ඉස්ලාම් හි අත්තිවාරම – කලිමාව

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


කලිමාව
කලිමාව

ඉස්ලාම් දහම මූලික ප්‍රතිපත්ති 05 ක් හා මූලික විශ්වාසයන් 06 ක් මත ගොඩනැඟී ඇති දහමක් බව ‘යහමග’ අඩවිය අවස්ථා ගණනාවක දීම සාකච්චා කොට ඇත. ඉස්ලාම් දහමේ ප්‍රතිපත්ති හා විශ්වාසයන් අතුරින් ප්‍රධාන තැනක් හිමි කරගන්නා සාධකය වන්නේ ‘ලාඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මද් රසූලිල්ලාහ්’ යයි විශ්වාසයෙන් යුතුව පවසන ‘කලිමාව’ නම් ප්‍රතිපත්තියයි. එය ඉස්ලාම් හි මූලික ප්‍රතිපත්ති අතර පලමු වැන්නයි. එසේම මෙය ඉස්ලාම් දහමේ අත්තිවාරමයි. මෙම ‘කලිමාව’ සෑම මුස්ලීම්වරයෙකුම ක්‍රියාවෙන් පිලිගැනීම අත්‍යඅවශ්‍ය වන අතර මුවින් පැවසීමෙන් නතර නොවී එහි පරමාර්ථය කරා ක්‍රියා කිරීම ද අත්‍යඅවශ්‍ය වේ.

එසේනම් මුස්ලීම්වරයෙකුට මෙම කලිමාව පිලිබදව වූ අවබෝධය කොතරම් දුරකට වැදගත් වනවාද යන්න ඉහත කෙටි හැදින්වීම තුල ම වටහා ගැනීම අපහසු විය නොහැක. එවන් වූ ‘කලිමාව’ තරමක් සවිස්තරව විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි. මෙම ‘කලිමාව’ ප්‍රධාන කොටස් දෙකක එකතුවක් ලෙස ගොඩනැඟී ඇති නිසා පාඨක ඔබේ අවබෝධයට පහසු පිණිස එම කොටස් දෙක වෙන වෙනම සාකච්චා කිරීමට අදහස් කරමි. එනම්,

  • ලාඉලාහ ඉල්ලල්ලාහ්
  • මුහම්මද් රසූලිල්ලාහ්
ලාඉලාහ ඉල්ලල්ලාහ්

‘ලාඉලාහඉල්ලල්ලාහ්’ යන්න අරාබි පාඨයක් වන අතර එහි සරල අරුථ ‘නැමදීමට සුදුස්සා අල්ලාහ් (දෙවි) හැර අන් කිසිවෙක්නොවේ.’ යන්නයි. මෙම ස්ථානයේ සටහන් කලයුතු විශේෂ කාරණයක් ද ඇත. එනම්, ඉහත ආකාරයට පරිවර්ථනය කරන විට එහි ‘නැමදුමට සුදුස්සා’ යයි පැවසීම තුල ‘නැමදුම නොවන කටයුතුවල දී අල්ලාහ් (දෙවි) හැර වෙනත් කිසිවක් සරණ යා හැකිද?’ යන ගැටළුව සමහර විට ඔබට ඇති වනු ඇත. නමුත් මෙහි ‘ලාඉලාහ් ((ලා) + ඉලාහ්)’ යන අරාබි වදන සන්ධි කොට බැලුවේ නම් එහි ‘ලා’ යනු ‘නැත’ යන අරුථයි. ‘ඉලාහ්’ යනු (දෙවිවරුන් ඇතුළු) කිසිවක් හෝ කිසිවෙක්’ යන්නයි. ඒ අනුව ඉහත ‘ලාඉලාහ’යන්න ඔබට තරමක් දුරකට පැහැදිලි වියයුතුයි. මෙය තවදුරටත් පැහැදිලි කරගැනීම පිණිස මෙම ‘ලාඉලාහ ඉල්ලල්ලාහ්’ යන පාඨයන් ප්‍රධාන අංග දෙකකට වෙන් කොට විමසා බැලිය හැක. එනම්,

  • නැති බව ප්‍රකාශ කිරීම – එය ‘ලාඉලාහ’ කිසිවක් හෝ කිසිවෙක් නැති බව ප්‍රකාශ කිරීම.
  • ඇති බව ප්‍රකාශ කිරීම – එය ‘ඉල්ලල්ලාහ්’ නැමදීමට සුදුස්සා අල්ලාහ් පමණක් ම ඇති බවත්, ඔහු අසමසම බවත්, ඔහුට කොටස් කරුවන් නොමැති බවත් ප්‍රකාශ කිරීම.

මේ අනුව නැමදුමට හා අවනතවීමට එකම සුදුස්සා වන අල්ලාහ් (දෙවි)ට යටහත්ව ඔහුට කිසිවක් හෝ කිසිවෙක් සමාන කිරීමේ ‘ෂිර්ක්’ නම් මහා පාපයට පිටුපා,ඒකදේවත්වය පිළිගෙන,එහි ස්ථීරව හිඳ, ඒ අනුව තම සියළු ක්‍රියාවන් සකසා ගන්නේද, ඔහු සත්‍ය මුස්ලිම්වරයෙකු වේ. යමෙක් එයින් අංශුමාත්‍රයක් හෝ බැහැර වන්නේ ද ඔහු ‘මුනාෆික්’ (කුහකයන්) හෝ ‘මුෂ්රික්’ (ඉස්ලාමයෙන් බැහැර වූ) කෙනෙකු බවට පත්වේ.

ලාඉලාහ ඉල්ලල්ලාහ් හි විශේෂත්වය

මෙම ‘කලිමා’වෙහි වැදගත්කම හා එහි මහිමය ඉස්ලාමීය මූලාශ්‍රයන් හි බොහෝ තැන්වල සදහන් වේ. එවැනි ඉගෙන්වීමක් මෙහි ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

ලාඉලාහ ඉල්ලල්ලාහ් යනුවෙන් පවසන යමෙක්ගේ සිතෙහි තිරිගුපිටි ප්‍රමාණයක කුසල් තිබෙන්නේද ඔහුද, ලාඉලාහ ඉල්ලල්ලාහ් යනුවෙන් පවසන තවත් කෙනෙකුගේ සිතෙහි තිරිගුඇටයක ප්‍රමාණයක කුසල් තිබෙන්නේද ඔහුද, ලාඉලාහ ඉල්ලල්ලාහ් ලෙස පවසන තවත් කෙනෙකුගේ සිතෙහි අණුවක ප්‍රමාණයක කුසල් තිබෙන්නේද ඔහුද, (නිරයට ගියත් යම් දිනක) නිරයෙන් නිදහස් වනු ඇත. මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්

ලාඉලාහ ඉල්ලල්ලාහ් හි කොන්දේසි

ඉහත හදීසය තුලින් ‘කලිමා’වෙහි මහිමය හා එහි වැදගත්කම පහසුවෙන් වටහාගත හැක. එවන් විශේෂ වූ මේ ‘කලිමා’ව පිලිගැනීමේ දී එය කොන්දේසී කිහිපයකට යටත්ව පිලිපැදීම අත්‍යඅවශ්‍ය බව ඉස්ලාම් පවසයි. ඒවා මෙසේය…

  • දැනුම,
  • නිශ්චය කිරීම,
  • අවංකව පිළිගැනීම,
  • වහල්වීම,
  • සත්‍යභාවය,
  • චිත්ත පාරිශුද්ධත්වය,
  • ආදරය කිරීම,

ඉහත කොන්දේසි 07 දීර්ඝ ලෙස සාකච්චා කලයුතු කොන්දේසි වූවත් මෙම ලිපිය දීර්ඝ වීම සැලකිල්ලට ගෙන මෙහි කෙටියෙන් ඉදිරිපත් කොට ඇත. ඒ අනුව ඉහත කොන්දේසී අවබෝධ කොට ඒවාට යටත්ව ‘කලිමාව’ පිලිගැනීම අත්‍යඅවශ්‍ය යන්න සෑම මුස්ලීම්වරයෙකුම මෙහි වටහා ගතයුතු වේ.

මුහම්මද් රසූලුල්ලාහ්

‘කලිමා’වෙහි මුල් කොටස වන ‘ලාඉලාහ ඉල්ලල්ලාහ්’ යන්න පිලිබදව මෙතෙක් ඉහතින් විමසා බැලුවෙමු. එහි දෙවන කොටස වන ‘මුහම්මද් රසූලුල්ලාහ්’ යන්න මෙතැන් සිට විමසා බලන්නේ නම්,

මෙහි සරල තේරුම වන්නේ ‘මුහම්මද් (සල්) තුමා සමස්ථ මිනිස් සමාජයට ම එවන ලද අල්ලාගේ දූතයා’ යන්නයි. ඒ අනුව එතුමාණන් අණ කළ දේ පිළිපැදීමත්, එතුමාණන් දැනුවත් කළ දේ සත්‍ය කිරීමත්, එතුමාණන් වැලැක් වූ දෑ වලින් වැලකීමත්, එතුමාණන් පෙන්වාදුන් අරමුණ කරා ක්‍රියාත්මක වීමත් මෙම කලිමාව පිලිගත් පිරිසගේ වගකීම වේ. මෙම කාරණය අවබෝධයෙන් යුතුව පිලිගැනීම කලිමාවෙහි අවසාන කොටස වන ‘මුහම්මද් රසූලුල්ලාහ්’ යන්න පිලිගැනීම ද වේ. මෙහි ‘රසූලුල්ලාහ්’ යන්න ද ‘රසූල් + අල්ලාහ්’ යනුවෙන් සන්ධි කල හැක. ඒ අනුව ‘රසූල්’ යනු සමස්ථ මිනිස් සමාජය අල්ලාහ් (දෙවි) කරා කැඳවීම සඳහා අල්ලාහ් (දෙවි) විසින් පහල කරන ලද සුභාරංචි හා අවවාද මිනිස් සමාජයට පවසන්නාය (මෙම රසූල්වරුන් දේව ‘වක්තෘවරුන්’ ලෙස ද හැදින්වේ). ඒ අනුව මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් (දෙවි) විසින් එවන ලද දේව වක්තෘවරයෙකු යයි විශ්වාස කිරීම ‘මුහම්මද් රසූලුල්ලාහ්’ යන්නෙහි අරුථ වේ.

අවසාන වශයෙන් සියල්ල සාරාංශ කොට පවසන්නේ නම්, ඉස්ලාම් පවසන ‘කලිමාව’ යනු ‘ලාඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මද් රසූලුල්ලාහ්’ යන්න අවබෝධයෙන් යුතුව පිලිගෙන මුහම්මද් (සල්) තුමාණන්ගේ මඟපෙන්වීම අනුව ඒ ශුද්ධ වූ අරමුණ කරා ගමන් කිරීමයි. ඒ අනුව මේ ‘කලිමා’වෙහි යතාර්ථය අවබෝධ කොට ඒ ශුද්ධ වූ අරමුණ කරා සමස්ථ සමාජ ගමන් කිරීමට නුවණැස පෑදේවා! යන ප්‍රාර්ථනය ඇතුව මෙම ලිපිය අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම