ඊද් (අවුරුදු උත්සව දින) සලාතය ඉටුකිරීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


ඊද් සලාතය
ඊද් සලාතය

ඊද් සලාතය යනු ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවයම අවුරුදු දින ඉටුකළ යුතු විශේෂ සලාතයකි. ජුම්මා (සිකුරාදා) සලාතය සියළු දෙනා අනිවාර්යෙන්ම ඉටු කළ යුතු සලාතය බව අපි දනිමු. නමුත් “සිකුරාදා දින අවුරුදු උත්සවය එළඹුනහොත් ඊද් සලාතය පමණක් ඉටුකිරීම ප‍්‍රමාණවත්” යන්නෙන් ඊද් සලාතයට ඉස්ලාමය දී ඇති වැදගත් කම වටහාගත හැක. ඊදුල් ෆිත්ර් හා ඊදුල් අල්හා (මුස්ලීම්වරුන් සදහා වූ) අවුරුදු උත්සව දවස් දෙකෙහිම විශේෂිත වූ සලාතය රකආත් දෙකක් ඉටුකරන මෙන් නබි (සල්) තුමාණෝ අණ කර ඇත.

සලාතය ඉටුකළ යුතු වේලාව

නබි (සල්) තුමාණෝ ඊදුල් ෆිත්ර් දිනයේදීත් ඊදුල් අල්හා දිනයේදීත් (පල්ලියට නොගොස්) “මුසල්ලා” (නම් සලාතය ඉටුකරනු විවෘත) පිටියට යෑමට පුරුදුව සිටියහ.එතුමාණෝ එදින කටයුතුවලින් පළමු කටයුත්ත ලෙස සලාතය ආරම්භ කරන්නේය.

ග‍්‍රන්ථය :- බුහාරී, මුස්ලිම්

“ඉබ්නු සුබෛර් (රලි) තුමාණෝ සිකුරාදා දිනක ඊද් සලාතය දිවා කාලයේ ආරම්භ කොටසෙහ කොටසෙහි මෙහෙය විය. පසුව අපි ජුම්මා සලාතය ඉටුකිරීමට ගියෙමු. නමුත් එතුමා ජුම්මා සලාතයට පැමිණියේ නැත. අපි තනියෙන්ම (ජුම්මා) සලාතය ඉටු කලෙමු. මෙය සිදුවන විට ඉබ්නු අබ්බාස් (රලි) තුමා තායිෆ් නගරයේ සිටියේය. එතුමු මදීනා නගරයට පැමිණි විට අපි මේ ගැන එතුමාට පැවසුවෙමු. එයට එතුමා “ඉබ්නු සුබෛර්” නබි තුමාණන්ගේ මාර්ගය අනුවම ක‍්‍රියා කර ඇත යැයි පිළිතුරු දුන්නේය.”

ග‍්‍රන්ථය :- අබූදාවූද්


“අවුරුදු දිනයේ පළමු කටයුත්ත ලෙස සලාතය ඉටුකළ යුතු බව මෙම හදීස් වලින් පැහැදිලි වෙයි. ඉහත හදීසයේ දිවා කාලයේ ආරම්භ කොටසෙහි… යනුවෙන් සඳහන් වෙන නිසා ඊද් සලාතය ප‍්‍රමාද නොකර උදෑසනම ඉටුකළ යුතුය.”

සලාතය පිටියක ඉටුකළ යුතුය

“නබි (සල්) තුමාණෝ ඊදුල් ෆිත්ර් දිනයේදීත් ඊදුල් අල්හා දිනයේදීත් (පල්ලියට නොගොස්) මුසල්ලා නැමැති (සලාතය ඉටුකරනු ලබන) පිටියට යෑමට පුරුදුව සිටියහ.”

ග‍්‍රන්ථය :- බුහාරී මුස්ලිම්

ඊද් සලාතය හා කාන්තාවන්

ඊද් සලාතයට අනිවාර්යෙන්ම කාන්තාවන්ද සහභාගී විය යුතුය. තවද මාසික ඔසප් වීම ඇති වූ කාන්තාවන්ද සලාතය ඉටුකරනු ලබන ස්ථානයට පැමිණිය යුතු අතර ඔවුන් සලාතය හැර අනිකුත් යහක‍්‍රියා වලට සහභාගී විය යුතු යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි.

ඊද් සලාතය සඳහා යාමට හා ඒමට මාර්ගය වෙනස් කරගැනීම

ඊද් සලාතය සඳහා සලාතය ඉටුකරනු ලබන පිටියට යෑම සඳහා එක් මාර්ගයක් ද සලාතය අවසන් වී පැමිණීමට තවත් මාර්ගයක්ද තෝරා ගැනීම සුන්නාව වේ.

“ඊද් දිනය එලඹනු විට නබි (සල්) තුමාණෝ (යන සහ එන) මාර්ගය වෙනස් කර ගන්නේය.”

ග‍්‍රන්ථය :- බුහාරී

සලාතයට පෙර අනුභව කිරීම

“ඊදුල් ෆිත්ර් සලාතය ඉටුකිරීම සදහා නබි (සල්) තුමාණෝ කිසිවක් අනුභව නොකොට නොයන්නේය.”
“රටඉඳි ටිකක් අනුභව නොකර ඊදුල් ෆිත්ර් අවුරුදු දිනයේදී නබි (සල්) තුමාණෝ (සලාතය සඳහා) පිටත් වන්නේ නැත.”

ග‍්‍රන්ථය :- බුහාරී

ඊදුල් ෆිත්ර් දිනයේදී නබි (සල්) තුමාණෝ අනුභව නොකර (සලාතය) සඳහා පිටත් වන්නේ නැත. ඊදුල් අල්හා (හජ් අවුරුද්ද) දිනයේදී කුර්බාන් කරන තුරු (එතුමාණෝ) අනුභව කරන්නේ නැත.

ග‍්‍රන්ථය :- ඉබ්නු හුසෛමා

ඊද් සලාතයට පෙර හා පසු සුන්නත් නැත

ඊදුල් ෆිත්ර් හා ඊදුල් අල්හා යන ඊද් සලාතයන් දෙකටම පෙර හා පසු සුන්නත් සලාත නොමැත.

“නබි (සල්) තුමාණෝ ඊද් දිනයේදී (සලාතය ඉටුකරනු ලබන පිටියට) ගොස් රකඅත් දෙකක් සලාතය ඉටු කළහ. එයට පෙර හා පසු කිසිඳු සලාතයක් ඉටුකළේ නැත.”

ග‍්‍රන්ථය :- බුහාරී, මුස්ලිම්

අදාන් හා ඉකාමත් නොමැත

ඊද් සලාත දෙකටම අදාන් හා ඉකාමත් නොමැත.

“ඊද් සලාත දෙකම අදාන් හා ඉකාමත් නොමැතිව වරක් දෙවරක් නොව, වාර ගනනාවක්ම නබි (සල්) තුමා සමග ඉටුකර ඇත්තෙමි.”

ග‍්‍රන්ථය :- මුස්ලිම්

සලාතය ඉටුකළ යුතු ආකාරය සලාතය

ඊද් සලාතය රකඅත් දෙකක් ඉටුකළ යුතුය. පළමු රකඅතයේ තක්බීර් තහ්රීමයට පසු අල්ලාහුම්ම බාඉද් බයිනී… හෝ වජ්ජහ්තු වජ්හිය ලිල්ලදී… යන දුආව පාරායනය කළ යුතුයි. ඉන් පසු ඉමාම් අල්ලාහු අක්බර් කියා සත් වතාවක් පැවසිය යුතුයි. ඉමාම්ව පිළිපදිමින් සලාතය ඉටුකරන (ම:මූම්) අයද සත් වතාවක් (ශබ්ද නොනගා) සෙමින් “අල්ලාහු අක්බර්” කියා පැවසිය යුතුය. පසුව සූරතුල් ෆාතිහාව සහ තවත් සූරතයක් පාරායනය කර, රුකූඋ, සජදා ඇතුළු අනිකුත් සලාත්වල කරන සියළු කර්තව්‍යයන් කළ යුතුවේ. ඉන්පසු අල්ලාහු අක්බර් කියා දෙවන රකඅතය සඳහා නැගිටීමෙන් පසු, සූරතුල් ෆාතිහා පාරායනය කිරීමට පෙර ඉමාම් පස් වතාවක් අල්ලාහු අක්බර් කියා පැවසිය යුතුයි. ඉමාම්ව අනුගමනය කරමින් සලාතය ඉටුකරන ම:මූම් වරුද ශබ්ද නොනගා සෙමින් පස් වතාවක් අල්ලාහු අක්බර් යැයි පැවසිය යුතුයි. පසුව අනිකුත් සලාතයන් මෙන්ම සූරතුල් ෆාතිහාව හා තවත් සූරාවක් පාරායනය කිරීමෙන් පසු, සුජූද් හා රුකූඋ වැනි සියළු ක‍්‍රියාවන් ඉටුකර සලාතය අවසන් කළ යුතුය. පළමු රකඅතයේ තක්බීර් හතක් හා දෙවන රකඅතයේ තක්බීර් පහක් පවසන විට, තක්බීර් අතරතුර පාරායනය කිරීමට කිසිඳු දුආවක් නබි (සල්) තුමාණෝ අපට උගන්වා දී නැත. එම නිසා තක්බීර් අතරතුර කිසිඳු දුආවක් පාරායනය නොකළ යුතුය. එසේ කිරීම බිද්අත් වේ.

“නබි (සල්) තුමාණෝ පළමු රකඅතයේ තක්බීර් හතක්ද දෙවන රකඅතයේ තක්බීර් පහක්ද පවසන්නේය. මෙසේ කිරාඅතයට (කුර්ආන් පාරායනයට) පෙර පවසන්නේය.”

ග‍්‍රන්ථ :- අබූදාවූද්, දාරකුත්නි

ඊද් සලාතයේ පාරායනය කළ යුතු සූරාවන්

නබි (සල්) තුමාණෝ ඊදුල් ෆිත්ර් හා ඊදුල් අල්හා යන ඊද් සලාත දෙකෙහිම, පළමු රකඅතයේ අ:ලා (87 වන) සූරාවද, දෙවන රකඅතයේ ගාෂියා (88 වන) සූරාවද පාරායනය කර ඇති බව මුස්ලීම් හදීස් ග්‍රන්ථයේ සදහන් වේ. නබි (සල්) තුමාණෝ සමහර අවස්ථාවන්හි පළමු රකඅතයේ කාෆ් (50 වන) සූරාවද දෙවන රකඅතයේ කමර් (54 වන) සූරාවද පාරායනය කර ඇති බව තවත් මුස්ලීම් ග්‍රන්ථයේ තවත් හදීසයක සදහන් වේ.

“සුත්රා” නම් බාධකය

ඊදුල් ෆිත්ර් හා ඊදුල් අල්හා යන අවුරුදු සලාත් දෙකම පිටියක ඉටුකරන විට, ඉමාම්වරයාට ඉදිරියෙන් සුත්රාව ලෙස යමක් තබාගත යුතුය.

“ඊදුල් ෆිත්ර් දිනයේදී සහ ඊදුල් අල්හා දිනයේදී (සුත්රාව වශයෙන්) නබි (සල්) තුමාණන්ට ඉදිරියෙන් ඊතලයක් සිටවනු ලැබේ. නබි (සල්) තුමාණෝ (එම ඊතලය දෙසට) සලාතය ඉටුකරන්නේය.”

ග‍්‍රන්ථයන් :- බුහාරී, මුස්ලිම්.

මිම්බර් (නම් උපදේශන වේදිකා) නොමැත

සිකුරාදා දින දේශනය ඉමාම්වරයා මිම්බරයේ සිට සිදුකරන ආකාරයට ඊද් දිනයේදී මිම්බරයේ සිට දේශනය නොකල යුතුය. නබි (සල්) තුමාණෝ ඊද් දින දේශනයේ සිදුකර ඇත්තේ (මිම්බරයක නොනැගී) බිම සිටගෙනයි. නමුත් පසු කලෙක මදීනා නගරයේ ආණ්ඩුකාරයා වූ මර්වාන් විසින් නබි (සල්) තුමාගේ ශ්‍රේෂ්ඨ සහාබි වරයෙක් වූ අබූ සයීද් අල්-කුද්රී (රලි) තුමාගේ දැඩි විරෝධතාව මැද ඊද් සලාතයට මිම්බරයක් හඳුන්වා දෙන ලදී. එබැවින් ඊද් දිනයේ දේශනය සිදුකළ යුත්තේ බිම සිටගෙනයි. මිම්බරයක නැගී දේශනය සිදු කිරීම නබි තුමාණන්ට පසුව ඇති වූ බිද්අතයක් වේ.

කාන්තාවන්ට දේශනය නොඇසුනා නම්…

ඊදුල් ෆිත්ර් හා ඊදුල් අල්හා යන අවුරුදු දින දෙකෙහිම දේශනය කාන්තාවන්ට ඇසෙන ආකාරයට සංවිධනය කළ යුතුය. කාන්තාවන්ට දේශනය නොඇසුනා නම් ඔවුන්ට වෙනම දේශනයක් කළ හැකිය.

“(ඊද් දිනයේදී) මම නබි (සල්) තුමා වෙත අවධානය යොමු කළෙමි. එතුමාණෝ දේශනය පැවැත්වීමට පෙර සලාතය මෙහෙය වූහ. පසුව (දුරින් සිටී නිසා) තමාට සවන් දීමට කාන්තාවන්ට නොහැකි වූ බව සිතා බිලාල් (රලි) තුමා සමග ඔවුන් වෙත ගොස් ඔවුන්ට දේශනය කර දාන දෙන මෙන් අණ කළහ. බිලාල් (රලි) තුමා ඇඳුමක් ඇතිරගෙන සිටියේය. එවිට කාන්තාවෝ එ(ම ඇතිරිල්ලෙ) හි (තම ආභරණයන් ගලවා) දමන්නට පටන් ගත්හ.”

ග‍්‍රන්ථය :- බුහාරී

ඊද් දිනයේ තක්බීර් සහ ප‍්‍රාර්ථනා

ඊද් දින දෙකෙහිම අල්ලාහ්ගේ උතුම් බව කියා පෑමට වැඩි වැඩියෙන් තක්බීර් පැවසිය යුතුයි. තවද ඊද් සලාතය ඉටුකරන ස්ථානයේ සිටින විට, අපගේ අවශ්‍යතා ඉදිරිපත් කර අල්ලාහ්ගෙන් ප‍්‍රාර්ථනා කළ යුතුයි. මෙහි කරනු ලබන ප‍්‍රාර්ථනාවලට වැඩි වැදගත් කමක් ඇති බව හදීස් ග්‍රන්ථයන් හි සදහන් වේ. තක්බීර් යනු අල්ලාහු අක්බර් කියා පැවසීමයි. ඊද් දිනය සඳහා වෙනම තක්බීරයක් නබි (සල්) තුමාණන් පෙන්වාදී නැත. එවැනි තක්බීරයකට සහීහ් වූ හදීස්වල කිසිඳු සාක්‍ෂියක් නැත. තවද ඊද් දිනයේදී ෆර්ල් වූ සලාතයන්ට පෙර හෝ පසු තක්බීර් පාරායනය කිරීමට සහීහ් වූ හදීස් වල කිසිඳු සාක්‍ෂියක් නොමැත. ඊද් දිනයේදී ද තක්බීරය ශබ්ද නගා ප‍්‍රකාශ නොකළ යුතුය.

ඊද් දිනය සිකුරාදා දවසක් නම්

සිකුරාදා දිනක ඊද් අවුරුද්ද පැමිණියහොත් ඊද් සලාතය පමණක් ඉටුකර, ජුම්මා සලාතය ඉටුනොකර සිටීමට අවසර ඇත. නමුත් නබි (සල්) තුමාණෝ ඊද් සහ ජුම්මා යන සලාතයන් දෙකම ඉටුකර ඇති බව පහත හදීසයෙන් දැනගත හැකියි.

“අද දින ඔබලාට ඊද් දෙකක් පැමිණ ඇත. යමෙකු මෙම ඊද් සලාතය ඉටුකරයි නම් ඔහුට ජුම්මා සලාතය ඉටු නොකර සිටිය හැකියි. නමුත් අපි ජුම්මා සලාතය පවත්වන්නෙමු” යැයි නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළහ.

ග‍්‍රන්ථය :- අබූදාවූද්

ඇතැම් සහාභාවරු ඊද් සලාතය පමණක් ඉටුකර ඇති බව පහත හදීසයෙන් දැනගත හැක.

” ඉබ්නු සුබෛර් (රලි) තුමාණෝ සිකුරාදා දිනක ඊද් සලාතය දිවා කාලයේ ආරම්භ කොටසෙහි මෙහෙය විය. පසුව අපි ජුම්මා සලාතය ඉටුකිරීමට ගියෙමු. නමුත් එතුමා ජුම්මා සලාතයට පැමිණියේ නැත. අපි තනියෙන්ම (ජුම්මා) සලාතය ඉටු කලෙමු. මෙය සිදුවන විට ඉබ්නු අබ්බාස් (රලි) තුමා තායිෆ් නගරයේ සිටියේය. එතුමු මදීනා නගරයට පැමිණි විට අපි මේ ගැන එතුමාට පැවසුවෙමු. එයට එතුමා ‘ඉබ්නු සුබෛර් නබි තුමාණන්ගේ මාර්ගය අනුවම ක‍්‍රියා කර ඇත’ යැයි පිළිතුරු දුන්නේය.”

ග‍්‍රන්ථය :- අබූදාවූද්

ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ ඉස්ලාමීය උත්සව දින දෙක වන ඊදුල්ෆිතුර් (උපවාසයෙන් පසු උදාවන අවුරුදු උත්සවය) හා ඊදුල් අල්හා (හජ් දිනය පෙරදැරිව සමරණ අවුරුදු උත්සවය) සදහා මුස්ලීම් සමාජය ආගමික කටයුතුවල නිරතවිය යුතු ආකාරය පිලිබදව ඉස්ලාමීය මූලාශ්‍රයන් හි සදහන් ආදර්ශයන් වේ.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

Category Category:සලාත් නම් නැමදුම් ඉටුකිරීම not found


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/15

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම