපි ගණනාවක්ම පැහැදිලි සාක්ෂි දරයි. කෙසේ වෙතත් අවසාන වශයෙන් කිවයුතුව ඇත්තේ විෂය පිලිබදව අනවබෝධයෙන් තර්ක ගොඩනඟන පිරිස් පවසන ආකාරයට ‘ජිසියා’ වැනි බදු ක්‍රම මඟින් රටක වෙසෙන මුස්ලීම් නොවන ජනයා ඉස්ලාමය වෙත බලෙන් හරවා ගන්නට උත්සාහ කරනවා නම් ඒ තුලින් ඔවුන් පවසන්නට හදන සත්‍යයන් දෙකක් ඇත. එනම්,

  • ඉතාම සුළු මුදලක් වෙනුවෙන් තමන් පිලිගෙන පිලිපදින දහම දර්ශනය අතහැර යාමට තරම් ඔවුන් තම ප්‍රතිපත්තිවල දුර්වලයන් යන්න හෝ,
  • ‘ජිසියා’ ලෙස සුළු මුදලක් ගෙවන්නට නියමිතව තිබිය දී ඔවුන් ඉස්ලාම් දහම වැලදගෙන ‘සකාත්’ නම් අධික බදු මුදලක් ගෙවන්න ඔවුන් එකඟ වෙනවා යන්නයි.

මේ තර්ක දෙකෙන් කුමක් පිලිගත්තත් ඒ තුලින් පැහැදිලි වන්නේ ‘ජිසියා’ සම්බන්ධයෙන් තර්ක ඉදිරිපත් කරන ඔවුන් මතු කරන සියළු තර්ක බොල් තර්ක යන්න පමණි. දැන්වත් වෛරය, ඊර්ෂ්‍යාව හා වියරුව ප‍සෙක තබා විවෘත මනසින් මේ විෂය දෙස බලන්නේ නම්, මේ ‘ජිසියා’ හි යථාර්ථය අවබෝධ කරගැනීම අපහසු නොවේ. එය තවදුරටත් පැහැදිලි කරගැනීම පිණිසත්, මේ ලිපියට විරාමය පිණිසත් ඉස්ලාමීය තෙවන කලීෆා (රාජ්‍ය නායකයා) මෙන්ම එදා පටන් මේ දක්වා ලොව පහල වූ සාර්ථකම රාජ්‍ය නායක වන උමර් (රලි) තුමාණන් තම රටේ මුස්ලීම් ජනයාට කල අනුශාසනාවක් ගෙන හැර දක්වමින් මේ ලිපිය අවසන් කරන්නට අදහස් කරමි. එය මෙසේය,

ජුවෙයිරියා ඉබුනු කුදාමා (රහ්) දන්වයි. (එක්තරා අවස්ථාවක) අප ‘ජනයාගේ නායකතුමණි!, අපට අනුශාසනාවක් කරන්න’ යනුවෙන් (අපේ ජනාධිපති) උමර් ඉබුනු කත්තාබ් (රලි) තුමාගෙන් විමසුවෙමු. එයට එතුමා ‘ඉස්ලාමීය රාජ්‍යයක් තුල වෙසෙන මුස්ලීම් නොවන ජනයා ආරක්ෂා කිරීමේ අල්ලාහ් (දෙවි)‍ගේ වගකීම ඉටුකරන්න’ යනුවෙන් මා නූඹලාට අනුශාසනා කරමි. මන්ද එය නුඹලාගේ නබි (මුහම්මද් (සල්) තුමාණන්) හෙවත් වක්තෘවරයාණන්)ගේ වගකීමක් වන අතර නුඹලාගේ පවුලේ ජීවන මාර්ගය ද වන්නේය.’ යනුවෙන් පැවසුවේය

මූලාශ්‍ර ග්‍රනථය – බුහාරී

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/23

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම