උපවාස මාසයේ උතුම් වූ වගකීම

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අල්ලාහ් (දෙවි)
අල්ලාහ් (දෙවි)

ඉස්ලාමීය දින දර්ශනයට අනුව 09 වන මාසය ‘රමලාන්‘ නම් වේ. මෙම මාසය ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනයා උපවාසයේ නිරත වන මාසය ද වේ. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව උත්තරීතර මාසයක් ලෙස සැලකෙන මෙම රමලාන් මාසය කාරණා ගණනාවක් නිසා මුස්ලීම්වරුන්ට සුවිශේෂි වේ. මේ කාරණය පිලිබදව ‘යහමග’ අඩවිය තුල මීට ඉහත අවස්ථා ගණනාවකදීම විවිධ මාතෘකා ඔස්සේ කරුණු සාකච්චා කොට ඇත. ඒ අතර රමලාන් මාසයේ උදාව, එහි නීතිරීති, එහි මහිමය… යනාදීය පිලිබදව කථා කල ලිපි එවැනි කිහිපයක් වන අතර ‘උපවාස මාසයේ උතුම් වූ වගකීම’ නම් මෙම ලිපිය ද උපවාස සමය මූලික කරගෙන කාලීන වශයෙන් වැදගත් විෂයක් පිලිබදව කථා කිරීමට අදහස් කරමි. ඊට මත්තෙන් මේ උපවාසය මූලික කරගෙන මෙම අඩවිය තුල ලියවුණු ලිපි කිහිපයක් ඔබේ බුද්ධිමත් අවදානයට නැවත ගෙන එන්නේ නම්,

උපවාස මාසයේ ආරම්භයේ සිටින ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට අසීමිත භාග්‍යයන් පිරි ‘රමලාන්’ නම් වූ මෙම මාසය හේතූ ගණනාවක් නිසා වැදගත් වේ. ඒ අතුරින් අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ 2-183 වාක්‍යයෙන් පවසන ප්‍රධාන කාරණයක් වන්නේ, ‘නුඹලා බියබැතියන් වනු පිණිසය‘ යන්නයි. ශුද්ධ වූ කුර්ආනයේ පවසන උපවාසයේ උත්තරීතර අරමුණූ ‘මුස්ලීම් ලෝකයට දිනාගත හැකි වේද?’ යන පැනය මුස්ලීම් සමාජය ඉදිරියේ ඇත.

විශ්වාසවන්තයනි (මුස්ලිම්වරුනි ) !, නුඹලාට පෙර විසූ ජන (සමාජය)ට අනිවාර්ය කලාසේම, නුඹලාටත් උපවාසය රැකීම අනිවාර්ය කර ඇත. ඒ, නුඹලා (අල්ලාහ් (දෙවි)ට) බියබැතියන් වනු පිණිසය.”

ශුද්ධ වූ කුර්ආනය 2-183

ඉහත වාක්‍යයේ සදහන් ආකාරයට මේ උපවාසය මුස්ලීම්වරුන් අල්ලාහ් (දෙවි)ට අවනත වූ බියබැතියන් වනු පිණිස නම්, මේ උපවාසයේ සැබෑ අරමුණූ අප දිනාගැනීමට අප තුල ගොඩනැඟිය යුතු මූලික අවශ්‍යතා ගණනාවක් තිබේ. විශේෂයෙන් ඉහත 2-183 වාක්‍යය තුලින් පවසනවා සේ දහම ට පූර්ණ වශයෙන් නැඹූරු වූ බියබැතියන් වීම එහි මූලික අවශ්‍යතාවයකි. මෙලෙස උපවාසයේ අරමුණ හා අවශ්‍යතාවය පැහැදිලි කරන ශුද්ධ වූ කුර්ආනය තවත් ස්ථානයක සැබෑ මුස්ලීම්වරයෙකු තුල පැවතිය යුතු ගුණාංගයක් මෙසේ පවසයි. එනම්,

නුඹලා මනුෂ්‍යයන් අතර උතුම් වූ ජන සමූහයක් ලෙස තොරා පත්කොට ඇත්තේය!. (ඒ නුඹලා)  යහපත සදහා අණකරන්නේය!, අයහපතින් (ජනයා) වලක්වාලන්නේය!, තවද අල්ලාහ් (දෙවි) විශ්වාස ද කරන්නේය!…

ශුද්ධ වූ කුර්ආනය 3-110

ඉහත වාක්‍යයේ සදහන් ආකාරයට මුස්ලීම් සමාජය උතුම් වූ සමාජයක් වීමට ඔවුන් තුල ගොඩනැඟිය යුතු මූලික ගුණාංග දෙකක් ඇත. එනම්,

  • මිනිස් සමාජයට යහපත අණ කිරීම,
  • මිනිස් සමාජය අයහපතින් වැලැක්වීම,

ඉස්ලාම් අණ කරන මේ මෙහෙවරෙහි අද නිරතව සිටින්නේ මුස්ලීම් සමාජයේ කීයෙන් කීදෙනාද?. මෙය සෑම මුස්ලීම්වරයෙකුම තම හඳවතින් විමසා බැලිය යුතු පැනයකි. මේ යුතුකම මුස්ලීම්වරුන්ගෙන් ඉටු නොවීමේ විපාකය වර්ථමාන මුස්ලීම් ලෝකය තවමත් නිසි ආකාරව අවබෝධ කර නොගැනීම අවාසනාවන්ත තත්වයකි. එහි ප්‍රතිපලයක් ලෙස වර්ථමාන ලොව තුල ඉස්ලාම් දහම මුහුණපාන ප්‍රධාන අභියෝග දෙකක් ඇත. එනම්,

  • මුස්ලීම්වරුන්ගේ ක්‍රියාකලාපයන් තුලින් ම ඉස්ලාමයට එල්ල වන අභියෝග,
  • මුස්ලීම් නොවන්නන් විසින් ඉස්ලාමයට එල්ල කරන අභියෝග,

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අනුව යහපත සමාජයට අණ කිරීමත්, අයහපතින් සමාජය වැලැක්වීමත් සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම පැවරෙන අනිවාර්‍ය වගකීමකි. මෙය මුස්ලීම් ලෝකය ප්‍රථමයෙන් අවබෝධ කර ගතයුතුව ඇත. මේ වගකීම පැහැරහැරිය මුස්ලීම් ලෝකය අද ඉස්ලාමයටත්, මුස්ලීම් සමාජයටත් විකෘති ප්‍රතිරූපයක් ගොඩනඟමින් සිටී. විශේෂයෙන් අන්තර්ජාලය තුල මුස්ලීම් සහෝදර සහෝදරියන්ගේ ක්‍රියා කලාපයන් ඊට කදිම නිදසුනකි. අන්තර්ජාලය අද දේශිය හා විදේශිය ඉස්ලාම් විරෝධින්ගේ තොතැන්නකි. මෙවැනි ව්‍යාපරවලට නිසි පිලිතුරු ලබාදීමේ වගකීම හා යුතුකම ඇත්තේ මුස්ලීම්වරුන් වන අපට මිස වෙන කිසිවකුටවත් නොවේ. නමුත් මේ වගකීම හදුනා නොගත් මුස්ලීම්වරුන් අතුරින් අති බහුතරයක් මේ අන්තර්ජාලය විනෝද පිටියක් කරගෙන නළු නිලියන්, ගායක ගායිකාවන් පසුපස යන නොඑසේ නම් පලකට නොවන කථාබහවල නිරත වන ආගම දහමට කිසිදු නැඹූරුවක් නොමැති බොල් මිනිසුන් බවට පරිවර්ථනය වෙමින් සිටී. මේ තත්වය වෙසන් වියයුතුය. ඉස්ලාමයට හා මුස්ලීම්වරුන්ට එරෙහිව දියත් වන මිත්‍යා ව්‍යාපාර හොදින් හදුනාගෙන ඊට නිසි පියවර ගතයුතුය. සියළු දෙනාටම මේ දහම් දේශනා කිරීමට හැකියාව හෝ අවස්ථාව නොමැති වන්නට පුළුවන. නමුත් එවැනි පිරිස් අතර ලියන්න දක්ෂ පිරිස් සිටීමට පුළුවන. ලියන්න කියන නොදන්නවා වුවත් එවැනි කටයුතුවලට ශ්‍රමයෙන් හා මුදලින් සහය දැක්විය හැකි පිරිස් මේ අතර සිටීමට පුළුවන. මෙලෙස තම ශක්තියට හැකි පමණින් ඉහත මෙහෙවර හා වගකීම ඉටු කලයුතව ඇත. මෙය මේ උතුම් වූ මාසයේ අප ඉදිරියේ ඇති එක් අභියෝගයකි.

ඉහත ආකාරයට එක් පසෙකින් මුස්ලීම්වරුන් අතින් ම මුස්ලීම් සමාජයේ පරිහානිය නොඑසේ නම් ඉරණම ලියවෙද් දී, වර්ථමාන ලොව තුල විශේෂයෙන් අප රට තුල පවා මුස්ලීම්වරුන්ගේ හා ඉස්ලාමයේ ඉදිරි ගමනට බාධා පමුණුවන ආකාරයේ සැලසුම් සූක්ෂම ලෙස සැකසෙමින් හා ඔවුන්ගේ ඉරණම ලියවෙමින් ඇත. මුස්ලීම්වරුන්ගේ ආගමික නිදහසට බාධා කරන, මුස්ලීම්වරුන්ගේ ආයිතීන් උල්ලංඝනය කරන, මුස්ලීම්වරුන්ගේ අධ්‍යාපානය ඇතුලු අනෙකුත් මූලික අයිතීන්වලට බාධා කරන, මුස්ලීම්වරුන්ගේ දියුණුවට බාධා පමුණුවන… ආකාරයේ වූ ව්‍යාපාර ගණනාවක් සෑම සියළු ක්ෂේත්‍රයන් තුලින් ම සීඝ්‍රයෙන් වර්ධනයව වෙමින් ඇත. (මේවා පිලිබදව මෙම අඩවිය තුල දීර්ඝ ලෙස කරුණූ සාකච්චා කොට ඇත) මේවා ප්‍රසිද්ධියේ පමණක් නොව විටෙක නීතිය ඉදිරියේ ක්‍රියාත්මක වීම මෙහි කෲර බව මෙන්ම බලගතු බව මනාව කියාපෑමකි. වසර ගණනාවක් මුළුල්ලේ මේ රට තුල මුස්ලීම්වරුන්ට තිබූ ආගමික, වෙළද, සමාජීය… යන නිදහස සීමා කිරීමට මේ ජාතිවාදී බලවේග ගන්නා ක්‍රියා මාර්ග පිලිබදව මුස්ලීම් සමාජය අවදියෙන් හා විමසුම් ඇසින් බැලිය යුතුව ඇත. එපමණක් නොව මේ මිත්‍යා ව්‍යාපාරවලට එරෙහිව නිසි පියවර ගතයුතුව ද ඇත. මෙය මුස්ලීම් සමාජය කෙරෙහි පැවරෙන දෙවන අභියෝගයයි.

මේ අභියෝග ජය ගැනීමට යන ගමනේ ඔබ කරන, කියන, ලියන සෑම උත්සාහයක්ම ඉහත 3-110 වාක්‍යයේ සදහන් උතුම් සමාජයක ලක්ෂන බව ඔබ අමතක නොකලයුතුය. නමුත් ඒ සදහා මූලික කොන්දේසියක් ද ඇති බව අමතක නොකලයුතුය. අද අන්තර්ජාලය තුල සමහරක් ආගමික වෙබ් අඩවීන් දෙස බලන විට ඔවුන් තම දහම පවසනවාට වඩා කරන්නේ ඉස්ලාම් දහමට එරෙහිව බොරු චෝදනා පෙලගසමින් මිත්‍යා ප්‍රහාරවල නිරත වීමය (මෙවැනි මිත්‍යා ප්‍රහාර පිලිබදව ද මෙම අඩවිය තුල මීට පෙර දීර්ඝ ලෙස කරුණූ සාකච්චා කොට ඇත). ඇත්තෙන්ම වර්ථමාන ලොව තුල වෙබ් අඩවීන් හා බ්ලොග් අඩවීන් හොද ප්‍රචාරණ මාධ්‍යයකි. එය ඉස්ලාම් විරෝධින් උපයෝගි කරගන්නා තරමට අප ඉස්ලාමය කියන්න උපයෝගි කර නොගත්තා යන්න මාගේ විශ්වාසයයි. මෙහිදී මා මේ සියළුදෙනාට වෙබ් අඩවියක් හෝ බ්ලොගයක් ආරම්භ කරන්න යෝජනා නොකරමි. නමුත් මේ දහම වෙනුවෙන් තමන්ට හැකි පමණින් යමක් කලයුතව ඇත. එය වෙබ් අඩවියක්ම වියයුතු නැත. තමන් සතු සමාජ ජා‍ල අඩවියකින් ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීම හෝ ඉස්ලාම් විරෝධි මතවාදයක්ට පිලිතුරු ලබාදීම නොඑසේ නම් ඉතා කෙටි click කිහිපයකින් හෝ copy, paste මඟින් කිසියම් මතයක් අන්තර්ජාලය තුල මුදාහැරීම අද පහසු කාර්‍යයකි. ඊටත් වඩා සරල facebook Like එකක් තුලින් පවා විශාල දහම් මෙහෙවරක් අද අන්තර්ජාලය තුල කල හැකිව ඇත. මේවා පිලිබදව මුස්ලීම් සමාජයේ දැඩි අවදානය යොමු වියයුතු අතර මේ සියල්ල ඉහත 3-110 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයේ සදහන් උතුම් වූ සමාජයේ ලක්ෂණය බව ද අමතක නොකලයුතුව ඇත. එපමණක් නොව අසීමිත භාග්‍යයන් ලබාදෙන උතුම් වූ මේ රමලාන් මාසය හොද ඇරඹුමක් කර ගතයුතුව ඇත. අල්ලාහ් (දෙවි) මනුෂ්‍යා හා ඉතා සමීප වන, මනුෂ්‍යාගේ ක්‍රියාවට, උත්සාහයට උපරිම පලය ලබාදෙන, අල්ලාහ් (දෙවි)ගේ භාග්‍යයන් පිරි මේ රමලාන් මාසයට වඩා මේ සදහා සුදුසු කාලයක් ඇතැයි මා නොසිතමි. අවසාන වශයෙන් මේ උපවාස සමයේ ඔබ කරනු ලබන අසීමිත ප්‍රාර්ථනාවන් අතර ට පහත ආකාරයේ ප්‍රාර්ථනාවන් ද එක් කරගන්නා මෙන් යොජනා කරමින් මේ ලිපියට විරාමය තබමි.

‘යාඅල්ලාහ්!, ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට මේ රට තුල නිදහසේ ජීවත්වීමට අවශ්‍ය සමාජ පසුබිම නිර්මාණය කරදෙත්වා!, ඉස්ලාමයට එරෙහිව එදිරිවාදිකම්වල නිරත වන පිරිසට සත්‍ය දහම අවබෝධ කරගන්නට තරම් මනස විවෘත වෙත්වා!, ඔවුන්ගේ නුවණැස පෑදේවා!, ඔවුන්ගේ සිත්තුල මනුෂ්‍යාත්වයේ හා සහෝදරත්වයේ හැඟීම් පහල වේත්වා!…

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/19

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම