උපවාස සමයේ 'ජිහාදය' සදහා පෙළගැසෙමු

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


උපවාසය
උපවාසය
සාරංශය - සෑම මුස්ලීම්වරයෙකුම තම සිත සමඟ  ජිහාදයක නිරතව මනස ජය ලැබූ කෙනෙකු බවට පරිවර්ථනය වීමට අවශ්‍ය ශක්තිය මේ රමලාන් (උපවාස) මාසය තුල ඇති බවත්, එය ලඟාකර ගැනීමට සෑම මුස්ලීම්වරයෙකුම ක්‍රියා කලයුතු බවත් අවසාන වශයෙන් සටහන් කරමි.

අල්ලාහ් (දෙවි)ගේ කරුණාව දායාව අසීමිත ලෙස අප කෙරෙහි වස්සන භාග්‍යයන් පිරි රමලාන් (උපවාස) මාසය මේ වර්ෂයේදීත් අප හමුවට පැමිණ කෙමෙන් කෙමෙන් අපගෙන් නික්මයමින් ඇත. එවන් අවස්ථාවක සෑම මුස්ලීම්වරයෙකුම තම ජීවිත කාලය තුල අනිවාර්යයෙන් ඉටු කලයුතු ‘ජිහාදයක්‘ පිලිබදව මෙහිදී ‘උපවාස සමයේ ‘ජිහාදය’ සදහා පෙළගැසෙමු‘ යන මෙම ලිපිය තුලින් සාකච්චා කිරීමට අදහස් කරමි. ‘ජිහාදය‘ යන නම ඇසූ පමණින් බොහෝ දෙනෙකුගේ සිත් තුල ඇති වන්නේ අමිහිරි එමෙන්ම භයානක සිතුවිලි සමූහයකි. එනමුත් අප රටේ ඉස්ලාම් දහමට එරෙහිව මඩ ව්‍යාපාරවල නිරතව සිටින ජාතිවාදී කල්ලීන්ට නම් මෙම මාතෘකාව කනට මීපැණී වැගිරීමක් වැනි වියහැකිය. එය එසේ තිබිය දී ‘යහමග‘ අඩවිය ‘ජිහාදය සදහා පෙලගැසෙමු‘ යනුවෙන් මාතෘකාව යොදා මේ කියන්නට යන්නේ කුමක්ද? යන කුතුහලය දැන් ඔබේ සිතේ වදදෙනු නොඅනුමානය. ‘යහමග‘ අඩවිය තුල මීට පෙර ඉදිරිපත් කල ‘මෙන්න තවත් ප්‍රහාරයක්‘ යන ලිපිය තුලින් රමලාන් මාසයේ මුස්ලීම් සමාජය ‘ජිහාද් පුහුණු වැඩමුළු සංවිධානය කරයි‘ යනුවෙන් ඊනීයා මතවාදයක් සමාජය තුල නිර්මාණය කිරීමට ජාතිවාදී පිරිසක් ගත් කුමන්ත්‍රණකාරී උත්සාහයක් අප අනාවර්ණය කලෙමු. එසේ තිබිය දී මේ රමලාන් මාසයේ සෑම මුස්ලීම්වරයෙකුම අනිවාර්යයෙන් ඉටු කලයුතු ජිහාදයක් පිලිබදව ‘යහමග‘ අඩවිය තුල කථා කිරීමට සැරසෙන්නේ ඇයි ද? යන කුතුහලය දැන් ඔබේ සිත් තුල වදදෙනු ඇත.

එම කාරණයට අවධානය යොමු කිරීමට පෙර මෙහිදී පැහැදිලි කර ගතයුතු ප්‍රධාන කාරණයක් ඇත. එනම් ‘ජිහාද්‘යන වදනෙහි සැබෑ අරුථ කුමක්ද? යන්නයි. අද සමාජය එම වචනයට ‘ඉතා බියකරු අවාසනාවන්ත ඛේදවාචකයන් ලඟා කරවන සටන්කාමී ක්‍රියාවලියක්‘ යන අරුථ ලබාදී තිබුණ ද අරාබි භාෂාවෙන් ‘ජිහාද්‘ යන්නෙහි අරුථ එවැන්නක් නොවේ. එය “ජහද” යන මුල් වචනයෙන් බිදී එන්නකි. එහි අරුථ “උත්සාහ කිරීම”, “සටන් කිරීම” යන්නයි. එක් ශිෂ්‍යයෙකු විභාගය සමත්වීම සදහා උත්සාහ කරයි නම් ඔහු විභාගය සමත්වීම සදහා ජිහාද් කරනවා යයි පැවසිය හැක. ශුද්ධ වු කුර්ආනයේ 31-15 වන වාක්‍යයෙන් “අල්ලාහ් දෙවියන්ට සමාන තවත් දෙවියන් ඇතයි මුස්ලීම්වරුන්ට හේතු ගැන්වීම සදහා ඉස්ලාම් විරෝදීන් උත්සාහ කලබව එනම් ජිහාද් කල බව” පවසයි. එසේම ශුද්ධ වු කුර්ආනයේ විශ්වාසවන්තයින් දෙවියන්ගේ මාර්ගයේද විශ්වාස නොකරන්නන් (ඉස්ලාම් විරෝධින්) නපුරන්ගේ එනම් ශෙයිතාන්ගේ මාර්ගයෙද ජිහාද් කරන බව පවසයි. එසේනම් ඉස්ලාමීය ඉගැන්වීමට අනුව ජිහාද් යයි කියු පමණින් එය “ශුද්ධ වු සටනක්” යයි කිව නොහැකි බව දැන් පැහැදිලිය. එම කාරණය හොදින් මතකයේ රදවාගෙන ඉහත මාකෘතාව වෙත අවධානය යොමු කරන්නේ නම්,

මේ උපවාස මාසයේ සෑම මුස්ලීම්වරයෙකු ම තම අධ්‍යාත්මික ජීවිතයට හා ලෞකික ජීවිතයට ලඟා කරගන්නා බොහෝ පාඩම් ඇත. ඒ පිලිබදව මෙම අඩවිය තුල මීට ඉහත ලිපි ගණනාවක සාකච්චා කොට ඇත. (එවැනි ලිපි කියවීම සදහා ‘උපවාසය‘) දිවා කාලය පුරාවට නිරාහාරව හිඳ තම හැඟීමන් හා කායික අවශ්‍යතාවයන් පාලනය කරගන්නා ඔහු රාත්‍රි කාලය ද වැඩි කොටසක් ගෙවා දමන්නේ දේව වන්දනෙහිය. මේ ආකාරයට කුසල ක්‍රියාවල නිරත වන ඔහු තම ඉලක්ක සපුරා ගැනීම සදහා අරඟල එසේත් නැත්නම් ‘ජිහාද්‘ කිහිපයකට මුහුණදීමට සිදුවේ. ඒ අතුරින් ප්‍රධාන අරඟල එසේත් නැත්නම් ‘ජිහාද්‘ දෙකක් සෑම මුස්ලීම්වරයෙකුම අනිවාර්යෙන් සපුරාලීම අත්‍යඅවශ්‍ය වේ. එනම්,

  • ‘ජිහාදුන් නෆ්ස්‘ හෙවත් තම සිත සමඟ කරන අරඟලය.
  • ‘ජිහාදුන් ශෙයිතාන්‘ හෙවත් ශෙයිතාන් නම් නපුරෙන් ගැලවීමට කරන අරඟලය

මුස්ලීම්වරයෙකු තම ලෞකික මෙන්ම ලෝකොත්තර දිවිය සාර්ථක කරගැනීම සදහා ඉහත අරඟල දෙක ජයගැනීම අත්‍යඅවශ්‍ය කාරණයක් වන අතර රමලාන් මාසය ඒ සදහා වඩාත් සුදුසුම කාල වකවානුව වේ. ඒ අනුව මෙම අරඟල දෙක රමලාන් මාසය පදනම් කරගෙන විමසා බලන්නේ නම්,

ජිහාදුන් නෆ්ස්

මේ රමලාන් මාසය දේව කරුණාව හා භාග්‍යය අපරිමිතව අපගේ ජිවිතයට ලඟාකර දෙන මාසයකි. තම හැඟීමන්ට වහල් නොවී, තම සිත පාලනය කර ගනිමින් ක්‍රියා කිරීම ඒ සදහා අත්‍යඅවශ්‍ය වේ. උපවාස නොවන කාලවල උදෑසන හා දිවා කාලයේ විවිධ වූ ආහාරපානවලින් කිසිදු බාධාවකින් තොරව රිසිසේ සප්පායම් වන අප රමලාන් මාසයේ ඒ සියල්ලන්ගෙන් ඈත්ව නිරාහාරව තම අවශ්‍යතාවයන් පාලනය කරගන්නේ තමා හඳවත සමඟ කරන අරඟලයේ ප්‍රතිපලයක් ලෙසිනි. විශේෂයෙන් උෂ්ණ අධික රටවල වෙසෙන මුස්ලීම් ජනතාව තම දෛනික කටයුතුවල නිරත වෙමින් අධික පිපාසය පවා පාලනය කරගෙන මෙම උපවාසය පූර්ණ කරගන්නේ ඉතා විශ්මිත ආකාරයටය. එම අරඟලය කොතරම් ගැඹූරු එකක් ද යන්න පහසුවෙන් අවබෝධ කරගැනීමට සරල නිදසුනක් පවසනවා නම්, අධික පිපාසිතව සිටින දහවල් හා සවස් කාලයේ සිදුකරන (ලුහර් හා අසර්) දේව වන්දනයට පෙර සිදුකරන වුළු දොවනයේ (දේව වන්දනයට පෙර සිදු කරන පිරිසිදු වීමක්) දී තම මුව සේදීමට මුව තුලට ගන්නා ජලය තම උගුරු දණ්ඩෙන් පහලට බිංදුවක් හෝ නොයන්න වග බලාගන්නේ මෙම අරඟලයේ ප්‍රථිපලයක් ලෙස මිස අන් කිසිවක් නිසා නොවේ. එහිදී මුවට ගන්නා ජලය හා උපවාසය අතර පරතරය සෙන්ටිමීටරයක්වත් නොමැති තරම් යයි මා පවසන්නේ නම් එය අතිශයෝක්තියක් ද නොවේ. එම මොහොතේ කිසිවකු එම ජලය ගිලදැමුව ද ලෝකයාට දැන ගැනීමට කිසිදු හැකියාවක් නැත. එසේ තිබිය දී පවා තම හඳවත සමඟ අරඟලයක ප්‍රතිපලයක් ලෙස ඔහු තම උපවාසය ආරක්ෂා කරගනී. මෙවැනි පිරිස් පිලිබදව තමා අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ පහත ආකාරයට පවසන්නේ.

කවරෙකු තම දෙවියන් අබියස (විනිශ්චය දිනයේ) සිටීම කෙරෙහි බිය වී, තම සිතුවිලි හා හැඟීමන්ට වහල් නොවී තම ආත්මය ආරක්ෂා කරගන්නේද, නියත වශයෙන්ම ඔහු නවතින තැන ස්වරගය වේ

ශුද්ධ වූ කුර්ආනය 79-40,41

ඉහත දිව්‍යමය වදන මඟින් තම හඳවත සමඟ අරඟලයේ (ජිහාදුන් නෆ්ස්) නිරත වන මිනිසාට දෙවියන් ලබාදෙන භාග්‍යය මනාව පැහැදිලි වේ. මෙලෙස ක්‍රියා කරන පුද්ගලයා තමා සැබැවින්ම බුද්ධිමත් තැනැත්තා ද වන්නේ. වර්ථමාන ලෝකය සැලකූ විට එහි සත්ක්‍රියාවන් පිලිබදව කථා කරන තරමෙහි නම් අඩුවක් නැත. නමුත් ප්‍රායොගික දිවිය තුල එය කොතරම් ක්‍රියාවට නැංවෙනවාද? යන්න පිලිබදව ඇත්තේ ප්‍රබල විවේචනයන්ය. එසේ තිබිය දී මුස්ලීම් ජනතාව නිරත වන උපවාසය සැබැවින්ම ලෝකයාට ආදර්ශමත් එකකි. මෙය නබිතුමාණන් මෙසේ අවධාරණය කරන ලදී. එනම්,

නබිතුමාණන් මෙසේ පවසන ලදී. ‘තම ආත්මය (වැරදි මඟක යොමු නොවී එය) ආරක්ෂා කොට ලෝකොත්තර (මරණින් මතු) දිවියේ යහපත උදෙසා සත්ක්‍රියාවල නිරත වන තැනැත්තා බුද්ධිමත් තැනැත්තා වන්නේ. අල්ලාහ් (දෙවි) හමුවේ විවිධ භාග්‍යයන් බලාපොරොත්තුවෙන් නමුත් තම ආත්මය හැඟීමන්ට වහල් කොට ජීවත් වන තැනැත්තා දුර්වල තැනැත්තා වන්නේය.‘

මූලාශ්‍ර ග්‍රන්ථය – අහ්මද්, තිර්මිදි

උපවාසයේ නිරත නොවන කාලවලට අනුමත ක්‍රියාවන් පවා උපවාස සමයේ තම සිතත් සමඟ අරඟලයක නිරතව එය පාලනය කර ගනිමින් එයින් වැලකීම තුල තම ලෞකික දිවියට මෙන්ම අධ්‍යාත්මික දිවියට බොහෝ යහපත ‍ගෙන දෙන්නේය. (මේ පිලිබදව මීට ඉහත ලිපිවල දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත) එසේ නම් සෑම මුස්ලීම්වරයෙකුම තම සිත සමඟ ජිහාදයක නිරතව මනස ජය ලැබූ කෙනෙකු බවට පරිවර්ථනය වීමට අවශ්‍ය ශක්තිය මේ රමලාන් (උපවාස) මාසය තුල ඇති බවත්, එය ලඟාකර ගැනීමට සෑම මුස්ලීම්වරයෙකුම ක්‍රියා කලයුතු බවත් අවසාන වශයෙන් සටහන් කරමි.

ජිහාදුන් ශෙයිතාන්

ඉස්ලාම් දහම ‘ශෙයිතාන්‘ යන වදන අර්ථ දෙකකින් උපයෝගි කරගන්නා ආකාරය ආගමික මූලාශ්‍ර හොදින් අධ්‍යනය කිරීමේ දී පැහැදිලි වේ. එයින් එකක් වන්නේ ශෙයිතාන් නම් අමනුෂ්‍ය මැවීමක් පිලිබදව කථා කිරීමේ දී හා ඔහු මඟින් යහපත් මිනිසුන්ට සිදුවන බලපෑම් පිලිබදව කථා කිරීමේ දීය. අනික් අවස්ථාව වන්නේ අයහපත්, හිංසාකාරී, නපුරු… යනාදී ක්‍රියාවන් පිලිබදව කථා කිරීමේ දී ද ‘ශෙයිතාන්‘ යන යෙදුම ඉස්ලාමීය මූලාශ්‍රවල භාවිතා කරයි. ඒ ආකාර දෙකෙන් කුමක් වුවද සෑම මුස්ලීම්වරයෙකුම මේ ‘ශෙයිතාන්ට එරෙහිව ජිහාද් හි නිරතවීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් යන්නෙහි කිසිදු මුස්ලීම්වරයෙකුට විවාදයක් නැත. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස නබිතුමාණන් පැවසූ ජනප්‍රිය හදීසයක් ඔබේ අවධානයට ගෙන එන්නේ නම්, ‘මනුෂ්‍යාගේ රුධිරය ගමන් කරන සෑම නාලයකම ශෙයිතානුත් ගමන් කරනු ලබයි’ යන්නයි. අපගේ රුධිරය තරම් අපට සමීප කිසිවක් අප තුල නොමැත. එම රුධීරය සමඟ ශෙයිතාන් ගමන් කරනවා යයි නබිතුමාණන් පැවසීම තුලින් මේ ශෙයිතාන්ගේ උගුලට හසුවීමේ සම්භාවිතාවය කොතරම් ඉහල මට්ටමක තිබෙනවාද? යන්න මා අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇත. එවන් වූ නපුරින් මුස්ලීම්වරයෙකු ආරක්ෂා වීමට ඔහු කොතරම් විශාල අරඟලයක නිරතවීමට සිදුවෙනවා ඇත්ද? යන්න බුද්ධිමත් ලෙස විමසා බැලීම සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම අනිවාර්‍ය අවශ්‍යතාවයක් වන අතර මේ උපවාසය එයට ඉමහත් පිටුවහලක් වනු ඇත.

වර්ථමාන ලෝකය සැලකිල්ලට ගත්විට එය ‘දියුණූව’ නමින් අනවබෝධයන්ගෙන් හා ශෙයිතාන්ගේ නපුරෙන් කැලඹී ගොස් ඇති ආකාරය සුලභව දැකගත හැක. විශේෂයෙන් මිනිස් සමාජයක කොඳුනාරටිය ලෙස සැලකෙන තරුණ පරම්පරාව සැලකූ විට ඔවුන් රූපවාහිනි, ගුවන්විදුලි, පුවත්පත්, අන්තර්ජාල… යනාදී මාධ්‍යයන් තුලත් පාසැල්, මංමාවත්, බස්නැවතුම් පොල, උද්‍යාන, වෙරළ තීරයන්… යනාදී පොදු තැන්වලත් ශෙයිතාන්ගේ කුමන්ත්‍රණකාරී ආක්‍රමණයන්ට හසු වී ඒ තුල විනාශය පතමින් ක්‍රියා කරන ආකාරය පහසුවෙන් දැකගත හැක. මේ තත්වයෙන් වර්ථමාන සමාජය මිදීමට ඔහුට මේ ශෙයිතානීය ක්‍රියාවන් සමඟ ගැඹූරු අරඟලයක නිරත වීම අත්‍යඅවශ්‍ය කාරණයක් බවට පත්වේ. එය පහසු කරවන මඟක් ලෙස මෙම උපවාසය පිහිටා තිබීම හේතු කොටගෙන මේ ජිහාදය සදහා රමලාන් මාසය අල්ලාහ් (දෙවි) මිනිස් සමාජයට දායාද කොට ඇත. මෙම හේතුව නිසා තමා මුහම්මද් (සල්) තුමාණන් වරක් උපවාසය හා තාරුණය සම්බන්ධ කොට මෙසේ ප්‍රකාශ කලේ,

විවාහ දිවියට ඇතුල්වීමට සුදුසුකම් (වයස හා අවශ්‍ය ධනය) ලද පිරිස් විවාහය සිදුකල යුතුය. එය ඔවුන්ගේ බැල්ම පහත හෙලනු ඇත, පතිවත ආරක්ෂා කරනු ඇත. එවන් විවාහයකට සුදුසුකම් නොලද පිරිස් උපවාසයේ නිරවිය යුතුය.

මූලාශ්‍රය – බුහාරී

උපවාසයේ නිරත වන මුස්ලීම් ප්‍රජාව විශේෂයෙන් තරුණ පරම්පරාව අනිකුත් කාලවල තම හැඟීමන්ට වහල් වී ශෙයිතාන්ගේ නපුරට හසු වී විවිධ වූ ආගම් විරෝධී ක්‍රියාවන් හි නිරත වීම දක්නට ලැබුණ ද උපවාසයේ උදාවත් සමඟ ඒ සියල්ල උඩුයටිකුරු කරමින් දැඩි ආගමික නැඹූරක් මේ උපවාස සමය තුල දක්වමින් ආදර්ශමත් තරුණයන් පිරිසක් බවට ඔවුන් පරිවර්ථනය වීම විශ්මය ජනක සුලභ දසුනකි. ඒ ඔහු ‍’ජිහාදුන් ශෙයිතාන්’ හෙවත් ශෙයිතාන්ගේ කුමණ්ත්‍රන පරාජ කොට ජීවිතය ජයගත් නිසාම මිස අන් කිසිවකු නිසා නොවේ. ඒ අනුව මුස්ලීම්වරයෙකු තවදුරටත් සැබෑ මුස්ලීම්වරයෙකු ලෙස කල් ගෙවීමට නම්, මෙම අරඟලය ද ඔහුගේ ජීවිතයේ අනිවාර්‍ය අංගයක් බවට පත්වීම මෙන්ම එය ජය ගැනීම ද අත්‍යඅවශ්‍ය සාධකයක් බවට පත්වේ.

මේ අනුව රමලාන් මාසයේ සෑම මුස්ලීම්වරයෙකුම අනාවාර්යයෙන්ම ඉහත ජිහාදයන් දෙකෙහි නිරත වීම අත්‍යඅවශ්‍ය කාරණයක් යන්නෙහි කුතුහලයක් පැවතිය නොහැක. නමුත් මෙය ශරීර ශත්කිය මත තීන්දු වන ලේ වගුරවමින්, ආයුධ අමො‍රාගෙන කරන ජිහාදය තරම් පහසු එකක් නම් නොවේ. මන්ද මෙහිදී ඔබට සටන් කිරීමට ඇත්තේ බාහිර බලවේගයන් සමඟ නොව ඔබ තුලම ඇති බලවේගයන් සමඟ වීමයි. එසේනම් මෙම තත්වය නිවරුදි ලෙස අවබෝධ කොටගනෙ මේ රමලානයේ ඉතිරි කොටස ඉහත බලවේගයන් පරාජය කිරීමට එක සිතින් පෙලගැසෙන්න ආරාධනා කරමින්, ඒ තුල ‘ඊමාන්’ (දේව විශ්වාසය), ‘යෙකීන්’ (එහි ස්ථාවරත්වය), ‘ඉහ්සාන්’ (දැහැමි සිත)… යනාදීය හොදින් පිහිටනවා පමණක් නොව දේව අනපනත් නිසි ලෙස අනුගමනය කිරීමේ හැකියාව ද පවතින බව පවසමින්, තම ආත්මය හැඟීමන්ට හා ශෙයිතාන්ගේ කුමන්ත්‍රණවලට වහල් නොකිරීමට කරන අරඟල තුල අවසානයේ මේ සත්‍ය දහම ලෝකයාට දායාද කිරීමේ නියමුවන බවට පරිවර්ථනය වීමේ භාග්‍යය ඔබට ඇති බව පවසමින් මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/21

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම