ඔබ පරමාදර්ශී සැමියෙක්ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


යහමග අඩවිය තුල ඉදිරිපත් කරන ‘සාර්ථක යුගදිවියකට මඟපෙන්වීම’ යන ලිපි පෙලෙහි තවත් ලිපියක් ලෙස ‘ඔබ පරමාදර්ශී ස්වාමියෙක්ද?’ යන කාරණය ඉස්ලාමීය ඉගෙන්වීමන් මූලික කරගෙන මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

මෙම ලිපි පෙලෙහි මීට ඉහත ඉදිරිපත් කල ‘ඔබ පරමාදර්ශීද?’ යන ලිපිය තුලින් වත්මන් සමාජයේ විවාහ අරමුණු හා නිර්ණායක වෙනස් වී ඇති ආකාරයත්, ඔවුන් ‘පරමාදාර්ශී’ ජීවිත යැයි ජීවත් වන ජීවිත සැබෑ පරමාදර්ශී ජීවිත නොවන බවත් සාකච්චා කලෙමු. ඒ අනුව ඉස්ලාම් පවසන පරමාදර්ශී ජීවිත නූතන ලෝකය අපේක්ෂා කරන දෙයට වඩා වෙනස් ය. ඉස්ලාමයට අනුව ‘පරමාදර්ශී’ චරිතය යනු ධාර්මික, ආගම පිළිබඳ දැඩි විශ්වාසයක් ඇල්මක් ඇති, අල්ලාහ් (දෙවි)ට අවංක වූ සහ මෙලොව ජීවිතයට වඩා පරලොව විමුක්තිය අපේක්ෂා කරන ඒ වෙනුවෙන්ම සියල්ල සැලසුම් කොට කටයුතු කරන ආදර්ශමත් චරිතයකි. එවැනි චරිතයකට විවාහ බැදීම ඉතා වැදගත් තීරණාත්මක හා පරිශුද්ධ බැඳීමක් වන අතර ලෞකික පටු අරමුණු හා ආශාවන්ට එහි ඉඩ නැත.

එවැනි පරමාදර්ශී ස්වාමිපුරුෂයෙකු හට ඉස්ලාම් දහම තුලින් ආරෝපණය කරන ආදරය, කරුණාව, ගෞරවය, ඉවසීම, ධෛර්යය, ආචාරශීලී බව, චරිතවත් බව සහ දැනුම… යනාදී හොඳ ගුණාංග හිමි අතර එමඟින් තම බිරිඳ සමඟ ගනුදෙනු කිරීමේදී ඇය කෙරෙහි ඉතා ආදරයෙන් හා සාධාර්ණව කටයුතු කිරීමට ඔහුට හැකි වන අතර එය ඔහු කෙරෙහි අනිවාර්‍ය ද වේ.

පරමාදර්ශී ස්වාමිපුරුෂයෙක් සෑම විටම තම දෙවිට කීකරු සහ අවංක ය. එමනිසා, ඔහුට තම බිරිඳට ද අවංක හා සාධාර්ණ වීමට සිදුවේ. එසේම ඔහු සැමවිටම තම බිරිඳට හොඳින් සලකන්න ද උනන්දු වේ. ඒ තම දෙවිගේ වචන හා ඔහුගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ මඟපෙන්වීමන් ඔහුට ආදර්ශයන් වන බැවිනි. මෙලොව පරලොව සතුට සහ යහපත පිරී විවාහ ජීවිතය තුල පරමාදර්ශි ස්වාමිපුරුෂයෙකු වීම පරලොව විමුක්තියට අශිර්වාදයක් යන්න ඔහු තේරුම් ගනී. එමනිසා ලෞකික කාරණයන් තුල අන්ධ වූ ආදරය සේම අහිමිවීම්, බලාපොරොත්තු සුන්වීම් වැනි තත්වයන් තුල ඇතිවන වෛරය එම පරමාදර්ශි චරිතය තුල නිර්මාණය නොවේ. දහමට අවනත වූ ඔහුගේ ආකල්ප ඕනෑම අවස්ථාවක මධ්‍යස්ථ හා සමබර ය. එය එසේ වියයුතු යන්න ඉස්ලාමයේ මඟපෙන්වීමයි.

එවැනි ඉස්ලාමීය ඉගෙන්වීමන් දෙකක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

   (ඉස්ලාමය පිලිපදින යහපත්) ඇදහිලිවන්ත මුස්ලීම් පුරුෂයෙකු, (ඉස්ලාමය පිලිපදින යහපත්) ඇදහිලිවන්ත ස්ත්‍රියකට වෛර නොකළ යුතුය. ඔහු ඇගේ එක් ගුණාංගයකට අකමැති වූවත්, සතුටුවීමට ඇය තුල බොහෝ යහපත් ගුණාංගයන් පවතිනු ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම්

   කාන්තාවන්ට කරුණාවෙන් සලකන්න, මක්නිසාද යත් කාන්තාව මවා ඇත්තේ නැවුණු ඉල ඇටයකිනි. ඔබ එය කෙළින් කිරීමට උත්සාහ කළහොත් ඔබ එය බිඳ (විවාහය දික්කසාදය දක්වා) ගෙනයනු ඇත. එම නිසා කාන්තාවන්ට කරුණාවෙන් සලකන්න.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි

ඉහත හදීසයන් අපට උගන්වන ප්‍රධාන කාරණය නම්, ස්වාමිපුරුෂයෙකු තම බිරිඳ තුළ යම් යම් අඩුපාඩුකම් හා අකමැති නොසතුටු දෑ දුටුවද, ඇය තුළ තිබෙන යහපත් ගුණාංග සහ තමන්ට සතුටු විය හැක යම් වාසිදායක ලක්ෂණ සොයාගෙන ඒ තුලින් ඇය කෙරෙහි ආදරයෙන් හා කරුණාවෙන් කටයුතු කිරීමට උත්සාහ කලයුතු බවයි. තවත් සරලව පවසනවා නම්, ඇගේ චරිතයේ හොඳ පැත්ත නොසලකා හැර නරක, නොසතුටු, සෘණාත්මක කාරණයන්ට පමණක් අවධානය යොමු කිරීම නුවණට හුරු නොවන බවයි.

මෙතැනදී විශේෂයෙන් කිවයුතු කාරණයක් ඇත. එනම්, බොහෝ විට බොහෝ ස්වාමිපුරුෂයන් නිවසින් පිටත කැපී පෙනෙන සහ උසස් සදාචාරයන්ගෙන් යුත් සමාජයේ ප්‍රශංසාවට ලක් යහපත් චරිතය. නමුත් නිවස තුල එම ආචාරශීලීත්වය, චරිතවත් බව සහ සදාචාරත්වය පෙන්වීමට අසමත්ය. මෙහිදී සෑම මුස්ලීම්වරයෙකුම අමතක නොකලයුතු ඉතා වැදගත් කාරණයක් ඇත. එනම්, තම ස්වාමිපුරුෂයාගේ චරිතය සහ හැසිරීම පිළිබඳ හොඳම හා නිවැරදිම විනිශ්චය ලබාදීමේ බලය ඉස්ලාම් ඔහුගේ බිරිඳට පවරා දී ඇත යන්නයි. මේ පිලිබදව වූ මුහම්මද් (සල්) තුමාණන්ගේ උපදේශය වෙත ඔබේ අවදානය යොමු කරන්නේ නම්,

   විශ්වාසවන්ත (යහපත් මුස්ලීම්වරු)න්ගෙන් වඩාත්ම යහපත් පරිපූර්ණ චරිතය හිමි තැනැත්තා වන්නේ,  තම බිරිඳ හමුවේ යහපත් තැනැත්තාය.

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

ඉස්ලාම් පවසන මෙම සහතිකය හුදෙක් ඇයගේ කට වචනයට පමණක් සීමා වූ ඇගේ සැමියා සතුටු කිරීම පිණිස පවසන හිස් වචන ගොඩක් වූ සහතිකයක් නොවේ. ඇය තම විවාහ ජීවිතය සතුටින් විඳ ඇගේ හඳවත පතුලෙන්ම තම සැමියා කෙරෙහි තිබෙන ආදරයෙන් ඔහු පිලිබදව දෙන අවංක සහතිකයකි. මෙම සහතිකය දිනාගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ.

රටේ, ලෝකේ කවර ආකාරයට රඟමින් ජීවත් වූවත්, එකට එකම වහලක් යට ජීවත් වන බිරිඳ වන ඇයයි ඔහුගේ සියළු රහස් සහ සැබෑ ගුණාංග පිලිබදව හොදින් හා නිවැරදිව දන්නේ. එම නිසා බිරිඳ තරම් මෙම විනිශ්චයට සුදුසු තවත් කෙනෙක් සිටිය නොහැක යන්නෙහි වාදයක් නැත. එසේනම් අපගේ බිරිඳට අප යහපත් ස්වාමිපුරුෂයෙකු වී ලෞකික දිවියේත් ආදරය හා සතුට පිරි සුන්දර පරමාදර්ශි පවුල් දිවියක් ගෙවා පරලොව දිවියේත් ජයග්‍රාහකයන් අතර වීමට අල්ලාහ් (දෙවි) අපට ආශිර්වාද කරත්වා! යන ප්‍රාර්ථනයෙන් මෙම ලිපියට විරාමය තබමි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම