ඊර්ෂ්‍යාවේ විපාකය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


ලොව සුවකල නොහැකි එකම රෝගය ‘ඊර්ෂ්‍යාවයි’ යන්න පොදු සමාජ ව්‍යවහාරයෙහි පවතින ප්‍රකට කියමනකි. ලෞකික සැප සම්පත් කෙරෙහි මනුෂ්‍යා තුල ඇති වන ආශාව මේ ඊර්ෂ්‍යාවේ මුලයි. ලෞකික වස්තූන් කෙරෙහි ආශාවෙනේ ඒවා තමන් සතු කර ගැනීමේ උත්සාහයක යෙදී සිටින අතර තුර තමන් ලද දෙයින් තෘප්තිමත් නොවී අන්සතු සම්පත් කෑදර මනසින් බලන විකෘතිතාවය ඊර්ෂ්‍යාවයි. මේ විකෘතිතාවය අද ලෝකයට උරුමකර දී ඇති ඉරණම සුළුපටු නොවේ. රටක් තවත් රටක දියුණුව දැක කරන ඊර්ෂ්‍යාවත්, රටක් තවත් රටක සම්පත් දැක කරන ඊර්ෂ්‍යාවත් අද රටවල් අතර යුධ තත්වයන් නිර්මාණය වීමට තරම් හේතුවී ඇත. එසේම ජාතියක් තවත් ජාතියක දියුණුවක් දැක කරන ඊර්ෂ්‍යාව ජාතිවාදී ගැටුම් දක්වා දුරදිග යන තත්වයක් දකින්නට ඇත. එපමණක් නොව පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු කෙරෙහි දක්වන ඊර්ෂ්‍යාව මරණයකින් අවසන් වන අවස්ථාවන් ඕනෑතරම් දක්නට හා අසන්නට ඇත. මෙම ඊර්ෂ්‍යාව යන්න තනිපුද්ගල, පවුල්, සමාජ, ජාති, රට… යනාදී ලෙස මුළු ලෝකයම ලොකු කුඩා බේදයකින් තොරව අද වෙලාගෙන ඇත.

මේ ඊර්ෂ්‍යාව පිලිබදව ඉස්ලාමීය විමසුමක් කිරීම මෙම ලිපියෙහි අරමුණයි. ඉස්ලාමීය ඉගෙන්වීම අනුම ‘ඊර්ෂ්‍යාව’ මහා පාපයක් ලෙස ඉස්ලාම් දකී. එපමණක් නොවේ මුස්ලීම් සමාජයේ පලමු බෙදීම සිදුවූයේත් මේ ඊර්ෂ්‍යාව හේතුවෙන් බව ශුද්ධ වූ කුර්ආනය 2-213 වාක්‍ය මඟින් ද පෙන්වාදෙයි. එවන් වූ මේ දුර්ගුණාංගය පිලිබදව හා එහි විපාකය කොතරම්ද යන්න ඉස්ලාමීය මූලාශ්‍රයන් තුලින් දැන් විමසා බලමු.

මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී ‘එක් මුස්ලීම්වරයෙකුගේ සිත තුල ඊමානය (දේව විශ්වාසය හා අවනතභාවය) හා ඊර්ෂ්‍යාව එකවිට පැවතිය නොහැක. ’

මූලාශ්‍ර ග්‍රන්ථය – ඉබුනු හිෆ්ෆාන්

ඉහත නබිවදනට අනුව ඊර්ෂ්‍යව ඇත්තෙකුගේ හදවත තුල ඉස්ලාම් පැවතිය නොහැකි බව පැහැදිලි වේ. එසේනම් ඔහුව ‘මුස්ලීම් නොවේ’ යන අවාසනාවන්ත තැනට මෙම ඊර්ෂ්‍යාව ඇද දමන බව පැහැදිලි වේ. එවැනි ඊර්ෂ්‍යාකරුවන් කිසිදිනෙක යහමග නොයන බව පහත දිව්‍යමය වදනින් ඉස්ලාම් අවදාරණය කරයි.

මුහම්මද් (සල්) තුමාණන් පැවසූ බව ලුමුරා සලෆා (රලි) තුමා දන්වයි ‘මිනිසුන් තමන් අතර ඊර්ෂ්‍යාව ඇති කර නොගන්නාතාක් යහමඟ ස්ථීරව සිටිනු ඇත.’

මූලාශ්‍ර ග්‍රන්ථය – තබරානි

අවසාන වශයෙන් මුස්ලීම්වරයෙකු ලෙස මේ ඊර්ෂ්‍යවෙන් මිදීමේ අවශ්‍යතාවය හා එයින් අපට හිමිවන වරප්‍රසාදය ඉතා පැහැදිලිව කියාපාන සිද්ධීයක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නෙමි.

අනස් (රලි) තුමා දන්වයි – අප නබිතුමාණන් සමඟ අසුන්ගෙන සිටින විට එතුමාණන් ‘දැන් නුඹලා හමුවට ස්වර්ගවාසියෙක් පැමිණෙනු ඇත’ යනුවෙන් පවසන ලදී. ඒ අවස්ථාවේ එතැනට එක්තරා (මදීනාවාසි) අන්සාරී සහාභිවරයෙකු පැමිණෙන් ලදී. දෙවැනි දවසේත් අප එලෙස නබිතුමාණන් හමුවේ අසුන්ගෙන සිටින විට පෙර දිනයේ සදහන් කල ආකාරයටම නබිතුමාණන් පැවසූ අතර එම මොහොතේදීත් පෙර දිනයේ පැමිණි සහාභිවරයා එතැනට පැමිණෙන් ලදී. තෙවැනි දිනයේ ද අප එලෙස නබිතුමාණන් හමුවේ සිටින විට පෙර දෙදිනයේ පැවසූ ආකාරයටම නබිතුමාණන් පැවසූ ආකාරයටම පැවසූ අතර එදිනත් පලමු දෙදිනයේ පැමිණි සහාභිවරයා එදත් එතැනට පැමිණෙන ලදී. මෙම පුද්ගලයා හමුවට ගිය අම්ර් ඉබුනු ආස් (රලි) තුමා ‘මම මගේ පියා සමඟ රණ්ඩු වී දින තුනකට නිවසට නොපැමිණෙන බව පවසා පැමිණ ඇත්තෙමි. එම දින තුනේ ඔබේ නිවසේ රැදී සිටීමට මට අවසර දෙන්නේද?’ යනුවෙන් එම අන්සාරීවරයාගෙන් විමසන ලදී. එයට එම අන්සාරී වරයා ‘හරි’ යනුවෙන් පවසා ඔහු කැදවාගෙන යන ලදී. එම අන්සාරීවරයා සමඟ අම්ර් (රලි) රාත්‍රී 03ක් නතර වී සිටී නමුත් ඔහු රාත්‍රියේ (කිසිදු සුවිශේෂි) වන්දනයක නිරතවෙනවා දක්නට නොවීය. (අළුයම කාලයේ ඉටු කරන)ෆජ්ර් සලාතයටයි ඔහු අවදිවුණේ. ඔහුගේ විශේෂ ක්‍රියාවකට මා දුටුවේ යහපත් දෑ පමණක් ඔහු කථා කිරීම පමණි. දින තුනක්ම ගෙවීගිය පසු ඔහුගේ යහක්‍රියාවන් ඉතා අල්පයක් බව සලකා මම ඔහුගෙන් මෙසේ විමසුවෙමි. ‘අල්ලාහ්ගේ වහල්ලාණනි!, මට මාගේ පියා සමඟ කිසිදු ගැටුමක් නැත. නමුත් නබිතුමාණන් දින තුනක්ම ‘නුඹලා හමුවට ස්වර්ගවාසියෙක් පැමිණෙයි’ යනුවෙන් පැවසූ විට එහි පැමිණියේ ඔබයි. එමනිසා (ඔබ සමඟ සිට) ඔබගේ කුසල ක්‍රියාවන් හොදින් අධ්‍යනය කිරීමේ අරමුණිනුයි මා ඔබ සමඟ දින තුනක් රැදී සිටියේ නමුත් එවැනි සුවිශේෂී කිසිවක් ඔබගෙන් මා නොදුටුවෙමි. එසේනම් ඔබට නබිතුමාණන් එලෙස පැවසීමට හේතුව කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට ඔහු ‘නුඹ දුටු දෑ ට වඩා කිසිවක් නැත. එනමුත් මම කවර මුස්ලීම්වරයෙකුටවත් වංචාවක් කරන්නට කිසිදු මොහොතක සිතන්නේ නැත. අල්ලාහ් (අන් පිරිසට) ලබාදුන් (සැපසම්පත්) භාග්‍යයන් දැක කිසිවකුට ඊර්ෂ්‍යා කරන්නේත් නැත’ යනුවෙන් පවසන ලදී. එයට එම සහාබිවරයා ‘මේ හේතුව නිසයි මෙපමණ උසස් තැනක් ඔබ දිනාගෙන සිටින්නේ එයට අප ශක්තිවන්තයන් නොවෙමු’ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – නසායි

එසේනම් ඊර්ෂ්‍යාව නම් ඒ දුර්ගුණාංගය අපේ ජීවිතවලින් ඈත් කොට ආදරය, කරුණාව, සහෝදරත්වය ඒ වෙනුවට ආදේශ කොට යහපත් දිවියක් ගෙවන්නට අප සියළුදෙනා අධිශ්ඨාන කරගමු. ඒ සදහා සර්වබලධාරී අල්ලාහ් (දෙවි) ආශිර්වාදය අප සියළුදෙනාට හිමිවේවා!, යනුවෙන් ප්‍රාර්ථනා කරමින් මේ ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/5

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම