එකම විකල්පය ආදාහනය පමණද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


(මෙම ලිපිය ලංකාදීප වෙබ් අඩවියෙන් උපුටා ගෙන පලකර ඇත)- ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකිරීමේදී ආගමික විශ්වාසවලට සහ සංස්කෘතික සම්ප්‍රදායන්ට ගරු කරන්නැයි ජාත්‍යන්තරයෙන් යළිත් බලපෑම් එල්ලවෙමින් තිබේ. එම පුද්ගල මෘතදේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු කිරීමේ දී ඇති එකම විකල්පය ආදාහනය බවට තීරණය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට මුලපුරන හේතුවක් විය හැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට අනතුරු අඟවා ඇති බවට ද වාර්තා පළවෙමින් තිබේ.

මෙරට කොවිඩ් ආසාදිත මරණවල අවසන් කටයුතු සිදුකිරීම ජාත්‍යන්තරයේ සාකච්ඡා විය යුතු ප්‍රශ්නයක් නොවිය යුතු බව අපගේ විශ්වාසය වෙයි. එසේ සිදුවී ඇත්තේ එකී මරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රතිපත්තියේ නම්‍යශීලී බවක් නොමැති නිසා බව බැලූ බැල්මට පෙනී යයි. කොවිඩ් හේතුවෙන් රෝගීන් මියයන සෙසු කිසිදු රටක එම සිරුරු සම්බන්ධ අවසන් කටයුතු සිදුකිරීම ජාත්‍යන්තරයේ සාකච්ඡාවට ලක්වෙන කරුණක් බව අපගේ දැනීමේ හැටියට දැනගන්නට නැත. එසේ නම් ශ්‍රී ලංකාව පමණක් මෙවැනි අනවශ්‍ය අත පෙවීමකට මැදිවීමට හේතුවක් තිබිය නොහැක. හරි වෙලාවේදී හරි තීන්දුවක් නොගැනීම මෙවැනි මතභේදකාරී තත්ත්වයකට මඟ පෑදුවා වන්නට ඇතැයි අපි සිතමු.

ශ්‍රී ලංකාව ස්වාධීන, ස්වෛරී රටක් බැවින් මේ රටේ අභ්‍යන්තර කාරණාවලට ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් අවශ්‍ය නැත. එවැනි ඇඟිලි ගැසීම් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමට නොපැකිලිව ඉදිරිපත් විය යුතුය. එහෙත් අනවශ්‍ය ලෙස මතවාදී ගැටුම් ඇතිකර ගනිමින් එවැනි ඇඟිලි ගැසීම් සඳහා දොරටු විවෘත කර ගැනීම්වලින් අපි ද වැළකී සිටිය යුතු වෙමු. කොවිඩ් ආසාදිත මරණ සම්බන්ධයෙන් අප සිටින්නේ නිවැරැදි මතවාදයක නම් අපේ රට දෙසට ජාත්‍යන්තරයේ ඇඟිල්ල දිගුවීමට ඉඩක් නැත.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට අමෙරිකා සෙනෙට් සභිකයකු විසින් යොමුකර ඇති ලිපියේ සඳහන් වන්නේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන්ගේ මෘතදේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීම නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට මහත් ඕනෑකමින් බලකර සිටින බවය. එම ලිපියෙන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ කොවිඩ් ආසාදිත මළසිරුරු භූමදානය කිරීමෙන් භූගත ජලයට වයිරසය එකතු වන බවට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මගින් භූමදානය සහ ආදාහනය යන දෙආකාරයටම අවසර ලබාදී තිබෙන බවය. එසේම ආසාදිත මළසිරුරු භූමදානයෙන් කොවිඩ් – 19 වයිරසය පැතිරෙන බවට කිසිදු ප්‍රමාණවත් සාක්ෂියක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණයෙන් සඳහන් කරන බවය.

ශ්‍රී ලංකාව තුළ මළසිරුරු අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සැවොම පිළිගන්නා විශ්වාසයන් සහ සම්ප්‍රදායන් තිබේ. මේ බොහොමයක් සම්ප්‍රදායයන් ආගමික විශ්වාස සහ ඇදහීම් මත ගොඩනැංවුණු ඒවා වෙයි. එම සම්ප්‍රදායන්ට දීර්ඝ ඉතිහාසයක්ද තිබේ. මෙරට ජීවත්වන ජනතාවගෙන් අතිබහුතරය බෞද්ධ වන අතරම හින්දු-මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි ඇතුළු වෙනත් ආගම් අදහන බොහෝ පිරිසක්ද රටේ වෙසෙති. මේ සියලු‍දෙනා මෙතෙක් කාලයක් මෘතදේහ අවසන් කටයුතු සිදුකළේ සෙසු පිරිස්වල විරෝධයකින් තොරවය. මේ තත්ත්වය වෙනස් කරනු ලැබුවේ කොවිඩ් වසංගතය මගිනි.

කොවිඩ් වසංගතය පැතිරුණු මුල් අවධියේ මේ රටේ සිදුවූ මරණ සංඛ්‍යාව සීමිත විය. එහෙත් එම සීමාව ඇතුළතද සිදුකෙරුණු පළමු මුස්ලිම් මෘතදේහය පිළිබඳ අවසන් කටයුත්තේදී මේ ගැටලු‍ව මතුවිය. එහෙත් ඒ කාලයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පැහැදිලි නොවීය. එසේම වයිරසයේ ව්‍යාප්තිය භූමදානය කෙරෙන මළසිරුරු හරහා සිදු නොවනු ඇති බවට සහතිකයක්ද නොවීය. මේ නිසා වෙනසකින් තොරව සියලු‍ මෘතදේහ ආදාහනය කිරීම හැර වෙනත් විකල්පයක් අපට නොතිබිණි. එහෙත් මේ වනවිට එම තත්ත්වය වෙනස් වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක ඉතාම පැහැදිලිව ප්‍රකාශයට පත්කර තිබෙන අතර මෘතදේහ අවසන් කටයුතු සඳහා ඔවුන්ගේ නිර්දේශය වන්නේ ආදාහනය හෝ භූමදානයයි. මේ දෙආකාරයේදීම එය සිදුකළ යුතු තත්ත්වයන් සම්බන්ධව උපදෙස් පවා නිකුත් කර තිබේ. මෙරටේ දෙවැනි රැල්ල සමඟ වැඩිවූ මරණ සංඛ්‍යාව හේතුවෙන් අවසන් කටයුතු කිරීම සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් ගතයුතුව තිබිණි. එම තීන්දුව රටේ කිසිදු ජාතික හෝ ආගමික හෝ පටහැණි නොවිය යුතු වීමද අවශ්‍ය විය. මේ සියලු‍ අංශ සලකා බලා අවසන් තීන්දුවක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් විශේෂඥ කමිටුවක්ද පත් කෙරිණි. එම කමිටුවේ වාර්තාව එළියට නොපැමිණි අතර රජයෙන් ප්‍රකාශ වූයේ ආදාහනය පමණක් නිර්දේශ කර ඇති බවය. මේ හේතූන් නිසා අපේ රටේ කොවිඩ් ආසාදිත මෘතදේහ අනිවාර්ය ආදාහනයකට යටත් කර ඇති බවට ජාත්‍යන්තරය තුළ මතයක් පැතිර ගියේය.

අපගේ වැටහීම වන්නේ අපේ රටේ ‘‘අනිවාර්ය ආදාහන’’ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම තවමත් ප්‍රමාද නැති බවය. කොවිඩ් ආසාදිත මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුගමනය නොකිරීමට ප්‍රමාණවත් හේතු නොතිබේ නම් භූමදානයට ඉඩදීම වැරැද්දක් නොවන බව අපගේ විශ්වාසයයි.

Link - http://www.lankadeepa.lk/latest_news/%E0%B6%91%E0%B6%9A%E0%B6%B8-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA-%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%AF-/1-585784

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/2

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම