ඔබේ ඡන්දය කාටද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අද ශ‍්‍රී ලංකාව තුල ජනාධිපතිවර්ණයක් ප‍්‍රකාශයට පත්කොට තිබීම තුල රටේ ජනතාව අතර හා ජනමාධ්‍යවල උණුසුම් මාතෘකාව බවට මෙය පත්ව ඇත. එම නිසා මෙම කාරණය සම්බන්ධයෙන් ජනතා අවධානයට කරුණු කිහිපයක් යොමු කරවීමට යහමග කැමැත්තෙමි.

මෙවර ලාංකීය ජනාධිපතිවර්ණයේ සුවිශේෂි කරුණු කාරණා බොහෝමයක් පවතී. එනම් සුපුරුදු පරිධි පිල්මාරුව, වැඩිම අපේක්‍ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටීම, ප‍්‍රබල ආණ්ඩු පක්‍ෂයක් හා විපක්‍ෂයක් සංධානාත්මකව ඉදිරිපත් වී සිටීම… යනාදිය මින් කිහිපයකි. නමුත් මෙහි දී අප අවධානය යොමු කරන්නේ ඉහත කාරණයන් පිලිබදව නොව රටේ පුරවැසියන් වශයෙන් අපගේ අවධානය යොමු කලයුතු කාරණයන් සම්බන්ධවයි.

මෙහි දී ජනාධිපති අපේක්‍ෂයන් 22ක් ඉදිරිපත්ව සිටියත් සැබෑ තරඟයක් පවතින්නේ ආණ්ඩු පක්‍ෂ හා විපක්‍ෂ සංධානයන්ටයි. එනම් සරත් ෆොන්සේකා මහතා හා මහින්ද රාජපක්‍ෂ මහතා අතරයි. එනම් මෙවර ජනතා කැමැත්ත සරත්ද? මහින්ද? යන්නයි. මුලින්ම පැවසිය යුතු කාරණය වන්නේ මෙය තවත් එස්.එම්.එස් (sms) මගින් තොරන සුපර්ස්ටා (Super star) තරඟයක් නොවේ. මෙය මගේ, ඔබේ, අපේ සහා අපේ දරුවන්ගේ අනාගතය අපම තීරණය කරන තීරණාත්මක මොහොතකි. එම තීරණය නිසි ආකාරව ගැනීම සදහා අපට වැදගත් වන්නෙත් අප විමසා බැලිය යුතු වන්නෙත් ඔවුන්ගේ බාහිර රූපය හෝ කථිකත්වය නොවේ. මන්ද නපුරු විෂ දල නායකයාගේ ව්‍යාජ සැදැහැවත් මුහුනෙන් හා සුන්දර කථාවන් තුල වසන් වී තිබෙන්නට පුළුවන. හෙට දවසේ අපේ ඉරණම, අපේ දරුවන්ගේ ඉරණම හා මේ රටේ ඉරණම තීරණය කරන්නට පැවරී තිබෙන්නේ අපටමය. එමනිසා ඔවුන්ගේ සැලසුම් හා ව්‍යායාමයන් රටේ සුභසිද්ධිය සදහා ද යන්න අවදියෙන් සිට තීරණය කිරීම වැදගත්වේ. මන්ද රටේ අනාගතය වෙනුවෙන් වැදගත් වන්නේ ජයගත යුත්තේ කුමන පුද්ගලයාද? යන්න නොව කුමන ප‍්‍රතිපත්තියද? යන්නත් එය යථාර්ථවාදීද? නැද්ද? යන්නත්ය. එනම් වර්ථමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් වැදගත් වන්නේ නැවත ජනවරමක් ඉල්ලා සිටින්නේ කුමක් සදහාද? ඒ සදහා ඔහුගේ වැඩ පිළිවෙල කුමක්ද? එසේම සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන්ද වැදගත් වන්නේ ඔහු හමුදා නායකයෙකුව සිටීම නොව ඔහු අත ඇති ඉදිරි වැඩ පිළිවෙල කුමක්ද?, යන්නත්ය. එසේම මේ දෙදෙනා ඉදිරිපත් කරන ඉදිරි වැඩපිලිවල,

  •  එය යථාර්ථවාදී ද?
  •  එය සාධාරණ වූවක් ද?
  •  සාධාරණ වුවත් එය ක‍්‍රියාත්මක කිරීමට බාධා ඇත් ද?
  •  එවැනි බාධා වෙතොත් ඒ බාධා ඉවත් කර ගැනීමට උපායන් තිබේද?
  •  මේ සියල්ල කුමන සංදර්භයක් තුළ සිදුවන්නේද?

යන්නයි. නමුත් ශ‍්‍රී ලාංකීය අපේ අවාසනාවකට දෝ ඉහත කාරණයන් මැතිවර්ණ වේදිකාවල හෝ වෙනත් දේශපාලන සාකචඡාවල කතා කරනු පෙනෙන්නටත් නැත. නමුත් සුපුරුදු පරිධි දේශපාලන මඩ ව්‍යාපාරය, නීති තර්කයන් හා ලෝක කුමන්ත‍්‍රණ, බටහිර කුමන්ත‍්‍රණ හා අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ යනාදී පල් බොරු වේදිකාවල රුව් පිලිරුව් දෙන්නේ පක්‍ෂ දේශපාලන උමතුවෙන් පසුවන ජනතාව අමන්දානන්දයට පත්කරමිනි. මේ පිලිබදව වගකීමක් ඇති පූජ්‍යපක්‍ෂය, විද්වතුන් හෝ රටේ පුරවැසියන් වශයෙන් එය පිලිබදව තැකීමක්ද අපට නැත. මෙයින් සිදුවන්නේ රටේ සංවාදයට බදුන් විය යුතු කාරණයන් සාකචඡා නොවී සංවාදය පීලිපැන මඩ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මකවීම පමණි. මේ කාරණය පිලිබදව ජනතාව අවදියෙන් සිටීම අත්‍ය අවශ්‍ය වේ. රටේ ජනතාවට සේවය කිරීමට ජනතාව හමුවේ ආයාචනා කර සිටින මේ දේශපාලඥයන් එය සිදුකරන ආකාරය එම වැඩපිලිවල ජනතා හමුවේ තැබීම අනිවාර්‍ය කාරණයකි. එනම්

  •  ආර්ථික වැඩපිලිවල කුමක්ද?
  •  සමාජීය වැඩපිලිවල කුමක්ද?
  •  සංවර්ධන වැඩපිලිවල කුමක්ද?
  •  ඉදිරි ඉලක්ක මොනවාද?
  •  එම ඉලක්ක කරා ලඟාවන ආකාරය හා කාල රාමුව කුමක්ද?
  •  එයට අවශ්‍ය පහසුකම් සපයාගන්නේ කෙලෙසද?

මේ ආකාරයට සෑම කාරණයක්ම සියළුම අපේක්‍ෂකයන් විශේෂයෙන් ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා ජනතාව ඉදිරියේ පැවසිය යුතුයි. විශේෂයෙන් රටටත්, රටේ ජනතාවටත් විශාල තර්ජනයක්ව පවතින දූෂණය, පාතාලය හා මත්ද්‍රව්‍ය භාවිතය පිලිබදව පැහැදිලි වැඩපිලිවලක් ඉදිරිපත් කලයුතුයි.

දූෂණය සම්බන්ධව වැදගත් කාරණය වන්නේ දූෂණයේ යාන්ත‍්‍රණය තේරුම් ගෙන එය වැලැක්වීමට අවශ්‍ය වැඩපිළිවල සකස් කිරීමයි. එය දේශපාලන මහගෙදර වන පාර්ලිමේන්තුවේ පටන් දේව හාස්කම් හා විවිධ ඇදහිලි ඔස්සේ පඩුරු නමින් පොදු ජනයාගේ ධනය ඔවුන්ගේ ඇස්වලට වසන් කොට දූෂණය කරන සියල්ල සදහාම ක‍්‍රියාත්මක කල හැකි යාන්ත‍්‍රණයක් සකස් කිරීමත් එය ක‍්‍රියාවට නැංවීමත් මේ අපේක්‍ෂකයන්ගේ මුක්‍ය වගකීමක් වේ. එසේම් පාතාලය සම්බන්ධයෙන් පසුගිය කාලවල රටේ ක‍්‍රියාත්මක නීතිය ජනතාව අනුමත කලේ නම් එය එසේ වුයේ මෙම පාතාලය කෙරෙහි රටේ ජනතාවට තිබු භීතියයි. නමුත් සැබැවින්ම එය සමාජයට වැරදි ආදර්ශයක් මෙන්ම රටේ නීතිය නිසි ආකාරව ක‍්‍රියා නොකෙරුනාට හොද නිදසුනක්. එමනිසා පාතලය විනාශ කිරීම නීතිය ඉදිරියේ විනි විදබාවයක් ඇතුව සිදුවිය යුතුයි. එසේම මත්ද්‍රව්‍ය භාවිතය මෙය රටටත්, සමාජයටත්, සංස්කෘතියටත් ප‍්‍රබල බලපෑම් ඇති කරවන කාරණයකි. මේ සම්බන්ධයෙන් යම්තාක් දුරට නීතිය පසුගිය කාලවල ක‍්‍රියාත්මක වුවද එය කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව මා අමුතුවෙන් කරුණූ ඉදිරිපත් කොට පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ.

අද අප රටට විනිවිද භාවය, යහ පාලනය යන වචන යථාර්ථයක් කරගත හැකි යාන්ත‍්‍රණයක් වැඩපිළිවලක් අවශ්‍යව පවතී. අද සිංගප්පූරු රාජ්‍ය, මලයාසියාව, උතුරු කොරියාව, දියුණු රාජ්‍යයන් බවට පත් වූයේ එම රාජ්‍යයන් තමන්ගේ රටවල් දියුණු කිරීම සඳහා විධිමත් නිර්මාණාත්මක සැලැසුම් හා වැඩපිළිවලවල් ක‍්‍රියාත්මක කළ නිසාය. හෙට අපේ රටත් තවත් සිංගප්පූරුවක් හෝ මලයාසියාවක් නොව ඊටත් වඩා දියුණු ශ්‍රේෂ්ඨ රටක් බවට පත්කල යුතුවේ.

ඒ සදහා ඡන්දය භාවිතයේ දී ඉතිහාසය පුරාවට අප විටින් විට කල වරද තවදුරටත් සිදුවන්නට ඉඩහල යුතු නොවේ. මේ අපේ රටයි, මෙහි ඇති සියල්ල අපේ සම්පතයි. ඒ සම්පත සොරුන් විසින් පැහැර ගැනීම අනුමත කිරීම හෝ නොකිරීම භාරදූර වගකීම 2009 ජනවාරි 26 වන දින රටේ ජනතාව වශයෙන් අපට තීරණය කිරීමට පැවැරී තිබෙන කාරණයකි. එහි දී සරත් මොනවා කරයිද? මහින්ද මොනවා කරයිද? යනුවෙන් සිහින දැකීම හෝ හඳහන් බැලීම පසෙකලා ඔවුන් දෙදෙනා අත ඇති සංවර්ධන සැලැස්ම කුමක්ද? එය කොතරම් ප‍්‍රායෝගිකද? එය තුලින් රටේ ඒකීයභාවය කොතරම් දුරට ආරක්‍ෂා වෙනවාද? යන්න ස්වයං සංවාදයක් තමා තුලම ගොඩනගා ගෙන පාරම්පරික හෝ සම්ප‍්‍රදායක ඡන්ද දායකයකු නොවී. අපෙත්, අප දරුවන්ගේත්, රටෙත් අනාගත සාර්ථකත්වය උදෙසා අපෙත් ඔබෙත් වටිනාම ඡන්දය භාවිතා කරමු.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/6

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම