ඔබ යහපත් බිරිඳක්ද?

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


යහමග ලියන යහපත් පවුල් දිවියකට මඟ පෙන්වීම යන ලිපි පෙලෙහි මීට ඉහත ලිපියෙන් ‘ඔබ පරමාදර්ශී සැමියෙක්ද?‘ යන කාරණය විමසා බැලුවෙමු. එම ලිපි පෙලෙහි තවත් දිගුවක් ලෙස ‘ඔබ යහපත් බිරිඳක්ද?‘ යන විෂය මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

වත්මන් සමාජය තමන්ට සුදුසු මනාළියක් තෝරා ගැනීමේ ක්‍රියාවලිය තුල පොරොන්දම් ගලපා, කේන්දර බලා, කුල ගලපා, අලංකාර හා ධනවත් කාන්තාවක් මනාළියක් ලෙස තෝරා ගැනීම සිදුකරයි. නමුත් ඇය යහපත්, ගුණවත් හා දැහැමි කාන්තාවක් ද යන්න විමසා බැලීමට උනන්දුවක් නොදක්වයි. එහි අවසාන ප්‍රථිපලය වන්නේ, එවන් විවාහ බොහෝමයක් විවාහ සහතිකයෙන් බැඳ දමා ඇති රට ලෝකයට පෙනෙන්න යුතුකම් හා වගකීම්වලට පමණක් සීමා වූ විටෙක එයද ඉටු නොවන අවාසනාවන්නත ජීවිත බවට පත්මුව තිබීමයි. එවැනි හඳවත් ‘මේක නම් මගේ කරුමයක්…’, ‘මේක මගේ අවාසනාවක්…’, ‘දැන් ඉතින් හිත හදාගෙන කරුමය ගෙවන්න තමයි තියෙන්නේ…’, ‘මැරෙනකම් මේක ගෙවන්න තමයි තියෙන්නේ’, ‘මමත් බැන්දා නේ…’ යනාදී ලෙස හඬා වැටීම හා දුක්විඳීම මේ සමාජයේ සුලභව දකින්නට ඇත. නමුත් මිනිස් වර්ගයා හට විවාහය නැමැති භාග්‍යය දෙවියන් ලබාදී ඇත්තේ ජීවිතය විඳින්නට මිස මෙලෙස විඳවන්නට නම් නොවේ. එය අල්කුර්ආනය තුලින් අල්ලාහ් (දෙවි) ඉතා අලංකාරව මෙසේ පවසයි.

නුඹලා ඔවුන්ගෙන් සිත සුව ලැබීම පිණිස (නුඹලාගේ) භාර්‍යයාවන් නුඹලා තුලින්ම නුඹලා වෙනුවෙන්ම මවා තිබීමත්, නුඹලා අතරේ ආදරය කරුණාව ඇති කොට තිබීමත්, (දෙවියන් වන) ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයකි. බුද්ධිමත්ව වටහා ගත හැකි ජනයාට මෙහි නියත වශයෙන්ම (එකක් නොව, බොහොමයක්) සාධකයන් ඇත්තේය.

අල්කුර්ආනය 30-21

සිත සුවපත් කරනු පිණිසත්, ආදරය කරුණාව තමන් තුල පතුරුවාලීම පිණිසත් විවාහය ලබාදී ඇති බව ඉස්ලාම් පවසයි. එසේ වූවත් වත්මන් සමාජයේ බොහෝ අඹුසැමියන් තුල මෙම සුන්දර ජීවිතය දකින්නට නොලැබේ. එසේනම් අපට වැරදුනේ කොතැනද?

වැරදුනේ කොතැනද?

ඉහතින් සදහන් අවාසනාවන්ත තත්වයන් පවුල් ඒකකය තුල නිර්මාණය නොවී සතුටින් විඳින්න පුළුවන් ජීවිතයක් හිමිකර ගැනීමට නම්, අඹු-සැමියන් අතර හොද ආදරණීය බැඳීමක් හා දැහැමි ජීවිතයක් පැවතීම අත්‍යඅවශ්‍ය වේ. ඒ සදහා මෙම ලිපි පෙලෙහි මීට පෙර ලිපියෙහි සාකච්චා කල ආකාරයට පවුලේ ස්වාමිපුරුෂයා ‘පරමාදර්ශි‘ මෙන්ම ගුණවත් හා නැණවත් වියයුතුය. එසේම ඉතා සංයමයෙන් සෑම කාරණයක් පිලිබදව ම බලන සෑම විටම හොඳ අවබෝධයෙන් කටයුතු කලහැකි ගුණවත්, ආගම දහමට ලැදි දැහැමි කාන්තාවක් බිරිඳක් ලෙස හිමිටීම ද අත්‍යඅවශ්‍ය වේ. එවන් දැහැමි කාන්තාවන් විවාහ කරගැනීම ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට දැඩිව උනන්දු කරයි.

එය මෙසේය…

   ‘කාන්තාවන් ඔවුන්ගේ ධනවත්කම මත ද, රූප සම්පත්තිය මත ද, ඔවුන්ගේ පරම්පරාව (එනම් උසස් බව සැලකීම) මත ද, විවාහ කර ගනු ලබති. නුඹ (දැහැමි) ශීලාචාර ගුණවත් තැනැත්තිනියක් තෝරා ගෙන (දෙලොවෙහි ම) ජය අත්පත් කර ගනිව්’ යනුවෙන් නබි නායක මුහම්මද් (සල්) තුමාණන් දේශනා කළහ.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසයේ කාන්තාවක් තම බිරිඳ ලෙස තෝරා ගැනීමේ කාර්‍යයේ දී රූපය, ධනය, පරම්පරාව… වැනි ලෞකික කාරණයන්ට වඩා ඇයගේ ගුණවත්මකම හා දැහැමිකම කෙරෙහි දැඩි අවදානයක් යොමු කලයුතු බව පවසයි. එසේ දැහැමි, ගුණවත් චරිතයක් හිමි කාන්තාවක් බිරිඳක් ලෙස තමන් තුල ගොඩනඟා ගතයුතු තවත් ගුණාංග ගණනාවක් ඉස්ලාම් පවසයි. එම ගුණාංගයන් සාර්ථක පවුල් ජීවිතයකට අත්‍යඅවශ්‍ය අංග වන අතර එම කාරණයන් මෙතැන් සිට විමසා බලමු.

යහපත් බිරිඳ දැහැමි බිරිඳක්

දැහැමි භාර්යාව බොහෝ පැතිවලින් යහපත් තැනැත්තියකි. ඇය සවන්දීම, ඉවසීම, දරාගැනීම… යනාදී ගුණාංගවලින් ද යහපත් වන අතර බිරිඳක් ලෙස ඇය කෙරෙහි පැවරෙන වගකීම් ඇය මැනවින් ඉටු කරයි. ඉස්ලාම් දහම ඇය කෙරෙහි එවැනි වගකීම් රාශියක් පවරන අතර එයින් එක් ප්‍රධාන වගකීමක් අල්කුර්ආනය මෙසේ විස්තර කරයි.

   …ඔවුන් (පුරුෂයින්) තමන්ගේ ධනයෙන් (ස්ත්‍රීන් උදෙසා) වැය කරන හෙයින්ද, ඔවුන් (පුරුෂයින්) ස්ත්‍රීන්ගේ කටයුතු විෂයෙහි භාරකරුවෝ වෙති. එබැවින් ගුණවත් ස්ත්‍රීහු (තම පුරුෂයින් සමඟ) විශ්වාසනීයව හා කීකරුව කටයුතු කරති. (තම පුරුෂයන්) නොසිටින අවස්ථාවන්හිදී පවා තම පුරුෂයින්ගේ අයිතිවාසිකම් අල්ලාහ් (දෙවි)ගේ ආරක්ෂාව යටතේ මැනවින් ආරක්ෂා කරති…

අල්කුර්ආනය 4-34

ඉහත අල්කුර්ආන් වාක්‍යයට අමතරව අල්-හදීසයේ ද මෙසේ සදහන් වේ. එනම්,

   නබි (සල්) තුමාණන් මෙසේ පවසන ලදී
   කාන්තාවක් දිනපතා (පස්‍වේල් නැමදුම වන) සලාතය ඉටු කර, ඇගේ රහස් අවයව (පති බව නොහොත් පාරිශුද්ධභාවය) ආරක්ෂා කර, තම ස්වාමිපුරුෂයාට අවනත වූ විට, ඇය කැමති ස්වර්ගයේ ඕනෑම දොරටුවකින් ඇතුල් වනු ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය – ඉබ්නු හිබ්බන්

ඉහත ඉගැන්වීමන් බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, ඉස්ලාම් දහම බිරිදකට පවරන වගකීම කුමක්ද? යන්න හොදින් පැහැදිලි වනු ඇත. එහි විශ්වාසනීයව, කීකරුව සහ අවනතව කටයුතු කිරීම අත්‍යඅවශ්‍ය කාරණයක් බවත්, ඉස්ලාම් දහම තම ස්වාමියාගේ අයිතීන් ආරක්ෂා කිරීම ප්‍රධාන කාරණයක් ලෙස සලකන බවත් පැහැදිලි වේ.

එනම්,

  • පති බව රැකීම,
  • දරුවන් රැකබලා ගැනීම.
  • උගත්කමෙන් හා ආචාරශීලීව දරුවන් ඇති දැඩි කිරීම.
  • දේපල ආරක්ෂා කිරීම.
  • අලංකාරව සිටීම.
  • ආගමික පරිසරය සහතික කිරීම.
  • ළමයින්ට ආදර්ශමත් වීම…

වැනි කාරණයන් හි වගකීමෙන් කටයුතු කිරීම ඇය කෙරෙහි පැවරෙන වගකීමකි. මෙතැනදී විශේෂයෙන් කිවයුතු කාරණයක් ඇත. එනම්, තම දරුවන් රුකබලා ගනිමින් සහ ඔවුන්ට යහපත් මඟපෙන්වීම් ලබාදෙමින් ගුණවත් දරුවන් ලෙස ඇතිදැඩි කරමින්, ආගමික හැදියාව ඔවුන් තුල වර්ධනය කිරීම වැනි ගැඹුරු කාරණයන් හිදී සම්පූර්ණ වගකීම ඇය මත පවරා ස්වාමියාට නිදහස් විය නොහැක. මේවා සාමූහිකව අඹුසැමි දෙදෙනා විසින් එක්ව ඉටුකල යුතු වගකීම් වේ. මෙසේ මා මෙහි පැවසීමට මූලික හේතුවක් ඇත. එනම්, ලොව දික්කසාද සිදුවන හේතු අතර කාන්තාවන් ඉදිරිපත් කරන ප්‍රධාන හේතු 03ක් හඳුනාගෙන ඇත. එනම්,

  • විවාහ අසමගිය,
  • අධික වගකීම්,
  • මුදල් ගැටලු.

මෙම හේතු තුනම විවාහයකදී බිරිඳගේ සහ සැමියාගේ අදාළ භූමිකාවන්ගේ නම්‍යශීලීභාවයට සම්බන්ධ වේ. එමනිසා මෙම වගකීමන් හි එකින් එකා හුදෙකලා කිරීම කිසිසේත් සාධාර්ණ නොවේ.

මේ අනුව පවුල් ජීවියක් තුල බිරිඳකගේ පැහැදිලි කාර්‍යභාරය වන්නේ, තම පවුලේ සතුට, සාර්ථකත්වය සහ යහපත දිවිපෙවතක් හිමිකර දීම සහ එය තම මතු ලොව සාර්ථකත්වයට ආශිර්වාදයක් කරගැනීමයි. එවැනි බිරිඳයි යහපත් ගුණවත් බිරිඳක් ලෙස ඉස්ලාම් දහම හදුන්වන්නේ. එවන් සුන්දර බිරිඳකගේ ගුණාංග පිලිබදව වරක් නබිතුමාණන් පැවසීමේ දී මෙසේ පවසන ලදී.

   (නබිතුමාණන්ගේ සමකාලීනයෙකු වන) අබූ හුරෙයිරා (රලි) තුමාණන් වරක් නබිතුමාණන්ගේ මෙසේ විමසන ලදී.
   ‘අල්ලාහ් (දෙවි)ගේ දූතයාණෙනි!, කවර ආකාරයේ බිරිඳක් ද යහපත් බිරිඳක් වන්නේ?’
   එයට නබිතුමාණන්,
   ‘ඇය දෙස බලන විට (ඇගේ ස්වාමිපුරුෂයා වන) ඔහුගේ සිත සතුටින් සැනසේද, ඔහු (දහමට එරෙහි නොවන) යමක් පැවසූ විට එයට කීකරු වේද, ඇයයි යහපත් බිරිඳක් වන්නේ.’ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – අහමද්

ඉහත හදීසයෙන් පවසන අදහස තවදුරටත් තහවුරු කරන ප්‍රකාශයක් ආයිෂා (රලි) මව්තුමිය කල බවටද, සදහනක් ආගමික ග්‍රන්ථයන් හි දක්නට ලැබේ. එම ප්‍රකාශය මෙසේය…

   ආයිෂා (රලි) තුමියගෙන් ‘යහපත් කාන්තාව කවුරුන්ද?’ යනුවෙන් වරක් කෙනෙකු විමසූ විට ‘නුසුදුසු (අසභ්‍ය) වදන් නොපවසන, කපටි නොවන, ඇගේ සම්පූර්ණ අවධානයම තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් තමන්ව අලංකාර කරගෙන සහ තම පවුල රැකබලා ගෙන ජීවත් වන කාන්තාවයි’. යනුවෙන් පවසන ලදී.

විවාහක කාන්තාවක් තම ස්වාමියා ඉදිරියේ ඔහුගේ සිත සුවපත් වන ආකාරයට ආදරයෙන් කරුණාවෙන් ක්‍රියා කලයුතු යන්න ඉස්ලාම් දහමේ මඟපෙන්වීම යන්න ඉහත හදීසය තුලින් පැහැදලි වේ. එය ආයිෂා (රලි) තුමියගේ ප්‍රකාශය තුලින්ද වඩ වඩාත් තහවුරු වේ. මෙවන් සුන්දර බිරිඳක් හිමි පවුලක ආදරය, සතුට නොඅඩුව තිබෙන අතර එම නිවස සහ එහි ජීවිත සැහැල්ලු හා ප්‍රීතිමත් එකක් වනවා නොඅනුමානය.

නමුත් අවාසනාවට අද සමාජයේ සිදුවන්නේ කුමක්ද? නිවසේ තම ස්වාමියා ඉදිරියේ අලංකාරවත්ව හා ඔහුගේ සිත් සතුටු වන ආකාරයට ආදරයෙන් කරුණාවෙන් ක්‍රියා කලයුතු බිරින්දෑවරුන් බොහොමයක් අද නිවසේ තමන් සතු පරණම ඇදුම් පාංකඩයක් විටෙක රාත්‍රි ඇදුමෙන්ම දවස ගෙවන අතර, ඇය තමාව පිරිසිදු කොට පිලිවලකට සරසා ගැනීම ද නොසලකා හරී. නමුත් ඇය නිවසින් බැහැරව යන අවස්ථාවන් හි අලංකාරවත්ව හා පිලිවෙලකට සැරසී තමන් සතු අලංකාරම ඇදුම හැද රටේ ලෝකයේ නෙත් පිනවන ලෙස ගමන් කරයි. ඉන්පසු තම ස්වාමිපුරුෂයා තමන්ට ආදරය නොවන බවත්, තමන් ගැන සැලකිල්ලක් නොදක්වන බවත් පවසමින් චෝදනා නඟයි. නමුත් බොහෝ බිරින්දෑවරුන් වරද තමන් තුල ද ඇති බව තේරුම් නොගනී. මෙතැනදී කාන්තාවට ම සම්පූර්ණ චෝදනාව බාර කොට පිරිමි පාර්ශවයට එයින් නිදහස් විය නොහැක. ඇය එසේ කරන්නේ ඇයගේ අනවබෝධය නිසාම ද වියහැක. නොඑසේ නම්, ඇයට නිවස තුල නිසි නොසැලකිල්ල වටිනාකම නොලැබීම නිසාද වියහැක. එසේම ආගම දහම පිලිබදව නිසි අවබෝධයක් ඇය තුල නොමැති නිසාද වියහැක. ඇය හා ආදරණීය සංවාදයන් ගොඩනඟා ගනිමින් දෙපාර්ශවයේම අඩුපාඩුකම් නිවැරදි කරගැනීම යහපත් අඹු-සැමි දෙදෙනාටම පැවරෙන වගකීමකි.

එසේනම්, ඉහතින් සදහන් දුර්වලතා පවුල් ජීවිතය තුල හදුනාගෙන එය නිවැරදි කරගෙන සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්නටත් ඒ තුලින් සුවපත් සමාජයක් නිර්මාණය කිරීමටත් සෑම අඹු-සැමි යුවලකටම දෙවියන්ගේ ආශිර්වාදය හිමිවේවා! යන ප්‍රාර්ථනයෙන්ද, දැහැමි, යහපත්, සුවපත් සමාජයක් ගොඩනැඟීමේ වගකීම සෑම පවුල් ඒකකයකම බිරිඳට හා ස්වාමියාටද, මාපියන්ටද, වැඩිහිටියන්ටද, ආගමික නායකයින්ටද, සමාජ වගකීම් දරණ පාර්ශවයන්ටද පැවරෙන බැවින් එම වගකීම් ඒ ඒ පාර්ශවයන් හොදින් තේරුම් ගෙන ක්‍රියාකාරී මෙහෙවරක් ඉටු කිරීමට ඔවුනට නුවණැස පෑදේවා! යන ප්‍රාර්ථනයෙන්ද මෙම ලිපියට විරාමය තබන්නේ ඉන්ෂාඅල්ලාහ් මෙවැනි තවත් ලිපියක් ඉදිරියේ දී ඉදිරිපත් කිරීමේ පොරොන්දුව ලබා දෙමිනි.


සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/28

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම