උපවාසය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


‘උපවාසය’ නම් වදන ශ්‍රී ලාංකීය අපට හෝ ලෝකයාට අලුත් වදනක් නොවේ. ආහාර පානවලින් වැලකී කිසියම් කාලයක් නිරාහාරව සිටීම ‘උපවාසය’ නම් වේ. ජාති ආගම් භේදයකින් තොරව විවිධ අරමුණු මූලික කරගෙන මෙම ‘උපවාසයේ’ නිරතවීම සමාජය තුල දක්නට ලැබේ. එවැනි නිදසුන් කිහිපයක් මෙහි පහතින් සදහන් කරන්නේ නම්,

  • තම ශරීර අධික තරබාරු නොවීම පිණිස උපවාසයේ නිරතවීම,
  • විවිධ රොගී තත්වයන් පාලනය කිරිමට උපවාසයේ නිරතවීම,
  • තම අයිතීන් හෝ වරප්‍රසාද දිනාගැනීම පිණිස උපවාසයේ නිරතවීම,
  • ආගමික මඟපෙන්වීම මූලික කරගෙන උපවාසයේ නිරතවීම,

යනාදීය මෙහි සදහන් කල හැක.

ලෞකික අයිතීන් දිනාගැනීම පිණිස වූ උපවාසය

මෙහි පලමු හා දෙවන කාරණය එනම්, තම ශරීර අවශ්‍යතාවයන් සදහා උපවාසයන් හි නිරතවීම මෙහි පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ යැයි සිතමි. තුන් වන කාරණය වන ‘තම අයිතීන් හෝ වරප්‍රසාද දිනාගැනීම පිණිස උපවාසයේ නිරතවීම’ යන කාරණය වෙත අවදානය යොමු කරන්නේ නම්, එයට නිදසුන් ලොවපුරා දෛනිකව ඕනෑ තරම් අසන්නට හා දකින්නට ලැබේ. එවැනි ජනප්‍රිය අවස්ථා කිහිපයක් මෙහි පහතින් සදහන් කරන්නේ නම්

  • මහත්මා ගාන්ධිතුමා තම ඉල්ලීම් දිනා ගැනීමේ දී විප්ලව ආදී හිංසාකාරී ක්‍රම ප්‍රතික්ෂේප කොට උපවාසය වැනි ක්‍රම අනුගමනය කිරීම,
  • දකුණු වියට්නාමයේ නිදහස පතා එහි සටන්කළ ගිහි පැවිදි නායකයෝ රැසක් උපවාසය නිසා මරුමුවට පත්වීම.
  • ඉන්දියාවේ 1952 දී ආන්ද්‍ර ප්‍රදේශයේ ප්‍රන්ත රාජ්‍යයක් ඇති කරන ලෙස ඉල්ලා දැඩි උපවාසයේ යෙදුණු ජෝති ශ්‍රී රාමුලු නමැත්තා 58 වන උපවාස දිනයෙහි මියයාම.
  • පංජාබ්හි මහජන මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කළ සික් ජනනායකයකු වූ දර්ශන සිංහ පෙරමන් නමැත්තා චන්දිගාර් නගරය පංජාබ් ප්‍රාන්තයට පවරන්නැයි ඉල්ලා උපවාසයෙහි යෙදී 74 වන දින (1969.10.27 දින) මියයාම.
  • අප රටේ මාරාන්තික උපවාසයක් මරණයෙන් කෙළවර වූ අවස්ථාවක් ඇත. ඒ එල්.ටී.ටී.ඊ සංවිධානයේ යාපනයේ දේශපාලන අංශ ප්‍රධාන තිලීපන් නල්ලූර් කෝවිල අසල පැවැත් වූ උපවාසයෙන් මරණයට පත්වීම ය. දින 12 ක උපවාසයෙන් පසු තිලීපන් 1987 සැප්තැම්බර් මස 26 වන දා මියයාම.
  • එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කළ ත්‍රිපුද්ගල උපදේශක කමිටුව ඉවත් කැර ගන්නා ලෙස බල කිරීම පිණිස ජාතික නිදහස් පෙරමුණේ නායක සහ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා හා නිවාස අමාත්‍ය විමල් වීරවංශ මහතා මාරාන්තික උපවාසයක 2010.07.08 දින නිරත වීම.

ඉහත අවස්ථාවන්ට අමතරව සමාජය මෙම උපවාසයේ නිරත වන මීලඟ අවස්ථා වන්නේ ආගමික ඇදහිලි විශ්වාසයන් මූලික කරගත් අවස්ථාවයි. දැන් ඒ පිලිබදව අවදානය යොමු කරමු.

ආගමික ඇදහිලි හා විශ්වාස මූලික කරගත් උපවාසය

ආගමික මඟපෙන්වීම මූලික කරගත් උපවාසය යන විෂය පිලිබදව අවදානය යොමු කරන විට මෙම ‘උපවාසය’ විවිධ ආකාරයෙන් විවිධ අරමුණු මූලික කරගෙන ලොව සෑම දහමක ම වාගේ ක්‍රියාත්මක වීම දක්නට ලැබේ. එවැනි නිදසුන් කිහිපයක් මෙහි පහතින් සදහන් කරන්නේ නම්,

  • සිරුරේ ඉන්ද්‍රයන් දමනය පිණිස උපවාසය,
  • සාර්ථක තපස් දිවියක් ගොඩනඟා ගැනීමට පිණිස උපවාසය,
  • මනස තුල අහිංසාව ගොඩනඟා ගැනිම පිණිස උපවාසය,
  • කතෝලිකයන් අළු බදාදා හා මහ සිකුරාදා යන දෙදිනයන් හි උපවාසය,
  • දුෂ්කර ක්‍රියා මඟින් සත්‍ය මාර්ග අවබෝධ කරගැනිම පිණිස උපවාසය,
  • ඉස්ලාම් ආගමික මූලික වගකීම ඉටුකිරීම පිණිස උපවාසය,

(ශ්‍රී ලාංකීය සමාජය තුල ප්‍රධාන ආගම් වන බෞද්ධ, හින්දු සහ කිතුණු යනාදී ආගම් තුල මෙම ‘උපවාසය‘ නම් විෂය කථා කරන ආකාරය උපවාසයක් ගැන කතා කරන එකම දහම ඉස්ලාම් ද යන ලිපිය තුලින් මෙම අඩවිය තුල මීට ඉහත දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත.) මේ ආකාරයට ලොව සෑම දහමක දර්හනයක ම කථා කරන ‘උපවාසය’ ඉස්ලාම් දහම තුල ද සාකච්චා වේ. එය කවර ආකාරයටද? යන්න මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරන අතර මෙවැනි සාකච්චාවක් මෙහි මෙලෙස සිදු කිරීමට මූලික හේතුවක්ද ඇත. එනම්, (2023) මෙම වර්ෂයේ ලොවපුරා ඉස්ලාම් භක්තිකයන් සමරණ රමළාන් නොහොත් ‘උපවාස’ සමය උදාවීමට ඇත්තේ තව දින කිහිපයක් වන බැවිණි. ඉතා පුළුල් විෂයක් වන මෙම ‘උපවාසය’ නම් විෂය යහමග අඩවිය තුල විවිධ මාතෘකා ඔස්සේ විටින් විට සාකච්චා කොට ඇත. එම ලිපියෙහි අන්තර්ගත කරුණූ ද සාරාංශ කොට ‘උපවාසය’ නම් විෂය මෙතැන් සිට තරමක් සවිස්තරව විමසා බලමු.

ආගම් හා විශ්වාස මූල් කරගත් විවිධ උපවාස ක්‍රමයන්

මීට ඉහතින් විවිධ ආගම් හි පවතින උපවාසයන් පිලිබදව කථා කලෙමු. එහි සමහරක් උපවාස ක්‍රම ‘උපවාසය’ නමින් කථා නොවුනත් එහිද ඇත්තේ ආහාර, පාන හා ලිංගික (කාමුක) හැඟීම් පාලනය කරමින් ඉටු කරන කිසියම් ආකාරයක උපවාසයක්ය. එවැනි නිදසුන් කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නේ නම්,

  • දියර වර්ගවලින් පමණක් වැලකී සිටීම
  • මස් මාළුවලින් පමණක් වැලකී සිටීම
  • දියරවර්ග පමණක් ආහාරයට ගැනීම
  • පැයක් පැය කිහිපයක් පමණක් ආහාරපානවලින් වැලකී සිටීම
  • නිහඩව සිටීම පමණක් උපවාසයක් ලෙස ඉටුකිරීම
  • අභණ්ඩව දවසක් දවස් කිහිපයක් උපවාසය රැකීම
  • මාස කිහිපයක් අඛන්ඩ උපවාසයෙ නිරතවීම

යනාදී වශයෙන් සදහන් කලහැක. මේවා සමහරක් හාස්‍ය උපදවන උපවාසයන්ය. උදාහරණයට දියර වර්ග පමණක් ආහාරයට ගැනීමේ උපවාසය සදහන් කල හැක මෙවැනි උපවාස මිනිස් දිවියට කිසිදු බලපෑමක් ඇති නොකරන සංකේතාත්මක උපවාස පමණි. මෙවන් පසුබිමක ඉස්ලාම් දහම පවසන උපවාසය දැන් විමසා බලමු.

ඉස්ලාම් පවසන උපවාසය කවුරුන් සදහා ද?

ඉස්ලාම් පවසන උපවාසය කවුරුන් සදහාද? යන පැනයට දියහැකි සරල පිලිතුර ‘එය මුස්ලීම්වරුන් සදහාය’ යන්නයි. නමුත් එය විවිධ කොන්දේසිවලට යටත්ව ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට අනිවාර්‍ය කරයි. එම කොන්දේසි අතර උපවාසයේ නිරතවීමෙන් වැළකිය යුතු පිරිස ඉස්ලාම් දහම පැහැදිලිව සලකුණු කොට පෙන්වයි. එම පාර්ශවයන් වන්නේ,

  • කුඩා දරුවන්
  • වයෝවෘදයන්
  • මන්ද බුද්ධිකයන් හා රෝගීන්
  • මඟියන් (ගමන්බිමන් හි නරතවන්නන්)
  • (මාස්ශුද්ධිය වැනි) විශේෂ අවස්ථාවල කාන්තාවන්

(මේ පිලිබදව යහමග අඩවිය තුල [[උපවාසය කවුරුන් සදහාද ]] යන ලිපිය තුලින් දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත.) මේ අනුව ඉහත කණ්ඩායම් 05 ට අන්තර්ගත නොවන සියළු පාර්ශවයන් සදහා උපවාසය අනිවාර්‍ය බව පැහැදිලි වේ. මීලඟට මෙම උපවාසය කුමක් සදහාද? යන කාරණය වෙතද කෙටි අවදානයක් යොමු කරන්නේ නම්,

නිරාහාරව හා පිපාසිතව සිටීම පමණක් උපවාසය නොවේ

‘කවුරුන් මුසාවන් පැවසීමත්, නිශ්පල ක්‍රියාවන්ගෙන් වැලකීමත් සිදු නොකරන්නේ ද ඔවුන් කුසගින්නේ සිටිමෙහි හා පිපාසයෙන් නිරතවීමෙහි අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවයක් නැත. යනුවෙන් මුහම්ම්ද් (සල්) තුමාණන් පවසන ලදී.‘

මූලාශ්‍ර ග්‍රන්ථය - අහ්මද්, තිර්මිදි, අබූදාවූද්

මුස්ලීම් සමාජයේ සමහරක් සිතා සිටින්නේ නිරාහාරව හා පිපාසිතව සිටීම උපවාසය යනුවෙනි. නමුත් මුසාව, අපවාදය, කේලම, මුලාව හා එවන් වූ අනිකුත් වැරදි ක්‍රියාවන්ගෙන් වැලකී සිටීම ඉස්ලාමයයි. උපවාස සමයේ මේ සියල්ලෙන්ම පූර්ණ වශයෙන් මිදී සිටීම අනිවාර්ය බව ඉහත හදීසය අවධාරණය කරයි. ‘මුස්ලීම්වරුන් ලෙස අප එම අවවාදය නිසි ලෙස පිලිනොපදින්නේ නම්, අපගේ උපවාසය මඟින් අප දිනාගත් කිසිවක් නොමැත‘ යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. වර්ථමාන මුස්ලීම් සමාජයේ බොහෝ පිරිස් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ උපවාසයේ නිරත වෙයි. නමුත් ඔවුන් දැන හා නොදැන උපවාසය බිඳෙන කරුණූවල ද නිරත වෙමින් සිටී.. එයට ප්‍රධාන හේතුව ඔවුන් උපවාසය අවබෝධ කරගෙන සිටින ආකාරයේ තිබෙන දෝෂයයි. ‘අළුයම කාලයේ සිට ගොම්මන් කාලය දක්වා ආහාර පානවලින් වැලකී සිටීම උපවාසය ලෙස ඔවුන් සිතයි. එවන් වූ උපවාසයන් ඔහුගේ මානසික සතුටටත්, ඔහු අවට සමාජයටත් වලංගු වන්නට පුළුවන නමුත් දෙවියන් හමුවේ ඔහු කුසගින්නේ හා පිපාසිතව සිටියා යන්න මිස ඉන් ඔබ්බට එහි කිසිදු නැති බව දැන්වත් වටහාගත යුතුය.

මුස්ලීම්වරුන් වන අපට අල්ලාහ් (දෙවි)ගේ අනපනත් හා ඔහුගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් මඟපෙන්වීමක් නොවන්නේද?. අපි මුස්ලීම් වූ පමණින් ඉස්ලාම් නමින් බෝඩ් ලෑල්ල දරාගත් පමණින් කරන කියන මනක්කල්පිත සියල්ල කිසිවිටෙක ඉස්ලාම් නොවේ. එවැනි ක්‍රියා සමහරක් අපට අකුසල පවා ලඟා කරවන ක්‍රියාවන් බවට පත්වෙනවා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. එය ඉහත හදීසය තුලින් වටහාගෙන නිවැරදි දහම නිවැරදිව අනුගමනය කිරීම උත්සාහ කලයුතුය.

ඉස්ලාම් පවසන උපවාසය කුමක් සදහාද?

ඉස්ලාම් දහම පවසන උපවාසය කුමක් සදහාද? යන කාරණය ඉස්ලාම් ආගමික මූලාශ්‍රයක් වන අල්කුර්ආනය තුලින් විමසා බලන විට එහි අරමුණ මෙසේ සදහන් වේ.

“විශ්වාසවන්තයනි (මුස්ලීම්වරුනි) !, නුඹලාට පෙර විසූ ජන (සමාජය)ට අනිවාර්ය කලාසේම, නුඹලාටත් උපවාසය රැකීම අනිවාර්ය කර ඇත. ඒ එය තුලින් නුඹාලා (අල්ලාහ් (දෙවි)ට) බියබැතියන් වනු පිණිසය.”

අල්කුර්ආනය 2-183

දේව අවනතභාවය සහ ඔහුට බියබැති බව වර්ධනය කරගැනීම පිණිස ‘උපවාසය’ අනිවාර්‍ය කල බව ඉස්ලාම් දහම ඉහත වාක්‍යයෙන් පවසයි. අධ්‍යාත්මික වශයෙන් මෙම ගුණාංගය වර්ධනය කරනු පිණිස ඉස්ලාම් දහම පනවන මෙම ‘උපවාසය’ තුලින් ලෞකික දිවියට ඇති කරන බලපෑම ද මෙහි විමසා බැලීම වැදගත් වේ. ඒ පිලිබදව ද අවදානයක් යොමු කිරීමේ දී එහි පාඩම් ගණනාවක් දකින්නට ලැබේ. එවැනි කිහිපයක් කෙටියෙන් විමසා බලන්නේ නම්,

උපවාසය කියාදෙන පාඩම – 01

“උපවාසය” යනු මුස්ලිම් ජනයා විසින් දෙවියන් උදෙසා කරන වත්පිලිවෙතකි. එය ක්‍රියාවට නංවන විට එය ඉටුකරන තැනැත්තා තුල දෙවියන් කෙරෙහි ආකර්ශනයක් ඇති වේ. තමන් ප්‍රිය කරන එසේම තමන්ගේ අවශ්‍යතාවයන් වන ආහාර, පාන හා ලිංගික අවශ්‍යතාවයන් වැනි කාරණාවලින් මිදී දේව නියෝගය පිලිගෙන කටයුතු කරන විට ඔහු තුල දෙවියන් කෙරෙහි කිසියම් ආකාරයක ආකර්ශනයක්, භක්තියක් ගොඩනැඟේ. 

උපවාසය කියාදෙන පාඩම – 02

උපවාසය තුලින් දෙවියන් අපේක්ෂා කරන තවත් අංගයක් නම්, “දෙවියන් කෙරෙහි බියබැති බව” එය ඉහත 2-183 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් ද අවධාරනය කරන බව අප ඉහතින් දුටුවෙමු. මේ බියබැති බව ඇතිවීමට ආහාර පානවලින් වැලකීසිටීම කිසිසෙත් ප්‍රමාණවත් නොවේ. මනුෂ්‍යාගේ මුළු ශරීරයම උපවාසය රැකිය යුතු යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. මෙය අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී,

“කවරෙකු මුසාවන් පැවසීමත්, රැවට්ටීමත්, අපචාරයන්හි නිරතවීමත් අත්හැර නොදමන්නේ ද ඔහු අනුභව නොකොට, පානය නොකොට සිටීම කෙරෙහි අල්ලාහ් (දෙවියන්ට) කිසිදු තැකීමක් නැත.”

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරී

දෙවියන්ගේ ආශිර්වාදය හා ආදරය අපේක්ෂාවෙන් උපවාසයේ නිරතවන කිසිවකුගේ සිත කිසියම් පාපක්‍රියාවක් වෙත නැඹුරු වනවිට ක්ෂණයකින් තමා උපවාසයේ නිරතව සිටින බව සිහිපත් වී එම පාපක්‍රියාවෙන් ඔහු දුරස්වනු ඇත. ඔහු තුල ඒ සදහා ශක්තියක් මේ උපවාසය තුලින් නිර්මාණය වනු ඇත. එහි එක් මූලික පියවරක් ලෙස තමා අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසා සිටියේ,

“කිසියම් කෙනෙකු තමන්ට පහරදීමට හෝ බැනවැදීමට උත්සාහ කලේනම් ඔහුට ‘මම උපවාසයේ නිරත වී සිටින්නෙමි’ යයි පවසා එතැනින් ඉවත් වන්න.”

මෙසේ උපවාසය රැකීම එනම් කුස පමණක් නොව මුළු සර්වාංගයම උපවාසය රැකීම තුල එනම් මනුෂ්‍යා තුල හොද සංයමයක් නිර්මාණය වීම අවශ්‍ය වේ.

උපවාසය කියාදෙන පාඩම – 03

මනුෂ්‍යා ඔහුගේ කැමැත්තට ආහාර පාන හා අනිකුත් ලෞකික සැපසම්පත් භුක්ති විදිමින් ජීවත් වනවිට නොදැනුවත්වම කිසියම් ආකාරයක මායාකාරී මෙන්ම ආඩම්භරකාරී ජීවිතයක් ඔහු තුල නිර්මාණය වේ. මෙවන් තත්වයක ඔහුට ලෝකය දෙස යාථාර්ථවාදීව දැකීමට නොහැකි වේ. මෙම තත්වය වර්ථමාන සමාජයේ අප නිරන්තරයෙන් දකින්නෙමු. එවැනි අවස්ථාවල බොහෝ විට අප “දැන් තමයි මට තේරෙන්නේ” යයි පවසන්න්. මෙහි පවතින්නේ එම මායාකාරී ස්වභාවයයි. ලෞකික සැපසම්පත් හා අලංකාරවල මනුෂ්‍යා ගිලී ජීවත් වනවිට ඔහුට යථාර්ථවාදී බොහෝ දේ නොපෙනී යයි. මෙම තත්වය නිසයි වරක් අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන් මෙසේ ප්‍රකාශ කලේ,

“ආදම්ගේ දරුවා (මුළු මිනිස් සමාජය) ඉතා නරක මල්ලක් පුරවමින් සිටී. එය තමා කුස. ආදම්ගේ දරුවාට ඔහුගේ කොදුනාරටිය සෘජුව තබාගැනීමට සුළු ආහාර ප්‍රමාණයක් ප්‍රමාණවත්, අධිකව ආහාර ගැනීමට අවශ්‍යම නම් (කුසෙන්) තුනෙන් එකක් ආහාරය සදහාත්, තවත් කොටසත් වතුර සදහාත්, ඉතිරි කොටස තමන් සදහාත් වෙන්කර ගනිත්වා!”

මූලාශ්‍ර ග්‍රන්ථය - අහ්මද්, ඉබුනුමාජා

ඉහත හදීසය තුලින් පැහැදිලි වන්නේ සීමා ඉක්මවා ආහාර පාන ගැනීම නිසා මනුෂ්‍යා තුල කිසියම් ආකාරයක දුර්වලතාවයන් නිර්මාණය වනවා යන්නයි. මනුෂ්‍යා ලෞකික බැදීම් කෙරෙහි දැඩි ආකර්ශනයක් ඇතිකර නොගෙන ජීවත් වනවිට ඔහුට ජීවිතයේ බොහෝ දෑ යථාර්තවාදීව අවබෝධ වේ. උපවාසය රැකීම තුලින් ද සිදුවන්නේ මේ මනුෂ්‍යගේ ලෞකික බැදීම් ඉවත් වී ඔහු යථාර්ථවාදී මිනිසකු බවට පත්වීමයි. මේ හේතුව නිසා ඔහු තරමක විවෘත හා පැහැදිලි මනසින් ලෝකය දෙස බලන්නට නැඹුරු වේ. මෙය මනුෂ්‍ය ස්වභාවය වන අතර එය වඩාත් හොදින් අවබෝධ කරගත හැකි සිදුවීමක් අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ කාලයේ එක්තරා අවස්ථාවක සිදුවිය. එය මෙසේය,

“එක්තරා අවස්ථාවක හන්ලලා අල් උසෙයිදි (රලි) තුමාණන් වරක් ‘මම ද්‍රේහියෙක් බවට පත්වුනා!’ යයි පවසන ලදී. එය ඇසු මුහම්මද් (සල්) තුමාණන් ‘මේ මොනවාද ඔබ කියන්නේ?’ යයි විමසා සිටින ලදී. එයට ඔහු, ‘අල්ලාහ්ගේ දූතයාණෙනි!, ඔබතුමා හමුවේ අප සිටින විට නිරය, ස්වර්ගය පිලිබදව ඔබතුමාණන් අපට අවවාද අනුශාසනා කරන්නේය. එවිට ඒ සියල්ල අප ඇස් ඉදිරිපිට දකිනවා සේ අපට හැඟේ. නමුත් ඔබතුමාගෙන් වෙන්වී ගියවිට බිරිද, දරුවන්, වතුපිටි… යනාදී කරුණුවල ගිලී එම අවවාද අනුශාසනාවලින් බොහෝ දෑ අමතක කර දමන්නෙමු.’ යයි පවසන ලදි.”

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලීම්

ඉහත හදීසයෙන් පැහැදිලි වන්නේ කුමක්ද? ලෞකික කාරණයන් තුල ගිලෙන තරමට අපට බොහෝ සත්‍යයන් යථාර්ථවාදීව දකින්නට නොහැකි වනවා යන්නයි. මේ උපවාසය තුලින් බොහෝ දෑ කෙරෙහි සිතන්නට හා බුද්ධිමත්ව දකින්නට පොළොඹවන නිසා මේ උපවාසය මුස්ලීම් ජනයා හට මහත් ආශිර්වාදයක් බවට පත්වේ.

උපවාසය කියාදෙන පාඩම – 04

මේ උපවාසය හේතුකොටගෙන ධනවතා හා දුගියා අතර ඇතිවන බැදීම කිසිසේත් නොසලකා හැරිය නොහැක. ධනවත් කෙනෙකු හට මේ උපවාසය, තමන්ට අල්ලාහ් (දෙවියන්) විසින් ලබා දී ඇති භාග්‍යයන් නිසිලෙස අවබෝධ කරගැනීමට මහත් පිටුවහලකි. ධනවත් පුද්ගලයෙකු හට ආහාර පාන හා බිරිද දරුවන් යනදී සියල්ල ඉමහත් භාග්‍යකි. මෙසේ ඔහු සුඛෝපභෝගි ජීවිතයක් තුල කල්ගෙවන විට එම සමාජයේම තවත් පිරිසක් මේ සියල්ල අහිමිව දුක්බර ජීවිතයක් ගතකරයි. මේ උපවාසය හේතුකොටගෙන මේ ධනවත් මිනිසා ආහාර පානවලින් හා අනිකුත් සැපසම්පත්වලින් දුරස් වී කල්‍ ගෙවයි. එහි දී ඔහුට එතුවක් තමන් භුක්ති විදින ලද භාග්‍යයන් හි මහිමය අවබෝධ වේ. විශේෂයෙන් ආහාර පානවල වටිනාකම අවබෝධ වේ. ඔහු එක්තරා දුරකට දුගී ජනයාගේ දුක අත්වි දී එහි දී ඔහුට දෙවියන් ලබා දී ඇති භාග්‍යයන් පමණක් නොව දුගියාගේ දිළිදුකමත් ඔහු ජීවිතයේ අත්විදින කටුක බවත් අවබෝධ කරගනී. මේ නිසා ඔහු දිළිදු ජනයා වෙනුවෙන් දානධර්මදීමටත් ඔවුනට උදව්කිරීමටත් පෙළඹේ. මේ තුලින් ඒ වර්ෂය පුරා දිළිදුබවෙන් මිරිකී ජීවත්වන එම දිළිදු ජනතාවට මේ උපවාස මාසය මහත් භාග්‍යවන්ත මාසයක් බවට පත්වේ. මෙම තත්වය එනම් ධනවතුන්ගේ පරිත්‍යාගය හා දිළිදු ජනයාගේ සතුට මෙම උපවාස (රමළාන්) මාසයේ මුස්ලිම් සමාජයේ සුළබව දකින්නට තිබෙන දසුනකි. මෙය උපවාසය තුලින් මනුෂ්‍ය සමාජය ලබාගත් ජයග්‍රහණයකි.

උපවාසය කියාදෙන පාඩම – 05

ඉස්ලාම් දහම පවසන බොහෝ වත්පිලිවෙත් මනුෂ්‍යාගේ මනස හා සෘජුවම බැදී පවතින කාරණයකි. එයට එක් සාධකයක් ලෙස මෙම උපවාසය ද සදහන් කලහැක. මේ උපවාසය තුලින් මනුෂ්‍යා තම සිත පාලනය කිරීමට පුරුදු පුහුණුවීම ද ඉස්ලාම් පෙන්වාදෙන කාරණයකි. මනුෂ්‍යාගේ සිතෙහි පාලනය මනුෂ්‍යාගෙන් මිදී පැවතීම තමා අද ලොව බොහෝ විනාශයන් අපරාධයන් සිදුවීමට මූලික හේතුව. තමන්ට කිසිසේත් වැලකිය නොහැකි යයි පවසන දෛනික අවශ්‍යතාවයන් වන ආහාර පාන හා ලිංගික අවශ්‍යතාවයන් තමා පිලිගෙන සිටින දෙවියන් වෙනුවෙන් වැලකී එය සතුටින් භාරගනී. තම සිතට වහල් ‍ෙවනවා වෙනුවට සිත වහල්කරගනී. මේ නිසා යහපත් අයහපත් කරුණු බුද්ධිමත් ලෙස තෝරා බේරාගෙන තම ජීවිතය යහපත් ආකාරයට සකස් කිරීමට හැකියාව ලැබේ. සිත යනු සෑම විටම මනුෂ්‍යාට වඩා පියවරක් ඉදිරියෙන් සිටින දෙයකි. නමුත් මේ මනස උපවාසය තුලින් පහසුවෙන් ජයගැනීමටත් එය වහල්කර ගැනීමටත් මුස්ලිම්වරයෙකු හට හැකිවේ. මෙය මනුෂ්‍යයෙකු වශයෙන් ලබන ලොකුම ජයග්‍රහණයකි.

උපවාසය කියාදෙන පාඩම – 06

උපවාසය තුලින් මනුෂ්‍යාහට හිමිවන තවත් භාග්‍යයක් වන්නේ ඔහුගේ හැඟීම් පහසුවෙන් පාලනය කැරීමට හැකියාව ඔහුතුල නිර්මාණය වීම. මනුෂ්‍යයෙකු හට කුසපිරෙන් ආහාර පාන හා කම්සැප නොඅඩුවකින් ලබන විට ඔහු තුල කිසියම් ආඩම්භරභාවයක් නිර්මාණය වේ. එසේම ඔහුගේ ජීවිතය තුල කිසියම් ආකාරයක ආවේගකාරී ස්වභාවයක් දක්නට ලැබේ. නමුත් උපවාසය හේතුකොටගෙන ඔහු ජීවිතය යතාර්ථවාදීව දකින්නට පෙළඹේ. එහි දී සත්‍ය වෙනුවෙන් නැඹුරුව, යටහත්ව හා ජනයා ඉදිරියේ නිහතමානිව ක්‍රියා කිරීමේ යහපත් චින්තනයක් ජීවිතය තුල නිර්මාණය වේ. එපමණක් නොව මනුෂ්‍ය ස්වභාවයෙන්ම මිනිසාට ආහාර පාන හැරුණූ කොට කායිකව ඇතිවන ප්‍රධාන අවශ්‍යතාවයක් තමා ලිංගික අවශ්‍යතාවය මෙය කිසියම් ආකාරයක පලනයක් කරගැනීම සදහා හොද ප්‍රතිකර්මයක් ලෙස ඉස්ලාම් උපවාසය හදුන්වා දේ. මේ පිලිබදව අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී.

“ඕ තරුණයෙනි!, නුඹලාගෙන් කවරෙකු විවාහයක් අවශ්‍යතාවයෙන් පෙලෙන්නේද? ඔවුන් විවාහ කරගනිත්වා!, මන්ද විවාහය (නුඹලාගේ) බැල්ම පහත හෙලන්නටත්, (නුඹලාගේ) ලිංගික අවයවයන් (දුරාචාරයෙන්) ආරක්ෂා කරන්නටත් සමත්ය. කව්රුන් එයට (විවාහයට) ශක්තිවන්ත නොවේද? ඔවුන් උපවාසය රකිත්වා නියතවම එය ඔහුව ආරක්ෂා කිරීමට සමත්ය.”

(ග්‍රන්ථය – බුහාරි, මුස්ලීම්)

ඉහත නබිවදනට අනුව අනුව මනුෂ්‍යගේ ලිංගික හැඟීමන් පාලනයට උපවාසය වඩාත් හොද පිලියමක් බව ඉස්ලාම් පවසයි. ශරීරයට අවශ්‍ය ආහාර හා ජලය නිසි ලෙස නොලැබෙන විට ඔහු මානසික හැඟීමන්ට වහල් නොවී බුද්ධිමත් ලෙස ජීවිතය දකින්නට පෙළඹේ ඒ හේතුවෙන් ඔහු ලිංගික හැඟීමන්ට වහල් වූ ජීවිතයෙන් මිදේ.

උපවාසය කියාදෙන පාඩම – 07

මා මෙම ලිපිය ආරම්භයේ සිට පැවසුවාසේ උපවාසය මනුෂ්‍යා බුද්ධිමත්ව සිතීමට පොළොඹවන එනම් මානසික නිදහස ලබාදෙන දේව සැලසුම් කරණයකි. මෙහි මානසික සුවය පමණක් නොව මෙම උපවාසය තුල කායික සුවයට ‍අවශ්‍ය බොහෝ දෑ අන්තර්ගතය. විශේෂයෙන් වර්ෂය පූරාවට අධික ලෙස ශරීරයට ආහාර ගැනීම නිසා විවිධ වූ රෝගී තත්වයන් ඇති වේ‍. එවැනි රෝගි තත්වයන් සදහා මෙම ඉස්ලාම් පවසන උපවාස ක්‍රමය වඩාත් පලදායි බව වෛද්‍යවරුන්ගේ පවා නිගමනයයි. විශේෂයෙන් මනුෂ්‍යාහට වැලදෙන බොහෝ රොගී තත්වයන්ට හේතුකාරණයක් වන ශරීරයේ අධික ලෙස මේදය තැන්පත් වීම අවම කරගැනීමට වඩාත් සාර්ථක උපක්‍රමයක් ලෙස මෙම උපවාස වෛද්‍යවරුන් පවා හදුන්වාදෙයි. වර්ෂය පුරාවටම උදේපටන් රාත්‍රි නින්දට යනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන මේ ශරීර කූඩුව තුල ඇති යන්ත්‍ර පද්ධතිය මාසයක කාලයක් අක්‍රයව පැවතීම සැබැවිම ඒ අභ්‍යන්තර පද්ධතියට දෙන විවේකයක් යන්න අවබෝධ කරගැනීම අපට අපහසු නොවේ.

ඉහත ආකාරයට ඉස්ලාම් උපවාසය තුලින් මිනිස් සමාජයට බොහෝ පාඩම් කියාදේ. ඒවා තුල ලෞකිකව තමන්ට මෙන්ම තම අවට සමාජයටත් බොහෝ යහපතක් ඇත්තේය. මෙම විෂය ද යහමග අඩවිය තුල දීර්ඝ ලෙස සාකච්චා කොටය ඇති අතර එම ලිපිය උපවාසය කුමක් සදහාද? යන මාතෘකාව තුලින් පිවිස කියවීමේ හැකියාව ඇත.

මේ ආකාරයට භාග්‍යයන් රාශියක් රැගෙන අප හමුවට එන ‘උපවාස’ සමය උදාවන ආකාරය හා එහිදී උපවාස මාස මුල් දිනය තීන්දු කිරීම ද නිවැරදිව අවබෝධයෙන් සිදු කිරීම අවශ්‍ය වේ. මා එසේ පැවසීමට මූලික හේතුව මෙම විෂය මුස්ලීම් ලෝකය තුල මතභේදාත්මක විෂයක් වී තිබීමයි. ඒ අනුව එම කාරණය වෙත මෙතැනදී අවදානය යොමු කරමු.

නව සඳ දැකීම හා උපවාසය ඇරඹීම

රමළාන් නොහොත් උපවාස මාසය උදාව ඉස්ලාමීය ක්‍රමයට නිර්ණය කරන්නේ කෙසේද? යන කාරණය වෙත අවධානය යොමු කාල්නම්, එම උපවාස සමයයෙදි තිබෙන්නේ ඉස්ලාමීය දින දර්ශනයට (එනම් චන්ද්‍ර මාසයට) අනුව 09 වන මාසය වන රමළාන් මාසයේදීය. මෙම මාසයේ උදාව නිර්ණය කලයුත්තේ චන්ද්‍රයාගේ පිහිටීම අනුව යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. නමුත් මෙම නව මාසයේ උදාව සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයේ මගභේදයන් ඇත. එනම්,

  • මාසයේ මුල (චන්ද්‍රයාගේ පිහිටීම) ගණනය කිරීම මඟින් හදුනා ගතයුතුයි
  • ලොව කුමන රටක මුල් හඳ දුටුව ද එය මුළු ලොවටම පොදු වියයුතුයි
  • කිසියම් රටක දකින මුල් හඳ එම රටට පමණක් සීමා වියයුතුයි
  • (එකම රට තුල පවා) කිසියම් ප්‍රදේශයක දකින හඳ එම ප්‍රදේශයට පමණක් වලංගු වියයුතුයි

ඉහත ප්‍රධාන මතවාද 04 ට අමතරව තවත් අනු වාදයන් ද මුස්ලීම් සමාජය තුල සුළු වශයෙන් දක්නට ඇත. කෙසේ වෙතත් නිවරැදි ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? යන්න පැහැදිලිව හදුනාගැනීම තුල ඉහත මතවාදයන් හා දුර්මතයන් මෙන්ම මෙහි සදහන් නොවූ අනිකුත් මතවාදයන් සියල්ල අවලංගු වී යනු ඇත යන්න මාගේ විශ්වාසයයි. ඒ අනුව ඉස්ලාමීය මාසය ආරම්භ කිරීමේ දී ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශය කුමක්ද? යන කාරණය වෙත අවධානය යොමු කරමු. එහිදී එය ඉස්ලාමීය මූලාශ්‍රයන් හෙවත් දිව්‍යමය මඟපෙන්වීමට යටත් විමසා බැලීම අවශ්‍යය. එනම් “ඉස්ලාම්” යයි පැවසෙන කාරණය දව්‍යමය වදන් වන ශුද්ධ වූ කුර්ආනයේ (හෝ/හා) හදීසයේ සදහන් වී තිබීම අවශ්‍ය වේ. ඒ අනුව ඉස්ලාමීය ආදර්ශය විමසා බැලුවේ නම්,

රමලාන් මාසය (උපවාසය) ආරම්භ කිරීම හා අවසන් කීරීම සම්බන්ධයෙන් මුස්ලීම්වරයෙකු අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග පහත හදීසයන් තුලින් නබිතුමාණන් ඉතා පැහැදිලි ලෙස මෙසේ පවසයි. එනම්,

“රමලාන් හඳ දකිනා තුරු නුඔලා උපවාසය නොඅරභන්න හඳ දකිනා තුරු උපවාසය අත්නොහරින්න නුඔලාට, වලාකුළු හේතුවෙන් (එදින) හඳ නොපෙනුනේ නම් (මාසය දින 30 සේ) පූර්ණය කරගන්න.” මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරී

’’ඉබුනු උමර් හා ඉබුනු අබිබාස් (රලි) කාලයේ දිනක් මදීනාවේ එක්තරා කෙනෙකු පැමිණ රමලානයේ මුල්සඳ දුටු සාක්ෂි පවසන ලදී. එවිට ඉබුනු උමර් හා ඉබුනු අබිබාස් (රලි) තුමාණන් මෙය භාරගත හැක. යනුවෙන් ඒ දෙදෙනාම පවසන ලදී. අනතුරුව මෙසේද පවසන ලදී  “රසුල් (සල්) තුමාණන් අපට එක සාක්ෂියෙන් උපවාසය අරම්භ කරන්න අවසර ලබාදුන් අතර අවුරුදු උත්සවය ගැනීමට නම් සාක්ෂි දෙකක් අවශ්‍ය බව පවසන ලදී.

ග්රන්ථය – බයිහකි

“රමලාන් හඳ දකිනා තුරු නුඔලා උපවාසය නොඅරභන්න හද දකිනා තුරු උපවාසය අත්නොහරින්න නුඔලාට වලාකුළු නිසා එදා හඳ නොපෙනුනේ නම් එම මාසය දින 30 ලෙස සලකන්න. එසේත් නැත්නම් (හඳ දුටු බවට) සාක්ෂි 02 ලැබුනේ නම් ඒ අනුව ක්රියා කරන්න.”

මූලාශ්‍ර ග්‍රන්ථය - නසායි

ඉහත ඉස්ලාමීය ඉගෙන්වීමන් (හදීසයන්) 03 හොදින් අධ්යනය කරන්නේ නම්, ඒ තුල මූලික නිගමන කිහිපයකට අපට එළඹිය හැකි වේ. එනම්,

  • නව සද බැලීම සෑම මුස්ලීම්වරයෙකුටම අනිවාර්ය බව,
  • එම නව සඳ පදනම් කරගෙන පමණක් ක්රියා කලයුතු බව,
  • සියළු දෙනා සඳ බැලුවත් එය සියළු දෙනා දැකීම ප්රායෝග නොවන බව,
  • එම නිසා සාක්ෂි පදනම් කරගෙන ක්රියා කලහැකි බව,
  • හඳ නොදුටුවේ නම් දින 30 ක් ලෙස මාසය පූර්ණ කලයුතු බව,

ඉහත හදීසය තුලින් හා එය පදනම් කරගෙන ලබාගත් නිගමන අනුව තහවුරු වන ප්‍රබලම කාරණයක් ඇත. එනම්, ‘නව මාසය’ නිර්ණය කිරීම සම්බන්ධයෙන් මුස්ලීම් සමාජය තුල පවතින් ඉහතින් සදහන් පිලිගැනීමන් 05 අතුරින්,

  • ගනනය කිරීම මඟින් (නක්ෂත්‍ර විද්‍යා මගින්) නව මාසය නිර්ණය කිරීම,
  • කිසියම් රටක් පදනම් කරගෙන නව මාසය නිර්ණය කිරීම,

යන කාරණය කිසිදු පදනමක් නොමැති වැරදි ක්‍රමවේදයන් යන්න පැහැදිලි වේ. නමුත් අවාසනාවකට ඉහත මතවාදයන් දෙක පදනම් කරගෙන ‘නව මාසය’ නිර්ණය කරන මුස්ලීම් සමාජයක් ලොවපුරා පමණක් නොව අපේ රටේ ද සැලකිය යුතු ප්‍රමාණයකින් දකින්නට සිටීම අවාසනාවකි. ඉස්ලාමීය ඉගෙන්වීමන්වලින් බැහැරව බුද්ධිය මූලික කරගෙන නොඑසේ නම් ආගමික ඉගෙන්වීමන් පිලිබදව අනවබෝධයෙන් තීන්දු තීරණවලට එළඹීම එවැනි මතවාද ලොව තුල පැවතීමට ප්‍රධාන හේතුවයි. ඒ අනුව හඳ නොදුටුවත් හද දුටුවන් දෙදෙනෙකුගේ සාක්ෂි පදනම් කරගෙන උපවාසය ආරම්භකල හැකි බවද ඉහත හදීසයෙන් පැහැදිලිය. එසේම සියළුදෙනාටම හද බැලීම අනිවාර්ය වුවත් දෙදෙනෙකු එම හඳ දුටුවේ නම් උපවාසය ආරම්භ කිරීමට එය ප්‍රමාණවත් බවද මින් පැහැදිලිය. (මෙම විෂය ද යහමග අඩවිය තුල නව සඳ දැකීම හා උපවාසය ඇරඹීම යන ලිපිය තුලින් දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත)

උතුම් වූ උපවාස මාසයේ මහිමය

මේ ආකාරයට මුස්ලීම් සමාජයට උදාවන උපවාස මාසයේ මහිමය ද අප අවබෝධ කොට සිටීම අනිවාර්‍ය වේ. ඒ අනුව ඒ පිලිබදව ද මෙතැනදී අවදානය යොමු කරන්නේ නම්, ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව උතුම් වූ මාසයක් වන මෙම ‘රමලාන්’ හෙවත් උපවාස මාසය හේතූ ගණනාවක් නිසා මුස්ලීම් සමාජයට සුවිශේෂි වේ. අතීතය දෙස හැරී බලන විට ඉස්ලාමීය ලෝකයට සුවිශේෂි වූ සිදුවීම් ගණනාවක් ම සිදුව ඇත්තේ මේ රමලාන් හෙවත් උපවාස මාසයේදීය.

විශේෂයෙන්... ලෝක වාසී ජනයා හට යහමග දේශනා කරනු පිණිසත්, ඔවුනට සත්‍ය අසත්‍ය වෙන්කොට පෙන්වාදෙනු පිණිසත් පහල වූ දිව්‍යමය දේව පුස්තකය වන ශුද්ධ වූ කුර්ආනය පහලවීම ඇරඹුයේ ද මෙම රමලාන් (නම් උපවාස) මාසයේදීය.

මේ එක් හේතුවම මෙම මාසය උතුම් වූ මාසයක් ලෙස සැලකීමට මුස්ලීම් සමාජයට ප්‍රමාණවත් වූවත් ඉතිහාසමය වශයෙන් මෙන්ම ආගමික වශයෙන් මෙම මාසය සුවිශේෂි වීමට තවත් හේතු ගණනාවක් ද ඇත. එවැනි කිහිපයක් මෙහි සදහන් කරන්නේ නම්,

ඉතිහාසමය වශයෙන් උපවාස සමය වැදගත් වීමට හේතු…

  • හිජ්රි 02 වර්ෂයේ දී රමලාන් මාස 10 දින – සකාතුල් ෆිතුර් නම් දානය මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්ය විය,
  • හිජ්රි 02 වර්ෂයේ දී රමලාන් මාස 17 දින – මුස්ලීම්වරුන්ට එරෙහි ප්රථම මෙන්ම තීර්ණාත්මක යුද්ධය වන බදුර් සටන සිදුවිය,
  • හිජ්රි 05 වර්ෂයේ දී රමලාන් මාස 09 දින – ‘අස්හාබ්‘ නම් යුද්ධයට අවශ්ය සංවිධාන කටයුතු සිදුවිය,
  • හිජ්රි 08 වර්ෂයේ දී රමලාන් මාස 07 දින – නබිතුමාණන්ගේ උපන්බිම වන මක්කා ජයග්රහණය සිදුවිය,
  • හිජ්රි 08 වර්ෂයේ දී රමලාන් මාස 21 දින – ‘තබූක්’ නම් යුද්ධය සිදුවිය,
  • හිජ්රි 09 වර්ෂයේ දී රමලාන් මාස 08 දින – ‘හිම්යර්’ නම් ගෝත්ර ජනයා ඉස්ලාම් දහම වැලද ගැනීම සිදුවිය,
  • හිජ්රි 10 වර්ෂයේ දී රමලාන් මාස 19 දින – අබූතාලිබ්ගේ මරණය සිදුවිය,
  • හිජ්රි 40 වර්ෂයේ දී රමලාන් මාස 10 දින – ‘හවාරිජ්වරුන්’ විසින් අලි (රලි) තුමාව ඝාතනය කිරීම සිදුවිය,
  • හිජ්රි 57 වර්ෂයේ දී රමලාන් මාස 10 දින – නබිතුමාණන්ගේ බිරිද වන ආයිෂා (රලි) මව්තුමිය මරණයට පත්වීම සිදුවිය.
  • හිජ්රි 91 වර්ෂයේ දී රමලාන් මාස 19 දින – උමයියාවරුන් විසින් ‘ස්පේන්’ භූමිය ජයග්රාහණය කිරීම සිදුවිය,
  • හිජ්රි 309 වර්ෂයේ රමලාන් මාසයේ ඉදිකිරීම ඇරඹූ ‘අල්අස්හර්’ දේවස්ථානය පසුකාලීනව ලොව විශාලතම විශ්වවිද්යාලය ලෙස පරිවර්ථනය විය.
  • හිජ්රි 524 වර්ෂයේ රමලාන් මාස 29 වන දින පැවතී කුරුස යුද්ධයේ දී ඔවුන් පරාද ‘සලාහුදීන් අයියූබි’ නායකත්වය යටතේ මුස්ලීම්වරුන් ජයග්රාහණය කරන ලදී.
  • කිසිදු දිනෙක පරාජකල නොහැකි බව පවසමින් සිටී ‘තාත්තාරියන්වරුන්’ මුස්ලීම්වරුන් විසින් පරාජය කලේ ද මේ රමලාන් මාසයේදීය.

මේ ආකාරයට ඉතිහාසමය වශයෙන් මිහිරි මෙන්ම අමිහිරි මතකයන් රාශියක් සටහන් කොට ඇති මේ රමලාන් මාසය මුස්ලීම් සමාජයට වැදගත් වන්නේ එහි ඇති ආගමික වැදගත්කම නිසාම මිස ලෞකික කාරණයන් නිසා නොවේ.

කෙනෙකු තම මූලික අවශ්‍යතාවයන් වන ආහාර පානවලින් වැලකී තම හැඟීමන් පවා තමා විසින්ම පාලනය කරගැනීමින් ක්‍රියා කිරීම උපවාසයයි. ඒ අනුව කෙනෙකු උපවාසයේ නිරතව සිටිනවාද? නැද්ද? යන්න දන්නේ අල්ලාහ් (දෙවි) සහා එම උපවාසයේ නිරතවන තැනැත්තා පමණි. ලෝකයාට වසන් ව තමන්ට රිසිසේ ආහාර පාන ගැනීමට ඕනෑ තරම් අවස්ථාවන් තිබිය දී කිසිවකු එයින් වැලකී එපමණක් නොව ඉස්ලාම් අනුමත නොකරන අනිකුත් දුර්ගුණාංගවලින් වැලකී කිසිවකු උපවාසයේ නිරත වන්නේ නම්, ඒ ස්ථිරව ම අල්ලාහ් (දෙවි)ගේ කැමැත්ත හා භාග්ය දිනා ගැනීමේ අරමුණින් මිස අන්කිසිවක් නිසා නම් නොවේ. එලෙස ක්‍රියා කරන පිරිසට ඉස්ලාම් ලබාදෙන භාග්‍යයන් කිහිපයක් මෙහි පෙලගසන්නේ නම්,

අල්ලාහ් (දෙවි) පැවසූ බවට (හදීස් කුදිසි) මුහම්ම්ද් (සල්) තුමාණන් මෙසේ පවසයි.

‘මිනිසුන් කරනු ලබන යහකටයුතුවලට අදාල කුසල ඔවුනට ම හිමි එකකි. නමුත් උපවාසය එසේ නොවේ. එම කුසල ක්රියාවට අදලා කුසල ලබාදෙන්නේ (දෙවියන් වන) මා විසින්මය.’ උපවාසය යනු පලිහකි. එම නිසා නුඹලාගෙන් කිසිවකුත් උපවාසයේ නිරතව සිටිය දී නොසුදුසු (හා නිෂ්පල) වදන් නොපවසන්න. එමෙන්ම අධික ශබ්ද නඟා කථා නොකරන්න. තවද නුඹලා උපවාසයේ නිරතව සිටිය දී කිසිවකු විසින් නුඹලාට හිරිහැරයක් කරන්නට හෝ ගැටුමක් ඇති කරගන්නට සැරසුනේ නම්, ‘මම උපවාසයේ නිරතව සිටිමි‘ යයි පවසන්න.‘ යයි පැවසූ නබිතුමාණන් ‘මාගේ ප්රාණය කවුරු අත තිබෙන්නේ ද ඔහු (වන අල්ලාහ් (දෙවි)) මත දිවුරා පවසමි. උපවාසය රකින්නෙකුගේ මුවෙන් නික්මෙන් දුර්ඟදය අල්ලාහ් (දෙවි) හමුවේ කස්තූරි සුවදට වඩා ශ්රේෂ්ඨ වන්නේය. උපවාසයේ නිරත වන්නෙකු හට සතුටුමත් අවස්ථා දෙකක් උදා වන්නේය. එනම් උපවාසයේ නිරතවුවෙකු සවස් කාලයේ උපවාසයෙන් මිදෙන මොහොත හා ‘කියාමත්‘ (මරණින් මතු උදාවන හොද නරක විනිශ්චය කරන) දිනයේ උපවාසයේ නිරත වුවෙකු ලෙස අල්ලාහ් (දෙවි) මුණගැසෙන මොහොතය.‘

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරී මුස්ලීම්

ඉහත හදීසය තුලින් උපවාසයේ මහිමය හා දෙවියන් හමුවේ එයට ඇති ඉහල පිලිගැනීම අවබෝධ කරගැනීම අපහසු නොවේ. විශේෂයෙන් දෙවියන් විසින් ම කුසල් ප්රදානය කරන දෙවියන් හමුවීමේ භාග්යය පිරී මේ උපවාසය සැබැවින්ම මිනිස් සමාජයට භාග්යයක් යන්න සැක නැත. මේ උපවාසය සදහා ලබාදෙන කුසල් පිලිබදව තවත් ස්ථානයක පැවසීමේ දී අල්ලාහ් (දෙවි) පැවසූ (හදීස් කුදිසි) බවට නබිතුමාණන් මෙසේ පවසයි,

මිනිසුන්ගේ යහක්රියාවන් සදහා කුසල් 10 ගුණයේ සිට 700 ගුණය දක්වා වැඩිකර ලබා දෙන්නෙමු. නමුත් උපවාසය රකින්නන්ගේ හැරය. මන්ද උපවාසය (අල්ලාහ් (දෙවි) වන) මා හට හිමි එකකි. (එමනිසා) එයට හිමි (කුසල නම්) කුලිය මා විසින්ම ලබාදෙමි. මන්ද උපවාසය රකින්නා ඔහු මාගේ කැමැත්ත (කරුණාව) දිනාගැනීමේ අරමුණින් තමා කැමැත්ත කැප කොට උපවාසය රකී.

මූලාශ්‍ර ග්‍රන්ථය - තිරමිදි

තම කැමැත්ත කැප කොට අල්ලාහ් (දෙවි)ගේ කැමැත්ත අපේක්ෂාවෙන් නිරාහාරව හා හැඟීමන් පාලනය කරගන්නා තැනැත්තා හට දේව කැමැත්ත හා භාග්යයන් හිමිවන බව ඉහත හදීසය තුලින් පහසුවෙන් අවබෝධ කරගත හැක. මේ ආකාරයට භාග්යයන් ලඟා කරන උපවාසය මනුෂ්යාහට තවත් භාග්යයක් ද ලඟාකර දේ. එය තවත් අවස්ථාවක නබිතුමාණන් පැවසීමේ දී,

(කිසියම් කෙනෙකු රමලාන් මාසයේ) උපවාසයේ නිරතව ඉස්ලාමයේ කුළුණූ 05 ක් (වන කලිමාව, සලාතය, උපවාසය, සකාතය, හජ්) අතුරින් උපවාසය ද එකක් ලෙස පිලිගන්නේ ද, තවද ක්රියාව වෙනුවෙන් කුසල් අපේකෂා කරන්නේද ඔහුගේ පෙර පාපයන් සියල්ල අල්ලාහ් (දෙවි) සමා කරන්නේය.

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි, මුස්ලීම්

මේ උපවාසය මනුෂ්යාහට ලඟා කරන ඉතා විශිෂ්ඨ භාග්යයක් වන්නේ පෙර පාපයන් සමා කිරීමයි. මේ මිහිමත වෙසෙන සියළු මිනිසුන් දැන හෝ නොදැන පාපයන් හි නිරත වනවා යන්න පොදු ලක්ෂණයකි. නමුත් මේ උපවාසය තුලින් එවන් පාපයන් සමාකරනු ලබන්නේ නම්, එය කොතරම් විශිෂ්ඨ වු භාග්යයක්ද?. මේ පිලිබදව නබිතුමාණන් තවත් අවස්ථාවක විග්රාහ කිරීමේ දී මෙසේ පවසන ලදී.

දිනපතා පස්වේල් වන්දන අතර කාලය තුලත්, එක් ‘ජුම්මා‘ (සිකුරාදා දින දහවලේ දී මුස්ලීම්වරුන් කරනු ලබන) වන්දනයක සිට මීලඟ (සතියේ සිකුරාදා) ‘ජුම්මා‘ වන්දනය දක්වා අතර කාලය තුලත්, එක් රමලාන් (උපවාස) මාසයක සිට මීළඟ (වර්ෂයේ) රමලාන් මාසය දක්වා කාලය තුලත් (මුස්ලීම්වරයෙකු) කරනු ලබන මහා පාපයන් හැර අනිකුත් සියළු පාපයන් (දෙවි) සමා කරන්නේය.

මූලාශ්‍ර ග්‍රන්ථය - මුස්ලීම්

ඉහත හදීසයන් තුලින් මේ උපවාසයේ මහිමය දැන් හොදින් අවබෝධ කරගත හැකි වනු ඇත. මේ ආකාරයට අසීමිත භාග්යයන් පිරි මාසයක් තමා මේ අද අපට උදා වී තිබෙන්නේ. එවන් වූ මේ මාසය තුල යහකම්වල නිරතවීමටත් දේව වැඳුම් පිදුම්වලට නිරතවීමටත් මුස්ලීම්වරුන් දැඩි උනන්දුවක් දැක්විය යුතුය. විශේෂයෙන් කුර්ආනය පහලවීමට මූලික වූ මේ මාසයේ ශුද්ධ වූ කුර්ආනය අධිකව පාරායනය කිරීමටත් එහි ඉගෙන්වීමන් අවබෝධ කරගැනීමටත් දැඩිව උනන්දු වියයුතුය. එහි වැදගත්කම ද පහත හදීසය තුලින් ඔබට අවබෝධ කරගත හැකිවනු ඇත.

මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී,

කිසිවකු උපවාසයේ නිරතව, කුර්ආනය තම ජීවිතයේ මඟපෙන්වීම කරගත්තේ ද, ඔහු(ගේ විමුක්තිය) වෙනුවෙන් (කියාමත් (මරණින් මතු උදාවන විනිශ්චය) දිනයේ) මේ (උපවාසය හා කුර්ආනය යන) දෙක අල්ලාහ් හමුවේ වාද කරනු ඇත. උපවාසය තම දෙවියන් හමුවේ ‘මාගේ දෙවියනේ!, මා ඔහු ආහාර ගැනීමෙන් වැලැක්වුයෙමි, ඔහුගේ හැඟීමන් පාලනය කලෙමි, එමනිසා ඔහු වෙනුවෙන් ඔබ හමුවේ වාද කරන්න මට අවසර ලබාදෙන්න්!,‘  යනුවෙන් විමසනු ඇත. එසේම ශුද්ධ වූ කුර්ආනය ද තම දෙවියන් හමුවේ ‘මාගේ දෙවියනේ!, ඔහු (මාව පාරායනය කිරීම තුලින්) නිදා ගැනීමෙන් වැලැක්වුයෙමි. එමනිසා ඔහු වෙනුවෙන් ඔබ හමුවේ වාද කරන්න මට අවසර ලබාදෙන්න!, යනුවෙන් විමසනු ඇත. යනුවෙන් පැවසූ නබිතුමාණන් ‘අවසානයේ මේ මනුෂ්යා වෙනුවෙන් වාද කිරීමට උපවාසයට හා කුර්ආනයට අල්ලාහ් (දෙවි) අවසර ලබාදෙනු ඇත.‘

මූලාශ්‍ර ග්‍රන්ථය - අහ්මද්

මේ ආකාරයට අසීමිත භාග්‍යයන් පිරි මේ උපවාස සමය දහමේ ඉගෙන්වීමට අනුව ඒ ආකාරයට පිලිපදින්න අල්ලාහ් (දෙවි)ගේ ආශිර්වාදය හිමිවේවා!, යයි ප්‍රාර්ථනා කරන අතර මෙම විෂය දීර්ඝ ලෙස සාකච්චා කල උපවාස මාසය හා ඒහි මහිමය යන ලිපිය මෙතැනින් කියවීමට ආරාධනා කරමින් මෙම උපවාස සමය සදහා අපගේ සූදානම කොතරම්ද? යන්න මෙතැනදී විමසා බැලීමට අදහස් කරමි.

උපවාස මාසය සදහා අපගේ සූදානම

ඉස්ලාමීය දින දර්ශනය අනුව නව සඳ දැකීමෙන් රමළාන් මාසය උදාවට ඇත්තේ තව දින කිහිපයක් පමණි. මෙම උපවාසය මුස්ලීම් නොවන බහුතර පිරිස් අවබෝධ කොට සිටින්නා සේ ‘මුස්ලීම්වරුන් නිරාහාරාව කිසිවක් පානය නොකොට දවසේ වැඩි කාලයක් ගෙවාදැමීම’ උපවාසය නොවේ. මුස්ලීම් නොවන සමාජය පමණක් නොව අවාසනාවකට සමහරක් මුස්ලීම්වරුන් පවා මේ උපවාසය අවබෝධ කොට සිටින්නේ ඒ ආකාරයටය. මෙවන් පසුබිමක මෙම උපවාසය මුස්ලීම් සමාජය තුල කවර ආකාරයේ බලපෑමක් ඇති කලයුතුද? යන්න දැන් මෙහිදී විමසා බලමු. මෙහිදී මුහම්මද් (සල්) තුමාණන් විසින් මුස්ලීම් සමාජයට කල අවවාදාත්මක දිව්‍යමය උපදේශයක් මේ මොහොතේ ඔබේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි. එනම්,

‘ආහාර පානයන්ගෙන් වැලකී සිටින ගමන් මුසාවන් පැවසීමත්, නිශ්පල ක්රියාවන් හි නිරතවීමත් කවුරුන් අත් නොහරින්නේ ද එවන් මිනිසුන්ගේ උපවාසයෙන් අල්ලාහ් (දෙවි)ට කිසිදු පලක් නොවේ. උපවාසය යනු (ආවර්ණයකි) පලිහකි. එමනිසා උපවාසයේ නිරත වන කිසිවකු උචිත නොවන කථාබහවල හෝ පහත් ක්රියාවන් හි නිරත නොවිය යුතුය. උපවාසයේ නිරතව සිටින කෙනෙකුට එරෙහිව කවුරුන් හෝ (රණ්ඩු දඹර වැනි…) සීමාව ඉක්මවා ක්රියා කිරීමට උත්සාහ කලේනම්, උපවාසයේ නිරතව සිටින්නා ‘මම උපවාසයේ නිරතව සිටින්නෙමි‘ යනුවෙන් පැවසිය යුතුය.‘ යනුවෙන් නබිතුමාණන් පවසන ලදී

මූලාශ්‍ර ග්‍රන්ථය - හදීස්

උපවාසය යනු පලිහකි

ඉහත හදීසයේ සදහන් කාරණයන්ට අනුව මුස්ලීම්වරුන් නිරතවන උපවාසය ආහාර පානවලින් ඔබ්බට ගිය එකක් බව අවබෝධ කරගැනීම අපහසු නොවේ. එසේම ඉහත හදීසය තුල සදහන් තවත් වැදගත් කාරණයක් ඇත. එනම්, මෙහි නබිතුමාණන් ‘උපවාසය යනු පලිහකි‘ යනුවෙන් සදහන් කිරීමයි. මේ පිලිබදව තරමක් ගැඹුරින් අවධානය යොමු කරන්නේ නම්, එම උපවාසවය නම් පලිහ ප්‍රධාන ආකාර 04 කට මිනිස් දිවිය තුල ක්‍රියාත්මක වන බව සදහන් කල හැක. එනම්,

  • මානසික ආවර්ණයක්
  • ශාරීරමය ආවර්ණයක්
  • සමාජීයමය ආවර්ණයක්
  • ආර්ථිකමය ආවර්ණයක්

මේ ලොව ජීවත්වන සෑම මනුෂ්‍යයෙකුටම තම දිවිය තුල සතුට පවත්වාගෙන යාමට නම් ඒ සදහා ඉහත ආවර්ණයන් 04 අනිවාර්ය අවශ්යතාවයකි. එම ආවර්ණය ඉස්ලාම් පවසන උපවසාය තුලින් පහසුවෙන් ලඟකර ගැනීමට හැකිවීම ආහාර පානවලින් වැලකී සිටීමට වඩා සුවිශේෂි අංගයක් යන්න දැන් ඔබට පැහැදිලි වියයුතුය. මෙවන් වූ උතුම් උපවාස මාසය වසරක් පාසා අප වෙත එන අතර මෙවරත් එය අප සමීපයට නැවතත් පැමිණ ඇත. ඒ සදහා අපගේ සූදානම කුමක් ද?, ඒ සදහා මුස්ලීම්වරයෙකුගේ සුදානම කවර ආකාරයට පැවතිය යුතු ද? යන කාරණයන් පිලිබදව දැන් අවධානය යොමු කරන්නේ නම්, එහිදී මුහම්මද් (සල්) තුමාණන් විසින් ලබාදුන් ආදර්ශය මුස්ලීම් සමාජයට ඉතා වැදගත් වේ. ඒ අනුව දිව්‍යමය වදන් කිහිපයක් මෙහිදී ඔබේ අවධානයට ගෙන එන්නේ නම්,

අනස් (රලි) තුමාණන් මෙසේ පවසයි

‘රජබ් මාසය ඇරඹුනේ නම්, නබිතුමාණන් මෙසේ පවසයි. එනම්, ‘යාඅල්ලාහ් (දෙවියනේ), මේ රජබ් හා ශාබාන් (රජබ් මාසයෙන් පසුව එන රමලාන් මාසයට පෙර මාසයයි ශාබාන් මාසය) මාසයන් හි අපට (ඔබගේ) භාග්යයන් පහල කරන්න. අපව උතුම් වූ රමලාන් (මාසයට) රුගෙන යන්න‘ යනුවෙන් පවසයි.

මූලාශ්‍ර ග්‍රන්ථය - තබරානි හා අහමද්

උතුම් වූ රමලාන් මාසය අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් මේ ආකාරයට මඟ බැලුවා නම්, ඔබත් මාත් කොතරම් බලාපොරොත්තු ඇතුව සූදානමකින් යුතුව එය මඟ බැලිය යුතුද?. එවන් උතුම් වූ මාසය උදාවට දින කිහිපයක් තිබිය දී එහි මහිමය පිලිබදව අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් පවසන තවත් දිව්යමය ආදර්ශයකට ඔබේ අවධානය යොමු කරන්නේ නම්,

සල්මාන් අල් ෆාරිස් (රලි) තුමාණන් මෙසේ පවසයි.

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් (රමලාන් මාසයට පෙර මාසය වන) ශාබාන් මාසයේ අවසාන දිනයේ දී ‘මනුෂ්යයනි!, අති උතුම් වූ මාසයක් නුඹලා වෙනුවෙන් උදාවී ඇත. මෙම මාසය තුල තමා මාස 1000කට වඩා උතුම් වූ (ලෙයිලතුල් කද්ර් නම්) රාත්රියක් (සැඟවී) තිබෙන්නේ. මෙම මාසයෙහි දහවල් කාලයේ උපවාසය රුකීම අනිවාර්ය වේ. අධික ලෙස වන්දනාමාන කටයුතුවල රාත්රී කාලයේ කැමැත්තෙන් නිරතවීම යහපත් වේ. එක් යහපක් ක්රියාවක් ඉටුකොට අල්ලාහ් (දෙවි)ගේ කැමැත්ත දිනාගැනීම රමලාන් නොවන මාසයන් හි අනිවාර්යයෙන් ඉටුකරන කුසලකට සමාන වේ. මෙම මාසය තුල අනිවාර්ය කුසල ක්රියාවක් ඉටුකිරීම රමලාන් නොවන මාසවල ඉටුකරන කුසලට ලැබෙන කුසල මෙන් 70 ගුණයක් හිමිවේ. මේ මාසය තමා ඉවසීම සදහා වූ මාසය වන්නේ. එම ඉවසීමට ලැබෙන කුලිය ස්වර්ගයම වන්නේය.

මෙම මාසය අධික ලෙස දුප්පතුන්, අසරණයන් හා රෝගීන් හමුවී ඔවුන් සමඟ දුක සැප බෙදා ගැනීමට සුදුසුම මාසය වන්නේ. මේ මාසය විශ්වාසවන්ත මුස්ලීම්වරයෙකුගේ ආහාරපාන, ඔහුගේ මිලමුදල් වර්ධනය වී ඔහුට (දෙවි) භාග්යයන්ද හිමි වන්නේ. කවුරුන් උපවාසයෙන් මිදෙන උපවාසකරුවන්ට ඒ සදහා ආහාරපානවලින් සංග්රහ කොට සහය දක්වන්නේ ද ඔහුගේ පාපායන් දෙවියන් සමා කරන්නේය. ඔහුව අපා ගින්නෙන් ද ආරක්ෂා කරනු ලබන්නේය. එකම එක රටඉදි ගෙඩියක්, වතුර උගුරක් හෝ කිරී උගුරක් එසේ (උපවාසයෙන් මිදෙන්නට) ලබාදුන්න ද එයටත් අල්ලාහ් (දෙවි) කුසල් ලබාදෙන්නේය. මෙම මාසයේ ආරම්භ දින 10 ය දේව කරුණාව පිරි දිනයන් වේ. මැද දින 10 ය පව් සමා කිරීමට අදාල දිනයන් වේ. අවසාන දින 10 ය නිරයෙන් මිදෙන්නට සහය වන දිනයන් වේ.

කවුරුන් එක් වහල්ලෙකු නිදහස් කිරීමට සහය වන්නේ ද, අල්ලාහ් (දෙවි) ඔහුට සමාව ලබා දී නිරයෙන් නිදහස් වීමට සහය වන්නේය. නුඹලා හමුවේ කරුණූ 04 ක් වර්ධනය කරගන්න. එයින් කරුණු දෙකක් තුලින් නුඹලාට අල්ලාහ් (දෙවි) සතුටු කල හැක. අනික් කරුණු දෙක අත්හැර නුඹලාට ජීවත්වීමට නොහැක. අල්ලාහ් (දෙවි) සතුටු කරවන එම කරුණු දෙක වන්නේ ‘අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නැතැයි සාක්ෂි දැරීම හා ඔහුගෙන් පව් සමාව අයදීම‘ය. නුඹලාට නැතුවම බැරි කරුණු දෙක වන්නේ ‘අල්ලාහ් (දෙවි)ගෙන් ස්වර්ගය ඉල්ලා සිටීම හා නිරයෙන් ආරක්ෂාව පැතීම‘ය. මුස්ලීම්වරයෙකු උපවාසයෙන් මිදෙන මොහොතේ ඔහුට කවුරුන් හෝ ජලය ස්වල්පයක් ලබාදෙන්නේ ද විනිශ්චය දිනයේ දී ඔහුට අල්ලාහ් (දෙවි), නබිතුමාණන් සිටින (‘කව්සර්‘ නම්) ජලාශයෙන් ජලය පිරිනමන්නේය. එය ඔහුව ස්වර්ගයට පිවිසෙන තුරු පිපාසය මුදාගන්නේය‘ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය - හදීස්

ඉහත හදීසයන් හොදින් බුද්ධිමත්ව විමසා බලන්නේ නම් රමලාන් මාසය මුස්ලීම් සමාජයට කොතරම් වැදගත් මෙන්ම තීරණාත්මක මාසයක් ද? යන්න පහසුවෙන් වටහාගත හැකිවනු ඇත. (මෙම විෂය පිලිබදව දීර්ඝ ලෙස සාකච්චා කල උතුම් වූ මාසයේ උදාව හා ඒ සදහා අපගේ සූදානම යන ලිපිය මෙතැනින් කියවන්න)

උපවාසය ලෞකික අරමුණු වෙනුවෙන් නොවේ

ඉස්ලාම් පවසන ඇදහිලි හා වතාවත්වල මූලික අරමුණු බොහෝ විට ලෞකික කාරණයන් නොවේ. ඉස්ලාම් ලෞකික දිවිය දකින්නේ මරණින් මතුවට උදාවන සදාතනික දිවිය සදහා තම තමන්ව පෙර සූදානම් කරන ස්ථානයක් ලෙසයි. මෙය බොහෝ ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් මෙන්ම මුහම්මද් (සල්) තුමාණන්ගේ දේශනවලින් ද පැහැදිලිව පෙන්වා දී ඇත. මෙය වරක් මුහම්මද් (සල්) තුමාණන් අලංකාර නිදසුනක් මඟින් මෙසේ පැහැදිලි කරන ලදී. එනම්,

“මේ ලෝකය යනු මා යන දිරීඝ ගමනක විඩාව නිවා ගැනීමට නතර වූ ගස් සෙවනක් බදුය. මාගේ අරමුණ මෙතන නතර වීම නොවේ. යනුවෙන් පවසන ලදී.”

ඒ අනුව උපවාසය තුලින් සැම මුස්ලීම්වරයෙකුම බලාපොරොත්තු වන්නේ ලෞකිකව දේව අනපනත්වලට අවනතව යහපත් දිවියක් ගතකොට ඒ තුලින් මරණින් මතු සාර්ථක සුන්දර දිවියක් උදාකර ගැනීමයි. එසේ නම් මේ උපවාසයෙ හි නිරතවීම තුලින් දිනාගත හැකි ලෝකොත්තර දිවිය පිලිබදව ඉස්ලාම් කුමක් පවසනවාද? යන්න පිලිබදව දැන් කෙටි අවධානයක් යොමු කරමු.

“උපවාස මාසයේ ආදම්ගේ දරුවා (මිනිසුන්) සිදුකරන කුසල් ක්‍රියාවන් සදහා (සාමාන්‍ය දිනයේ) එක් පිනක් වෙනුවට දහ ගුණය සිට හත්සිය ගුණය දක්වා ප‍්‍රගුණ කෙරේ.”

මූලාශ‍්‍ර ග්‍රන්ථය : මුස්ලිම්

“කව්රුන් රමලාන් මස තුළ කුසල් අපේක්‍ෂා කරමින් (දෙවියන් කෙරෙහි) විශ්වාසයෙන් යුක්තව උපවාසය ඉටු කරයිද ඔහුගේ පෙර සියළු පාපයන් සමාකරනු ලබයි. යනුවෙන් මුහම්මද් (සල්) තුමාණන් පවසන ලදී.”

මූලාශ‍්‍ර ග්‍රන්ථය : බුහාරි, මුස්ලිම්

“වරක් සහාභිවරයෙක් (ඉස්ලාම් අනුගාමිකයෙක්) මුහම්මද් (සල්) තුමානන් හමුවට පැමිණ ‘අල්ලාහ් ඉදිරියේ යහපත ගෙන දෙන කි‍්‍රයාවක් නියෝග කරන්න යනුවෙන් ඉල්ලා සිටියෙය’ එයට එතුමන් ඔබට මා උපවාසයන් කිරීමට උපදෙස් දෙමි, එයට සමාන වෙනත් යාඥාවක් නැත. යනුවෙන් ද පැවසූන ලදී.”

මූලාශ‍්‍ර ග්‍රන්ථය : නසායි

“ජාබිර් (රලි) තුමාණන් මෙසේ පවසයි. එනම්, ‘උපාවසය දාසයා නිරයෙන් මුදවන පළිහකි’ යනුවෙන් මුහම්මද් (සල්) තුමානන් පැවසූ බව පවසයි.”මූලාශ‍්‍රය: අත්තබරානිවරක් මුහම්මද් (සල්) තුමානන් මෙසේ පවසන ලදී. “කව්රුන් අල්ලාහ් (දෙවියන්)ගේ මාර්ගයෙහි දවසක් උපවාස ශීලය ඉටු කරයිද ඔහුගේ රුව නිරයෙන් අවුරුදු හැත්තෑවක දුරකට අල්ලාහ් (දෙවියන්) ඈත් කරන්නේය”

මූලාශ‍්‍ර ග්‍රන්ථය : මුස්ලිම්.

“උපවාසයෙහි නිරතවන්නා හට දෙආකාරයේ සතුටක් ඇත, එකක් ඔහු උපවාසයෙන් මිදෙන විට ඇති වන සතුටයි. අන් එක විනිශ්ච දිනයෙහි ඔහුගේ හිමියන් වන අල්ලාහ් හමුවන විට ඇති වන සතුටයි, යනුවෙන් මුහම්මද් (සල්) තුමානන් පවසන ලදී.”

මූලාශ‍්‍ර ග්‍රන්ථය : බුහාරි, මුස්ලිම්

“රමලාන් මස උදාවූයේ නම් ස්වර්ගයෙහි දොරටු විවර කරනු ලබයි, නිරයෙහි දොරටු වසනු ලබයි, යනුවෙන් මුහම්මද් (සල්) තුමානන් පවසන ලදි.”

මූලාශ‍්‍ර ග්‍රන්ථය : බුහාරි, මුස්ලීම්.

මේ ආකාරයට ඉස්ලාම් පවසන උපවාසය රැකීම හේතුකොටගෙන මරණින් මතු දිවියෙ හි විශාල වූ වරප්‍රසාදයන් දෙවියන්ගෙන් හිමිවීමට නියමිතව තිබෙන බව ඉස්ලාමීය ඉගෙන්වීමයි. මෙය උපවාසය තුලින් ඉස්ලාම් භක්තිකයන් අල්ලාහ් (දෙවි)ගෙන් අපේක්ෂා කරන එකම බලාපොරොත්තුව ද වේ.

උපවාසය තුලින් උගතයුතු පාඩම් හා ඉදිරි ඉලක්ක

රමළාන් නොහොත් උපවාස මාසය ආරම්භ වනවාත් සමඟ මුස්ලීම්වරුන් වන අපගේ ජීවිතවලට කරන බලපෑම විශ්මය ජනකය. ඒ පිලිබදව කෙටි හැදින්වීමක් කරන්නේ නම්,

  • ආගම දහමින් දුරස්ව ජීවත් වූ අප සමාජයේ බොහෝ පිරිසක් “පල්ලිය තමා එකම පිලිසරණ” යන්න සිතෙන්නට තරම් පල්ලියා හා බැදී ඒ මාසය ගෙවා දැමුවේ සමාජය විශ්මයට පත් කරවමිනි.
  • දෛනික සලාතය පවා නිසි ලෙස ඉටු නොකල සමහරක් පිරිස් “කියාමුල් ලෛයිල්” නම් වූ සලාතය පවා උනන්දුවෙන් හා උද්යෝගයෙන් ඉටුකිරීම තුල ඇති කලේ විශ්මිත දසුනකි.
  • “ෆජ්ර් (අළුයම) නම් සලාතයක් තිබේද යන්න පවා දන්නවාදෝ?” යයි සිතෙන අයුරින් ජීවත් වූ සමහරක් පිරිස “තහජ්ජද්” සලාතය සදහා දැක් වූ උනන්දුවත් අශ්චර්‍ය ජනකය.
  • වේලක් වුවද නොකා ඉන්නට බැරි බව සිතූ පිරිස් මාසයක් පූරාවට උපවාසය ඉටුකොට අවසන්කර ඇත්තේ හඳ පිරි සතුටින් වීම තවත් ආශ්චර්‍යයකි.
  • අප සමාජයේ බහුතරයක් මළගෙයකට නොඑසේ නම් වෙනත් විශේෂිත අවස්ථා කිහිපයකට පමණක් පාරායනය කලයුතු යයි වෙන්කර තිබූ ශුද්ධ වූ කුර්ආනයට මේ මාසය පුරාවට (අඛණ්ඩව පාරායනය කිරීමෙන්) ලබාදුන් ගෞරවය අශ්චර්‍යමත් පිබිදීමකි.
  • අලුත් චිත්‍රපටයක්, ටෙලිනට්‍යයක් කිසිදු හේතුවක් නිසා මඟනොහැරිය අප තරුණ තරුණියන් ඒවා සියල්ල දුරස්කොට දැහැම් ජීවිතයක් තුලට සමවැදී උපවාසය නිම කිරීම සැබැවින්ම අදහාගත නොහැකි අශ්චර්‍යයකි.
  • ඉස්ලාම් අනුමත නොකරන විනෝදාංශවලට පමණක් නොව අනවශ්‍ය කරුණුවලට සවන්දීම හා පැවසීම තුලින් ද සම්පූර්ණයෙන් වැලකී. තම උපවසාය පිපාසයට හා කුසගින්නට පමණක් සීමා නොකොට තම ඇස, කන, දිව, අත්, පා … යනාදී සියළු අවයවයන් තුලින් උපවාසය පිලිඹිබු කිරීම තුලින් සමාජයට කියාපෑවේ තම අශ්චර්‍යයමත් කැපකිරීම මිස අන්කිසිවක් නොවේ.
  • එපමණක් ද නොවේ. පොලොව මත තේජාන්විතව හා විටෙක ආඩම්බර ලීලාවෙන් හැසිරුණූ අප අතර බොහෝ පිරිස් මේ උපවාස සමඟ උඩුයටිකුරු වී තම ආඩම්භරකම වෙනුවට අහිංසකක්වය ආදේශ කොට “මම උපවාසයේ නිරත වූ කෙනෙකු වෙමි” යනුවෙන් සියල්ල ඉවසා විදදරා ජීවත් වීම තුලින් ද සමාජයට ලබාදුන්නේ විශ්මිත වූ ආදර්ශයකි.
  • වෙන කවරදාකටත් වඩා හැඟීබරව දුප්පතාගේ දුක දිළිදුකම පිලිබදව අපට සංවේදී ලෙස බලන්නට හැකි වුයේ අප නොදැනම අපව විශ්මයට පත්කරවමින් නොවේද?

• එය පමණක් නොව මතින් තොර ජීවිතයක් පිලිබදව සිතා බැලීමට පවා නොහැකි යයි වහසිබස් දෙඩූ අප සමාජයේ බොහෝ පිරිස් මාසයක් පුරාවට එම මතට තිත තැබුවේ සමාජයම මවිත කරවමිනි.

මෙවන් විශ්මයන් ගණනාවක් කරන ඒ “රමළානය” අප ජීවිතයට පැමිණ නැවත සමුදී යන්නේ අපව තීරණාත්මක සංධිස්ථානයකට යොමු කරමිනි. එම යථාර්ථය අවබෝධ කොට නොගෙන ජීවත්වීම අවාසනාවකි. මෙය මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී.

“කවුරුන් තම කාර්‍යයන් පිලිබදව ස්වයං ඇගයීමක් කරමින් මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්නට යහක්‍රියා කරන්නේද? ඔහු බුද්ධිමතෙකි. කවුරුන් තම සිතුවිලි ඔස්සේ ජීවත් වී ‘මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්න හැකි වේවි’ යයි සිතන්නේ ද ඔහු අනඥානයකි (මෝඩයකි)”

දන්වන්නේ – සද්දාද් ඉබුනු අව්ෆ් (රලි) මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

ඉහත හදීසයේ සදහන් “තම ක්‍රියාවන් ස්වයං ඇඟයීමකට ලක්කරමින් මරණින් මතු දිවිය එකම ඉලක්ක කරගෙන ජීවිතය ඇරඹීමයි.” අවාසනාවකට සෑම වර්ෂයක් පුරාවට මුස්ලීම් සමාජයේ දකින දසුන නම් රමලාන් මාසයක් පුරාවට වෙහෙස මහන්සි වී කුසල ක්‍රියාවන් හි නිරත වූ අප ඒ සියල්ල මලු බැද පසෙකින් තබා ඉතිරි මාස 11 තම ස්වමත නොඑසේ නම් තම සිතුවිලි ඔස්සේ ඉස්ලාම් අනුමත නොකල ක්‍රියාවන් හි නිරතවීමයි. මෙවන් ක්‍රියාවන් තුලින් කිසිවකු විමුක්තියක් ලඟාකරගන්න අපේක්ෂා කරන්නේ නම් එය මුලාවීමකි. දිනක් දෙකක් නොව මාසයක් පුරාවට ඔබට “කියාමුල් ලෛල් (රාත්‍රී නැමදුම)” (මධ්‍යම රාත්‍රියේ ඉටුකරන වන්දනයක්) කරන්න හැකි වුවා නම් ඉදිරි මාස 11 සදහාත් එය ඉටුකිරීම එතරම් දුෂ්කර කාර්‍යයක් විය නොහැක. මාසයක් පුරාවට දුම්වැටියෙන් වැලකී ජීවත් වූවානම් ඇයි ඉදිරි මාස 11 සදහා එම විෂ පානයෙන් වැලකෙන්නට බැරි. මාසයක් පුරාවට පස්වේල සලාතය ප්‍රියතම වන්දනයක් වුවානම් ඇයි ඉදිරි මාස 11 සදහා එය බරක් කරගන්නේ. කුසගින්නේ තරම හා දුප්පතාගේ දුක සංවේදීව අවබෝධ කරගත් අපට ඉදිරි මාස 11 පුරාවට එලෙස සංවේදී නොවීමට හේතුවක් පැවතිය හැකිද? … මේ ආකාරයට ගෙවීගිය රමලාන් මාසය මෙන්ම එම මාසය තුලි උගත් මාඩම් පිලිබදව සෑම මුස්ලීම්වරයෙකුම ස්වයං ඇඟයීමක් සිදුකිරීමට අනිවර්‍ය වගකීමක් ඇත. සරලවම පවසනවා නම් සෑම මුස්ලීම්වරයෙකුම මාසයක් සදහා නොව සර්ව කාලීන ඉස්ලාම් වීමේ අවශ්‍යතාවයක් ඇත. ලොව පුරා මෙන්ම ජාතික මට්ටමේ විවිධ අන්තවාදී පිරිස් ඉස්ලාම් දහමට එරෙහිව කුමන ආකාරයේ ව්‍යාපාරයන් දියත් කලද ඒ සියල්ල ඉස්ලාම් දහමට වෙස්වලාගත් ආශිර්වාදයක් බවට මේ උපවාසය විශ්මිත ලෙස පත්කොට ඇත. ඉතිරිව ඇත්තේ මුස්ලීම්වරුන් වන අප විසින් ඉටුකලයුතු මෙහෙවර පමණි. එය ඉතා සරල කාර්‍යයකි. එනම් සැබෑ මුස්ලීම්වරයෙකු ලෙස ඉස්ලාමීය ආදර්ශයන් කට වචනයෙන් නොව ප්‍රායෝගික ජීවිතය තුල ක්‍රියාවට නැංවීම පමණි. එසේ නම් මේ රමලාන් මාසය පුරාවට උගත් පාඩම් අපගේ ජීවිතය නැවත සකසා ගනිමු. ඒ සදහා අල්ලාහ් (දෙවියන්)ගේ ආශිර්වාදය අප සියළුදෙනා හට අත්වේවා!

අල්කුර්ආනය තුලන් ‘උපවාසය’ විමසුමක්

අවසාන වශයෙන් මෙම භාග්‍යයන් පිරි උපවාසය පිලිබදව ශුද්ධ වූ කුර්ආනය තුල කුමක් පැවසෙන්නේද? යන්න ඔබේ බුද්ධිමත් විමසුමට තබන්නට අදහස් කරමි. ඒ මේ ‘රමලාන්’ හෙවත් උපවාස මාසය හා ශුද්ධ වූ කුර්ආනය අතර ඇති බැදීම ඒ තරමට ඉතා සමීප එකක් වන බැවිනි. එය ශුද්ධ වූ කුර්ආනයේ 2-185 වාක්‍යය මඟින් ද අල්ලාහ් (දෙවි) පවා මෙසේ අවදාරනය කරයි. එනම්,

මෙම කුර්ආනය රමලාන් මාසයේ පහල කරන ලදී. එය මිනිසුන් හට මාර්ගෝපදේශයකි, සෘජු මාර්ගය පැහැදිලි කරන්නකි, සත්‍ය අසත්‍ය වෙන්කොට පැහැදිලි කරන්නකි.

ඉහත වාක්‍යයට අනුව ශුද්ධ වූ කුර්ආනය පහල කලේ උතුම් වූ ‘රමලාන්’ මාසයේ යන්න පැහැදිලිය. නමුත් අවාසනාවකට සමාජයේ බහුතරයකට මේ දිව්‍යමය මඟපෙන්වීම හා එහි ඉගෙන්වීමන් පිලිබදව ඇත්තේ අවම දැනුමකි. මේ හේතුව නිසාම මේ උපවාස සමයේ ‘උපවාසය’ පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ කුමක් පැවසෙනවාද? යන්න සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම පිණිස මෙම ලිපිය ඉදිරිපත් කිරීමට අදහස් කලෙමි. මෙහිදී මීට ඉහත ‘යහමග’ අඩවිය තුල සාකච්චා කලාසේ රමලාන් මාස‍යේ මහිමය, එහි වැදගත්කම්, නීතිරීති මෙන්ම අවවාද අනුශාසනා… යනාදී ලෙස තවත් දීර්ඝ ලිපියක් ඉදිරිපත් කිරීමට අදහස් නොකරන අතර ශුද්ධ වූ කුර්ආනය පහල වූ මාසයේ මේ ශුද්ධ වූ කුර්ආනය තුල එම මාසය පිලිබදව කුමක් පැවසෙනවාද? යන්න පමණක් මෙහි පහතින් උපුටා දැක්වීම සිදු කරමි.

විශ්වාසවන්තයනි !, නුඹලාට පෙර පැවතී සමාජය කෙරෙහි පවරනු ලැබූවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය අනිවාර්‍ය කර ඇත. ඒ නුඹලා (අල්ලාහ් කෙරෙහි) බිය බැතිමත් වනු පිණිසය.

ශුද්ධ වූ කුර්ආනය 2-183

(උපවාසය) නියමිත දින ගණනක්(ඉටුකළ යුතු)ය. නුඹලාගෙන් යමෙකු රෝගී වුවහොත් හෝ ගමනක යෙදී සිටියහොත් හෝ (ඔහු) එම දින ගණන වෙනත් දිනවල (උපවාසයේ නිරත විය යුතුය.) තවද, එය ඉටු කිරීමට හැකි කෙනෙකු (උපවාසයේ නිරත නොවූයේ නම්) එයට (දිය යුතු) වන්දිය නම්, (එක් උපවාස දිනයකට) එක් ඳිළින්දෙකුට ආහාර දන් දීමයි. යමෙකු සිය කැමැත්තෙන්ම මීට අමතර යහපත් යමක් කරන්නේනම් එය ඔහුට යහපතක්ම වේ. එහෙත් නුඹලා දන්නේ නම් (වන්දි දීමට වඩා) උපවාසයේ නිරත වීමයි නුඹලාට වඩාත් යහපත් වන්නේ.

ශුද්ධ වූ කුර්ආනය 2-184

රමළාන් මාසය (කවරාකාර මාසයක් වන්නේද යත්) මනුෂ්‍ය වර්ගයාට (පරිසමාප්ත) මඟපෙන්වීම හා (නිවැරදි මාර්ගය දක්වන) පැහැදිලි ඉගැන්වීම්වලින් යුක්ත හා (සත්‍යය හා අසත්‍යය තෝරාගැනීමේ) මිණුම් දණ්ඩ ද, සැපයෙන අල්-කුර්ආනය පිරිනමන ලද මාසය වේ. එබැවින් මෙම මාසය තුළ ජීවතුන් අතර  සිටින කවරෙකු හෝ වේවා ඔහු එහි (එම මාසයේ) උපවාසය ඉටුකළ යුතුය. එහෙත් යමෙකු අසනීපයෙන් පසුවේ නම් හෝ ගමනක යෙදී සිටින්නේ නම් හෝ ඔහු එම දින ගණනට සමාන දින ගණනක් වෙනත් දිනවල (උපවාසය ඉටු) කළ යුතුය. අල්ලාහ් නුඹලාට සහනයක් සැලැස්වීමට කැමැතිය. නුඹලාට දුෂ්කරතාවක් ගෙන දීමට කැමති නොවේ. (එබැවින් නුඹලාට, මෙම ක්‍රමය දක්වනු ලබන්නේ උපවාස) දින ගණන නුඹලා සම්පුර්ණ කොට (අල්ලාහ් විසින්) නුඹලාට යහමග පෙන්වාදීම වෙනුවෙන් නුඹලා අල්ලාහ් සුවිශුද්ධ කිරීම හා ඔහුට කෘතඥ වීම පිණිසය.

ශුද්ධ වූ කුර්ආනය 2-185

උපවාස (දිනයන්හි) රාත්‍රියේ දී නුඹලාගේ භාර්යාවන් සමඟ සංසර්ගයේ යෙදීම අනුමත කර ඇත.  ඔවුන් නුඹලාගේ සළුපිළි(වැනි)ය. නුඹලා ද ඔවුන්ගේ සළුපිළි(වැනි)ය. නුඹලා නුඹලාටම වංචනීක වූ බව අල්ලාහ් දැන සිටියේය. එබැවින් ඔහු නුඹලාගේ පශ්චත්තාපය පිළිගත්තේය. තවද, ඔහු නුඹලාට සමාව ද දුන්නේය. එනිසා දැන් නුඹලා ඔවුන් (භාර්යාවන්) සමඟ රාත්‍රි කාලයේ සංවාසයෙහි යෙදෙනු(හැකිය). තවද, අල්ලාහ් අනුමත කළ දැයින් ආස්වාදය ලබාගනු. තවද, අළුයම(කාලයෙ)හි කළු නූලෙන් සුදු නූල නුඹලාට පැහැදිලිව පෙනෙනතෙක් (එනම් පාන්දර වන තෙක් ආහාර) අනුභව කරනු, පානය කරනු.අනතුරුව (මෙම සියලූ දෙයින්ම වැළකි) රාත්‍රිය එළඹෙනතුරු උපවාසය සම්පුර්ණ කරනු. එහෙත් නුඹලා මස්ජිද් (දේවස්ථාන)වල ඉඃතිකාෆ්හි (අල්ලාහ් මෙනෙහි කරමින්) රැඳී සිටින සමයේ (නුඹලාගේ භාර්යාවන් වන) ඔවුන් සමඟ සංවාසයෙහි නොයෙදෙනු. මේවා අල්ලාහ් නියම කර ඇති සීමාවන්ය. එබැවින් ඒ (සීමාවන්) කරා ළං නොවනු. මනුෂ්‍ය වර්ගයා (ඔවුන්ගේ වැරදි ගතිපැවතුම්වලින්) ආරක්ෂා වනු පිණිස අල්ලාහ් ඔවුන් වෙත සිය ආඥාවන් මෙලෙසින් පැහැදිලි කරයි.

ශුද්ධ වූ කුර්ආනය 2-187

නුඹලා හජ් සහ උම්රාහ් (ඉටුකිරීමට අධිෂ්ඨාන කරගත් විට අල්ලාහ් ප්‍රසාදයට පත් කිරීමට මෙම කාර්යයන්) ඉටු කරනු. එහෙත් නුඹලා (යම් තැනක) බාධා කරනු ලැබුවෙහි නම් නුඹලාට දිය හැකි සතෙකු ඝාතනය කොට අල්ලාහ්ට කැප කිරීම පිරිනමනු. තවද, එම කැපකිරීම (පිණිස වූ සතා) ඊට නියමිත තැනට එළඹෙන තුරු නුඹලා නුඹලාගේ හිස මුඩු නොකරනු.  එහෙත් නුඹලා අතුරින් කවරෙකු හෝ රෝගීව සිටි නම් හෝ ඔහුගේ හිසෙහි යම් ආබාධයකින් පෙළෙන්නේ නම් හෝ ඔහු උපවාසයේ නිරත වීමෙන් හෝ දන්දීමෙන් හෝ සතෙකු කැප කිරීමෙන් හෝ ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතුයි.එහෙත් නුඹලා සුරක්ෂිතව සිටින කාලය තුළදී (හජ් කාලය ආරම්භ වීමට මත්තෙන්) මක්කාවට පැමිණ හජ් ඉටු කිරීමට පෙර උම්රාහ් ඉටු කරමින් (මෙම අවස්ථාවෙන්) ප්‍රයෝජනය ගන්නා කවරකු වුවද තමාට හැකි කැපකිරීම් එකක් පිදිය යුතුය. එහෙත් එය පිරිනැමීමට ඔහුට වත්කමක් නොමැත්තේ නම් ඔහු හජ් සමය තුළ දින තුනක්ද නුඹලා ආපසු නිවෙස වෙත පැමිණි විට දින හතක්ද එනම් එකතුව දස දිනක් උපවාසයේ නිරත විය යුතුය. මෙම සහනය අදාළ වන්නේ තම පවුලේ අය මස්ජිදුල් හරාම් අසල පදිංච් නොවූ විටය. අල්ලාහ්ගේ මෙම පනත් උල්ලංඝණය කිරිමෙන් වළකිනු. දඬුවම් දීමේදී අල්ලාහ් ඉතා දරුණු බව මැනවින් දැනගනු.

ශුද්ධ වූ කුර්ආනය 2-196

වැරදීමකින් මිස (විශ්වාසවන්තයෙකු) ඝාතනය කිරීමට තවත් විශ්වාසවන්තයෙකුට තහනම්ය. යමෙකු වැරදීමකින් විශ්වාසවන්තයෙකු ඝාතනය කරන ලද්දේ නම් ඊට (වන්දියක් වශයෙන් ඔහු) විශ්වාසවන්ත වහලෙකු නිදහස් කළ යුතුය. තවද (ඝාතනය කරනු ලැබු තැනැත්තාගේ) උරුමක්කාරයින්ට වන්දි ගෙවිය යුතුය. (එම උරුමක්කාරයින්) දානශීලී චේතනාවෙන් (එම මුදල් භාර නොගතහොත්) හැර (එවිට එය නොගෙවා සිටිය හැකිය) එහෙත් (මරණ ලද) විශ්වාසවන්තයා වූ ඔහු, නුඹලාට සතුරු වු ජනතාවටකට අයත් වූයේ නම් (වන්දිය වනුයේ) එක් (විශ්වාසවන්ත) වහලෙකු නිදහස් කිරීමය. (ඝාතනය කරනු ලැබු) ඔහු, නුඹලාත් ඔවුන් අතරත් ගිවිසුමක් කරගත් ජනතාවකට අයත් වූයේ නම්, එවිට වන්දිය ඔහුගේ උරුමක්කාරයින්ට ගෙවිය යුතුය. තවද, විශ්වාසවන්ත වහලෙකු මුදාහළ යුතුයි. (වහලෙකු මුදාහැරීමට) නොහැකි නම්, අල්ලාහ්ගෙන් තව්බා (පශ්චාත්තාපය) ප්‍රකාශ කිරීම පිණිස ඔහු එක දිගට මාස දෙකක්උපවාසය පිහිටුවිය යුතුය. අල්ලාහ් සර්වඥය, සර්වප්‍රාඥය.

ශුද්ධ වූ කුර්ආනය 4-92

නොසැළකිල්ලෙන් (අවබෝධයෙන් තොරව) දිවුරන නුඹලාගේ දිවුරිම් සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලාව වරදට පත් නොකරයි. නමුත් නුඹලා ඕනෑකමින් (අවබෝධයෙන් යුතුව) කරන දිවුරිම් සම්බන්ධයෙන් ඔහු නුඹලාව වරදට හසු කරයි. එයට (දිවුරිම් කඩ කිරීමේ වරදට දෙන) පිළියම නම්, නුඹලාගේම පවුලේ අයට සපයනු ලබන තත්ත්වයේ සාමාන්‍ය ආහාර පානවලින් දිළින්දන් දස දෙනකුට සංග්‍රහ කිරීමයි. නැතිනම් ඔවුන්ට අඳුම් දන් දීමයි. එසේ නැත්නම් එක දාසයකු (වහළකු) නිදහස් කිරීමයි. කවරකු හෝ (මෙයින්  එකක්වත් කිරීමට) අපොහොසත් වේ නම් ඔහු දින තුනක් උපවාසය නිරත විය යුතුය. නුඹලා දිවුරා ඇති නුඹලාගේ දිවුරීම් කඩ (කළා නම්) ඊට පිළියම (විපාකය) මෙයයි. (එබැවින්) නුඹලාගේ දිවුරීම ආරක‍ෂා කරගනු. නුඹලා ගුණ ගරුක වීම පිණිස අල්ලාහ් මෙසේ තම අණපනත් නුඹලාට පැහැදිලිව දක්වයි.

ශුද්ධ වූ කුර්ආනය 5-89

විශ්වාසවන්තයිනි ! නුඹලා ඉහ්රාම් (හජ් වන්දනය සදහා අදිනු ලබන වස්ත්‍රය ඇදි)තත්ත්වයෙන් සිටිනා විට දඩයම් සතුන් නොමැරිය යුතුයි. තවද නුඹලා අතුරින් කෙනකු සිතාමතාම (ඉහ්රාම් තත්ත්වයෙන්) එය (දඩයම් සතුන්) මැරුවා නම්, ඊට සමාන අගයකින් යුත් එළු, ගව, ඔටු යනාදියෙන්, නුඹලා අතුරින් සාධාරණ (අපක්ෂපාත) මිනිසුන් දෙදෙනකු තීරණය කරන වන්දිය ලෙස කැප කරන සතකු ඔහු පරිභාරයක් වශයෙන් කඃබාහ්ව වෙත යැවිය යුතුයි. නැතහොත් (එසේ කිරීමට අපොහොසත් වුවහොත්) ඔහු වන්දිය වශයෙන් දිළින්ඳන්ට ආහාර සැපයිය යුතුයි. නැතහොත් ඊට සිරිලන සේ උපවිසය රැකිය යුතුයි. තමා කළ ක්‍රියාවට විපාකය විඳීම  සඳහා (මෙසේ පැනවේ)මීට පෙර කළ දෑට අල්ලාහ් සමා කළේය. නමුත් යමකු එය නැවත කළේ නම් අල්ලාහ් ඔවුන්ගෙන් පළිගනු ඇත. අල්ලාහ් සර්වබල සම්පන්නය, දඬුවම් කරන්නාද වේ.

ශුද්ධ වූ කුර්ආනය 5-95

එවිට ඒවා(යින්) කනු. බොනු. තවද දෑස සිසිල් කරගනු. මිනිසුන්ගෙන් කිසිවකු නුඹ දුටුවානම්. අර්-රහ්මාන්(අපරිමිත දයාන්විත වූ අල්ලාහ්) වෙනුවෙන් (නිහඬ) උපවාසයෙහි යෙදීමට (මම) භාර වුනිමි. එනිසා මම අද කිසිම මනුෂ්‍යයකු සමග කථා නෙකරමියි කියනුයිද (එම හඬ ඇයට උපදෙස් දුන්නේය.)

ශුද්ධ වූ කුර්ආනය 19-26

නියත වශයෙන්ම මුස්ලීම්වරුන් වන පිරිමීන් ද ස්ත්‍රීන් ද, විශ්වාසවන්ත පිරිමීන් ද ස්ත්‍රීන් ද, දෙවියන්ට අවනත වන පිරිමීන් ද ස්ත්‍රීන් ද සත්‍යයම පවසන පිරිමීන් ද ස්ත්‍රීන් ද, ඉවසීමෙන් යුතු පිරිමීන් ද ස්ත්‍රීන් ද, අල්ලාහ් (දෙවි)ට බියව කටයුතු කරන පිරිමීන් ද ස්ත්‍රීන් ද, දානමාන කරන පිරිමීන් ද ස්ත්‍රීන් ද, උපවාසයේ නිරතවන පිරිමීන් ද ස්ත්‍රීන් ද, තමන්ගේ පතිවත ආරක්ෂා කර ගන්නා පිරිමීන් ද ස්ත්‍රීන් ද, අල්ලාහ් (දෙවි)ව අධික වශයෙන් සුවිශුද්ධ කරන පිරිමීන් ද ස්ත්‍රීන් ද, ආදී මොවුන්ට අල්ලාහ් (දෙවි) සමාව ද ඉමහත් වූ පලවිපාක ද සැලසුම් කොට තබා ඇත්තේය.

ශුද්ධ වූ කුර්ආනය 33-35

(නිදහස් කළ වහළෙකුව) කවුරුන් හෝ ලබා නොගතහොත් ඒ ‍දෙදෙනාම කෙනෙකුට කෙනෙකු ස්පර්ශ කිරීමට පෙරම (ඔහු) මාස දෙකක් එක දිගට උපවාසයේ යෙදිය යුතුය. (මෙසේ උපවාසයේ යෙදීමට) ශක්තියක් නොමැති අය දුප්පතුන් හැට (60) දෙනෙකුට (මධ්‍යස්ථ තත්වයේ) ආහාර ලබාදිය යුතුය. ‘අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද ඔබ (ඇත්තෙන්ම) විශ්වාසය තබා ඇත්තේය’ යන්න සදහා (මෙම නියෝගය මෙසේ පහසු කර තැබුවේය) මේවා අල්ලාහ්ගේ සීමාවන් වන්නේය. (මේවා කඩ කිරීම මඟින්) ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනා ගෙනදෙන දඬුවම් ඇත.

ශුද්ධ වූ කුර්ආනය 58-4

අවසාන වශයෙන් සටහන් කරන්නේ භාග්‍යයන් පිරී උපවාස සමය දැන් අප ඉදිරියේ ඇත. අපගේ මෙලොව හා පරලොව විමුක්තිය සදහා මෙම උපවාසය පලදායි අයුරින් යොදාගන්නවාද? නැද්ද? යන්න තීරණය අපට ම භාරය. යාඅල්ලාහ්, අපව යහමග යොමු කරත්වා!

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම