ඔබේ ඡන්දය කාටද? ඔබ මනාප කාටද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


ශ්‍රී ලාංකීය බස්නාහිර-දකුණ දෙපළාත් ජනතාව අතේ රජය අභියෝගයක් භාර කොට ඇත. ඒ 2014/03/29 දින පවත් වන පළාත් සභා ඡන්දයෙන් ඉදිරියට පළාත් පාලන කටයුතු සදහා එනම්, අපගේ හා රටේ දියුණුව සදහා කටයුතු කරන පාලකයන් තෝරා පත්කර ගැනීමේ අභියෝගයයි. ඒ අභියෝගය භාරගැනීමට තව දින 03 ක් පමණක් ඉතිරිව තිබියදී ‘යහමග’ හරහා ‘ඔබේ ඡන්දය කාටද? ඔබ මනාප කාටද?’ යන මෙම ලිපිය තුලින් පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට කරුණූ කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි. විශේෂයෙන් මීට ඉහත මෙම අඩවිය තුල ඉදිරිපත් කල ‘ඔබේ ඡන්දය කාටද?’ නම් ලිපිය මේ සදහා මූලික පදනම කරගෙන මෙම ලිපිය ඉදිරිපත් කරන්නට ද අදහස් කරමි.

මේ දිනවල ‘බොදුබල සේනාව හා රවුෆ් හකීම්/රිෂාඩ් බදුර්දීන් යන අමාත්‍යවරුන් දෙදෙනා රඟදක්වන මැතිවර්ණ නාටකය හා ඒ තුල කොළඹ මුස්ලීම් ජනතාවගේ ඡන්ද බලය දියකර හැරීමට කරන කුමණ්ත්‍රනය…

‘යහමග’ අඩවිය රටේ පවතින වර්ථමාන පක්ෂ දේශපාලනය පිලිබදව නිහඬ පිලිවෙතක් අනුගමනය කරනවා යන්න පාඨක ඔබ හොදින් දන්නා කාරණයකි. නමුත් ‘යහමඟ අඩවිය දේශපාලනය කථා කරන්නේ නැහැ’ යන්න එයින් අදහස් නොවේ. මෙම අඩවිය තුල දේශපාලන මාතෘකාවන් කථා කරන ලද අවස්ථාවන් බොහෝමයක් ඇත. (එම ලිපි ‘දේශපාලනය’ නම් ගොනුව තුල ඔබට අදත් කියවීමට පුළුවන) ශ්‍රී ලාංකීය ජනතාවගේ අවදානයට කිසියම් කාරණයක් ගෙන ආයුතුයි යයි හැ‍ගෙන අවස්ථාවල, සමාජය නොමඟ යවන ක්‍රියාකාරකම් හා කුමණ්ත්‍රනයන් දියත්වන අවස්ථාවල, රටේ දේශපාලනය හා ඒ තුල ඡන්දයක වටිනාකම පිලිබදව ජනතාවට කිසියම් අවබෝධයක් ලබාදිය යුතු යයි හැ‍ගෙන අවස්ථාවල, මේ රටේ පවතින දේශපාලන තත්වයන් ඉදිරියේ මුස්ලීම් ජනයාගේ ක්‍රියාකලාපය කෙබඳු වියයුතුද යන්න පැහැදිලි කිරීමට සිදුවන අවස්ථාවල, මෙම විෂය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න පොදු ජනයාට පැවසිය යුතු අවස්ථාවල… ‘යහමඟ’ අඩවිය රටේ පවතින පක්ෂ දේශපාලනයෙන් බැහැරව ‘දේශපාලනය’ නම් විෂය සාකච්චා කොට ඇත. ඊට සමීපතම නිදසුන ලෙස මේ දිනවල ‘බොදුබල සේනාව හා රවුෆ් හකීම්/රිෂාඩ් බදුර්දීන් යන අමාත්‍යවරුන් දෙදෙනා රඟදක්වන මැතිවර්ණ නාටකය හා ඒ තුල කොළඹ මුස්ලීම් ජනතාවගේ ඡන්ද බලය දියකර හැරීමට කරන කුමණ්ත්‍රනය රටට කියන ‘මුස්ලීම් ඔබ විමසිල්ලෙන්ද?’ යන ලිපිය සදහන් කලහැක. ඒ අනුව අදත් තව දින කිහිපයකින් ඔබ ගනු ලබන ඡන්දය තීන්දුව හා එහිදී ඔබ සැලකිලීමත් වියයුතු කරුණූ සම්බන්ධයෙන් ‘යහමඟ’ අඩවිය අදහස් කිහිපයක් ඔබ ඉදිරියේ තබන්නට අදහස් කරමි.

ඔබේ ඡන්දය කාටද?, ඔබේ මනාපය කාටද? මේ දිනවල ඔබෙන් නිතර විමසන, විටෙක ඔබම ඔබ තුල විමසා ගන්නා පැනයන් දෙකකි. මෙය මනුෂ්‍යා තම දිවිය තුල ගනු ලබන වටිනා තීන්දු තීරණවලින් එකක් යන්න මාගේ දැඩි විශ්වාසයයි. ඒ අභියෝගය දැන් ඔබ ඉදිරියට නැවත පැමිණ ඇත. ඒ සදහා ඔබ කොතරම් දුරකට සූදානම් ද යන්න විමසා බැලීමයි මේ ලිපිය තුලින් කරන්නට මා උත්සාහ කරන්නේ. ඉහත පැනයන් දෙකට රටේ ජනතාව ලබාදෙන ප්‍රතිචාරය ඔවුනට කොතරම් වැදගත් ද යන්න ‘මේ රටේ ජනතාව තවම අවබෝධ කරගෙන නැත’ යන්න මාගේ හැඟීමයි. රටේ බහුතරය දෙස බලන විට මෙයට තවත් එස්.එම්.එස් (sms) මගින් තොරන සුපර්ස්ටා (Super star) තරඟයක් තරම්වත් වටිනාකම් ලබාදී ඇති ආකාරයක් දක්නට නැත. නමුත් මෙය ඔබේ, මගේ, අපේ සහා අපේ දරුවන්ගේ අනාගතය, රටේ අනාගතය අපම තීරණය කරන තීරණාත්මක අවස්ථාවයි. එම අවස්ථාව නොසලකා හැර නොඑසේ නම් බුද්ධිමත් ලෙස භාවිතා නොකොට පසුතැවීමෙන් හෝ තවත් කෙනෙකුට ඇඟිලි දිගු කිරීමෙන් පලක් නැත. අප රටේ වසර කිහිපයකට වරක් විවිධ ඡන්දයන් ජනතාව ඉදිරියේ තබමින් ජනතා මතය විමසීම ජනතාව ලද භාග්‍යයක් නමුත් එම භාග්‍යය නිසි ලෙස ප්‍රයෝජනයට ගන්නවාද? යන්න විමසා බලන්නේ ඒ තුල දක්නට ඇත්තේ ර‍ටේ අභාග්‍යයකි.

…නිවරැදිව හදුනා ගැනීම අත්‍යඅවශ්‍යය. මන්ද ස්ථීරවම ඔවුන් අතර සැදැහැවත් වෙස් ගෙන ඡන්දය සිඟාකන සල්ලාලයන්, කුඩු කාරයන්, කසිප්පු කාරයන්, හොරුන්, මං කොල්ලකරුවන්, මැරයන්, දේශපාලනය පිලිබදව ප්‍රථමික දැනුමක් පවා නැති නළු/නිළියන් හා කලාකරුවන්, කූඨ ව්‍යාපාරිකයන්, කපටීන්, ජාතිවාදීන් හා අවස්ථාවාදීන්… ද සිටින නිසාය.

අද අප රටේ පොදු ජනතාව තම ඡන්දය ලබාදීමේ දී සැලකිලීමත් වන කරුණු මොහොතක් ඔබ ම බුද්ධිමත්ව විමසා බලන්න. ඔබ ඔබේ තීන්දුව බුද්ධිමත් ලෙස ගත්තා නම්, ර‍ටේ ජනතා නියෝජිතයන් අතර සල්ලාලයන්, කුඩු කාරයන්, කසිප්පු කාරයන්, හොරුන්, මං කොල්ලකරුවන්, මැරයන්, දේශපාලනය පිලිබදව ප්‍රථමික දැනුමක් පවා නැති නළු/නිළියන් හා කලාකරුවන්, කූඨ ව්‍යාපාරිකයන්, කපටීන්, ජාතිවාදීන් හා අවස්ථාවාදීන්… යනාදී ජනතා නියෝජිතයන් ලෙස තේරීපත් වන්නේ කෙසේද?. මේ තුල පැහැදිලි වන්නේ රටේ ජනතාව තම ඡන්දය තීන්දු කිරීමේ දී ‘ඔබේ, මගේ, අපේ, අපේ දරුවන්ගේ හා රටේ අනාගතය…’ යනාදී කරුණූ පිලිබදව සැලකිලීමත් නොවී තීන්දු කරනවා යන්න නොවේද?. අද අප රටේ ජනතාව තම ඡන්දය ලබාදීමේ දී සැලකිලීමත් වන්නේ කුමක් ගැනද?. ඒ අපේක්ෂකයකුගේ පවුල් පසුබිම, පුද්ගලිකව ඇති ලාභ ප්‍රයෝජන, ප්‍රදේශය, කුලය, බාහිර රූපය හා කථිකත්වය… යනාදී පටු දේවල් ගැන පමණි. නමුත් මීට අමතරව ආරූඪකරගත් ජාතිමාමකත්වයන් හා සැදැහැවත් දැහැමි මුහුණට ද ජනතාව රැවටෙන අවස්ථාවන් ද නැතුවා නොවේ. මෙතැන දී පොදු ජනතාව සැලකිලීමත් වියයුතු වැදගත්ම කාරණය වන්නේ නපුරු විෂ දල අපේක්ෂකයාගේ ව්‍යාජ සැදැහැවත් මුහුනෙන් හා සුන්දර කථාවන් තුල වසන් වී තිබෙන්නට පුළුවන් යන්නයි. එමනිසා මේ සියල්ල පිලිබදව විමසුම් ඇසින් බලා හෙට දවසේ අපේ ඉරණම, අපේ දරුවන්ගේ ඉරණම හා මේ රටේ ඉරණම… තීරණය කලයුතුව ඇත. රජයක් විසින්, පාර්ලිමෙන්තුව විසින් නොඑසේ නම් කිසියම් දේශපාලඥයෙකු විසින් විවිධ අවස්ථාවල ගනු ලබන තීන්දු මත පවතින රජයටත්, විපක්ෂයටත්, අනිකුත් දේශපාලන පක්ෂවලටත් රටේ ජනතාව චෝදනා කිරීම, බැනවැදීම, විවේචනය කිරීම නිරන්තරයෙන් අප රටේ දකින්නෙමු. නමුත් ඔබ බුද්ධිමත්ව විමසා බලන්න ඒ පිරිස තෝරාපත් කලේ ඔබ නොවේද?.

එසේනම්, දැන්වත් ඔබ අවදි වියයුතුව ඇත!, ඔබේ ඡන්දය ලබාදීමේ දී පටු සීමාවන්ගෙන් බැහැරව අපේක්ෂකයන්ගේ සැලසුම් හා ව්‍යායාමයන් රටේ සුභසිද්ධිය සදහා ද යන්න අවදියෙන් සිට තීරණය කරන්න. මන්ද රටේ අනාගතය වෙනුවෙන් වැදගත් වන්නේ ජයගත යුත්තේ කුමන පුද්ගලයාද? යන්න නොව කුමන ප‍්‍රතිපත්තියද? යන්නත් එය යථාර්ථවාදීද? නැද්ද? යන්නත් පමණි. තවත් සරලව පවසනවා නම්, ආණ්ඩු බලය හිමි දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් වැදගත් වන්නේ නැවත ජනවරමක් ඉල්ලා සිටින්නේ කුමක් සදහාද? ඒ සදහා ඔහුගේ වැඩ පිළිවෙල කුමක්ද? යන්නත්, විපක්ෂ දේශපාලන පක්ෂ සම්බන්ධයෙන්ද වැදගත් වන්නේ ඔවුන්ගේ ඉදිරි වැඩ පිළිවෙල කුමක්ද?, ඒ සදහා ඔවුනට වැඩ පිළිවලක් තිබෙනවාද? යන්නත්ය. එසේම මේ සියළු පාර්ශවයන් ඉදිරිපත් කරන ඉදිරි වැඩපිලිවලයන්, එය යථාර්ථවාදී ද? එය සාධාරණ වූවක් ද? සාධාරණ වුවත් එය ක‍්‍රියාත්මක කිරීමට බාධා ඇත් ද? එවැනි බාධා වෙතොත් ඒ බාධා ඉවත් කර ගැනීමට උපායන් තිබේද? මේ සියල්ල සදහා ක්‍රියාකාරී සැලැස්මක් තිබේද? යන්නත්ය.

නමුත් ශ‍්‍රී ලාංකීය අපේ අවාසනාවකට දෝ ඉහත කාරණයන් මැතිවර්ණ වේදිකාවල හෝ වෙනත් දේශපාලන සාකචඡාවල කතා කරනු පෙනෙන්නටත් නැත. නමුත් සුපුරුදු පරිධි දේශපාලන මඩ ව්‍යාපාරය, නීති තර්කයන් හා ලෝක කුමන්ත‍්‍රණ, බටහිර කුමන්ත‍්‍රණ හා අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ යනාදී පල් බොරු වේදිකාවල රුව් පිලිරැව් දෙන්නේ පක්‍ෂ දේශපාලන උමතුවෙන් පසුවන ජනතාව අමන්දානන්දයට පත්කරමිනි. මේ පිලිබදව වගකීමක් ඇති රටේ පූජ්‍යපක්‍ෂය, විද්වතුන් හෝ පුරවැසියන් වශයෙන් එය පිලිබදව තැකීමක්ද අපට නැත. මෙයින් සිදුවන්නේ රටේ සංවාදයට බදුන් විය යුතු කාරණයන් සාකච්චා නොවී සංවාදය පීලිපැන මඩ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මකවීම පමණි. මේ කාරණය පිලිබදව දැන්වත් ජනතාව අවදියෙන් සිටීම අත්‍යඅවශ්‍ය වේ.

රටේ ජනතාවට සේවය කිරීමට ජනතාව හමුවේ ආයාචනා කර සිටින මේ දේශපාලඥයන් එය සිදුකරන ආකාරය එම වැඩපිලිවල ජනතා හමුවේ තැබීම අනිවාර්‍ය කාරණයකි. එනම් ආර්ථික වැඩපිලිවල කුමක්ද? සමාජීය වැඩපිලිවල කුමක්ද? සංවර්ධන වැඩපිලිවල කුමක්ද? ඉදිරි ඉලක්ක මොනවාද? එම ඉලක්ක කරා ලඟාවන ආකාරය හා කාල රාමුව කුමක්ද? එයට අවශ්‍ය පහසුකම් සපයාගන්නේ කෙලෙසද? මේ ආකාරයට සෑම කාරණයක්ම සියළුම අපේක්‍ෂකයන් ජනතාව ඉදිරියේ පැවසිය යුතුයි. විශේෂයෙන් රටටත්, රටේ ජනතාවටත් විශාල තර්ජනයක්ව පවතින සාරධර්ම පිරිහීම, දූෂණය, පාතාලය හා මත්ද්‍රව්‍ය භාවිතය පිලිබදව පැහැදිලි වැඩපිලිවලක් තිබිය යුතුයි. දූෂණය සම්බන්ධව වැදගත් කාරණය වන්නේ දූෂණයේ යාන්ත‍්‍රණය තේරුම් ගෙන එය වැලැක්වීමට අවශ්‍ය වැඩපිළිවලක් සකස් කිරීමයි. එසේම මත්ද්‍රව්‍ය භාවිතය මෙය රටටත්, සමාජයටත්, සංස්කෘතියටත් ප‍්‍රබල බලපෑම් ඇති කරවන කාරණයකි. මේ සම්බන්ධයෙන් යම්තාක් දුරට නීතිය පසුගිය කාලවල ක‍්‍රියාත්මක වුවද එය කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව මා අමුතුවෙන් කරුණූ ඉදිරිපත් කොට පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ. අද අප රටට විනිවිද භාවය, යහ පාලනය යන වචන යථාර්ථයක් කරගත හැකි යාන්ත‍්‍රණයක් වැඩපිළිවලක් අවශ්‍යව පවතී. අද සිංගප්පූරු රාජ්‍ය, මලයාසියාව, උතුරු කොරියාව, දියුණු රාජ්‍යයන් බවට පත් වූයේ එම රාජ්‍යයන් තමන්ගේ රටවල් දියුණු කිරීම සඳහා විධිමත් නිර්මාණාත්මක සැලැසුම් හා වැඩපිළිවලවල් ක‍්‍රියාත්මක කළ නිසාය. හෙට අපේ රටත් තවත් සිංගප්පූරුවක් හෝ මලයාසියාවක් නොව ඊටත් වඩා දියුණු ශ්‍රේෂ්ඨ රටක් බවට පත්කල යුතුව ඇත.

මේ සියළු අභියෝග ජය ගැනීම සදහා අපේ වටිනා ඡන්දය භාවිතා කිරීමේ දී ඉතිහාසය පුරාවට අප විටින් විට කල වරද තවදුරටත් සිදුවන්නට ඉඩහල යුතු නැත. මේ අපේ රටයි, මෙහි ඇති සියල්ල අපේ සම්පතයි. ඒ සම්පත හා අපේ ධනය සොරුන් විසින් සොරාගැනීමට නීත්‍යානුකූල අවසරය ලබාදෙනවාද? නැද්ද? යන භාරදූර තීන්දුව ඔබ දැන් ගතයුතුව ඇත. එහිදී ඔබ ඉදිරියේ ඔබට සේවය කරන්නට වරම් ඉල්ලන පාර්ශවයන් නිවරුදිව හදුනා ගැනීම අත්‍යඅවශ්‍යය. මන්ද ස්ථීරවම ඔවුන් අතර සැදැහැවත් වෙස් ගෙන ඡන්දය සිඟාකන සල්ලාලයන්, කුඩු කාරයන්, කසිප්පු කාරයන්, හොරුන්, මං කොල්ලකරුවන්, මැරයන්, දේශපාලනය පිලිබදව ප්‍රථමික දැනුමක් පවා නැති නළු/නිළියන් හා කලාකරුවන්, කූඨ ව්‍යාපාරිකයන්, කපටීන්, ජාතිවාදීන් හා අවස්ථාවාදීන්… ද සිටින නිසාය. මේ සියල්ල තොරා බේරාගෙන මේ ර‍ට වෙනුවෙන් ඔබේ නිසි වගකීම 2014 මාර්තු 29 වන දින නිවරුදිව ඉටුකිරීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා!, යනුවෙන් ද, ඒ සදහා නුවණැස පෑදේවා! යනුවෙන් ද ප්‍රාර්ථනා කරමින් මෙම ලිපියට විරාමය තබමි.

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/25

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම