ඉස්ලාම් පවසන ස්නානය හා වෛද්‍ය විද්‍යාව

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


නානකාමරය තුල සිහිමුර්ජා වීම සහ ඇද වැටී මියයාම දැන් දැන් සමාජය තුල බහුලව ඇසෙන කාරනයක් වී ඇත. පසුගිය දිනක ද අප රටේ ජනප්‍රිය එසේම වටින චරිතයක් මෙලෙස මරණයට පත්වීම අප මාධ්‍යයන් තුලින් දුටුවෙමු. මේ දිනවල සමාජයේ පුළුල් සංවාදයට බඳුන් වි ඇති මෙම විෂය කාලීන මාතෘකාවක් ලෙස සලකා මෙවැනි තත්වයන්ගෙන් ආරක්ෂා වීමට ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශයක් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් ඒ පිලිබදව කරුණු කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි.

නානකාමරය තුල ඇද වැටිම සිදුවන්නේ බොහෝ විට ස්නානය කරන අවස්ථාවන්වල වීම මෙහි විශේෂයෙන් සටහන් කලයුතු කාරණයකි. මෙයට හේතුව කුමක්ද?. මෙවැනි තත්වයන් ඇතිවීමට මුලික හේතුව ලෙස වෛද්‍ය විද්‍යාව පවසන්නේ එකවර ජලය හිසට වත්කර ගැනීමේදී මොළය තුල ඇති නහරවල අධික පිඩනයක් ඇති වී දුර්වල තැනකින් එම නහර පුපුරායාම නිසා මෙවැනි තත්වයන් ඇති වන බවයි. එනම් මිනිසුන් ඇල, දොල, ගංගාවලින් ඇත්ව නානකාමර තුල කොටු වී නෑම සහ නාන අවස්ථාවන් හි අනුගමනය කරන වැරදි පුරුදු පුහුණු මෙවැනි මාරාන්තික තත්වයන් ඇතිවීමට මුලික හේතුව බවයි.

එසේ වන්නේ ඇයි ?

එසේ වන්නේ ඇයි? යන කාරණය වෙත අවදානය යොමු කිරිමට මත්තෙන් මොළයේ ක්‍රියාකාරිත්වය පිලිබදව කෙටි දැනුමක් මෙතැනදී ඔබට ලබාදිම මෙම මාතෘකාව වඩාත් හොදින් අවබෝධ කරගැනිමට හේතු වේ යයි සිතමි.

මිනිස් මොළය (වැඩි විස්තර මෙතැන්න කියවන්න)

මිනිස් සිරුරේ බරින් 3% ක් පමණ බරකින් යුත් මිනිස් මොළය ඉතා සංවේදි ක්‍රියාකාරීත්වය සහ මතක ධාරිතාවය ඉතා ඉහල අගයක් ගන්නා අවයවයකි. තවත් ආකාරයකට පවනවා නම්, මොළය යනු මිනිස් සිරුරේ ඇති ඉතා සංකීර්ණතම අවයවයයි. දවසේ පැය 24 පුරාවට එසේම මුළු ජීවිත කාලය පුරාවට අඛණ්ඩව හා කාර්‍යක්ෂමව ක්‍රියාත්මක වන වටිනාම අවයවයත් මොළයයි.

මිනිසාගේ පංචේන්ද්‍ර බුද්ධිය පාලනය කරන මෙම මොළයේ ක්‍රියාකාරිත්වය විටෙක විශ්මය ජනකය. එවැනි කිහිපයක් මෙහි සදහන් කරන්නේ නම්,

  • මිනිස් මොළයේ වම් පැත්තෙන් ශරීරයේ දකුණු පැත්ත පාලනය කරන අතර මොළයේ දකුණු පැත්තෙන් ශරීරයේ වම් පැත්ත පාලනය කරයි.
  • එසේම මිනිස් සිරුරේ ඉදිරිපස දකුණු පැත්ත බලා ගැනීම මොළයේ වම් පැත්තේ පිටුපස කොටස ක්‍රියාකාරී විය යුතු අතර ඉදිරිපස වම් පැත්ත බලා ගැනිම මොළයේ දකුණු පස පිටුපස කොටස ක්‍රියාකාරී විය යුතුය.
  • එසේම භාෂාව හැසිරවීමට මොළයේ විශේෂිත ස්ථානයක් ඇත. එම ස්ථානය අක්‍රිය වුවහොත් එම රෝගියා කථා කරන භාෂාව හෝ ලියන කියවන භාෂාව සම්පුර්ණයෙන් විකෘති වනු ඇත.

දෛනිකව අප ගන්නා ආහාරවල ඇති පොෂණීය කොටස් සහ හුස්ම මඟින් ලබාගන්නා ඔක්සිජන් රුධිරය සමඟ මිශ්‍රකොට ගෙලෙන් උඩට ඇදෙන නහර පද්ධතිය ගසක මුල් පද්ධතිය සේ මොළයට අවශ්‍ය පොෂණය ලබාදෙයි. එසේ ඇදෙන නහරවල කිසියම් දෝෂයක් ඇතිවුයේ නම් ඊට අදාල ශරීර අවයව කොටස අක්‍රිය වීම සිදුවේ. මෙහිද ප්‍රධාන නහරවල සිදුවන දෝෂ මොළයේ විශාල ප්‍රමාණයක් අකර්මණ්‍ය කිරීමට ද හේතු වේ. මොළයේ සමහර කොටස් එතරම් විශාල නොවුණත් හුස්ම වැටීම, හදවත ක්‍රියාකාරිත්වය වැනි ඉතා තිරණාත්මක කොටස් එයින් පාලනය කරයි. මොළයේ එවැනි තැන් අකර්මණ්‍ය වීමෙන් ක්ෂණයකින් මරණය පවා සිදුවේ.

මෙසේ මොළයේ කොටසක් හෝ සම්පුර්ණ මොළයම අකර්මණ්‍ය වීම සිදුවන ප්‍රධාන ආකාර දෙකක් ඇත. එනම්,

  • මොළයේ ලේ නහර හිර වීම,
  • මොළයේ ලේ නහර පිපිරීම,

මෙහි පලමු කාරණය වන නහර හිරවීමට බලපාන හේතු රාශියක් ඇත. ඒ අතුරින් කොලෙස්ටරෝල් නහරවල තැන්පත්වීම වර්ථමානයේ ජනප්‍රිය රෝගි තත්වයකි. නමුත් අද මෙම ලිපිය තුලින් සාකච්චාවට ගැනෙන්නේ දෙවන කාරණය වන ‘මොළයේ ලේ නහර පිපිරීම’ යන කාරණයයි. එයත් නානකාමරය තුල සිදුවන්නේ ඇය? යන කාරණයයි.

නානකාමරයේ ලේ නහර පිපිරීම

නානකාමරය තුල නාන අවස්ථාවක අප බොහෝ විට කරන්නේ මුලින්ම ශවර් එකෙන් පිටවන ජලයට හිස ඇල්ලිමයි. එවිට ස්වභාවිකවම අධික උෂ්ණත්වයක පවතින අප මොළය ක්ෂණිකව සිසිල් වීම සිදුවේ. එවිට එහි නහර සංකෝචනය වීම සිදුවේ. මේ හේතුව නිසා හෘදය මඟින් මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවන අතර එය මඟහරවා ගැනීම පිණිස හෘදය ඉතා වේගයෙන් ක්‍රියාත්මක වීම සිදුවේ. මෙලෙස අධික රුධිර ප්‍රමාණයක් මොළයට පොම්පර කරන්න උත්සාහ කරන විට සංකෝචනය වී ඇති නහර වල අධික පීඩනයක් ඇති වී නහර පිපිරීම් සිදුවේ.

එය වලක්වා ගැනිමට කුමක් කලයුතුද?

ස්නානය ආරම්භ කිරිමේදී හිස ඇතුළුව මුළු ශරිරයම එකවර දෝවනය නොකොට මුලින්ම හිස හැර ශරීරයේ අනෙක් කොටස් දොවනය කිරිම සිදුකල යුතුය. එසේ සිදුකොට තත්පර 5-10 ක් අතර කාලයක් ගතවන විට එම ශරීර උෂ්ණත්වයට සරිලන පරිධි මොළය තුල අවශ්‍ය සැකසීම සිදුවේ. ඉන් අනතුරුව හිසට ජලය වත්කිරීම කලයුතුය. විශේෂයෙන් දියවැඩියාව, අධිරුධිර පිඩනය, කොලෙස්ටරෝල් සහ ඉරුවාරදය වැනි රෝග තිබෙන අය මේ සම්බන්ධයෙන් ඉතාමත්ම සැලකිලිමත් වියයුතු යන්න වෛද්‍ය උපදෙසයි.

මෙහි විශේෂයෙන් සදහන් කලයුතු කාරණය නම්, වත්මන් ලෝකය තුල දෛනිකව ජීවිත ගණනාවක් බිලිගන්නා මෙම මාරාන්තික අවදානම ඉස්ලාම් දහම දුටුවේ මීට වසර 1400 ටත් ඉහතය. එසේ දුටු ඉස්ලාම් එයින් නතර නොවි ‘කෙනෙකු ස්නානය කරන විට අනුගමනය කලයුතු පියවරයන් කුසල ක්‍රියාවක්’ ලෙස මුස්ලිම් සමාජයට දේශනා කොට මුහම්මද් (සල්) තුමාණන් මඟින් එයට ආදර්ශ ද සපයා මෙම අවදානමෙන් මිදෙන්න මඟපෙන් වන ලදී. එම ආදර්ශය ඔබේ අවදානය ගෙන එන්නේ නම්.

   මයිමුනා (රලි) තුමිය දන්වයි,
   මම අල්ලාහ්ගේ දූතයාණන් (මුහම්මද් (සල්) තුමාණන්) ස්නානය සඳහා ජලය තැබුවෙමි, එවිට එතුමාණන් තම දෑත් මත ජලය වත් කොට දෙවරක් හෝ තුන් වරක් දෑත සෝදා ගත්තේය. ඉන්පසු තම දකුණු අතෙන් වම් පැත්තට වතුර වත් කර ඔහුගේ රහස් (ලිංගික) ප්‍රදේශ (ඔහුගේ වම් අතෙන්) සෝදා ගත්තේය. ඉන්පසු තම දෑත පොළව මත අතුල්ලමින් දෑත සෝදා ගත්තේය. (*) ඉන්පසු මුඛය සහ නාසයට ජලය යොදා සෝදා ගත්තේය. ඊට පසු මූහුණ, අත් දෙක සහ හිස තුන්වරක් (අනුපිලිවලට) සෝදා අනතුරුව ස්නානය ආරම්භ කලේය. (ස්නානය අවසානයේ) එතුමා එම ස්ථානයෙන් මදක් ඉවත් වී තම පාද දෙක සෝදා ගත්තේය.

මුලාශ්‍ර ග්‍රන්තය – බුහාරි 265

  • මෙතැන් සිට සදහන් වන්නේ මුස්ලිම්වරයෙකු පස්වෙල් සලාතය සදහා ඉටුකරන ‘වුළු’ නම් දොවනයයි. එහි පියවරයන් පහත පිංතුරයෙන් දැක්වේ.

වුළු’ නම් දොවනය

මා ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ මුස්ලීම්වරයෙකු ස්නානයක දී අනුගමනය කලයුතු ඉස්ලාම් දහම අවදාරණය කරන පියවරයන්ය. මෙලෙස කෙනෙකු ස්නානය කරන විට ඔහු ඉස්ලාමයේ ආදර්ශය පිලිපැද්ද කුසල ක්‍රියාවට අදාල කුසලද රුස් කරගන්නා අතර මාරාන්තික තත්වයන්ගෙන් ද ආරක්ෂා වේ. එසේම ඉස්ලාම් පවසන මෙම ආදර්ශය ජාති ආගම් භේදයකින් තොර මුළු මහත් මිනිස් සංහතියටම වන බැවින් මෙම ආදර්ශය පිලිපැද ‘මොළයේ නහර පිපිරීම’ වැනි මාරාන්තික අවදානමෙන් ආරක්ෂා වීමට වත්මන් සමාජයට නුවණැස පෑදේවා යන ප්‍රාර්ථනයෙන් මෙම සටහන අවසන් කරමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම