උතුම් වූ මාසයේ උදාව හා ඒ සදහා අපගේ සූදානම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


උපවාසය
උපවාසය

මුස්ලීම් සමාජය උත්තරීතර මාසයක් ලෙස සලකන ‘රමලාන්‘ මාසය අභියස සිටින මේ මොහොතේ ඒ පිලිබදව කරුණූ කිහිපයක් මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරමි. ඉස්ලාමීය දින දර්ශනය අනුව නව සඳ දැකීමෙන් නව මාසය ඇරඹේ. ඒ අනුව මුස්ලීම් සමාජය උපවාස රකින ‘රමලාන්‘ නම් මාසය උදාවීමට තව ඇත්තේ දින කිහිපයක් පමණි. මේ උපවාසය මුස්ලීම් නොවන බහුතර පිරිස් අවබෝධ කොට සිටින්නේ මුස්ලීම්වරුන් නිරාහාරාව කිසිවක් පානය නොකොට දවසේ වැඩි කාලයක් ගෙවාදැමීමයි මේ උපවාසය කියන්නේ යනුවෙනි. මුස්ලීම් නොවන ප්‍රජාව පමණක් නොව අවාසනාවකට සමහරක් මුස්ලීම්වරුන් පවා‍ මේ උපවාසය අවබෝධ කොට සිටින්නේ එලෙසමය. මෙවන් සමාජ පසුබිමක, සැබැවින්ම මේ උපවාසය එසේ නිරාහාරව සිටීම සදහාම ද? යන්න විමසා බැලීම කාලීන වශයෙන් වැදගත් මාතෘකාවකි. විශේෂයෙන් මෙය මුස්ලීම් සමාජය බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතු සාකච්චාවට බඳුන් කලයුතු අත්‍යඅවශ්‍ය මාතෘකාවකි. මෙසේ මා පැවසීමට තවත් හේතුවක් ද ඇත. එනම්, මේ රමලාන් මාසය තුල සමහරක් මුස්ලීම්වරුන්ගේ ක්‍රියා කලාපයන් දෙස බලන විට මුස්ලීම් නොවන සහෝදර ජනයා ඉහත සදහන් ආකාරයට ‘මොවුන් නිරාහාරව හා කිසිවක් පානය නොකර සිටිනවා මිස මේ තුලින් ඔවුන් කිසිවක් දිනාගෙන නැත’ යනුවෙන් සිතනවා හැර වෙන කිසිදු වෙනසක් ඔවුන් තුල දක්නට ද නොමැති තරම්ය.

ඇත්තෙන්ම මේ උපවාසය මුස්ලීම්වරුන් වන අප තුල කුමන ආකාරයේ බලපෑමක් ඇති කලයුතුද?.

මෙහිදී මුහම්මද් (සල්) තුමාණන් විසින් මුස්ලීම් සමාජයට කල අවවාදාත්මක දිව්‍යමය වදනක් මේ හොහොතේ ඔබේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි. එනම්,

‘ආහාර පානයන්ගෙන් වැලකී සිටින ගමන් මුසාවන් පැවසීමත්, නිශ්පල ක්‍රියාවන් හි නිරතවීමත් කවුරුන් අත් නොහරින්නේ ද එවන් මිනිසුන්ගේ උපවාසයෙන් අල්ලාහ් (දෙවි)ට කිසිදු පලක් නොවේ. උපවාසය යනු (ආවර්ණයකි) පලිහකි. එමනිසා උපවාසයේ නිරත වන කිසිවකු උචිත නොවන කථාබහවල හෝ පහත් ක්‍රියාවන් හි නිරත නොවිය යුතුය. උපවාසයේ නිරතව සිටින කෙනෙකුට එරෙහිව කවුරුන් හෝ (රණ්ඩු දඹර වැනි…) සීමාව ඉක්මවා ක්‍රියා කිරීමට උත්සාහ කලේනම්, උපවාසයේ නිරතව සිටින්නා ‘මම උපවාසයේ නිරතව සිටින්නෙමි‘ යනුවෙන් පැවසිය යුතුය.‘ යනුවෙන් නබිතුමාණන් පවසන ලදී

මූලාශ්‍ර ග්‍රන්ථය – හදීස්

ඉහත හදීසයේ සදහන් කාරණයන්ට අනුව මුස්ලීම්වරුන් නිරතවන උපවාසය ආහාර පානවලින් ඔබ්බට ගිය එකක් බව අවබෝධ කරගැනීම අපහසු නොවේ. එසේම ඉහත හදීසය තුල සදහන් තවත් වැදගත් කාරණයක් ඇත. එනම්, මෙහි නබිතුමාණන් ‘උපවාසය යනු පලිහකි‘ යනුවෙන් සදහන් කිරීමයි. මේ පිලිබදව තරමක් ගැඹුරින් අවධානය යොමු කරන්නේ නම්, එම උපවාසවය නම් පලිහ ප්‍රධාන ආකාර 04 කට මිනිස් දිවිය තුල ක්‍රියාත්මක වන බව සදහන් කල හැක. (මෙම කරුණු මීට ඉහත මෙම අඩවිය තුල උපවාසය පිලිබදව කථා කල ලිපි තුල විග්‍රාහ කොට ඇත. එවන් ලිපි පහතින් ඔබට කියවීමට පුළුවන). එනම්,

  • මානසික ආවර්ණයක්
  • ශාරීරමය ආවර්ණයක්
  • සමාජීයමය ආවර්ණයක්
  • ආර්ථිකමය ආවර්ණයක්

මේ ලොව ජීවත්වන සෑම මනුෂ්‍යෙයකුටම තම දිවිය තුල සතුට පවත්වාගෙන යාමට නම් ඒ සදහා ඉහත ආවර්ණයන් 04 අනිවාර්‍ය අවශ්‍යතාවයකි. එම ආවර්ණය ඉස්ලාම් පවසන උපවසාය තුලින් පහසුවෙන් ලඟකර ගැනීමට හැකිවීම ආහාර පානවලින් වැලකී සිටීමට වඩා සුවිශේෂි අංගයක් යන්න දැන් ඔබට පැහැදිලි වියයුතුය. මෙවන් වූ උතුම් උපවාස මාසය වසරක් පාසා අප වෙත එන අතර මෙවරත් එය අප සමීපයට නැවතත් පැමිණ ඇත. ඒ සදහා අපගේ සූදානම කුමක් ද?, ඒ සදහා මුස්ලීම්වරයෙකුගේ සුදානම කවර ආකාරයට පැවතිය යුතු ද? යන කාරණයන් පිලිබදව දැන් අවධානය යොමු කරන්නේ නම්, එහිදී මුහම්මද් (සල්) තුමාණන් විසින් ලබාදුන් ආදර්ශය මුස්ලීම් සමාජයට ඉතා වැදගත් වේ. ඒ අනුව දිව්‍යමය වදන් කිහිපයක් මෙහිදී ඔබේ අවධානයට ගෙන එන්නේ නම්,

අනස් (රලි) තුමාණන් මෙසේ පවසයි

‘රජබ් මාසය ඇරඹුනේ නම්, නබිතුමාණන් මෙසේ පවසයි. එනම්, ‘යාඅල්ලාහ් (දෙවියනේ), මේ රජබ් හා ශාබාන් (රජබ් මාසයෙන් පසුව එන රමලාන් මාසයට පෙර මාසයයි ශාබාන් මාසය) මාසයන් හි අපට (ඔබගේ) භාග්‍යයන් පහල කරන්න. අපව උතුම් වූ රමලාන් (මාසයට) රුගෙන යන්න‘ යනුවෙන් පවසයි.

මූලාශ්‍ර ග්‍රන්ථය – තබරානි හා අහමද්

උතුම් වූ රමලාන් මාසය අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් මේ ආකාරයට මඟ බැලුවා නම්, ඔබත් මාත් කොතරම් බලාපොරොත්තු ඇතුව සූදානමකින් යුතුව එය මඟ බැලිය යුතුද?. එවන් උතුම් වූ මාසය උදාවට දින කිහිපයක් තිබිය දී එහි මහිමය පිලිබදව අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් පවසන තවත් දිව්‍යමය ආදර්ශයකට ඔබේ අවධානය යොමු කරන්නේ නම්,

සල්මාන් අල් ෆාරිස් (රලි) තුමාණන් මෙසේ පවසයි.

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් (රමලාන් මාසයට පෙර මාසය වන) ශාබාන් මාසයේ අවසාන දිනයේ දී ‘මනුෂ්‍යයනි!, අති උතුම් වූ මාසයක් නුඹලා වෙනුවෙන් උදාවී ඇත. මෙම මාසය තුල තමා මාස 1000කට වඩා උතුම් වූ (ලෙයිලතුල් කද්ර් නම්) රාත්‍රියක් (සැඟවී) තිබෙන්නේ. මෙම මාසයෙහි දහවල් කාලයේ උපවාසය රුකීම අනිවාර්‍ය වේ. අධික ලෙස වන්දනාමාන කටයුතුවල රාත්‍රී කාලයේ කැමැත්තෙන් නිරතවීම යහපත් වේ. එක් යහපක් ක්‍රියාවක් ඉටුකොට අල්ලාහ් (දෙවි)ගේ කැමැත්ත දිනාගැනීම රමලාන් නොවන මාසයන් හි අනිවාර්යයෙන් ඉටුකරන කුසලකට සමාන වේ. මෙම මාසය තුල අනිවාර්‍ය කුසල ක්‍රියාවක් ඉටුකිරීම රමලාන් නොවන මාසවල ඉටුකරන කුසලට ලැබෙන කුසල මෙන් 70 ගුණයක් හිමිවේ. මේ මාසය තමා ඉවසීම සදහා වූ මාසය වන්නේ. එම ඉවසීමට ලැබෙන කුලිය ස්වර්ගයම වන්නේය.

මෙම මාසය අධික ලෙස දුප්පතුන්, අසරණයන් හා රෝගීන් හමුවී ඔවුන් සමඟ දුක සැප බෙදා ගැනීමට සුදුසුම මාසය වන්නේ. මේ මාසය විශ්වාසවන්ත මුස්ලීම්වරයෙකුගේ ආහාරපාන, ඔහුගේ මිලමුදල් වර්ධනය වී ඔහුට (දෙවි) භාග්‍යයන්ද හිමි වන්නේ. කවුරුන් උපවාසයෙන් මිදෙන උපවාසකරුවන්ට ඒ සදහා ආහාරපානවලින් සංග්‍රහ කොට සහය දක්වන්නේ ද ඔහුගේ පාපායන් දෙවියන් සමා කරන්නේය. ඔහුව අපා ගින්නෙන් ද ආරක්ෂා කරනු ලබන්නේය. එකම එක රටඉදි ගෙඩියක්, වතුර උගුරක් හෝ කිරී උගුරක් එසේ (උපවාසයෙන් මිදෙන්නට) ලබාදුන්න ද එයටත් අල්ලාහ් (දෙවි) කුසල් ලබාදෙන්නේය. මෙම මාසයේ ආරම්භ දින 10 ය දේව කරුණාව පිරි දිනයන් වේ. මැද දින 10 ය පව් සමා කිරීමට අදාල දිනයන් වේ. අවසාන දින 10 ය නිරයෙන් මිදෙන්නට සහය වන දිනයන් වේ.

කවුරුන් එක් වහල්ලෙකු නිදහස් කිරීමට සහය වන්නේ ද, අල්ලාහ් (දෙවි) ඔහුට සමාව ලබා දී නිරයෙන් නිදහස් වීමට සහය වන්නේය. නුඹලා හමුවේ කරුණූ 04 ක් වර්ධනය කරගන්න. එයින් කරුණු දෙකක් තුලින් නුඹලාට අල්ලාහ් (දෙවි) සතුටු කල හැක. අනික් කරුණු දෙක අත්හැර නුඹලාට ජීවත්වීමට නොහැක. අල්ලාහ් (දෙවි) සතුටු කරවන එම කරුණු දෙක වන්නේ ‘අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නැතැයි සාක්ෂි දැරීම හා ඔහුගෙන් පව් සමාව අයදීම‘ය. නුඹලාට නැතුවම බැරි කරුණු දෙක වන්නේ ‘අල්ලාහ් (දෙවි)ගෙන් ස්වර්ගය ඉල්ලා සිටීම හා නිරයෙන් ආරක්ෂාව පැතීම‘ය. මුස්ලීම්වරයෙකු උපවාසයෙන් මිදෙන මොහොතේ ඔහුට කවුරුන් හෝ ජලය ස්වල්පයක් ලබාදෙන්නේ ද විනිශ්චය දිනයේ දී ඔහුට අල්ලාහ් (දෙවි), නබිතුමාණන් සිටින (‘කව්සර්‘ නම්) ජලාශයෙන් ජලය පිරිනමන්නේය. එය ඔහුව ස්වර්ගයට පිවිසෙන තුරු පිපාසය මුදාගන්නේය‘ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – හදීස්

ඉහත හදීසයන් හොදින් බුද්ධිමත්ව විමසා බලන්නේ නම් රමලාන් මාසය මුස්ලීම් සමාජයට කොතරම් වැදගත් මෙන්ම තීරණාත්මක මාසයක් ද? යන්න පහසුවෙන් වටහාගත හැක. මේ උතුම් වූ මාසය අප නිසි ආකාරව ප්‍රයෝජනවත් කර ගැනීමට නම්, ඒ සදහා අදික ලෙස කුසල් රුස් කිරීමට උනන්දු වන ගමන් අකුසල්වලින් දුරස් වීමටත් සැලකිලීමත් වියයුතුය. ඒ සදහා අල්ලාහ් (දෙවි)ගේ භාග්‍යය සමස්ථ ලෝකවාසී මුස්ලීම් ප්‍රජාවටම හිමිවේවා!, යයි යහමග අඩවිය ප්‍රාර්ථනා කරමින් මෙම ලිපිය අවසන් කරමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/19

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම